ඔබ “දෙවි ඉදිරියෙහි පොහොසත්” කෙනෙක්ද?
ඔබ “දෙවි ඉදිරියෙහි පොහොසත්” කෙනෙක්ද?
අප ගැනම කල්පනා කර බැලීමට උපකාර කරන යේසුස් ක්රිස්තුස් කී උපමා ගණනාව අතුරින් එකක් තමයි එක්තරා ධනවතෙක් ගැන ඔහු දුන් උපමාව. තමාටම සුරක්ෂිත අනාගතයක් ලබාගැනීම ගැන කල්පනා කළ ඔහු වඩාත් විශාල ගබඩා තැනීමට කටයුතු කළා. නමුත් යේසුස්ගේ උපමාවේ ඒ මිනිසාව හඳුන්වා තිබෙන්නේ ‘අඥානයෙක්’ හැටියටයි. (ලූක් 12:16-21) බයිබල් පරිවර්තන කිහිපයකම එම වචනය “මෝඩයා” ලෙසටද පරිවර්තනය කර තිබෙනවා. ඔහුව ඒ විදිහට හඳුන්වන්නේ ඇයි?
පෙනෙන විදිහට මේ ධනවතා තමන්ගේ කටයුතු සැලසුම් කිරීමේදී දෙවි ගැන සැලකිල්ලක් දක්වා තිබුණේ නැහැ. ඒ වගේම ඔහුගේ වත්තෙන් ලැබුණු හොඳ පලදාව දෙවිගෙන් ලැබුණු ආශීර්වාදයක් හැටියට සැලකුවෙත් නැහැ. (මතෙව් 5:45) ඒ වෙනුවට ඔහු තමා ගැනම මේ විදිහට උදම් අනාගත්තා. “ඔබ වෙනුවෙන් අවුරුදු ගණනකට වටිනා දේවල් බොහොමයක් රැස් කර තිබේ. විවේක සුවයෙන් හිඳ, කා බී, ප්රීති වන්න.” ඔහු හිතුවේ තමා රැස්කරගත් දේවල් ඔහුට “උස් පවුරක් මෙන්” සුරක්ෂිතභාවයක් ලබා දෙයි කියායි.—හිතෝපදේශ 18:11.
ඒ වගේ උඩඟු ආකල්පයක් ඇතිව සිටීම ගැන අනතුරු අඟවමින් යාකොබ් මෙහෙම ලිව්වා. “ඉතින්, ‘අද හෝ හෙට හෝ අපි අහවල් නගරයට ගමන් කොට එහි අවුරුද්දක් ගත කර, වෙළඳාම් කොට ලාභ උපයමු’ යයි කියන්නාවූ ඔබ දැන් සවන් දෙන්න. හෙට ඔබේ ජීවිතය කෙසේ වේදැයි ඔබ දන්නේ නැත. මන්ද ඔබ ටික වේලාවකට පෙනී, ඉන්පසු නොපෙනී යන මීදුමකි.”—යාකොබ් 4:13, 14.
යේසුස්ගේ උපමාවේ ධනවතා සම්බන්ධයෙන් ඒ වචන ඉටු වුණා. දෙවි ඔහුට කිව්වේ මෙයයි. “අඥානය, අද රාත්රියේදීම ඔබේ ජීවිතය ඉල්ලනු ලැබේ. එවිට, ඔබ රැස් කළ මේ දේ ලැබෙන්නේ කාටද?” ඔහුගේ සිහින සැබෑවීමට පෙර, නොපෙනී යන මීදුමක් මෙන් ඒ ධනවතාගේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඉන් ලැබෙන පාඩම අපි වටහාගත්තාද? යේසුස් කීවේ “දෙවි ඉදිරියෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්නාට වන්නේත් ඒ දේමය” කියායි. එසේනම් ඔබ “දෙවි ඉදිරියෙහි පොහොසත්” කෙනෙක්ද?