Skip to content

පටුනට යන්න

මරණයේ රුදුරු බලපෑම

මරණයේ රුදුරු බලපෑම

මරණයේ රුදුරු බලපෑම

“වයස අවුරුදු හයක දැරියක් දිවි නසාගනී.” ජැකී නමැති කුඩා දැරියගේ මරණය ගැන එක්තරා පුවත්පතක පළ වී තිබූ මේ සිරස්තලයෙන් බොහෝදෙනා කම්පා වුණා. ඉතා දරුණු අසනීපයක් වැළඳී මිය ගිය ඇගේ මවගේ වියෝව දරාගත නොහැකිව ජැකී වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියකට පැන දිවි නසාගත්තා. ‘මට දේවදූතිකාවක් වී අම්මා ගාවට වෙලා ඉන්න ඕනෑ’ කියා ඇගේ සහෝදර සහෝදරියන්ට ඇය මිය යන්න කලින් පවසා තිබුණා.

ඉයන් 18 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ පියා පිළිකාවකින් මිය ගොස් තිබුණා. ඔහු පල්ලියේ පූජකයාගෙන් තම පියාගේ මරණයට හේතුව පැහැදිලි කරන්න කියා ඉල්ලා සිටියා. පූජකයා පවසා සිටියේ ඉයන්ගේ පියා හොඳ මනුෂ්‍යයෙක් වූ නිසා දෙවි ඔහුව ස්වර්ගයට ගත් බවයි. පූජකයාගේ වදන්වලින් සලිත වූ ඉයන්, එවැනි කෲර දෙවි කෙනෙක් ගැන දැනගන්නට තමන්ට කිසිම වුවමනාවක් නැතැයි සිතාගත්තා. දැන් ඔහුට ජීවිතයෙන් කිසි වැඩක් නැහැ වගේ. ඒ නිසා ඔහු හිතුවා ඉන්නකං පුළුවන් තරම් විනෝදයෙන් සැපෙන් ඉන්න ඕනෑ කියලා. මේ නිසා ඔහු මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා විතරක් නෙවෙයි අනාචාරයේද යෙදුණා. ඔහුගේ ජීවිතය හරියට සුක්කානම ගැලවී ගිය වාහනයක් වගේ ඔහේ ගෙවුණා.

“ජීවත්වන්නෝ තමන් නසින බව දනිති”

මේ සිද්ධීන් දෙකම ඉතා ශෝකජනකයි. මේවායින් කියාපාන්නේ මරණය කෙනෙකුගේ ජීවිතයට කොතරම් බලපෑමක් කරනවාද යන්නයි. විශේෂයෙන්ම අනපේක්ෂිත මරණයක් දරාගන්න අමාරුයි. “ජීවත් වන්නෝ තමන් නසින බව දනිති” යනුවෙන් බයිබලයේ සඳහන් වන දෙය කවුරුත් පිළිගන්නවා. (දේශනාකාරයා 9:5) නමුත් බොහෝදෙනෙක් ඒ කටුක යථාර්ථය ගැන නොසිතා ඉන්න කැමතියි. ඔබත් එහෙමද? ඔබේ ජීවිතයේ කාලය හා අවධානය වෙනත් බොහෝ දේවලට යොමු වන නිසා මැරෙන්න තව කොච්චර කල් තියෙනවාද, ඒ නිසා දැන්මම ඒ ගැන සිතන්න ඕනේ නැහැ කියා ඔබට සිතෙන්නට පුළුවන්.

“හුඟාක්දෙනෙක් මැරෙන්න භයයි. ඒ නිසා ඔවුන් ඒ ගැන සිතන්නේ නැහැ” කියා එක්තරා විශ්වකෝෂයක සඳහන් වෙනවා. (The World Book Encyclopedia) ඒ වුණත්, අපි හදිසි අනතුරකට ලක් වුණොත් හෝ දරුණු අසනීපයක් අපට වැලඳුණොත්, “මං මැරෙයිද?” යන බියජනක සිතුවිල්ල අප තුළ ඇති වෙන්න පුළුවන්. නැත්නම් අපි මිතුරෙකුගේ හෝ නෑදෑයෙකුගේ අවමංගල්‍යයකට සහභාගි වෙන විට, හැම කෙනෙකුටම අද්දකින්න සිදු වන මරණය ගැන අපිට මතක් වෙන්නත් පුළුවන්.

“මොනවා වුණත් දැන් ජීවිතය ඉස්සරහට ගෙනියන්න එපායැ” වගේ දෙයක් අවමංගල්‍යයකදී ශෝක වෙන අයගේ මුවින් බොහෝවිට පිට වෙනවා. ‘ජීවිතය ඉස්සරහට යා යුතු’ බව ඇත්තයි. ජීවිතය කොච්චර වේගයෙන් ගෙවී යනවාද කිව්වොත් දන්නෙම නැතිව අපි වයසට ගිහිල්ලා. අපි වයසට ගියාම මරණය එච්චර දුර තිබෙන දෙයක් නොවෙයි වගේයි අපිට හැඟෙන්නේ. ජීවිත කාලයක් තිස්සේ අප සමඟ ඇසුරු කළ අපේ මිතුරන්, අපේ නෑදෑයන් අපිට අහිමි වීමේ දුක දරාගන්න වෙනවා. හුඟාක් අවමඟුල් උත්සවවලට අපිට සහභාගි වෙන්න සිදු වෙනවා. මහලු වියේ පසු වන බොහෝදෙනෙකුට මරණය ගැන හිතෙන්නේ “මට මේ වගේ දෙයකට කවදා මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ” කියායි.

ලොකුම ප්‍රශ්නය

හැම කෙනෙක්ම පිළිගන්නවා තමන් කවදාහරි මැරෙනවා කියලා. නමුත් මරණයෙන් පස්සේ තමන්ට මොකක්ද වෙන්නේ කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. මේ ගැන බොහෝදෙනෙක් දරන්නේ විවිධ මත. ඇරත් ඒවා එකිනෙකට පරස්පර විරෝධියි. මරණයෙන් පස්සේ වෙන්නේ මොකක්ද කියන එක ගැන හුඟදෙනෙකුට සැකයි. මේ නිසා මේ අය හිතනවා ‘වඩා හොඳයි නොදන්න දේ ගැන වාද නොකර ඉන්න එක’ කියලා. ජීවත් වෙන ටික කාලයේදී කාලා බීලා සැපෙන් ඉන්න ඕනෑ කියායි බොහෝ අය හිතන්නේ.

අනෙක් අතට, මරණය කියන්නේ සෑම දෙයකම අවසානය කියා තවත් අය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මරණයෙන් පස්සේ කෙනෙකුට මොකක්ද වෙන්නේ කියන එක ගැන ඒ අය හරියටම දන්නෙත් නැහැ. සමහරු හිතනවා මරණයෙන් පස්සේ කෙනෙක් කොහේ හරි සතුටින් ජීවත් වෙනවා කියා. තවත් අය සිතන්නේ සමහරවිට වෙනත් කෙනෙකු ලෙස අනාගතයේදී යම් දවසක නැවතත් ඉපදෙනවා කියායි.

“මළවුන් ඉන්නේ කොහේද?” යන ප්‍රශ්නය වියෝ දුකින් පෙළෙන්නන්ගේ සිත් තුළ තිබෙන ප්‍රශ්නයක්. අපි මේ කාරණය එක්තරා සිද්ධියක් ඔස්සේ විමසා බලමු. මීට අවුරුදු කිහිපයට පෙර, එක්තරා පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් ක්‍රීඩා තරඟයකට සහභාගි වීම සඳහා කුඩා බස් රථයකින් ගමන් කරමින් සිටියා. එකපාරටම වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මේ කුඩා බස් රථයේ හැපීම නිසා එය පාරෙන් ඉවතට වීසි වී පෙරලුණා. පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙක් ඉන් මරුමුවට පත් වුණා. මේ එක් ක්‍රීඩකයෙකුගේ මවක් තම පුතාගේ මරණය අසා කොතරම් කම්පාවට පත් වුණාද කිව්වොත් ඇයට ඉන්පසු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැකි වුණේ නැහැ. ඇය නිතරම අහන්නේ ඇගේ පුතා කොහේද කියායි. නිතර නිතර තම පුතාගේ සොහොනට යන ඇය පැය ගණනාවක් තිස්සේ ඔහු සමඟ ශබ්ද නඟා කතා කරනවා. “මට නම් විශ්වාස කරන්න බැහැ මරණයෙන් පස්සේ කිසිම දෙයක් නැහැ කියලා. නමුත් මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා” කියමින් ඇය වැළපෙනවා.

මරණය ගැන අපට තිබෙන ආකල්පය හෙවත් අප ඒ දෙස බලන විදිහ අපේ ජීවිතවලට දැන් බලපෑමක් කරන බව හොඳටම පැහැදිලියි. වියෝ දුක නමැති කටුක අද්දැකීම ලැබූ අය කියන දේවල් දෙස බලද්දී අපට ප්‍රශ්න කිහිපයක් පැනනඟිනවා. ඔබ ඒවාට උත්තර දෙන්නේ කොහොමද කියා සිතා බලන්න. මරණය ගැන අමතක කර දමා අපි සිතිය යුත්තේ ජීවත් වීම ගැන විතරක්ද? මරණය නමැති ඒ භයංකාර සිතිවිල්ලට අපේ ජීවිතවලට බලපෑම් කරන්න ඉඩ දෙනවාද? වියෝ දුකින් පෙළෙන කෙනෙක් මැරුණ අයට මොකද වුණේ කියමින් ඒ ගැන කල්පනා කරමින් ඉන්න ඕනෑද? මරණය යනු අභිරහසක්ද?