Skip to content

පටුනට යන්න

අපගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිගටම ගමන් කරන්නෙමු

අපගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිගටම ගමන් කරන්නෙමු

අපගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිගටම ගමන් කරන්නෙමු

“අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නමින් සදාකාලයටම හැසිරෙන්නෙමු [ගමන් කරන්නෙමු].”—මීකා 4:5.

1. නෝවාගේ කාලයේ පොළොවේ තිබුණේ මොන වගේ තත්වයක්ද? නෝවා ඊට වෙනස් වුණේ කොහොමද?

දෙවි සමඟ ගමන් කළ හෙවත් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කළ පළමු මිනිසා ලෙස බයිබලයේ සඳහන් වන්නේ ඒනොක්. එසේ කළ දෙවැන්නා නෝවා. ඔහු ගැන එහි සඳහන් වෙන්නේ මේ විදිහටයි. “නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුව ඔහුගේ පරම්පරාවන්හි නිර්මලව සිටියේය. නෝවා දෙවි සමඟ හැසුරුණේය [ගමන් කළේය].” (උත්පත්ති 6:9) නෝවා ජීවත් වූ කාලය වෙනකොට මිනිස් වර්ගයා සැබෑ නමස්කාරයෙන් ඈත් වෙලයි සිටියේ. දෙවිට ද්‍රෝහි වූ දේවදූතයන් පොළොවේ සිටි ස්ත්‍රීන්ව තමන්ගේ භාර්යාවන් කරගත්තා. ඔවුන්ට බිහි වූ දරුවන්, ඒ කාලයේ සිටි ‘බලසම්පන්න, කීර්තිමත් වූ මනුෂ්‍යයන්’ ලෙසට හඳුන්වනු ලැබූ නෙෆිලිම්වරුන් වුණා. මොවුන් පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරවූ නිසා තත්වය තවත් දරුණු වුණා. (උත්පත්ති 6:2, 4, 11) නමුත් “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක් වූ” නෝවා දෙවි ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළා. (2 පේතෘස් 2:5) ජීවිත ගලවාගැනීම සඳහා විශාල නැවක් හදන්න කියා දෙවි අණ කළ විට ඔහු එයට කීකරුව “එසේ කළේය; දෙවි ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කළේය.” (උත්පත්ති 6:22) ඔව්, ඇත්තටම නෝවා දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කළා.

2, 3. නෝවා අද දින සිටින අපට සැපයුවේ කිනම් කදිම ආදර්ශයද?

2 ඇදහිලිවන්තයන් ගැන සඳහන් කළ තම වාර්තාවේ පාවුල් නෝවා ගැනත් සඳහන් කළා. “ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවි විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැලවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.” (හෙබ්‍රෙව් 11:7) මොන තරම් උතුම් ආදර්ශයක්ද! යෙහෝවාගේ වචන ඉටු වන බවට නෝවාට කිසිම සැකයක් තිබුණේ නැහැ. ඒ නිසා දෙවිගේ අණ පිළිපැදීමට ඔහු තමාගේ කාලය, ශක්තිය හා සම්පත් වැය කළා. අද දින සිටින බොහෝදෙනෙක්ද ඒ හා සමානව ධනය රැස්කර ගැනීමට ඔවුන්ට තිබෙන අවස්ථාවන් අත්හැර ඔවුන්ගේ කාලය, ශක්තිය හා සම්පත් යෙහෝවාගේ ආඥාවලට කීකරු වීම සඳහා යොදාගන්නවා. ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ගේ ජීවිතත් අන් අයගේ ජීවිතත් ගලවාගන්න ඔවුන්ට හැකි වේවි. ඔවුන් කොතරම් ප්‍රශංසා ලැබිය යුතු අයද!—ලූක් 16:9; 1 තිමෝති 4:16.

3 නෝවාගේ සීයාගේ පියා වූ ඒනොක් ගැන අපි කලින් ලිපියේ සලකා බැලුවා ඔබට මතක ඇති. ඔහු හා සමානව නෝවා සහ ඔහුගේ පවුලේ අයටත් ඇදහිල්ලෙන් දෙවි සමඟ ගමන් කිරීම පහසු දෙයක් නොවන්නට ඇති. ඒනොක්ගේ කාලයේ වගේම නෝවාගේ කාලයේදීත් සැබෑ දෙවිට නමස්කාර කරමින් සිටියේ කිහිපදෙනෙක් විතරයි. එය අප දන්නේ ඇදහිලිවන්තව සිටිමින් ජලගැල්මෙන් තම ජීවිත ගලවාගැනීමට හැකි වුණේ අටදෙනෙකුට පමණක් නිසයි. ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා දුරාචාරය පිරුණු ලෝකයක නෝවා ධර්මිෂ්ඨකමේ දේශනාකරුවෙක් වුණා. ඒ විතරක් නෙවෙයි, ඔහු සහ ඔහුගේ පවුලේ අය එතෙක් කිසිම කෙනෙක් නොදැක තිබූ මුළු ලෝකයටම බලපෑ ජලගැල්මකට සූදානම් වීම සඳහා ලීවලින් විශාල නැවක් සාදමින් සිටියා. එය බලාගෙන සිටි ඒ කාලයේ මිනිසුන්ට නම් ඒක අදහාගන්නවත් බැරි දෙයක් වුණා.

4. යේසුස් අවධාරණය කළේ නෝවාගේ කාලයේ සිටි මිනිසුන්ගේ කිනම් වැරැද්ද ගැනද?

4 නෝවාගේ කාලයේ සිටි මිනිසුන් ගැන යේසුස් කතා කළ දෙය සලකා බලන්න. ඒ කාලයේ පැවති බරපතළ වැරදි වූ ප්‍රචණ්ඩත්වය බොරු නමස්කාරය හා දුරාචාරය ගැන යේසුස් සඳහන් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු අවධාරණය කළ වැරැද්ද වුණේ නෝවා දුන් අනතුරු ඇඟවීමට ඒ කාලයේ සිටි මිනිසුන් අකීකරු වීමයි. “නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ” කියා යේසුස් පැවසුවා. කෑම බීම, විවාහ වීම, විවාහ කර දීම, මේවාවල වරදක් තිබෙනවාද? ඔවුන් ගත කරමින් සිටියේ “සාමාන්‍ය” ජීවිතයක් නෙවෙයිද? ඒක ඇත්ත. නමුත් නෝවා ඔවුන්ට පවසමින් සිටියා ජලගැල්මක් පැමිණීමට නියමිත බව හා දෙවිව සතුටු කරන ආකාරයෙන් ජීවත් විය යුතුයි කියා. මේ අනුව ඔහු පැවසූ දේවල් සහ ඔහු කරපු දේවල් ඔවුන්ට අනතුරු ඇඟවීමක් විය යුතුව තිබුණා. නමුත් ඒ වෙනුවට “ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ.”—මතෙව් 24:38, 39.

5. නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් කුමන ගුණාංග තිබිය යුතු වුණාද?

5 නමුත් නෝවා ඊට වෙනස් කෙනෙක් වුණා. ඔහුගේ කාලය ගැන සිතද්දී නෝවා ගත කළේ ප්‍රඥාවන්ත ජීවිතයක් කියලා අපිට පැහැදිලියි. ජලගැල්මට පෙර දවස්වල අන් අයට වඩා වෙනස් ජීවිතයක් ගත කිරීමට කෙනෙකුට ධෛර්යය අවශ්‍ය වුණා. නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් විශාල නැවක් සාදන්න සිදු වුණා. ඒ විතරක් නෙවෙයි ඒ නැවට සෑම වර්ගයකින්ම සතුන්ව තෝරාගෙන ඇතුළු කරන්නත් සිදු වුණා. ඒ සඳහා ඔවුන්ට ස්ථිර විශ්වාසයක් අවශ්‍ය වුණා. ඒ ඇදහිලිවන්තයන් ටිකදෙනාට සමහර අවස්ථාවලදී එතරම් කැපීපෙනෙන ජීවිතයක් ගත නොකර “සාමාන්‍ය” ජීවිතයක් ගත කරන්න ආශාවක් ඇති වුණාද? සමහරවිට එවැනි හැඟීම් ඇති වෙන්න ඇති. ඒත් දෙවි කෙරෙහි ඔවුන්ට තිබුණු විශ්වාසය නම් අඩු වුණේ නැහැ. මෙසේ වසර ගණනාවක් ක්‍රියා කිරීමෙන් පසුව තම ඇදහිල්ල නිසා නෝවා ජලගැල්මෙන් බේරුණා. මේ දුෂ්ට ක්‍රමය තුළ අපෙන් කිසි කෙනෙකුට විඳදරාගැනීමට සිදු වන කාලයට වඩා වැඩි කාලයක් ඔවුන් විඳදරාගත්තා. ඒත්, කාලයේ හදිසිතාව තේරුම් නොගෙන “සාමාන්‍ය” ජීවිතයක් ගත කළ සියලුදෙනාවම යෙහෝවා විනාශ කළා.

නැවතත් ප්‍රචණ්ඩත්වය පැතිර යයි

6. ජලගැල්මෙන් පසුවත් පොළොවේ තිබුණේ කුමන තත්වයක්ද?

6 ජලගැල්ම අවසන් වුණාට පසුව මිනිසාට ලැබුණේ අලුත් ආරම්භයක්. ඒත් තවමත් ඔවුන්ට උරුම වූ වැරදි කිරීමට ඇති නැඹුරුවාව තිබූ නිසා “මනුෂ්‍යයාගේ බාල කාලයේ පටන් ඔහුගේ හෘදයෙහි කල්පනා නපුරුව” තිබුණා. (උත්පත්ති 8:21) භූතයන් ජලගැල්මෙන් විනාශ වුණේ නැතත් තවදුරටත් මිනිස් වෙස් ගන්නට නොහැකි තත්වයකයි ඔවුන් සිටියේ. ඒත් ඔවුන් දිගටම නපුරු දේවල නිරත වෙමින් සිටියා. දෙවිගෙන් ඈත් වූ මිනිස් වර්ගයා සිටියේ ‘දුෂ්ටයාගේ බලයට යටත්ව බව’ ඉතා ඉක්මනින් පැහැදිලි වුණා. ඒ නිසා අද මෙන් එදා සිටි සැබෑ නමස්කාරකයන්ටත් “යක්ෂයාගේ උපායවලට විරුද්ධව” සටන් කිරීමට සිදු වුණා.—1 යොහන් 5:19; එෆීස 6:11, 12.

7. ජලගැල්මෙන් පසුව ප්‍රචණ්ඩත්වය වැඩි වුණේ කොහොමද?

7 ජලගැල්මෙන් පසුව මිනිස්වර්ගයාට අලුත් ආරම්භයක් ලැබුණත් නිම්රොද්ගේ කාලය විතර වන විට නැවතත් ඔවුන් අතර ප්‍රචණ්ඩත්වය පැතිරෙන්න පටන්ගත්තා. ජනගහනය වැඩිවීම, අලුත් ශිල්ප ක්‍රම සොයාගැනීම යන දේවල් ප්‍රචණ්ඩත්වය තවත් වැඩිවීමට හේතු වී තිබෙනවා. අතීතයේදී කඩු, හෙල්ල, දුනු, ඊතල, යුධ රථ වැනි දේවල් භාවිත වුණත් 20වන ශතවර්ෂයේ මුල් කාලයේ තුවක්කු, කාලතුවක්කු, රයිෆල් වැනි සංකීර්ණ අවි උපයෝගි කරගනු ලැබුවා. පළමුවෙනි ලෝක මහා යුද්ධය වන විට තවත් බිහිසුණු අවි හඳුන්වා දෙනු ලැබූ අතර ඒවාට ගුවන්යානා, යුධ ටැංකි, සබ්මැරීන සහ විෂ වායු වැනි දේවල් ඇතුළත් වුණා. ඒ යුද්ධයේදී මේ ආයුධවලින් මිලියන ගණනක් මරණයට පත්වීම පුදුමයක් නෙවෙයි.

8. එළිදරව් 6:1-4 ඉටු වී තිබෙන්නේ කෙසේද?

8 “ස්වාමීන්ගේ දවස” ආරම්භ වූ වර්ෂ 1914 සිට යේසුස් ස්වර්ගයේ රජු ලෙස ක්‍රියා කරමින් සිටිනවා. (එළිදරව් 1:10) එළිදරව් පොතේ දර්ශනයක යේසුස්ව දක්නට ලැබෙන්නේ සුදු අශ්වයෙකු පිට ජයග්‍රාහී ගමනක යෙදෙන දේවරාජ්‍යයේ රජු හැටියටයි. මිනිස් වර්ගයා මතට පැමිණීමට නියමිත විපත්ති නියෝජනය කරන වෙනත් අසරුවන් ඔහු පසු පස යමින් සිටිනවා. ඔවුන් අතර ගින්දර පැහැති අශ්වයෙක් පිට නැඟ යන අසරුවෙක් සිටින අතර ඔහුට “මිනිසුන් ඔවුනොවුන් මරාගන්නා පිණිස, පොළොවෙන් සමාදානය පහ කිරීමට අවසර දෙන ලදි. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.” (එළිදරව් 6:1-4) මේ අශ්වයා සහ අසරුවාගෙන් නියෝජනය වන්නේ යුද්ධයයි. මහත් කඩුව යුද්ධයෙන් හා එයට භාවිත කරන නවීන අවිවලින් කරන පෙර නොවූ විරූ තරම් විනාශය යොමු දක්වයි. දසදහස් ගණනකගේ ජීවිත නැති කිරීමට ඉවහල් වන න්‍යෂ්ටික ආයුධ සහ කිලෝමීටර් දහස් ගණනක් ඈත එපිට තිබෙන ඉලක්කවලට ඒවා ගෙන යා හැකි මිසයිලද මේ අතරට ඇතුළත් වෙනවා. ඒ වගේම සංකීර්ණ රසායනික අවිද බැක්ටීරියා සහ වයිරස් වැනි ජීව අවිද එයට ඇතුළත් වෙනවා.

යෙහෝවාගේ අනතුරු ඇඟවීම් අපි සැලකිල්ලට ගන්නවා

9. ජලගැල්මට පෙර පැවති ලෝකය අද දිනට සමාන වන්නේ කෙසේද?

9 නෝවාගේ දවස්වලදී යෙහෝවා මිනිසුන් මතට විනාශයක් ගෙනාවේ නෙෆිලිම්වරුන්ගේ උපකාරය ඇතුව දුෂ්ට මිනිසුන් සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසයි. අද ගැන කුමක් කියන්න පුළුවන්ද? අද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ නෝවාගේ දවස්වලට වඩා අඩුවෙන්ද? කොහෙත්ම නැහැ! නෝවාගේ දවස් මෙන් අද දින සිටින සෙනඟත් තමන්ගේම වැඩකටයුතුවල නියැලෙමින් “සාමාන්‍ය” ජීවිතයක් ගත කරන අතර ප්‍රකාශ කරනු ලබන අනතුරු ඇඟවීම ගණන් නොගෙන සිටිනවා. (ලූක් 17:26, 27) මෙවැනි දේවල් දිහා බලද්දී මේ කාලයේ සිටින මිනිසුන්ව යෙහෝවා විනාශ කරන එකක් නැහැ කියා හිතාගන්නවත් පුළුවන්ද?

10. (අ) බයිබල් අනාවැකිවල නැවත නැවත අනතුරු අඟවන්නේ කුමක් ගැනද? (ආ) අද කාලයේ ගත හැකි එකම ඥානවන්ත තීරණය කුමක්ද?

10 ජලගැල්මට වසර ගණනාවකට පෙර ඒනොක් අපගේ කාලයේ පැමිණෙන විනාශය ගැන පුරෝකථනය කළා. (යූද් 14, 15) යේසුස් පවා ඉදිරියේදී පැමිණෙන “මහත් පීඩාව” ගැන කතා කළා. (මතෙව් 24:21) ඒ කාලය ගැන වෙනත් බොහෝ අනාගතවක්තෘවරුනුත් අනතුරු ඇඟෙව්වා. (එසකියෙල් 38:18-23; දානියෙල් 12:1; යෝවෙල් 2:31, 32) ඒ වගේම එළිදරව් පොත කියවද්දී අවසානයේදී පැමිණෙන ඒ විනාශය ගැන පැහැදිලි චිත්‍රයක් අපේ සිතේ මවාගන්න පුළුවන්. (එළිදරව් 19:11-21) මේ නිසා නෝවාගේ ආදර්ශය අනුකරණය කරන අපි ක්‍රියාශීලීව ධර්මිෂ්ඨකම ගැන දේශනා කරමින් සිටිනවා. යෙහෝවාගේ අනතුරු ඇඟවීම් අපි සිතට ගන්න අතර එසේ කිරීමට අපේ අසල්වැසියන්ටත් ප්‍රේමණීය ලෙස උපකාර කරනවා. එනිසා නෝවා වගේ අපිත් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කරනවා. ඔව්. ජීවිතයට ආශාවක් දක්වන ඕනෑම කෙනෙක් දිගටම එසේ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් එදිනෙදා මුහුණ දීමට තිබෙන ප්‍රශ්න ගැටලු හමුවේ අපි එසේ කරන්නේ කොහොමද? ඒ සඳහා දෙවිගේ පොරොන්දු ඉටු වන බවට ස්ථිර විශ්වාසයක් අප ගොඩනඟා ගත යුතුයි.—හෙබ්‍රෙව් 11:6.

කැළඹිලි සහිත කාලයේදී දිගටම දෙවි සමඟ ගමන් කරන්න

11. අපි පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන්ව අනුකරණය කරන්නේ කුමන ආකාරයෙන්ද?

11 පළමු ශතවර්ෂයේදී ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනය කිරීමට දෙවි තෝරගෙන තිබූ ක්‍රිස්තියානීන්ව හැඳින්නුවේ “මාර්ගයට” අයත් අය හැටියටයි. (ක්‍රියා 9:2) ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ගත්ත හැම තීරණයකටම යෙහෝවා දෙවි කෙරෙහිත් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහිත් තිබූ ඔවුන්ගේ ඇදහිල්ල බලපෑවා. ඔවුන් තම ස්වාමියාව අනුකරණය කළා. අද දින සිටින ඇදහිලිවන්ත ක්‍රිස්තියානීනුත් කරන්නේ එම දෙයමයි.

12. යේසුස් ප්‍රාතිහාර්යයකින් සමූහයකට කන්න දුන්නාට පස්සේ සිදු වුණේ කුමක්ද?

12 ශක්තිමත් ඇදහිල්ලක් තිබීමේ වැදගත්කම යේසුස්ගේ දේවසේවය අතරතුර සිදු වූ දෙයකින් දැකගන්න පුළුවන්. එක් අවස්ථාවකදී, යේසුස් මිනිසුන් 5,000කට පමණ කන්න දුන්නා. ඔවුන් මේ ගැන පුදුමයටත් ප්‍රීතියටත් පත් වුණා. නමුත් ඊළඟට සිදු වූ දෙය බලන්න. බයිබලයේ අපට කියවීමට තිබෙන්නේ “ජනයා ඔහු සිදු කළ ලකුණු දුටු විට, ‘සැබවින්ම මොහු ලෝකයට එන්න සිටි අනාගතවක්තෘවරයාය’ කියා පවසන්න පටන්ගත්හ. රජකමට පත් කරගන්නා පිණිස ඔවුන් තමන්ව අල්ලාගැනීමට සූදානම් වන බව යේසුස් දැන, එතැනින් ඉවත්ව නැවත තනිවම කන්දට ගියේය” කියායි. (යොහන් 6:10-15) ඒ රාත්‍රියේම ඔහු වෙනත් ස්ථානයකට ගියා. යේසුස් තමා ප්‍රඥාවන්ත පුද්ගලයෙකු වූ බවත් ජනයාගේ අවශ්‍යතා සපුරාලීමට බලය තිබෙන කෙනෙකු බවත් පෙන්වීමෙන් තමන් රජෙකු වීමට සුදුසු කෙනෙක් බව ඔප්පු කර තිබුණා. එමනිසා ඔහුව රජෙක් කරගන්නට මිනිසුන් දැරූ වෑයම ඔහු ප්‍රතික්ෂේප කළ විට බොහෝදෙනෙකුගේ බලාපොරොත්තු කඩ වෙන්න ඇති. නමුත් ඒ සඳහා යෙහෝවා නියම කර තිබූ කාලය ඒ වෙන කොට පැමිණ තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි යේසුස්ගේ රාජ්‍යය ස්වර්ගයේ තිබෙන එකක් මිසක පොළොවේ තිබෙන එකක් නෙවෙයි.

13, 14. බොහෝදෙනෙකුට තිබුණේ කුමනාකාරයේ ආකල්පයක්ද? ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වුණේ කෙසේද?

13 කෙසේනමුත් දැඩි උනන්දුවකින් යේසුස් පසු පස ගිය ජනයා, ඔහුව සොයාගත්තේ “මුහුදෙන් එගොඩදී” බව යොහන් පවසනවා. තමාව රජෙක් කරගන්නවාට යේසුස් අකමැති වූ පසුත් ජනයා ඔහුව සොයාගෙන ගියේ ඇයි? බොහෝදෙනෙකුට ඕන වුණේ තමන්ගේම අවශ්‍යතා ලබාගැනීමට පමණයි. මෝසෙස්ගේ දවස්වලදී යෙහෝවා පාළුකරයේදී සැපයූ දේවල් ගැන ඔවුන් කතා කළා. යේසුස් ඔවුන්ගේ අවශ්‍යතා දිගටම සපයයි කියා ඔවුන් බලාපොරොත්තු වුණා. ඔවුන්ගේ වැරදි චේතනාව වටහාගෙන ඔවුන් සිතන අයුරු වෙනස් කිරීමට යේසුස් දෙවි පිළිබඳ සත්‍යතාවන් ඔවුන්ට ඉගැන්නුවා. (යොහන් 6:17, 24, 25, 30, 31, 35-40) ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගෙන් සමහරුන් යේසුස්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තා. ඔවුන් විශේෂයෙන්ම එසේ කළේ යේසුස් මෙම උදාහරණය ගැන ඔවුන්ට කතා කළ අවස්ථාවේදීයි. “සැබවින්ම මම ඔබට කියමි, ඔබ මනුෂ්‍ය පුත්‍රයාගේ මාංසය කා ඔහුගේ රුධිරය නොබොන්නහු නම්, ඔබ තුළ ජීවනය නැත. මාගේ මාංසය කන්නාවූ මාගේ රුධිරය බොන්නාවූ තැනැත්තාට සදාකාල ජීවනය ලැබෙන්නේය. තවද, මම අන්තිම දවසේදී ඔහුව නැවත නැඟිටුවන්නෙමි.”—යොහන් 6:53, 54.

14 යේසුස් කියූ උදාහරණ බොහොමයක් තමන්ට ඇත්තටම දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කරන්න ආශාවක් තිබෙනවාද නැද්ද කියා ඔප්පු කරන්න මිනිසුන්ට පෙලඹීමක් ඇති කළා. එයත් එවැනි උදාහරණයක් වුණා. මෙය ඇසූ පසු මිනිසුන් දැක්වූ ප්‍රතිචාරය ඉතා ප්‍රබලයි. “මෙය ඇසූ ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙක්, ‘මෙය මහ පුදුම කතාවකි. මෙයට සවන් දිය හැක්කේ කාටද?’” කියා පැවසූ බව ඒ වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් යේසුස් ඒ අවස්ථාවේදී පැවසුවේ තම වචනවල සැබෑ අර්ථය ඔවුන් වටහාගත යුතු බවයි. ඔහු කිව්වේ, “ජීවනය දෙන්නේ ආත්මයයි [එනම් දෙවි පිළිබඳ දැනුමයි]. මාංසයෙන් [එනම් ලෝකය ඉදිරිපත් කරන දේවල්වලින්] කිසිම ප්‍රයෝජනයක් නැත. මා ඔබට පැවසූ කියමන් ආත්මික වන අතර ජීවනදායකය.” ඒත් බොහෝදෙනෙක් ඔහුට සවන් දෙන්න අකමැති වුණා. “මේ නිසා ඔහුගේ ගෝලයන්ගෙන් බොහෝදෙනෙකු තමුන් අත්හැර ආ දේවල් බලා ආපසු ගිය අතර, තවදුරටත් ඔහු අනුව ගියේ නැත” කියා එහි සඳහන් වෙයි.—යොහන් 6:60, 63, 66.

15. යේසුස්ගේ ගෝලයන්ගෙන් සමහරදෙනෙකුට තිබුණේ කිනම් නිවැරදි ආකල්පයද?

15 ඒත් යේසුස්ගේ ගෝලයන්ගෙන් සමහර දෙනෙක් ක්‍රියා කළේ ඊට වෙනස් විදිහටයි. ඇත්තයි යේසුස් පැවසූ සමහර දේවල් මේ විශ්වාසවන්ත ගෝලයන්ට තේරෙන්න නැතුව ඇති. ඒත් යේසුස් ගැන ඔවුන් තුළ තිබූ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඔවුන්ගෙන් විශ්වාසවන්ත ගෝලයෙක් වූ පේතෘස් ඔවුන්ට තිබූ හැඟීම් පළ කළේ මේ විදිහටයි. “ස්වාමිනි, අප කා ළඟට යන්නද? සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබ ළඟය.” (යොහන් 6:68) කොතරම් කදිම ආකල්පයක්ද! මොන තරම් අනගි ආදර්ශයක්ද!

16. අපිට කුමනාකාරයේ පරීක්ෂණවලට මුහුණ දෙන්න සිදු විය හැකිද? අපිට තිබිය යුත්තේ කුමන නිවැරදි ආකල්පයද?

16 එදා සිටි යේසුස්ගේ ගෝලයන් මෙන් අද දින සිටින අපිවත් යම් යම් දේවල් නිසා පරීක්ෂණයට ලක් වෙන්න ඉඩ තිබෙනවා. සමහරවිට අපි හිතන තරම් ඉක්මනට යෙහෝවාගේ පොරොන්දු ඉටු නොවන නිසා අපිට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. බයිබල් කරුණු විස්තර කරන අපගේ ප්‍රකාශනවල සමහර තොරතුරු අපිට තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන්. අපගේ සහෝදර සහෝදරියන් හැසිරෙන ආකාරය නිසා සමහරවිට අපි කලකිරෙන්න පුළුවන්. මෙවැනි හේතු නිසා දෙවි බලාපොරොත්තු වන ආකාරයට ජීවත් වීම නතර කරන එක හරිද? නැහැ. කොහෙත්ම නැහැ! යේසුස්ව අත්හැර ගිය ගෝලයන් දේවල් දිහා බැලුවේ මිනිසුන් බලන විදිහටයි. අපිත් ඔවුන් හා සමාන නොවී, දේවල් දිහා බැලිය යුත්තේ දෙවි බලන විදිහටයි.

‘අපි පසුබට වන අයගේ ගණයට අයත් වන්නේ නැහැ’

17. දෙවි සමඟ දිගටම ගමන් කිරීම සඳහා අපට උපකාර ලැබෙන්නේ කෙසේද?

17 “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්” ලැබී තිබෙන බව පාවුල් ලිව්වා. (2 තිමෝති 3:16) “මාර්ගය මේය, එහි හැසිරෙන්න [ගමන් කරන්න]” කියා යෙහෝවා දෙවි බයිබලය තුළින් අපිට පැහැදිලිව පවසනවා. (යෙසායා 30:21) දෙවිගේ වචනයට කීකරු වෙද්දී ‘ඔබ ගමන් කරන ආකාරය ගැන ඉතා සැලකිලිමත් වන්න’ ඔබට හැකි වෙයි. (එෆීස 5:15) බයිබලය අධ්‍යයනය කිරීම සහ අප ඉගෙනගන්නා දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන විට ‘සත්‍යයෙහි ගමන් කරමින් සිටීමට’ අපට හැකි වෙයි. (3 යොහන් 3) ඇත්තෙන්ම යේසුස් පැවසුවාක් මෙන්, “ජීවනය දෙන්නේ ආත්මයයි. මාංසයෙන් කිසිම ප්‍රයෝජනයක් නැත.” ජීවිතයේ අප තබන හැම පියවරකටම අපට ලබාගත හැකි හොඳම මඟ පෙන්වීම දෙවිගේ මඟ පෙන්වීමයි. යෙහෝවාගේ වචනයෙන්, ඔහුගේ බලයෙන් සහ ඔහුගේ සංවිධානයෙන් එම මඟ පෙන්වීම අපට ලැබෙයි.

18. (අ) ඇතැම් අය අඥාන ලෙස කරන්නේ කුමක්ද? (ආ) අපට තිබිය යුත්තේ කුමනාකාර ඇදහිල්ලක්ද?

18 ලෝකයේ තිබෙන දේවල් ලබාගැනීමට ආශාවෙන් සිටීම නිසා හෝ තමන් බලාපොරොත්තු වූ ආකාරයට දේවල් සිදු වෙන්නේ නැහැයි කියා දකින විට හෝ සමහරුන් දෙවිගේ මාර්ගයෙන් ඉවත් වී යනවා. ඒ මේ ලෝකය ඉදිරිපත් කරන දේවල් වැඩියෙන් භුක්ති විඳීම සඳහායි. කාලයේ හදිසිතාව වටහා නොගන්නා ඔවුන් “සෝදිසියෙන් සිටින්න” කිසිම අවශ්‍යතාවක් නැහැයි කියා සිතනවා. ඒ නිසා දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙනවාට වඩා ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඔවුන්ට ඕනෑ කරන දේවල් ලබාගැනීමයි. (මතෙව් 24:42) එයාකාරයට ජීවිතය ගත කිරීම කොහොමටවත් ඥානවන්ත දෙයක් නෙවෙයි. පාවුල් කිව්ව දේ සලකා බලන්න. “අපි, පසුබට වී විනාශ වන අයගේ ගණයට නොව, ජීවිතය රැකෙන ලෙස ඇදහිල්ල ඇති අයගේ ගණයට අයත් වන්නෙමු.” (හෙබ්‍රෙව් 10:39) ඒනොක් සහ නෝවා මෙන් අපිත් ජීවත් වෙන්නේ කැලඹිලි සහිත කාලයකයි. නමුත් ඔවුන් මෙන් අපටත් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමේ වරප්‍රසාදය තිබෙනවා. අපි එසේ කළොත් අපට සහතික වූ අපේක්ෂාවක් තිබෙනවා. එනම් යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම, දුෂ්ටකම තුරන් වීම සහ මේ පොළොව ධර්මිෂ්ඨකම පවතින පාරාදීසයක් බවට පත්වීම දකින්න අපටත් හැකිවීමයි. එය මොන තරම් කදිම බලාපොරොත්තුවක්ද!

19. සැබෑ නමස්කාරකයන් තමන්ගේ ජීවිතය ගත කරන ආකාරය මීකා පෙන්වන්නේ කොහොමද?

19 අනාගතවක්තෘ මීකා මේ ලෝකයේ මිනිසුන් ගැන ලිව්වේ ඔවුන් “තමන්ගේ දෙවිගේ නමින් හැසිරෙන්නෝය [ගමන් කරන්නෝය]” කියායි. පසුව ඔහු තමන් ඇතුළු වෙනත් ඇදහිලිවන්ත නමස්කාරකයන් ගැනත් මෙහෙම කියනවා. “අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නමින් සදාකාලයටම හැසිරෙන්නෙමු [ගමන් කරන්නෙමු].” (මීකා 4:5) මීකා හා සමාන අධිෂ්ඨානයක් ඔබටත් තිබෙනවා නම් ඔබ ජීවත් වන කාලය කොතරම් කැලඹිලි සහිත එකක් වුණත් යෙහෝවා දෙවිට ළං වී සිටින්න. (යාකොබ් 4:8) අපි සෑම කෙනෙකුටම දැනුත් සදාකාලයටත් අපගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීමට හෘදයාංගම ආශාවක් ඇති වේවා!

ඔබ පිළිතුරු සපයන්නේ කෙසේද?

• නෝවාගේ කාලයත් අද දිනත් අතර ඇති සමානකම් මොනවාද?

• නෝවා සහ ඔහුගේ පවුලේ අය ගත කළේ කුමනාකාරයේ ජීවිතයක්ද? ඔවුන්ගේ ඇදහිල්ල අපට අනුකරණය කිරීමට හැක්කේ කෙසේද?

• යේසුස්ගේ සමහර ගෝලයන්ට තිබූ වැරදි ආකල්පය කුමක්ද?

• සැබෑ ක්‍රිස්තියානීන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූර]

නෝවාගේ දවස්වල සිටි අය මෙන් අද දින සිටින මිනිසුන්ද තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවල නියැලෙමින් සිටිනවා

[21වන පිටුවේ පින්තූරය]

දේවරාජ්‍යය ගැන දේශනා කරන ‘අපි පසුබට වන අයගේ ගණයට අයත් වන්නේ නැහැ’