Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඉපැරණි ඊශ්‍රායෙලයේ තිබූ මණ්ඩපයේ සහ දේවමාලිගාවේ පිහිටි අතිශුද්ධස්ථානයේ ඇතැම් අවස්ථාවලදී ෂකිනා නමින් හඳුන්වනු ලැබූ ආශ්චර්යවත් ආලෝකයක් දැල් වුණා. මින් සංකේතවත් කළ දෙය මොකක්ද?

තමන්ගේ සෙනඟව ආරක්ෂා කළ ප්‍රේමණීය පියෙක් වශයෙන් යෙහෝවා ඊශ්‍රායෙල් ජනයාට තමා ජීවමානව සිටින බව ඍජුවම දැනගන්නට සැලැස්සුවා. ඔහු මෙය කළ එක්තරා ක්‍රමයක් වූයේ සෙනඟ විසින් තමන්ට නමස්කාර කරන ස්ථානය දීප්තිමත් වලාකුළකින් වසාගැනීමට සැලැස්වීමයි.

මෙම දීප්තිමත් ආලෝකය මගින් පෙන්නුම් කළේ යෙහෝවා අදෘශ්‍යමානව එහි පෙනී සිටින බවයි. මණ්ඩපයේත් සලමොන් සෑදූ දේවමාලිගයේත් අතිශුද්ධස්ථානවල එය දිස් වුණා. ඒ ආශ්චර්යවත් ආලෝකයෙන් අදහස් කළේ යෙහෝවා පුද්ගලයෙක් වශයෙන් සැබවින්ම එතැන සිටිනවා යන්න නොවෙයි. මන්ද මිනිසුන් විසින් සාදනු ලබන ගොඩනැඟිල්ලක දෙවි ජීවත් වන්නේ නැහැ. (2 ලේකම් 6:18; ක්‍රියා 17:24) දෙවිගේ මණ්ඩපයේ තිබූ මේ ආශ්චර්යවත් දීප්තිමත් ආලෝකයෙන් උත්තම පූජකයාටත් ඔහු තුළින් සියලු ඊශ්‍රායෙලිතයන්ටත් දුන් සහතිකය නම් යෙහෝවාගේ ආරක්ෂාව ඔවුන්ට තිබෙන බවයි. එමෙන්ම ඔවුන්ගේ ඕනෑ එපාකම් ගැන දෙවි තියුණු සැලකිල්ලක් දක්වන බවයි.

බයිබලය ලිවීමෙන් පසු ඇරමයික බසින් මෙම ආලෝකය හඳුන්වනු ලැබුවේ ෂකීනා යන නමිනුයි. මින් අදහස් කළේ “වාසය කිරීම” යන්නයි. මෙම යෙදුම බයිබලයේ සඳහන් වන්නේ නැහැ. නමුත් හෙබ්‍රෙව් ලියවිල්ලේ ඇරමයික පරිවර්තනයේ සඳහන් වෙනවා. මෙය ටාර්ගුම් කියාද හඳුන්වනවා.

මණ්ඩපය ඉදි කිරීම සම්බන්ධයෙන් මෝසෙස්ට උපදෙස් දෙන විට, යෙහෝවා පැවසුවේ මෙයයි. “කරුණාසනය පෙට්ටිය පිට ඉහළින් තබන්න; මා විසින් ඔබට දෙන සාක්ෂිය පෙට්ටියේ තබන්න. මම එහිදී ඔබට සම්මුඛව සාක්ෂියේ පෙට්ටිය මතුයෙහි සිටින කෙරුබ්වරුන් දෙදෙනා අතරේ කරුණාසනය ඉහළින් සිට ඊශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔබට ආඥා කරන සියල්ල ගැන ඔබ සමඟ කතා කරන්නෙමි.” (නික්මයාම 25:21, 22) මෙහි සඳහන් කරනු ලබන පෙට්ටිය අතිශුද්ධස්ථානයේ රන් ආලේප කර තිබූ පෙට්ටියක්. එම පෙට්ටියේ පියන මත රනින් නිමවන ලද කෙරුබ්වරුන් දෙදෙනෙක් සිටියා.

යෙහෝවා කතා කරන්නේ කොහේ සිටද? ඔහු මෝසෙස්ට පැවසුවේ මෙයයි. “මම කරුණාසනය පිට වලාකුළ මැද සිට පෙනෙන්නෙමි.” (ලෙවී කතාව 16:2) ශුද්ධ පෙට්ටිය මතුයෙහි සිටි රන් කෙරුබ්වරුන්ට ඉහළින් මෙම වලාකුළ එක තැන පාවෙමින් තිබුණා. මෙම වලාකුළ කොතරම් ඉහළින් පිහිටා තිබුණාද කියාවත් කෙරුබ්වරුන්ගේ සිට කොතරම් උසකට විහිදී තිබුණාද කියාවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.

මෙම ආලෝකවත් වලාකුළෙන් අතිශුද්ධස්ථානය ඒකාලෝක වුණා. එහි තිබූ එකම ආලෝකය මෙම ආශ්චර්යවත් ආලෝකය පමණයි. සමඟි කිරීමේ දවසේ උත්තම පූජකයා අතිශුද්ධස්ථානයට ඇතුළු වූ විට එහි තිබූ ආලෝකයෙන් තමයි ඔහු එහි තිබෙන සියල්ල දුටුවේ. ඔහු සිටගෙන සිටියේ යෙහෝවා ඉදිරියේයි.

මෙම ආශ්චර්යවත් ආලෝකයෙන් ක්‍රිස්තියානීන්ට යම් අර්ථයක් තිබෙනවාද? යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් එක්තරා දර්ශනයකදී ‘රාත්‍රියක් නොවන’ නුවරක් දුටුවා. මෙම නුවර නව යෙරුසලමයි. එනම් යේසුස් සමඟ රජකම් කිරීම සඳහා නැවත නැඟිටුවනු ලැබූ අභිෂේක ලත් අයගෙන් සෑදුණු නව යෙරුසලමයි. මෙම සංකේතාත්මක නුවරට ආලෝකය පැමිණෙන්නේ සූර්යයාගෙන්වත් චන්ද්‍රයාගෙන්වත් නොවෙයි. මෙම නුවරට ආලෝකය කෙළින්ම පැමිණෙන්නේ යෙහෝවා දෙවිගේ තේජසින්. එය හරියට ෂකිනා ආලෝකයෙන් අතිශුද්ධස්ථානය ආලෝකවත් වුණා වගේ. ඒ වගේම, බැටළු පැටවාණන් හෙවත් යේසුස් ක්‍රිස්තුස් එම නුවරේ “පහන” වෙනවා. අනෙක් අතට, සියලු ජාතීන්ගෙන් පැමිණි මුදවාගත් අයට මඟ පෙන්වීම සඳහා මෙම “නුවර” දෙවිගෙන් පැමිණෙන ආලෝකය නිකුත් කරනවා.—එළිදරව් 21:22-25.

යෙහෝවාට නමස්කාර කරන අයට ඔහුගෙන් ඉතා බහුල ලෙස ආශීර්වාද ලැබෙනවා ඇති. ඒ නිසා යෙහෝවා ඔවුන්ව ආරක්ෂා කරන එඬේරා බවටත් ස්නේහවන්ත පියා බවටත් කිසිම සැකයක් නැහැ.