Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරයි

ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරයි

ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරයි

“පෙනෙන නිසා ඔබේ ඇස්ද, ඇසෙන නිසා ඔබේ කන්ද සන්තෝෂවත්ය.”—මතෙව් 13:16.

1. සීනයි කන්ද අසලදී මෝසෙස්ගේ මුහුණේ තිබූ තේජස දුටු ඊශ්‍රායෙලිතයන් දැක්වූ ප්‍රතිචාරය නිසා පැනනඟින ප්‍රශ්නය කුමක්ද?

සීනයි කන්ද අසල රැස්ව සිටි ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවිට ළංවීම සඳහා ඕන තරම් හොඳ හේතු තිබුණා. ඔහු ඔවුන්ව පුදුමාකාර අන්දමින් ඊජිප්තුවෙන් මුදවාගත්තා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් පාළුකරයේ ගත කළ කාලයේදී ආහාර හා ජලය වැනි ඔවුන්ට අවශ්‍ය දේවල් ඔහු සැපයුවා. තවත් අවස්ථාවකදී අමලෙක්වරුන්ට එරෙහිව කළ සටනේදී ඊශ්‍රායෙල්වරුන්ට ජය ලබා දුන්නා. (නික්මයාම 14:26-31; 16:2–17:13) ඔවුන් සීනයි කන්ද ඉදිරිපිට කූඩාරම්වල සිටිද්දී ඇති වූ ගර්ජන හා විදුලි කෙටීම් නිසා භයෙන් වෙව්ලන්න පටන්ගත්තා. ඉන්පසුව මෝසෙස් සීනයි කන්දෙන් බැස එද්දී ඔහුගේ මුහුණෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු වෙනවා ඔවුන් දැක්කා. කෙසේවෙතත් මෝසෙස්ගේ මුහුණින් දිස් වූයේ යෙහෝවාගේ තේජස බව වටහාගනිමින් ඒ ගැන පුදුම වෙනවා වෙනුවට ඔවුන් කළේ එතැනින් ඉවත්ව යෑමයි. “ඔවුහු [මෝසෙස්] ළඟට එන්ට භය වූවෝය.” (නික්මයාම 19:10-19; 34:30) ඔවුන් වෙනුවෙන් බොහෝ යහපත් දේවල් කර තිබූ යෙහෝවාගේ තේජස දකින්න ඔවුන් භය වූයේ ඇයි?

2. මෝසෙස් පිළිබිඹු කළ තේජස දකින්න ඊශ්‍රායෙලිතයන් බිය වන්න ඇත්තේ ඇයි?

2 බොහෝ ඊශ්‍රායෙලිතයන් මේ අවස්ථාවේදී බිය වන්න හේතු වන්න ඇත්තේ කලින් සිදු වූ සිද්ධියක් විය හැකියි. ඔවුන් හිතා මතාම යෙහෝවාට අකීකරු වී රන් වස්සෙක් සාදාගත් අවස්ථාවේදී ඔහු ඔවුන්ට දඬුවම් කළා. (නික්මයාම 32:4, 35) ඒ වුණත් හුඟදෙනෙක් ඉන් පාඩමක් ඉගෙනගත්තේ නැහැ. මේ රන් වස්සා සෑදීම ගැනත් ඊශ්‍රායෙලිතයන් අකීකරු වූ වෙනත් අවස්ථා ගැනත් මෝසෙස් ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී ඔවුන්ට මතක් කර දුන්නා. ඔහු සෙනඟට මෙහෙම කිව්වා. “ඔබගේ දෙවි වූ යෙහෝවාගේ ආඥාවට විරුද්ධව කැරලි ගසා දෙවි විශ්වාස නොකොට දෙවිගේ හඬ නොඇසුවහුය; මා ඔබ දැනගත් දවස පටන් ඔබ යෙහෝවාට විරුද්ධව කැරලි ගැසුවහුය.”—ද්විතීය කතාව 9:15-24.

3. ඊශ්‍රායෙලිතයන් බිය වූ නිසා මෝසෙස් ක්‍රියා කළ ආකාරය විස්තර කරන්න.

3 ඊශ්‍රායෙලිතයන් බියට පත් වූ බව දුටු මෝසෙස් ක්‍රියා කළ ආකාරය ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. “මෝසෙස් ඔවුන් සමඟ කතා කොට කෙළවර වූ කල තමාගේ මුහුණ වැස්මකින් වසාගත්තේය. එහෙත් මෝසෙස් යෙහෝවා සමඟ කතා කරන පිණිස දෙවි ඉදිරියට [මණ්ඩපයට] ගොස් පිටතට එන තෙක් වැස්ම හැර සිටියේය. ඔහු පිටතට අවුත් තමා ලැබූ අණ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. ඊශ්‍රායෙල් පුත්‍රයෝද මෝසෙස්ගේ මුහුණ බලා එහි සම දිලිසෙන බව දුටුවෝය. මෝසෙස්ද දෙවි සමඟ කතා කරන්ට ඇතුල් වන තෙක් තමාගේ මුහුණ නැවතත් වැස්මකින් වසාගත්තේය.” (නික්මයාම 34:33-35) සමහර අවස්ථාවලදී මෝසෙස් ඔහුගේ මුහුණ වසාගත්තේ ඇයි? මින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? යෙහෝවා දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාව කොතරම් ශක්තිමත්ද කියා දැනගැනීමට මේ ප්‍රශ්නවලට පිළිතුරු සලකා බැලීම අපට උපකාරවත් වෙනවා.

ප්‍රස්තා අහිමි කරගෙන

4. මෝසෙස් තම මුහුණ වැස්මකින් ආවරණය කරගැනීමෙන් අදහස් කරන දෙය පාවුල් පැහැදිලි කළේ කෙසේද?

4 මෝසෙස් තම මුහුණ වැස්මකින් ආවරණය කරගැනීමත් ඊශ්‍රායෙල්වරුන්ගේ සිත්වල තිබූ තත්වයත් අතර සම්බන්ධයක් තිබූ බව පැහැදිලි කරමින් පාවුල් මෙසේ ලිව්වා. ‘මෝසෙස්ගේ මුහුණෙහි ඇති වූ තේජස දෙස බලා සිටීමට ඊශ්‍රායෙල් පුත්‍රයන්ට නොහැකි විය. ඔවුන්ගේ කල්පනා ශක්තිය මොට වී තිබිණ.’ (2 කොරින්ති 3:7, 14) මෙය මොන තරම් ශෝකජනක තත්වයක්ද! තමන් තෝරාගත් සෙනඟ වූ ඊශ්‍රායෙල්වරුන් තමන්ට මුළු සිතින් ප්‍රේම කරමින් ළං වෙනවා දකින්න යෙහෝවා කැමති වුණා. (නික්මයාම 19:4-6) ඒ වුණත් ඔවුන් දෙවිගේ තේජස දෙස බලා සිටින්නට කැමති වුණේ නැහැ. ඇත්තටම ඔවුන් කළ දෙයින් පෙනී යන්නේ ඔවුන් යෙහෝවාගෙන් ඈත් වූ බවයි.

5, 6. (අ) මෝසෙස්ගේ කාලයේ සිදු වූ දෙයට සමාන දෙයක් පළමුවන සියවසේදීත් සිදු වුණා. ඒ කුමක්ද? (ආ) යේසුස්ට සවන් දුන් හා සවන් නුදුන් අය අතර තිබූ වෙනස කුමක්ද?

5 මේ හා සමාන දෙයක් පළමුවන සියවසේදීද සිදු වුණා. පාවුල් සැබෑ ක්‍රිස්තියානියෙකු බවට පත් වූ කාලයේදී නීතික ගිවිසුම වෙනුවට ක්‍රියාත්මක වුණේ නව ගිවිසුමයි. මෙම ගිවිසුමේ මැදිහත්කරු වුණේ උතුම් මෝසෙස් වන යේසුස් ක්‍රිස්තුස්. ඔහු වචනයෙන් හා ක්‍රියාවෙන් යෙහෝවාගේ තේජස කිසිම අඩුවක් නැතිව පිළිබිඹු කළා. නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ගැන පාවුල් මෙසේ පැවසුවා. “ඔහු දෙවිගේ මහිමයේ [හෙවත් තේජසේ] ප්‍රතිබිම්බයද ඔහුගේ නියම ස්වරූපයද වන්නේය.” (හෙබ්‍රෙව් 1:3) සදාකාල ජීවනය ගැන දෙවිගේ පුත්‍රයා විසින්ම පැවසූ දේවලට සවන් දෙන්න එදා සිටි යුදෙව්වන්ට හැකි වුණා. මෙය ඔවුන්ට මොන තරම් මහඟු ප්‍රස්තාවක්ද! කනගාටුවට කරුණක් නම් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් යේසුස්ට සවන් දුන්නේ නැහැ. යෙහෝවා යෙසායා මාර්ගයෙන් පැවසූ අනාවැකියක් යේසුස් ඔවුන්ට මෙසේ අදාළ කළා. “මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ. ඔවුහු කන්වලින් ඇසුවත් ප්‍රතිචාරයක් නොදක්වති. ඔවුහු ඇස් පියාගෙන සිටිති. මෙසේ වී තිබෙන්නේ ඔවුන් කිසි කලෙක තම ඇස්වලින් නොදැක, තම කන්වලින් නොඅසා, තම සිත්වලින් එහි හරය වටහා නොගෙන, හැරී නෑවිත්, මාගෙන් සුවය නොලබන පිණිසය.”—මතෙව් 13:15; යෙසායා 6:9, 10.

6 යුදෙව්වන් සහ යේසුස්ගේ ගෝලයන් අතර ලොකු වෙනසක් තිබුණා. යේසුස් සිය ගෝලයන් ගැන මෙසේ පැවසුවා. “පෙනෙන නිසා ඔබේ ඇස්ද, ඇසෙන නිසා ඔබේ කන්ද සන්තෝෂවත්ය.” (මතෙව් 13:16) සැබෑ ක්‍රිස්තියානීන් යෙහෝවා දෙවි ගැන දැනගන්නත් ඔහුට සේවය කරන්නත් දැඩි උනන්දුවක් දක්වනවා. ඔවුන් බයිබලයේ පෙන්වා දෙන ආකාරයට දෙවිගේ කැමැත්ත කිරීමෙන් මහත් ප්‍රීතියක් ලබනවා. අලුත් ගිවිසුමක දේවසේවකයන් වන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මෙන්ම වෙනත් බැටළුවන්ද ඔවුන්ගේ දේවසේවය තුළින් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරනවා.—2 කොරින්ති 3:6, 18.

ශුභාරංචිය වැසී තිබීමට හේතු

7. බොහෝදෙනෙක් ශුභාරංචිය ප්‍රතික්ෂේප කිරීම ගැන අපි පුදුම නොවිය යුත්තේ ඇයි?

7 අපි දැන් සලකා බැලූ ආකාරයට යේසුස්ගේ කාලයේ වගේම මෝසෙස්ගේ කාලයේ සිටි බොහෝදෙනෙක් දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට උදා වූ සුවිශේෂි ප්‍රස්තාව අහිමි කරගත්තා. මේ හා සමාන දෙයක් අපේ කාලයේදීත් සිදු වෙනවා. අපි දේශනා කරන පණිවිඩය බොහෝදෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. පාවුල් ලියූ මේ වචන සලකා බලද්දී අපි ඒ ගැන පුදුම විය යුතු නැහැ. “අප ප්‍රකාශ කරන ශුභාරංචිය වැසී තිබෙනවා නම්, එය වැසී තිබෙන්නේ විනාශ වන්නන් අතරේය. . . . මේ සමාජ ක්‍රමයේ දෙවි නොඇදහිලිකරුවන්ගේ මනස් අන්ධ කර ඇත.” (2 කොරින්ති 4:3, 4) ඇතමුන්ගෙන් ශුභාරංචිය වැසී තිබීමට එක් හේතුවක් වන්නේ සාතන්. තවත් හේතුවක් වන්නේ බොහෝදෙනෙක් නොදකින පිණිස ඔවුන් විසින්ම ඔවුන්ගේ මුහුණු වසාගෙන සිටීමයි.

8. නොදැනුවත්කම නිසා බොහෝදෙනෙක් සිතින් අන්ධ වී සිටින්නේ කොහොමද? එවැනි තත්වයකට පත්වීමෙන් වැළකී සිටීමට අපට හැක්කේ කොහොමද?

8 බොහෝදෙනෙකුගේ සංකේතමය ඇස් අන්ධ වීමට තවත් හේතුවක් වී තිබෙන්නේ ශුභාරංචිය පිළිබඳ නොදැනුවත්කමයි. ලෝකයේ සිටින මිනිසුන් “ඔවුන්ගේ නොදැනුවත්කම නිසාත්, ඔවුන්ගේ සිත්වල දැඩිකම නිසාත්” සිටින්නේ ‘මානසික වශයෙන් අන්ධකාරයෙහි සහ දෙවිගෙන් වූ ජීවනයෙන් ඈත්වයි.’ (එෆීස 4:18) ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන් නීතිය පිළිබඳව හොඳ දැනුමක් තිබූ පාවුල් ක්‍රිස්තියානියෙකු වීමට කලින් නොදැනුවත්කම නිසා සිතින් මොන තරම් අන්ධව සිටියාද කියනවා නම් ඔහු දෙවිගේ සභාවට පීඩා කළා. (1 කොරින්ති 15:9) ඒ වුණත් යෙහෝවා ඔහුට සත්‍යය දැනගන්න උපකාර කළා. මේ ගැන පාවුල් මෙසේ පැහැදිලි කරනවා. “මට දයාව පෙන්වනු ලැබුවේ මේ නිසාය. එනම්, සදාකාල ජීවනය සඳහා ක්‍රිස්තුස් යේසුස් කෙරෙහි තම ඇදහිල්ල තබන අය වෙනුවෙන් ආදර්ශයක් වීමටය. එමගින් ඔහු, ප්‍රධාන පව්කාරයා වූ මා මාර්ගයෙන් තම මුළු මහත් ඉවසිල්ල පෙන්වන්නේය.” (1 තිමෝති 1:16) පාවුල් වගේ කලින් සත්‍යයට විරුද්ධව සිටි බොහෝදෙනෙක් දැන් දෙවිට සේවය කරමින් සිටිනවා. අපිට විරුද්ධ වන අයට පවා දිගටම සාක්ෂි දැරීමට එය අපට හොඳ හේතුවක් සපයනවා. මේ අතර දෙවිගේ වචනය නිතිපතා අධ්‍යයනය කර එහි අර්ථය වටහාගැනීමෙන් නොදැනුවත්කම නිසා සිදු වන වැරදි වළක්වාගන්න අපට හැකියි. මෙසේ දිගටම යෙහෝවාගේ අනුමැතිය ඇතුව සිටින්න අපිට හැකි වෙනවා.

9, 10. (අ) මුල් සියවසේ සිටි යුදෙව්වන් ඉගෙනගැනීමට අකමැති බවත් තමන්ගේම මතයේ එල්බගෙන සිටි බවත් පෙන්වූයේ කොහොමද? (ආ) අද තිබෙන ක්‍රිස්තියානි ආගම්වලද ඒ හා සමාන තත්වයක් දකින්න තිබෙනවාද? පැහැදිලි කරන්න.

9 ඉගෙනගැනීමට දක්වන අකමැත්ත නිසාත් තමන්ගේම මතයේ එල්බගෙන සිටීම නිසාත් හුඟදෙනෙකුට දේවවචනයේ සඳහන් සත්‍යය තේරුම්ගැනීමට හැකි වී නැහැ. යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් බොහෝදෙනෙක් ඔහුව වගේම ඔහුගේ ඉගැන්වීම්ද ප්‍රතික්ෂේප කළා. මෙයට හේතුව ඔවුන් හිතුවක්කාර ලෙස මෝසෙස්ගේ නීතියට ඇලී සිටීමයි. කෙසේවෙතත් මොවුන්ට වඩා වෙනස් පිරිසක්ද සිටියා. උදාහරණයක් හැටියට යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසු ‘පූජකයන්ගෙන් මහත් සමූහයක් ඇදහිල්ලට කීකරු වුණා.’ (ක්‍රියා 6:7) ඒ වුණත් යුදෙව්වන්ගෙන් වැඩිදෙනෙක් ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “අද දක්වාම මෝසෙස්ගේ ලියවිලි කියවන විට, ඔවුන්ගේ සිත්වල වැස්මක් තිබේ.” (2 කොරින්ති 3:15) මීට කලින් යේසුස් යුදෙව් ආගමික නායකයන්ට මෙසේ පවසා තිබූ බව පාවුල් දැන සිටින්න ඇති. “ඔබ ශුද්ධ ලියවිල්ල සොයා බලන්නේ ඒවා මාර්ගයෙන් ඔබට සදාකාල ජීවනය ලැබේයයි ඔබ සිතන හෙයිනි. මා ගැන සාක්ෂි දරන්නෙත් ඒවාමය.” (යොහන් 5:39) ඒ ආගමික නායකයන් ශුද්ධ ලියවිලි හොඳින් සොයා බැලූ නිසා පොරොන්දු කරන ලද ගැලවුම්කරු යේසුස් බව තේරුම්ගැනීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතු වුණා. ඒ වුණත් ඒ යුදෙව්වන් ඔවුන්ගේම මතයේ එල්බගෙන සිටියා. යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් පවා ඔහු දෙවිගේ පුත්‍රයා බව හඳුනාගන්න ඔවුන්ට නොහැකි වුණා. මේ නිසා සත්‍යය වටහාගන්න ඔවුන් අසමත් වුණා.

10 අද ක්‍රිස්තියානි ආගම්වල සිටින බොහෝදෙනෙක් සම්බන්ධයෙන්ද කිව හැක්කේ ඒ දෙයමයි. මුල් සියවසේ සිටි යුදෙව්වන් වගේ ‘දෙවි කෙරෙහි උද්‍යෝගයක් ඔවුන්ට තිබුණත් එය නිවැරදි දැනුමට අනුව නොවෙයි.’ (රෝම 10:2) සමහරුන් බයිබලය අධ්‍යයනය කළත් එහි සඳහන් දේවල් විශ්වාස කරන්න කැමති නැහැ. යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උගන්වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ඔහුගේ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මාර්ගයෙන් බව ඔවුන් පිළිගන්නේ නැහැ. (මතෙව් 24:45) කෙසේවෙතත්, යෙහෝවා ඔහුගේ සෙනඟට උගන්වමින් සිටිනවා කියා අපි තේරුම්ගෙන තිබෙනවා. ඒ වගේම දෙවි හා සම්බන්ධ සත්‍ය කාරණා තේරුම්ගත හැක්කේ ක්‍රමානුකූලවයි කියාද අපි දන්නවා. (හිතෝපදේශ 4:18) යෙහෝවා දෙවි උගන්වන කාරණා නිහතමානීව පිළිගැනීම නිසා ඔහුගේ කැමැත්ත සහ අරමුණ ගැන අපට නිවැරදිව දැනගන්න හැකි වී තිබෙනවා. මෙය මොන තරම් ආශීර්වාදයක්ද!

11. තමන් කැමති දේවල් පමණක් විශ්වාස කරන අයට සත්‍යය තේරුම්ගන්න නොහැකි වන්නේ ඇයි?

11 සමහර අය විශ්වාස කරන්නේ තමන් විශ්වාස කිරීමට කැමති දේවල් පමණයි. තවත් අය සිතින් අන්ධ වී සිටීමට මෙයත් එක් හේතුවක්. සමහරුන් දෙවිගේ සෙනඟට සහ ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම ගැන ඔවුන් ප්‍රකාශ කරන පණිවිඩයට සමච්චල් කරන බව දේවවචනයේ කලින්ම පවසා තිබෙනවා. මේ ගැන පේතෘස් මෙසේ සඳහන් කළා. “ඔවුහු ඕනෑකමින්ම මේ කාරණාව [එනම් නෝවාගේ කාලයේ පැවති ලෝකය දෙවි ජලගැල්මකින් විනාශ කළ බව] අමතක කරති.” (2 පේතෘස් 3:3-6) මේ හා සමානව අද සිටින ක්‍රිස්තියානීන්යයි කියාගන්න බොහෝදෙනෙක් එකහෙළාම පිළිගන්නවා, දෙවි සමාව දීමට කැමති, කරුණාවන්ත හා දයාන්විත කෙනෙක් බව. ඒ වුණත් ඔහු දඬුවම් කරන කෙනෙක් බවත් පිළිගන්න ඔවුන් කැමති නැහැ. (නික්මයාම 34:6, 7) සැබෑ ක්‍රිස්තියානීන් බයිබලයේ නිවැරදිව උගන්වා තිබෙන්නේ කුමක්ද කියා තේරුම්ගන්න අවංක වෑයමක් දරනවා.

12. චාරිත්‍ර වාරිත්‍ර මගින් මිනිසුන්ගේ සිත් අන්ධ වී තිබෙන්නේ කොහොමද?

12 පල්ලි යන බොහෝදෙනෙකුගේ සිත් චාරිත්‍ර වාරිත්‍ර මගින් අන්ධ වී තිබෙනවා. යේසුස් ඔහුගේ කාලයේ සිටි ආගමික නායකයන්ට මෙසේ පැවසුවා. “ඔබ, ඔබේ සම්ප්‍රදාය නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබේ.” (මතෙව් 15:6) බැබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලබා ආපසු සිය මව්බිමට පැමිණි යුදෙව්වන් මහත් උද්‍යෝගයෙන් නැවතත් නිර්මල නමස්කාරයේ හවුල් වෙන්න පටන්ගත්තා. ඒ වුණත් කාලයක් යන විට ඔවුන් අතර සිටි පූජකයන් අහංකාර වුණා. තමන් ධර්මිෂ්ඨයි කියා ඒ පූජකයන් සිතුවා. ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ ආගමික උත්සවවලටයි. දෙවි කෙරෙහි ඔවුන්ට සැබෑ ගෞරවයක් තිබුණේ නැහැ. (මලාකි 1:6-8) යේසුස්ගේ කාලය වන විට ලියන්නන් සහ පරිසිවරුන් මෝසෙස්ගේ නීතියට කෙළවරක් නැති චාරිත්‍ර වාරිත්‍ර එක් කර තිබුණා. මේ අය නීතිය පදනම් වී තිබූ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවල සැබෑ අර්ථය තේරුම් නොගත් නිසා යේසුස් ඔවුන්ව හැඳින්වූයේ කුහකයන් කියායි. (මතෙව් 23:23, 24) දෙවිගේ නිර්මල නමස්කාරයට මිනිසුන් සාදාගන්න චාරිත්‍ර වාරිත්‍ර එක් නොකිරීමට සැබෑ ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි.

අදෘශ්‍යමාන තැනැත්තාව දැකීම’

13. මෝසෙස් දෙවිගේ තේජස දුටු ආකාර දෙක කුමක්ද?

13 දෙවිගේ තේජස තමන්ට පෙන්වන්න කියා සීනයි කන්දේදී මෝසෙස් ඉල්ලා සිටියා. එහිදී දෙවිගේ තේජසින් යම් ප්‍රමාණයක් දකින්න ඔහුට හැකි වුණා. ඔහු මණ්ඩපය ඇතුළට යද්දී වැස්මකින් ඔහුගේ මුහුණ වසාගත්තේ නැහැ. මෝසෙස් දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් තිබූ කෙනෙක්. ඒ වගේම දෙවිගේ කැමැත්ත කරන්න ඔහු තුළ මහත් ආශාවක්ද තිබුණා. ඔහුට සීනයි කන්දේදී දෙවිගේ තේජසින් යම් ප්‍රමාණයක් දකින්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි, ඇදහිල්ල නමැති ඇස්වලින් ඔහු ඒ වන විටත් දෙවිව දැක තිබුණා. මෝසෙස් ‘අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් දිගටම ස්ථිරව සිටියා’ කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (හෙබ්‍රෙව් 11:27; නික්මයාම 34:5-7) මෝසෙස්ට දෙවිගේ තේජස පිළිබිඹු කරන්න හැකි වුණේ මුහුණෙන් පමණක් නෙවෙයි. ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවාව දැනගෙන සේවය කරන්න ඔවුන්ට උපකාර කිරීමෙන්ද මෝසෙස් දෙවිගේ තේජස පිළිබිඹු කළා.

14. යේසුස් දෙවිගේ තේජස දැක්කේ කොහොමද? යේසුස් ආශා කළේ කුමක් කරන්නද?

14 විශ්වය මැවීමටත් කලින් සිටම කිව නොහැකි තරම් කාලයක් පුරා යේසුස් ස්වර්ගයේ සිටියදී දෙවිගේ තේජස දුටුවා. (හිතෝපදේශ 8:22, 30) ඒ කාලය පුරා යෙහෝවා දෙවි සහ යේසුස් අතර ගැඹුරු ප්‍රේමයක් වර්ධනය වුණා. යෙහෝවා ඔහුගේ සියලුම මැවිලි අතර මුල්ම මැවිල්ල වන යේසුස්ට දක්වන්නේ කිව නොහැකි තරම් අතිමහත් ප්‍රේමයක්. යේසුස්ද මේ ප්‍රේමය අගය කරමින් තමන්ට ජීවිතය දුන් දෙවිට මහත් ප්‍රේමයක් දක්වනවා. (යොහන් 14:31; 17:24) මේ දෙදෙනා අතර තිබෙන්නේ පියෙකු සහ පුතෙකු අතර තිබෙන උතුම්ම ප්‍රේමයයි. මෝසෙස් වගේ යේසුස්ද තමන් ඉගැන්වූ දේවලින් දෙවිගේ තේජස පිළිබිඹු කිරීමට මහත් ආශාවක් දැක්වුවා.

15. ක්‍රිස්තියානීන් දෙවිගේ තේජස පිළිබිඹු කරන්නේ කොහොමද?

15 මෝසෙස් සහ යේසුස් වගේ අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද දෙවිගේ තේජස පිළිබිඹු කරන්න මහත් උනන්දුවක් දක්වනවා. ඔවුන් තේජාන්විත ශුභාරංචිය ප්‍රතික්ෂේප කර නැහැ. යෙහෝවාගේ කැමැත්ත කිරීම සඳහා “[ඔහු] වෙත හැරෙන විට, ඒ වැස්ම ඉවත් කරනු ලැබේ” කියා පාවුල් සඳහන් කළා. (2 කොරින්ති 3:16) අපි දේවවචනය අධ්‍යයනය කරන්නේ දෙවිගේ කැමැත්ත කරන්න අපිට මහත් ආශාවක් තිබෙන නිසයි. යෙහෝවාගේ පුත්‍රයා සහ අභිෂේක ලත් රජු වන යේසුස් ක්‍රිස්තුස් පිළිබිඹු කළ තේජස අපි බොහෝ සේ අගය කරන නිසා ඔහුගේ ආදර්ශය අපි අනුගමනය කරනවා. දෙවි මෝසෙස්ට සහ යේසුස්ට පැවරුවා හා සමාන කාර්යයක් අපටත් පවරා තිබෙනවා. එනම් අපි නමස්කාර කරන තේජවත් දෙවි ගැන අනිත් අයට ඉගැන්වීමේ කාර්යයයි.

16. සත්‍යය දැනගැනීම ආශීර්වාදයක් කියා පැවසිය හැක්කේ ඇයි?

16 “පියාණෙනි, ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන්ගෙන්ද බුද්ධිමතුන්ගෙන්ද සඟවා, බිලිඳුන්ට හෙළි කර තිබෙන බැවින් මම ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරමි” කියා යේසුස් යාච්ඤා කළා. (මතෙව් 11:25) යෙහෝවා දෙවි ඔහුගේ අරමුණු හා ගුණාංග තේරුම්ගැනීමට උපකාර කරන්නේ අවංක හා නිහතමානී අයටයි. (1 කොරින්ති 1:26-28) ප්‍රේමණීය පියෙක් වගේ ඔහු අපිව බලාගන්නවා. අර්ථවත් ජීවිතයක් ගත කරමින් සැබෑ තෘප්තිය ලබන්න පුළුවන් ආකාරය ඔහු අපිට උගන්වනවා. යෙහෝවා දෙවිට ළංවීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමින් වඩ වඩා ඔහුට ළං වෙමු. ඔහුව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට ඔහු ලබා දී තිබෙන සෑම සැපයුමක්ම අගය කරමු.

17. යෙහෝවාගේ ගුණාංග තවත් හොඳින් දැනගන්න පුළුවන් කොහොමද?

17 පාවුල් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ ලිව්වා. “අපි සියල්ලෝද මුහුණු වැස්මක් නැතිව කැඩපත් මෙන් යෙහෝවාගේ තේජස පිළිබිඹු කරන්නෙමු. . . . අපව තේජසින් තේජසට එම ස්වරූපයටම වෙනස් කරන්නේය.” (2 කොරින්ති 3:18) අපට තිබෙන බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වීම හෝ වේවා පොළොවේ ජීවත් වීම හෝ වේවා අපි යෙහෝවාව බයිබලය තුළින් තව තවත් දැනගන්න විට ඔහුගේ ගුණාංග තව තවත් හොඳින් පිළිබිඹු කළ හැකියි. යේසුස් ක්‍රිස්තුස් මේ පොළොවේ ගත කළ ජීවිතය, ඔහු කළ දේවසේවය හා ඔහු ඉගැන්වූ දේවල් අපි අගය කිරීමෙන් යුතුව ගැඹුරින් සිතා බලනවා නම් යෙහෝවාගේ ගුණාංග තවත් හොඳින් අපේ ජීවිතයෙන් පිළිබිඹු කරන්න අපිට හැකි වෙනවා නිසැකයි. මෙසේ යෙහෝවා දෙවිව අපි ගෞරවයට පත් කරන බව දැන සිටීමෙන් ලැබෙන්නේ මොන තරම් ප්‍රීතියක්ද!

ඔබට මතකද?

• මෝසෙස් තුළින් පිළිබිඹු වූ දෙවිගේ තේජස දකින්න ඊශ්‍රායෙල්වරුන් භය වූයේ ඇයි?

• මුල් සියවසේදී ශුභාරංචිය “වැසී” තිබුණේ කොහොමද? අද දින එය “වැසී” තිබෙන්නේ කොහොමද?

• අපිට දෙවිගේ තේජස පිළිබිඹු කරන්න පුළුවන් කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස්ගේ මුහුණ දෙස බලා සිටීමට නොහැකි වුණා

[21වන පිටුවේ පින්තූරය]

පාවුල් මෙන් කලින් සත්‍යයට විරුද්ධ වූ බොහෝදෙනෙක් දැන් යෙහෝවාට සේවය කරනවා

[23වන පිටුවේ පින්තූරය]

දෙවිගේ තේජස පිළිබිඹු කරන්න හැකිවීම ගැන යෙහෝවාගේ සේවකයන් මහත් සේ සතුටු වෙනවා