Skip to content

පටුනට යන්න

යෙහෝවාට නමස්කාර කිරීමට දහස් ගණනින් ඇදී එයි

යෙහෝවාට නමස්කාර කිරීමට දහස් ගණනින් ඇදී එයි

‘මට උපකාර ලැබෙන්නේ යෙහෝවාගෙන්ය’

යෙහෝවාට නමස්කාර කිරීමට දහස් ගණනින් ඇදී එයි

අපේ කාලයේදී විවිධ ජාතීන්ට අයත් දහස් ගණන් ජනයා යෙහෝවාට නමස්කාර කිරීම සඳහා ඇදී එන බව බයිබල් අනාවැකිවල පවසා තිබුණා. උදාහරණයක් ලෙස අනාගතවක්තෘ හග්ගයි මාර්ගයෙන් යෙහෝවා මෙසේ පවසා තිබුණා. “සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශා කරන දේ පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමි.” (හග්ගයි 2:7) “අන්තිම දවස්වලදී” එනම් අපේ කාලයේදී සියලු ජාතීන්ට අයත් සෙනඟ යෙහෝවාට නමස්කාර කරන බව යෙසායා සහ මීකාද පුරෝකථනය කළා.—යෙසායා 2:2-4; මීකා 4:1-4.

එදා පැවසූ එම අනාවැකි ඇත්තටම අද ඉටු වෙනවාද? මෙය තහවුරු කරගැනීමට සංඛ්‍යා ලේඛන කිහිපයක් සලකා බලමු. රටවල් 230කට වඩා වැඩි ගණනාවකින් ලැබුණු වාර්තාවලට අනුව පසුගිය වසර දහය ඇතුළත පමණක් 31,10,000දෙනෙක් යෙහෝවා දෙවිට සේවය කිරීම සඳහා තම ජීවිත කැප කර තිබෙනවා. ලොව පුරාම දැනට යෙහෝවාට සේවය කරන අය අතරින් සෑම දහදෙනෙකුගෙන් හයදෙනෙක්ම බව්තීස්ම වී තිබෙන්නේ පසුගිය අවුරුදු දහය තුළයි. වර්ෂ 2004දී සෑම විනාඩි දෙකකටම වරක් දෙවිට කැප වූ සේවකයෙක් ක්‍රිස්තියානි සභාවට එකතු වුණා. *

පළමුවන ශතවර්ෂයේදී මෙන් අද දිනත් ‘බොහෝදෙනෙක් අදහන්නන් බවට පත් වී ස්වාමීන් වෙතට හැරී’ තිබෙනවා. සංඛ්‍යා දෙස බැලීමෙන් පමණක් දෙවිගේ ආශීර්වාද තිබෙනවා කියා නිගමනය කළ නොහැකි වුවත් “යෙහෝවාගේ හස්තය” ඔහුගේ ජනයා සමඟ තිබෙන බවට මෙය එක් සාක්ෂියක්. (ක්‍රියා 11:21) මිලියන ගණන් ජනයා යෙහෝවාට නමස්කාර කිරීමට ඇදී එන්නේ ඇයි? දෙවිගේ ජනයා අතර සිදු වෙන මේ වර්ධනය ඔබට බලපා තිබෙන්නේ කෙසේද?

අවංකව සත්‍යය සොයන අය ඇදී එයි

“මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක” කියා යේසුස් නිශ්චිතව පැවසුවා. (යොහන් 6:44) මේ අනුව “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව ඔහුගේ නිර්මල නමස්කාරය වෙතට ඇදගන්නේ යෙහෝවායි. (ක්‍රියා 13:48) ඔහු ගැන දැනගැනීමට වුවමනාවක් තිබෙන අයගේ උනන්දුව පුබුදුවාලන්න දෙවිගේ බලයට හැකියි. (මතෙව් 5:3) මිනිසුන් අද්දකින සමහර තත්වයන් නිසා ඔවුන් දෙවි ගැනත් ඔහු මනුෂ්‍යයන්ගේ අනාගතය වෙනුවෙන් අරමුණු කර තිබෙන දේ ගැනත් සොයා බලන්න පෙලඹෙනවා. මිනිසුන් යම් සිත්තැවුල් අද්දකින විට, අනාගතය සම්බන්ධයෙන් නිශ්චිත බලාපොරොත්තුවක් ඇති කරගන්න ඔවුන්ට වුවමනා වන විට හෝ ලොකු ප්‍රශ්නයකට මැදි වී සිටින විට හෝ මෙවැනි වෙනත් හේතු නිසා මිනිසුන් දෙවි වෙත හැරෙනවා.—මාක් 7:26-30; ලූක් 19:2-10.

බොහෝදෙනෙක් යෙහෝවා දෙවිට නමස්කාර කිරීමට ඇදී එන්නේ ඔවුන්ට පිළිතුරු සොයාගැනීමට අමාරු ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු ක්‍රිස්තියානි සභාව බයිබලය තුළින් පැහැදිලි කර දෙන නිසයි.

“ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවා නම් මිනිසුන් මෙතරම් අයුක්තියක් අද්දකින්නේ ඇයි?” මෙම ප්‍රශ්නය ඉතාලියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ඩේවිඩ්ගේ හිතට වධ දුන් ප්‍රශ්නයක්ව තිබුණා. ඔහු ආගමික දේවල් සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැති වුණත් ඔහු මේ අමාරු ප්‍රශ්නය ඇහුවේ අන් අයව වාදයකට පටලවාගන්නයි. නමුත් ඔහු මෙහෙම පැවසුවා. “මම කවදාවත් හිතුවේ නැහැ මට මේ ප්‍රශ්නයට පිළිගන්න පුළුවන් පිළිතුරු ලැබෙයි කියලා. මාත් එක්ක කතා කළ සාක්ෂිකරුට ගොඩාක් ඉවසීම තිබුණා. ඒ වගේම ඔහු කියපු හැම දෙයක්ම තහවුරු කරන්න බයිබලය පාවිච්චි කළා. ඔහුත් එක්ක කළ සාකච්ඡාව මට ලොකු බලපෑමක් කළා.” දැන් ඩේවිඩ් ඔහුගේ ජීවිතයේ වෙනස්කම් කරගෙන යෙහෝවාට සේවය කරනවා.

තවත් සමහරු දෙවිගේ සංවිධානය වෙතට ඇදී එන්නේ ඔවුන්ගේ ජීවිතයට අරමුණක් සොයාගැනීමට තිබෙන මහත් වුවමනාව නිසයි. තමන්ගේ මානසික ගැටලුවලට සහනයක් බලාපොරොත්තු වූ ක්‍රොඒෂියාවේ සාග්‍රැප්වල මනෝ වෛද්‍යවරියක් ඇගේ මිතුරෙකු වූ තවත් ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. ඇගේ මානසික ගැටලුවලට සහනයක් ලබාගැනීම සඳහා මේ වෛද්‍යවරයා සාග්‍රැප්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ලිපිනයත් ඔහු අඳුරන තවත් සාක්ෂිකරුවෙකුගේ නමත් ඇයට ලියා දුන්නා. ඇය මේ ගැන ඇත්තටම පුදුම වුණා. “ඔයාට උදව් කරන්න මේ අයට පුළුවන් කියලා මට විශ්වාසයි. මම ඔයාව පල්ලියකට යැව්වොත් ඔයාට එහිදී හම්බ වෙන්නේ පණ නැති පිළිම ටිකක් විතරයි. ඔයාට එහේ කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාගේ ප්‍රශ්නෙට පල්ලියේ අයට උදව් කරන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා. මං ළඟට ආපු වෙනත් ලෙඩ්ඩුන්වත් මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ළඟට යවලා තියෙනවා. මට හිතෙනවා ඔයාටත් උදව් කරන්න ඒ අයට පුළුවන් වෙයි කියලා.” සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඇයව හමුවීමට පැමිණි අතර ඉක්මනින්ම ඇයත් සමඟ බයිබල් පාඩමක් පටන්ගත්තා. ඉන් සති කිහිපයකට පස්සේ මනෝ වෛද්‍යවරිය ප්‍රීතියෙන් පැවසුවේ දෙවිගේ අරමුණු ගැන දැනගැනීම තුළින් ඇගේ ජීවිතයටත් අර්ථයක් ලැබී තිබෙන බවයි.—දේශනාකාරයා 12:13.

බොහෝදෙනා අද්දැක තිබෙන දෙයක් නම් ජීවිතයේ පැනනඟින යම් යම් ප්‍රශ්න ගැටලුවලට සහනය ලබාගත හැක්කේ බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන ඉගෙනගැනීමෙන් පමණක් බවයි. ග්‍රීසියේ අවුරුදු හතක් වයසැති දරුවෙක් ඔහුගේ පාසැලේ වහලයකින් වැටිලා මිය ගියා. ඊට මාස කිහිපයකට පස්සේ ඔහුගේ මවව හමු වූ සාක්ෂිකාර සහෝදරියන් දෙදෙනෙක් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කියමින් ඇයට සහනයක් ලබා දෙන්න වෑයම් කළා. (යොහන් 5:28, 29) ඒ අවස්ථාවේදී ඒ මව අඬන්න පටන්ගත්තා. මේ සහෝදරියන් මෙහෙම ඇහුවා. “ඔයා බයිබලයේ තියෙන දේවල් තවත් දැනගන්න කැමති නම් අපි ආයේ කවදාද ඔයාව මුණගැහෙන්න එන්න ඕනේ?” “දැන්මම එන්න” කියා පැවසූ මව මේ සහෝදරියන් දෙදෙනාව ඇගේ නිවසට කැඳවාගෙන ගියා. බයිබල් පාඩමක් ඒ වේලාවේම පටන්ගත්තා. දැන් ඇගේ මුළු පවුලම යෙහෝවාට සේවය කරනවා.

ඔබත් හවුල් වෙනවාද?

ලොව පුරාම සිදු කරනු ලබන දේශනා සේවය මගින් අද්දකින ප්‍රතිඵල මොනවාද කියා ඒ අද්දැකීම්වලින් පැහැදිලියි. යෙහෝවා විවිධ ජාතීන් අතරින් සැබෑ නමස්කාරකයන්ව එකතු කරමින් හා ඔවුන්ව පුහුණු කරමින් සිටිනවා. මේ දුෂ්ට සමාජ ක්‍රමය මත පැමිණීමට නියමිත විනාශයෙන් බේරී ජීවත් වීමේ බලාපොරොත්තුව මෙම ජාත්‍යන්තර කණ්ඩායමට තිබෙනවා. ඒ වගේම අනාගතයේදී පැමිණෙන අලුත් පොළොවේ ජීවත් වීමේ මහත් වරප්‍රසාදයද ඔවුන්ට හිමි වෙනවා නියතයි.—2 පේතෘස් 3:13.

යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ඇතුව අවංක අයව එක් රැස් කිරීමේ මේ මහඟු සේවය නොකඩවා කෙරීගෙන යන අතර එය නිමා වෙන කාලය අත ළඟයි. (යෙසායා 55:10, 11; මතෙව් 24:3, 14) ඔබත් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයෙහි උද්‍යෝගයෙන් හවුල් වෙන කෙනෙක්ද? ඔබ එහෙම කරනවා නම් ඔබට දෙවිගේ උපකාරය ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. ඔබටත් ගීතිකාකරු පැවසූ මෙම වදන් සිහියට නංවාගන්න පුළුවන්. “මට උපකාර ලැබෙන්නේ . . . යෙහෝවාගෙන්ය.”—ගීතාවලිය 121:2.

[පාදසටහන]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දින දර්ශනය 2005 සැප්තැම්බර්/ඔක්තෝබර් මාස බලන්න.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක.”—යොහන් 6:44

[8වන පිටුවේ කොටුව]

වර්ධනය දෙන්නේ කවුද?

“යෙහෝවා ගෙය නොසාදන්නේ නම් සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති.”—ගීතාවලිය 127:1.

“වැඩීමට සැලැස්වූයේ දෙවිය. එබැවින් වැදගත් වන්නේ පැළ කරන තැනැත්තාවත් වතුර දමන තැනැත්තාවත් නොව, එය වැඩීමට සලස්වන දෙවිය.”—1 කොරින්ති 3:6, 7.