Skip to content

පටුනට යන්න

බයිබල් සත්‍යතා සෙවූ මෙනනිවරු

බයිබල් සත්‍යතා සෙවූ මෙනනිවරු

බයිබල් සත්‍යතා සෙවූ මෙනනිවරු

බොලීවියාවේ සේවය කිරීම සඳහා වෙනත් රටකින් පැමිණ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිරිසක් ඒ රටේ නිවසක නැවතී සිටියා. එක් උදෑසනක, ඒ කියන්නේ 2000 නොවැම්බර් මාසයේ ඔවුන්ගේ පුංචි නිවසේ ජනේලයෙන් එළිය බැලූ විට චාම් විදිහට ඇඳ පැළඳගෙන සිටින කාන්තාවන් සහ පුරුෂයන් කිහිපදෙනෙක් ගේට්ටුව අසල බයෙන් වගේ හිටගෙන ඉන්නවා ඔවුන් දැක්කා. සාක්ෂිකරුවන් ගේට්ටුව ඇරපු ගමන්ම “අපිට බයිබලයේ තියෙන දේවල් හරියට ඉගෙනගන්න ඕනේ” කියලා ඒ අමුත්තන් පැවසුවා. ඒ අය මෙනනිවරුන්. ඔවුන් කතා කළේ ජර්මානු භාෂාවක්. කවුරුහරි ඒ අය දිහා ඇහැගහගෙන ඉන්නවාද කියා බැලීමට ඔවුන් බයෙන් වගේ හැරි හැරී බැලුවා. ඒ කෙසේවෙතත්, නිවසේ පඩිපෙළ නඟිද්දී එක් තරුණයෙක් මෙහෙම කිව්වා. “දෙවිගේ නම පාවිච්චි කරන අයව දැන හඳුනාගන්නයි මට ඕනේ.”

ඔවුන්ට සංග්‍රහ කිරීමෙන් පසුව ඒ අමුත්තන්ට යම් පහසුවක් දැනුණා. ඔවුන් පැමිණ සිටියේ ඈත හුදෙකලා ප්‍රදේශයක පිහිටි ගොවි ජනපදයකින්. එහිදී වසර හයක් පුරා ඔවුන්ට මුරටැඹ සඟරාව තැපෑලෙන් ලැබිලා තිබුණා. “පොළොව පාරාදීසයක් වන බව අපි කියවලා තියෙනවා. ඒක ඇත්තටම වෙයිද?” කියලා ඔවුන් ඇසුවා. සාක්ෂිකරුවන් ඔවුන්ට බයිබලයෙන් පිළිතුරු පෙන්නුවා. (යෙසායා 11:9; ලූක් 23:43; 2 පේතෘස් 3:7, 13; එළිදරව් 21:3, 4) “දැක්කද? මම කිව්වේ! ඒක ඇත්තටම වෙන්නයි යන්නේ. පොළොව පාරාදීසයක් වෙන්න යනවා” කියා එක් ගොවියෙක් අනිත් අයට කිව්වා. “මං හිතන්නේ අපි සත්‍යය හොයාගත්තා කියලා” කිහිපදෙනෙක්ම කිව්වා.

මෙනනිවරුන්ගේ වග තුග මොනවාද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්න අපි 16වන ශතවර්ෂයේ සිදුවීම් ගැන සොයා බැලිය යුතුයි.

මෙනනිවරුන්ගේ වග තුග

එක්දාස් පන්සිය ගණන්වල යුරෝපයේ පොදුවේ භාවිත කරන භාෂාවලට බයිබලය වැඩි වැඩියෙන් පරිවර්තනය කිරීම නිසා බයිබලය ගැන ඉගෙනීමට තිබුණු උනන්දුව තවත් වැඩි වුණා. මාටින් ලූතර් සහ ආගමික ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ක්‍රියා කළ බොහෝදෙනෙක් කතෝලික පල්ලියේ ඉගැන්වීම් බොහොමයක් ප්‍රතික්ෂේප කළා. ඒත් අලුතෙන් බිහි වුණු රෙපරමාදු පල්ලි බයිබලයේ නැති වත් පිළිවෙත් බොහොමයක් දිගටම පැවැත්වූවා. උදාහරණයකට අලුත උපන් ළදරුවෙක්ව පල්ලියේ සාමාජිකයෙක් කිරීම සඳහා බව්තීස්ම කළ යුතු බව බොහෝදෙනෙක් සිතුවා. ඒත්, බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් සොයා බැලූ ඇතැම් අයට වැටහුණේ, කෙනෙක් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක් වෙන්නේ බව්තීස්ම වීමට පෙර ඔහු හෝ ඇය හොඳ දැනුමක් මත ගන්නා තීරණයකින් බවයි. (මතෙව් 28:19, 20) මෙම අදහස දැරූ උද්‍යෝගිමත් දේශනාකරුවන් ගමින් ගමට හා නගරයෙන් නගරයට ගමන් කරමින් බයිබල් සත්‍යතා උගන්වා වැඩිහිටියන්ව බව්තීස්ම කළා. මේ නිසා ඔවුන්ව හැඳින්වූයේ ඇනබැප්තිස්තවරු එනම් “දෙවෙනි වතාවට බව්තීස්ම කරන අය” හැටියටයි.

නෙදර්ලන්තයේ උතුරු ප්‍රදේශයේ විට්මාසුම් ගම්මානයේ මෙනෝ සයිමන්ස් නමින් කතෝලික පූජකයෙක් සිටියා. ඔහු ඇනබැප්තිස්තවරුන්ගෙන් සත්‍යය සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් වෙතට ගියා. ඔහු 1536 වෙද්දී කතෝලික පල්ලියෙන් ඉවත් වුණා. මේ නිසා ඔවුන් ඔහුව අල්ලාගැනීමේ අරමුණින් ලුහුබැන්ඳා. මෙනෝව අත්අඩංගුවට ගන්න කෙනාට නෙදර්ලන්තයේ මුදල්වලින් ගිල්ඩර් 100ක් දීමට 1542දී ශුද්ධ රෝමානු අධිරාජ්‍යවරයා වූ Vවන චාල්ස් පොරොන්දු වුණා. ඒ කොහොමවුණත් මෙනෝ ඇනබැප්තිස්තවරුන් කිහිපදෙනෙකුව එක්කර ගෙන සභාවන් පිහිටෙව්වා. ඔවුන්ව හඳුන්වනු ලැබුවේ මෙනනිවරුන් කියායි.

අද දින මෙනනිවරු

කාලය ගෙවී යද්දී පීඩා වැඩි වූ නිසා මෙනනිවරුන් දහස්ගණනක් බටහිර යුරෝපයෙන් උතුරු අමෙරිකාවට පලා ගියා. එහිදී ඔවුන්ට අවස්ථාව ලැබුණා දිගටම සත්‍යය සොයන්නට සහ ඔවුන්ගේ පණිවුඩය පතළ කිරීමට. නමුත් බයිබලය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට සහ ප්‍රසිද්ධියේ දේශනා කිරීමට ඔවුන්ගේ මුල් සාමාජිකයන්ට තිබූ උනන්දුව අඩු වෙලයි තිබුණේ. බොහෝදෙනෙක් බයිබලයට පටහැනි ඉගැන්වීම් වන ත්‍රිත්වය, මිනිසා මැරුණු පසුවත් ඔහු දිගටම ජීවත් වන බව සහ නිරාගින්න යන කාරණා දිගටම විශ්වාස කළා. (දේශනාකාරයා 9:5; ගීතාවලිය 146:3, 4; මාක් 12:29) අද කාලයේ මෙනනිවරුන්ගේ මිෂනාරිවරුන් කරන්නේ වෛද්‍යමය හා සමාජීය සේවාවන් මිසක දේශනා සේවය නෙවෙයි.

අද දින රටවල් 65ක මෙනනිවරුන් 13,00,000ක් පමණ ජීවත් වන බව ගණන් බලා තිබෙනවා. නමුත් ඔවුන් අතර තිබෙන අසමගිය ගැන ශතවර්ෂ ගණනාවකට කලින් සිටි මෙනෝ සයිමන්ස් මෙන් අදත් මෙනනිවරුන් දුක් වෙනවා. පළමු ලෝක මහා යුද්ධයේදී ඇති වූ ගැටීම් පිළිබඳ ඔවුන් අතර තිබූ විවිධ මත නිසා විශාල වශයෙන් බෙදීම් ඇති වුණා. උතුරු අමෙරිකාවේ සිටි බොහෝදෙනෙක් බයිබල් ප්‍රතිපත්ති නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කළා. නමුත් “1914 වෙද්දී බටහිර යුරෝපයේ තිබූ මෙනනිවරුන්ගේ පල්ලි සාමාජිකයන් අතර හමුදා සේවය ප්‍රතික්ෂේප කළ යුතුයි කියන කාරණය බොහෝදුරට අමතක වෙලා තිබුණා.” (An Introduction to Mennonite History) අද කාලයේ මෙනනිවරුන්ගේ සමහර කණ්ඩායම් නවීන ක්‍රමයට දේවල් කළත් තවත් කණ්ඩායම් එහෙම කරන්නේ නෑ. උදාහරණයක් හැටියට බොත්තම් වෙනුවට සමහර අය තාමත් ඇඳුම්වලට හක් අල්ලනවා. ඒ වගේම පිරිමින් රැවුල බාන්න සුදුසු නැහැ කියලත් ඔවුන් විශ්වාස කරනවා.

නවීන ලෝකයෙන් වෙන්ව සිටීමට අදිටන් කරගෙන සිටින මෙනනිවරුන්ගේ සමහර කණ්ඩායම් ආණ්ඩුවලින් කිසිම බාධාවක් නැතිව ජීවත් විය හැකි ප්‍රදේශවලට ඔවුන්ගේ පදිංචිය මාරු කරගෙන තිබෙනවා. ඊට එක් නිදසුනක් තමයි බොලීවියාව. එහි වැඩිහිටි මෙනනිවරුන් 38,000ක් සිටින අතර ඔවුන් පුංචි පුංචි කණ්ඩායම් වශයෙන් හුදෙකලාවේ ජීවත් වෙනවා. ඒ හැම කණ්ඩායමකටම ඔවුන්ටම සීමා වූ නීති රීති තිබෙනවා. සමහර අයට රථ වාහන පාවිච්චිය තහනම්. ඔවුන් යන්නේ එන්නේ අශ්ව කරත්තවලින් විතරයි. තවත් අයට ගුවන් විදුලියට සවන් දීම, රූපවාහිනිය නැරඹීම සහ සංගීතය රස විඳීම තහනම්. තවත් සමහර අයට ඔවුන් ජීවත් වන රටේ ජාතික භාෂාව ඉගෙනීමත් තහනම්. එක් කණ්ඩායමක විසූ සාමාජිකයෙක් පැවසුවේ මෙයයි. “අපේ දේශකයන් අපිට ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගන්න දෙන්නේ නෑ. ඒ අපිව ඔවුන්ගේ පාලනය යටතේ තියාගන්න ඔවුන්ට ඕනේ නිසයි.” මෙවැනි දේවල් බොහෝදෙනෙකුට හිරිහැරයක් වී තිබෙනවා. ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ව කණ්ඩායමෙන් කපා හරියි කියන බයෙන්. කණ්ඩායම පිට ජීවිතයක් ගත කරලා නැති කෙනෙකුට ඒක හිතාගන්නවත් බැරි දෙයක්.

සත්‍යයේ බීජය වැපුරුණු අන්දම

යොහාන් නම් මෙනනි ගොවියෙකු සහ ඔහුගේ පවුලේ අය මුලින් සිටියේ කැනඩාවේ. ඊට පස්සේ ඔවුන් මෙක්සිකෝවට ගිය අතර ඉන්පසු බොලීවියාවට පැමිණියා. බයිබලයේ තිබෙන සත්‍යය දැනුම සොයාගැනීම සඳහා ලොකු ආශාවක් ඔහුට තිබුණා. ඒ සඳහා උදව් ලබාගැනීමටත් ඔහු කැමති වුණා. එක් දිනක් යොහාන් තම අසල්වැසියාගේ නිවසේ තිබුණු මුරටැඹ සඟරාවක් දැක්කා. එය කියවා බැලීම සඳහා යොහාන් ඒ සඟරාව ඉල්ලාගත්තා.

දිනක් යොහාන් තම ගොවි නිෂ්පාදන විකිණීම සඳහා නගරයට ගොස් සිටි අවස්ථාවක පොළේදී මුරටැඹ සඟරා ඉදිරිපත් කරමින් සිටි සාක්ෂිකාරියක්ව ඔහුට හමු වුණා. ඇය ජර්මානු භාෂාව කතා කරන සාක්ෂිකරුවෙක් වෙතට ඔහුව යොමු කළා. ඉන්පසු ජර්මානු භාෂාවෙන් මුරටැඹ සඟරා තැපෑලෙන් ලබාගැනීමට ඔහුට හැකි වුණා. ඒ සෑම සඟරාවක්ම පරෙස්සමින් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුගේ කණ්ඩායමේ සිටි සියලුම පවුල්වලටත් එය කියවන්න ලැබුණා. ඇතැම් අවස්ථාවලදී පවුල් කිහිපයක් එකතු වී රෑ බෝවන තුරු මුරටැඹ සඟරාව අධ්‍යයනය කළා. එසේ කරන ගමන් ඔවුන් එහි සඳහන් බයිබල් පදත් පෙරළා බැලුවා. පොළොව පුරා එක්සත්ව දෙවිගේ කැමැත්ත කරමින් සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක් බව යොහාන්ට වැටහුණා. ඒ නිසා තම මරණයට කලින් යොහාන් ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් මෙහෙම කිව්වා. “ඔයාලා මුරටැඹ සඟරාව කියවන්නම ඕනේ. එතකොට බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඔයාලාට පුළුවන් වේවි.”

යොහාන්ගේ පවුලේ සිටි සමහර අය තමන් බයිබලයෙන් ඉගෙනගනිමින් සිටි දේවල් ගැන තම අසල්වැසියන්ට කියන්න පටන්ගත්තා. “පොළොව විනාශ වෙන්නේ නැහැ. දෙවි පොළොව පාරාදීසයක් කරන්න යනවා. දෙවි මිනිසුන්ව අපායට දාලා වද දෙන්නේ නැහැ” කියා ඔවුන් පැවසුවා. සිදු වූ මෙවන් සංවාදයන් ගැන පල්ලි දේශකයන්ට ආරංචි වූ විගස, ඒවා නතර කළේ නැත්නම් ඔවුන්ව පල්ලියෙන් අයින් කරලා දානවා කියා යොහාන්ගේ පවුලේ අයව භය කළා. ඊට පසුව දිනක් මෙනනි දේශකයන් තමන්ට ඇති කරන බලපෑම් ගැන ඒ පවුලේ අය තමන් අතර කතා කරමින් සිටි අවස්ථාවකදී එක් යෞවනයෙක් මෙහෙම දෙයක් කිව්වා. “මට තේරෙන්නේ නැහැ ඇයි අපි මෙහෙම අපේ පල්ලියේ දේශකයන්ට බැණ බැණ ඉන්නේ කියලා. අපි හැමෝම දන්නවා සැබෑ ආගම මොකක්ද කියලා. නමුත් අපි ඒ ගැන කිසි දෙයක් කරලා නැහැ.” ඔහු පැවසූ මේ දේවල් ඔහුගේ පියාගේ සිතට වැදුණා. ඉක්මනින්ම ඒ පවුලේ සාමාජිකයන් දහදෙනෙක් රහසින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සොයාගෙන ගිය අතර මේ ලිපියේ මුලදී අපි සඳහන් කළේ ඔවුන් ඒ ආකාරයට සාක්ෂිකරුවන්ගේ නිවසට ගිය ගමන ගැනයි.

ඊළඟ දවසේ සාක්ෂිකරුවන් ඒ මෙනනිවරුන්ව හමුවෙන්න ඔවුන්ගේ නිවසට ගියා. පාරේ තිබූ එකම වාහනේ සාක්ෂිකරුවන්ගේ වාහනයයි. අශ්ව කරත්ත දක්කගෙන ගිය මෙනනිවරුන් ඔවුන් දිහා කුතුහලයෙන් මෙන් බැලුවා. සාක්ෂිකරුවන්ද ඔවුන් දිහා බැලුවේ කුතුහලයෙන්. පවුල් දෙකක සාමාජිකයන් දහදෙනෙක්ව ඉක්මනින්ම ඔවුන්ට හමු වුණා.

එදා ඔවුන්ට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම * නමැති පොතේ තිබෙන පළමුවෙනි පරිච්ඡේදය අධ්‍යයනය කිරීමට පැය හතරක්ම ගත වුණා. සෑම ඡේදයකටම අදාළ ඒ වෙනකොටත් ඔවුන් දැනගෙන සිටි වෙනත් බයිබල් පදත් ඒ ගොවියන් බලලා තිබුණා. ඔවුන්ට දැනගන්න ඕන වුණා ඒ බයිබල් පද ඔවුන් හරියට තේරුම් අරගෙන තිබුණාද කියලා. සෑම ඡේදයකම ප්‍රශ්නය ඇසුවාට පසුව ඒ ගොවීන් ජර්මන් භාෂාවකින් එකිනෙකා සමඟ විනාඩි කිහිපයකට කතා කළා. ඊට පස්සේ එක්කෙනෙක් ස්පාඤ්ඤ භාෂාවෙන් කණ්ඩායම වෙනුවෙන් පිළිතුර සැපයුවා. ඔවුන්ට එය අමතක නොවන දවසක් වුණා. නමුත් ඉදිරියේදී ඔවුන්ට පීඩා රැල්ලකට මුහුණ දෙන්න සිදු වේවි. ශතවර්ෂ පහකට පමණ පෙර මෙනෝ සයිමන්ස් බයිබල් සත්‍යතා දැනගැනීමට පටන්ගත් විටත් සිදු වුණේ එවැනිම දෙයක්.

සත්‍යය වෙනුවෙන් පීඩා විඳීම

දින කිහිපයකට පසුව පල්ලියේ දේශකයන් යොහාන්ගේ නිවසට පැමිණ ඔහුගේ පවුලේ අයටත් බයිබල් සාකච්ඡාවට සහභාගි වූ අනිත් අයටත් දැඩි තර්ජනයක් එල්ල කළා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔයාලාගේ නිවසට ආවා කියලා අපිට ආරංචි වුණා. මීට පස්සේ එයාලාට එන්න එපා කියන්න. එයාලා ගෙනාපු සඟරා පොත් පත් පුච්චලා දාන්න දුන්නේ නැත්නම් ඔයාලාව අපි පල්ලියෙන් අයින් කරනවා” කියා ඔවුන් පැවසුවා. යොහාන්ගේ පවුලේ අයත් බයිබල් සාකච්ඡාවට සහභාගි වූ අනිත් අයත් සාක්ෂිකරුවන් සමඟ එක පාඩමයි කරලා තිබුණේ. ඒ නිසා මේක ඔවුන්ට ලොකු පරීක්ෂණයක් වුණා.

“අපිට බැහැ එහෙම කරන්න. ඒ අය ආවේ අපිට බයිබලය ගැන කියලා දෙන්න” කියා එක් පවුල් මූලිකයෙක් කිව්වා. මෙය ඇසූ ඒ දේශකයන් කළේ කුමක්ද? බයිබලය පාඩම් කිරීම නිසා ඔවුන් මේ සාමාජිකයන්ව පල්ලියෙන් අයින් කරලා දැම්මා! මෙය ඉතාමත්ම කුරිරු දෙයක් වුණා. සාමාන්‍යයෙන් හැමදාම කරත්තයක් ගෙයක් ගෙයක් ගානේ ගිහිල්ලා ඒ කණ්ඩායමට අයත් චීස් නිපදවන කර්මාන්ත ශාලාවට කිරි එකතු කරනවා. නමුත් දැන් බයිබල් පාඩමට සහභාගි වූ එක් පවුලක් සිටි නිවසක් ළඟ කරත්තය නතර වුණේ නැහැ. මේ නිසා ඔවුන්ට තිබුණු එකම ආදායම් මාර්ගය පවා නැතුව ගියා. එක පියෙක්ව ඔහුගේ රස්සාවෙන් ඔවුන් අස් කරලා දැම්මා. තවත් පියෙකුට ඒ කණ්ඩායමට අයත් කඩේකින් බඩු ගන්න අවසර ලැබුණේ නැහැ. අවුරුදු දහයක් වයසැති ඔහුගේ දියණියව ඉස්කෝලෙන් අස් කළා. එක යුවළකගේ නිවස වට කරගත් අසල්වැසියන් ඒ නිවසේ භාර්යාවව ගෙනියන්න උත්සාහ කළේ ස්වාමිපුරුෂයාව පල්ලියෙන් අයින් කරපු නිසා ඇයට තවදුරටත් ඔහු සමඟ ජීවත් වෙන්න බැහැ කියා කියමින්. නමුත් කොච්චර කරදර ආවත් මේ පවුල්, බයිබල් සත්‍යයන් සෙවීමට ඔවුන් දැරූ වෑයම නම් අත්හැරියේ නැහැ.

බයිබල් පාඩම පැවැත්වීම සඳහා සාක්ෂිකරුවන් සතිපතාම ඒ දිගු ගමනේ යෙදුණා. ඒ පවුල්වලට එම බයිබල් පාඩම්වලින් ලොකු ශක්තියක් ලැබුණා. සමහර අය පාඩමට සහභාගි වීම සඳහා පැය දෙකක් අශ්ව කරත්තයෙන් ගමන් කළා. ඔවුන් මුල්ම වතාවට යාච්ඤා කිරීමට සාක්ෂිකාරයන්ගෙන් ඉල්ලූ අවස්ථාව හැඟීම් බර එකක් වුණා. මෙම කණ්ඩායම්වල සිටි මෙනනිවරුන් සාමාන්‍යයෙන් අනිත් අයට ඇහෙන්න යාච්ඤා කරන්නේ නැහැ. මීට කලින් කිසිම කෙනෙක් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරනවා අහලා තිබුණෙත් නැහැ. ඒ නිසා පුරුෂයන්ගේ ඇස්වල පවා කඳුළු පිරුණා. සාක්ෂිකරුවන් කැසට් යන්ත්‍රයක් මුලින්ම ගෙනාපු දවසේ ඔවුන් ඒ දෙස පුදුමයෙන් මෙන් බලපු හැටි ඔබට හිතාගන්න පුළුවන්ද? ඔවුන්ට සංගීතය රස විඳීම තහනම් කරලා තිබුණා. සාක්ෂිකරුවන්ගේ පටිගත කරන ලද මියුරු සංගීතයට සවන් දීමෙන් ඔවුන් කොතරම් ප්‍රීතියක් ලැබුවද කිව්වොත් සෑම පාඩමක්ම අවසානයේදී ගීතිකා පොතෙන් ගීතිකා කිහිපයක් ගායනා කිරීමට ඔවුන් තීරණය කළා. නමුත් ලොකුම ප්‍රශ්නය වුණේ වෙනස් වූ තත්වයන් යටතේ තවදුරටත් ඔවුන් කටයුතු කරන්නේ කොහොමද යන්නයි.

ප්‍රේමණීය සහෝදරයන්ව හඳුනාගැනීම

තමන් අයත්ව සිටි කණ්ඩායමෙන් ඔවුන්ව අස් කරත් මේ පවුල් දැන් තනියම චීස් සෑදීමට පටන්ගත්තා. චීස් මිලදී ගත හැකි අයව සොයාගැනීමට සාක්ෂිකරුවන් ඔවුන්ට උදව් කළා. උතුරු අමෙරිකාවේ දිගු කලක් පුරා සාක්ෂිකාරයෙක්ව සිටි සහෝදරයෙකුට ඔවුන්ගේ තත්වය ගැන දැනගන්න ලැබුණා. ඒ සහෝදරයාත් දකුණු අමෙරිකාවේ මෙනනි කණ්ඩායමක හැදුණු වැඩුණු කෙනෙක්. උදව් කිරීමට ඔහුට බලවත් ආශාවක් තිබුණා. සතියක් ඇතුළත ඔහු ඔවුන්ව මුණගැසීමට බොලීවියාවට පැමිණියා. ඔහු ඔවුන්ගේ ඇදහිල්ල බොහෝසෙයින් ශක්තිමත් කළ අතර ට්‍රක් රථයක් මිලදී ගැනීමටත් ඒ පවුල්වලට උදව් කළා. මේ නිසා රාජ්‍ය ශාලාවට යෑමටත් ඒ වගේම ඔවුන්ගේ ගොවි නිෂ්පාදන ප්‍රවාහනය කිරීමටත් ඔවුන්ට හැකි වුණා.

“අපේ කණ්ඩායමෙන් අපිව අස් කරාට පස්සේ අපේ ජීවිත ගෙන යාම අමාරු දෙයක් වුණා. ඒ නිසා අපි රාජ්‍ය ශාලාවට ගියේ දුකෙන්. නමුත් අපි එද්දී ආවේ සතුටින්” කියා එක සාමාජිකයෙක් පවසනවා. ඒ ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් අපිට ගොඩාක් උපකාර කළා. සමහර අය ජර්මානු භාෂාව පවා ඉගෙනගත්තා. ඒ වගේම යුරෝපයෙන් ජර්මානු භාෂාව කතා කරන සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ජර්මානු භාෂාවෙන් ක්‍රිස්තියානි රැස්වීම් පැවැත්වීමට උපකාර කිරීම සඳහා බොලීවියාවට ආවා. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මෙනනිවරුන්ගේ කණ්ඩායමට අයත් 14දෙනෙක් දේවරාජ්‍යයේ ශුභාරංචිය අනෙක් අයට දේශනා කරන්න පටන්ගත්තා.

සාක්ෂිකරුවන්ගේ නිවසට ගිය පළමු අවස්ථාවෙන් වසරකට පසුව, ඒ කියන්නේ 2001 වසරේ ඔක්තෝබර් 12වෙනි දා කලින් ඇනබැප්තිස්තවරුන්ව සිටි 11දෙනෙක් නැවත වතාවක් බව්තීස්ම වුණා. මෙවර ඔවුන් බව්තීස්ම වුණේ යෙහෝවා දෙවිට කළ කැපවීමේ සංකේතයක් වශයෙන්. එදා පටන් හුඟදෙනෙක් මෙම පියවර ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් පසු කලෙක මෙහෙම කිව්වා. “අපි බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් දැනගැනීමෙන් පසුව අපිට හැඟෙන්නේ හරියට නිදහස් වූ වහලුන් වගෙයි.” තවත් අයෙක් කිව්වේ “තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන් අතර ප්‍රේමය නැහැ කියා මෙනනිවරුන් හුඟදෙනෙක් කියනවා. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් එහෙම නෙවෙයි. ඔවුන් එකිනෙකා ගැන උනන්දු වෙනවා. මට ඒ අය අතර සිටිද්දී සුරක්ෂිත බවක් දැනෙනවා.” ඔබ බයිබලය වඩා හොඳින් තේරුම්ගැනීමට උත්සාහ කරන කෙනෙක් නම් ඔබටත් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. නමුත් ඔබ යෙහෝවාගේ උපකාරය පතනවා නම් සහ ඒ පවුල්වල සාමාජිකයන්ට තිබුණා වගේ ශක්තිමත් ඇදහිල්ලක් හා නිර්භීතකමක් ඔබටත් තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ වගේම මෙනනිවරුන් අද්දැක්ක සතුට ඔබටත් අද්දකින්න පුළුවන් වේවි!

[පාදසටහන]

^ 17 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[25වන පිටුවේ පින්තූරය]

ජර්මානු භාෂාවෙන් සඟරා පොත් පත් ලැබුණු විට ඔවුන් අද්දැක්ක සතුට

[26වන පිටුවේ පින්තූරය]

සංගීතය රස විඳීම ඔවුන්ට තහනම් දෙයක්ව තිබුණත් දැන් සෑම බයිබල් පාඩමකටම පස්සේ ඔවුන් ගීතිකා ගයනවා