Skip to content

පටුනට යන්න

දෙවි කෙනෙක්ද නැත්නම් මිනිසෙක්ද?

දෙවි කෙනෙක්ද නැත්නම් මිනිසෙක්ද?

දෙවි කෙනෙක්ද නැත්නම් මිනිසෙක්ද?

“ලෝකයේ ආලෝකය මමය. මා අනුව එන්නා කිසිසේත් අන්ධකාරයේ ඇවිදින්නේ නැත. ඔහුට ජීවනයේ ආලෝකය ලැබෙනවා ඇත.” (යොහන් 8:12) මේ වදන් පැවසුවේ යේසුස් ක්‍රිස්තුස් විසිනුයි. පළමුවන සියවසේ සිටි උගත් පුද්ගලයෙක් යේසුස් ගැන මෙසේ පැවසුවා. “ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු ඔහු තුළ සුරක්ෂිතව සඟවා තිබේ.” (කොලොස්සි 2:3) බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දෙවි ගැන දැනගැනීමට අප තුළ තිබෙන ආශාව ඉටු කරගැනීමට නම් යේසුස් ගැන නිවැරදි දැනුමක් ලබාගැනීම අත්‍යවශ්‍යයි.

ලෝකයේ සිටින හැම කෙනෙක්ම පාහේ යේසුස් ක්‍රිස්තුස් ගැන අසා තිබෙනවා. ඔහු මිනිස් ඉතිහාසය තුළ කැපීපෙනෙන ප්‍රබල පුද්ගලයෙක් වූ බව අවිවාදයෙන් පිළිගත යුතුයි. අද ලෝකයේ බොහෝ රටවල භාවිත කරනු ලබන දිනදර්ශනය සකස් කිරීමට මුල් වී තිබෙන්නේ ඔහු උපත ලැබුවායයි කියන අවුරුද්දයි. යේසුස් උපත ලැබීමට කලින් අවුරුදු ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ.) කියාද ඔහුගේ උපතෙන් පසු අවුරුදු ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) කියාද හඳුන්වනු ලබන බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.

එහෙත් යේසුස් කියන්නේ කවුද කියන කාරණය ගැන එකිනෙකට පටහැනි අදහස්ද තිබෙනවා. ඇතමුන් යේසුස්ව සලකන්නේ ඉතිහාසය තුළ කැපීපෙනෙන පුද්ගලයෙකු ලෙස පමණයි. තවත් සමහරු ඔහුව සර්වපරාක්‍රම දෙවි ලෙස සලකා ඔහුට නමස්කාර කරනවා. සමහර හින්දු භක්තිකයන් යේසුස්ව සලකන්නේ ක්‍රිෂ්ණා වගේ මිනිස් වෙස් ගෙන පොළොවට පැමිණි දෙවි කෙනෙක් ලෙසයි. යේසුස් සම්බන්ධයෙන් බොහෝදෙනෙකු තුළ තිබෙන මේ ප්‍රශ්න සලකා බැලීම වටිනවා. යේසුස් කියන්නේ නිකම්ම මිනිසෙක්ද නැත්නම් අපේ නමස්කාරය ලැබීමට වටින කෙනෙක්ද? ඇත්තටම ඔහු කවුද? ඔහු මේ පොළොවට ආවේ කොහේ සිටද? ඔහු මොන වගේ කෙනෙක්ද? දැන් ඔහු ඉන්නේ කොහේද? යේසුස් ගැන බොහෝ තොරතුරු සඳහන් පොත වන බයිබලය මේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දෙනවා. මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.