Skip to content

පටුනට යන්න

සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් වූ නීතියක්

සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් වූ නීතියක්

සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් වූ නීතියක්

“මම මාගේ ව්‍යවස්ථාව [නීතිය] ඔවුන් තුළ තබා ඔවුන්ගේ සිතේ ලියන්නෙමි.”—යෙරෙමියා 31:33.

1, 2. (අ) මේ ලිපියේදී සලකා බලන්නේ කුමක් ගැනද? (ආ) යෙහෝවා සීනයි කන්දේ පෙනී සිටි අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද?

මෝසෙස් සීනයි කන්දෙන් බැස එද්දී ඔහුගේ මුහුණින් යෙහෝවාගේ තේජස පිළිබිඹු වූ බව අපි කලින් ලිපි දෙකේදී දැනගත්තා. සමහර අවස්ථාවලදී මෝසෙස් තමාගේ මුහුණ වැස්මකින් වසාගත්තේ ඇයි කියාත් අපි සාකච්ඡා කළා. මේ ලිපියේදී අපි සලකා බලන්නේ අද සිටින ක්‍රිස්තියානීන්ට අදාළ වන මේ සිදුවීම් හා සම්බන්ධ තවත් කාරණයක් ගැනයි.

2 මෝසෙස් සීනයි කන්දේ සිටිද්දී යෙහෝවා ඔහුට උපදෙස් දුන්නා. කන්ද පාමුල සිටි ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි යෙහෝවා පෙනී සිටි බව ඒ අවස්ථාවේදී සිදු වූ දෙයින් ඔවුන් තේරුම්ගත්තා. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ගිගුරුම්ද විදුලිද කන්ද පිට ගන වලාකුළක්ද අතිශයෙන් මහත් හොරණෑ ශබ්දයක්ද විය. කඳවුරෙහි සිටිය මුළු සෙනඟද වෙවුලුවෝය. . . . යෙහෝවා සීනයි කන්දට ගින්නෙන් බැස්සේය. එබැවින් කන්ද මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. ඒ ධූමය උදුනෙහි ධූමයක් මෙන් නැංගේය. මුළු කන්ද මහත් ලෙස කම්පා විය.”—නික්මයාම 19:16-18.

3. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දසපනත දුන්නේ කොහොමද? සෙනඟ තේරුම්ගත්තේ කුමක්ද?

3 යෙහෝවා දේවදූතයෙක් මාර්ගයෙන් සෙනඟට කතා කර දසපනත දුන්නා. (නික්මයාම 20:1-17) මේ පනත් ඔවුන්ට දුන්නේ සර්වපරාක්‍රම දෙවි බවට ඔවුන්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. මෝසෙස් දසපනත රැගෙන කන්දෙන් බැස එද්දී සෙනඟ රන් වස්සෙකුට නමස්කාර කරනවා දැක ඔහුගේ අතේ තිබූ ගල් ලෑලි දෙක පොළොවේ ගැසුවා. පසුව යෙහෝවා එම නීති නැවත වතාවක් ගල් ලෑලි දෙකක ලියා මෝසෙස්ට දුන්නා. මේ වතාවේදී මෝසෙස් ගල් ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස එද්දී ඔහුගේ මුහුණින් තේජසක් නිකුත් වෙනවා සෙනඟ දුටුවා. මේ නිසා එම නීතිවල මහත් වැදගත්කමක් තිබෙන බව ඔවුන් තේරුම්ගත්තා.—නික්මයාම 32:15-19; 34:1, 4, 29, 30.

4. දසපනත මහත් වැදගත්කමක් තිබූ නීති මාලාවක් වුණේ ඇයි?

4 දසපනත සඳහන් වූ ගල් ලෑලි දෙක ගිවිසුම් පෙට්ටියේ දමා එය අතිශුද්ධස්ථානයේ තැබුවා. මෝසෙස්ගේ නීතික ගිවිසුමේ මූලික ප්‍රතිපත්ති දසපනතේ සඳහන් වුණා. එමෙන්ම දෙවි ඊශ්‍රායෙල් ජාතිය පාලනය කිරීමට යොදාගත්තේ ඒ නීති මාලාවයි. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා විසින් තෝරාගනු ලැබූ සෙනඟක් බවත් එම නීතිවලින් පෙනී ගියා.

5. දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති මාලාවෙන් ඔහුගේ ප්‍රේමය පිළිබිඹු වුණේ කොහොමද?

5 එම නීතිවලින් යෙහෝවා දෙවි ගැන බොහෝ දේවල්, විශේෂයෙන්ම ඔහු සිය සෙනඟට පෙන්වූ ප්‍රේමය දැනගත හැකි වුණා. එම නීතිවලට කීකරු වූ අයට එය අනර්ඝ තෑග්ගක් හා සමාන වුණා. දසපනත මිනිසුන් විසින් සාදා තිබෙන කිසිම නීති මාලාවකට වඩා ශ්‍රේෂ්ඨයි කියා එක් විශාරදයෙක් පැවසුවා. තමන් මෝසෙස්ට දුන් නීතිය ගැන යෙහෝවා ඔහුට පැවසුවේ මෙසේයි. “ඔබ සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහු නම් සියලු සෙනඟ අතරෙන් මට විශිෂ්ට වස්තුවක් වන්නහුය; මක්නිසාද මුළු පොළොව මාගේය; ඔබද මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.”—නික්මයාම 19:5, 6.

සිත්වල ලියූ නීතියක්

6. ගල් ලෑලිවල ලියූ නීතිවලට වඩා වැදගත් වන්නේ කුමන නීතියද?

6 පුරාණයේ ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිවල මහත් වැදගත්කමක් තිබූ බව ඇත්තයි. ඒත් ගල් ලෑලිවල ලියූ නීතිවලට වඩා මහත් වටිනාකමක් තිබෙන දෙයක් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට තිබෙනවා. යෙහෝවා ඊශ්‍රායෙල් ජාතිය සමඟ ඇති කරගෙන තිබූ නීතික ගිවිසුමට වඩා වැදගත්කමක් තිබෙන අලුත් ගිවිසුමක් ඔවුන් සමඟ ඇති කරගන්න බව කලින් පවසා තිබුණා. මේ ගැන මෙසේ සඳහන් වෙනවා. “මම මාගේ ව්‍යවස්ථාව [නීතිය] ඔවුන් තුළ තබා ඔවුන්ගේ සිතේ ලියන්නෙමි.” (යෙරෙමියා 31:31-34) මෙම අලුත් ගිවිසුමේ මැදිහත්කරු වන යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ලිඛිතව නීති මාලාවක් දුන්නේ නැහැ. ඔහු යෙහෝවාගේ නීති සිය ගෝලයන්ගේ සිත්වලට කාවැද්දුවේ ඔහු ඉගැන්වූ දේවලින් හා ඔහුගේ ආදර්ශයෙනුයි. “ක්‍රිස්තුස්ගේ නීතිය” කියා හඳුන්වන්නේ එයයි.—ගලාති 6:2.

7. “ක්‍රිස්තුස්ගේ නීතිය” මුලින්ම දුන්නේ කාටද? පසු කාලයක එම නීතියට යටත් වීමට කැමති වුණේ කවුද?

7 “ක්‍රිස්තුස්ගේ නීතිය” දුන්නේ යාකොබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල්වරුන්ට නොව දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වන ‘දෙවිගේ ඊශ්‍රායෙල්වරුන්ටයි.’ (ගලාති 6:16; රෝම 2:28, 29) දෙවිගේ ඊශ්‍රායෙල්වරුන් කියා හඳුන්වන්නේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි. පසු කාලයකදී සියලු ජාතීන්ගෙන් සමන්විත ‘මහත් සමූහයක්ද’ යෙහෝවාට නමස්කාර කිරීමට ඔවුන්ට එකතු වුණා. (එළිදරව් 7:9, 10; සෙකරියා 8:23) මෙම කණ්ඩායම් දෙකම “එක එඬේරෙකු” යටතේ සිටින “එක රැළක්” වගේ දෙවිට සේවය කරනවා. ඔවුන් ජීවිතයේ සෑම කාරණයකදීම “ක්‍රිස්තුස්ගේ නීතිය” පිළිපදිනවා.—යොහන් 10:16.

8. දෙවි මෝසෙස්ට දුන් නීතිය හා ක්‍රිස්තුස්ගේ නීතිය අතර තිබූ වෙනස කුමක්ද?

8 දෙවි මෝසෙස්ට දුන් නීතියට පුරාණ ඊශ්‍රායෙල්වරුන් බැඳී සිටියේ උපතින්මයි. ඒත් ක්‍රිස්තුස්ගේ නීතිය යටතේ සිටින ක්‍රිස්තියානීන් එයට කීකරු වන්නේ තම කැමැත්තෙන්මයි. දෙවිගේ නීතිය තිබෙන්නේ ‘ඔවුන්ගේ සිත්වලයි.’ එනිසා අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දෙවිට කීකරු වෙන්නේ අකීකරු වුණොත් දෙවි තමන්ට දඬුවම් කරයි කියා තිබෙන බිය නිසා හෝ නිකම්ම යුතුකමක් හැටියට නොවෙයි. ඔවුන් යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහුගේ කැමැත්ත කරන්නේ මහත් ආශාවකින්. ඔවුන් දෙවිගේ නීතියට කීකරු වෙන්නේ ප්‍රබල හේතුවක් නිසයි. මේ හේතුව ගැන ඊළඟ ඡේදවලදී සලකා බලනවා. ඔවුන් හා සමානව වෙනත් බැටළුවන්ද දෙවිගේ නීතියට කීකරු වෙන්නේ එය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන නිසයි.

ප්‍රේමය මත පදනම් වූ නීති

9. යෙහෝවාගේ නීති පදනම් වන්නේ ප්‍රේමය මත බව යේසුස් පෙන්නුම් කළේ කොහොමද?

9 යෙහෝවාගේ සියලුම නීති පදනම් වී තිබෙන්නේ ප්‍රේමය මතයි. එදා මෙන් සැමදාමත් දෙවිට කරන නමස්කාරයේ අතිවැදගත් තැනක් හිමි වන්නේ ප්‍රේමයටයි. නීතියේ සඳහන් උතුම්ම ආඥාව කුමක්ද කියා අසනු ලැබූ අවස්ථාවේදී යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කරන්න.” ඔහු දුන් දෙවන ආඥාව මෙයයි. “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.” ඉන්පසු ඔහු මෙසේ පැවසුවා. “මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී.” (මතෙව් 22:35-40) යේසුස් මෙයින් පැහැදිලි කළේ දසපනත පමණක් නොවෙයි, මුළු හෙබ්‍රෙව් ලියවිල්ලම ප්‍රේමය මත පදනම් වී තිබෙන බවයි.

10. ක්‍රිස්තුස්ගේ නීතිය පදනම් වන්නේ ප්‍රේමය මත බව අපි දන්නේ කොහොමද?

10 ක්‍රිස්තියානීන්ගේ සිත්වල ලියා තිබෙන නීතිය පදනම් වන්නේ දෙවිට සහ අසල්වැසියාට පෙන්වන ප්‍රේමය මතයි. ක්‍රිස්තුස්ගේ නීතිය පිළිපදින කෙනෙක් ඔහු වගේ මුළු සිතින්ම යෙහෝවාට ප්‍රේම කළ යුතුයි. එමෙන්ම යේසුස් දුන් අලුත් ආඥාවට අනුව ඔහු වගේ අන් අයට ප්‍රේම කිරීමත් අවශ්‍යයි. ඔහු අන් අය වෙනුවෙන් තමාගේ ජීවිතය පවා පූජා කළා. සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ප්‍රධාන ලක්ෂණයක් වන්නේද මෙම අලුත් ආඥාවයි. (යොහන් 13:34, 35; 15:12, 13) තමන්ගේ සතුරන්ට පවා ප්‍රේම කරන්න කියා ඔහු සිය ගෝලයන්ට පැවසුවා.—මතෙව් 5:44.

11. යේසුස් දෙවිට මෙන්ම මිනිසුන්ට ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

11 ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ යේසුස් ක්‍රිස්තුස්. ස්වර්ගයේ උසස් පුද්ගලයෙක් ලෙස භුක්ති විඳි තත්වය අත්හැර දමා ඔහු සිය පියාගේ කැමැත්ත කිරීමට පොළොවට පැමිණියා. ඔහු මිනිසුන්ට කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔවුන්ට සදාකාල ජීවනයේ මාර්ගය විවෘත කර දීම සඳහා ඔහු තම ජීවිතය ඔවුන් වෙනුවෙන් දුන්නා. ඒ විතරක් නෙවෙයි ජීවත් විය යුතු ආකාරය ගැනත් ඔවුන්ට කියා දුන්නා. ඔහු ක්‍රියා කළ ආකාරයෙන් ඔහු නිහතමානී, කරුණාවන්ත හා අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන කෙනෙක් බව පෙනෙන්න තිබුණා. තවද ඔහු දුක් පීඩා විඳි ජනයාට උදව් උපකාර කළා. ඔහු වෙහෙස නොබලා “සදාකාල ජීවනයේ වචන” ජනයාට පවසමින් යෙහෝවා ගැන දැනගැනීමට ඔවුන්ට උපකාර කළා.—යොහන් 6:68.

12. දෙවිට සහ අසල්වැසියාට ප්‍රේමය පෙන්වීම අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙන බව අප පවසන්නේ ඇයි?

12 දෙවිට සහ අසල්වැසියාට ප්‍රේමය පෙන්වීම අතර තිබෙන්නේ ඉතා කිට්ටු සම්බන්ධතාවක්. මේ ගැන යොහන් මෙසේ විස්තර කළා. “ප්‍රේමය දෙවිගෙන්ය. . . . යමෙක් ‘මම දෙවිට ප්‍රේම කරමි’ යි කියමින් තමාගේ සහෝදරයාට වෛර කරන්නේ නම්, ඔහු බොරුකාරයෙකි. මන්ද, තමන් දුටු සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, තමන් නුදුටු දෙවිට ප්‍රේම කළ නොහැක.” (1 යොහන් 4:7, 20) යෙහෝවා ප්‍රේමයේ උල්පත මෙන්ම ප්‍රේමය පෙන්වීමේ හොඳම ආදර්ශයයි. ඔහු සෑම දෙයක්ම කරන්නේ ප්‍රේමය නිසයි. අප තුළ ප්‍රේමය ඇති වන්නේ අපව දෙවිගේ ස්වරූපයෙන් මවා තිබෙන නිසයි. (උත්පත්ති 1:27) අසල්වැසියන්ට ප්‍රේමය පෙන්වීමෙන් අප විදහාපෙන්වන්නේ අප දෙවිට ප්‍රේම කරන බවයි.

ප්‍රේමය පෙන්වන්නේ කීකරු වීමෙනුයි

13. අපි දෙවිට ප්‍රේම කරන්න නම් අප මුලින්ම කුමක් කළ යුතුද?

13 නොපෙනෙන දෙවිට ප්‍රේම කරන්න පුළුවන් කොහොමද? අඳුරන්නේ නැති කෙනෙකුට ප්‍රේම කරන්න අපට බැහැ. ඒ වගේම එවැනි කෙනෙකුව විශ්වාස කරන්නත් බැහැ. ඒ නිසා අප යමෙකුට ප්‍රේම කරන්න නම් කළ යුතු මුල්ම දේ වන්නේ ඔහුව දැන හඳුනා ගැනීමයි. අපි දෙවිව දැන හඳුනා ගන්නේ කොහොමද? මේ සඳහා බයිබලය කියවීමටත්, යාච්ඤා කිරීමටත්, දෙවිව දැන හඳුනා ගෙන ඔහුට ප්‍රේම කරන අයව ඇසුරු කිරීමටත් දේවවචනයේ අපව දිරිගන්වා තිබෙනවා. (ගීතාවලිය 1:1, 2; ෆිලිප්පි 4:6; හෙබ්‍රෙව් 10:25) යේසුස් මේ පොළොවේ සිටිය කාලයේදී යෙහෝවාගේ ගුණාංග කදිම ලෙස පිළිබිඹු කළා. මේ ගැන ශුභාරංචි පොත් හතර අධ්‍යයනය කිරීමෙන් අපට දැනගන්න පුළුවන්. මෙසේ අපි දෙවිව දැන හඳුනා ගනිමින් ඔහු අපට පෙන්වූ ප්‍රේමය අගය කරන විට ඔහුට කීකරු වීමටත් ඔහුගේ ගුණාංග විදහාපෙන්වීමටත් වූ අපේ ආශාව තව තවත් වැඩි වෙනවා නිසැකයි. දෙවිට ප්‍රේම කරනවා කියන්නේ අපි ඔහුට කීකරු වෙනවා යන්නයි.

14. දෙවිගේ ආඥා බරක් නොවෙයි කියා පැවසිය හැක්කේ ඇයි?

14 අපි යම් කෙනෙකුට ප්‍රේම කරද්දී ඒ කෙනා කැමති අකමැති දේවල් දැනගෙන ඊට එකඟව ක්‍රියා කරනවා. අපි මෙසේ කරන්නේ ඒ කෙනාව දුකට පත් කරන්න අපි කැමති නැති නිසයි. දෙවිට ප්‍රේම කරද්දීත් අපි මෙය සැලකිල්ලට ගැනීම වැදගත්. ‘දෙවිට ප්‍රේම කරනවා කියන්නේ අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීම’ බවත් ‘ඔහුගේ ආඥා බරක් නොවන’ බවත් යොහන් පැවසුවා. (1 යොහන් 5:3) දෙවි අප මත බරක් පැටවෙන ආකාරයෙන් ආඥා රාශියක් දී නැහැ. අප කරන සෑම දෙයකටම මඟ පෙන්වීමට නීති මාලාවක් මතක තබාගන්න අවශ්‍ය නැහැ. අපි කරන සෑම දෙයක්ම කරන්නේ දෙවිට තිබෙන ප්‍රේමය නිසයි. මෙසේ ප්‍රේමයෙන් පෙලඹී ඔහුගේ කැමැත්ත කරද්දී අපි මහත් ප්‍රීතියක් අද්දකිනවා. ඔහුගේ අනුමැතියද අපට ලැබෙනවා. ඊට අමතරව තවත් බොහෝ ප්‍රයෝජනද ලබනවා.—යෙසායා 48:17.

15. යෙහෝවාව අනුකරණය කරන්න අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කුමක්ද? පැහැදිලි කරන්න.

15 අපි යම් කෙනෙකුට ප්‍රේම කරද්දී ඔහුගේ ගුණාංග අගය කරමින් ඔහුව අනුකරණය කරන්න උත්සාහ කරනවා. ඒ හා සමානව අපි දෙවිට ප්‍රේම කරනවා නම් ඔහුගේ ගුණාංග විදහාපෙන්වන්න වෑයම් කරනවා. යේසුස් පොළොවට පැමිණීමට කලින් යෙහෝවා සමඟ අවුරුදු බිලියන ගණනාවක් එකට ස්වර්ගයේ සිටියා. මේ නිසා ඔවුන් දෙදෙනා අතර කිට්ටු සබඳතාවක් හා මහත් ප්‍රේමයක් තිබුණා. යේසුස් ඔහුගේ ස්වර්ගික පියාව කොතරම් හොඳින් අනුකරණය කළාද කියනවා නම් “මාව දැක ඇති තැනැත්තා පියාණන්වද දැක තිබේ” කියා ඔහුට කියන්න පුළුවන් වුණා. (යොහන් 14:9) අපි යෙහෝවාව හා යේසුස්ව දැනගන්න තරමට හා ඔවුන්ගේ ගුණාංග අගය කරන තරමට ඔවුන්ව අනුකරණය කරන්න අප තුළ මහත් ආශාවක්ද ඇති වෙනවා. “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” දෙවි සපයන බලය මෙන්ම ඔහු කෙරෙහි තිබෙන අපේ ප්‍රේමය අපට උපකාර කරනවා.—කොලොස්සි 3:9, 10; ගලාති 5:22, 23.

ප්‍රේමය ක්‍රියාවලින් පෙන්වීම

16. අප දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ හවුල් වීම දෙවිට හා අසල්වැසියන්ට ප්‍රේමය පෙන්වීමක් වන්නේ කොහොමද?

16 අපි ක්‍රිස්තියානීන් හැටියට දේශනා කිරීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ හවුල් වන්නේ දෙවිට හා අසල්වාසීන්ට තිබෙන ප්‍රේමය නිසයි. අපි මෙම කාර්යයේ හවුල් වෙද්දී යෙහෝවා ඒ ගැන සතුටු වෙනවා. මන්ද “ඔහුගේ කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:3, 4) ක්‍රිස්තුස්ගේ නීතිය තමන්ගේ සිත්වල ලියාගැනීමට අන් අයට උපකාර කරද්දී අපි ඉන් මහත් ප්‍රීතියක් ලබනවා. ඒ වගේම මොවුන් යෙහෝවාගේ ගුණාංග විදහාපෙන්වමින් තමන්ගේ ජීවිත වෙනස් කරගන්නවා දැකීමත් මහත් ප්‍රීතියට හේතුවක්. (2 කොරින්ති 3:18) අපට අන් අයට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග දෙවි ගැන දැනගන්න ඔවුන්ට උපකාර කිරීමයි. මන්ද, දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්නා අයට එය සදාකාලයටම භුක්ති විඳින්න පුළුවන්.

17. දිරාපත් වන සැප සම්පත්වලට වඩා දෙවිට හා මිනිසුන්ට ප්‍රේම කිරීම ඥානවන්ත දෙයක් වන්නේ ඇයි?

17 අප ජීවත් වන්නේ බොහෝදෙනෙක් සැප සම්පත්වලට ඇලුම් කරන ලෝකයකයි. ඒත් සැප සම්පත් සදාකල් පවතින්නේ නැහැ. මිනිසුන් රැස් කරගන්න දේවල් සොරුන් සොරකම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කවදා හෝ දවසක ඒවා දිරාපත් වන්නත් පුළුවන්. (මතෙව් 6:19) මේ නිසයි බයිබලයේ අපට මෙසේ අනතුරු අඟවා තිබෙන්නේ. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:16, 17) ඔව්, යෙහෝවා දෙවි සදහටම පවතිනවා වගේ ඔහුට ප්‍රේමය පෙන්වමින් සේවය කරන අයත් සදහටම පවතිනවා. එහෙමනම් වඩාත් ඥානවන්ත දෙය වන්නේ දිරාපත් වන සැප සම්පත්වලට වඩා දෙවිට හා මිනිසුන්ට ප්‍රේම කිරීම නොවේද?

18. එක් සහෝදරියක් තමන් ගැන නොසලකා ප්‍රේමය පෙන්නුවේ කොහොමද?

18 යෙහෝවාට ප්‍රේම කරන අය කටයුතු කරන්නේ ඔහුව ගෞරවයට පත් වෙන ආකාරයෙනුයි. වෙනත් රටක සිට සෙනිගාල්වලට පැමිණ සේවය කරන සෝනියා කළ දෙය සලකා බලමු. ඇය හයිඩි නම් කාන්තාව සමඟ බයිබල් පාඩමක් පැවැත්තුවා. ඇගේ නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයා මාර්ගයෙන් ඇයට ඒඩ්ස් රෝගය වැලඳුණා. ඇගේ ස්වාමිපුරුෂයා මිය ගියාට පසු ඇය බව්තීස්ම වුණා. වැඩි කල් නොගොස් ඒඩ්ස් රෝගය නිසා ඇයගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන්න පටන්ගත්තා. මේ නිසා ඇයව රෝහල්ගත කළා. සෝනියා මේ ගැන මෙසේ පවසනවා. “රෝහලේ කාර්ය මණ්ඩලය හයිඩි වෙනුවෙන් ඔවුන්ගේ උපරිමය කළා. නමුත් රෝහලේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටියේ නැහැ. ඒ නිසා රෝහලේ සිට ඇයව බලාගන්න කැමති අයට ඉදිරිපත් වන ලෙස සභාවෙන් ඉල්ලා සිටියා. මම දෙවෙනි දවසේ රාත්‍රියේ ඇගේ ඇඳ අසල පැදුරක් එලාගෙන ඇය මිය යන තුරුම බලාගත්තා. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මගෙන් මෙහෙම ඇහුවා. ‘කෙනෙකුට ඒඩ්ස් තියෙනවා කියලා දැනගත්තාම එයාගේ පවුලේ අය එයාව බලාගන්නේ නැහැ. මේ රෝගීන්ට ප්‍රතිකාර කරද්දී අපිට තියෙන ලොකුම ගැටලුව තමයි හුඟදෙනෙක් ඒ රෝගීන්ව සලකන්නේ නැති එක. ඔයා එයාගේ නැදෑයෙක්වත් නෙමෙයි. ඔයා ඇවිත් ඉන්නෙත් වෙන රටකින්. ඔයා වෙන ජාතියක කෙනෙක්. මේ වගේ රෝගියෙක් බලාගැනීමේ අවදානම ඔයා බාරගත්තේ ඇයි?’ මායි හයිඩියි අතර කොච්චර ලොකු බැඳීමක් තිබුණාද කියනවා නම් මම ඇයව සලකන්නේ එක් කුසේ උපන් මගේ සහෝදරියක් වගෙයි. මගේ මේ අලුත් සහෝදරිය මට හම්බ වුණාට පස්සේ ඇයව බලාගන්න මම ඉදිරිපත් වුණේ සතුටින්.” හයිඩිව බලාගැනීම නිසා සෝනියාට කිසිම රෝගයක් වැලඳුණේ නැහැ.

19. දෙවි අපේ සිත්වල ලියා තිබෙන නීතිය අප අගය කරන බව පෙන්වන්නේ කොහොමද?

19 යෙහෝවාගේ සේවකයන් තමන් ගැන නොසලකා අන් අයට ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් බොහෝ ආදර්ශ තිබෙනවා. දෙවිගේ සැබෑ සේවකයන්ව හඳුනාගන්න ලිඛිත නීති මාලාවක් නැහැ. මොවුන් ගැන හෙබ්‍රෙව් 8:10හි සඳහන් වී තිබෙන මෙම වචන ඉටු වෙනවා අපිට දකින්න තිබෙනවා. “ඒ දවස්වලට පසු මා ඊශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම් මෙයයි. මම මාගේ නීති ඔවුන්ගේ මනසෙහි තබන්නෙමි. ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.” දෙවි අපේ සිත්වල ලියා තිබෙන ප්‍රේමය මත පදනම් නීතිය ගැන අපි අගය කරමු. එම ප්‍රේමය පෙන්වීමට උදා වන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගනිමු.

20. යේසුස්ගේ නීතිය මිල කළ නොහැකි වස්තුවක් කියා පැවසිය හැක්කේ ඇයි?

20 එවැනි ප්‍රේමයක් විදහාපෙන්වන ලෝක ව්‍යාප්ත සහෝදර සංගමයක් සමඟ සේවය කිරීමට ලැබීම මොන තරම් ප්‍රීතියක්ද! ප්‍රේමය දකින්න නැති මේ ලෝකයේ යේසුස්ගේ නීතිය තමන්ගේ සිත්වල ලියාගෙන තිබෙන ඔවුන් සතුව ඇත්තේ මිල කළ නොහැකි වටිනා වස්තුවක් හා සමාන දෙයක්. ඔවුන් යෙහෝවාගේ ප්‍රේමය අද්දකිනවා පමණක් නොවෙයි සෙසු ඇදහිලිවන්තයන් අතර පවතින ප්‍රේමණීය බැඳීම ගැන මහත් සේ සතුටු වෙනවා. මේ සහෝදරත්වය ගැන මෙසේ පවසා තිබෙනවා. ‘බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද! කොපමණ ප්‍රීතියක්ද!’ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර විවිධ ජාතීන්ට අයත් අය සිටිනවා; විවිධ භාෂා කතා කරන අය සිටිනවා; විවිධ සංස්කෘතීන්වලට අයත් අය සිටිනවා. මොවුන් විවිධ පසුබිම්වලට අයත් වුණත් ඔවුන් එක්සත්ව ප්‍රීතියෙන් දෙවිට නමස්කාර කරනවා. ඔවුන්ගේ මේ එක්සත්කමට යෙහෝවාගේ ආශීර්වාද ලැබෙනවා. ගීතිකාකරු මෙසේ පැවසුවා. “එහිදී [ප්‍රේමයෙන් එක්සත්ව සිටින සෙනඟක් අතර] යෙහෝවා සදාකල් ජීවනය නමැති ආශීර්වාදය නියම කළේය.”—ගීතාවලිය 133:1-3.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• දසපනත කොතරම් වැදගත් වූවාද?

• සිත්වල ලියා තිබෙන නීතිය කුමක්ද?

• “ක්‍රිස්තුස්ගේ නීතිය” තුළ ප්‍රේමයට කොතරම් වැදගත්කමක් තිබෙනවාද?

• දෙවිට හා අසල්වාසියාට ප්‍රේමය පෙන්විය හැක්කේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති ලියා තිබුණේ ගල් ලෑලිවලයි

[26වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නීතිය තිබෙන්නේ ක්‍රිස්තියානීන්ගේ සිත්වලයි

[28වන පිටුවේ පින්තූරය]

සෝනියා 2004 දිස්ත්‍රික් සමුළුවේදී සෙනිගාල් රටේ දැරියක් සමඟ