Skip to content

පටුනට යන්න

පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?

පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?

පොන්තියුස් පිලාත් කියන්නේ කවුද?

“පිලාත් කියන්නේ බොහෝදෙනාගේ මතභේදයට ලක් වූ පුද්ගලයෙක්. ඇතමුන් ඔහුව සලකන්නේ ශුද්ධවන්තයෙක් ලෙසයි. තවත් සමහරුන් ඔහුව සලකන්නේ කොන්ද පණ නැති මිනිසෙකු ලෙසයි. එලෙස සලකන්නේ ඔහු තමන්ගේ බලය රැකගැනීම සඳහා තව කෙනෙකුව බිල්ලට දුන් නිසයි.”—ඈන් රෝ විසින් රචිත Pontius Pilate නමැති පොත ඇසුරෙනි.

ඉහත සඳහන් මතවලට ඔබ එකඟ වුවත් නැතත් පොන්තියුස් පිලාත් යේසුස්ට සැලකූ ආකාරය නිසා ඔහු ඉතිහාසයේ නමක් රැන්දූ පුද්ගලයෙක් වී තිබෙනවා. පිලාත් කියන්නේ කවුද? ඔහු ගැන අපට දැනගැනීමට තිබෙන්නේ මොනවාද? ඔහු හෙබවූ තනතුරු ගැන දැනගැනීමෙන් මේ පොළොව මත සිදු වූ අතිවැදගත් සිද්ධීන් වඩාත් හොඳින් තේරුම්ගත හැකියි.

ඔහු සතු වූ බලතල

ක්‍රිස්තු වර්ෂ 29දී රෝම අධිරාජ්‍යයා වන ටයිබීරියස්, පිලාත්ව යුදයේ ආණ්ඩුකාරයා ලෙස පත් කළා. ආණ්ඩුකරුවන් ලෙස පත් කළේ ධනකුවේරයන්ගේ පැළැන්තියේ සෙනට් සාමාජිකයන් වූ අයවයි. පසු කාලයේදී පහළ පැළැන්තියේ අයවත් පත් කෙරුණා. පෙනෙන විදිහට පිලාත් කනිෂ්ඨ නිලධාරියෙක් ලෙස හමුදාවට බැඳුණා. ඔහු හමුදාවේ සිටි කාලයේදී උසස් වීම් කිහිපයක් ලබා අවුරුදු 30 ලබන්නත් කලින් ආණ්ඩුකාර පදවිය ලැබුවා.

ඔහු හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටින විට හම්වලින් සෑදූ කබායක් සහ ලෝහ ළය වැස්මක් පැළඳ සිටියා. ඔහු මහජනයා ඉදිරියේ පෙනී සිටි අවස්ථාවලදී ටෝගා කියා හඳුන්වනු ලබන දම් පැහැති බෝඩරයක් සහිත සුදු සළුවක් පැළඳ සිටියා. කොණ්ඩය කොටට කපා තිබූ අතර ඔහුගේ රැවුල මුළුමනින්ම කපා තිබුණා. ඔහු ඉපදුණේ ස්පාඤ්ඤයේ කියා ඇතමුන් සිතුවද ඔහුගේ නමින් ඇඟවෙන්නේ ඔහු දකුණු ඉතාලියේ සැම්නියම් ප්‍රදේශයේ පොන්ති නම් ගෝත්‍රයට අයත් කෙනෙකු වූ බවයි.

පිලාත්ගේ නිලය හා සමාන නිල දැරූ ආණ්ඩුකාරයන්ව සාමාන්‍යයෙන් යවනු ලැබුවේ ම්ලේච්ඡ සමාජවලටයි. රෝමවරුන් යූදා වැසියන්ව සැලකුවේ එවැනි අය ලෙසයි. යූදා දේශයේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ පිලාත් නීතිය හා සාමය රකිනවාට අමතරව වක්‍ර බදු හා ඡන්ද දායකයන්ට පනවා තිබූ බදු එකතු කිරීමේ කාර්යයද අධීක්ෂණය කළා. දෛනික කටයුතුවලදී යුක්තිය ඉටු කිරීමේ කාර්යය යුදෙව් අධිකරණවලට පැවරී තිබුණද මරණ දණ්ඩන තීන්දු විය හැකි නඩු ආණ්ඩුකාරයා විසින් විභාග කළා. අධිකරණ කටයුතුවලදී ඉහළම බලතල තිබුණේ මොහුටයි.

ලේකම්වරුන්ගෙන්, සහයකයන්ගෙන් හා පණිවිඩ ගෙනියන්නන්ගෙන් සමන්විත කුඩා සේවක මණ්ඩලයක් පිලාත්ට සිටියා. ඔහුත් ඔහුගේ භාර්යාවත් මෙම සේවක මණ්ඩලය සමඟ ජීවත් වූයේ වෙරළබඩ පිහිටි සිසේරිය නම් නගරයේයි. හමුදා භටයන් 500 සිට 1,000 දක්වා සංඛ්‍යාවකින් සමන්විත බලඇණි පහක්ද, 500කින් සමන්විත අසරු හමුදාවක්ද පිලාත්ට සිටියා. ඔහුගේ හමුදා භටයන්ගේ ප්‍රධාන කාර්යයක් වූයේ නීතිය කඩ කළ අයව මරණයට පත් කිරීමයි. සාමකාමී කාලවලදී කෙටියෙන් නඩු විභාග කෙරුණු අතර කැරලි කෝලහල පැවති කාලවලදී වග විභාගයකින් තොරව කැරලිකරුවන්ව විශාල ගණනින් එතැනම මරනු ලැබුවා. උදාහරණයක් හැටියට ස්පාටකස් දියත් කළ කැරැල්ලක් මැඩපැවැත්වීමේදී රෝමවරුන් වහලුන් 6,000දෙනෙක්ව මරා දැමුවා. යූදා දේශයේ දරුණු කැරලි ඇති වූ අවස්ථාවලදී වැඩි බලතල ලැබී තිබූ සිරියාවේ ආණ්ඩුකාරයාගේ උපකාර ලබාගත හැකි වුණා. මොහු සේනාංක කිහිපයක අණ දෙන නිලධාරියා ලෙසද ක්‍රියා කළා. පිලාත්ගේ පාලන කාලයෙන් වැඩි කාලයක් මෙම ආණ්ඩුකාරයා නොසිටි නිසා පිලාත්ට තමාගේ පළාතේ ඇති වූ කැරලි කෝලහල විගස මර්දනය කිරීමට සිදු වුණා.

ආණ්ඩුකාරවරුන් තම පළාත්වල සිදු වන දේවල් ගැන අධිරාජ්‍යයාට නිතර දැනුම් දුන්නා. අධිරාජ්‍යයාගේ ගෞරවයට බලපාන කාරණා හෝ රෝමයේ බලයට තර්ජනයක් වූ කාරණා පිළිබඳ වාර්තාවක් අධිරාජ්‍යයාට යැවිය යුතු වුණා. අධිරාජ්‍යයා ඒ කාරණය සම්බන්ධයෙන් නියෝග නිකුත් කළා. තමන් ආණ්ඩු කරන පළාතේ සිදු වන සිද්ධීන් ගැන අන් අය අධිරාජ්‍යයාට පැමිණිලි කරන්න කලින් ඒ සිද්ධීන් ගැන දැන්වීමට ආණ්ඩුකාරයා උත්සුක වුණාට සැකයක් නැහැ. යූදා දේශයේ නොයෙක් ප්‍රශ්න ගැටලු පැවති නිසා පිලාත්ද එසේ ක්‍රියා කළා කියා සිතිය හැකියි.

බයිබලයේ ශුභාරංචි පොත් හතරට අමතරව පිලාත් ගැන මූලිකව තොරතුරු සපයන්නේ ෆ්ලේවියස් ජොසිෆස් සහ ෆිලෝ යන ඉතිහාසඥයන් දෙදෙනායි. මීට අමතරව රෝම ඉතිහාසඥ ටැසිටස්ද පිලාත් ගැන පවසමින් ක්‍රිස්තියානීන්ගේ නායකයා වූ ක්‍රිස්තුස් නැමැත්තාට මරණ දණ්ඩනය නියම කළේ ඔහු බව සඳහන් කරනවා.

යුදෙව්වන් ප්‍රකෝප වෙයි

සාමාන්‍යයෙන් රෝම හමුදාවන් යම් ප්‍රදේශයකට ඇතුල් වන විට යෂ්ටියකට සවි කර තිබූ අධිරාජ්‍යයාගේ ලාංඡන රැගෙන යනවා. නමුත් යුදෙව්වන් රූප පිළිකුල් කළ නිසා පිලාත්ට පෙර සිටි ආණ්ඩුකාරවරුන් එවැනි ලාංඡන රැගෙන යෙරුසලමට ඇතුල් වීමට හමුදාවට ඉඩ නොදුන් බව ජොසිෆස් පවසනවා. නමුත් පිලාත් යුදෙව්වන්ගේ හැඟීම් තැකුවේ නැති නිසා කෝපයට පත් යුදෙව්වන් ඒ ගැන පැමිණිලි කිරීමට සිසේරියාවට ගියා. දවස් පහක් වන තුරු පිලාත් මේ ගැන කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. විරෝධය පළ කළ එම යුදෙව්වන් ඉවත්ව නොගියොත් මරා දමන බවට තර්ජනය කිරීමට ඔහු සිය හමුදාවට හයවෙනි දවසේදි නියෝග කළා. ඒත් යුදෙව්වන් කියා සිටියේ ඔවුන්ගේ නීතිය කඩ වෙනවා දකිනවාට වඩා මිය යෑමට තමන් සූදානම් බවයි. ඒ අවස්ථාවේදී පිලාත් තම අදහස වෙනස් කරගෙන මෙම ලාංඡන ඉවත් කිරීමට නියෝග කළා.

ඇතැම් අවස්ථාවලදී කැරලිකරුවන්ව මර්දනය කිරීමට පිලාත් තම බලය පාවිච්චි කළා. එවැනි සිද්ධියක් ගැන ජොසිෆස් වාර්තා කරනවා. යෙරුසලමට ජලය සැපයීම සඳහා මාර්ගයක් තැනීමට ඔහු පියවර ගත්තා. ඒ සඳහා අරමුදල් ලබාගැනීමට සිදු වුණේ දේවමාලිගාවේ භාණ්ඩාගාරයෙන්. එම අරමුදල් ඔහු බලෙන් ලබාගත්තේ නැහැ. මන්ද එසේ කළොත් කෝප වන යුදෙව්වන් ටයිබීරියස්ට පැමිණිලි කර ඔහුව තනතුරෙන් පහ කරන ලෙස ඉල්ලා සිටින බව ඔහු දැන සිටියා. එමනිසා දේවමාලිගාවේ බලධාරීන්ගේ සහයෝගය ඇතුව ඔහු අරමුදල් ලබාගත් බවට නිගමනය කළ හැකියි. ඒ කාලයේ දේවමාලිගාවේ කැප කළ අරමුදල් පොදු ජනයාගේ යහපත සඳහා පාවිච්චි කිරීමට යුදෙව් නීතියෙන් අවසර තිබුණා. එසේ වුණත් යුදෙව්වන් දහස් ගණනක් එක් රොක් වී මෙම ව්‍යාපෘතියට තම විරෝධය පළ කළා.

විරෝධය පළ කළ අයව මර්දනය කිරීම සඳහා පිලාත් හමුදා භටයන්ව ඔවුන් අතරට යැව්වා. ඔවුන් අතර ගැවසෙමින් මුගුරු පමණක් යොදාගෙන ඔවුන්ව පාලනය කරන්න හමුදා භටයන්ට පිලාත් අණ දී තිබුණා. පෙනෙන විදිහට ඔහුට අවශ්‍ය වී තිබුණේ සමූලඝාතනයක් නොකර කලහකාරී පිරිසව පාලනය කිරීමටයි. කිහිපදෙනෙක් මිය ගියද ඔහුගේ මේ ක්‍රියාමාර්ගය සාර්ථක වුණා. පිලාත් ගලීලයන්ගේ ලේ ඔවුන්ගේ පූජා සමඟ මිශ්‍ර කළා කියා ඇතමුන් යේසුස්ට පැවසූ අවස්ථාවේදී ඔවුන් කතා කරමින් සිටියේ එම සිද්ධිය ගැන විය හැකියි.—ලූක් 13:1.

“සත්‍යය කියන්නේ කුමක්ද?”

පිලාත් ප්‍රසිද්ධියට පත් වුණේ එදා සිටි යුදෙව් නායක පූජකයන් හා වැඩිමහල්ලන් යේසුස්ට විරුද්ධව කළ චෝදනාව විභාග කිරීමට සම්බන්ධ වූ නිසයි. තමන් රජෙක් බව යේසුස් පවසනවා කියා ඔවුන් චෝදනා කළා. සත්‍යයට සාක්ෂි දරමින් යේසුස් ඉටු කළ කාර්යය රෝම අධිරාජ්‍යයට තර්ජනයක් නොවන බව පිලාත් කරුණු විභාග කිරීමෙන් පසු තේරුම්ගත්තා. “සත්‍යය කියන්නේ කුමක්ද?” කියා පිලාත් ඇසූ ආකාරයෙන් පෙනී යන්නේ එය කාලය කා දමන තේරුම්ගැනීමට අමාරු සංකල්පයක් බව ඔහු සිතූ බවයි. පිලාත් තීන්දු කළේ “මොහු අත කිසි වරදක් මට නොපෙනේ” කියායි.—යොහන් 18:37, 38; ලූක් 23:4.

යේසුස්ගේ නඩු විභාගය එතැනින් අවසන් කිරීමට තිබුණා. ඒත් යුදෙව්වන් එයට ඉඩ නොදෙමින් තරයේ කියා සිටියේ යේසුස් තම ජාතිය නොමඟ යවන බවයි. යේසුස්ව රෝමයේ නිලධාරීන්ට භාර දීමට හේතු වූයේ නායක පූජකයන් ඔහු කෙරෙහි දැක්වූ ඊර්ෂ්‍යාව නිසයි. මේ බව පිලාත් දැන සිටියා. යේසුස්ව නිදහස් කිරීම ආරවුලකට හේතු වන බවත් ඔහු දැන සිටියා. ඔහුට වුවමනා වුණේ එවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමටයි. ඒ වන විටත් මහත් ආරවුල් ඇති වී තිබුණා. මීට හේතු වූයේ බරබ්බස් හා තවත් අයව රජයට විරුද්ධව කැරලිගැසීම හා මිනී මැරීම නිසා සිරගත කර තිබීමයි. (මාක් 15:7, 10; ලූක් 23:2) ඒ විතරක් නොවෙයි පිලාත් යුදෙව්වන් සමඟ ඇති කරගෙන තිබූ ආරවුල් නිසා ඒ වන විටත් ඔහු ටයිබීරියස්ගේ අප්‍රසාදයට ලක් වී සිටියා. එවකට රෝම අධිරාජ්‍යයාව සිටි ටයිබීරියස් ප්‍රසිද්ධව සිටියේ සාර්ථකව තම පාලනය ගෙන නොගිය ආණ්ඩුකාරවරුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ගයක් ගත් අධිරාජ්‍යයෙක් ලෙසයි. යුදෙව්වන්ගේ කැමැත්තට ඉඩ දුන්නොත් එය තමන්ගේ දුර්වලකමක් බවද පිලාත් දැන සිටියා. මේ නිසා ඔහු ලොකු ප්‍රශ්නයකට මැදි වී සිටියා.

යේසුස්ගේ ගම් පළාත ගැන දැනගැනීමෙන් පසු ඔහු සම්බන්ධ නඩුව විභාග කිරීම ගලීලයේ පාලකයා වූ හෙරොද් අන්තිපස්ට බාර දීමට පිලාත් උත්සාහ කළා. ඔහුගේ මේ උත්සාහය අසාර්ථක වුණා. පාස්කු දවසේදී සිරුකරුවෙකුව නිදහස් කිරීමේ චාරිත්‍රයක් යුදෙව්වන් අතරේ තිබුණා. මෙය ප්‍රයෝජනයට ගෙන පිලාත් මාලිගාව අවට රැස්ව සිටි සෙනඟගේ කැමැත්ත ඇතිව යේසුස්ව නිදහස් කර යැවීමට උත්සාහ කළා. ඒත් සෙනඟ කෑ මොරගසමින් කියා සිටියේ බරබ්බස්ව නිදහස් කරන ලෙසයි.—ලූක් 23:5-19.

පිලාත්ට හරි දේ කිරීමට කැමැත්තක් තියෙන්න ඇති. ඒත් ඔහුගේ තත්වය රැකගැනීමටත් සෙනඟව සතුටු කිරීමටත් ඔහුට අවශ්‍ය වුණා. අවසානයේදී ඔහුගේ තත්වය රැකගැනීම සඳහා යුක්තිය ඉෂ්ට කරනවා වෙනුවට තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධව තීන්දුවක් දීමට පෙලඹුණා. තමන් තීන්දු කරන මේ මරණය සම්බන්ධයෙන් තමන් නිර්දෝෂයි කියා පෙන්වීමට පිලාත් අත් සෝදාගත්තා. * යේසුස් අතේ කිසි වරදක් නැති බව පිලාත් දැන සිටියද ඔහු යේසුස්ට පීඩා කිරීමට, කවටකම් කිරීමට, පහර දීමට හා කෙළ ගැසීමට සොල්දාදුවන්ට ඉඩහැරියා.—මතෙව් 27:24-31.

යේසුස්ව නිදහස් කිරීමට උත්සාහ කළ අවසන් අවස්ථාවේදී සෙනඟ කෑ මොර දුන්නේ පිලාත් එසේ කළා නම් ඔහු සීසර්ට පක්ෂ කෙනෙක් නොවන බවයි. (යොහන් 19:12) මේ අවස්ථාවේදී පිලාත් සෙනඟගේ කැමැත්තට එකඟ වුණා. පිලාත්ගේ තීරණය ගැන එක් විශාරදයෙක් මෙසේ පැවසුවා. “ඔහුට ගන්න තිබුණු පහසුම තීරණය වූයේ එක් මිනිසෙකුට මරණ දණ්ඩනය නියම කිරීමයි. මෙහිදී සිදු වන එකම දෙය වන්නේ එතරම් වැදගත්කමක් නැතැයි සිතූ යුදෙව්වෙකුගේ ජීවිතය නැතිවීමයි. එවැනි මිනිසෙකු නිසා මහා ආරවුලක් ඇතිවීමට ඉඩහැරීම මෝඩකමක් කියා පිලාත් සිතන්න ඇති.”

පසුව පිලාත්ට සිදු වූයේ කුමක්ද?

පිලාත්ගේ ආණ්ඩු කාලය තුළ සිදු වූ බවට වාර්තා වන අවසන් සිද්ධියේදීත් ලොකු ආරවුලක් සිදු වුණා. මෝසෙස් විසින් වළලා තිබුණා කියා සිතූ නිධාන හෑරීම සඳහා අවි ගත් සමාරියේ වැසියන් විශාල පිරිසක් ගෙරිසීම් කන්දට ගිය බව ජොසිෆස් පවසනවා. මේ අවස්ථාවේදී පිලාත් ඔහුගේ හමුදාව යවා ඒ සෙනඟගෙන් යම් පිරිසක් ඝාතනය කළා. පිලාත් සම්බන්ධයෙන් කාරණා විභාග කරන සිරියාවේ ආණ්ඩුකාරයා වන ලූකියස් විටිලියස්ට සමාරියේ වැසියන් ඒ ගැන පැමිණිලි කළා. පිලාත් අනවශ්‍ය ලෙස එම කාරණයට මැදිහත් වූවා කියා විටිලියස් සිතුවාද නැද්ද කියා සඳහන් වී නැහැ. ඒ කෙසේවෙතත් පිලාත්ට රෝම අධිරාජ්‍යය ඉදිරියේ වග උත්තර බැඳීම සඳහා පෙනී සිටින්න කියා ඔහු නියෝග කළා. පිලාත් රෝමයට පැමිණීමට කලින් ටයිබීරියස් මිය ගියා.

“ඉන්පසු පිලාත් ගැන තොරතුරු සොයාගත හැක්කේ ප්‍රබන්ධ කථාවලින්” බව එක් සඟරාවක සඳහන් වෙනවා. ඒත් ඔහු ගැන ඉතිහාසයේ සඳහන් තොරතුරු සපයන්න බොහෝදෙනෙක් උත්සාහ කර තිබෙනවා. පිලාත් ක්‍රිස්තියානියෙකු වූ බව ඇතමුන් පවසනවා. ඉතියෝපියානු ප්‍රොතෙස්තන්ත “ක්‍රිස්තියානීන්” ඔහුව “ශුද්ධවන්තයෙක්” ලෙස නම් කළා. යූදස් ඉස්කාරියත් මෙන් පිලාත්ද සියදිවි හානි කරගත් බව බොහෝදෙනෙක් පවසා තිබෙන නමුත් මේ ගැන මුලින්ම පැවසුවේ තුන්වන සියවසේ අගභාගයේ හා සිව්වන සියවසේ මුල්භාගයේදී නොයෙකුත් ලේඛන සම්පාදනය කළ යූසීබියස්. කෙසේවෙතත් පිලාත්ට සිදු වූ කාරණය තවමත් මතභේදයට ලක් වී තිබෙනවා.

පිලාත් මුරණ්ඩු, සැර පරුෂ හා අන් අය ගැන කිසිම තැකීමක් නොකළ පුද්ගලයෙකු විය හැකියි. යූදයේ ආණ්ඩුකාරයන්ගෙන් බොහෝදෙනෙක් ඔවුන්ගේ තනතුරු හෙබවූයේ කෙටි කාලයක් වුවද පිලාත් අවුරුදු දහයක් ඔහුගේ නිලයේ රැඳී සිටියා. මේ නිසා රෝමවරුන් ඔහුව සාර්ථක ආණ්ඩුකාරයෙක් හැටියට සලකන්න ඇති. සමහරුන් ඔහුව සලකන්නේ යුක්තිය ඉටු නොකර තමන්ගේ බලය රැකගැනීම සඳහා යේසුස්ට වධ දී මරණ දණ්ඩනය නියම කළ බියගුල්ලෙක් කියායි. තවත් සමහරු කියා සිටින්නේ පිලාත්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ යුක්තිය ඉටු කිරීම නොව සාමය රැකීම හා රෝමයේ ශුභසිද්ධිය ගැන සිතීම බවයි.

අද අපි ජීවත් වන්නේ පිලාත් ජීවත් වූ කාලයට වඩා බෙහෙවින් වෙනස් කාලයකයි. නිර්දෝෂයි කියා සලකනු ලබන මිනිසෙකුව වරදකරුවෙකු හැටියට තීන්දු කළොත් ඔහු යුක්තිය ඉටු කරන විනිසුරුවෙක් කියා සැලකිය නොහැකියි. යේසුස්ගේ නඩුව විභාග කිරීමට පිලාත්ට අවස්ථාවක් නොලැබුණා නම් ඔහු ඉතිහාස පොත්වල ලියැවෙන තවත් නමක් පමණයි.

[පාදසටහන]

^ 19 ඡේ. අත් සෝදාගැනීමෙන් ලේ වරදට හවුල් නැති බව පෙන්වීම රෝමවරුන්ගේ නොව යුදෙව්වන්ගේ චාරිත්‍රයක්.—ද්විතීය කතාව 21:6, 7.

[11වන පිටුවේ පින්තූරය]

පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයෙකුව සිටි බව සිසේරියේදී සොයාගත් මෙම ශිලාලේඛනයේ සඳහන් වෙනවා