Skip to content

පටුනට යන්න

ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගැනීම

ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගැනීම

ජීවිත කතාව

ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගැනීම

යූරී කප්ටෝලා

“ඔයාට ඇදහිල්ල තියෙනවා කියන එක මට දැන් හොඳටම විශ්වාසයි!” ඒ වචන පිට වුණේ සෝවියට් හමුදාවේ නිලධාරියෙකුගේ මුවින්. ඒක මට හිතාගන්නවත් බෑ. නමුත් ඒ වෙලාවේ මට ලැබුණේ පුදුම ධෛර්යයක්. මට දිගු කාලයක් හිරබත් කන්න නියම වෙලා තිබුණා. මම ඉතා ඕනෑකමින් උපකාරය ඉල්ලා යෙහෝවාට කන්නලව් කරමින් හිටියා. ඉදිරියේදී මහත් විඳදරාගැනීමක් හා දැඩි අධිෂ්ඨානයත් අවශ්‍ය වුණ ලොකු පොර බැඳීමකට මුහුණ දෙන්න වෙන තත්වයකයි ඒ වෙනකොට මම හිටියේ.

මම ඉපදුණේ 1962දී ඔක්තෝබර් 19වෙනිදා. හැදී වැඩුණේ යුක්‍රේනයේ බටහිර පැත්තේ පිහිටි ගමකයි. මම ඉපදුණ ඒ අවුරුද්දේම මගේ තාත්තාට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. මගේ තාත්තාගේ නමත් යූරී. අපේ ගමෙන් පළමුවෙන්ම යෙහෝවාට නමස්කාර කරන්නෙක් වුණේ මගේ තාත්තයි. කොහොමවුණත් අපේ තාත්තාගේ ක්‍රියාකාරකම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධ වුණ නිලධාරීන්ගේ අවධානයට ලක් නොවී තිබුණේ නම් නැහැ.

නමුත් අපේ දෙමාපියන් විදහාපෙන්වූ ක්‍රිස්තියානි ගුණාංග හා අනිත් අය ගැන දැක්වූ සැලකිල්ල අප අවට සිටි බොහෝදෙනෙක් අගය කළා. මගේ සහෝදරියන් තුන්දෙනා තුළත් මා තුළත් කුඩා කාලයේ ඉඳලාම දෙවිට ප්‍රේමයක් ඇති කිරීමට මගේ දෙමාපියන් සෑම අවස්ථාවකදීම උත්සාහ කළා. ඒ පුහුණුව පාසැලේදී මුහුණ දීමට තිබුණ අභියෝග ජයගන්න මට ගොඩක් උපකාරවත් වුණා. එක උදාහරණයක් කියනවා නම් ඔක්තෝබර් මාසයේ ලෙනින්ගේ දරුවෝ කියලා තමාවම හඳුන්වන බැජ් එකක් හැම ශිෂ්‍යයෙකුම පළඳින්න ඕනේ කියලා ඉස්කෝලේදී කිව්වා. දේශපාලන කටයුතුවලදී මම පැති නොගන්න නිසා මම ඒ බැජ් එක පැළඳුවේ නැහැ. ඒ නිසා අනිත් අයට වඩා වෙනස් වූ සිසුවෙක් ලෙස මාව කැපී පෙනුණා.—යොහන් 6:15; 17:16.

තවත් අවස්ථාවක මම තුන්වන පංතියේ ඉන්නකොට, පෙරමුණ ගන්න යෞවනයෝ යන නමින් හැඳින්වූ තරුණයන්ගේ කොමියුනිස්ට් සංගමයකට බැඳෙන්න කියලා හැම ළමයෙකුටම කිව්වා. ඉතින් එක දවසක් ඒකට බඳවා ගැනීමේ උත්සවය සඳහා අපිව පාසැලේ පිට්ටනියට ගෙනිච්චා. මට විහිළු කරයි කියලා නැත්නම් මට බණියි කියලා මම හරි බයෙන් හිටියේ. මං ඇරෙන්න අනිත් ඔක්කොම ළමයි ගෙදරින් රතු පාට කර වටා බඳින සළුවක් (ස්කාෆ් එකක්) ගෙනත් තිබුණා. විදුහල්පතිත්, ගුරුවරුනුත්, ඉහළ පංතිවල ශිෂ්‍යයන් ඉදිරියෙත් ඔක්කොම ළමයි පේළියක් ගැහිලා හිටගෙන හිටියා. ඉහළ පංතියේ ශිෂ්‍යයන්ට කිව්වා අපේ බෙල්ල වටේ ස්කාෆ් එක බඳින්න කියලා. මම බෙල්ල නමාගෙන බිම බලාගෙන හිතුවා කවුරුත් මාව දැක්කේ නැත්නම් හොඳයි කියලා.

ඈත සිරගෙවල්වලට ගෙන යෑම

අවුරුදු 18දී අවුරුදු තුනකට හිරබත් කන්න මට නියම කළා. ඒකට හේතුව මගේ ක්‍රිස්තියානි ස්ථාවරය නිසා මම දේශපාලනයේදී පැති නොගෙන කටයුතු කරපු නිසයි. (යෙසායා 2:4) යුක්‍රේනයේ විනිට්ස්කායා දිස්ත්‍රික්කයේ ටෘඩෝවෝයෙ නගරයේ මම අවුරුද්දක් හිරේ හිටියා. මම එහේ ඉන්න කොට මට තව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ 30දෙනෙක් විතර හමු වුණා. අපිව එකිනෙකාගෙන් වෙන් කරන්න ඕන වුණ නිසා නිලධාරීන් අපිව දෙන්නා දෙන්නා වශයෙන් කළ යුතු විවිධාකාර වැඩ පැවරුවා.

ඉඩූආර්ට් නම් තවත් සාක්ෂිකරුවෙකුවයි තවත් සිරකරුවෝ කිහිපදෙනෙකුවයි මාවයි 1982 අගෝස්තු මාසයේදී කෝච්චියකට දාලා යූරල් කඳුවල උතුරුකරයට ඇරියා. දවස් අටක් පුරා සිරකරුවන්ගෙන් පිරුණු ඒ කෝච්චි පෙට්ටියේ අපි හිර වෙලයි හිටියේ. ඒ මදිවට ඒකේ ඇතුළේ තිබුණ දැඩි රස්නයත් දරාගන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි ආවේ පර්ම්ශ්කායා දිස්ත්‍රික්කයේ සොලිකමසක් නගරයේ පිහිටි හිරගෙදරටයි. ඉඩූආර්ට් සහ මාව දැම්මේ වෙනම හිරකූඩූවලටයි. සති දෙකකට පස්සේ මාව කර්ස්නෝවීෂර්ස්කේ පළාතේ උතුරට වෙන්න පිහිටි වියොල්ස් නම් ප්‍රදේශයට අරගෙන ගියා.

අපි එහි ළඟා වෙද්දී මධ්‍යම රාත්‍රියත් පහුවෙලයි තිබුණේ. කිසි දෙයක් නොපෙනෙන තරම් කට්ට කළුවරයි. ඒ වෙලාවෙම නිලධාරියෙක් අපිට කිව්වා බෝට්ටුව හොයාගෙන ගඟෙන් එගොඩ වෙන්න කියලා. අපි බෝට්ටුවක් දැක්කෙත් නැහැ! ගඟක් දැක්කෙත් නැහැ! ඒ තරම් කළුවරයි. කොහොමහරි අපි අඳුරේම අතපත ගාලා අහම්බෙන් වගේ බෝට්ටුව හොයාගත්තා. බයෙන් ගැහි ගැහී අපි ගඟෙන් එගොඩ වුණා. එහිදී අපිට කන්දක් උඩ තිබුණ එළියක් පෙනුණා. එතැන කූඩාරම් කිහිපයකුත් තිබුණා. ඒක තමයි අපේ අලුත් ගෙදර වුණේ. මම හිටියේ තවත් සිරකරුවන් 30දෙනෙක් විතර හිටිය ටිකක් ලොකු කූඩාරමක. ශීත කාලයේදී අපි සමහර වෙලාවට සෙල්සියස් අංශක ඍණ 40ක් විතර ශීතලක් දරාගත්තා. ඒ සඳහා අපිට කූඩාරමෙන් ලැබුණේ ඉතා මද උණුසුමක්. සිරකරුවන්ගේ මූලික වැඩය වුණේ ගස් කැපීමයි. නමුත් මම සිරකරුවන්ට නවතින්න අවශ්‍ය වුණ පොඩි පැල්පත් සැදීමේ නියැලුණා.

හුදෙකලාව පිහිටි සිරකඳවුරට ලැබුණු වටිනා තෑග්ග

ඒ කඳවුරේ හිටිය එකම සාක්ෂිකරුවා මම විතරයි. නමුත් යෙහෝවා මාව අතහැරියේ නැහැ. ඒ කාලයේදී යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයේ ජීවත් වෙමින් සිටි මගේ අම්මාගෙන් දවසක් මට පාර්සලයක් ලැබුණා. ආරක්ෂක භටයෙක් පාර්සලය ඇරියාම ඔහු මුලින්ම දැක්කේ පොඩි බයිබලයක්. ඔහු ඒක අරගෙන පිටු පෙරළන්න පටන්ගත්තා. මේ වටිනා නිධානයක් බඳු බයිබලය ඔවුන් භාරයේ තබාගැනීමෙන් වැළැක්වීම සඳහා මට කියන්න පුළුවන් දෙයක් ගැන මම කල්පනා කළා. “මේ මොකද්ද?” ආරක්ෂක භටයා හදිස්සියෙන්ම වගේ ඇහැව්වා. මොනවාද කියන්නේ කියලා හිතාගන්නවත් ඉස්සෙල්ලා ඒ ළඟ හිටපු පරීක්ෂක නිලධාරියෙක් කිව්වා “ආ! ඒක ශබ්දකෝෂයක්නේ” කියලා. මම නිශ්ශබ්දව හිටියා. (දේශනාකාරයා 3:7) පරීක්ෂක නිලධාරියා පාර්සලයේ තිබුණ අනිත් ඒවත් බලලා වටිනා බයිබලයත් එක්ක මට ආපසු දුන්නා. මට දැනුණේ ලොකු සතුටක්! ඒ නිසා මම මගේ පාර්සලයේ තිබුණ කජු ටිකකුත් ඔහුට දුන්නා. මට ඒ පාර්සලය ලැබුණාම මම දැනගත්තා යෙහෝවා මාව අමතක කරලා නැහැ කියලා. යෙහෝවා මං ගැන සලකලා මගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට අවශ්‍ය උපකාරය මට දුන්නා.—හෙබ්‍රෙව් 13:5.

අත්නෑර දේශනා කිරීම

මාස කිහිපයකට පස්සේ කිලෝමීටර් 400ක් විතර එහායින් පිහිටි සිරකඳවුරක සිටි සාක්ෂිකාර සහෝදරයෙකුගෙන් මට ලියුමක් ලැබුණාම මම පුදුම වුණා. දැන් මගේ කඳවුරේ ඉන්න පුළුවන් කියා සිතන කලින් උනන්දුව දක්වපු කෙනෙක් ගැන ඒ ලියුමේ ලියලා තිබුණා. අපේ ලියුම් කඩලා බලපු නිසා ඒ වගේ ලියුමක් එවපු එක ඥානවන්ත දෙයක් වුණේ නැහැ. ඒ වැඩේ නිසා එක නිලධාරියෙක් මාව ඔහුගේ කාර්යාලයට කැඳවලා මට තදින් අවවාද කරලා කිව්වා දේශනා කිරීම නතර කරන්න කියලා. අනිත් අයත් එක්ක මගේ විශ්වාසයන් ගැන කතා කිරීම නවත්වනවා කියලා ලියපු ලියුමකට අත්සන් කරන්න කියලා ඔහු මට අණ කළා. මම යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් කියලා හැමදෙනෙක්ම දැනගෙන හිටියා නිසා ඒ වගේ ලියුමකට මම අත්සන් කරන්න ඕනේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ කියලා මම ඔහුට කිව්වා. ඒ නිසා මම මෙහෙම ඇහැව්වා. ‘අනිත් සිරකරුවන්ට ඕනේ ඇයි මාව හිරේ දාලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් මම මොනවාද ඒගොල්ලන්ට කියන්නේ?’ (ක්‍රියා 4:20) නිලධාරියා දැනගත්තා මාව භය කරන්න බැහැ කියලා. ඒ නිසා ඔහු මාව වෙන සිරකඳවුරකට මාරු කළා.

කිලෝමීටර් 200ක් විතර එහායින් තියෙන වායා කියන ගමට මාව මාරු කළා. එහි සිටි නිලධාරීන් මගේ ආගමේ විශ්වාසයන්ට ගරු කළා. ඒ නිසා යුද්ධයට සම්බන්ධ නැති වැඩවලට මාව දැම්මා. ඉස්සෙල්ලාම වඩුවෙක් හැටියටත් ඊට පස්සේ විදුලි කාර්මිකයෙක් හැටියටත් මට වැඩ දුන්නා. නමුත් ඒ වැඩවලදීත් මට අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණා. එක අවස්ථාවකදී මගේ ආයුධ ටිකත් අරගෙන ගමේ තියෙන සමාජ ශාලාවට යන්න කියලා කිව්වා. මම එහේ ගියාම එහි සිටි හේවායන් මාව දැකලා සතුටු වුණා. යුධ හමුදාවට අයත් විවිධ සංකේත වටා තිබුණ ආලෝක බුබුළු කැඩිලා තිබුණා. ඔවුන් රතු හමුදා දවස උත්සවාකාරයෙන් සැමරීමට සූදානම් වෙමින් සිටි නිසා ඒවා හදාගන්න ඔවුන්ට උදව් අවශ්‍ය වෙලා තිබුණා. මම ඒ ගැන යාච්ඤාපූර්වකව කල්පනා කළා. ඊට පස්සේ මම කිව්වා මට ඒ වගේ වැඩක් කරන්න බැහැ කියලා. මම ගෙනිච්ච ආයුධ ඔවුන්ට දීලා මම එතැනින් පිට වුණා. පසුව මට නියෝජ්‍ය අධ්‍යක්ෂකට වාර්තා කරන්න සිදු වුණා. මට විරුද්ධව තිබුණ චෝදනාවලට සවන් දීමෙන් පසු ඔහු මෙහෙම කිව්වා. “මම ඔහුට ගරු කරනවා. ඔහු ප්‍රතිපත්ති තියෙන මිනිසෙක්.” ඒක අහලා මම පුදුම වුණා.

නොසිතූ කෙනෙකුගෙන් ලැබූ දිරිගැන්වීම

හරියටම අවුරුදු තුනකින් ඒ කියන්නේ 1984 ජූනි 8වෙනිදා මාව සිරෙන් නිදහස් කළා. යූක්‍රේනයට ගියාට පස්සේ කලින් සිටි සිරකරුවෙක් ලෙසට හමුදාවට වාර්තා කරන්න මට සිදු වුණා. මාස හයකට පස්සේ නැවතත් මට නඩු විභාගයකට මුහුණ දෙන්න වෙයි කියලා නිලධාරීන් කිව්වා. ඒ නිසා මේ දිස්ත්‍රික්කය අතහැරලා යන එක හොඳයි කියලා ඔවුන් මට කිව්වා. පසුව මම යුක්‍රේනය අතහැරලා ලැට්වියාවේ රැකියාවක් හොයාගත්තා. එහි අගනුවර වූ රීගාහි සිටි කුඩා සාක්ෂිකාර කණ්ඩායමක් එක්ක ටික කලකට ආශ්‍රය කරන්නත් දේශනා සේවය කරන්නත් හැකියාව ලැබුණා. කොහොමවුණත් අවුරුද්දකට පස්සේ නැවතත් මාව හමුදා සේවයට කැඳෙව්වා. බඳවාගැනීමේ කාර්යාලයේදී මම ඒ නිලධාරියාට කිව්වා මම කලිනුත් හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කළා කියලා. ඊට පිළිතුරු වශයෙන් ඔහු කෑගහලා කිව්වේ “ඔයා දන්නවාද ඔයා මේ මොනවාද කරන්නේ කියලා? ලුතිනන් කර්නල් ළඟට ගියාම ඔයා මොනවාද කියන්නේ කියලා අපි බලමු!”

ඒ ගොඩනැඟිල්ලේ දෙවන තට්ටුවට ඔහු මාව එක්කර ගෙන ගියා. එහිදී ලුතිනන් කර්නල් දිග මේසයක් ළඟ ඉඳගෙන හිටියා. මගේ ස්ථාවරය ගැන මම පැහැදිලි කරද්දී ඔහු හොඳින් සවන් දුන්නා. බඳවාගැනීමේ කමිටුව ඉදිරියට යන්න තව වෙලාව තියෙන නිසා නැවත වතාවක් මගේ තීරණය ගැන හිතා බලන්න කියලා ඔහු මට කිව්වා. ලුතිනන් කර්නල්ගේ කාර්යාලයෙන් පිටවෙද්දී මට කලින් බැණපු නිලධාරියා මට මෙහෙම කියලා ඔහුගේ කනගාටුව ප්‍රකාශ කළා. “ඔයාට ඇදහිල්ල තියෙනවා කියන එක මට දැන් හොඳටම විශ්වාසයි!” හමුදා කමිටුව ඉදිරියට මාව ගෙන ගියාම මම නැවතත් දේශපාලනයේදී පැති නොගන්න බවට වන මගේ ස්ථාවරය ගැන පැහැදිලි කළා. ඉන්පසු ටික කලකට ඔවුන් මාව නිදහස් කළා.

ඒ ටික කාලේදී මම හිටියේ බෝඩිමක. එක දවසක් මගේ දොරට කෙනෙක් හෙමින් තට්ටු කළා. මම දොර ඇරියහම දැක්කා හොඳට ඇඳ පැළඳ ගත්තු කෙනෙක් බෑග් එකකුත් අරගෙන හිටගෙන ඉන්නවා. ඔහු තමාවම හඳුන්වා දෙමින් මෙහෙම කිව්වා. “මම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන්. මම දන්නවා ඔයා ප්‍රශ්න කිහිපයකට මැදි වෙලා ඉන්නවා කියලා. ඒ වගේම ආයෙත් ඔයාට උසාවියේදී පෙනී සිටින්නත් වෙනවා කියන එකත් මම දන්නවා.” “ඔව් ඒක ඇත්තයි” කියලා මම කිව්වා. තවදුරටත් ඔහු මෙහෙම කිව්වා. “ඔයා අපිට වැඩ කරන්න පොරොන්දු වෙනවා නම් අපිට පුළුවන් ඔයාට උදව් කරන්න.” “ඒක කරන්න මට බැහැ. මගේ ක්‍රිස්තියානි විශ්වාසයන්ට එකඟව මම ජීවත් වෙනවා” කියලා මම කිව්වා. මුකුත් කියන්නේ නැතිවම ඔහු යන්න ගියා.

නැවතත් සිරගෙදරට, පසුව නැවතත් දේශනා සේවයට

වර්ෂ 1986 අගෝස්තු 26දා රීගාහි අධිකරණයෙන් අවුරුදු හතරකට බර වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර මාව රීගාහි ප්‍රධාන බන්ධනාගාරයට ගෙන ගියා. එහිදී මාව වෙනත් සිරකරුවන් 40දෙනෙක් එක්ක ලොකු සිරකූඩුවකට දැම්මා. එහි සිටි හැම කෙනෙක්ටම දේශනා කරන්න මම උත්සාහ කළා. සමහරු දෙවියන් ගැන විශ්වාස කරනවා කියලා කිව්වා. තවත් අය මට හිනා වුණා. මම දැනගත්තා මේ මිනිස්සු කණ්ඩායම් වශයෙන් බෙදිලා ඉන්න බව. සති දෙකකට පස්සේ මේ කණ්ඩායම්වල නායකයෝ මට කිව්වා ඒගොල්ලන්ගේ නීති රීතිවලට මම එකඟ නැති නිසා මට දේශනා කරන්න එපා කියලා. මම කිව්වා මාව හිරේට දාලා තියෙන්නෙත් මම වෙනස් නීති මාලාවකට කීකරු වෙන නිසයි කියලා.

මම කල්පනාවෙන් දේශනා කළා. උනන්දුව දක්වන කිහිපදෙනෙක් මට හම්බ වුණා. ඉන් හතරදෙනෙක් එක්ක මම බයිබල් පාඩම් පැවැත්තුවා. අපේ සාකච්ඡාවන් අතරතුර අපි කතා කළ මූලික බයිබල් සත්‍යතාවන් ඔවුන් සටහන් පොතක ලියා ගත්තා. මාස කිහිපයකට පස්සේ මාව වල්මියෙරා නගරයේ පිහිටි අධි ආරක්ෂිත සිරකඳවුරකට යැව්වා. මම එහිදී විදුලි කාර්මිකයෙකු හැටියට වැඩ කළා. එහිදී තවත් විදුලි කාර්මිකයෙකු එක්ක මට බයිබලය පාඩම් කරන්න පුළුවන් වුණා. අවුරුදු හතරකට පස්සේ ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණා.

ඊට පස්සේ 1988 මාර්තු 24වෙනිදා මාව අධි ආරක්ෂිත සිරකඳවුරේ ඉඳන් ළඟපාත පිහිටි වෙනත් කඳවුරකට මාරු කළා. එහිදී මට වැඩි නිදහසක් තිබුණ නිසා ඒක මට ලොකු ආශීර්වාදයක් වුණා. විවිධාකාර ගොඩනැඟිලි තැනීමේ ව්‍යාපෘතිවල වැඩ කිරීමට මට පැවරුණ නිසා නිතරම මම දේශනා කිරීමට ප්‍රස්තාවන් සෙව්වා. නිතරම වගේ මම කඳවුරෙන් පිටට ගිහිල්ලා රෑ වෙනකං දේශනා සේවය කරනවා. නමුත් මම නැවත ආවාම කවුරුත් මගෙන් ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ.

යෙහෝවා මගේ වෑයම්වලට ආශීර්වාද කළා. ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් ජීවත් වුණා. නමුත් ඒ නගරයේ හිටියේ එක මහලු සාක්ෂිකාරියක් පමණයි. ඇයගේ නම විල්මා කෲමීන්යා. සහෝදරී කෲමීන්යායි මමයි එකතු වෙලා තරුණ අය කිහිපදෙනෙක් එක්කම බයිබල් පාඩම් පැවැත්තුවා. විටින් විට රීගා ඉඳලා සහෝදර සහෝදරියන් ආවා සේවයේ හවුල් වෙන්න. සමහර ස්ථාවර පුරෝගාමීන් ලෙනින්ග්‍රෑඩ් (දැන් සාන්ත පීටර්ස්බර්ග්) ඉඳලත් අපි සමඟ දේශනා සේවයේ හවුල් වෙන්න ආවා. යෙහෝවාගේ උපකාරය ඇතිව අපි බයිබල් පාඩම් කිහිපයක්ම පටන්ගත්තා. දේශනා සේවයේ පැය 90ක් වාර්තා කරමින් මමත් පුරෝගාමී සේවයට ඇතුල් වුණා.

වර්ෂ 1990 අප්‍රියෙල් 7වෙනිදා වැල්මීයෙරා මහජන උසාවියේදී මගේ නඩුව විභාගයට ගැනුණා. නඩුව අහන්න පටන්ගත්තාම මට විරුද්ධව කතා කරන නීතිඥවරයාව මම හඳුනාගත්තා. ඒ මම කලින් බයිබලය පාඩම් කළ යෞවනයෙක්! ඔහු මාව හඳුනාගෙන හිනා වුණා. නමුත් මුකුත් කිව්වේ නැහැ. විනිශ්චයකරු එදා මට කිව්ව දේ මට තාමත් මතකයි. “යූරී, මීට අවුරුදු හතරකට කලින් ඔයාව සිරගත කිරීමට ගත් තීරණය නීති විරෝධීයි. ඔයාව වරදකරුවෙක් කළ එක වැරදියි.” මේ විදියට හිටි හැටියේම මාව නිදහස් කළා!

ක්‍රිස්තුස් වෙනුවෙන් සේවය කිරීම

නැවත වතාවක් ඒ කියන්නේ 1990 ජූනි මාසයේදී බඳවාගැනීමේ කාර්යාලයක ලියාපදිංචි වීම අවශ්‍ය වුණා. ඒ රීගාහි පුරවැසිභාවය ලබාගැනීමටයි. මීට අවුරුදු හතරකට කලින්, ලුතිනන් කර්නල්වරයා ඉදිරියේ දිග මේසයක් ළඟ හිටගෙන මම හමුදාවට බැඳිලා වැඩ කරන්නේ නැහැ කියලා කියපු තැනටමයි මම නැවතත් ගියේ. මේ අවස්ථාවේදී නම් ඔහු නැඟිටලා, මට අතට අත දීලා මෙහෙම කිව්වා “ඔයාට ඒ වගේ දඬුවමක් විඳින්න වුණ එක ගැන මට හරි කනගාටුයි.”

මම මෙහෙම කිව්වා “මම ක්‍රිස්තුස්ගේ හේවායෙක්. ඒ නිසා ක්‍රිස්තුස් මට අණ කරලා තියෙන දේ මම කරන්න ඕනේ. ක්‍රිස්තුස් තමන්ගේ අනුගාමිකයන්ට පොරොන්දු කරලා තියෙන දේ, එනම් ප්‍රීතිමත් ජීවිතයක් හා සදාකාල අනාගතයක් භුක්ති විඳින්න ඔයාටත් පුළුවන්. ඒ සඳහා උපකාරය බයිබලයෙන් ලබාගන්න පුළුවන්.” (2 තිමෝති 2:3, 4) “මම මේ ළඟදී බයිබලයක් ගත්තා. මම දැන් ඒක කියවනවා” කියලා කර්නල්වරයා කිව්වා. මගේ ළඟ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්ට ඔබට හැක කියන පොත තිබුණා. * අන්තිම දවස්වල ලකුණු ගැන විස්තර කරන පරිච්ඡේදයට හරවලා අපගේ කාලයට බයිබල් අනාවැකි සම්බන්ධ වන්නේ කොහොමද කියලා මම ඔහුට පෙන්නුවා. ගැඹුරු අගය කිරීමකින් යුක්තව කර්නල්වරයා නැවත මට අතට අත දීලා මගේ වැඩ සාර්ථකව කරගෙන යන්න කියලා මට සුභ පැතුවා.

මේ වෙද්දී ලැට්වියාවේ කෙත හොඳින් පැසී තිබුණා. ඒ කියන්නේ දේශනා කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙලා තිබුණා. (යොහන් 4:35) වර්ෂ 1991 පටන් මම සභා වැඩිමහල්ලෙක් ලෙසට සේවය කරන්න පටන්ගත්තා. එතකොට මුළු රටටම හිටියේ පත් කරන ලද වැඩිමහල්ලන් දෙන්නෙක් විතරයි! ඊට අවුරුද්දකට පස්සේ ලැට්වියාවේ තිබුණ එකම සභාව දෙකට බෙදුවා. එකක් ලැට්වියානු බස කතා කරන සභාව. අනෙක රුසියානු බස කතා කරන සභාව. රුසියානු සභාව සමඟ මට වැඩ කිරීමේ වරප්‍රසාදය ලැබුණා. කෙතරම් වේගවත් වර්ධනයක් තිබුණාද කිවහොත් ඊළඟ අවුරුද්දේ අපේ සභාව තුනකට බෙදුවා! අතීත සිදුවීම් දෙස හැරිලා බලන කොට එක දෙයක් පැහැදිලියි. එනම් යෙහෝවා තම බැටළුවන්ව තම සංවිධානයට මඟ පෙන්වමින් සිටි බවයි.

රීගාවලට නිරිත දිගින් කිලෝමීටර් 40ක් පමණ එහායින් පිහිටි යෙල්ගාවාවලට මාව විශේෂ පුරෝගාමියෙක් හැටියට 1998දී පත් කළා. ඒ අවුරුද්දේම මට දේවසේවා පුහුණු පාසලට සහභාගි වීමට ඇරයුමක් ලැබුණා. ලැට්වියාවෙන් ඇරයුම් ලැබුණ පළමු සහෝදරයා වුණේ මමයි. පාසල තිබුණේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්වලට නුදුරුව තිබුණ සෝල්නෙක්නෝ නගරයේයි. එය පැවැත්තුවේ රුසියානු බසින්. පාසැලේදී මට වැටහුණ කාරණයක් තමයි සේවයේදී සාර්ථක වීමට නම් ජනයා කෙරෙහි ප්‍රේමණීය ආකල්පයක් තිබීම වැදගත් කියන එක. පාසැලේදී උගන්නපු දේවල්වලට අමතරව මට විශේෂයෙන් කාවැදුණ යමක් තියෙනවා. ඒ තමයි බෙතෙල් පවුලේ අය හා පාසලේ උපදේශකවරු අපට පෙන්නූ ප්‍රේමය හා දුන් අවධානය.

ප්‍රියකරු ක්‍රිස්තියානි කාන්තාවක් වූ කරීනාව 2001දී මම විවාහ කරගත්තාම මගේ ජීවිතයේ තවත් කඩඉමක් මම පසු කළා. කරීනත් මාත් එක්ක විශේෂ පූර්ණ කාලීන සේවයට හවුල් වුණා. හැමදාම ක්ෂේත්‍ර සේවයෙන් පස්සේ මගේ බිරිඳ සතුටින් එනවා දකිද්දී මම ලොකු දිරිගැන්වීමක් ලබනවා. යෙහෝවාට සේවය කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. කොමියුනිස්ට්වාදීන් යටතේ මට ලැබුණ දරුණු අද්දැකීම නිසා යෙහෝවා කෙරෙහි සම්පූර්ණයෙන්ම රඳා සිටීමට මම ඉගෙනගත්තා. යෙහෝවාගේ මිතුරෙක් වීමටත් පාලනය කිරීමට ඔහුට ඇති අයිතිය තහවුරු කිරීමට සහයෝගය දීම සඳහාත් කෙනෙක් කරන ඕනෑම පරිත්‍යාගයක් වටිනවා. අනිත් අයට යෙහෝවා ගැන ඉගෙනගැනීමට උදව් කිරීම නිසා මගේ ජීවිතේට අරමුණක් තියෙනවා. යෙහෝවාට සේවය කිරීම නිසාත් “ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙකු” වීම නිසාත් මට ලැබිලා තියෙන්නේ ලොකු ගෞරවයක්.—2 තිමෝති 2:3.

[පාදසටහන]

^ 29 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිතයි. නමුත් දැන් මුද්‍රණය නොකරේ.

[10වන පිටුවේ පින්තූරය]

රීගාහි ප්‍රධාන බන්ධනාගාරයේ බර වැඩ සහිතව වසර හතරකට සිරදඬුවම් විඳීමට මට නියම කළා

[12වන පිටුවේ පින්තූරය]

කරීනා සහ මම දේවසේවයේ යෙදෙමින්