Skip to content

පටුනට යන්න

පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙමු

පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙමු

පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වෙමු

‘අප ජීවත් වන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්ය.’—2 කොරින්ති 5:7.

1. පාවුල් පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වූ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

ක්‍රිස්තියානීන්ට හිංසා පීඩා කළ පුද්ගලයෙකු වූ සාවුල් පසු කාලයකදී ක්‍රිස්තියානියෙකු බවට පත් වුණා. ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව තිබූ කොරින්තියේ විසූ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ක්‍රි.ව. 55දී ඔහු මෙසේ පැවසුවා. “අප ගමන් කරන්නේ [එනම් ජීවත් වන්නේ] පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්ය.” (2 කොරින්ති 5:7) පාවුල් මෙම වදන් පැවසුවේ ඔහු ක්‍රිස්තියානියෙකු බවට පත් වී අවුරුදු 20ක පමණ කාලයක් ගතවීමෙන් පසුවයි. මෙයින් පෙනී යන්නේ ස්වර්ගයේ සිදු වන දේවල් දැක නොතිබුණත් ඔහුට ස්ථිර ඇදහිල්ලක් තිබූ බවයි. එමෙන්ම කාලයත් සමඟ ඔහුගේ ඇදහිල්ල දුර්වල කිරීමට කිසිම දෙයකට ඔහු ඉඩ නොදුන් බවයි.

2, 3. (අ) අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියා පෙන්වන්නේ කොහොමද? (ආ) පෙනීමෙන් ජීවත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

2 ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ අපට මඟ පෙන්වීමට දෙවිට තිබෙන හැකියාව ගැන දැඩි විශ්වාසයක් ඇතුව ජීවත් වීමයි. අපේ යහපතට අවශ්‍ය කරන්නේ මොනවාද කියා හොඳින්ම දන්නේ ඔහු බව අපි තේරුම්ගෙන සිටිය යුතුයි. (ගීතාවලිය 119:66) අපි යම් තීරණ ගන්න විට හා ඒවා ක්‍රියාත්මක කරන විට අපේ ඇදහිල්ල හා සම්බන්ධ ‘නොපෙනෙන සැබෑ දේවල්’ සැලකිල්ලට ගැනීම වැදගත්. (හෙබ්‍රෙව් 11:1) මෙම නොපෙනෙන දේවලට “අලුත් අහසක් හා අලුත් පොළොවක්” ගැන දෙවි දී තිබෙන පොරොන්දුවද ඇතුළත් වෙනවා. (2 පේතෘස් 3:13) එහෙත් පෙනීමෙන් ජීවත් වෙනවා කියන්නේ දකින්න තිබෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තබා ජීවත් වීමයි. මෙසේ ක්‍රියා කරන කෙනෙකු දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන්ම නොසලකාහැරිය හැකි නිසා එය අනතුරුදායකයි.—ගීතාවලිය 81:12; දේශනාකාරයා 11:9.

3 අපි ස්වර්ගයේ ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන ‘කුඩා රැළට’ අයිති අය වේවා පොළොව මත ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන ‘වෙනත් බැටළුවන්ට’ අයිති අය වේවා පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වන ලෙසට පාවුල් දේවානුභාවයෙන් දුන් උපදේශය අපි සෑම කෙනෙක්ම සිතට ගත යුතුයි. (ලූක් 12:32; යොහන් 10:16) අපි මෙම උපදේශය පිළිපදිනවා නම් “තාවකාලික වූ පාපයේ සැප” භුක්ති විඳීමේ හා සැප සම්පත්වලට ආශාවීමේ උගුලට හසු වන්නේ නැහැ. එමෙන්ම වත්මන් සමාජ ක්‍රමය විනාශ වීමට තව කල් තිබෙනවා කියා සිතන්නේද නැහැ. ඒ විතරක් නෙවෙයි දකින දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තබා ජීවත් වීමේ තිබෙන අනතුරුවලට හසු වන්නේද නැහැ. අපි දැන් මේ කාරණා එකින් එක සලකා බලමු.—හෙබ්‍රෙව් 11:25.

“තාවකාලික වූ පාපයේ සැප” ප්‍රතික්ෂේප කරන්න

4. මෝසෙස් තීරණය කළේ කුමක් කරන්නද? ඔහු එවැනි තීරණයක් ගත්තේ ඇයි?

4 අම්රාම්ගේ පුත්‍රයෙකු වූ මෝසෙස්ට භුක්ති විඳින්න තිබූ දේවල් ගැන සිතා බලන්න. පුරාණ ඊජිප්තුවේ රජ පවුලේ දූ පුතුන් අතර හැදී වැඩුණු ඔහුට මහත් ධනයක් හා බලයක් අත් කරගන්න තිබුණා. මෝසෙස්ට ඕන නම් මේ විදිහට හිතන්න තිබුණා. ‘හුඟදෙනෙක් ඉහළින් කතා කරන ඊජිප්තුවේ උසස් අධ්‍යාපනය මම ලබලා තියෙනවා. මම දිගටම රජ ගෙදර හිටියොත් දුක් විඳින මගේ හෙබ්‍රෙව් ජාතික සහෝදරයන්ට උදව් කරන්න පුළුවන්.’ (ක්‍රියා 7:22) මෝසෙස් එසේ සිතනවා වෙනුවට ‘දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීමට’ තීරණය කළා. ඔහු මෙවැනි තීරණයක් ගත්තේ ඇයි? ඊජිප්තුවේ භුක්ති විඳින්න තිබූ සෑම දෙයක්ම මෝසෙස් ප්‍රතික්ෂේප කළේ ඇයි? මෙයට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. “ඇදහිල්ලෙන් [මෝසෙස්] ඊජිප්තුව අත්හැර ගියේය. නමුත් ඔහු එසේ කළේ රජුගේ කෝපයට භය වූ නිසා නොව අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.” (හෙබ්‍රෙව් 11:24-27) යෙහෝවා ධර්මිෂ්ඨයන්ට නිසැකවම ආශීර්වාද කරන බව මෝසෙස් දැඩි සේ විශ්වාස කළා. ඔහු තාවකාලික වූ පාපයේ සැප භුක්ති විඳීම ප්‍රතික්ෂේප කළේ ඒ නිසයි.

5. මෝසෙස්ගේ ආදර්ශය අපිට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

5 අපිටත් බොහෝ අවස්ථාවලදී මේ වගේ අමාරු තීරණ ගන්න සිදු වෙනවා. ‘බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ නැති සමහර පුරුදු මා තුළ තවමත් තිබෙනවා නම් ඒවා මා අත්හැර දමනවාද? දෙවිට කරන නමස්කාරයට බාධාවක් වන ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක් මම බාරගන්නවාද?’ කෙටි කාලීන ලාභ ප්‍රයෝජන තිබෙන දේවල් ප්‍රතික්ෂේප කිරීමට මෝසෙස්ගේ ආදර්ශයෙන් අපට දිරිගැන්වීමක් ලැබෙනවා. අප විශ්වාස කළ යුත්තේ මිනිසුන්ගේ ප්‍රඥාව නොව “අදෘශ්‍යමාන තැනැත්තා” වන යෙහෝවා දෙවි සපයන දිගු කාලීන ප්‍රයෝජන ලැබෙන ප්‍රඥාවයි. මේ ලෝකයේ තිබෙන කිසිම දෙයකට වඩා අපිට වටින්නේ යෙහෝවා සමඟ තිබෙන මිත්‍රත්වය බව මෝසෙස් මෙන් අපිත් පෙන්වමු.

6, 7. (අ) ඒසව් වැඩි කැමැත්තක් දැක්වූයේ පෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තබමින් ජීවත් වීමට බව පැහැදිලි වන්නේ කුමකින්ද? (ආ) ඒසව් කළ දෙය අද සිටින අපට අනතුරු ඇඟවීමක් වන්නේ කොහොමද?

6 මෝසෙස් අතරත් ඊසාක්ගේ පුත්‍රයා වූ ඒසව් අතරත් තිබූ වෙනස බලන්න. ඒසව් වැඩි කැමැත්තක් දැක්වූයේ තමන් ආශා කරන දේවල් ඉක්මනින්ම ලබාගන්නයි. (උත්පත්ති 25:30-34) ඒසව් ‘පරිශුද්ධ දේවල් අගය කළේ නැහැ.’ ඔහු “එක කෑම වේලක් වෙනුවෙන්” පවුලේ කුලුඳුලා හැටියට ඔහුට තිබූ අයිතිවාසිකම් නැති කරගත්තා. (හෙබ්‍රෙව් 12:16) කුලුඳුල්කම විකිණීමට ගත් තීරණය යෙහෝවා සමඟ තිබෙන තමන්ගේ සම්බන්ධතාවටත් තමන්ගෙන් පැවතෙන්නන්ටත් බලපාන ආකාරය ගැන ඒසව් සිතුවේ නැහැ. වෙනත් වචනවලින් කියනවා නම් ඔහුට ශක්තිමත් ඇදහිල්ලක් තිබුණේ නැහැ. ඔහු දෙවිගේ පොරොන්දු සුළු කොට සැලකුවා. ඔහු ජීවත් වුණේ පෙනෙන දේවල් කෙරෙහි විශ්වාසය තබා මිස ඇදහිල්ලෙන් නොවෙයි.

7 ඒසව් කළ දෙය අද සිටින අපට අනතුරු ඇඟවීමක් වෙනවා. (1 කොරින්ති 10:11) සාතන්ගේ පාලනය යටතේ තිබෙන ලෝකය මිනිසුන්ව දිරිගන්වන්නේ තමන්ට ඕන දෙය දැන්ම ලබාගන්න කියායි. සුළු හෝ වේවා බැරෑරුම් හෝ වේවා අපි ගන්න සෑම තීරණයකදීම සාතන්ගේ ලෝකයේ එවැනි හානිකර අදහස්වල බලපෑමට හසු නොවීමට අපි වගබලා ගත යුතුයි. අපි එක් එක් කෙනා මෙම ප්‍රශ්න හොඳින් සලකා බැලීම වැදගත්. ‘මම ගන්න තීරණවලදී පෙනී යන්නේ මමත් ඒසව් වගේ කියාද? මට ඕන දේවල් ලබාගන්න උත්සාහ කරද්දී නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට හිමි වන්නේ දෙවන තැනද? මම ගන්න තීරණ නිසා යෙහෝවා සමඟ තිබෙන මගේ මිත්‍රත්වය හා මගේ සදාකාලික අනාගතය මට අහිමි වෙයිද? මම අනිත් අයට තබන්නේ මොන වගේ ආදර්ශයක්ද?’ පරිශුද්ධ දේවල් අගය කරන බව අපි ගන්න තීරණවලින් පෙනෙනවා නම් යෙහෝවා අපිට ආශීර්වාද කරනවා නිසැකයි.—හිතෝපදේශ 10:22.

සැප සම්පත්වලට ආශාවීමේ උගුලට හසු නොවන්න

8. ලවෝදිසීයේ ක්‍රිස්තියානීන්ට කළ අනතුරු ඇඟවීම කුමක්ද? මේ ගැන අපත් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

8 පළමුවන සියවසේ අවසානයේදී යේසුස් ප්‍රේරිත යොහන් මාර්ගයෙන් කුඩා ආසියාවේ පිහිටි ලවෝදිසී සභාවට යම් පණිවිඩයක් දුන්නා. මෙම පණිවිඩයේ තිබුණේ සැප සම්පත්වලට ආශාවීම සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීමක්. ලවෝදිසීයේ සිටි ක්‍රිස්තියානීන් සැප සම්පත් අතින් පොහොසත්ව සිටියත් ඔවුන් ඇදහිල්ල අතින් සිටියේ දිලිඳු තත්වයකයි. ඔවුන් දිගටම ඇදහිල්ලෙන් ජීවත් වන්නේ නැතිව සැප සම්පත් ලබාගන්න ගිය නිසා දෙවිගේ නමස්කාරයේ ක්‍රියාශීලීව හවුල් වුණේ නැහැ. (එළිදරව් 3:14-18) මේ කාලයෙත් සැප සම්පත් ලබාගන්න වෙහෙසෙන අය එවැනි තත්වයකට පත් විය හැකියි. සැප සම්පත් පසුපස හඹා යෑමෙන් අපේ ඇදහිල්ල දුර්වල වෙනවා. ඒ විතරක් නෙවෙයි ජීවනය සඳහා වූ ‘තරඟය විඳදරාගනිමින් දිවීම’ නතර කර දැමීමටත් ඉඩ තිබෙනවා. (හෙබ්‍රෙව් 12:1) අපි කල්පනාකාරී වුණේ නැත්නම් ‘මේ ජීවිතයේ සැපසෙල්ලමට’ ප්‍රිය කිරීමෙන් අපේ නමස්කාරය හා සම්බන්ධ කටයුතු “සම්පූර්ණයෙන්ම යට වී” යා හැකියි.—ලූක් 8:14.

9. සෑහීමට පත්ව සිටීමත් දෙවි සපයන දේවල් අගය කිරීමත් වැදගත් වන්නේ ඇයි?

9 මේ ලෝකයේ තිබෙන දේවල් මුළුමනින්ම භුක්ති විඳිමින් පොහොසත් වීමට සොයනවා වෙනුවට අප කළ යුත්තේ ඇති දෙයින් සෑහීමට පත්ව සිටීමට ඉගෙනගැනීමයි. මෙය දෙවි සමඟ තිබෙන අපේ සම්බන්ධතාව රැකගැනීම සඳහා කළ යුතු වැදගත් දෙයක්. (1 කොරින්ති 7:31; 1 තිමෝති 6:6-8) අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීම සඳහා දෙවි සපයන දේවලින් අපි පෝෂණය වෙද්දී ‘සිතේ සතුටින් ගී කීමට’ අප තුළ පෙලඹීමක් ඇති වෙනවා නිසැකයි. (යෙසායා 65:13, 14) ඒ විතරක් නෙවෙයි දෙවිගේ බලයේ උපකාරය ඇතිව යහපත් ගුණාංග විදහාපාන අයව ඇසුරු කිරීමෙන්ද අපි මහත් ප්‍රීතියක් ලබනවා. (ගලාති 5:22, 23) අපි ලබන පෝෂණය හා ඇසුර නිසා අපට හැඟෙන්නේ අපි පාරාදීසයක් බඳු තත්වයක සිටින බවයි. යෙහෝවා සපයන දේවලින් අපට ලබන්න පුළුවන් තෘප්තිය හා ප්‍රබෝධය මොන තරම්ද! අපි පෞද්ගලිකව එම තෘප්තිය හා ප්‍රබෝධය ලබනවාද?

10. අපි එක් එක් කෙනා හොඳින් සලකා බැලිය යුත්තේ කුමන ප්‍රශ්න ගැනද?

10 අපි එක් එක් කෙනා මේ ප්‍රශ්න ගැන හොඳින් සලකා බැලිය යුතුයි. ‘මම සැප සම්පත් කොතරම් වැදගත් කොට සලකනවාද? මට තිබෙන සම්පත් මම පාවිච්චි කරන්නේ මගේම සතුට වෙනුවෙන්ද? නැත්නම් සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව සඳහාද? මට වැඩියෙන්ම තෘප්තියක් ලැබෙන්නේ බයිබලය අධ්‍යයනය කිරීමෙන් හා රැස්වීම්වලදී ලබන ඇසුරෙන්ද? නැත්නම් සති අන්තවලදී රැස්වීම් හා දේවසේවය අතපසු කර වෙනත් දේවල හවුල් වීමෙන්ද? මම සති අන්ත වැඩියෙන් යොදවන්නේ නමස්කාරය හා සම්බන්ධ කටයුතුවල නිරත වීමටද? නැත්නම් විනෝද වීමටද?’ ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් ඔහුගේ සේවයේ අපට හැකි උපරිමය කිරීමයි.—1 කොරින්ති 15:58.

අවසානය අත ළඟ බව මතක තබාගන්න

11. ඇදහිල්ලෙන් ජීවත් වන අය අවසානය ළඟ බව තේරුම්ගෙන සිටින්නේ කොහොමද?

11 සමහරුන් සිතන්නේ වත්මන් දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානයට තව හුඟාක් කල් තිබෙනවා කියායි. එහෙමත් නැත්නම් අවසානයක් කොහොමටවත් වෙන්නේ නැහැ කියායි. නමුත් ඇදහිල්ලෙන් ජීවත් වන අය හැටියට අපි එසේ සිතන්නේ නැහැ. අපි ජීවත් වන කාලය ගැන බයිබලයේ සඳහන් අනාවැකි, සමහරුන් වගේ අපි සැහැල්ලුවට ගන්නේ නැහැ. ඒවා අද දින ඉටු වන ආකාරය අපි තේරුම්ගන්නවා. (2 පේතෘස් 3:3, 4) එනිසා මිනිසුන්ගේ ආකල්පවලින් හා හැසිරීමෙන් අප තේරුම්ගන්නේ අපි “අන්තිම දවස්වල” ජීවත් වන බවයි. (2 තිමෝති 3:1-5) අපගේ ඇදහිල්ල නිසා අද ලෝකයේ සිදු වන දේවල් එදා පටන් සිදු වන සාමාන්‍ය දේවල් හැටියට අප සලකන්නේ නැහැ. වර්තමානයේ සිදු වන දේවල් ‘ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීමේද සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේද ලකුණට’ අයත් බව අපි දන්නවා.—මතෙව් 24:1-14.

12. ලූක් 21:20, 21හි සඳහන් යේසුස් පැවසූ වචන පළමු සියවසේදී ඉටු වුණේ කොහොමද?

12 දැන් අපි පළමු සියවසේදී සිදු වූ දෙයක් ගැන සලකා බලමු. යේසුස් මේ පොළොවේ සිටියදී ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වා. “සේනාවන් කඳවුරු බැඳ යෙරුසලම වටලා සිටිනවා ඔබ දකින කල, ඇගේ පාළු කිරීම ළං වී තිබෙන බව දැනගන්න. එවිට යුදයේ සිටින අය කඳුවලට පලා යන්න. නුවර තුළ සිටින අය පිටත්ව යන්න.” (ලූක් 21:20, 21) ක්‍රිස්තු වර්ෂ 66දී සෙස්ටියස් ගැලස්ගේ නායකත්වය යටතේ රෝම හමුදාව යෙරුසලම වට කළ කාලයේදී ඒ අනාවැකිය ඉටු වුණා. කෙසේවෙතත් රෝම හමුදාව බලාපොරොත්තු නොවූ ලෙස යෙරුසලම අත්හැර දමා ගියා. මේ නිසා ක්‍රිස්තියානීන්ට “කඳුවලට පලා යන්න” අවස්ථාවක් උදා වුණා. රෝම හමුදාව නැවතත් ක්‍රි.ව. 70දී යෙරුසලමට පහර දී එහි තිබූ දේවමාලිගාව විනාශ කර දැමුවා. යුදෙව්වන් දශලක්ෂයකට වඩා මිය ගිය බවත් තවත් 97,000ක් වහල්භාවයට ගෙන ගිය බවත් ජොසීෆස් වාර්තා කරනවා. එදා තිබූ යුදෙව් සමාජ ක්‍රමය එසේ විනාශ කිරීමට දෙවි රෝම හමුදාවට ඉඩහැරියා. ඇදහිල්ලෙන් ජීවත් වූ අය යේසුස් දුන් අනතුරු ඇඟවීමට සවන් දුන් නිසා ඒ විනාශයෙන් බේරුණා.

13, 14. (අ) ඉදිරියේදී සිදුවීමට නියමිත දේවල් මොනවාද? (ආ) බයිබල් අනාවැකිවල ඉටුවීම ගැන අපි කල්පනාවෙන් සිටිය යුත්තේ ඇයි?

13 ඒ හා සමාන දෙයක් මේ කාලයේදීත් සිදුවීමට නියමිතයි. පළමු සියවසේදී රෝම හමුදාවෙන් බලාපොරොත්තු වුණේ සාමය රැකීමයි. ඒ හා සමානව අද දින ලෝක සාමය රැකීම බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ගයෙනුයි. එවකට තිබූ ලෝකය පුරා යම් සුරක්ෂිතභාවයක් ඇති කිරීමට රෝම හමුදාව වෑයම් කළත් යෙරුසලම විනාශ කළේ ඔවුන් විසිනුයි. එදා රෝම හමුදාව යෙරුසලම විනාශ කළා වගේ අද තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය හමුදා බලය යොදාගෙන ක්‍රිස්තියානි ආගම් ඇතුළු සියලුම බොරු ආගම් සමාජයට තර්ජනයක් ලෙස සලකා විනාශ කර දැමීමට නියමිතයි. (එළිදරව් 17:12-17) මෙසේ දෙවි ලෝක අධිරාජ්‍යයක් බඳු ලොව පුරා තිබෙන බොරු ආගම් විනාශ කර දැමීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉඩහරිනවා. මෙය ඉටුවීමට වැඩි කාලයක් නැහැ.

14 බොරු ආගම්වල විනාශයත් සමඟ මහත් පීඩාව ආරම්භ වෙනවා. මහත් පීඩාවේ අවසාන භාගයේදී දුෂ්ට සමාජ ක්‍රමය හා සම්බන්ධ ඉතිරි වී තිබෙන සංවිධාන සියල්ලම විනාශ වීමට නියමිතයි. (මතෙව් 24:29, 30; එළිදරව් 16:14, 16) බයිබල් අනාවැකිවල ඉටුවීම ගැන කල්පනාවෙන් සිටීමට අපට හැකි වන්නේ අපි ඇදහිල්ලෙන් ජීවත් වන විටයි. සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ගෙන ඒමට දෙවි යොදාගන්නේ එක්සත් ජාතීන් වැනි මිනිසුන් පිහිටවූ සංවිධානයක් කියා සිතීමෙන් අපි මුළා වෙන්නේ නැහැ. “යෙහෝවාගේ මහත් දවස ළඟ” බව අපි ජීවත් වන ආකාරයෙන් පෙන්වීමට කාලය මෙයයි.—ශෙපනියා 1:14.

පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබීම අනතුරුදායකයි

15. දෙවිගේ ආශීර්වාද අද්දැක්කත් ඊශ්‍රායෙල්වරුන් කළ වරද කුමක්ද?

15 පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ට සිදු වූ දේවලින් පැහැදිලි වන්නේ පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබීම අනතුරුදායක බවයි. මන්ද එහි ප්‍රතිඵලය ඇදහිල්ල දුර්වල වීමයි. ඊජිප්තුවේ බොරු දෙවිවරුන්ව අවමානයට පත් කළ වසංගත දහයත් රතු මුහුද දෙබෑ කරමින් දෙවි ලබා දුන් ගැලවීමත් ඔවුන් දැක්කා. එහෙත් ඔවුන් දෙවිට අකීකරු වෙමින් රන් වස්සෙකුව සාදාගෙන ඊට නමස්කාර කරන්න පටන්ගත්තා. ‘මෝසෙස් කන්දෙන් බැස’ එන තෙක් බලා සිටීමට තරම් ඉවසීමක් ඔවුන්ට තිබුණේ නැහැ. (නික්මයාම 32:1-4) බලා සිටීම වෙහෙසක් ලෙස සැලකූ ඔවුන් ඇසට පෙනෙන දෙයකට නමස්කාර කරන්න පටන්ගත්තා. මෙසේ ඔවුන් පෙනෙන දෙයක් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් යෙහෝවාව අගෞරවයට පත් කළා. මේ නිසා දෙවි ඔවුන්ට දඬුවම් කරමින් ‘තුන්දාහක් පමණ මනුෂ්‍යයන්ව’ මරණයට පත් කළා. (නික්මයාම 32:25-29) අද දින යෙහෝවාට නමස්කාර කරන කෙනෙක් ගන්න තීරණවලින් පෙනී යන්නේ යෙහෝවා කෙරෙහි විශ්වාසයක් නැති බවත් ඔහුට සිය පොරොන්දු ඉටු කරන්න හැකියාවක් නැති බවත් නම් එය මොන තරම් කනගාටුදායකද!

16. ඇසට පෙනෙන දේවල් ඊශ්‍රායෙල්වරුන්ට බලපෑවේ කොහොමද?

16 තවත් අවස්ථාවලදීත් ඊශ්‍රායෙල්වරුන් ඇසට පෙනෙන දේවල් කෙරෙහි පමණක් අවධානය යොමු කළා. ඔවුන් පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබූ නිසා ඔවුන්ගේ සතුරන්ට භය වුණා. (ගණන් කතාව 13:28, 32; ද්විතීය කතාව 1:28) දෙවි මෝසෙස්ට දී තිබූ බලතල ගැන ඔවුන් ප්‍රශ්න කළා. ඔවුන් ගත කළ ජීවිතය ගැන කෙඳිරිගාන්න පටන්ගත්තා. මේ දේවලින් පෙනී යන්නේ ඔවුන්ට ශක්තිමත් ඇදහිල්ලක් නොතිබූ බවයි. මේ නිසා ඔවුන් කැමති වුණේ පොරොන්දු දේශයේ වාසය කරනවා වෙනුවට යක්ෂයාගේ බලපෑමට හසු වී තිබූ ඊජිප්තුවේ පාලනය යටතේ ජීවත් වීමටයි. (ගණන් කතාව 14:1-4; ගීතාවලිය 106:24) ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ අදෘශ්‍යමාන රජු වන යෙහෝවාව මහත් සේ අගෞරවයට පත් කරනවා දකිද්දී ඔහුට මොන තරම් වේදනාවක් දැනෙන්න ඇද්ද!

17. සාමුවෙල්ගේ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් යෙහෝවාගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කිරීමට හේතු වුණේ කුමක්ද?

17 අනාගතවක්තෘ සාමුවෙල් ජීවත් වූ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් නැවතත් පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමේ උගුලට හසු වුණා. දෘශ්‍යමාන රජෙකුව පත් කරගන්න ඔවුන්ට ඕන වුණා. ඔවුන්ගේ රජ තමන් බව යෙහෝවා පෙන්වා තිබුණත් ඇදහිල්ලෙන් ජීවත් වීමට එය ඔවුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ. (1 සාමුවෙල් 8:4-9) ඔවුන් යෙහෝවාගේ යහපත් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරමින් අවට සිටි ජාතීන් වගේ ක්‍රියා කරන්න වැඩි කැමැත්තක් දැක්වුවා. එය ඔවුන්ට අනතුරුදායක වුණා.—1 සාමුවෙල් 8:19, 20.

18. පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබීමේ අනතුරුවලින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

18 මේ කාලයේ සිටින යෙහෝවාගේ සේවකයන් හැටියට අපි ඔහු සමඟ තිබෙන අපේ සම්බන්ධතාව ඉතා අනර්ඝ කොට සලකනවා. අතීත සිදුවීම්වලින් පාඩම් ඉගෙනගන්න අපි මහත් උනන්දුවක් දක්වනවා. (රෝම 15:4) ඊශ්‍රායෙල්වරුන් පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබූ අවස්ථාවලදී දෙවි ඔවුන්ට මෝසෙස් මාර්ගයෙන් මඟ පෙන්වමින් සිටි බව ඔවුන් අමතක කළා. අපිත් කල්පනාකාරීව සිටියේ නැත්නම් යෙහෝවා දෙවි සහ උතුම් මෝසෙස් වන යේසුස් ක්‍රිස්තුස් අද දින ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීම් සපයන බව අපටත් අමතක විය හැකියි. (එළිදරව් 1:12-16) පොළොව මත තිබෙන යෙහෝවාගේ සංවිධානය මිනිසුන් විසින් පවත්වාගෙන යන සංවිධානයක් කියා අප නොසිතිය යුතුයි. අපි එසේ සිතුවොත් යෙහෝවා විසින් යොදාගන්න පුද්ගලයන් ගැනත් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයන පෝෂණය ගැනත් අඩු පාඩු සොයන්න පෙලඹිය හැකියි. ඔවුන් කෙරෙහි තිබෙන අගය නැති වී යා හැකියි.—මතෙව් 24:45.

ඇදහිල්ලෙන් ජීවත් වීමට අදිටන් කරගනිමු

19, 20. ඔබේ අධිෂ්ඨානය කුමක්ද? එවැනි අධිෂ්ඨානයක් ඔබ ගෙන තිබෙන්නේ ඇයි?

19 බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “අපට තිබෙන පොරබැදීම රුධිරයටවත් මාංසයටවත් විරුද්ධව නොව, ආණ්ඩුවලට විරුද්ධවය. අධිකාරවලට විරුද්ධවය. මේ අන්ධකාරයේ ලෝක පාලකයන්ට විරුද්ධවය. ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ට ආත්ම සමූහයන්ට විරුද්ධවය.” (එෆීස 6:12) අපේ ප්‍රධාන සතුරා වන සාතන්ගේ ඉලක්කය වන්නේ යෙහෝවා කෙරෙහි අප තබා තිබෙන ඇදහිල්ල විනාශ කර දැමීමයි. දෙවිට සේවය කිරීමට අප ගෙන තිබෙන තීරණයට බාධා කරමින් අපව නොමඟ යැවීමට තමන්ට කළ හැකි සෑම දෙයක්ම සාතන් කරනවා. (1 පේතෘස් 5:8) සාතන්ගේ ලෝකය ඉදිරිපත් කරන ඇස්වලට පෙනෙන දේවලින් මුළා නොවී සිටීමට අපට හැක්කේ කොහොමද? පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ජීවත් වීමෙනුයි. “ඇදහිල්ල නමැති නැව මුහුදුබත් කර” නොගැනීමට නම් අපි යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබිය යුතුයි. (1 තිමෝති 1:19) එසේනම් යෙහෝවා ලබා දෙන ආශීර්වාද කෙරෙහි පූර්ණ නිසැකකමක් ඇතුව දිගටම ඇදහිල්ලෙන් ජීවත් වීමට අදිටන් කරගනිමු. එමෙන්ම අනාගතයේදී සිදුවීමට නියමිත සියල්ලෙන් බේරෙන පිණිස අත් නෑර යාච්ඤා කරමු.—ලූක් 21:36.

20 පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් ජීවත් නොවී ඇදහිල්ලෙන් ජීවත් වීම සඳහා අපට හොඳ ආදර්ශකයෙක් සිටිනවා. ඔහු ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය.” (1 පේතෘස් 2:21) ඇදහිල්ලෙන් ජීවත් වීමේදී අපට යේසුස්ව අනුකරණය කළ හැකි ආකාරය ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය නොතබා ඇදහිල්ලෙන් ජීවත් වීම ගැන මෝසෙස්ගෙන් සහ ඒසව්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

• සැප සම්පත්වලට ආශාවීමෙන් වැළකීමට අපට විශේෂයෙන් උපකාරවත් වන්නේ කුමක්ද?

• ඇදහිල්ලෙන් ජීවත් වන අය අවසානය ළඟ බව තේරුම්ගෙන සිටින්නේ කොහොමද?

• පෙනෙන දේවල් කෙරෙහි පමණක් විශ්වාසය තැබීම අනතුරුදායක වන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

මෝසෙස් ඇදහිල්ලෙන් ජීවත් වුණා

[18වන පිටුවේ පින්තූරය]

විනෝදය සඳහා කරන දේවල් නිසා ඔබේ නමස්කාර කටයුතු නිතර අතපසු වෙනවාද?

[20වන පිටුවේ පින්තූරය]

දෙවිගේ වචනයට සවන් දීම අපට ආරක්ෂාවක් වන්නේ කොහොමද?