Skip to content

පටුනට යන්න

“ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය”

“ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය”

“ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය”

“කාරණයේ අන්තිමය මේය; සියල්ල අසන ලදි; දෙවිට භය වෙමින් ඔහුගේ ආඥාවන් රක්ෂා කරන්න; මනුෂ්‍යයාගේ මුළු යුතුකම නම් මේකය.” (දේශනාකාරයා 12:13) පුරාණ ඊශ්‍රායෙලයේ විසූ සලමොන් රජ දෙවිගේ බලයේ මඟ පෙන්වීම යටතේ ලියූ දේශනාකාරයා පොත අවසන් කළ එම වදන්වලින් පැහැදිලි වන්නේ ඔහු ඒ ගැන සෑහෙන්න සිතා තිබෙන බවයි. ඒ වගේම පුරාණයේ විසූ යෝබ්ද දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක් තිබූ පුද්ගලයෙක් බව ඔහු පැවසූ මේ වදන්වලින් පැහැදිලි වෙනවා. “බලව, ප්‍රඥාව නම් යෙහෝවාට භයවීමය; තේරුම නම් නපුරෙන් අහක්ව සිටිමය.”—යෝබ් 28:28.

යෙහෝවා දෙවි කෙරෙහි ගෞරවනීය බියක් ඇතුව සිටීමේ වැදගත්කම බයිබලයේ නිතර අවධාරණය කර තිබෙනවා. එවැනි බියක් ඇතුව සිටීම ප්‍රඥාවන්ත දෙයක් වන්නේ ඇයි? දේවබිය ඇතුව ජීවත් වීමෙන් පුද්ගලයෙකු හැටියටත් දෙවිට නමස්කාර කරන කණ්ඩායමක් හැටියටත් ලැබෙන ප්‍රයෝජන මොනවාද? හිතෝපදේශ 14වන පරිච්ඡේදයේ 26 සිට 35 දක්වා වගන්තිවල සඳහන් කරුණු පරීක්ෂා කර බැලීමෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැකියි. *

‘බලවත් නිසැකකමේ’ උල්පත

සලමොන් මෙසේ සඳහන් කළා. “යෙහෝවා කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භය වෙන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.” (හිතෝපදේශ 14:26 පැරණි අනුවාදය) දේවබියැති පුද්ගලයෙකු සම්පූර්ණ විශ්වාසය තබන්නේ සිය සේවකයන්ව කිසිවිටකත් අත් නොහරින සර්වබලධාරී දෙවි වන යෙහෝවා මතයි. මෙවැනි කෙනෙකුට අනාගතය ගැන තිබෙන්නේ බලවත් නිසැකකමක්. එමෙන්ම දිගු කාලීන සන්තෝෂවත් අනාගතයක්ද එවැනි කෙනෙකුට තිබෙනවා.

කෙසේවෙතත් මේ ලෝකයේ තිබෙන දේවල්, සැලසුම්, මතිමතාන්තර හා මිනිසුන් පිහිටුවාගෙන තිබෙන සංවිධාන කෙරෙහි විශ්වාසය තබන අයගේ අනාගතය ගැන කුමක් කිව හැකිද? ඔවුන් බලාපොරොත්තු වන අනාගතය මොකක් වුණත් එය කෙටි කාලීනයි. මන්ද බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “ලෝකයත් එහි ආශාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදහටම පවතින්නේය.” (1 යොහන් 2:17) එසේනම් “ලෝකයටවත් ලෝකයේ තිබෙන දේවල්වලටවත් ප්‍රේම [කිරීම]” නැණවත් දෙයක්ද?—1 යොහන් 2:15.

තමන්ගේ දරුවන්ට “රක්ෂස්ථානයක්” ලබා දීම සඳහා දේවබියැති දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද? “දරුවෙනි, එන්න, මට කන් දෙන්න; යෙහෝවා කෙරෙහි භයවීම උගන්වන්නෙමි” කියා ගීතිකාකරු ගායනා කළා. (ගීතාවලිය 34:11) දෙමාපියන් උගන්වන දේවලින්ද ඔවුන් තබන ආදර්ශයෙන්ද දරුවන්ට දේවබිය ඇති කරගැනීම සඳහා උපකාර කරන විට ඔවුන් වයසින් වැඩෙනවාත් සමඟ යෙහෝවා කෙරෙහි බලවත් විශ්වාසයක් ඇති පුද්ගලයන් බවට පත් වේවි.—හිතෝපදේශ 22:6.

සලමොන් තවදුරටත් මෙසේද පැවසුවා. “මරහුගේ [එනම් මරණයේ] මලපත්වලින් පහව යන පිණිස යෙහෝවාට භයවීම ජීවනයේ උල්පතකි.” (හිතෝපදේශ 14:27) සැබෑ දෙවි වන යෙහෝවා “ජීවනදායක වතුර ඇති උල්පත” වන නිසා ඔහු කෙරෙහි ගෞරවනීය බියක් ඇතුව සිටීමෙන් ‘ජීවනය’ අත් කරගත හැකියි. (යෙරෙමියා 2:13) යෙහෝවා දෙවි ගැනත් යේසුස් ක්‍රිස්තුස් ගැනත් දිගටම දැනුම ලබාගැනීමෙන් සදාකාල ජීවනය ලබාගන්න පුළුවන්. (යොහන් 17:3) මරණයට ගොදුරු විය හැකි මලපත්වලට හසු නොවී සිටීම සඳහාද දේවබිය අපට උපකාරවත් වෙනවා. ඒ කොහොමද? “මරණය නමැති මලපත්වලින් ගැලවී යන පිණිස නුවණැත්තාගේ ව්‍යවස්ථාව ජීවනයේ උල්පතක් වේ” කියා හිතෝපදේශ 13:14හි සඳහන් වෙනවා. අපි යෙහෝවා කෙරෙහි ගෞරවනීය බියක් ඇතුව ඔහුගේ නීතිවලට කීකරු වෙමින් ඔහුගේ වචනයේ මඟ පෙන්වීම් අනුව ජීවත් වෙනවා නම් අකල් මරණවලට මඟ පෑදිය හැකි හානිකර පුරුදු හා සිතුවිලිවලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්.

“රජුගේ මහන්තත්වය”

සලමොන් රජු ඔහුගේ පාලන කාලයෙන් වැඩි හරියක් යෙහෝවා දෙවිට කීකරු වූ දේවබියැති පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළා. ඔහුගේ පාලනය සාර්ථක වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. රජෙකුගේ පාලනයේ සාර්ථකත්වය මනින්නේ කුමකින්ද? මෙයට හිතෝපදේශ 14:28හි මෙසේ පිළිතුරු දෙනවා. “බොහෝ සෙනඟ සිටීම රජුගේ මහන්තත්වය වේ; එහෙත් සෙනඟ පිරිහීම අධිපතියාගේ විනාශය වේ.” රජෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔහුගේ යටත්වැසියන් භුක්ති විඳින ප්‍රීතිය මතයි. රජගේ පාලනයට බොහෝ සෙනඟක් කැමති නම් එයින් පෙනී යන්නේ ඒ රජ හොඳ පාලකයෙක් බවයි. සලමොන් රජ “මුහුදෙන් මුහුදටත් ගංගාව පටන් පොළොවේ කෙළවරටත් අධිපතිකම්” කළා. (ගීතාවලිය 72:6-8) කිසිදාක නොතිබූ ආකාරයේ සාමයක් හා සුරක්ෂිතභාවයක් ඔහුගේ පාලන සමයේදී තිබුණා. (1 රාජාවලිය 4:24, 25) සලමොන්ගේ පාලනය සාර්ථක පාලනයක් වුණා. යම් පාලනයක් කෙරෙහි ජනතාවගේ කැමැත්තක් නැත්නම් එය පාලකයාට අගෞරවයක්.

මේ අතින් බලද්දී සලමොන්ට වඩා උතුම් කෙනෙකු වන යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය ගැන කුමක් කිව හැකිද? මේ කාලයේ සිටින ඔහුගේ යටත්වැසියන් ගැන සිතා බලන්න. පොළොවේ එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා මිලියන හයකට වැඩි දේවබියැති සෙනඟක් දැනටමත් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ ජීවත් වීමට තීරණය කර තිබෙනවා. යේසුස් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ඔවුන් ජීවමාන දෙවිට එක්සත්ව නමස්කාර කරනවා. (යොහන් 14:1) යේසුස්ගේ දහස් අවුරුදු පාලන සමය නිමා වන විට දෙවිගේ මතකයේ සිටින මිය ගිය අය සියලුදෙනාවම නැවත නැඟිටුවා අවසන්. ඉන්පසු, තමන්ගේ රජුව අගය කරන ධර්මිෂ්ඨ මිනිසුන් පාරාදීස පොළොව මත කියා නිම කළ නොහැකි තරම් ප්‍රීතියකින් ජීවත් වෙනවා. යේසුස්ගේ පාලනයේ සාර්ථකත්වයට එය මොන තරම් ප්‍රබල සාක්ෂියක්ද! අපට තිබෙන මේ ප්‍රීතිමත් බලාපොරොත්තුව කිසිවිටකත් අත් නොහැරීමට අදිටන් කරගනිමු.

දේවබිය ඇතුව සිටීමේ ප්‍රයෝජන

දේවබිය ඇතුව සිටීමෙන් දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගත හැකි වෙනවා පමණක් නොව සන්සුන් මනසක් ඇති කරගැනීමටද හැකියි. එමෙන්ම දෙවි කෙරෙහි ගෞරවාන්විත බියක් තිබෙන පුද්ගලයෙකුගේ සිත සාමකාමීයි. මීට හේතුව දේවබිය තුළින් හටගන්න ප්‍රඥාව තිබෙන පුද්ගලයෙකුට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව වගේම කාරණා හොඳින් තේරුම්ගැනීමේ හැකියාවද තිබීමයි. හිතෝපදේශ 14:29හි මෙසේ සඳහන් වෙනවා. “කෝපවීමට ප්‍රමාදවන්නා මහත් තේරුම් ඇති කෙනෙක්ය; එහෙත් ඉක්මන්වන්නා අඥානකම උසස් කරයි.” කාරණා හොඳින් තේරුම්ගැනීමේ හැකියාව අපට තිබෙනවා නම් හදිසි කෝපය දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාවට හානි ඇති කරන බව අපි දන්නවා. එනිසා අපි එය වළක්වාගැනීමට ක්‍රියා කරනවා. “සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද” යනාදි නරක ගුණාංග ඇතුළත් කර තිබෙන්නේ අපට “දෙවිගේ රාජ්‍යය උරුම” නොවීමට හේතු විය හැකි ක්‍රියා අතරයි. (ගලාති 5:19-21) දේවවචනයේ අපට උපදෙස් දී තිබෙන්නේ සාධාරණ හේතු තිබුණත් කිසිම කෙනෙකු සමඟ අමනාපයක් ඇති කරගන්න එපා කියායි. (එෆීස 4:26, 27) අපි නොඉවසිලිමත්ව ක්‍රියා කළොත් පසුව පසුතැවිලි වීමට හේතු විය හැකි අඥාන වචන අපේ මුවින් පිට විය හැකියි. සමහරවිට අපි අතින් අඥාන ක්‍රියාද සිදු විය හැකියි.

කෝපය නිසා ඇති විය හැකි ශාරීරික හානි පෙන්වා දෙමින් සලමොන් රජ මෙසේ සඳහන් කරනවා. “නිරෝගි සිතක් ශරීරයට ජීවනය වේ; එහෙත් ඊර්ෂ්‍යාව ඇටවලට කුණුවීමය.” (හිතෝපදේශ 14:30) ශ්වසන පද්ධතියේ රෝග, අධික රුධිර පීඩනය, අක්මාවේ හා අග්න්‍යාශයේ ආබාධ ඇතිවීමට කේන්ති යෑම හේතු විය හැකියි. ඒ විතරක් නොවෙයි, තුවාල, කුෂ්ට, ඇදුම, සමේ රෝග හා ආහාර ජීරණ පද්ධතියේ ගැටලු යනාදි රෝග තත්වයන් ඇතිවීමට හෝ ඒවා තවත් වැඩිවීමට කෝපවීම හේතු විය හැකි බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. එහෙත් “නිසල් සිත ගතට සුවය දෙයි” කියා හිතෝපදේශයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 14:30, නව අනුවාදය) එසේනම් “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද [ලුහුබැඳීම]” කොතරම් ඥානවන්තද!—රෝම 14:19.

දේවබියැති තැනැත්තා සැමට එක හා සමාන ලෙස සලකයි

සලමොන් රජ තවදුරටත් මෙසේ පැවසුවා. “දුප්පතාට පීඩා කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දා කරයි; එහෙත් දිලින්දාට කරුණා කරන්නා ඔහුට ගෞරව කරයි.” (හිතෝපදේශ 14:31) සියලුම මිනිසුන්ට ජීවිතය දී තිබෙන්නේ යෙහෝවා දෙවි බව දේවබියැති තැනැත්තා තේරුම්ගෙන සිටිනවා. ඒ නිසා ඔහු දිලිඳුන්ට වෙනස් ලෙස සලකන්නේ නැහැ. ඔහු ඔවුන්ට සලකන්නේ සියලුදෙනාගේම මැවුම්කරු මිනිසුන්ට සලකනවා වගෙයි. දෙවිව ගෞරවයට පත් කරන්න නම් අපි පැති නොගෙන සියලුදෙනාටම එක හා සමානව සැලකිය යුතුයි. ශක්තිමත් ඇදහිල්ලක් ඇති කරගැනීමට දිලිඳු ක්‍රිස්තියානීන්ටද තරාතිරම් නොබලා උපකාර කළ යුතුයි. දුප්පත් පොහොසත් සියලුදෙනාටම අපි දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ යුතුයි.

දේවබිය ඇතුව සිටීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ගැන සඳහන් කරමින් ප්‍රඥාවන්ත සලමොන් රජු මෙසේ පවසනවා. “දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.” (හිතෝපදේශ 14:32 න.අ.) දුෂ්ටයා පිරිහෙන්නේ කොහොමද? විපත්ති ඇති වන විට ඒවායින් ගැලවීමට දුෂ්ට කෙනෙකුට හැකියාවක් නැති බව එයින් අදහස් කරනවා කියා බයිබලය පිළිබඳ ඇතැම් විචාරකයන් පවසනවා. එහෙත් විපත්ති ඇති වන විට දේවබියැති පුද්ගලයා ඔහුගේ දැහැමිකම හෙවත් දෙවිට විශ්වාසවන්තව සිටීම නිසා එම විපත්වලින් ආරක්ෂා වෙනවා. මිය යෑමට සිදු වුණත් යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ක්‍රියා කරන එවැනි පුද්ගලයෙකු තුළ තිබෙන්නේ යෝබ්ට තිබූ මෙම අධිෂ්ඨානයමයි. “මා නසින තෙක් මාගේ අවංකකම [විශ්වාසය] පහ නොකරන්නෙමි.”—යෝබ් 27:5.

දෙවිට අඛණ්ඩව විශ්වාසවන්තව සිටීමට නම් දේවබිය මෙන්ම ප්‍රඥාවද අවශ්‍යයි. ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද? හිතෝපදේශ 14:33හි එයට මෙසේ පිළිතුරු දෙනවා. “තේරුම් ඇත්තාගේ සිතේ ප්‍රඥාව පවතියි; එහෙත් අඥානයන් තුළ ඇති දේ ප්‍රකාශ වේ.” ප්‍රඥාව තිබෙන්නේ තේරුම්ගැනීමේ හැකියාව තිබෙන පුද්ගලයෙකු තුළයි. ප්‍රඥාව අඥානයන් අතරේ ප්‍රකාශ වන්නේ කොහොමද? එක් පොතක පෙන්වා දෙන ආකාරයට “අඥානයෙකුට යම් ප්‍රඥාවක් තිබුණත් එය හරියාකාරව ක්‍රියාවට යෙදවීමට නොදන්න නිසා ඔහුගේ අඥානකම හෙළි වෙයි.”

“ජාතියක් උසස් කරයි”

අපි මෙතෙක් සලකා බැලුවේ දේවබිය තිබෙන පුද්ගලයෙකු ක්‍රියා කරන ආකාරයන් ගැනයි. මුළු මහත් ජාතියක්ම දේවබිය ඇතුව සිටින විට ඉන් ඇති වන ප්‍රතිඵලය ගැන අපි දැන් සලකා බලමු. මේ ගැන සලමොන් රජු මෙසේ පවසනවා. “ධර්මිෂ්ඨකම ජාතියක් උසස් කරයි; එහෙත් කවර සෙනඟකට නමුත් පාපය නින්දාවකි.” (හිතෝපදේශ 14:34) මෙම වදන් ඊශ්‍රායෙල් ජාතිය සම්බන්ධයෙන් කොතරම් සැබෑවක් වුණාද! දෙවිගේ උසස් ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන විට ඊශ්‍රායෙල්වරුන් අවට සිටි ජාතීන්ට වඩා උසස් තත්වයක සිටියා. කෙසේවෙතත් ඔවුන් වරින් වර යෙහෝවා දෙවිට අකීකරු වූ අවස්ථාවලදී ඔවුන් මහත් නින්දාවකට පත් වුණා. දෙවිගේ අනුමැතියද නැතිව ගියා. එම හිතෝපදේශය අද සිටින දෙවිගේ සෙනඟටත් අදාළ වෙනවා. ක්‍රිස්තියානි සභාව දෙවිගේ උසස් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති දැඩි ලෙස පිළිපදින නිසා එය සහ ලෝකය අතර ප්‍රබල වෙනසක් දැකිය හැකියි. ක්‍රිස්තියානි සභාව උසස් තත්වයක තිබෙන අතර එය දිගටම රැකගැනීම සඳහා අපි එක් එක් කෙනා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් විය යුතුයි. පාපවල හවුල් වීමේ ප්‍රතිඵලය හැටියට වැරදි කළ තැනැත්තා පමණක් නොව ක්‍රිස්තියානි සභාව මෙන්ම දෙවිත් නින්දාවට පත් වෙනවා.

රජෙකු ප්‍රසන්න වන දෙයක් ගැන සලමොන් මෙසේ පවසනවා. “ඥානවන්ත ලෙස ක්‍රියා කරන මෙහෙකරුවෙකුට රජුගෙන් කරුණාව ඇත; එහෙත් ලජ්ජාව උපදවන්නාට ඔහුගේ උදහස වේ.” (හිතෝපදේශ 14:35) ඒ වගේම හිතෝපදේශ 16:13හි මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨ තොල් රජුන්ගේ ප්‍රීතිය වේ; ඔවුහු යුතු ලෙස කතා කරන්නාට ආදර වෙති.” අපි ධර්මිෂ්ඨ ලෙස හා ඥානවන්ත ලෙස ක්‍රියා කරමින් දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන්ට දැන්වීමේ හා ගෝලයන් කිරීමේ කාර්යයේ හවුල් වෙද්දී අපේ රජු වන යේසුස් ක්‍රිස්තුස් බොහෝ සේ ප්‍රීති වෙනවා. එමනිසා එම කාර්යයේ අපි වඩ වඩා හවුල් වෙමු. අපි මෙසේ ජීවත් වෙද්දී සැබෑ දෙවි කෙරෙහි බිය ඇතුව සිටීමෙන් ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට අපට හැකි වෙනවා නිසැකයි.

[පාදසටහන]

^ 3 ඡේ. හිතෝපදේශ 14:1-25 දක්වා වගන්තිවල සඳහන් කරුණු පිළිබඳව කර තිබෙන විස්තරය කියවා බැලීම සඳහා මුරටැඹ සඟරාවේ 2004 නොවැම්බර් 15 කලාපයේ 26-29 දක්වා පිටුද, 2005 ජූලි 15 කලාපයේ 17-20 දක්වා පිටුද බලන්න.

[15වන පිටුවේ පින්තූරය]

දේවබිය ඇතුව සිටීමට ඉගෙනගත යුතුයි