Skip to content

පටුනට යන්න

අන් අය අප ගැන සිතන විදිහ වැදගත්ද?

අන් අය අප ගැන සිතන විදිහ වැදගත්ද?

අන් අය අප ගැන සිතන විදිහ වැදගත්ද?

අපි කවුරුත් කැමතියි ප්‍රශංසාව ලබන්න. අන් අය අප ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරන විට අපට දැනෙන්නේ මහත් සතුටක්. ඒ විතරක් නොවෙයි, යම් දෙයක් හොඳින් කළා කියන හැඟීමද අප තුළ ඇති වෙනවා. අප කරන දේවල් අන් අය අගය කරන විට තවත් හොඳින් දේවල් කරන්න අප තුළ ආශාවක් ඇති වෙනවා. එහෙත් සමහරුන් අපිව විවේචනය කරන බව අප දැනගත් විට අපිට ඇති වන හැඟීම කලින් සඳහන් කළ හැඟීම්වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. අපි කරන දේවල් අන් අය ගණන් ගන්නේ නැති විට හෝ ඔවුන් අපව විවේචනය කරන විට අප තුළ දුකක් හා කලකිරීමක් ඇති වෙනවා. අන් අය අපි ගැන සිතන විදිහ, අපි ගැන අප සිතන විදිහට මහත් බලපෑමක් ඇති කළ හැකියි.

අන් අය අප ගැන සිතන විදිහ ගැන අපි ගණන් නොගෙන සිටියොත් එය අපට මහත් පාඩුවක් වෙන්න පුළුවන්. අපේ හැසිරීම ගැන අන් අය විපරමින් සිටීම අපේ ප්‍රයෝජනයට හේතු විය හැකියි. අන් අය උසස් සදාචාර ප්‍රමිති සැලකිල්ලට ගනිමින් පවසන දේවල් අපේම යහපතට හේතු විය හැකියි. අප තුළ අඩු පාඩු තිබෙනවා නම් ඒවා සාදාගන්න ඔවුන්ගේ අදහස් උපකාරවත් වෙයි. (1 කොරින්ති 10:31-33) කෙසේවෙතත් බොහෝ අවස්ථාවලදී මිනිස්සු සමහර දේවල් කියන්නේ සාධාරණ හේතු ඇතිව නොවෙයි. ඔවුන් අසාධාරණ ලෙස අපට චෝදනා කළ හැකියි. එදා සිටි නායක පූජකයන් සහ වෙනත් අය යේසුස් ක්‍රිස්තුස්ට බොරු චෝදනා නඟමින් පැවසූ මේ දේ ගැන සිතා බලන්න. “කණුවක ඇණ ගසන්න! ඔහුව කණුවක ඇණ ගසන්න!” කියා ඔවුන් කෑගැසුවා. (ලූක් 23:13, 21-25) බොරු තොරතුරු පදනම් කරගෙන හෝ ඊර්ෂ්‍යාව නිසා අන් අය අප ගැන පවසන දේවල් ගැන ඒ තරම් සිතන්න අවශ්‍ය නැහැ. අපේ පැත්තෙන් අපි කළ යුත්තේ අන් අය පවසන දේවල් හොඳින් කිරා මැන බලා නැණවත් ලෙස ක්‍රියා කිරීමයි.

වැදගත් වන්නේ කවුරුන් සිතන විදිහද?

අප සමඟ එක්ව සැබෑ නමස්කාරයේ හවුල් වන අපේ පවුලේ සාමාජිකයන් හා සෙසු ඇදහිලිවන්තයන් තුළ අප ගැන හොඳ හැඟීමක් තිබෙනවා දකින්න අපි හැමෝම ආසයි. (රෝම 15:2; කොලොස්සි 3:18-21) ඔවුන් අපට දක්වන ප්‍රේමය හා ගෞරවය නිසාත් “අන්‍යෝන්‍ය දිරිගැන්වීම” නිසාත් අපි බොහෝ ප්‍රයෝජන ලබනවා. (රෝම 1:11, 12) අපි ‘යටහත් පහත් මනසකින් යුක්තව අපට වඩා අන් අය උතුම්යයි සලකනවා.’ (ෆිලිප්පි 2:2-4) ‘අප අතරේ පෙරමුණ ගන්න’ සභාවේ වැඩිමහල්ලන්ද අපි ගැන හොඳ හැඟීමක් ඇති කරගන්නවාට අපි කැමතියි. ඒ සඳහා අපි වෑයම් කරමු.—හෙබ්‍රෙව් 13:17.

එමෙන්ම ‘පිටත සිටින අය ඉදිරියෙහි යහපත් සාක්ෂියක් ඇතිව සිටීමටද’ අපි කැමතියි. (1 තිමෝති 3:7) අප හා සමඟ සැබෑ නමස්කාරයේ හවුල් නොවන අපේ ඥාතීන්, රැකියා ස්ථානයේ සිටින අය හා අසල්වැසියන් අපට ගෞරවයෙන් සලකන විට අපිට දැනෙන සතුට මොන තරම්ද! අපි රාජ්‍යයේ ශුභාරංචිය ගැන කතා කරන අය තුළ අපි ගැන හොඳ හැඟීමක් ඇති කිරීමට වෑයම් කිරීම හුඟාක් වටිනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් යම් දවසක රාජ්‍යයේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. අපි ජීවත් වන ප්‍රදේශයේ ජනයා යහපත් හා අවංක මිනිස්සුන් ලෙස අපිව සලකනවා නම් එයින් දෙවිට මහත් ගෞරවයක් අත් වෙනවා. (1 පේතෘස් 2:12) කෙසේවෙතත් බයිබල් ප්‍රතිපත්ති කඩ කර අන් අයගේ හිත දිනාගන්න අපි කිසිවිටකත් වෑයම් කරන්නේ නැහැ. එමෙන්ම අන් අය අතරේ හොඳ නමක් ඇති කරගැනීම සඳහා අපි බොරු මවාපෑම් කරන්නේද නැහැ. හැම කෙනෙක්වම සතුටු කරන්නත් බැරි බව අපි මතක තබාගත යුතුයි. අපට මුහුණ පෑමට සිදු විය හැකි තත්වයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “ඔබ ලෝකයේ කොටසක්ව සිටියා නම්, ඔබ ලෝකයට අයිති නිසා ලෝකය ඔබට ඇලුම් වනවා ඇත. නමුත් ඔබ ලෝකයේ කොටසක් නොවන නිසාත්, මා ඔබව ලෝකයෙන් වෙන් කොට තෝරාගෙන තිබෙන නිසාත්, ලෝකය ඔබට වෛර කරන්නේය.” (යොහන් 15:19) අපට විරුද්ධව ක්‍රියා කරන අයගේ ගෞරවය දිනාගැනීම සඳහා අපිට කළ හැකි යමක් තිබෙනවාද?

විරුද්ධවාදීන්ව දිනාගැනීම

යේසුස් අපට මෙසේ අනතුරු ඇඟෙව්වා. “මාගේ නාමය නිසා සියල්ලෝ ඔබට වෛර කරන්නෝය. නමුත් අවසානය දක්වා විඳදරාගන්නා ගලවනු ලබන්නේය.” (මතෙව් 10:22) මෙම වෛරයේ ප්‍රතිඵලයක් හැටියට ඇතැම් අවස්ථාවලදී විරුද්ධවාදීන් අපට බරපතළ චෝදනා එල්ල කළ හැකියි. රජයට පක්ෂ නිලධාරීන් රාජද්‍රෝහීන් කියා අපව හංවඩු ගසන්න ඉඩ තිබෙනවා. සමාජයෙන් නැති කර දැමිය යුතු භයානක නිකායක් කියා විරුද්ධවාදීන් ප්‍රසිද්ධියේ අපට චෝදනා කළ හැකියි. (ක්‍රියා 28:22) ඇතැම් අවස්ථාවලදී මෙම චෝදනා බොරු බව අපට පෙන්වන්න පුළුවන්. මෙය කළ හැක්කේ කොහොමද? මෙහිදී පේතෘස්ගේ මෙම උපදේශය සිතට ගත යුතුයි. “ඔබ තුළ ඇති බලාපොරොත්තුව ගැන අසන සියල්ලන් ඉදිරියේ උත්තර දීමට නිතරම සූදානම්ව සිටින්න. නමුත් මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව එසේ කරන්න.” (1 පේතෘස් 3:15) එමෙන්ම අපිව ‘දෝෂාරෝපණයට ලක් කළ නොහැකි සාරවත් වූ වචනවලින් කතා කළ’ යුතුයි. අපි මෙසේ ක්‍රියා කරද්දී ‘විරුද්ධවාදීන්ට අප ගැන පිළිකුල්සහගත කිසිවක් පැවසීමට ඉඩ නොලැබෙන අතර ඔවුන් ලජ්ජාවටද පත් වෙනවා.’—තීතස් 2:8.

අපට කරන නින්දා අපහාසවලට උත්තර දෙන්න අපි වෑයම් කළද, අසාධාරණ ලෙස කිසිම හේතුවක් නැතිව අප ගැන බොරු පතුරුවද්දී අපි අධෛර්යයට පත් විය යුතු නැහැ. කිසිම වරදක් නොකළ දෙවිගේ පුත්‍රයා වන යේසුස්ටත් ඔහුගේ විරුද්ධවාදීන් බොරු චෝදනා එල්ල කළා. ඔහු දෙවිට අපහාස කරන්නෙක් කියාත් රාජද්‍රෝහියෙක් කියාත් ඔවුන් පැවසුවා. ඒ විතරක් නෙවෙයි, ඔහු යක්ෂාවේෂ වූ කෙනෙක් කියාත් පැවසුවා. (මතෙව් 9:3; මාක් 3:22; යොහන් 19:12) විරුද්ධවාදීන් පාවුල්වත් අපකීර්තියට පත් කළා. (1 කොරින්ති 4:13) යේසුස් වගේම පාවුල්ද විරුද්ධවාදීන්ගේ බොරු චෝදනා ගණන් ගත්තේ නැහැ. දිගටම ඔවුන් දේවසේවයේ කාර්යබහුලව නිරත වුණා. (මතෙව් 15:14) “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත්” නිසා තම විරුද්ධවාදීන්ගේ අනුමැතිය දිනාගන්න බැරි බව ඔවුන් දැන සිටියා. (1 යොහන් 5:19) අපටත් ඒ හා සමාන නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අපිට වෛර කරන අය අපි ගැන බොරු පතුරුවාහරිද්දී අපි ඒ ගැන බිය විය යුතු නැහැ.—මතෙව් 5:11.

ඇත්තටම වැදගත් වන්නේ යෙහෝවා සහ යේසුස් සිතන විදිහයි

මිනිසුන් අප ගැන සිතන විදිහ එක් එක් කෙනාගෙන් එක් එක් කෙනාට හුඟාක් වෙනස්. ඔවුන් අප ගැන සිතන්නේ අපි ගැන ඔවුන් අසා තිබෙන දේවල් හෝ ඔවුන් අපි ගැන දරන අදහස් අනුවයි. සමහර අය අප ගැන හොඳ කියද්දී තවත් අය අපි ගැන බොරු කියනවා. සමහර අය අපට ගෞරවයෙන් සලකද්දී තවත් අය අපිට වෛර කරනවා. කෙසේවෙතත් අපි බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන තාක් කල් සතුටින් හා සමකාමී මනසක් ඇතුව සිටීමට අපිට හොඳ හේතු තිබෙනවා.

ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළා. “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, කාරණා හරිගැස්වීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය. එමගින් දෙවිගේ මිනිසා පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව සිටිනු ඇත.” (2 තිමෝති 3:16, 17) අපේ ජීවිතයේ සෑම කාරණයකදීම දේවවචනයේ මඟ පෙන්වීම් සැලකිල්ලට ගන්නවා නම් යෙහෝවා සහ ඔහුගේ පුත් යේසුස් ඉදිරියෙහි හොඳ නමක් ඇති පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට අපට හැකි වෙනවා නිසැකයි. එනිසා වඩාත්ම වැදගත් වන්නේ යෙහෝවා දෙවි සහ යේසුස් අප ගැන සිතන විදිහයි. අපේ සැබෑ වටිනාකම මැනිය යුත්තේ ඔවුන් අපි ගැන සිතන විදිහ අනුවයි. අපේ ජීවිතය රඳා පවතින්නේ ඔවුන්ගේ ප්‍රසාදය ලබන පුද්ගලයෙකු ලෙස අපි ජීවත් වීම මතයි.—යොහන් 5:27; යාකොබ් 1:12.

[30වන පිටුවේ පින්තූරය]

“අනේ, මුවින් එපා කියන පැසසුමට සිතින් යදිමි”—ඉන්දියානු කවියෙකු වන රවින්ද්‍රනාත් තාගෝර්

[31වන පිටුවේ පින්තූර]

සෙසු ඇදහිලිවන්තයන් අප ගැන සිතන විදිහ වැදගත්

[30වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Culver Pictures