අපේ සිතුවිලි පාලනය කරගත හැකි අයුරු
අපේ සිතුවිලි පාලනය කරගත හැකි අයුරු
ඇතැම් අවස්ථාවලදී ඔබ පාලනය වන්නේ අහිතකර සිතුවිලිවලින්ද? ඔබ ඉක්මනින්ම කැලඹීමට පත් වන කෙනෙක්ද? එසේත් නැත්නම් ඔබ ඉක්මනින්ම කේන්ති යන කෙනෙක් හෝ කලකිරීමට පත් වන කෙනෙක්ද? ඔබ සිත්තැවුල්වලින් යට වී සිටින කෙනෙක් කියා ඔබට හැඟෙනවාද? මෙවැනි තත්වයන්වලට සාර්ථකව මුහුණ දීම සඳහා ඔබට උපකාරවත් වන දේවල් මොනවාද?
විවිධාකාර තත්වයන් යටතේ අප කා තුළත් එකිනෙකට වෙනස් සිතුවිලි ඇති වෙන්න පුළුවන්. අප තුළ ඇති වන සිතුවිලි නිසි ලෙස පාලනය කරගන්නවා නම් ජීවිතයේ සතුට අහිමි වීම වළක්වාගන්න අපිට පුළුවන්. කෙසේවෙතත් “බලාත්කාරයා ඥානවන්තයා මෝඩ කරයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:7) අද අපි ජීවත් වෙන්නේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හා හදිසි අනතුරු බහුලව සිදු වන ලෝකයකයි. මේ නිසා අපි අසන දකින හා අත් විඳින දේවල් අපේ සිතුවිලිවලට බලපානවා. ඒ දේවල් නිසා අපි දුක් වෙනවා. එහෙත් බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “මනුෂ්‍යයාට තමන් වැඩවලින් ප්‍රීතිවීමට වඩා යහපතක් නැත.” (දේශනාකාරයා 3:22) ජීවිතයේ ප්‍රීතිය සතුට වැඩි කරගන්න නම් අපේ සිත යහපත් සිතුවිලිවලින් පෝෂණය කිරීමට ඉගෙනගත යුතුයි. යහපත් සිතුවිලි වඩවාගැනීමට හා අහිතකර සිතුවිලි පහ කර දැමීමට අපට හැක්කේ කොහොමද?
අපට ඇති වන අහිතකර සිතුවිලි පාලනය කරගැනීම සඳහා යම් දේවල් කළ හැකියි. උදාහරණයක් හැටියට අපිට වෙනස් කරගත නොහැකි යම් දෙයක් ගැන අපි දුකෙන් පසු වෙනවා නම් ඒ ගැනම සිත සිතා ඉන්නේ නැතුව අපේ දිනචර්යාව ටිකක් වෙනස් කරගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකියි. විවේකීව ඇවිදීම, සංගීතයට සවන් දීම, ව්‍යායාම කිරීම හෝ අන් අය වෙනුවෙන් කාරුණික දෙයක් කිරීම වැනි ක්‍රියාකාරකම්වල නියැලීමෙන් යම් ප්‍රමාණයක සහනයක් හා සතුටක් ලබන්න පුළුවන්.—ක්‍රියා 20:35.
කෙසේවෙතත් අහිතකර සිතුවිලි පහ කර දැමිය හැකි හොඳම ක්‍රමය වන්නේ අපේ මැවුම්කරු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමයි. අහිතකර සිතුවිලි අපේ සිතට වධ දෙන විට දෙවිට යාච්ඤා කර ‘අපේ සියලු කරදර ඔහු පිට තබන්න’ අපිට පුළුවන්. (1 පේතෘස් 5:6, 7) බයිබලයේ අපිට මෙසේ සහතික කර තිබෙනවා. “යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින්නේය. . . . ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය; එහෙත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගලවන්නේය.” (ගීතාවලිය 34:18, 19) දෙවි ‘අපේ උපකාරකයාද අපව මුදන තැනැත්තාද’ වෙනවා කියා විශ්වාස කරන්න පුළුවන් කොහොමද? (ගීතාවලිය 40:17) බයිබලය අධ්‍යයනය කරන විට හා දෙවි ඔහුගේ සේවකයන්ගේ ශුභසිද්ධිය ගැන සැලකිලිමත් වන බව එහි සඳහන් සැබෑ ජීවිත අද්දැකීම්වලින් අපි තේරුම්ගන්න විට දෙවි කියන්නේ අපට සැබවින්ම උපකාර කරන කෙනෙකු බවට විශ්වාසයක් අප තුළ ඇති වෙනවාට සැකයක් නැහැ.