Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරමු

යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරමු

යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරමු

‘දෙවි සමඟ එක්සත්ව සිටින්නේයයි කියන තැනැත්තා, යේසුස්ව අනුගමනය කිරීමටත් බැඳී සිටින්නේය.’—1 යොහන් 2:6.

1, 2. යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටීමට නම් අපි කුමක් කළ යුතුද?

“අප ඉදිරියෙහි තබා තිබෙන තරඟය විඳදරාගනිමින් දුවමු. එසේ කරද්දී, අපේ ඇදහිල්ලේ ප්‍රධාන නියෝජිතයාද, එය පරිපූර්ණ කරන්නාද වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු” කියා පාවුල් ලිව්වා. (හෙබ්‍රෙව් 12:1, 2) ඇදහිල්ලෙන් ජීවත් වීමට නම් අපි යේසුස් ක්‍රිස්තුස් දෙස මහත් ඕනෑකමින් බැලිය යුතුයි.

2 මුල් භාෂාවට අනුව ‘මහත් ඕනෑකමින් බලා සිටීම’ යනුවෙන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල සඳහන් ප්‍රකාශයෙන් අදහස් වන්නේ “සම්පූර්ණ අවධානය එක දෙයක් කෙරෙහි පමණක් යොමු කිරීමයි.” එසේත් නැත්නම් “එක් දෙයක් දෙස පමණක් බැලීම සඳහා වෙනත් දේවල් දෙස නොබැලීමයි.” එක පොතක මෙසේ සඳහන් වෙනවා. “ග්‍රීසියේ පැවති කෙටි දුර ධාවන තරඟවලට හවුල් වූ ධාවකයෙක් කෙළින්ම ඉදිරිය දෙස නොබලා වට පිට බැලුවොත් ඔහුගේ වේගය අඩු වෙනවා. ක්‍රිස්තියානීන්ටද මේ හා සමාන දෙයක් සිදු විය හැකියි.” සිත වෙනත් දේවලට යොමු කළොත් සත්‍යය තුළ අප ලබන වර්ධනයට එය බාධාවක් වෙන්න පුළුවන්. මේ නිසා අපි අපේ “ප්‍රධාන නියෝජිතයා” වන යේසුස් ක්‍රිස්තුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිය යුතුයි. ග්‍රීක භාෂාවේ “ප්‍රධාන නියෝජිතයා” සඳහා යොදන වචනයෙන් අදහස් කරන්නේ “යම් දෙයකදී පෙරමුණ ගන්නා සහ අනිත් අයට ආදර්ශයක් සපයන්නා” යන්නයි. යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටීමට නම් අපි ඔහුගේ ආදර්ශය අනුගමනය කළ යුතුයි.

3, 4. (අ) යේසුස්ව අනුගමනය කිරීමේදී අපි කළ යුත්තේ මොනවාද? (ආ) අපි සලකා බැලීමට වටින වැදගත් ප්‍රශ්න මොනවාද?

3 “[දෙවි] සමඟ එක්සත්ව සිටින්නේයයි කියන තැනැත්තා ඔහු [යේසුස්] ගමන් කළාක් මෙන් ගමන් කිරීමටත් [එනම් ඔහුව අනුගමනය කිරීමටත්] බැඳී සිටින්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 2:6) අපිට දෙවි සමඟ එක්සත්ව සිටිය හැක්කේ යේසුස් තම පියාගේ ආඥාවන් පැවැත්වුවාක් මෙන් අපිත් යේසුස්ගේ ආඥාවන් පැවැත්වුවොත් පමණයි.—යොහන් 15:10.

4 යේසුස්ව අනුගමනය කිරීමේදී අපි නායකයා හැටියට ඔහුව පිළිගනිමින් ඔහු ක්‍රියා කළ ආකාරයට අනුව ජීවත් විය යුතුයි. මෙහිදී අපි මේ වැදගත් ප්‍රශ්න සලකා බැලීම වටිනවා: අද දින යේසුස් අපට මඟ පෙන්වන්නේ කොහොමද? ඔහුගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔහුව හොඳින් අනුගමනය කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වන ආකාරය

5. යේසුස් ස්වර්ගයට යෑමට කලින් ඔහුගේ අනුගාමිකයන්ට දුන් පොරොන්දුව කුමක්ද?

5 නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ස්වර්ගයට යෑමට කලින් ඔහුගේ ගෝලයන් ඉදිරියේ දර්ශනය වී, ඔවුන්ට වැදගත් කාර්යයක් පැවරුවා. ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.” සිය අනුගාමිකයන් මෙම පැවරුම ඉටු කරද්දී තමන්ද ඔවුන් සමඟ සිටිනවා කියා යේසුස් පොරොන්දු වෙමින් මෙසේ පැවසුවා. “බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:19, 20) යේසුස් සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා ඔහුගේ අනුගාමිකයන් සමඟ සිටින බවට තිබෙන සාක්ෂි මොනවාද?

6, 7. යේසුස් දෙවි ඔහුට දී තිබෙන බලය යොදාගෙන අපට මඟ පෙන්වන්නේ කොහොමද?

6 “මාගේ නාමයෙන් පියාණන් එවන උපකාරකයා, එනම් ශුද්ධාත්මය, ඔබට සියල්ල උගන්වා, මා ඔබට පැවසූ සියල්ල ඔබට සිහි කරවන්නේය” කියා යේසුස් පැවසුවා. (යොහන් 14:26) මේ අනුව යේසුස් දෙවි ඔහුට දී තිබෙන ශුද්ධාත්මය හෙවත් බලය යොදාගෙන අපට මඟ පෙන්වීම හා ශක්තිය ලබා දෙනවා. දෙවිගේ සත්‍යයන් ගැන වැඩි අවබෝධයක් ලැබීමටත් ‘දෙවිගේ ගැඹුරු දේවල්’ තේරුම්ගැනීමටත් අපට හැක්කේ දෙවිගේ බලය නිසයි. (1 කොරින්ති 2:10) ඒ විතරක් නෙවෙයි “ආත්මයේ පල” වන “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” යන ගුණාංග වර්ධනය කරගැනීමට අපට උපකාර කරන්නේද දෙවිගේ බලයයි.—ගලාති 5:22, 23.

7 ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරමින් අපි ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න වෑයම් කරද්දී නිරවුල්ව සිතීමටත් ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමටත් යෙහෝවාගේ බලය අපට උපකාර කරනවා. (හිතෝපදේශ 2:1-11) ඒ වගේම පරීක්ෂා හා පීඩා විඳදරාගැනීමටත් දෙවිගේ බලය අපට උපකාරවත් වෙනවා. (1 කොරින්ති 10:13; 2 කොරින්ති 4:7; ෆිලිප්පි 4:13) මීට අමතරව ‘මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම තමන්ව පවිත්‍ර කරගනිමින් ශුද්ධකම සම්පූර්ණ කරන්න’ කියා ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබෙනවා. (2 කොරින්ති 7:1) දෙවිගේ බලයේ උපකාරය අපට නැත්නම් ඔහු අපෙන් බලාපොරොත්තු වන විදිහට ශුද්ධව සිටීමට අපට කොහෙත්ම බැහැ.—මතෙව් 28:18.

8, 9. යේසුස් ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීමට ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව’ යොදාගන්නේ කොහොමද?

8 යේසුස් අද දින ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වන තවත් ආකාරයක් සලකා බලමු. තමන්ගේ පැමිණ සිටීම සහ සමාජ ක්‍රමයේ අවසානය ගැන කතා කරද්දී යේසුස් මෙසේ පැවසුවා. “ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර දෙන පිණිස, ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කවුද? ඔහුගේ ස්වාමියා ආ කල, ඔහු එසේ කරනවා දකී නම්, ඒ දාසයා සන්තෝෂවත්ය! සැබවින්ම මම ඔබට කියමි, ඒ ස්වාමියා තමන් සන්තක සියල්ල කෙරෙහි ඔහුව පත් කරන්නේය.”—මතෙව් 24:3, 45-47.

9 “ස්වාමියා” වන්නේ යේසුස් ක්‍රිස්තුස්. “දාසයා” කියන්නේ පොළොවේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත කණ්ඩායමකටයි. පොළොවේ සිටින සිය අනුගාමිකයන්ව බලාගනිමින් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පෝෂණය නියම වේලාවට ලබා දීමේ වගකීම පවරා තිබෙන්නේ මේ දාසයාටයි. මේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අතරින් තෝරාගනු ලැබූ අවේක්ෂකයන් කුඩා කණ්ඩායමකින් පාලක මණ්ඩලය සෑදී තිබෙන අතර ඔවුන් මුළු දාස පන්තියම නියෝජනය කරනවා. ඔවුන් ලොව පුරා දේවරාජ්‍යය ගැන දේශනා කිරීමේ වැඩකටයුතුවලට මඟ පෙන්වීම ලබා දෙමින් ඇදහිල්ල ශක්තිමත් කරන පෝෂණය දෙවිගේ සෙනඟට නියම වේලාවට ලබා දෙනවා. මේ අනුව යේසුස් ක්‍රිස්තියානි සභාවට මඟ පෙන්වීම ලබා දීමට යොදාගන්න එක් ක්‍රමයක් වන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නියෝජනය කරන පාලක මණ්ඩලයයි.

10. අපි වැඩිමහල්ලන්ව සැලකිය යුත්තේ කොහොමද? අපි ඔවුන්ව එසේ සැලකිය යුත්තේ ඇයි?

10 ‘තෑගි ලෙස දී තිබෙන පුරුෂයන්’ හෙවත් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් මාර්ගයෙන්ද යේසුස් මඟ පෙන්වීම සපයනවා. ඔවුන්ව ලබා දී තිබෙන්නේ “ශුද්ධ තැනැත්තන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහාත්, සේවය සඳහාත්, ක්‍රිස්තුස්ගේ ශරීරය වර්ධනය කිරීම සඳහාත්ය.” (එෆීස 4:8, 11, 12) ඔවුන් ගැන හෙබ්‍රෙව් 13:7හි මෙසේ සඳහන් වෙනවා. “දෙවිගේ වචනය ඔබට පැවසුවාවූ, ඔබ අතරේ පෙරමුණ ගන්නාවූ අයව සිහි කරන්න. ඔවුන්ගේ හැසිරීමෙන් අත් වන ප්‍රතිඵලය දෙස හොඳින් බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න.” වැඩිමහල්ලන් සභාවේ පෙරමුණ ගෙන කටයුතු කරනවා. ඔවුන් යේසුස්ව අනුකරණය කරන නිසා ඔවුන්ගේ ඇදහිල්ල ආදර්ශයට ගැනීමට වටිනවා. (1 කොරින්ති 11:1) ‘තෑගි ලෙස දී තිබෙන මේ පුරුෂයන්ට’ කීකරු වීමෙන් හා යටත්ව සිටීමෙන් ඔවුන්ව අපට දී තිබීම ගැන අපි අගය කරන බව පෙන්වමු.—හෙබ්‍රෙව් 13:17.

11. අද දින යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වීම සපයන්නේ කොහොමද? යේසුස්ව අනුගමනය කිරීමට නම් අපි කුමක් කළ යුතුද?

11 දෙවිගේ බලය යොදාගනිමින්ද “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන්ද සභා වැඩිමහල්ලන් මාර්ගයෙන්ද යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වීම සපයන බව අපි සලකා බැලුවා. යේසුස්ව අනුගමනය කිරීමට නම් ඔහු අපට මඟ පෙන්වීම සපයන මේ ආකාරයන් තේරුම්ගෙන එයට යටත් විය යුතුයි. මීට අමතරව ඔහු ක්‍රියා කළ ආකාරය ගැනත් තේරුම්ගෙන, ඒ අනුව ජීවත් විය යුතුයි. මේ ගැන පේතෘස් මෙසේ පැවසුවා. “ඔබව කැඳවනු ලැබුවේ මේ මඟෙහි ගමන් කිරීමටය. මන්ද, ක්‍රිස්තුස් ඔබ උදෙසා දුක් විඳ, ඔබ ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන පිණිස, ඔබට ආදර්ශයක් දුන්නේය.” (1 පේතෘස් 2:21) අද දින අපට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කොහොමද?

බලතල පාවිච්චි කරද්දී සාධාරණ වන්න

12. විශේෂයෙන්ම සභාවේ වැඩිමහල්ලන්ට යේසුස් ආදර්ශයක් සපයන්නේ කුමන ආකාරයෙන්ද?

12 යේසුස්ට ඔහුගේ පියාගෙන් කිසිවෙකුට වඩා මහත් බලතල ලැබී තිබුණත් ඔහු ඒවා පාවිච්චි කළේ සාධාරණ ලෙසයි. විශේෂයෙන් අවේක්ෂකයන් ඇතුළුව සභාවේ සිටින “සියලුදෙනාම සාධාරණකම සියලුදෙනාටම දැනගන්න” සැලැස්විය යුතුයි. (ෆිලිප්පි 4:5; 1 තිමෝති 3:2, 3) වැඩිමහල්ලන්ට සභාව තුළ කටයුතු අධීක්ෂණය කිරීමට යම් ප්‍රමාණයක බලතල තිබුණත් ඔවුන් ඒවා පාවිච්චි කිරීමේදී යේසුස් ක්‍රියා කළ ආකාරය ආදර්ශයට ගත යුතුයි.

13, 14. දෙවිට සේවය කිරීම සඳහා අන් අයව දිරිගන්වද්දී වැඩිමහල්ලන්ට යේසුස්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

13 යේසුස් ඔහුගේ ගෝලයන්ගේ සීමාවන් සැලකිල්ලට ගත්තා. ඔවුන්ට කරන්න බැරි දේවල් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ නැහැ. (යොහන් 16:12) දෙවිගේ කැමැත්ත කිරීමේදී “දැඩි උත්සාහයක් දරන්න” කියා සිය අනුගාමිකයන්ව දිරිගැන්වුවා මිස ඔවුන්ට බල කළේ නැහැ. (ලූක් 13:24) ඔහු ඔවුන්ව දිරිගැන්වූයේ පෙරමුණ ගැනීමෙන් හා හදවතට කතා කිරීමෙනුයි. ඒ හා සමානව ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද දෙවිට සේවය කිරීම සඳහා අන් අයව පෙලඹවිය යුත්තේ ඔවුන් තුළ වරදසහගතබවේ හැඟීම් ඇති නොවන ආකාරයටයි. ඒ වගේම එසේ කරද්දී ඔවුන්ව අපහසුතාවට පත් නොකළ යුතුයි. ඔවුන්ව දිරිගැන්විය යුත්තේ යෙහෝවාටත් යේසුස්ටත් අසල්වැසියන්ටත් තිබෙන ප්‍රේමය නිසා සේවය කිරීමටයි.—මතෙව් 22:37-39.

14 දෙවි යේසුස්ට දී තිබූ බලතල අන් අයව පාලනය කිරීමට ඔහු පාවිච්චි කළේ නැහැ. පැවැත්විය නොහැකි නීති ප්‍රතිපත්ති රාශියක් මිනිසුන්ට දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ දෙවි මෝසෙස් මාර්ගයෙන් දුන් නීතිවලින් ගත හැකි ප්‍රතිපත්ති මිනිසුන්ගේ සිත්වලට කාවද්දවමින් ඔවුන්ව ක්‍රියාවට පෙලඹවීමයි. (මතෙව් 5:27, 28) යේසුස්ව අනුකරණය කරන වැඩිමහල්ලන්ද තමන්ගේ හිතුමතේට නීති පනවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ පෞද්ගලික මත අන් අයට ඒත්තුගන්වන්න වෑයම් කරන්නේද නැහැ. ඇඳුම් පැළඳුම් හා විනෝදාස්වාදය හා සම්බන්ධ කාරණාවලදී වැඩිමහල්ලන් උත්සාහ කරන්නේ බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමට අන් අයව පෙලඹවීමයි. එවන් ප්‍රතිපත්ති මීකා 6:8; 1 කොරින්ති 10:31-33 සහ 1 තිමෝති 2:9, 10 යන බයිබල් වගන්තිවලින් සොයාගත හැකියි.

අනුකම්පාව පෙන්වන්න, සමාව දෙන්න

15. යේසුස් ඔහුගේ ගෝලයන් අතින් අඩු පාඩු හා වැරදි සිදු වන විට ක්‍රියා කළේ කොහොමද?

15 යේසුස් ඔහුගේ ගෝලයන් අතින් අඩු පාඩු හා වැරදි සිදු වෙද්දී ක්‍රියා කළ ආකාරයෙන් අපටත් යමක් ඉගෙනගන්න පුළුවන්. ඔහු මිනිසෙකු හැටියට ගත කළ අන්තිම රාත්‍රියේදී සිදු වූ සිද්ධීන් දෙකක් සලකා බලමු. ගෙත්සෙමන උයනට පැමිණීමෙන් පසු යේසුස් “පේතෘස්වද, යාකොබ් සහ යොහන්වද කැඳවා” ඔවුන්ට “සෝදිසියෙන් සිටින්න” කියා පැවසුවා. “ඉන්පසු ඔහු මදක් ඉදිරියට ගොස් බිම වැටී, . . . යාච්ඤා කරන්න පටන්ගත්තේය.” ඔහු ආපසු පැමිණි විට ‘ඔවුන් නිදාගෙන සිටිනවා දැක්කා.’ මේ අවස්ථාවේදී යේසුස් ක්‍රියා කළේ කොහොමද? ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “සිත නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.” (මාක් 14:32-38) පේතෘස්ට, යාකොබ්ට හා යොහන්ට බැණවදිනවා වෙනුවට ඔහු ඔවුන්ට අනුකම්පා කළා. එදාම රාත්‍රියේ පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා තුන් වතාවක් පැවසුවා. (මාක් 14:66-72) එම සිද්ධියෙන් පස්සේ යේසුස් පේතෘස්ට සැලකුවේ කොහොමද? “ස්වාමීන් මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීය. ඔහු සීමොන්ට [එනම් පේතෘස්ට] පෙනුණේය!” (ලූක් 24:34) “ඔහු සීෆස්ටද, ඉන්පසුව දොළොස්දෙනාටද පෙනුණු බවත්” බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 15:5) අමනාපය සිතේ තබාගන්නේ නැතිව යේසුස් පසුතැවිලි වූ පේතෘස්ට සමාව දී ඔහුව ශක්තිමත් කළා. පසුව යේසුස් පේතෘස්ට මහත් වගකීම්ද විශ්වාසයෙන් යුක්තව පැවරුවා.—ක්‍රියා 2:14; 8:14-17; 10:44, 45.

16. සෙසු ඇදහිලිවන්තයන් අතින් අඩු පාඩු හා වැරදි සිදු වෙද්දී අපිටත් යේසුස් මෙන් ක්‍රියා කළ හැක්කේ කොහොමද?

16 උරුම වී තිබෙන පාපය නිසා සෙසු ඇදහිලිවන්තයන් අතින් අඩු පාඩු හා වැරදි සිදු වෙද්දී අපිත් යේසුස් වගේ ඔවුන්ට අනුකම්පා කරමින් සමාව දිය යුතු නැද්ද? පේතෘස් සෙසු ඇදහිලිවන්තයන්ව මෙසේ දිරිගැන්වුවා. “ඔබ සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි අනුකම්පාව දක්වමින්, සහෝදර ස්නේහය ඇතිව, ගැඹුරු දයානුකම්පාවෙන් යුක්තව, යටහත් පහත් මනසක් ඇතිව සිටින්න. නපුරට නපුරවත් නිග්‍රහයට නිග්‍රහයවත් නොකර, ආශීර්වාද කරන්න.” (1 පේතෘස් 3:8, 9) යම් කෙනෙක් යේසුස් වගේ අනුකම්පාව දක්වමින් අපට සමාව නොදෙන විට අපි ක්‍රියා කළ යුත්තේ කොහොමද? එවැනි අවස්ථාවලදී පවා අප යේසුස් වගේ ක්‍රියා කිරීමට බැඳී සිටිනවා.—1 යොහන් 3:16.

දේවරාජ්‍යයට මුල් තැන දෙන්න

17. යේසුස්ගේ ජීවිතයේ ප්‍රධාන තැන හිමි වුණේ දෙවිගේ කැමැත්ත කිරීමට බව අප පවසන්නේ ඇයි?

17 යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ හැකි තවත් ක්‍රමයක් තිබෙනවා. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට යේසුස්ගේ ජීවිතයේ අතිවැදගත් තැනක් හිමි වුණා. සමාරිය සීකාර් නුවර අසලදී සමරිතානු ස්ත්‍රියකට දේශනා කිරීමෙන් පසු යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ පැවසුවා. “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර, ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය.” (යොහන් 4:34) යේසුස් තම පියාගේ කැමැත්ත කිරීම සැලකුවේ හරියට ආහාරයක් වගෙයි. ආහාරයකින් තෘප්තියක් මෙන්ම පෝෂණයක් ලැබෙනවා වගේ දෙවිගේ කැමැත්ත කිරීමෙන් යේසුස් තෘප්තියක් මෙන්ම පෝෂණයක්ද ලැබුවා. අපත් යේසුස්ව අනුකරණය කරමින් දෙවිගේ කැමැත්ත කිරීමට මුල් තැන දෙනවා නම් අපටත් අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකියි.

18. පුරෝගාමි සේවය කරන්න දරුවන්ව දිරිගැන්වීමෙන් දෙමව්පියන්ට මෙන්ම දරුවන්ට ලැබෙන ආශීර්වාද මොනවාද?

18 දෙමව්පියන් පූර්ණ කාලීන සේවය කිරීම සඳහා තම දරුවන්ව දිරිගැන්වීමෙන් දරුවන් වගේම ඔවුනුත් බොහෝ ආශීර්වාද භුක්ති විඳිනවා. එක් පියෙක් ඔහුගේ නිවුන් පුතුන් දෙදෙනාට කුඩා කාලයේ සිටම පුරෝගාමි සේවය ඉලක්කයක් හැටියට තබාගැනීමට දිරිගැන්වුවා. මේ දරුවන් දෙදෙනා පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. මෙයින් තමන් ලැබූ ප්‍රීතිය ගැන පියා මෙසේ සඳහන් කරනවා. “අපේ දරුවෝ අපේ බලාපොරොත්තු කඩ කළේ නැහැ. ‘දරුවෝ යෙහෝවා දෙන උරුමයක්’ කියා ස්තුතිපූර්වකව අපිට කියන්න පුළුවන්.” (ගීතාවලිය 127:3) පූර්ණ කාලීන සේවය කිරීමෙන් දරුවෝ ප්‍රයෝජන ලබන්නේ කොහොමද? දරුවන් පස්දෙනෙකුගේ මවක් මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීමට පුරෝගාමි සේවය මගේ දරුවන්ට උපකාරවත් වෙලා තියෙනවා. ඉස්සරට වඩා ඔවුන් බයිබලය හා සංවිධානයේ ප්‍රකාශන හොඳින් අධ්‍යයනය කරනවා. ඔවුන්ගේ කාලය ඔවුන් නැණවත්ව පාවිච්චි කරනවා. නමස්කාරය හා සම්බන්ධ කටයුතුවලට මුල් තැන දෙන්න ඔවුන් ඉගෙනගෙන තිබෙනවා. ඔවුන් හැම කෙනෙකුටම හුඟාක් වෙනස්කම් කරන්න සිදු වුණත් පුරෝගාමි සේවය කිරීමට තෝරාගැනීම ගැන ඔවුන් කිසි කෙනෙක් කනගාටු වෙන්නේ නැහැ.”

19. අනාගතය සැලසුම් කිරීමේදී තරුණයන් නැණවත් ලෙස සලකා බැලිය යුත්තේ කුමක්ද?

19 තරුණයෙනි, ඔබේ අනාගත සැලසුම් මොනවාද? ඔබේ බලාපොරොත්තුව හොඳ රැකියාවක් කිරීමද? එහෙමත් නැත්නම් ඔබ පුරෝගාමි සේවය කිරීමට සැලසුම් කරමින් සිටිනවාද? අපි අනාගතය ගැන කල්පනා කිරීමේදී පාවුල් දුන් උපදේශය සැලකිල්ලට ගැනීම වැදගත්. “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. එහෙයින්, තවදුරටත් අඥාන නොවී යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගන්න.”—එෆීස 5:15-17.

ළැදිව සිටින්න

20, 21. යේසුස් යෙහෝවා දෙවිටත් ඔහුගේ ගෝලයන්ටත් ළැදිව සිටියේ කෙසේද? අපටත් ඔහුව අනුකරණය කළ හැක්කේ කෙසේද?

20 යේසුස්ව අනුගමනය කිරීමේදී අපි සලකා බැලිය යුතු තවත් පැත්තක් තිබෙනවා. යේසුස් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු දෙවිගේ ස්වරූපය දැරූ නමුත්, දෙවිට සමාන වීම තමන් අත් කරගත යුතු දෙයක්යයි සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන්ගේ සමානත්වයට පැමිණියේය. තවද ඔහු, තමා මිනිස් ස්වරූපයට පත් වූ පසු, මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය.” මරණයට මුහුණ දීමට සිදු වුණත් දෙවි තමන් කෙරෙහි තැබූ විශ්වාසය යේසුස් කඩ නොකර දිගටම දෙවිට ළැදිව සිටියා. එසේ ළැදිව සිටියේ යේසුස් යෙහෝවාව මුළු විශ්වයේම පාලකයා හැටියට පිළිගෙන සම්පූර්ණයෙන්ම ඔහුට යටත් වූ නිසයි. අපටත් කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් අපිද යේසුස් මෙන් දෙවි අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය කඩ නොකර දිගටම ඔහුට ළැදිව ඔහුගේ කැමැත්ත කරමු.—ෆිලිප්පි 2:5-8.

21 යේසුස් ඔහුගේ ගෝලයන්ටද ළැදිව සිටියා. ඔවුන්ට නොයෙකුත් දුර්වලකම් තිබුණත් ඔහු “අවසානය දක්වා” ඔවුන්ට ප්‍රේම කළා. ඔවුන්ව කිසිදා අත්හැරියේ නැහැ. (යොහන් 13:1) ඒ හා සමානව අපිත් අපේ සහෝදර සහෝදරියන්ගේ අඩු පාඩුකම් නිසා බාධාවට පත් වී ඔවුන්ව විවේචනය නොකරමු. සැමදා ඔවුන්ට ළැදිව සිටිමු.

යේසුස් තැබූ ආදර්ශය අනුකරණය කරමු

22, 23. යේසුස්ව අනුකරණය කිරීමෙන් අපි ලබන ආශීර්වාද මොනවාද?

22 උරුම වී තිබෙන පාපය නිසා අපි කා අතිනුත් අඩු පාඩු සිදු වෙනවා. මේ නිසා අපිට යේසුස්ගේ ආදර්ශය ඒ විදිහටම අනුකරණය කළ නොහැකියි. කෙසේවෙතත්, ඔහුගේ ආදර්ශය හොඳින් අනුකරණය කිරීමට උපරිම උත්සාහය දරන්න අපිට පුළුවන්. මේ සඳහා යේසුස් අපට මඟ පෙන්වීම සපයන ආකාරය තේරුම්ගෙන එයට යටත් විය යුතුයි. ඒ වගේම ඔහු ක්‍රියා කළ ආකාරය ගැනත් තේරුම්ගෙන ඒ අනුව ජීවත් විය යුතුයි.

23 යේසුස්ව අනුකරණය කිරීමෙන් අපට බොහෝ ආශීර්වාද භුක්ති විඳිය හැකියි. අපේ කැමැත්තට වඩා දෙවිගේ කැමැත්තට මුල් තැනක් දෙන නිසා අපි අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා. (යොහන් 5:30; 6:38) දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් අපට තිබෙනවා. එමෙන්ම අන් අයට හොඳ ආදර්ශයක්ද තැබිය හැකියි. වෙහෙස වූ පීඩිත වූ සියල්ලන්ට තමන් වෙතට පැමිණ තමන්ගේ ජීවිතවලට ප්‍රාණවත් බවක් ලබාගන්න කියා යේසුස් ආරාධනා කළා. (මතෙව් 11:28-30) යේසුස්ගේ ආදර්ශය අප අනුගමනය කරද්දී අප සමඟ ඇසුරු කිරීමෙන් අන් අයටද ප්‍රාණවත් බවක් ලබන්න පුළුවන්. එසේනම් අපි දිගටම යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමු.

ඔබට මතකද?

• අද දින ක්‍රිස්තුස් ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්වන්නේ කොහොමද?

• දෙවි තමන්ට දී තිබෙන බලතල ක්‍රියාත්මක කිරීමේදී වැඩිමහල්ලන්ට ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

• අන් අය අතින් අඩු පාඩු සිදු වන විට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න පුළුවන් කොහොමද?

• දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න යෞවනයන්ට හැක්කේ කොහොමද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ මඟ පෙන්වීම පිළිපැදීමට ක්‍රිස්තියානි වැඩිමහල්ලන් අපට උපකාර කරනවා

[24, 25වන පිටුවේ පින්තූර]

යෞවනයෙනි, ක්‍රිස්තියානියෙකු ලෙස තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා ඔබ සැලසුම් කරමින් සිටිනවාද?