Skip to content

පටුනට යන්න

යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?

යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?

යේසුස් ක්‍රිස්තුස්—ඔහු කවුද?

නාසරෙත්හි හැදී වැඩුණු යේසුස් පැවසූ වදන්වලට තරුණ අන්දෘ මුල් වතාවට සවන් දුන් විට ඔහුට ඇති වූ හැඟීම මොන තරම්ද කියනවා නම් ඔහු විගස දුව ගොස් ඔහුගේ සහෝදරයාට මෙසේ පැවසුවා. “අපට මෙසියස් [හෙවත් ක්‍රිස්තුස්] සම්බ විය.” (යොහන් 1:41) හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාවලට අනුව “මෙසියස්” හෙවත් “ක්‍රිස්තුස්” යන වචනවල තේරුම වන්නේ “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. පොරොන්දු කරන ලද නායකයා ලෙස දෙවි අභිෂේක කළ තැනැත්තා වූයේ යේසුස්. (යෙසායා 55:4) ඔහු පිළිබඳ අනාවැකි ශුද්ධ ලියවිලිවල සඳහන් වූ අතර ඒ කාලයේ සිටි යුදෙව්වන් ඔහුගේ පැමිණීම බලා සිටියා.—ලූක් 3:15.

දෙවි විසින් ඇත්තටම තෝරාගනු ලැබූ තැනැත්තා යේසුස් කියා අපි දන්නේ කොහොමද? මේ ගැන දැනගැනීම සඳහා ක්‍රි.ව. 29දී සිදු වූ දෙය සලකා බලමු. ඒ වන විට යේසුස්ගේ වයස අවුරුදු 30යි. ඔහු යොර්දාන් ගඟේ බව්තීස්ම වීම සඳහා යොහන් ළඟට ගියා. ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදී සිදු වූ දෙය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “බව්තීස්ම වීමෙන් පසු යේසුස් එකෙණෙහිම දියෙන් උඩට මතු විය. බලන්න! අහස විවර විය. දෙවිගේ ආත්මය පරෙවියෙකු මෙන් ඔහු පිටට බසිනවා ඔහු දුටුවේය. බලන්න! ‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි’ යි පැවසූ හඬක්ද ස්වර්ගයෙන් නික්මුණේය.” (මතෙව් 3:16, 17) මෙම වදන් ඇසුණු පසු යොහන්ට යේසුස් දෙවි විසින් තෝරාගනු ලැබූ තැනැත්තා බවට කිසිම සැකයක් තිබුණේ නැහැ. යෙහෝවා දෙවි තම රාජ්‍යයේ අනාගත රජු වන යේසුස්ට සිය බලය ලබා දෙමින් අභිෂේක කළේ ඒ අවස්ථාවේදීයි. මේ විදිහටයි, ක්‍රිස්තුස් හෙවත් අභිෂේක කරන ලද තැනැත්තා බවට යේසුස් පත් වුණේ. යේසුස්ව දෙවිගේ පුත්‍රයා කියා හඳුන්වන්නේ ඇයි? ඔහුගේ මූලාරම්භය සිදු වුණේ කොහොමද?

ඔහුගේ පැවැත්ම ‘පුරාතනය’ දක්වා දිව යයි

යේසුස්ගේ මුළු ජීවිතයම අවස්ථා තුනකට වෙන් කළ හැකියි. මුල්ම අවස්ථාව වන්නේ මිනිසෙකු ලෙස උපත ලැබීමට කලින් ඔහු ගත කළ ජීවිතයයි. ඔහුගේ පැවැත්ම “පුරාතන සිටද සදාකාලය පටන්ද විය” කියා මීකා 5:2හි සඳහන් වෙනවා. මම පැමිණ සිටින්නේ ‘ඉහළින්’ එනම් ස්වර්ගයෙන් කියා යේසුස්ම ඔහු ගැන පැවසුවා. (යොහන් 8:23) ඔහු පොළොවේ ජීවත් වීමට කලින් ස්වර්ගයේ බලවත් දේවදූතයෙක් හැටියට ජීවත් වුණා.

සෑම දෙයක්ම මැවීමට කලින් දෙවි යම් කාලයක් තනිව සිටියා. එහෙත් අපට කිව නොහැකි තරම් කාලයකට ඉහතදී දෙවි මැවීමේ කාර්යය ආරම්භ කළා. ඔහු මුලින්ම මැව්වේ කාවද? බයිබලයේ අවසාන පොතේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ “දෙවිගේ මැවිල්ලේ පටන්ගැන්ම” කියායි. (එළිදරව් 3:14) යේසුස් “මුළු මැවිල්ලේම කුලුඳුලාය. මන්ද, . . . ස්වර්ගයෙහි හා පොළොවෙහි දෘශ්‍යමාන මෙන්ම අදෘශ්‍යමාන සියල්ල ඔහු මාර්ගයෙන් මවන ලදි.” (කොලොස්සි 1:15, 16) මෙයින් පැහැදිලි වන්නේ දෙවි විසින්ම මවනු ලැබූ එකම තැනැත්තා වූයේ යේසුස් බවයි. මේ නිසයි ඔහුව දෙවිගේ “ඒකජාතක පුත්‍රයා” කියා හඳුන්වනු ලබන්නේ. (යොහන් 3:16) දෙවිගේ කුලුඳුල් පුත්‍රයාව වාක්‍යයාණෝ හෙවත් “වචනය” කියාද හඳුන්වනු ලබනවා. (යොහන් 1:14) යේසුස්ව එසේ හඳුන්වන්නේ ඔහු මිනිසෙකු ලෙස ඉපදීමට කලින් දෙවි වෙනුවෙන් කතා කරන්නා හැටියට ස්වර්ගයේ සේවය කළ නිසයි.

“පටන්ගැන්මෙහිදී” එනම් යෙහෝවා දෙවි ‘අහසත් පොළොවත් මැවූ’ කාලයේදී වචනය හෙවත් යේසුස් ඔහු සමඟ සිටියා. ‘අපගේ රූපය මෙන් මනුෂ්‍යයාව සාදමු’ කියා පැවසූ විට දෙවි ඇමතුවේ යේසුස්වයි. (යොහන් 1:1; උත්පත්ති 1:1, 26) යෙහෝවා මැවීමේ කාර්යයේ නිරත වෙද්දී ඔහුගේ කුලුඳුල් පුත්‍රයාද ක්‍රියාශීලීව ඊට හවුල් වුණා. හිතෝපදේශ 8:22-31හි යේසුස් ගැන මෙසේ සඳහන් වෙනවා. “කර්මාන්තයෙහි මුලාදෑනියෙකු මෙන් ඔහු සමඟ [එනම් මැවුම්කරු සමඟ] සිටියෙමි; ඔහු ඉදිරිපිට නිතර ප්‍රීති වෙමින් දවස්පතා ඔහුගේ සතුටද වීමි.”

යෙහෝවා දෙවි සහ ඔහුගේ ඒකජාතක පුත්‍රයා එකට එක්ව මැවීමේ කාර්යයේ හවුල් වෙද්දී ඔවුන් දෙදෙනා අතර මොන තරම් කිට්ටු සම්බන්ධතාවක් වර්ධනය වෙන්න ඇද්ද කියා සිතා බලන්න! මෙසේ කිව නොහැකි තරම් කාලයක් පුරා යේසුස් තමන්ගේ පියා වන යෙහෝවා සමඟ කොතරම් කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවාද කියනවා නම් ඔහු ක්‍රියා කළේ හරියටම පියා ක්‍රියා කරනවා වගේමයි. මේ නිසයි යේසුස්ව “අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපය” කියා කොලොස්සි 1:15හි හඳුන්වා තිබෙන්නේ. මේ අනුව, දෙවි ගැන දැනගැනීමට තිබෙන අපේ ආශාව ඉටු කරගැනීම සඳහා අපි යේසුස් ගැන දැනගැනීම අවශ්‍යයි. යේසුස් මේ පොළොවේ සිටි කාලයේදී සෑම දෙයක්ම කළේ යෙහෝවා ඔහුගෙන් බලාපොරොත්තු වූ විදිහටමයි. මේ නිසා අපි යේසුස් ගැන තව තවත් දැනගන්නවා කියන්නේ යෙහෝවා දෙවි ගැනත් අපේ දැනුම වැඩි වෙනවා කියන එකයි. (යොහන් 8:28; 14:8-10) කෙසේවෙතත් යේසුස් මේ පොළොවට ආවේ කොහොමද කියා දැන් අපි සලකා බලමු.

මිනිසෙකු ලෙස ගත කළ ජීවිතය

යේසුස්ගේ ජීවිතයේ දෙවන අවස්ථාව පටන්ගත්තේ දෙවි ඔහුව මේ පොළොවට එවීමෙන් පසුවයි. යෙහෝවා දෙවි ස්වර්ගයේ සිටි සිය පුත්‍රයාගේ ජීවය පොළොව මත සිටි මරියා නම් ඇදහිලිවන්ත කන්‍යාවගේ ගර්භාශයේ ආශ්චර්යවත් ලෙස වැඩෙන්න සැලැස්සුවා. යේසුස්ගේ උපතට මිනිස් පියෙකු සම්බන්ධ වූයේ නැති නිසා සියලුම මිනිසුන්ට වගේ ඔහුට පාපය උරුම වුණේ නැහැ. යෙහෝවා දෙවිගේ ශුද්ධාත්මය හෙවත් ක්‍රියාකාරික බලය මරියා තුළ ක්‍රියාත්මක වෙමින් ඇයව ‘වසාගත්’ නිසා ඇය ආශ්චර්යවත් ලෙස ගැබ්ගෙන කිසිම පාපයක් නැති පරිපූර්ණ දරුවෙක් බිහි කළා. (ලූක් 1:34, 35) වඩුවෙකු වූ යෝසෙප්ගේ රැකවරණය යටතේ දරුවෙකු ලෙස ඇති දැඩි වූ යේසුස් ජීවත් වුණේ සාමාන්‍ය නිවසකයි. පවුලේ වැඩිමලා වූ ඔහුට තවත් සහෝදර සහෝදරියන්ද සිටියා.—යෙසායා 7:14; මතෙව් 1:22, 23; මාක් 6:3.

යේසුස්ගේ ළමා කාලය පිළිබඳව එතරම් තොරතුරු වාර්තා වී නැතත් එක් වැදගත් සිද්ධියක් අපට දැනගන්නට තිබෙනවා. යේසුස්ට වයස අවුරුදු 12දී ඔහුගේ දෙමාපියන් ඔහුවත් රැගෙන වාර්ෂිකව පැවැත්වූ පාස්කු උත්සවය සැමරීම සඳහා යෙරුසලමට ගියා. එහිදී ඔහු “දේවමාලිගාවෙහි ගුරුවරුන් අතරෙහි ඉඳගෙන ඔවුන්ට සවන් දෙමින් සහ ඔවුන්ගෙන් ප්‍රශ්න අසමින්” බොහෝ කාලයක් ගත කළා. ඒ අවස්ථාවේදී “ඔහුට සවන් දෙමින් සිටි සියල්ලෝ ඔහුගේ තේරුම්ගැනීම හා ඔහු දුන් පිළිතුරු ගැන විස්මයට [පත් වුණා].” ළමා වියේ පසු වූ යේසුස්ට ආගමික කාරණා පිළිබඳව උනන්දුව දනවන ප්‍රශ්න ඇසීමට පමණක් නොවෙයි, ඒවාට බුද්ධිමත්ව පිළිතුරු දෙන්නත් හැකි වුණා. බොහෝදෙනෙක් ඒ ගැන පුදුම වුණා. (ලූක් 2:41-50) යේසුස් නාසරෙත් නුවරේ ඇති දැඩි වූ කාලයේදී ඔහුගේ සුරැකි පියා වූ යෝසෙප්ගෙන් වඩු කර්මාන්තය ඉගෙනගත්තා.—මතෙව් 13:55.

යේසුස් වයස අවුරුදු 30 වන තෙක් ජීවත් වුණේ නාසරෙත් නුවරේයි. පසුව ඔහු බව්තීස්ම වීම සඳහා යොහන් ළඟට ගියා. යේසුස් ඔහුගේ බව්තීස්මයෙන් පසු මහත් උද්‍යෝගයෙන් දේවසේවයේ නියැලෙන්න පටන්ගත්තා. ඔහු අවුරුදු තුනහමාරක් ඔහුගේ ගම් පළාත පුරා ගමන් කරමින් දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කළා. තමන්ව පොළොවට එව්වේ දෙවි කියා මිනිසුන්ට ඒත්තුගැන්වීම සඳහා ඔහු කිසිම මිනිසෙකුට කළ නොහැකි පුදුම දේවල් කළා.—මතෙව් 4:17; ලූක් 19:37, 38.

යේසුස් මිනිසුන්ට බොහොම කරුණාවෙන් හා අනුකම්පාවෙන් සැලකූ කෙනෙක්. ඔහු අනිත් අය ගැන සිතූ විදිහෙන් හා ඔවුන්ට සැලකූ විදිහෙන් ඔහුගේ මෘදු මොළොක් කරුණාව දැකගන්න පුළුවන් වුණා. ඕනෑම වේලාවක ඕනෑම කෙනෙකුට යේසුස් සමඟ කතා බහ කරන්න පුළුවන් වුණ නිසා බොහෝදෙනෙක් යේසුස්ට ප්‍රිය කළා. දරුවන් පවා ඔහු ළඟ සිටියේ මහත් සතුටින්. (මාක් 10:13-16) යේසුස් ජීවත් වූ කාලයේ සමහරුන් ස්ත්‍රීන්ව පහත් කොට සැලකුවත් ඔහු ඔවුන්ට ගෞරවයෙන් සැලකුවා. (යොහන් 4:9, 27) දුක් හිරිහැරවලට ගොදුරු වෙමින් සිටි දිලිඳුන්ට ඔවුන්ගේ ‘ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලබාගන්න’ ඔහු උපකාර කළා. (මතෙව් 11:28-30) ඔහුගේ ඉගැන්වීම් සරලයි; පැහැදිලියි; ඒ වගේම ජීවිතයට අදාළ කරගන්න පුළුවන්. ඔහු ඉගැන්වූ දේවල් සලකා බැලීමේදී පෙනී යන්නේ සැබෑ දෙවි වන යෙහෝවා ගැන දැනගැනීමට මිනිසුන්ට උපකාර කරන්න ඔහුට අවංක ආශාවක් තිබූ බවයි.—යොහන් 17:6-8.

දෙවි දුන් බලය යොදාගනිමින් ප්‍රාතිහාර්යය කළ යේසුස් අසනීපවලින් දුක් වින්ද අයව සුව කළා. ඔහු එසේ කළේ ඔවුන්ට අනුකම්පා කළ නිසයි. (මතෙව් 15:30, 31) උදාහරණයක් හැටියට මේ සිද්ධිය සලකා බලන්න. ලාදුරු රෝගය වැලඳුණු මිනිසෙක් යේසුස් ළඟට ඇවිත් මෙසේ පැවසුවා. “ඔබ කැමති නම් මාව පවිත්‍ර කරන්න ඔබට පුළුවන්.” මේ වේලාවේදී යේසුස් මොනවාද කළේ? ඔහු අත දිගු කර ඔහුව අල්ලා, “මා කැමතියි. පවිත්‍ර වෙන්න” කියා පැවසුවා. මේ මිනිසා ඒ මොහොතේදීම සුවය ලැබුවා!—මතෙව් 8:2-4.

විශාල සමූහයක් යේසුස්ගේ ඉගැන්වීම්වලට සවන් දීමට පැමිණි අවස්ථාවක සිදු වූ දෙයත් සලකා බලන්න. “ස්ත්‍රීන් හා කුඩා දරුවන් හැර, . . . පුරුෂයන් හාරදහසක්” එතැන සිටියා. ඔවුන් දවස් තුනක් ඔහු සමඟ සිටියා. ඔවුන්ට කන්න ආහාර තිබුණේ නැහැ. ඒ මිනිසුන් ගැන අනුකම්පාවක් යේසුස්ට දැනුණා. මේ නිසා ඔහු ප්‍රාතිහාර්යයක් කර ඒ සියල්ලන්ටම ආහාර දුන්නා. (මතෙව් 15:32-38) සිය ගෝලයන් බෝට්ටුවක ගමන් කරමින් සිටියදී ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් වෙන තරම් භයානක සුළි සුළඟක් හැමූ අවස්ථාවේදී යේසුස් එය නතර කළා. (මාක් 4:37-39) ඔහු මිය ගිය අයට නැවත ජීවිතය ලබා දුන්නා. * (ලූක් 7:22; යොහන් 11:43, 44) සදාකාලික අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇතිව සිටීමට මිනිසුන්ට මං උදා කර දෙමින් යේසුස් ඔහුගේ ජීවිතය කැමැත්තෙන්ම පූජා කළා. යේසුස් මිනිසුන්ට මොන තරම් ප්‍රේම කළාද කියා මේ සිද්ධීන්වලින් පැහැදිලි වෙන්නේ නැද්ද!

අද යේසුස් ඉන්නේ කොහේද?

යේසුස් වයස අවුරුදු 33 1/2දී වධ කණුවක් මත මිය ගියා. * එහෙත් මරණයෙන් ඔහුගේ ජීවිතය අවසන් වුණේ නැහැ. යෙහෝවා දෙවි මිය ගිය ඔහුගේ පුත්‍රයාව දින තුනකට පසුව ස්වර්ගයේ ජීවත් විය හැකි පුද්ගලයෙකු ලෙස නැවත නැඟිට්ටෙව්වා. ඔහුගේ ජීවිතයේ තුන්වන අවස්ථාව ඇරඹෙන්නේ මෙතැන් සිටයි. යේසුස් නැවත නැඟිටීමෙන් පසු ඒ කාලයේ ජීවත් වුණ මිනිසුන් සිය ගණනකට දර්ශනය වුණා. (1 කොරින්ති 15:3-8) පසුව ඔහු ‘දෙවිගේ දකුණු පැත්තේ ඉඳගෙන’ තමන්ව රජකමට පත් කරන තෙක් බලා සිටියා. (හෙබ්‍රෙව් 10:12, 13) නියමිත කාලය පැමිණි විට යේසුස් රජෙකු ලෙස පාලනය කරන්න පටන්ගත්තා. එසේනම් අද දින අපි යේසුස්ව සැලකිය යුත්තේ කවුරුන් ලෙසද? දුක් විඳ මිය ගිය මිනිසෙකු ලෙසද? නැත්නම් නමස්කාර කළ යුතු කෙනෙකු ලෙසද? අද යේසුස් මිනිසෙකුවත් සර්වපරාක්‍රම දෙවිවත් නොවෙයි. අද යේසුස් ස්වර්ගයෙහි රජෙකු ලෙස පාලනය කරන අපට නොපෙනෙන බලවත් පුද්ගලයෙක්. වැඩි කලක් යන්න කලින් ඔහු ප්‍රශ්න ගැටලුවලින් පිරි මේ පොළොවද පාලනය කරන්න නියමිතයි.

සංකේත භාෂාවක් යොදාගනිමින් එළිදරව් 19:11-16 දක්වා වගන්තිවල යේසුස්ව විස්තර කර තිබෙන්නේ සුදු අශ්වයෙක් පිට ඉඳගෙන සිටින ධර්මිෂ්ඨකමින් විනිශ්චයද යුද්ධද කරන රජෙකු ලෙසයි. ‘ජාතීන්ට පහර දෙන පිණිස ඔහුට තියුණු දිග කඩුවක්’ තිබෙනවා. නුදුරු අනාගතයේදී යේසුස් දුෂ්ටයන්ව විනාශ කිරීමට ඔහුගේ මහත් බලය යොදාගන්නවා. එහෙත් යේසුස් පොළොව මත සිටියදී තැබූ ආදර්ශය අනුගමනය කරන්න වෑයම් කරන අයට කුමක් බලාපොරොත්තු විය හැකිද? (1 පේතෘස් 2:21) යේසුස් ඔහුගේ පියා සමඟ එක්ව ඉදිරියේදී සිදුවීමට නියමිත “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ [යුද්ධයෙන්]” ඔවුන්ව ආරක්ෂා කර, දේවරාජ්‍යයේ යටත්වැසියන් ලෙස මේ පොළොවේ සදාකල් ජීවත් වීමේ අවස්ථාව ඔවුන්ට ලබා දෙනවා.—එළිදරව් 7:9, 14; 16:14, 16; 21:3, 4.

සමාදානය ලොව පුරා පවතින සිය පාලන සමයේදී යේසුස් මිනිසුන් වෙනුවෙන් බොහෝ ප්‍රාතිහාර්යයන් කරනවා. (යෙසායා 9:6, 7; 11:1-10) ඔහු මිනිසුන්ගේ සියලුම අසනීප සුව කරනවා පමණක් නොවෙයි මරණය පවා නැති කර දමනවා. පාරාදීස පොළොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමට අවස්ථාව සලසා දෙමින් මිය ගොස් සිටින බිලියන ගණනක්ව නැවත නැඟිටුවීමට දෙවි යේසුස්ට බලය දෙනවා. (යොහන් 5:28, 29) දේවරාජ්‍යයේ රජු වන යේසුස් විසින් ඉදිරියේදී මේ පොළොව පාලනය කරන විට අපි භුක්ති විඳින්නේ සිතාගන්න බැරි තරම් ප්‍රීතිමත් ජීවිතයක්. එනිසා දිගටම බයිබලය ඉගෙනගනිමින් යේසුස් ක්‍රිස්තුස්ව තව තවත් හොඳින් දැන හඳුනා ගැනීම කොයිතරම් වැදගත්ද!

[පාදසටහන්වල]

^ 15 ඡේ. යේසුස් ප්‍රාතිහාර්යයන් කළ බව හැම කෙනෙක්ම පිළිගත්තා. ඔහුගේ සතුරන් පවා ඔහු ‘බොහෝ ලකුණු සිදු කළ’ බව පිළිගත්තා.—යොහන් 11:47, 48.

^ 17 ඡේ. යේසුස් මිය ගියේ වධ කණුවක් මතද නැත්නම් කුරුසයක් මතද යන කාරණය පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන Reasoning From the Scriptures නමැති පොතේ 89-90 දක්වා පිටු බලන්න.

[7වන පිටුවේ කොටුව]

යේසුස් සර්වපරාක්‍රම දෙවිද?

දෙවිව විශ්වාස කරන බොහෝදෙනෙක් පවසන්නේ යේසුස් දෙවි කියායි. දෙවි ත්‍රිත්වයක් කියා සමහරුන් පවසනවා. ත්‍රිත්වය නමැති ඉගැන්වීමට අනුව “පියාද, පුත්‍රයාද, ශුද්ධාත්මයද දෙවිය. එහෙත් සිටින්නේ දෙවිවරුන් තුන්දෙනෙක් නොව එක දෙවි කෙනෙකි.” මේ තුන්දෙනාම “සදාකාලිකය, එක හා සමානය” කියා විශ්වාස කරනවා. (The Catholic Encyclopedia) මේ අදහස් නිවැරදිද?

යෙහෝවා දෙවි මැවුම්කරුයි. (එළිදරව් 4:11) ඔහුට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ. (ගීතාවලිය 90:2) සර්වබලධාරී දෙවි ඔහුයි. යේසුස්ට නම් පටන්ගැන්මක් තිබෙනවා. (කොලොස්සි 1:15, 16) දෙවිව තම පියා වශයෙන් හැඳින්වූ යේසුස් මෙසේ පැවසුවා. “පියාණන් මට වඩා උතුම්ය.” (යොහන් 14:28) තමන්වත් දේවදූතයන්වත් දන්නේ නැති දෙවි පමණක් දන්න කාරණා තිබෙනවා කියාද යේසුස් පැහැදිලි කළා.—මාක් 13:32.

ඒ විතරක් නෙවෙයි, යේසුස් සිය පියාට මෙසේ යාච්ඤා කළා. “මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේවා.” (ලූක් 22:42) මෙහිදී යේසුස් යාච්ඤා කළේ කාටද? ඔහුට වඩා බලවත් පුද්ගලයෙකුට නොවේද? මිය ගිය පසු යේසුස්ම නැවත නැඟිට්ටේ නැහැ. ඔහුව නැවත නැඟිට්ටෙව්වේ දෙවියි. (ක්‍රියා 2:32) යේසුස් පොළොවට පැමිණීමට කලින් මෙන්ම මිනිසෙකු ලෙස ජීවත් වන කාලයේදීද සිය පියාට සමාන වුණේ නැහැ. නැවත නැඟිටීමෙන් පසු යේසුස් ස්වර්ගයට ගියා. එතකොට යේසුස්ගේ තත්වය මොකක්ද? මේ ගැන 1 කොරින්ති 11:3හි මෙසේ සඳහන් වෙනවා. ‘ක්‍රිස්තුස්ගේ හිස දෙවිය.’ ඇත්තෙන්ම පුත්‍රයා එදත් අදත් කවදත් දෙවිට යටත්. (1 කොරින්ති 15:28) ශුද්ධ ලියවිල්ල පදනම් කරගනිමින් සලකා බැලූ ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ යේසුස් දෙවිගේ පුත්‍රයා මිස සර්වබලධාරී දෙවි නොවන බවයි.

ත්‍රිත්වයේ තුන්වන තැනැත්තා කියා පවසනු ලබන ශුද්ධාත්මය පුද්ගලයෙකු නොවෙයි. දෙවිට යාච්ඤා කරමින් ගීතිකාකරු මෙසේ පැවසුවා. “ඔබ ආත්මය එවන්නේය; උන් මවනු ලබති.” (ගීතාවලිය 104:30) ආත්මය හෙවත් ශුද්ධාත්මය දෙවි නොව ක්‍රියාකාරී බලයකි. දෙවි තමන් කැමති ඕනෑම දෙයක් ඉටු කිරීමට යොදාගන්නේ එම බලයයි. දෙවි අහස හා පොළොවද මිනිසා ඇතුළු ජීවමාන සතුන් සියලුදෙනාවද මැව්වේ ශුද්ධාත්මය හෙවත් තමන්ගේ බලය යොදාගෙනයි. (උත්පත්ති 1:2; ගීතාවලිය 33:6) බයිබලය ලිවීමට අවශ්‍ය අදහස් දෙවි ලේඛකයන්ට ලබා දුන්නේද ඔහුගේ බලය යොදාගෙනයි. (2 පේතෘස් 1:20, 21) මේ අනුව ත්‍රිත්වය කියන්නේ බයිබලයේ සඳහන් ඉගැන්වීමක් නොවන බව පැහැදිලියි. * “අපේ දෙවි වූ යෙහෝවා එකම යෙහෝවාය” කියා බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 6:4.

[පාදසටහන]

^ 28 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන Should You Believe in the Trinity? නමැති විවරණිකාව බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා බවට පත් වුණා

[7වන පිටුවේ පින්තූරය]

යේසුස් ඔහුගේ මුළු කාලය හා ශ්‍රමය වැය කළේ දෙවි දුන් කාර්යය ඉටු කරන්නයි

[7වන පිටුවේ පින්තූරය]

අද යේසුස් බලවත් රජ කෙනෙක්