Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?

දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?

දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?

‘තරුණ තරුණියෙනි, . . . මොව්හු යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරත්වා!’—ගීතා. 148:12, 13, නව අනුවාදය.

1. දරුවෙක් ගැන දෙමාපියන් හිතන්නේ මොන වගේ දේවල්ද?

තම දරුවන්ගේ අනාගතය ගැන හිතන්නේ නැත්තේ කවුද? දරුවෙක් ඉපදෙන මොහොත පටන් සමහරවිට දරුවා ඉපදෙන්නත් කලින් පවා දෙමාපියෝ ඒ දරුවා ගැන බොහෝ දේ හිතනවා. එයා කිසිම අඩු පාඩුවක් නැති සාමාන්‍ය දරුවෙක් හැටියට ඉපදෙයිද? එයා නිරෝගිමත් දරුවෙක් වෙයිද? ඊට පස්සේ ඒ දරුවා ටික ටික ලොකු වෙද්දී එයාගේ අනාගතය ගැනත් දෙමාපියෝ හිතන්න පටන් ගන්නවා. ඔවුන්ට ඕනෑ කරන්නේ තම දරුවාට සුරක්ෂිත මෙන්ම හොඳම අනාගතයක් ලබා දීමටයි.—1 සාමුවෙල් 1:11, 27, 28; ගීතාවලිය 127:3-5.

2. දෙමාපියන් තම දරුවන්ට හොඳ ජීවිතයක් ලබා දීමට දැඩි උත්සාහයක යෙදෙන්නේ ඇයි?

2 අද කාලයේ දරුවෙකුට හොඳම දේවල් ලබා දෙන එක දෙමාපියන්ට තිබෙන විශාල අභියෝගයක්. බොහෝ දෙමාපියන් තම ජීවිත ගත කර තිබෙන්නේ බොහෝ කටුක අද්දැකීම්වලට මුහුණ දීමෙනුයි. යුද්ධ, දේශපාලන නොසන්සුන්තාවයන්, ආර්ථික ප්‍රශ්න, මානසික හා ශාරීරිකව වශයෙන් විඳින වේදනාවන් වැනි දේවල් ඉන් සමහරක්. තමන් වින්ද දේවල් තම දරුවනුත් විඳිනවා දකින්න කිසිම දෙමාපියෙක් කැමති නැහැ. එසේ සිතන දෙමාපියන් බොහෝදෙනෙක් දකින්නේ තම මිතුරන්ගේ සහ නෑදෑයන්ගේ දරුවන් තම රැකියාවල ඉහළටම යමින් සතුටින් සාර්ථක ජීවිත ගෙවන අන්දමයි. ඒ නිසා තම දරුවනුත් අනාගතයේදී සැප පහසුකම්වලින් පිරුණු සුරක්ෂිත ජීවිතයක් භුක්ති විඳිනවා දැකීම සඳහා දැන් ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට ඔවුන් බැඳී සිටිනවායයි ඒ දෙමාපියන් සිතනවා.—දේශනාකාරයා 3:13.

සාර්ථක ජීවිතයක් තෝරාගැනීම

3. ක්‍රිස්තියානීන් තෝරාගෙන තිබෙන්නේ කුමන ජීවිතයක්ද?

3 යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරන ක්‍රිස්තියානීන් තමන්ගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කිරීමට තීරණය කරගෙන තිබෙනවා. “යමෙකුට මා අනුව එන්න ඕනෑ නම් ඔහු තමාවම නොසලකා දවස්පතා තම වධකණුව ගෙන, දිගටම මා අනුව ඒවා” යනුවෙන් යේසුස් පැවසුවා. (ලූක් 9:23; 14:27) එය හිතට ගන්නා ක්‍රිස්තියානීන් ජීවත් වෙන්නේ තමන්ට ඕන ඕන විදිහට නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් පරිත්‍යාගශීලී ජීවිතයක් ගත කරනවා. එයින් අදහස් කරන්නේ ඔවුන් දිලිඳු දුක්ඛිත ජීවිතයක් ගත කරනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් ගත කරන්නේ ප්‍රීතිමත්, තෘප්තිමත් සහ සාර්ථක ජීවිත. ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් තිබේ’ කියා යේසුස් පැවසූ වදන් ඔවුන්ගේ ජීවිතවලින් ඔප්පු වෙනවා.—ක්‍රියා 20:35.

4. යේසුස් තම අනුගාමිකයන්ට දිරිගැන්නුවේ කුමක් කිරීමටද?

4 යේසුස්ගේ කාලයේ ජීවත් වූ මිනිසුන් ගත කළේ දුෂ්කර ජීවිතයක්. අමාරුවෙන් තමන්ගේ ජීවිත ගැටගසා ගන්නවාට අමතරව රෝමවරුන්ගේ කුරිරු පාලනයට යටත් වීමටත්, ආගමික නායකයන්ගේ නීති නිසා ඔවුන් මත පැටවී තිබූ බර දරාගැනීමටත් ඔවුන්ට සිදු වුණා. (මතෙව් 23:2-4) එවැනි ජීවිත ගත කලත් යේසුස් ගැන ඉගෙනගත් බොහෝදෙනෙක් තමන්ට අයිති හැම දෙයක්ම, ඔවුන්ගේ රැකියා පවා සතුටින් අත්හැර යේසුස්ගේ අනුගාමිකයන් වුණා. (මතෙව් 4:18-22; 9:9; කොලොස්සි 4:14) ඔවුන් ගත් තීරණය නිසා ඔවුන්ගේ අනාගතය අසාර්ථක වුණාද? යේසුස් පැවසූ මේ දෙය ගැන ටිකක් සිතන්න. “මාගේ නාමය නිසා ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන සියල්ලන්ට ඊට වඩා බොහෝ වැඩියෙන් ලැබෙන්නේය. ඔවුන්ට සදාකාල ජීවනයද උරුම වන්නේය.” (මතෙව් 19:29) යෙහෝවා දෙවි ඔවුන්ට අවශ්‍ය කුමක්ද කියා දැනගෙන සිටින බව යේසුස් තම අනුගාමිකයන්ට තහවුරු කළා. ඒ නිසා ඔහු ඔවුන්ට දිරිගැන්නුවේ “පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ” කියායි.—මතෙ. 6:31-33.

5. දෙවි තම සේවකයන්ට සලකන බවට කර තිබෙන සහතිකය ගැන සමහර දෙමාපියන්ට හැඟෙන්නේ කොහොමද?

5 එදා සහ අද අතර එතරම් වෙනසක් වෙලා නැහැ. අපිට අවශ්‍ය මොනවද කියලා යෙහෝවා දෙවි දන්නවා. දෙවිගේ සේවයට මුල් තැන දෙන අයට දෙවි සලකන බවට එදා වගේම අදත් නිසැක වෙන්න අපිට පුළුවන්. මෙය විශේෂයෙන්ම පූර්ණ කාලීනව දෙවිට සේවය කරන අයට අදාළ වෙනවා. (මලාකි 3:6, 16; 1 පේතෘස් 5:7) නමුත් මේ ගැන දෙමාපියන්ගෙන් බොහෝදෙනෙක් ඉන්නේ දෙගිඩියාවෙන්. සමහර වේලාවලදී ඔවුන් සිතන්නේ තමන්ගේ දරුවන් යෙහෝවාගේ සේවයේ දියුණු වී පූර්ණ කාලීන සේවකයන් ලෙස ඔහුට සේවය කළා නම් හොඳයි කියායි. ඒත් ලෝකයේ දැන් පවතින ආර්ථික තත්වය සහ රැකියා ප්‍රශ්න නිසා තවත් වේලාවලදී ඔවුන්ට සිතෙන්නේ මුලින් තම දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන පසුව දෙවිට සේවය කළා නම් හොඳයි කියායි. ඔවුන් එසේ සිතන්නේ පසු කලක අවශ්‍ය වුණොත් ඔවුන්ට හොඳ රැකියාවක් ලබා ගැනීමට එය උපකාරවත් වෙයි කියන අදහස නිසයි. හොඳ අධ්‍යාපනයක් ලබාගන්නවා කීමෙන් ඔවුන් අදහස් කරන්නේ උසස් අධ්‍යාපනයක් ලබාගැනීමයි.

අනාගතයට සූදානම් වීම

6. උසස් අධ්‍යාපනයට ඇතුළත් වෙන්නේ කුමක්ද? ඇතුළත් නොවන්නේ කුමක්ද?

6 අධ්‍යාපන ක්‍රම රටින් රටට වෙනස්. නිදසුනක් හැටියට ශ්‍රී ලංකාවේ තිබෙන පාසැල්වල 13වෙනි වසර දක්වා මූලික අධ්‍යාපනයක් ලැබෙනවා. ඉන්පසුව වසර හතරක හෝ වැඩි කාලයක විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයක් ලබාගැනීමට ශිෂ්‍යයන්ට පුළුවන්. ඒ තුළින් ඔවුන්ට උපාධියක් ලැබෙන අතර එතනින් එහාට වෛද්‍ය ක්ෂේත්‍රයේ, නීතික ක්ෂේත්‍රයේ, ඉංජිනේරු ක්ෂේත්‍රයේ වැනි විවිධ ක්ෂේත්‍රවල රැකියා සඳහා තවත් ඉහළට ඉගෙනගැනීමට පුළුවන්. උසස් අධ්‍යාපනය කීමෙන් අපි අදහස් කරන්නේ 13වෙනි වසර දක්වා ලබන මූලික අධ්‍යාපනයෙන් පසුව විශ්ව විද්‍යාලයකින් ලබාගන්නා එවන් අධ්‍යාපනයටයි. මීට වෙනස්ව එවැනි උසස් අධ්‍යාපනයට ඇතුළත් නොවන කාර්මික මෙන්ම වෘත්තීය පුහුණු පාසැල්ද තිබෙනවා. එවැනි පාසැල්වල ඇති කෙටි කාලීන පාඨමාලා හැදෑරීමෙන් පසුව යම් ශිල්පයක් පිළිබඳව නිපුණතා සහතිකයක් ලබාගන්න කෙනෙකුට පුළුවන්.

7. සාමාන්‍ය පෙළ පන්තිවල සිට ශිෂ්‍යයන්ට මුහුණ දීමට තිබෙන පීඩන මොනවාද?

7 අද කාලයේ තිබෙන අධ්‍යාපන ක්‍රමයට අනුව සාමාන්‍ය පෙළ පන්තිවල පටන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන්ව සූදානම් කරනවා. රැකියාවන් සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා වෙනුවට ඒ පන්තිවලදී විශේෂයෙන්ම උසස් පෙළ පන්තිවලදී උගන්වන්නේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට අවශ්‍ය කරන විෂයන් පමණයි. හොඳම විශ්ව විද්‍යාලවලට ඇතුල් වීමට සුදුසුකම් ලබාගැනීම සඳහා අවශ්‍ය ලකුණු මට්ටම ලබාගැනීමට ගුරුවරුන්ගෙන්, උපදේශකයන්ගෙන් සහ අනෙකුත් ශිෂ්‍යයන්ගෙන් උසස් පෙළ ශිෂ්‍යයන්ට එල්ල වෙන්නේ දැඩි පීඩනයක්. ඔවුන්ව එලෙස පීඩනයට ලක් කරන්නේ වැඩි වැටුපක් ලබාගත හැකි උසස් රැකියාවලට අවශ්‍ය කරන උපාධි ඔවුන්ට එවැනි විශ්ව විද්‍යාලවලින් ලබාගත හැකියයි ඒ අය සිතන නිසයි.

8. ක්‍රිස්තියානි දෙමාපියන්ට ගැනීමට සිදු වී තිබෙන්නේ මොන වගේ තීරණයක්ද?

8 මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද? තම දරුවන් පාසැලේදී හොඳින් ඉගෙනගෙන ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගනිමින් අනාගතයට හොඳින් මුහුණ දෙනවා දකින්න දෙමාපියන් කවුරුත් කැමති බව ඇත්තයි. (හිතෝපදේශ 22:29) නමුත් දෙමාපියෙනි, සැප සම්පත් මෙන්ම ජීවිතයේ ඉහළටම යෑම සඳහා අද කාලයේ තිබෙන තරඟකාරී ස්වභාවයට හසු වී ඔබේ දරුවත් ගසාගෙන යෑමට ඉඩහැරීම ඥානවන්ත දෙයක් කියා ඔබ සිතනවාද? මෙය මතක තබාගන්න. තමාගේ අනාගතය මොන වගේ එකක් කරගන්නවාද කියා ඔබේ දරුවා ගන්න තීරණයට, ඔබ කියන දේවල් සහ ඔබ කරන දේවල් ලොකු බලපෑමක් ඇති කරනවා. නියමිත කාලය පැමිණි විට තම දරුවාටත් විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයක් ලබා දීම සඳහා සමහර දෙමාපියන් අවුරුදු ගණනාවක් පටන්ම බොහෝ වෙහෙස මහන්සි වී හරි හම්බ කරනවා. තවත් අය ණයක් අරගෙන හරි තම දරුවාට එවැනි අධ්‍යාපනයක් ලබා දෙන්නයි උත්සාහ කරන්නේ. නමුත් එවැනි අධ්‍යාපනයක් සඳහා වැය වෙන්නේ මුදල් විතරක් නෙවෙයි. මේ තුළින් දරුවා අත් විඳින ප්‍රතිඵල රුපියල් ශතවලින් විතරක් මනින්න බැහැ. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය නිසා ඒ දරුවාට අත් විඳින්න සිදු වන එවැනි ප්‍රතිඵල කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.—ලූක් 14:28-33.

විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ගැන සලකා බැලිය යුතු පැති

9. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයට දරුවෙකුව යොමු කිරීමේදී සලකා බැලිය යුතු එක පැත්තක් සඳහන් කරන්න.

9 ශ්‍රී ලංකාව ඇතුළු සමහර රටවල්වල විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය නොමිලේ ලබාගත හැකි වුණත් පෞද්ගලිකව හෝ වෙනත් රටකට ගොස් ඒ අධ්‍යාපනය ලබාගැනීමට විශාල මුදලක් වැය වෙනවා. එක්තරා අමෙරිකානු පුවත්පතක සඳහන් වුණේ මෙවැනි අධ්‍යාපනයක් තම දරුවන්ට ලබා දෙන්නේ පොහොසත් දෙමාපියන් පමණක් බවයි. ඒ නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සලකනු ලබන්නේ පොහොසත් හා දුප්පත් අය අතර වෙනස පෙන්වන දෙයක් හැටියටයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඒ අය අතර තිබෙන ඇති නැති පරතරය තවත් වැඩි වෙනවා. පොහොසත් දෙමාපියන් බොහෝදෙනෙක් විශ්ව විද්‍යාලවලට තම දරුවන්ව ඇතුළත් කිරීමට උත්සාහ කරන්නේ තම දරුවාවත් සමාජයේ පොහොසත් මෙන්ම තමන් වගේම නම්බුකාර තත්වයකට දරුවාව පත් කරවීමටයි. එවැනි ආකල්පයක් ඇතුව සිටීම ක්‍රිස්තියානි දෙමාපියන්ට සුදුසුද?—ෆිලිප්පි 3:7, 8; යාකොබ් 4:4.

10. ඇතැම් අවස්ථාවලදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ප්‍රතිඵලය කුමක් විය හැකිද?

10 විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රටවල්වල සිටින ශිෂ්‍යයන්ට යම් මුදලක් වැය වෙන්නේ නැති බව ඇත්තයි. නමුත් ඒ වෙනුවට ඔවුන්ට සමහර කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා. එක්තරා ආසියාතික රටක පාසැල් ශිෂ්‍යයන්ට නිතරම පාහේ දක්ෂම ශිෂ්‍යයන් වීමට බල කරන බව එක් පුවත් පතක සඳහන් වුණා. මෙයට හේතුව වෙන්නේ එංගලන්තයේ හෝ අමෙරිකාවේ තිබෙන සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමට එවැනි ශිෂ්‍යයන්ට පමණක් අවස්ථාව ලැබෙන නිසයි. රටක ආණ්ඩුවක් ශිෂ්‍යයන් වෙනුවෙන් එවැනි විශාල මුදලක් වැය කරන්නේ ඇයි? ඔවුන්ගේ අරමුණ වෙන්නේ ඒ ශිෂ්‍යයන්ව රටේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා යොදාගැනීම බව ඒ වාර්තාවේ සඳහන් වුණා. මෙවැනි අධ්‍යාපනයක් ලබාගැනීමට ශිෂ්‍යයෙකුට මුදල් වැය වුණේ නැතත් ඔහුගේ මුළු ජීවිත කාලය යොදවමින් ඒ රටට සේවය කිරීමට ඔහුට සිදු වෙනවා. එසේනම් ක්‍රිස්තියානි දෙමාපියෙකුට අවශ්‍ය කරන්නේ, තමාගේ දරුවාගේ ජීවිතයෙන් වැඩි කාලයක් පහව යන්නට නියමිත මේ ලෝකයේ දියුණුව වෙනුවෙන් වැය කරනවා දකින්නද?—යොහන් 15:19; 1 යොහන් 2:15-17.

11. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර පවතින මත්පැන් භාවිතය සහ අනාචාරයේ යෙදීම ගැන වාර්තාවලින් හෙළි වෙන්නේ කුමක්ද?

11 අපි දැන් තවත් පැත්තක් ගැන සලකා බලමු. ඒ තමයි විශ්ව විද්‍යාල තුළ තිබෙන නරක වාතාවරණය. ඒවා ප්‍රසිද්ධ වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිත කරන, අනාචාරයේ යෙදෙන, වංචා කරන, නවක වදය දෙන අයගෙන් පිරී තිබෙන ස්ථාන හැටියටයි. එක්සත් ජනපදයේ සිටින විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන්ගෙන් සියයට 44ක් පමණ දෙනෙක් එකිනෙකා පරදවමින් තරඟෙට මත්පැන් බීම සති දෙකකට වතාවක්වත් කරන බව නිව් සයන්ටිස්ට් සඟරාවේ සඳහන් වුණා. ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, රුසියාව වැනි තවත් රටවල ඊට සමාන තත්වයක් තිබෙනවා. ශිෂ්‍යයන්ගේ සදාචාරය නම් අන්තයටම පිරිහිලා. සමහර තරුණ තරුණියන් එකිනෙකා අතර සම්බන්ධයක් ආරම්භ කරන්නේ විවාහ වීමට නෙවෙයි. නමුත් ඔවුන්ගේ අරමුණ එක රාත්‍රියක් එකට ගත කිරීම පමණක් බවත් එසේ අනාචාරයේ යෙදීමෙන් පසුව ඔවුන් හැසිරෙන්නේ එකිනෙකාව අඳුරන්නෙවත් නැති ගානට බවත් නිව්ස්වීක් සඟරාවේ සඳහන් වුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සියයට 60 සිට 80 දක්වා ප්‍රමාණයක් මෙවැනි අනාචාර ක්‍රියාවල නියැලෙන බව සමීක්ෂණවලින් හෙළි වෙනවා. “ඔබත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නම් ඒ ක්‍රමයට හැඩගැහෙන්නම ඕනේ” කියා එක් පර්යේෂකයෙක් පැවසුවා.—1 කොරින්ති 5:11; 6:9, 10.

12. විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයන් මුහුණ දෙන තවත් පීඩන මොනවාද?

12 ඒ ඇරෙන්න අධ්‍යාපන කටයුතුවල හා විභාගවල් නිසා ඇති වන පීඩනයත් ඔවුන්ට බලපානවා. විභාගවලින් සමත් වීමට නම් ශිෂ්‍යයන්ට පාඩම් කිරීම සඳහාත් ගෙදර වැඩ කිරීම සඳහාත් වැඩි කාලයක් යෙදවීම අත්‍යවශ්‍ය වෙනවා. ඊට අමතරව සමහර ශිෂ්‍යයන්ට අර්ධ කාලීන රැකියාවක් කිරීමටත් සිදු වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ විශාල කාලයක් හා ශ්‍රමයක් වැය කරමිනුයි. එවැනි පුද්ගලයෙකුට රැස්වීම් හා දේවසේවය වැනි කටයුතු සඳහා වැය කිරීමට කාලයක් ඉතුරු වෙයි කියා ඔබට හිතෙනවාද? මේ නිසා ඔහු හෝ ඇය ඉන්නේ දෙගිඩියාවෙන්. (මතෙව් 6:33) ඔවුන්ගේ කාලයෙන් සහ ශ්‍රමයෙන් වැඩි කොටසක් අධ්‍යාපනික කටයුතුවලට යෙදවීම නිසා හෝ නුසුදුසු හැසිරීමේ යෙදීම නිසා සමහර අය දෙවිට සේවය කිරීම නතර කර තිබීම කොතරම් ඛේදනීය දෙයක්ද! “ඔබ අඥානයන් මෙන් නොව, ප්‍රඥාවන්තයන් මෙන් ගමන් කිරීමට ඉතා සැලකිලිමත් වන්න. දවස් නපුරු බැවින්, ඔබට ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න” කියා බයිබලය ක්‍රිස්තියානීන්ට දිරිගන්වනවා.—එෆීස 5:15, 16.

13. ක්‍රිස්තියානි දෙමාපියන් සිතා බැලිය යුත්තේ කුමන ප්‍රශ්න ගැනද?

13 අනාචාරයේ යෙදීම, දඩබ්බර හැසිරීම මෙන්ම නොයෙක් පීඩන ඇති වෙන්නේ විශ්ව විද්‍යාලවල විතරක් නෙවෙයි. මේ නිසා බොහෝ තරුණ තරුණියන් හිතන්නේ එවැනි දේවල් විශ්ව විද්‍යාලවල සිදු වන සාමාන්‍ය දේවල් කියායි. නමුත් ක්‍රිස්තියානි දෙමාපියෙනි, ඇත්ත තත්වය දැන දැනත් අවුරුදු හතරක් හෝ ඊටත් වඩා වැඩි කාලයක් පුරා ඔබේ දරුවන්ට එවැනි වාතාවරණයක කාලය ගත කිරීමට ඉඩ හරින්න ඔබට පුළුවන්ද? (හිතෝපදේශ 22:3; 2 තිමෝති 2:22) මෙසේ තම ජීවිතය අවදානමේ තබා ලබාගන්නා ප්‍රතිඵලයේ වටිනාකමක් තිබෙනවාද? වඩාත්ම වැදගත් දෙය වෙන්නේ තම ජීවිතයේ මුල් තැන ගත යුත්තේ මොන දේවල්ද කියා ඉගෙනගැනීමයි. එය ඉගෙනගන්න මේ දරුවන්ට කාලය ලැබෙයිද? * (ෆිලිප්පි 1:10; 1 තෙසලෝනික 5:21) මෙවැනි ප්‍රශ්න ගැන මෙන්ම අධ්‍යාපනය ලබාගැනීම සඳහා දරුවන්ව නිවසින් ඈත් කර තැබීමට හෝ වෙනත් රටකට යැවීම ගැන බැරෑරුම්ව සහ යෙහෝවාගේ මඟ පෙන්වීම අයැදිමින් සිතීම දෙමාපියන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

කළ හැකි තවත් දේවල් තිබෙනවාද?

14, 15. (අ) අද කාලයේ බොහෝදෙනෙක් අතර තිබෙන මතවලට වෙනස්ව බයිබලය අපට දිරිගන්වන්නේ කුමක් කිරීමටද? (ආ) තරුණ අයට තමන්ගෙන්ම අසාගත හැකි ප්‍රශ්න මොනවාද?

14 තරුණ අයට තමන්ගේ ජීවිතය සාර්ථක කරගත හැකි එකම ක්‍රමය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබීම කියන එක බොහෝදෙනෙක් අතර අද කාලයේ තිබෙන මතයක්. එවැනි මතයක් දරනවා වෙනුවට ක්‍රිස්තියානීන් දේවවචනයේ තිබෙන මෙම අවවාදය හිතට ගන්නවා. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, [තමන්ගේ] මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2) මේ අවසාන කාලයේ අන්තිම මොහොතේ ජීවත් වන තරුණ මහලු අපි සියලුදෙනාගෙන්ම දෙවි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? පාවුල් තිමෝතිට මෙහෙම දිරිගැන්නුවා. “සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න. නපුර ඉවසන්න. එවැන්ජලිස්තවරයෙකුගේ කාර්යය කරන්න. ඔබේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” එය අපටත් අදාළ වෙන්නේ නැද්ද?—2 තිමෝති 4:5.

15 අද ලෝකයේ සිටින බොහෝදෙනෙක් දේපොළ වස්තු පසුපස හඹා ගියත් ‘සිහිකල්පනාවෙන් සිටින’ අපි සැලකිලිමත් වෙන්නේ අපගේ ජීවිතය තුළ දෙවිගේ සේවයට ලබාදෙන තැන ගැනයි. ඔබ තරුණ කෙනෙක් නම් ඔබෙන්ම මෙහෙම අහන්න. ‘දේවවචනය නිවැරදිව කියා දෙමින් ‘දේවසේවය ඉටු කිරීමට’ මට කළ හැකි උපරිමය කරනවාද? දේවසේවය “සම්පූර්ණයෙන්ම” කිරීම සඳහා මම මගේ ජීවිතය සැලසුම් කර තිබෙන්නේ කොහොමද? පූර්ණ කාලීන දේවසේවය කරන එක ගැන මට සිතා බලන්න පුළුවන්ද?’ මේ දේවල් කරන්න අමාරුයි කියා සමහරවිට ඔබට හැඟෙන්න පුළුවන්. ඊට හේතුව ඔබ අවට සිටින තරුණ තරුණියන් බොහෝදෙනෙක් සෞභාග්‍යමත් අනාගතයක් ලබාගත හැකියයි සිතමින් තමන්ගේම “වාසිය තකා ලොකු දේවල්” සොයා යන ජීවිතයක් ගත කරනවා ඔබ දකින නිසයි. (යෙරෙමියා 45:5, න. අ.) කවදා හෝ තමන්ගේ දරුවන්ටත් එවැනි තීරණයකට මුහුණ දෙන්නට සිදු වෙයි කියා තේරුම්ගන්නා ක්‍රිස්තියානි දෙමාපියන් ළදරු වියේ පටන්ම තම දරුවන්ට සුදුසු ආකාරයේ පුහුණුවක් සහ හොඳ ආශ්‍රයක් ලබා දෙනවා.—හිතෝපදේශ 22:6; දේශනාකාරයා 12:1, 2; 2 තිමෝති 3:14, 15.

16. ප්‍රඥාවන්ත ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන්ට සුදුසු ආශ්‍රයක් ලබා දෙන්නේ කොහොමද?

16 පුරෝගමියෙක් ලෙස අවුරුදු ගණනාවක් සේවය කරමින් සිටි එක් මවක් ගැන ඇගේ පුතා පැවසූ දෙය සලකා බලන්න. ඒ පවුලේ සිටි පිරිමි ළමයි තුන්දෙනාගෙන් වැඩිමලා වූ ඔහු මෙහෙම කියනවා. “අපේ අම්මා අපි කරන ආශ්‍රය ගැන ගොඩාක් සැලකිලිමත් වුණා. අපේ පාසැල්වල සිටි ළමුන් සමඟ අපි කිට්ටු ඇසුරක් පැවැත්වූයේ නැහැ. ඒ වෙනුවට අපි ආශ්‍රය කළේ අපේ සභාවේ සිටින ආදර්ශවත් අයත් එක්ක විතරයි. අපේ අම්මා නිතරම පූර්ණ කාලීන සේවය කළ අයව අපේ ගෙදරට ආරාධනා කළා. වෙනත් රටකින් පැමිණ සේවය කළ අය, සංචාරක අවේක්ෂකයන්, බෙතෙල් සේවකයන් සහ පුරෝගාමීන් මේ අය අතර සිටියා. ඔවුන්ගේ අද්දැකීම්වලට සවන් දීමෙන් සහ ඔවුන්ගේ ප්‍රීතිය දැකීමෙන් අපිටත් පූර්ණ කාලීන සේවය කිරීම සඳහා ලොකු ආශාවක් ඇති වුණා.” ඒ මවගේ දරුවන් තුන්දෙනාම දැන් පූර්ණ කාලීන සේවයේ සිටිනවා දකින්නට ලැබීම මොන තරම් ප්‍රීතියක්ද! ඔවුන්ගෙන් එක් කෙනෙක් බෙතෙල් සේවකයෙක්. තව කෙනෙක් දේවසේවා පුහුණු පාසැලට සහභාගි වුණා. අනිත් කෙනා පුරෝගාමියෙක් ලෙස සේවය කරමින් සිටිනවා.

17. පාසැල් විෂයන් හෝ කරන්න බලාපොරොත්තු වෙන දේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී දෙමාපියන් තම දරුවන්ට දිය යුත්තේ කුමන මඟ පෙන්වීමද? (29වන පිටුවේ ඇති කොටුව බලන්න.)

17 දෙවිට ගොඩාක් ප්‍රේම කරන අයව ආශ්‍රය කරන්න තම දරුවන්ට අවස්ථාව සලසා දෙනවාට අමතරව ඔවුන් තෝරාගන්න පාසැල් විෂයන් සහ කරන්න බලාපොරොත්තු වන දේ ගැන මුල පටන්ම හොඳ මඟ පෙන්වීමක් සැපයීම දෙමාපියන්ගේ වගකීමක්. දැනට බෙතෙල්හි සේවය කරන තවත් තරුණයෙක් මෙහෙම කියනවා. “මගේ අම්මයි තාත්තයි විවාහ වෙන්න පෙරත් පසුවත් පුරෝගාමි සේවය කළා විතරක් නෙවෙයි අපේ පවුලේ අයට පුරෝගාමි සේවය කිරීම සඳහා ආශාවක් ඇති කරන්න උත්සාහයක්ද දැරුවා. පාසැල් විෂයන් ගැන තීරණ ගැනීමේදී හෝ අපේ අනාගතයට බලපාන දෙයක් ගැන තීරණ ගැනීමේදී ඔවුන් අපිට දිරිගැන්නුවේ පුරෝගාමි සේවය කරන ගමන් කළ හැකි අර්ධ කාලීන රැකියාවක් ලෙහෙසියෙන් සොයා ගැනීමට අවශ්‍ය සුදුසුකම් අත්කර ගැනීමටයි.” විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය සඳහා කෙනෙක්ව සූදානම් කරන විෂයන් තෝරනවා වෙනුවට, පූර්ණ කාලීන සේවය කරන අතර තමන්ගේ ජීවිතය පවත්වාගැනීමට රුකුලක් වන පාඨමාලාවක් තෝරාගැනීම ගැන දෙමාපියන් හා දරුවන් කල්පනා කිරීම හොඳ දෙයක් නෙවෙයිද? *

18. තරුණ අයට සිතා බැලිය හැක්කේ තමන්ට කළ හැකි මොන වගේ දේවල් ගැනද?

18 මෙසේ කිරීම ඥානවන්ත දෙයක් වෙන්නේ ඇයි? ඊට හේතුව බොහෝ රටවල්වල වැඩි ඉල්ලුමක් තිබෙන්නේ විශ්ව විද්‍යාලීය උපාධිධාරීන්ට නොවන නිසයි. ඒ ගැන එක්තරා පුවත්පතක සඳහන් වූ පරිදි ඉදිරි වසරවලදී රැකියා අවස්ථාවලින් සියයට 70 ක්ම තිබෙන්නේ විශ්ව විද්‍යාලීය උපාධිධාරීන්ට නොව යම් කාර්මික හෝ වෘත්තීය පුහුණු පාසලකින් සහතිකයක් ඇති අයටයි. එවැනි ආයතනයකින් පුහුණුවක් ලැබිය හැකි පාඨමාලා රාශියක් තිබෙනවා. ඒවාවලට කාර්යාලීය වැඩ, වාහන අලුත්වැඩියා කිරීම, පරිගණක අලුත්වැඩියා කිරීම, ජල නළ සවි කිරීම, කොණ්ඩා මෝස්තර දැමීම වැනි තවත් බොහෝ පාඨමාලා ඇතුළත්. එවැනි දේවල් කිරීමෙන් සමාජයේදී තමන්ට ලැබෙන්නේ අඩු තත්වයක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒත් තම ජීවිතයේ මුල් තැන දෙවිගේ සේවයට දීමට සිතාගෙන සිටින කෙනෙකුට, ඒ සඳහා අවශ්‍ය කරන කාලය සොයාගැනීමටත් තම ජීවිතයේ එදිනෙදා අවශ්‍යතා සපුරාලන්න අවශ්‍ය මුදල් සොයාගැනීමටත් එවැනි දේවල් කිරීම උපකාරවත් වෙයි.—2 තෙසලෝනික 3:8.

19. කෙනෙකුට අනිවාර්යයෙන්ම තම ජීවිතයේ ප්‍රීතිය හා තෘප්තිය ලබාගත හැක්කේ කුමක් කිරීමෙන්ද?

19 කෙනෙකුට මේ කාලයේ කළ හැකි හොඳම දෙය ගැන බයිබලය පවසන්නේ මේ විදිහටයි. ‘තරුණ තරුණියෙනි . . . මොව්හු යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කෙරෙත්වා; ඔහුගේ නාමය පමණක් උසස්ය. ඔහුගේ මහිමය අහසත් පොළොවත් ඉක්මවා යන්නේය.’ (ගීතාවලිය 148:12, 13, න. අ.) අද ලෝකය ඉදිරිපත් කරන තනතුරු හා සැපසම්පත් සොයා යනවා වෙනුවට යෙහෝවා දෙවිට පූර්ණ කාලීනව සේවය කිරීම සඳහා තම ජීවිතය කැප කරන හැමෝටම ප්‍රීතිය හා තෘප්තිය අද්දකින්න ලැබෙනවා නොඅනුමානයි. බයිබලය අපට දෙන සහතිකය කවදාවත් අමතක කරන්න එපා. එනම් “යෙහෝවාගේ ආශීර්වාදය පොහොසත් කරයි; ඔහු ඊට කිසි දුකක් එකතු නොකරන්නේය.”—හිතෝපදේශ 10:22.

[පාදසටහන්වල]

^ 13 ඡේ. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයට වඩා දෙවිගේ කාරණාවලට මුල් තැන දුන් අය ගැන විස්තර සඳහා 1987 නොවැම්බර් 1 මුරටැඹ කලාපයේ 14-22 දක්වා පිටුද 1997 ජනවාරි 8 පිබිදෙව්! කලාපයේ 12-16 දක්වා පිටුද බලන්න.

^ 17 ඡේ. වර්ෂ 1998 ඔක්තෝබර් 8 පිබිදෙව්! කලාපයේ 4-6 දක්වා පිටුවල තිබෙන “සුරක්ෂිත ජීවිතයක් සොයා” සහ 1989 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 30-32 දක්වා පිටුවල තිබෙන “මම තෝරාගත යුත්තේ කුමන වෘතියද?”යන ලිපි බලන්න.

ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද?

• සුරක්ෂිත අනාගතයක් ලබාගැනීම සඳහා ක්‍රිස්තියානීන් විශ්වාසය තබන්නේ කුමක් මතද?

• තම දරුවන්ගේ අනාගතය ගැන ක්‍රිස්තියානි දෙමාපියන්ට මොන වගේ තීරණ ගන්න සිදු වෙනවාද?

• විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන සිතද්දී සලකා බැලිය යුතු පැති මොනවාද?

• පූර්ණ කාලීන සේවය කිරීම සඳහා තම දරුවන්ව දිරිගැන්වීමට දෙමාපියන්ට කළ හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ කොටුව]

විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයේ වටිනාකමක් තිබෙනවාද?

විශ්ව විද්‍යාලවලට ඇතුල් වී උපාධියක් ලබාගැනීමට වෑයම් කරන බොහෝදෙනෙකුගේ බලාපොරොත්තුව වෙන්නේ හොඳ වැටුපක් ලැබෙන ස්ථිර රැකියාවක් ලබාගැනීමයි. නමුත් එසේ උපාධියක් ලබාගැනීමට හැකි වෙන්නේ මෙවැනි අයගෙන් 25%ක් පමණ දෙනෙකුට බවත් ඒ සඳහා ඔවුන්ට වසර හයක් බලා සිටීමට සිදු වෙන බවත් ඇතැම් වාර්තාවලින් පැහැදිලි වෙයි. එසේ අමාරුවෙන් උපාධියක් ලබාගත්තත් ඒ නිසා ඔවුන්ට අනිවාර්යයෙන් හොඳ රැකියාවක් ලැබෙයි කියලා කියන්න පුළුවන්ද? සමහර සමීක්ෂණවලින් හෙළි වූ දේ සලකා බලන්න.

‘එංගලන්තයේ හෝ අමෙරිකාවේ තිබෙන විශ්ව විද්‍යාලවල ඉගෙනගත් පමණින් අනිවාර්යයෙන්ම වැඩි වැටුපක් සහිත උසස් රැකියාවක් ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. බොහෝ ආයතනවලට අවශ්‍ය වෙන්නේ තමන් යටතේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයාට තිබෙන සහතිකවලට වඩා ඔහු කරන වැඩය ගැන ඔහුට තිබෙන හැකියාවයි.’—1999 නොවැම්බර් 1, Newsweek.

‘අද කාලයේ රැකියා ලබාගැනීම සඳහා කලින්ටත් වඩා වැඩි දක්ෂතාවන් අවශ්‍ය වන බව ඇත්තයි. නමුත් ඒ සඳහා කෙනෙකුට අවශ්‍ය වෙන්නේ විශ්ව විද්‍යාලීය අධ්‍යාපනයක්ම නෙවෙයි. නමුත් කියවීමේ සහ ලිවීමේ හැකියාව ඇති ගණිතය පිළිබඳ දැනුමක් තිබෙන සාමාන්‍ය පෙළ මට්ටමේ අධ්‍යාපනයක් ලබපු කෙනෙකුට වුණත් ඔහුට තිබෙන දක්ෂතා උපයෝගී කරගනිමින් හොඳ රැකියාවක් සොයාගන්න පුළුවන්.’—American Educator, Spring 2004.

‘විශ්ව විද්‍යාල අධ්‍යාපනය රැකියා අවශ්‍යතා සපුරාලීමට උදව් කරන්නේ නැති නිසා බොහෝදෙනෙක් අද ඇදී යමින් සිටින්නේ වෘත්තීය පුහුණු පාඨමාලා වෙතටයි. වර්ෂ 1996 සිට 2000 දක්වා මෙවැනි පාසැල්වලට ඇතුල් වන අයගේ සංඛ්‍යාව සියයට 48කින් වැඩිවීමෙන් මෙය පැහැදිලි වෙනවා. ඒ නිසා විශ්ව විද්‍යාලීය උපාධියක් ලබාගැනීම ගැන බොහෝදෙනෙක් සිතන්නේ වියදම් අධික, කාලය කාදමන දෙයක් හැටියටයි.’—2005 ජනවාරි 24, Time.

‘එක්සත් ජාතීන්ගේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2005 වාර්තාවේ සඳහන් වුණේ විශ්ව විද්‍යාලීය උපාධිධාරීන්ගෙන් තුනෙන් එකකටම ඔවුන්ගේ උපාධියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැති බවයි.’—2000 ජූලි/අගෝස්තු, The Futurist.

මේ අනුව විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය ලබාගැනීම ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්ද කියා බොහෝ ගුරුවරුන් දැන් කල්පනා කරමින් සිටිනවා. “අපි ලබාදෙන අධ්‍යාපනය රැකියාවක් කිරීමට සුදුසු එකක් නෙවෙයි” කියා ෆ්‍යූචරිස්ට් සඟරාවේ සඳහන් වුණා. මීට වෙනස්ව බයිබලයේ දෙවි පවසන දෙය සැලකිල්ලට ගන්න. “ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය; අහෝ, ඔබ මාගේ ආඥාවලට කන්දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.

[26වන පිටුවේ පින්තූරය]

ඔවුන් යේසුස්ව අනුගමනය කළේ ඔවුන්ගේ රැකියා පවා අත්හැර දැමීමෙනුයි

[31වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි දෙමාපියන් බාල වියේ පටන්ම තම දරුවන්ට හොඳ ආශ්‍රයක් භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙනවා