Skip to content

පටුනට යන්න

විශ්වාසවන්තව සිටීමමහඟු ප්‍රයෝජන ගෙන දෙයි

විශ්වාසවන්තව සිටීමමහඟු ප්‍රයෝජන ගෙන දෙයි

විශ්වාසවන්තව සිටීමමහඟු ප්‍රයෝජන ගෙන දෙයි

තුත්තිරි ගැන ඔබ දන්නවාද? සමහරවිට වත්තේ ඇවිදින කොට, තුත්තිරි ඔබේ ඇඳුමේ ඇලෙනවා. ඔබ ඇවිද්දත්, දිව්වත්, පැන්නත් ඒ ඇණුන තුත්තිරි නම් ගැලවෙන්නේ නැහැ. දැන් ඔබ ගෙදර එනවා. ඇඳුමේ හැම තැනම තුත්තිරි. මොනවා කරන්නද? දැන් තියෙන්නේ වාඩි වෙලා තුත්තිරි ගලවන එක තමයි. එකින් එක ගලවන්නත් ඕනෑනේ. ඒකට සෑහෙන වෙලාවකුත් යයි.

තුත්තිරිවලින් අපට යමක් ඉගෙන ගන්න බැරිද? තුත්තිරි ඇලුණොත් ඒවා ඉබේ ගැලවෙන්නේ නම් නැහැ. විශ්වාසවන්ත පුද්ගලයෙකුත් හරියට ඒ වගේමයි. අපි එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නකොට අපිත් හරියට තුත්තිරි වගේ ඇලිලා ඉන්න ඕනෑ නේද? මොන ප්‍රශ්න ආවත්, කවුරු බාධා කළත්, අපිට කිට්ටු අයට ඒ කියන්නේ අපේ හිතවතුන්ට අපිත් විශ්වාසවන්තව ඇලිලා ඉන්න එක වටින්නේ නැද්ද? එහෙමනම් මමත් තුත්තිරි වගේ අනුන්ට විශ්වාසවන්තව ඇලිලා ඉන්න කෙනෙක්ද කියා ඔබටත් හිතන්න පුළුවන්. විශ්වාසවන්තකම යන වචනයට සත්‍යවාදීකම, පක්ෂපාතී බව හා කැපවීම කියන තේරුම්ද ඇතුළත් වෙනවා. කොහොමවුණත් අනිත් අයගේ විශ්වාසවන්තකම ඔබ අගය කරනවා වගේම අනුන්ගේ විශ්වාසවන්තකම රකින්නත් ඔබටත් පුළුවන්ද? එහෙමනම් ඔබ විශ්වාසවන්ත වෙන්න ඕනේ කාටද?

විවාහය තුළ විශ්වාසවන්ත වීම අත්‍යවශ්‍ය ගුණාංගයකි

විශ්වාසවන්තකම වැඩියෙන්ම උවමනා කරන්නේ විවාහය තුළයි. නමුත් කනගාටුවට කරුණක් වන්නේ එය අද දින ක්‍රම ක්‍රමයෙන් අඩු වී යෑමයි. ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් එකිනෙකාගේ සුභසිද්ධිය තකා වැඩ කරමින් තම විවාහ පොරොන්දුවලට අනුව ජීවත් වන විට ඔවුන් යුග දිවියේ සතුට හා සුරක්ෂිතභාවය අද්දකිනවා. එහෙම කියන්න හේතුව කුමක්ද? මිනිසුන්ව මවලා තියෙන්නේ විශ්වාසවන්තකම පෙන්වන්න පුළුවන් වන විදියටත් එය ලබන්න ආශාවක් ඇති වන විදියටත්. ඒදන් උයනේ ආදම් සහ ඒවගේ විවාහය සිදු කළ දවසේ දෙවි කිව්වේ මෙහෙමයි. “මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය.” භාර්යාවද එලෙසම තම ස්වාමිපුරුෂයාට ඇලුම් විය යුතුයි. ස්වාමිපුරුෂයායි භාර්යාවයි එකිනෙකාට විශ්වාසවන්තව හා සහයෝගයෙන් වැඩ කිරීම අවශ්‍යයි.—උත්පත්ති 2:24; මතෙව් 19:3-9.

ඇත්තයි ඒ වචන කියලා දැන් අවුරුදු දහස් ගණනක් ගත වෙලා. ඒ කියන්නේ විවාහය තුළ විශ්වාසවන්ත වීම පරණ තාලේ දෙයක්ද? නැහැ කියා හුඟදෙනෙක් කියාවි. ජර්මනියේ කළ සමීක්ෂණයකදී හෙළි වුණේ විවාහය තුළ විශ්වාසවන්ත වීම ඉතා වැදගත් බව සියයට 80ක්ම පිළිගත් බවයි. ස්ත්‍රී පුරුෂයන් අතර තිබෙන ආකර්ෂණීය ගුණාංග මොනවාද කියලා දැනගැනීමට තවත් සමීක්ෂණයක් කළා. එහිදී පුරුෂයන් ස්ත්‍රීන් තුළ දකින්නට කැමතිම ගුණාංග පහක් ලැයිස්තු ගත කළ අතර ස්ත්‍රීන්ද පුරුෂයන් තුළ දකින්නට කැමතිම ගුණාංග පහක් ලැයිස්තු ගත කළා. ඒ ස්ත්‍රීන් හා පුරුෂයන් තමන්ට වටිනාම ගුණාංගය හැටියට නම් කළේ විශ්වාසවන්තකමයි!

සාර්ථකවත් යුග දිවියකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට විශ්වාසවන්තකම අත්‍යවශ්‍යයි. කලින් ලිපියේ අපි කියවූ ලෙසට, විශ්වාසවන්තකමට බොහෝදෙනෙක් ප්‍රිය කළත් එය රකින්නේ සුළු පිරිසක් පමණයි. උදාහරණයකට රටවල් බොහොමයක දිනෙන් දින දික්කසාදය වැඩිවීමෙන් ඔප්පු වන්නේ විවාහය තුළ විශ්වාසවන්ත නොවීම දසත පැතිරුණු දෙයක් බවයි. විවාහකයන්ට ඒ රැල්ලට හසු නොවී එකිනෙකාට විශ්වාසවන්තව සිටීමට හැකි වන්නේ කෙසේද?

විශ්වාසවන්තකම දිගු කාලීන විවාහයකට දායක වෙයි

විවාහකයන් එකිනෙකාට ඇලී සිටීමට පුළුවන් අවස්ථා ගැන සොයද්දී විවාහය තුළ විශ්වාසවන්තකම තවත් තහවුරු වෙනවා. උදාහරණයකට “මගේ” කියනවාට වඩා “අපේ” කියන වචනය ලොකු බලපෑමක් කරනවා. අපි කතා කරද්දී “අපේ යාළුවෝ,” “අපේ දරුවෝ,” “අපේ ගෙදර,” “අපේ අද්දැකීම්” යන වචන භාවිත කිරීම ගොඩක් හොඳයි. සැලසුම් කිරීමේදී හා තීරණ ගැනීමේදී ඒ කියන්නේ පදිංචි වෙන්නේ කොහේද, කරන රැකියාව මොකද්ද, දරුවන් හැදීම ගැන, විනෝදාස්වාදය ගැන, නිවාඩු ගත කරන ආකාරය හා ආගම දහම ගැන තීරණ ගනිද්දී ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම එකිනෙකාගේ අදහස් ගැන හා අනිත් කෙනා හිතන විදිය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි.—හිතෝපදේශ 11:14; 15:22.

යුවළක් එකිනෙකා තමන්ට ගොඩක් වටින බව හැඟෙන්නට සලස්වද්දී ඔවුන් අතර ඇති විශ්වාසවන්තභාවය තවත් තහවුරු වෙනවා. එසේ නොකර විරුද්ධ ලිංගයේ වෙනත් අයෙක් ගැන එක් කලත්‍රයෙක් ඕනෑවට වැඩියෙන් උනන්දුව දක්වන බව පෙනේ නම් එය විවාහයේ සුරක්ෂිතභාවයට තර්ජනයක් වෙනවා. බයිබලයේ ස්වාමිපුරුෂයන්ට අවවාද කර තිබෙන්නේ “යෞවන කාලයේ භාර්යාවට” ඇලී සිටින්න කියලයි. තමාගේ බිරිඳ නොවන කෙනෙක් තමාට වැඩි අවධානයක් දෙනවා නම් සැමියා ඊට රුකුල් නොදිය යුතුයි. නිසැකවම ඔහු වෙනත් ස්ත්‍රියක් සමඟ කායික සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුයි. බයිබලය අවවාද කරන්නේ මෙහෙමයි. “ස්ත්‍රියක සමඟ කාමමිථ්‍යාචාරය කරන තැනැත්තේ තේරුම් නැති කෙනෙකි; තමාගේ ප්‍රාණය විනාශ කරගන්ට කැමති අය එසේ කරන්නේය.” භාර්යාවකගෙන්ද විශ්වාසවන්තකම හා බැඳි එවැනි උසස් ප්‍රමිති පැවැත්වීම අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා.—හිතෝපදේශ 5:18; 6:32.

විවාහය තුළ විශ්වාසවන්ත වීමට දරන වෑයම ඇත්තටම වටිනවාද? ඔව්! එය විවාහය ශක්තිමත් ස්ථාවරයක පවත්වන අතර දිගු කාලීන එකක් බවට පත් කරගන්නත් දායක වෙනවා. ඒ වගේම දෙදෙනාටම ඉන් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණයකට ස්වාමිපුරුෂයෙක් විශ්වාසවන්තව තම බිරිඳ ගැන සැලකිලිමත් වෙද්දී ඇයට සුරක්ෂිතකමේ හැඟීමක් ඇති වන අතර සතුටින් හා කැමැත්තෙන් දේවල් කරන්න ඇය පෙලඹෙනවා. ස්වාමිපුරුෂයා ගැනත් කිව හැක්කේ එයමයි. ඔහු ඇයට විශ්වාසවන්තව සිටින විට ජීවිතයේ හැම පැත්තකදීම ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ඇලී සිටීමට වන තම බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

ස්වාමිපුරුෂයෙක් හා භාර්යාවක් ප්‍රශ්න ගැටලු සහිත කාලයක් පසු කරද්දී වුවත් එකිනෙකාට විශ්වාසවන්ත වීමෙන් දෙදෙනාටම විවාහයේ සුරක්ෂිතභාවය අද්දැකිය හැකියි. අනෙක් අතට විශ්වාසවන්ත නොවී කටයුතු කිරීමෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙද්දී ඊට විසඳුම ලෙස සලකන්නේ වෙන්වීම හෝ දික්කසාදයයි. එවැනි පියවරක් ගනිද්දී ප්‍රශ්නය විසඳෙනවා වෙනුවට තවත් ප්‍රශ්න වැඩි වෙයි. එක්දාස් නවසිය අසූගණන්වල ප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්ව සිටි අයෙක් තම බිරිඳගෙන් හා පවුලෙන් වෙන් වුණා. තනිකඩයෙක් හැටියට ඔහු සතුටු වුණාද? විසි වසරක් ගත වුණු පසු ඒ වෙන් වී ගත කළ කාලය ගැන ඔහුගේ අදහස වූයේ මෙයයි. “මට තනිකමක් හා නොසන්සුන්කමක් දැනෙනවා. [මගේ] ළමයි දකින්න තියෙන ආශාව නිසා මට රෑට නින්ද යන්නෙත් නැහැ.”

දෙමාපියන් හා දරුවන් අතර තිබිය යුතු විශ්වාසවන්තකම

දෙමාපියන් එකිනෙකාට විශ්වාසවන්ත වන විට දරුවන්ද විශ්වාසවන්තව කටයුතු කරන්න ඉගෙනගන්නවා. එකිනෙකාට විශ්වාසවන්ත ප්‍රේමණීය පවුලක හැදුණු වැඩුණු දරුවන්ට, අනාගතයේදී තමන්ගේ විවාහය තුළ එකිනෙකාට විශ්වාසවන්ත ලෙස කටයුතු කිරීමටත් තම දෙමාපියන් මහලු වියේ පසු වෙද්දී ඔවුන්ට සත්කාර කිරීමටත් පහසු වෙනවා.—1 තිමෝති 5:4, 8.

සමහර වෙලාවට දෙමාපියන්ට කලින් දරුවෝ ආබාධිත වෙනවා. ඒ නිසා දෙමාපියන්ට දරුවාට සාත්තු කිරීමේ අවශ්‍යතාව මතු වෙනවා. අවුරුදු 40ක් පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව සිටින හර්බර්ට් සහ ගට්රූට්ගේ අද්දැකීම මෙයයි. ජීවිත කාලය පුරාම මාංශ පේශී දුර්වල වීමේ රෝගයකට ඔවුන්ගේ පුත්‍රයා වන ඩීට්මා මුහුණ පෑවා. වසර 2002 නොවැම්බර් මස ඔහු මිය යන තෙක්ම වසර හතක් පුරා ඩීට්මාට දිවා රෑ අවධානය හා සැලකිල්ල අවශ්‍ය වුණා. දෙමාපියන් ඔහුට ආදරයෙන් සැලකුවා. ඒ වගේම ඔහුට හෙදකම් කිරීමට අවශ්‍ය පුහුණුව ඔවුන් ලබාගත් අතර අවශ්‍ය වෛද්‍ය උපකරණ පවා නිවසේම සවි කර ගත්තා. එය පවුලක් ලෙස එකිනෙකාට විශ්වාසවන්ත වීමේ කොතරම් හොඳ ආදර්ශයක්!

මිතුරන් අතර විශ්වාසවන්ත වීම ඉතා වැදගත්

“පුද්ගලයෙකුට විවාහක සහකරුවෙකු හෝ සහකාරියක් නැතිව සතුටින් ඉන්න පුළුවන්. නමුත් යාළුවෙක් නැතිව ඉන්න නම් අමාරුයි” කියා බ්‍රිජිට් කියයි. සමහර විට ඔබත් ඊට එකඟ වෙනවා ඇති. ඔබ විවාහකයෙක් වුණත් තනිකඩයෙක් වුණත් විශ්වාසවන්ත මිතුරෙක් ඔබේ දිවිය ප්‍රබෝධවත් කරවයි. සිත ප්‍රීතිමත් කරවයි. ඔබ විවාහකයෙක් නම් ඔබේ කිට්ටුම මිතුරා හෝ මිතුරිය ඔබේ විවාහක සහකරු හෝ සහකාරිය විය යුතුයි.

මිතුරෙක් කියන්නේ නිකම්ම දන්න හඳුනන කෙනෙක් නෙවෙයි. අපි දන්න අඳුරන අය ගොඩක් ඉන්නවා. අසල්වැසියෝ, එකට වැඩ කරන අය හා නිතර නිතර හමුවෙන අය ඒ අතර වෙනවා. ඒත් ඒ හැමෝම අපේ මිතුරෝ වෙන්නේ නැහැ. සැබෑ මිත්‍රත්වයක් ගොඩනඟාගන්න නම් සෑහෙන කාලයක්, ශ්‍රමයක් සහ කැපවීමක් කරන්න සිදු වෙනවා. නමුත් එය ඇත්තටම ඉමහත් සතුටක් ගෙන දෙන අද්දැකීමක්. නමුත් වෙනත් කෙනෙකුගේ මිතුරෙක් වෙනවා කියන්නේ සුළුවට ගත යුතු දෙයක් නෙවෙයි. එය බැරෑරුම්ව සැලකිය යුතු වගකීමක්.

අපේ යාළුවන් එක්ක හොඳින් අදහස් හුවමාරු කරගැනීම අත්‍යවශ්‍ය දෙයක්. යම් යම් අවශ්‍යතාවන් පැන නඟිද්දී අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය විය හැකියි. බ්‍රිජිට් මෙහෙම කියනවා. “අපි දෙන්නාගෙන් එක්කෙනෙක්ට හරි ප්‍රශ්නයක් ඇති වුණොත් මමත් මගේ යෙහෙළියත් සතියට වතාවක් හෝ දෙවතාවක් දුරකථනයෙන් කතා කරනවා. ඇය මට ඇහුම්කන් දෙනවා කියන එක දන්න එකම මට ලොකු සහනයක්.” ගොඩාක් දුර ඉන්නවා කියන එක හොඳ මිත්‍රත්වයකට බාධාවක් වෙන්නේ නැහැ. ගර්ඩා සහ හෙල්ගා කිලෝමීටර් දහස්ගණනක් ඈතින් තමයි ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් එකිනෙකාගේ මිත්‍රත්වය අවුරුදු 35කටත් වඩා වැඩියෙන් පැවත තිබෙනවා. ගර්ඩා කියන්නේ මෙහෙමයි. “අපි නිතරම ලියුම් ලියනවා. අපේ සතුට ගැන වගේම දුක ගැනත් ඒවායේ ලියනවා. හෙල්ගාගෙන් මට ලියුමක් එද්දී මම හරි ආසයි. අපි දෙන්නා හිතන්නේ පතන්නේ එක විදියටයි.”

මිත්‍රත්වයකට විශ්වාසවන්තකම අත්‍යවශ්‍යයි. එක අවිශ්වාසවන්ත ක්‍රියාවකින් කාලයක් පුරා පැවති මිත්‍රත්වයක් වුණත් බිඳ දැමිය හැකියි. පෞද්ගලික කාරණාවලදී වුණත් යාළුවන් එකිනෙකාට අවවාද කිරීම සාමාන්‍ය දෙයක්. යාළුවන් එකිනෙකාව පහත් කරන්නේ නැති නිසා ඔවුන්ගේ හිතේ තියෙන ඕනෑම දෙයක් විශ්වාස කරලා අනිත් කෙනාට කියනවා. බයිබලයේ සඳහන් වෙන්නේ “මිත්‍රයෙක් සැම කල්ම ආදරේ වෙයි; සහෝදරයෙක්ද විපත්තියේදී ආධාර පිණිස උපදින්නේය” කියායි.—හිතෝපදේශ 17:17.

අපේ යාළුවන් අපි හිතන විදියට අපට හැඟෙන විදියට හා අපි ක්‍රියා කරන විදියට බලපෑම් කරන නිසා අපට සමාන දිවියක් ගත කරන අයව යාළුවන් ලෙස තෝරාගැනීම වැදගත්. උදාහරණයකට ඔබ විශ්වාස කරන දේම විශ්වාස කරන සදාචාරය සම්බන්ධයෙන් ඔබ දරන අදහසම තියෙන හා හරි වැරැද්ද සම්බන්ධයෙන් තිබෙන ප්‍රමිතිවලදී එකම විදියට හිතන අය සමඟ මිත්‍රත්වයන් පවත්වාගන්නා බවට සහතික වන්න. ඒ වගේ මිතුරන් ඔබේ ඉලක්ක අත්කර ගැනීමට ඔබට උදව් කරයි. ඇරත්, ඔබගේ ප්‍රමිති හා සදාචාරය ගැන ඔබ දරන අදහස් බෙදාගන්න බැරි අය එක්ක මිත්‍රත්වයන් ඇති කරගන්නේ ඇයි? සුදුසු මිතුරන් තෝරාගැනීමේ වැදගත්කම ගැන බයිබලයේ සඳහන් වන්නේ මේකයි. “ඥානවන්තයන් සමඟ හැසිරෙන්න; එවිට ඔබත් ඥානවන්තයෙක් වන්නෙහිය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයා වේදනා විඳින්නේය.”—හිතෝපදේශ 13:20.

විශ්වාසවන්ත වීමට ඉගෙනගත හැකියි

අපි මුලින් කතා කළ තුත්තිරි ගැන ඔබට මතකද? ඇඳුමකට ඇලීම සඳහා එයට තිබෙන හැකියාව පුදුමසහගතයි. අපිටත් ඒවගේ විශ්වාසවන්තව තව කෙනෙකුට ඇලිලා ඉන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා මුලින් අපි ඉගෙනගන්න ඕනේ. අපි විශ්වාසවන්ත වීමට ඉගෙනගන්නකොට එය විදහාපෙන්වන එක පහසු දෙයක් වෙනවා. කෙනෙක් ළමා කාලයේදීම විශ්වාසවන්ත වීමට ඉගෙනගන්නවා නම් පසු කාලයේදී විශ්වාසය මත පදනම් වූ මිත්‍රත්වයන් ඇතිව සිටීම පහසු වෙනවා. කාලය ගෙවී යත්ම, එවන් ශක්තිමත් හා කල්පවතින මිත්‍රත්වයන් විවාහය තුළ විශ්වාසවන්ත වීමට දායක වෙයි. ඒ වගේම අපිට තිබිය හැකි වඩාත්ම වැදගත් මිත්‍රත්වය තුළත් විශ්වාසවන්ත වීමට මෙය ඔහුට උපකාරවත් වෙනවා.

වඩා උතුම් ආඥාව ලෙසට යේසුස් කීවේ ඔබේ මුළු හදවතින්, ජීවිතෙන්, මනසින් හා ශක්තියෙන් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න කියායි. (මාක් 12:30) ඉන් අදහස් කරන්නේ අපි දෙවිට මුළුමනින්ම විශ්වාසවන්ත විය යුතු බවයි. මෙසේ කිරීමෙන් මහඟු ප්‍රයෝජන ලැබෙනවා. ඔහු කවමදාවත් අපිව කලකිරීමට පත් වෙන්න ඉඩ හරින්නේ නැහැ. ඔහු තමා ගැනම කිව්වේ මෙහෙමයි. “යෙහෝවා විශ්වාස ඇත්තන් ආරක්ෂා කරන්නේය.” (ගීතාවලිය 31:23) ඔව්, දෙවිට විශ්වාසවන්ත වීම සදාකාලික ප්‍රයෝජන ගෙන දෙයි.—1 යොහන් 2:17.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හොඳ මිතුරෙකුගේ විශ්වාසවන්තකම සිත ප්‍රබෝධවත් කරවයි

[5වන පිටුවේ පින්තූරය]

පවුල තුළ විශ්වාසවන්තව සිටින අය එකිනෙකාට ආදරයෙන් සලකයි