Skip to content

පටුනට යන්න

කැලඹිලි සහිත මේ කාලයේදී දෙවි සමඟ ගමන් කරන්න

කැලඹිලි සහිත මේ කාලයේදී දෙවි සමඟ ගමන් කරන්න

කැලඹිලි සහිත මේ කාලයේදී දෙවි සමඟ ගමන් කරන්න

“ඒනොක් දෙවි සමඟ හැසුරුණේය [ගමන් කළේය]. දෙවි ඔහු ගත් බැවින් ඔහු නොසිටියේය.”—උත්පත්ති 5:24.

1. අප ජීවත් වන කාලය විපත්ති සහිත කාලයක් වන්නේ කුමන දේවල් නිසාද?

කැලඹිලි සහිත කාලයක්! දේවරාජ්‍යයේ උපත සිදු වූ වර්ෂය වන 1914 පටන් මේ දක්වා, මිනිසුන් අද්දැක තිබෙන නොසන්සුන් මෙන්ම දරුණු සාහසික තත්වය ඒ වචනවලින් පැහැදිලිවම කියාපානවා. ඒ කාලය “අන්තිම දවස්” කියා හඳුන්වන කාල පරිච්ඡේදයයි. මීට පෙර කවදාවත් සිදු නොවූ පරිමාණයකින් එක පිට එක හටගන්නාවූ සාගත, වසංගත, භූමිකම්පා සහ යුද්ධ වැනි විපත්තිවලට මුහුණ දීමට මිනිස්වර්ගයාට සිදු වී තිබෙනවා. (2 තිමෝති 3:1; එළිදරව් 6:1-8) යෙහෝවාගේ සේවකයන් මේ පීඩාවලින් නිදහස් නැහැ. අපි සියලුදෙනාටම මේ කාලයේ තිබෙන දුෂ්කරතා හා අවිනිශ්චිත තත්වයන්ට යම් ප්‍රමාණයකින් හෝ මුහුණ දීමට සිදු වෙනවා. ජීවිතය දුෂ්කර කරවන දේවල් අතර ආර්ථික ප්‍රශ්න, දේශපාලන නොසන්සුන්කම, අපරාධ සහ ලෙඩ රෝග සඳහන් කළ හැකියි.

2. යෙහෝවාගේ සේවකයන් මුහුණ දී ඇත්තේ කුමන අභියෝගවලටද?

2 මීට අමතරව යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙකුට දිනෙන් දින වැඩි වන දරුණු පීඩා විඳදරාගන්නත් සිදු වී තිබෙනවා. “දෙවිගේ ආඥා පිළිපදින, යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය සතු” ඔවුන්ට විරුද්ධව සාතන් සටනක යෙදෙමින් සිටිනවා. (එළිදරව් 12:17) සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ට ඍජු ලෙස පීඩාවලට මුහුණ දෙන්න සිදු වෙලා නැතත්, අප සියලුදෙනාටම සාතන්ට හා ඔහු ඇති කරන ස්වභාවයට විරුද්ධව සටන් කරන්න වෙනවා. (එෆීස 2:2; 6:12) සාතන් ඇති කරන ඒ ස්වභාවයට විරුද්ධ වීමට නම් නිතරම ඒ ගැන අවදියෙන් සිටින්න අවශ්‍යයි. ඊට හේතුව අපි පාසැලේදී රැකියා ස්ථානයේදී හා වෙනත් ස්ථානවලදී සැබෑ නමස්කාරයට උනන්දුවක් නැති අය සමඟ ගැවසෙන නිසයි.

ජාතීන් සමඟ නොව දෙවි සමඟ ගමන් කරන්න

3, 4. ක්‍රිස්තියානීන් ලෝකයේ අයට වඩා වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද?

3 මුල් ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ටත් ලෝකයේ ස්වභාවයට විරුද්ධව සිටීමට දැඩි සටනක යෙදෙන්න සිදු වුණා. ඒ නිසා ක්‍රිස්තියානි සභාවෙන් පිටස්තරව සිටි අය සමඟ සසඳද්දී ඔවුන් කැපීපෙනෙන ලෙස වෙනස් අය වුණා. ඒ වෙනස ගැන පාවුල් සඳහන් කළේ මෙයාකාරයටයි. “ජාතීන් නිෂ්ඵල මානසිකත්වයකින් යුතුව ගමන් කරන්නාක් මෙන් ඔබ මෙතැන් පටන් ගමන් නොකළ යුතු බව ස්වාමීන් තුළ මම සාක්ෂි දරමින් කියමි. එමෙන්ම ඔවුන්ගේ නොදැනුවත්කම නිසාත්, ඔවුන්ගේ සිත්වල දැඩිකම නිසාත්, ඔවුහු මානසික වශයෙන් අන්ධකාරයෙහිද දෙවිගෙන් වූ ජීවනයෙන් ඈත්වද සිටිති. කිසිම සදාචාරමය හැඟීමක් නැතිව සිටින ඔවුහු, සියලු ආකාරයේ අපවිත්‍රකම් කිරීමට ගිජුකමක් දක්වන පිණිස නින්දිත හැසිරීමට භාර වූහ.”—එෆීස 4: 17-19.

4 මේ ලෝකයේ සිටින මිනිසුන් දෙවිගෙන් කොතරම් ඈත් වෙලාද, ඒ වගේම සදාචාරමය ලෙස කොතරම් පිරිහුණු තත්වයක සිටිනවාද කියන කාරණය ඒ වචනවලින් මනාව පැහැදිලියි. ඒ තත්වය පාවුල්ගේ දවසේ වගේම අදත් දකින්න තිබෙනවා. පළමු ශතවර්ෂයේ මෙන් අද කාලයේ සිටින ක්‍රිස්තියානීන් ‘ජාතීන් මෙන් ගමන් කරන්නේ නැහැ.’ ඒ වෙනුවට දෙවි සමඟ ගමන් කිරීමේ උතුම් වරප්‍රසාදය ඔවුන් භුක්ති විඳිනවා! දුර්වල පව්කාර මිනිසුන්ට යෙහෝවා සමඟ ගමන් කරන්න පුළුවන්ද කියලා සමහර අය ප්‍රශ්න කරනවා. එසේ කිරීමට පුළුවන් බව බයිබලය කියනවා. ඒ වගේම තමා සමඟ ගමන් කිරීම යෙහෝවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ක්‍රිස්තු පූර්ව 700 ගණන්වලදී විසූ මීකා නම් අනාගතවක්තෘ දෙවි පැවසු වචන මෙහෙම සටහන් කළා. “යුතු දේ කරන්ටත් කරුණාවට ප්‍රියවන්ටත් ඔබේ දෙවි සමඟ යටත්ව හැසිරෙන්ටත් [ගමන් කරන්නටත් ] මිස යෙහෝවා ඔබගෙන් ඉල්ලන්නේ කුමක්ද?”—මීකා 6:8.

දෙවි සමඟ ගමන් කළ යුත්තේ කෙසේද? ඒ මන්ද?

5. දුර්වල පව්කාර කෙනෙකුට දෙවි සමඟ ගමන් කළ හැක්කේ කෙසේද?

5 විශ්වයේ බලවත්ම තැනැත්තා වන යෙහෝවා දෙවිව අපට නොපෙනෙන නිසා ඔහුත් එක්ක අපට ගමන් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඇත්තයි, මිනිසුන් සමඟ ගමන් කරනවා වගේ අපට ඔහුත් එක්ක ගමන් කරන්න බැහැ. බයිබලයේ සඳහන් “ගමන් කිරීම” යන යෙදුම “යම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම” අදහස් කරනවා. * දෙවි සමඟ ගමන් කරන කෙනෙක් දෙවි විසින් පෙන්වන ආකාරයට හා දෙවිව සතුටු කරවන අන්දමේ ජීවිතයක් ගත කරනවා. අපි ඒ වගේ ජීවිතයක් ගත කරද්දී අප අවට සිටින අයට වඩා අප වෙනස් බව පෙන්වනවා. ක්‍රිස්තියානියෙකුට ගත කළ හැකි හොඳම ජීවිතය එයයි. ඇයි අපි එහෙම කියන්නේ? එයට හේතු බොහොමයක් තියෙනවා.

6, 7. දෙවි සමඟ ගමන් කිරීම හොඳම දෙය වෙන්නේ ඇයි?

6 එක හේතුවක් නම් අපව නිර්මාණය කළේ යෙහෝවායි. ඒ වගේම අපේ ජීවිතයේ උල්පතත් ඔහුයි. අපගේ ජීවිත පවත්වාගෙන යෑමට සෑම දෙයක්ම සපයන්නෙත් ඔහුයි. (එළිදරව් 4:11) ඒ නිසා අප ජීවත් විය යුත්තේ කෙසේද කියා කීමට අයිතිය ඇත්තේද ඔහුටයි. ඊට අමතරව අපට අපගේ ජීවිතයේ කළ හැකි හොඳම දෙය වන්නෙත් දෙවි පෙන්වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමයි. එවැනි ජීවිතයක් ගත කරන අයගේ පව්වලට සමාව දීමට යෙහෝවා දැනටමත් සැලසුම් යොදා තිබෙන අතර සදාකාල ජීවනයේ ස්ථිර බලාපොරොත්තුවද ඔහු ඔවුන් ඉදිරියේ තබා තිබෙනවා. අපි ජීවත් වන්නේ සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකයකයි. ඒ වගේම අප තුළම වැරදි කිරීමට නැඹුරුවාවක්ද තිබෙනවා. ඒ වුණත්, අපගේ ප්‍රේමණීය පියාණන් වන යෙහෝවා දෙන ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගන්නවා නම් එයින් අපගේ ජීවිතය සාර්ථක කරගත හැකියි. (යොහන් 3:16; 2 තිමෝති 3:15, 16; 1 යොහන් 1:8; 2:25; 5:19) දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට තිබෙන තවත් හේතුවක් නම් එසේ කිරීමට අපට තිබෙන ආශාව ක්‍රිස්තියානි සභාව තුළ සාමය හා සමඟිය පවත්වාගෙන යෑමට මහත් සේ දායක වීමයි.—කොලොස්සි 3:15, 16.

7 අවසාන වශයෙන් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට තිබෙන වඩාත්ම වැදගත් හේතුව මෙයයි. ඒදන් උයනේදී මුළු විශ්වය පාලනය කිරීමට දෙවිට තිබෙන අයිතිය පිළිබඳ පැන නැඟුණ ප්‍රශ්නයේදී අපි ගන්නේ කාගේ පැත්තද කියා ඉන් අපට ඔප්පු කළ හැකිවීමයි. (උත්පත්ති 3:1-6) අපි මුළුමනින්ම යෙහෝවාගේ පැත්තේ බව අප ගත කරන ජීවිතයෙන් ඔප්පු වෙනවා. ඒ වගේම මුළු විශ්වයේම පාලකයා යෙහෝවා බව අපි නිර්භීතයෙන් ප්‍රකාශ කරනවා. (ගීතාවලිය 83:17) එසේ කිරීම, දෙවිගේ නමට ඇති වී තිබෙන කැළල ඉවත් වේවා කියාත් දෙවිගේ කැමැත්ත මේ පොළොවේ සිදු වේවා කියාත් අප කරන යාච්ඤාවට එකඟව ක්‍රියා කිරීමක් වෙනවා. (මතෙව් 6:9, 10) එසේනම් දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට තීරණය කිරීම කොතරම් ඥානවන්ත දෙයක්ද! යෙහෝවා “එකම ප්‍රඥාවන්ත දෙවි” වන අතර ඔහු කවදාවත් වරදක් කරන්නේ නැහැ! ඒ නිසා ඔහු බලාපොරොත්තු වන ආකාරයේ ජීවිතයක් ගත කරන එක තමයි කෙනෙකුට කළ හැකි හොඳම දෙය.—රෝම 16:27.

8. ඒනොක් සහ නෝවා ජීවත් වූ කාලය අපගේ කාලයට සමාන වෙන්නේ කොහොමද?

8 ඒ වුණත් අප ජීවත් වන්නේ කැලඹුණු කාලයකයි. අප අවට සිටින ජනයා යෙහෝවාට සේවය කිරීමට කිසිම කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ තත්වයන් මැද වුණත් කෙනෙකුට ක්‍රිස්තියානිවරයෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන් කොහොමද? මෙයට පිළිතුර දැනගැනීම සඳහා අතීතයේදී දෙවිට සේවය කළ පුරුෂයන් අසීරු කාලවලදී වුවත් දෙවිට ලැදිව සිටි ආකාරය අපි සලකා බලමු. ඒනොක් සහ නෝවා ඔවුන්ගෙන් දෙදෙනෙක්. අපි දැන් ජීවත් වන අසීරු කාලය හා සමාන දුෂ්ටකම දසත පැතිරුණු කාලයකයි ඔවුනුත් ජීවත් වුණේ. නෝවාගේ කාලයේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා අනාචාරය පිරී තිබුණා. ඒ වුණත් නෝවා සහ ඒනොක් ඒ කාලයේ සිටි මිනිසුන් අතර තිබූ දුෂ්ට ස්වභාවයට විරුද්ධව සිටියා විතරක් නෙවෙයි ඔවුන් දිගටම යෙහෝවාව සතුටු කරමින් ජීවත් වුණා. ඔවුන්ට ඒක කරන්න පුළුවන් වුණේ කොහොමද? මේ ලිපියෙන් ඒනොක්ගේ ආදර්ශය ගැනත් ඊළඟ ලිපියේදී නෝවාගේ ආදර්ශය ගැනත් සලකා බැලීමෙන් එයට පිළිතුර සොයාගන්න අපට පුළුවන්.

කැලඹුණු කාලයකදී ඒනොක් දෙවි සමඟ ගමන් කළා

9. ඒනොක් ගැන අපට තිබෙන තොරතුරු මොනවාද?

9 දෙවි සමඟ ගමන් කළා කියා බයිබලය පවසන පළමුවෙනි තැනැත්තා වන්නේ ඒනොක්. බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ මෙයයි. “ඒනොක් මෙතුසෙලා ඉපදෙවු පසු . . . දෙවි සමඟ හැසුරුණේය [ගමන් කළේය].” (උත්පත්ති 5:22) ඔහු ජීවත් වූ කාලය ගැන වාර්තා කිරීමෙන් පසුව එහි මෙසේ පවසනවා. “ඒනොක් දෙවි සමඟ හැසුරුණේය; දෙවි ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.” (උත්පත්ති 5:24) ඒනොක්ගේ ආයුෂ කාලය අපගේ ආයුෂ කාලය හා සමඟ සසඳද්දී දීර්ඝ එකක් මෙන් පෙනුණත් ඔහුගේ කාලයේ සිටි මිනිසුන්ට තිබූ ආයුෂ සමඟ සසඳද්දී එය කෙටි එකක් වුණා. එසේවීමට හේතුව වෙන්න ඇත්තේ ඒ කාලයේ සිටි දුෂ්ට මිනිසුන් ඔහුට හිංසා පීඩා කරන්න කලින් දෙවි ඔහුව මරණය නමැති නින්දට පත් කළ නිසා විය හැකියි. (හෙබ්‍රෙව් 11:5, 13) මේ තොරතුරුවලට අමතරව බයිබලයේ ඒනොක් ගැන සඳහන් වෙන්නේ අවස්ථා කිහිපයකදී පමණයි. ඒ වුණත් ඔහු ගැන අපට තිබෙන තොරතුරු හා වෙනත් සාක්ෂිවලට අනුව ඒනොක් ජීවත් වුණේ කැලඹිලි සහිත කාලයක බව අපට ස්ථිරයෙන්ම කියන්න පුළුවන්.

10, 11. (අ) ආදම් සහ ඒව දෙවිට විරුද්ධ වීමෙන් පසුව දුෂ්ටකම පැතිර ගියේ කොහොමද? (ආ) ඒනොක් පැවසූ අනාවැකිමය පණිවුඩය කුමක්ද? ඊට ඔහු ලැබූ ප්‍රතිචාරය කුමක්ද?

10 ආදම් පව් කළාට පස්සේ මිනිස් වර්ගයා කොතරම් ඉක්මනින් පිරිහුණාද! ආදම්ගේ වැඩිමල් පුත්‍රයා මිනිස් ඉතිහාසයේ සිටි පළමුවෙනි මිනීමරුවා බවට පත් වුණා. ඒ තමාගේම සහෝදරයා වූ ආබෙල්ව මරණයට පත් කිරීමෙන්. (උත්පත්ති 4:8-10) කායින් විසින් සිදු කරනු ලැබූ ඒ දරුණු මිනීමැරුමෙන් පසුව ආදම් සහ ඒවට තවත් පුත්‍රයෙක් ඉපදුණා. ඔහුගේ නම සෙත්. ඔහු ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙයයි. “සෙත්ටද පුත්‍රයෙක් උපන්නේය; ඔහු ඒනොෂ් යන නම ඔහුට තැබීය. එකල මනුෂ්‍යයෝ යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කරන්ට පටන් ගත්තෝය.” (උත්පත්ති 4:25, 26) නමුත් ඒ කාලයේදී “යෙහෝවාගේ නාමය කියා යාච්ඤා” කළත් එය සිදු කළේ දෙවි බලාපොරොත්තු වූ ආකාරයට නෙවෙයි. * ඒනොෂ්ගේ උපතින් වසර ගණනාවකට පසුව කායින්ගෙන් පැවතෙන්නෙක් වූ ලාමෙක් ඔහුගේ භාර්යාවන් දෙදෙනා වෙනුවෙන් ගීතයක් රචනා කළා. එහිදී ඔහු පවසන්නේ තමාට තුවාල කළ තරුණයෙක්ව ඔහු මැරූ බවයි. ඔහු තවදුරටත් තර්ජනය කරමින් පවසන්නේ මේ විදිහටයි. “කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම්, සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක්” වන්නේය කියායි.—උත්පත්ති 4:10, 19, 23, 24.

11 ඉහත සඳහන් විස්තරවලින් අදහස් කරන්නේ දෙවිට විරුද්ධ වීමට සාතන් විසින් ඒදන් උයනේදී කළ පෙලඹීම නිසා ආදම්ගෙන් පැවතෙන්නන් අතරේ දුෂ්ටකම ඉක්මනින්ම පැතිර ගිය බවයි. ඒනොක් අනාගතවක්තෘවරයෙක් ලෙස කටයුතු කළේ එවැනි දුෂ්ට කාලයකයි. ඔහු එදා පැවසූ අනාවැකිමය වචන අදටත් අදාළයි. ඒ ගැන වාර්තා කරන යූද් පවසන්නේ මෙයයි. “බලන්න! යෙහෝවා තම දසදහස් ගණන් ශුද්ධ දූතයන් සමඟ පැමිණියේය. එසේ පැමිණියේ සියල්ලන්ව විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් අභක්තික ලෙස කරන ලද සියලු අභක්තික ක්‍රියා නිසාද, අභක්තික පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව කියන ලද තැතිගන්වනසුලු සියලු දේවල් නිසාද ඔවුන්ව වැරදිකරුවන් ලෙස ඔප්පු කරන පිණිසත්ය.” (යූද් 14, 15) ඒනොක්ගේ එම වචන මුළුමනින්ම ඉටු වෙන්නේ අර්මගෙදොන්හිදී වුණත් එය එදාටත් අදාළ වුණා. (එළිදරව් 16:14, 16) ඒනොක් ජීවත් වුණේ “අභක්තික පව්කාර” මිනිසුන්ගෙන් පිරී තිබූ කාලයකයි. ඒ වචන අසා ඒ මිනිසුන් පුදුමයටත් කෝපයටත් පත් වෙන්න ඇති. ඒ නිසා ඔවුන් ඒනොක්ට හානියක් කිරීමට පෙර යෙහෝවා දෙවි ඔහුව ගැනීම මොන තරම් ප්‍රේමණීය ක්‍රියාවක්ද!

දෙවි සමඟ ගමන් කිරීමට ඒනොක්ට ශක්තිය ලැබුණේ කොහොමද?

12. ඒනොක් ඔහුගේ කාලයේ විසූ අයට වඩා වෙනස් කෙනෙක් වුණේ ඇයි?

12 ඒදන් උයනේදී ආදම් සහ ඒව සාතන්ට ඇහුම්කන් දී දෙවිට විරුද්ධව කැරලි ගැසුවා. (උත්පත්ති 3:1-6) නමුත් ඔවුන්ගේ පුතා වූ ආබෙල් ජීවත් වුණේ ඊට වෙනස්වයි. ඒ නිසා දෙවිගේ අනුමැතිය ඔහුට ලැබුණා. (උත්පත්ති 4:3, 4) ඒත් ආදම්ගෙන් පැවතෙන්නන් බොහෝදෙනෙක් ආබෙල් වගේ වුණේ නැහැ. ඒ වුණත් වසර සිය ගණනකට පසුව ජීවත් වූ ඒනොක් ආබෙල් වගේ කෙනෙක් වුණා. ආදම්ගෙන් පැවතෙන බොහෝදෙනාට වඩා ඒනොක් වෙනස් කෙනෙක් වුණේ කොහොමද? පාවුල් එයට පිළිතුරු සැපයුවේ මේ විදිහටයි. “ඇදහිල්ලෙන්, ඒනොක් මරණය නොදකින පිණිස ගෙන යන ලදි. දෙවි ඔහුව ගෙන ගිය හෙයින් ඔහුව සම්බ නොවීය. මන්ද, ඔහුව ගෙන යෑමට කලින්, ඔහු දෙවිව සතුටු කළ බවට සාක්ෂියක් ලැබීය.” (හෙබ්‍රෙව් 11:5) ක්‍රිස්තුස්ට කලින් මේ පොළොවේ ජීවත් වූ, කැපීපෙනෙන ඇදහිල්ලක් තිබූ විශාල “වලාකුළක් වැනි වූ සාක්ෂිකරුවන්” සමූහයකට ඒනොක්ද අයත් වුණා. (හෙබ්‍රෙව් 12:1) අද දින වෙසෙන බොහෝදෙනෙකුගේ ආයුෂ කාලය මෙන් තුන්ගුණයකටත් වඩා වැඩි කාලයකට, එනම් වසර 300කටත් වඩා වැඩි කාලයක් පුරා දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කරන්න ඔහුට හැකි වුණේ ඔහුට තිබූ ඇදහිල්ල නිසයි.

13. ඒනොක්ට තිබුණේ කුමනාකාරයේ ඇදහිල්ලක්ද?

13 ඒනොක් සහ වෙනත් සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල ගැන පාවුල් විස්තර කළේ මේ විදිහටයි. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය; නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.” (හෙබ්‍රෙව් 11:1) ඔව්, ඇදහිල්ල කියන්නේ අප බලාපොරොත්තු වන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියා අපටම සහතික වූ ස්ථිර අපේක්ෂාවයි. ශක්තිමත් ඇදහිල්ලක් ඇති කෙනෙකුට යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම ගැන කිසිම සැකයක් නැහැ. ඔහුගේ ජීවිතයේ ඔහු ගන්න වැදගත් තීරණවලට ඒ බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම බලපානවා. එදා සිටි මිනිසුන්ට වඩා වෙනස්ව ඒනොක්ට දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කරන්න හැකි වුණේ ඔහුට එවැනි ඇදහිල්ලක් තිබූ නිසයි.

14. ඒනොක්ගේ ඇදහිල්ලට පදනම වන්නට ඇත්තේ කිනම් දේවල් පිළිබඳ නිවැරදි දැනුමද?

14 කෙනෙකුට ශක්තිමත් ඇදහිල්ලක් ඇති වෙන්නේ ඔහුට තිබෙන නිවැරදි දැනුම නිසයි. ඒනොක්ට තිබුණේ මොන විදිහේ දැනුමක්ද? (රෝම 10:14, 17; 1 තිමෝති 2:4) ඒදන් උයනේදී සිදු වූ සිදුවීම් ගැන ඔහු දැනගෙන සිටි බවට කිසිම සැකයක් නැහැ. එහිදී ආදම් සහ ඒව ගත කළේ කොතරම් කදිම ජීවිතයක්ද කියා ඔහු දැනගෙන ඉන්න ඇති. මිනිසුන්ට ඇතුල්වීමට නොහැකි වුණත් ඒදන් උයන ඒනොක්ගේ කාලයෙත් තිබුණා විය හැකියි. (උත්පත්ති 3:23, 24) ආදම්ගෙන් පැවතෙන්නන්ගෙන් මුළු පොළොවම පුරවා එය පාරාදීසයක් කරන්න දෙවි අරමුණු කරගෙන සිටිය බවත් ඔහු දැනගෙන ඉන්න ඇති. (උත්පත්ති 1:28) ඊට අමතරව සාතන්ගේ හිස පොඩි කිරීම සඳහාත් ඔහුගේ කැරලිගැසීම නිසා ඇති වූ අහිතකර විපාක සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම සඳහාත් වංශයක් ගෙන ඒම ගැන යෙහෝවා දුන් පොරොන්දුවේ ඉටුවීම ගැන ඔහු අනිවාර්යයෙන්ම ආශාවෙන් බලා සිටින්න ඇති. (උත්පත්ති 3:15) යූද් පොතේ වාර්තා වී තිබෙන, සාතන්ගේ වංශයේ විනාශය ගැන කතා කරන ඒනොක්ගේ අනාවැකියෙන් අපිට ඒ බව පැහැදිලි වෙනවා. “ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන” දෙවි කෙනෙකු ලෙසට යෙහෝවාව පිළිගත් ඒනොක් ඇදහිලිවන්ත ලෙස ඔහුට සේවය කළ බව අපි දන්නවා. (හෙබ්‍රෙව් 11:6) දෙවිගේ දේවල් ගැන අපිට තිබෙන තරම් දැනුමක් ඔහුට තිබුණේ නැතත් ස්ථිර ඇදහිල්ලක් ඇති කරගන්න අවශ්‍ය තරම් දැනුමක් ඔහුට තිබුණා. කැලඹිලි සහිත කාලයක වුණත් දිගටම දෙවිට ලැදිව දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට ඔහුට උපකාර කළේ ඒ ඇදහිල්ලයි.

ඒනොක්ව අනුකරණය කරන්න

15, 16. අපට ඒනොක්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

15 අපි අද ජීවත් වෙන්නෙත් ඒනොක් ජීවත් වූ කාලයට සමාන කැලඹිලි සහිත කාලයකයි. ඒනොක් වගේ දෙවිව සතුටු කිරීමට ආශාවෙන් සිටින අපිත් ඒනොක්ගේ ආදර්ශය අනුකරණය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා යෙහෝවා සහ ඔහුගේ අරමුණු ගැන දිගටම දැනුම ලබමින් එය සිතට ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඊටත් වඩා වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි අපි ලබාගන්න නිවැරදි දැනුමට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම. (ගීතාවලිය 119:101; 2 පේතෘස් 1:19) ඒ වගේම අපි දෙවි සිතන විදිහට සිතන්න පුරුදු වෙන්නත් අවශ්‍යයි. එසේ අපේ හැම සිතුවිල්ලකින්ම, අපේ හැම ක්‍රියාවකින්ම දෙවිව සතුටු කිරීමට අපිට හැකි වෙයි.

16 ඒනොක් ජීවත් වූ කාලයේදී වෙන කවුරුත් යෙහෝවා දෙවිට නමස්කාර කළ බවට කිසිම වාර්තාවක් නැහැ. සමහරවිට ඒ කාලයේදී දෙවිට නමස්කාර කරන්න ඇත්තේ ඔහු විතරක් හෝ ඔහු සමඟ තවත් ස්වල්පදෙනෙක් වෙන්න ඇති. අද අප ජීවත් වන කාලයෙත් ලෝකයේ සිටින සෙනඟ හා සසඳද්දී අපි කුඩා පිරිසක් සේ පෙනුණත් ඒ නිසා අපි අධෛර්යය වෙන්නේ නැහැ. අපිට විරුද්ධව කවුරු ආවත් යෙහෝවා අපිට උපකාර කරන බව අපට විශ්වාසයි. (රෝම 8:31) ඒනොක් එදා සිටි අභක්තික මිනිසුන්ගේ විනාශය ගැන අනතුරු ඇඟෙව්වා. අද දින මිනිසුන් අපට සරදම් කළත්, විරුද්ධවාදිකම් පෑවත්, පීඩා කළත් අපි නිර්භීත ලෙස “රාජ්‍යයේ මේ ශුභාරංචිය” අන් අයට කියා දෙනවා. (මතෙව් 24:14) ඒනොක් ඒ කාලයේ ජීවත් වූ මිනිසුන් තරම් වැඩි කාලයක් ජීවත් නොවූ බව ඇත්තයි. එහෙත් ඔහුගේ බලාපොරොත්තුව වුණේ එදා පැවති ලෝකයේ සැප සම්පත් භුක්ති විඳීම නෙවෙයි. ඔහුගේ සිතේ තිබුණේ ඊට වඩා උතුම් දෙයක්. (හෙබ්‍රෙව් 11:10, 35) එයාකාරයටම අපගේ සිත යොමු කර තිබෙන්නෙත් යෙහෝවා දෙවිගේ අරමුණුවල ඉටුවීම වෙතටයි. ඒ නිසා මේ ලෝකයේ ඇති දේවල් වටා අපගේ ජීවිතය ගොඩනඟාගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. (1 කොරින්ති 7:31) ඒ වෙනුවට අපි අපගේ ශක්තිය, සම්පත් ඇතුළු හැම දෙයක්ම යොදවන්නේ යෙහෝවාගේ සේවය සඳහායි.

17. අපිට තිබෙන්නේ ඒනොක්ට නොතිබූ කුමන දැනුමක්ද? ඒ නිසා අපි කළ යුත්තේ කුමක්ද?

17 පොරොන්දු වූ වංශය යෙහෝවාගේ නියමිත කාලයේදී අනිවාර්යයෙන්ම පැමිණෙන බව ඒනොක් විශ්වාස කළා. ඒ වංශය වූ යේසුස් ක්‍රිස්තුස් පැමිණ තම ජීවිතය පූජා කිරීමෙන් අපිටත්, ඒනොක් වැනි වූ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන්ටත් සදාකාල ජීවනය උරුම කරගැනීමට මඟ විවෘත කර දැනට අවුරුදු 2,000කට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. යේසුස් දැන් දේවරාජ්‍යයේ රජව සිටින අතර සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළා තිබෙනවා. පොළොවේ මෙතරම් කැලඹුණු තත්වයක් ඇති වී තිබෙන්නේ මේ නිසයි. (එළිදරව් 12:12) ඇත්තෙන්ම එදා ඒනොක්ට තිබුණාට වඩා දැනුමක් අද අපිට තිබෙනවා. ඒ නිසා අපිත් ඔහුට තිබුණා හා සමාන ශක්තිමත් ඇදහිල්ලක් ඇතිව සිටිමු. දෙවි පොරොන්දු වී තිබෙන දේවල් ඉටු වන බවට අපට තිබෙන නිසැකකම අපි අපේ ජීවිතයේ තබන හැම පියවරක් ගානෙම බලපාන බවට නිසැක වෙමු. කැලඹුණු සහිත කාලයක ජීවත් වුණත් ඒනොක් මෙන් අපිත් දෙවි සමඟ දිගටම ගමන් කරමු.

[පාදසටහන්වල]

^ 5 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 1වන වෙළුමේ 220වන පිටුවේ 6වන ඡේදය බලන්න.—සිංහලෙන් නැත.

^ 10 ඡේ. ඒනොෂ් ඉපදෙන්නත් කලින් යෙහෝවා ආදම් සමඟ කතා කළා. ඒ වගේම ආබෙල් ඉදිරිපත් කළ පූජාව දෙවි පිළිගැනීමෙන් අදහස් කරන්නේ දෙවි සහ ආබෙල් අතර සම්බන්ධයක් තිබූ බවයි. කායින් ඊර්ෂ්‍යාවෙන් යුතුව කළ මිනී මැරුමට පෙර දෙවි ඔහු සමඟත් කතා කළා. ඒ නිසා මෙහි කතා කරන “යෙහෝවාගේ නාමය කියා යාච්ඤා” කිරීමට පටන්ගැනීම, සැබෑ නමස්කාරයට පටහැනි ආකාරයෙන් සිදු වූ දෙයක් වෙන්නට ඇති.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• දෙවි සමඟ ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවි සමඟ ගමන් කිරීම අපට කළ හැකි හොඳම දෙය වන්නේ ඇයි?

• කැලඹුණු කාලයක ජීවත් වුණත් ඒනොක්ට දෙවිව සතුටු කරන ආකාරයේ ජීවිතයක් ගත කිරීමට හැකි වුණේ කෙසේද?

• අපට ඒනොක්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ඇදහිල්ලෙන් ‘ඒනොක් දෙවි සමඟ ගමන් කළේය’

[17වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ පොරොන්දු ඉටු වන බව අපි ස්ථිරයෙන්ම විශ්වාස කරනවා

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

දකුණු කෙළවරේ කාන්තාව: FAO photo/B. Imevbore; කඩා වැටෙන ගොඩනැඟිල්ල: San Hong R-C Picture Company