Skip to content

පටුනට යන්න

රාජ්‍ය අනුග්‍රහය ලැබූ බයිබලයක්

රාජ්‍ය අනුග්‍රහය ලැබූ බයිබලයක්

රාජ්‍ය අනුග්‍රහය ලැබූ බයිබලයක්

දහසයවන සියවසේ මුල්භාගයේදී ස්පාඤ්ඤයේ සිට ඉතාලිය දක්වා ගමන් කළ නැවක් හදිසියේ ඇති වූ දරුණු කුණාටුවකට හසු වුණා. වටිනා භාණ්ඩ තිබූ මෙම නැව බේරාගන්න නාවිකයන් කොතරම් උත්සාහ දැරුවත් එය මුහුදුබත් වුණා. මේ නැවේ තිබූ වටිනාම දෙය වූයේ 1514 සිට 1517 දක්වා අතර කාලය තුළදී මුද්‍රණය කළ කොම්ප්ලුටෙන්සියන් බහුභාෂා බයිබල් තොගයයි.

මෙම වටිනා බයිබල් තොගය විනාශ වීම නිසා නැවත ඒවා මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවක් මතු වුණා. ක්‍රිස්ටෝෆ් ප්ලාන්ටැන් නමැති දක්ෂ මුද්‍රණ ශිල්පියා මේ භාරදූර කාර්යය භාරගත්තා. එහෙත් ඔහුට ඒ සඳහා ප්‍රමාණවත් මුදල් තිබුණේ නැහැ. ඒ නිසා ඔහු මේ කාර්යයට මුදලින් අනුග්‍රහය දක්වන්න කියා ස්පාඤ්ඤයේ IIවන ෆිලිප් රජුගෙන් ඉල්ලා සිටියා. රජු මේ ගැන තීරණයක් ගන්න කලින් ස්පාඤ්ඤයේ විශාරදයන් බොහෝදෙනෙකුගෙන් අදහස් විමසුවා. මොවුන් අතර සිටි ප්‍රසිද්ධ බයිබල් විශාරදයෙක් වන බෙනිතෝ ආර්යාස් මොන්තානෝ රජුට මෙසේ කිව්වා. “ඔබ මේ කාර්යයට අනුග්‍රහය දැක්වුවොත් එයින් දෙවිට සහ කතෝලික සභාවට සේවයක් වෙනවා විතරක් නෙවෙයි ඔබේ නමටද මහත් කීර්තියක් අත් වෙනවා.”

කොම්ප්ලුටෙන්සියන් බහුභාෂා බයිබලය නැවත සංස්කරණය කළොත් එය සුවිශේෂි ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වෙයි කියා සිතූ රජු මුද්‍රණ ශිල්පී ප්ලාන්ටැන්ට එම කාර්යය කිරීමට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. රජු මේ බයිබලයට අනුග්‍රහය ලබා දුන් නිසා එය රාජකීය බයිබලය කියාද, එය මුද්‍රණය කළේ ස්පාඤ්ඤය අධිරාජ්‍යය යටතේ තිබූ බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයේ නිසා එය ඇන්ට්වර්ප් බයිබලය කියාද හඳුන්වනු ලබනවා.

ෆිලිප් රජු මේ බයිබලය ගැන මොන තරම් උනන්දුවක් දැක්වූවාද කියනවා නම් හැම පිටුවකම හරි වැරදි බැලීම සඳහා ඒවා තමන් වෙත එවන්න කියා පැවසුවා. ඒත් ඇන්ට්වර්ප්හි සිට ස්පාඤ්ඤයට එම පිටපත් යවා හරි වැරදි බලා නැවත ගෙන්වා ගැනීමට සෑහෙන කාලයක් ගත වන නිසා ප්ලාන්ටැන් එම අදහසට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ නිසා රජුට කියවීමට අවස්ථාව ලැබුණේ මුල් පිටු කිහිපය පමණයි. මේ අතර කාලයේදී ඉතිරි පිටුවල හරි වැරදි බැලීම සඳහා බෙල්ජියමේ ලූවාන් නගරයේ මහචාර්යවරුන් තුන්දෙනෙකුගේ සහ ප්ලාන්ටැන්ගේ දියණියගේ සහයෝගය මොන්තානෝ ලබාගත්තා.

දෙවිගේ වචනයට ඇලුම් කරන්නෙක්

කා සමඟත් පෑහී කටයුතු කිරීමේ හැකියාව මොන්තානෝට තිබූ නිසා ඇන්ට්වර්ප්හි විශාරදයන් සමඟ වැඩ කිරීම ඔහුට එතරම් අපහසු කාර්යයක් වුණේ නැහැ. ඔහුගේ මේ ගුණාංගය ප්ලාන්ටැන් හුඟාක් අගය කළා. මොවුන් දෙදෙනා අතර මොන තරම් හොඳ මිත්ත්‍රත්වයක් තිබුණාද කියනවා නම් එම මිත්‍රත්වය ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා තිබුණා. මොන්තානෝ කැපීපෙනෙන පුද්ගලයෙක් වීමට ඔහු රැස් කරගත් දැනුම් සම්භාරය පමණක් නොවෙයි දේවවචනයට ඔහු දැක්වූ ඇල්මද හේතු වුණා. * තරුණ වියේ පසු වූ ඔහු අධ්‍යාපන කටයුතුවල මහත් උනන්දුවෙන් නිරත වූයේ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම සඳහා එම දැනුම යොදාගැනීමට තිබූ ආශාව නිසයි.

ආර්යාස් මොන්තානෝගේ මතය වුණේ බයිබලය පදගතාර්ථයෙන්ම පරිවර්තනය කළ යුතු බවයි. “ක්‍රිස්තුස්ගේ පණිවිඩය මුල් භාෂාවලින් තිබූ ආකාරයටම ජනයාට දැනුම් දෙන්න” කියා ඉරැස්මස් විද්වතුන්ගෙන් කළ ඉල්ලීම මොන්තානෝද ඉටු කළා. මේ නිසා දෙවිගේ වචනය මුල් භාෂාවෙන් තිබූ විදිහටම පාඨකයාට කියවන්න අවස්ථාවක් ලබා දීමට මොන්තානෝ සෑම උත්සාහයක්ම දැරුවා. ඒ කාලය වන විට සියවස් ගණනාවක් පුරා භාවිත කරමින් තිබූ ලතින් භාෂාවට පරිවර්තනය කළ බයිබලය කියවා තේරුම්ගැනීමට මිනිසුන්ට නොහැකි වුණා.

මෙම කෘතියේ ලක්ෂණ

අල්ෆෝන්සෝ සමෝරා විසින් සංස්කරණය කර මුද්‍රණය සඳහා සූදානම් කර තිබූ කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලයේ අත්පිටපත් සියල්ලම ආර්යාස් මොන්තානෝගේ අතට පත් වුණා. ඔහු මේ පිටපත් රාජකීය බයිබලය පිළියෙල කිරීමේදී ප්‍රයෝජනයට ගත්තා. *

රාජකීය බයිබලය කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලයේ දෙවන සංස්කරණයක් ලෙස එළිදැක්වීමට මුලින්ම සැලසුම් කළත් පසුව මෙයට තවත් තොරතුරු ඇතුළත් කළා. සෙප්ටුඅජින්ට් බයිබල් පරිවර්තනයේ අඩංගු හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලි රාජකීය බයිබලයට රැගෙන තිබෙන්නේ කොම්ප්ලුටෙන්සියන් බයිබලයෙන්. ඊට අමතරව තවත් ලියවිලිද විස්තරාත්මක උපග්‍රන්ථයක්ද මෙයට ඇතුළත් කර තිබෙනවා. අවසානයේදී මෙම රාජකීය බහු භාෂා බයිබලය වෙළුම් අටකින් සමන්විත වුණා. වර්ෂ 1568දී පටන්ගත් මුද්‍රණ කටයුතු අවසන් වූයේ 1572දීයි. මේ අවුරුදු පහ ඇතුළත පිටපත් 1,213ක් මුද්‍රණය කිරීමට හැකි වුණා. මෙහි සංකීර්ණත්වය දෙස බලද්දී එය එතරම් දිගු කාලයක් නොවෙයි.

වර්ෂ 1517දී සම්පූර්ණ කරන ලද කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය “මුද්‍රණ කලාවේ සුවිශේෂි කෘතියක්” ලෙස සලකනු ලැබුවා. එහෙත් රාජකීය බයිබලයේ අන්තර්ගතය හා එහි නිමාව දෙස බලද්දී මෙය කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලයට වඩා උසස් කෘතියක් ලෙස සැලකිය හැකියි. රාජකීය බයිබලයට මුද්‍රණ ඉතිහාසයේ සුවිශේෂි තැනක් හිමි වන අතර එය වෙනත් බයිබල් පරිවර්තනය කිරීම සඳහා යොදාගත හැකි මූලාශ්‍රයක්ද වී තිබෙනවා.

රාජකීය බයිබලයට එල්ල වූ විරුද්ධවාදීකම්

බයිබලය විශ්වාසවන්තව පරිවර්තනය කළ සෑම අවස්ථාවකදීම වගේ ඊට විරුද්ධ වූ අය සිටියා. ඒ නිසා රාජකීය බහු භාෂා බයිබලයටද විරුද්ධවාදීකම් එල්ල වීම ගැන පුදුම විය යුතු නැහැ. රාජකීය බයිබලයට පාප්ගේ අනුමැතිය ලැබී තිබුණා. මේ බයිබලය සම්පාදනය කළ ආර්යාස් මොන්තානෝ ගෞරවයට පාත්‍ර වූ ප්‍රසිද්ධ විශාරදයෙක්. ඒ වුණත් ඔහුව ධර්ම විරෝධීන් සඳහා පැවැත්වූ අධිකරණයට කැඳවනු ලැබුවා. ඒ වන විට සියවස් ගණනාවකට කලින් පරිවර්තනය කර තිබූ වල්ගේට් පරිවර්තනය සැලකුවේ මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක ලියවිලිවල නිවැරදි පරිවර්තනය හැටියටයි. මොන්තානෝ එම පරිවර්තනය යොදාගන්නවා වෙනුවට සාන්තේස් පාන්යිනෝ විසින් අලුතින් කළ ලතින් පරිවර්තනය යොදාගැනීම ගැන ඔහුට චෝදනා කළා. තවද නිවැරදි බයිබල් පරිවර්තනයක් කිරීම සඳහා තමන්ගේ කැමැත්තට අනුව මුල් භාෂාවලින් තිබූ බයිබල් පිටපත් සොයා බැලීම ගැනත් මොන්තානෝට චෝදනා කළා. ඔවුන් එය සැලකුවේ ධර්ම විරෝධී ක්‍රියාවක් ලෙසයි.

“ෆිලිප් රජ එම බයිබලයට අනුග්‍රහය දැක්වුවත් එයින් ඔහුට එතරම් ගෞරවයක් ලැබුණේ නැහැ” කියාද එම අධිකරණය කියා සිටියා. නිල වශයෙන් පිළිගෙන තිබූ වල්ගේට් බයිබලයට මොන්තානෝ වැදගත් තැනක් නොදීම ගැනද ඔවුන් සිය අප්‍රසාදය පළ කළා. නමුත් ඔවුන්ගේ මෙම චෝදනාවලට කිසිම පදනමක් තිබුණේ නැහැ. ඒ නිසා අවසානයේදී මෙම රාජකීය බයිබලය බොහෝදෙනෙකු විසින් පිළිගනු ලැබුවා. එමෙන්ම පිළිගත් කෘතියක් හැටියට බොහෝ විශ්වවිද්‍යාලවලද එය තබා තිබෙනවා.

වෙනත් බයිබල් පරිවර්තන සඳහා දායක වූ කෘතියක්

මෙම රාජකීය බයිබලය මහජනයා අතර එතරම් ප්‍රසිද්ධ නොවුණත් බයිබල් පරිවර්තකයන්ට මෙය මහත් උපකාරයක් වුණා. කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය මෙන් මේ බයිබලය සම්පාදනය කිරීමේදීද යොදාගත් ලියවිලිවල අදහස් සංශෝධනය කළා. මුල් භාෂාවල තිබූ අදහස් හොඳින් තේරුම්ගැනීමට පරිවර්තකයන්ට මේ බයිබලය උපකාරවත් වුණා. බයිබලය යුරෝපයේ ප්‍රධාන භාෂාවලට පරිවර්තනය කිරීමේදීත් මේ බයිබලය බොහෝ සේ ප්‍රයෝජනවත් වුණා. උදාහරණයක් හැටියට වර්ෂ 1611දී පළ කළ කිං ජේම්ස් වර්ෂන් නමැති බයිබලය පරිවර්තනය කළ අයට පුරාණයේ භාවිත වූ භාෂා නිවැරදිව තේරුම්ගැනීමට මෙය උපකාරවත් වූ බව එක් ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන් වෙනවා. (The Cambridge History of the Bible) තවද 17වන සියවසේදී ප්‍රකාශයට පත් කළ බහු භාෂා බයිබල් දෙකක් සම්පාදනය කිරීමේදීද මෙම රාජකීය බයිබලය මහත් පිටිවහලක් වුණා.—“බහු භාෂා බයිබල්” නමැති කොටුව බලන්න.

ග්‍රීක ශුද්ධ ලියවිලිවල සිරියැක් අනුවාදය මුල් වතාවට යුරෝපීය විශාරදයන්ට ලබාගැනීමට අවස්ථාව උදා වුණේ රාජකීය බයිබලය නිසයි. මෙය එහි තවත් විශේෂ ලක්ෂණයක්. පදගතාර්ථයෙන් කළ ලතින් පරිවර්තනය සමඟ සිරියැක් පරිවර්තනයද එහි ඇතුළත් වී තිබුණා. ක්‍රිස්තියානීන් ග්‍රීක ලියවිලිවල පැරණිතම පරිවර්තනයක් වන සිරියැක් අනුවාදය රාජකීය බයිබලයට ඇතුළත් කර තිබීම විශාරදයන්ට ප්‍රයෝජනවත් වුණා. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී පිළියෙල කරන ලද මෙම සිරියැක් අනුවාදය පදනම් වී තිබුණේ ක්‍රි.ව. දෙවන සියවසේ සම්පාදනය කළ අත්පිටපත් මතයි. එක් විශ්වකෝෂයක (The International Standard Bible Encyclopedia) මෙසේ සඳහන් වෙනවා. “බයිබල් පිටපත්වල නිරවද්‍යතාව ඇගයීමට [සිරියැක්] පෙෂිට්ටා අනුවාදය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වූ බව පොදුවේ පිළිගනු ලබනවා. මෙය පැරණිතම අනුවාදයක් නිසා පුරාණයේදී භාවිත කළ භාෂා රීති පිළිබඳ වැදගත්ම කරුණුද එයින් සොයාගත හැකියි.”

මුලින් සඳහන් ආකාරයට කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය මුහුදුබත් වුණා. ඒ විතරක් නොවෙයි, එය යළි සංස්කරණය කිරීමේදී ස්පාඤ්ඤයේ තිබූ ධර්ම විරෝධීන් සඳහා පැවැත්වූ අධිකරණය එයට විරුද්ධවාදිකම් එල්ල කළා. එහෙත් එය වැඩි දියුණු කර රාජකීය බයිබලය ලෙස 1572දී එළිදැක්වූවා. දෙවිගේ වචනය ආරක්ෂා කිරීමට අවංක මිනිසුන් මහත් වෑයම් දැරූ බවට මෙම බහුභාෂා බයිබලය තවත් සාක්ෂියක්.

මෙලෙස කැප වී වැඩ කළ බයිබල් පරිවර්තකයන් දැන සිටියත් නැතත් අනාගතවක්තෘ යෙසායා අවුරුදු තුන්දාහකට කලින් පැවසූ වදන්වල සත්‍යතාව ඔවුන්ගේ වෑයම්වලින් තහවුරු වෙනවා. “තණකොළ වියලෙයි; මල පරවේ; එහෙත් අපේ දෙවිගේ වචනය සදාකල් පවතින්නේය.”—යෙසායා 40:8.

[පාදසටහන්වල]

^ 7 ඡේ. රාජකීය බහු භාෂා බයිබලය ලිවීමට යොදාගත් අරාබි, ග්‍රීක, හෙබ්‍රෙව්, ලතින් සහ සිරියැක් යන ප්‍රධාන භාෂා පහ පිළිබඳ ඔහුට හසළ දැනුමක් තිබුණා. ඒ වගේම ඔහුට පුරා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ස්වභාවික විද්‍යාව, දේවධර්මය වැනි විෂයන් ගැනත් හොඳ දැනුමක් තිබුණා. බයිබලයේ උපග්‍රන්ථය සකස් කිරීමේදී ඔහුගේ මෙම දැනුම වඩාත් ප්‍රයෝජනවත් වුණා.

^ 10 ඡේ. කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා 2004 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපය බලන්න.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අපේ දෙවිගේ වචනය සදාකල් පවතින්නේය”

[12වන පිටුවේ කොටුව⁄පින්තූර]

බහු භාෂා බයිබල්

“බහු භාෂා බයිබලයක් කියන්නේ විවිධ භාෂා කිහිපයකින් යුත් අනුවාද කිහිපයක් එකට එකතු කර සකස් කර තිබෙන බයිබලයකටයි” කියා පැහැදිලි කරන ස්පාඤ්ඤයේ ෆෙඩරිකෝ පරාත් කැස්ට්‍රෝ මෙසේද සඳහන් කරනවා. “මුල්ම කාලයේදී එයින් අදහස් කළේ බයිබලය ලිවීමට යොදාගත් මුල් භාෂාවලින් තිබෙන ශුද්ධ ලියවිලි පිටපත් ඇතුළත් කර සකස් කළ බයිබලයක්. මේ අර්ථයෙන් බලන කල බහුභාෂා බයිබලයට ඇතුළත් වන්නේ භාෂා අතලොස්සක් පමණයි.”

1. කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලය: (1514-17) කාදිනල් තිස්නිරොස්ගේ අනුග්‍රහය යටතේ මෙම බයිබලය මුද්‍රණය කළේ ස්පාඤ්ඤයේ ඇල්කාලා ඩී තනාරස් නම් නගරයේයි. වෙළුම් හයකින් යුත් මේ බයිබලය හෙබ්‍රෙව්, ග්‍රීක, ඇරමයික් හා ලතින් යන භාෂා හතරින් සමන්විතයි. දහසයවන සියවසේ සිටි පරිවර්තකයන් හෙබ්‍රෙව් ඇරමයික් ලියවිලි වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම සඳහා මෙය මූලාශ්‍රයක් ලෙස යොදාගත්තා.

2. රාජකීය බහු භාෂා බයිබලය: (1568-72) කොම්ප්ලුටෙන්සියන් බයිබලය සහ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල සිරියැක් පෙෂිට්ටා අනුවාදයත් ජොනතන්ගේ ඇරමයික් ටාගුම් අනුවාදයත් එකතු කර මෙය සංස්කරණය කරන ලද්දේ බෙනිතෝ ආර්යාස් මොන්තානෝ විසිනුයි. වචන ශබ්ද කළ යුතු ආකාරය දක්වන ලකුණු ආදියෙන් සමන්විත මෙහි හෙබ්‍රෙව් පිටපත, ජේකබ් බෙන් හායින් පිළියෙල කළ හෙබ්‍රෙව් පිටපතට අනුව සංශෝධනය කරනු ලැබුවා. බයිබල් පරිවර්තකයන් හෙබ්‍රෙව් ලියවිල්ල පරිවර්තනය කිරීමේදී එය සම්මත පිටපත හැටියට යොදාගත්තා.

3. පැරිස් බහු භාෂා බයිබලය: (1629-45) ප්‍රංශ ජාතික නිතීඥයෙකු වූ ගයි මෙෂෙල් ලේ ජේගේ අනුග්‍රහය ලැබූ මෙම බයිබලයේ සමරිතානු හා අරාබි භාෂාවෙන් කරන ලද ලියවිලි කිහිපයක් අඩංගු වුවත් මෙය සකස් කිරීමට යොදාගත්තේ රාජකීය බයිබලයයි.

4. ලන්ඩන් බහු භාෂා බයිබලය: (1655-57) බ්‍රයන් වෝල්ටන් විසින් සංස්කරණය කරන ලද මෙම බයිබලයට පදනම සැපයුවේ රාජකීය බයිබලයයි. මෙම බහු භාෂා බයිබලයට ඉතියෝපියානු හා පර්සියානු භාෂාවෙන් කරන ලද බයිබල් පරිවර්තන ඇතුළත් කර තිබෙනවා. එහෙත් මේ බයිබල් පාඨ තේරුම්ගැනීමට තරම් පැහැදිලි පරිවර්තන නෙවෙයි.

[හිමිකම් විස්තර]

බැනරය සහ රාජකීය බයිබල් (පහළින් තිබෙන): Biblioteca Histórica. Universidad Complutense de Madrid; රාජකීය බයිබලය (ඉහළ): Museum Plantin-Moretus/Stedelijk Prentenkabinet Antwerpen අනුග්‍රහයෙනි; ලන්ඩන් බහුභාෂා බයිබලය: The Walton Polyglot Bible, IIIවන කාණ්ඩයෙන් ගන්නා ලදි, 1655-1657

[9වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ IIවන ෆිලිප් රජු

[හිමිකම් විස්තර]

II වන ෆිලිප් රජු: Biblioteca Nacional, Madrid

[10වන පිටුවේ පින්තූරය]

ආර්යාස් මොන්තානෝ

[හිමිකම් විස්තර]

මොන්තානෝ: Biblioteca Histórica. Universidad Complutense de Madrid

[10වන පිටුවේ පින්තූරය]

බෙල්ජියමේ ඇන්ට්වර්ප්හි පිහිටි මුල්ම මුද්‍රණාල

[හිමිකම් විස්තර]

මුල් පිටුව සහ ප්ලාන්ටැන්: Museum Plantin-Moretus/Stedelijk Prentenkabinet Antwerpen අනුග්‍රහයෙනි

[11වන පිටුවේ පින්තූර]

වම: ක්‍රිස්ටෝෆ් ප්ලාන්ටැන් සහ රාජකීය බයිබලයේ මුල් පිටුව

[හිමිකම් විස්තර]

මුල් පිටුව සහ ප්ලාන්ටැන්: Museum Plantin-Moretus/Stedelijk Prentenkabinet Antwerpen අනුග්‍රහයෙනි

[11වන පිටුවේ පින්තූරය]

ඉහළ: තීරු හතරකින් යුත් නික්මයාම 15වන පරිච්ඡේදය

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

මුල් පිටුව සහ ප්ලාන්ටැන්: Museum Plantin-Moretus/Stedelijk Prentenkabinet Antwerpen අනුග්‍රහයෙනි

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

Biblioteca Histórica. Universidad Complutense de Madrid