Skip to content

පටුනට යන්න

දෙවිගේ නම පැරණි ජර්මානු බයිබලයක

දෙවිගේ නම පැරණි ජර්මානු බයිබලයක

දෙවිගේ නම පැරණි ජර්මානු බයිබලයක

දෙවිගේ නම වන යෙහෝවා, 1971දී ජර්මානු භාෂාවෙන් මුද්‍රණය කළ ශුද්ධ ලියවිල්ලේ නව ලොව පරිවර්තනයේ 7,000 වාරයකට වඩා සඳහන් වෙයි. * කොහොමවුණත් ජර්මානු බයිබලයක දෙවිගේ නම සඳහන් කළ පළමු අවස්ථාව එය නෙවෙයි. පෙනෙන විදියට ප්‍රසිද්ධ රෝමානු කතෝලික දේවධර්මාචාර්යවරයෙක් වූ යොහාන් ඒක් විසින් මීට අවුරුදු 500කට පෙර ප්‍රකාශයට පත් කළ මුල්ම ජර්මානු බයිබලයක යෙහෝවා යන නම සඳහන් වෙලා තිබුණා.

යොහාන් ඒක් මෙලොව එළිය දුටුවේ 1486 වර්ෂයේ දකුණු ජර්මනියේදීයි. අවුරුදු 24ක් වෙද්දී ඔහු ඉන්ගල්ෂ්ටාට් සරසවියේ දේවධර්මය පිළිබඳ මහාචාර්යවරයෙක් වුණා. වර්ෂ 1543දී ඔහුගේ මරණය තෙක් ඔහු එම තනතුර දැරුවා. ඒක්, මාර්ටින් ලූතර්ගේ කාලයේම ජීවත් වූ අයෙක් වූ අතර කලකට ඔවුහු මිතුරන්ද වුණා. කොහොමවුණත් ලූතර් ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ වූ ආගමික ප්‍රතිසංස්කරණයේදී කැපීපෙනෙන ලෙස ක්‍රියා කළ අයෙක් වූ අතර ඒක් කතෝලික පල්ලිය රැකගැනීමේ නියැලුණා.

බවේරියාවේ ආදිපාදවරයා බයිබලය ජර්මානු බසට පරිවර්තනය කිරීමට ඒක්ව පත් කළ අතර 1537දී ඒ පරිවර්තනය ප්‍රකාශයට පත් වුණා. කර්ක්ලිකස් හාන්ටේලෙක්සිකන් යන විශ්වකෝෂයට අනුව ඔහුගේ පරිවර්තනය මුල් ලියවිල්ලේ විදියටම තිබුණ අතර “මෙතෙක් ලැබී තිබෙන පිළිගැනීමට වඩා පිළිගැනීමක් ඊට ලැබිය යුතු” බව එහි සඳහන් වුණා. ඒක්ගේ පරිවර්තනයේ නික්මයාම 6:3හි කියවීමට තිබෙන්නේ මෙසේයි. “මම ස්වාමීන්ය. මම සර්වපරාක්‍රම දෙවි හැටියට ආබ්‍රම්ට ඊසාක්ට සහ යාකොබ්ට පෙනුණෙමි: මගේ නම වන ඇඩොනයි මම ඔවුන්ට එළිදරව් කළේ නැහැ.” ඒක් එම පදය ළඟින් “නම ඇඩොනයි යේහූවා” යන අමතර විස්තරය සඳහන් කළා. ජර්මානු බයිබලයක දෙවිගේ නම සඳහන් වන පළමු අවස්ථාව මෙය බව බයිබලය පිළිබඳව හදාරන බොහෝදෙනෙක් විශ්වාස කරනවා.

කොහොමවුණත් දෙවිගේ නම අවුරුදු දහස් ගණනක් පුරා බොහෝදෙනෙක් දැන සිටිනවා. ඒ වගේම භාවිතද කරනවා. සැබෑ එකම දෙවිව හැඳින්වීම සඳහා “යෙහෝවා” යන නම මුලින්ම සඳහන් වුණේ හෙබ්‍රෙව් බසින්. (ද්විතීය කතාව 6:4) අවුරුදු 2,000කට පමණ පෙර, තමා දෙවිගේ නම ප්‍රකාශ කළ බවට යේසුස් පැවසූ වචන ග්‍රීක් බසින් වාර්තා කර තිබෙනවා. (යොහන් 17:6) එවක් පටන් බොහෝ භාෂා ගණනකින් දෙවිගේ නම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වගේම ළඟදීම, ගීතාවලිය 83:17 ඉටු වෙද්දී යෙහෝවා නම් දෙවියන් පමණක් මුළු පොළොවටම මහෝත්තමයාණන් බව සියල්ලන්ම දැනගනිවී.

[පාදසටහන]

^ 2 ඡේ. මුලින්ම ඉංග්‍රීසි බසින් 1961දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කළා. දැන් මුළු බයිබලයම හෝ කොටස් වශයෙන් භාෂා 50කට වැඩියෙන් ලබාගත හැකියි.

[32වන පිටුවේ පින්තූරය]

නික්මයාම 6:3හි යෙහෝවාගේ නමට අමතර විස්තරයක් ඇතුළත් කළ 1558දී සංස්කරණය කරන ලද ඒක්ගේ බයිබලය