Skip to content

පටුනට යන්න

“සෝදිසියෙන් සිටින්න” විනිශ්චයේ පැය පැමිණ තිබේ!

“සෝදිසියෙන් සිටින්න” විනිශ්චයේ පැය පැමිණ තිබේ!

“සෝදිසියෙන් සිටින්න” විනිශ්චයේ පැය පැමිණ තිබේ!

මෙම පාඩම් ලිපියේ තොරතුරු පදනම් වී ඇත්තේ 2004/05 වර්ෂයේ ලොව පුරා පවත්වනු ලැබූ දිස්ත්‍රික් සමුළුවලදී මුදාහරිනු ලැබූ සෝදිසියෙන් සිටින්න! නමැති විවරණිකාව මතයි.

“සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.”—මතෙව් 24:42.

1, 2. යේසුස් තම පැමිණීම සමාන කළේ කුමකටද?

ඔබ ජීවත් වන ප්‍රදේශයේ ගෙවල් බිඳින සොරෙක් ගැවසෙනවා කියා ඔබට දැනගන්න ලැබුණොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ආදරේ කරන අයව හා ඔබට වටිනා කියන දේවල් ආරක්ෂා කරගැනීම සඳහා ඔබ විපරමින් හා සෝදිසියෙන් සිටින්නේ නැද්ද? සොරෙක් කවදාවත් ඔහු එන වෙලාව දන්වා ලියුමක් එවන්නේ නම් නැහැ. ඒ වෙනුවට ඔහු එන්නේ හීන්සැරේ, කවුරුත් නොසිතන වෙලාවකයි. සෝදිසියෙන් සිටීම එතරම් වැදගත් වෙන්නේ ඒ නිසයි.

2 අවස්ථා කිහිපයකදීම යේසුස් සොරෙක් සම්බන්ධ උදාහරණ ගැන සඳහන් කළා. (ලූක් 10:30; යොහන් 10:10) අන්තිම කාලයේ සිදු වන දේවල් ගැන කතා කළ එක් අවස්ථාවකදීත් ඔහු එම උදාහරණය යොදාගත්තා. තමා විනිශ්චය ඉටු කිරීම සඳහා පැමිණෙන අවස්ථාවට පෙර අන්තිම කාලයේ සිදු වන දේවල් ගැන පැවසීමෙන් පසුව ඔහු එම උදාහරණය යොදාගනිමින් මෙම අනතුරු ඇඟවීම දුන්නා. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත. නමුත් මේ දේ දැනගන්න. එනම්, සොරා කොයි රැකවල් යාමයේ එන්නේදැයි ගෙහිමියා දැන සිටියා නම්, ඔහු අවදිව සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙනු ඇත.” (මතෙව් 24:42, 43) මේ ආකාරයට සොරෙක් නොසිතන වෙලාවකදී පැමිණෙනවා හා සමානව තමාත් පැමිණෙන බව යේසුස් කියා සිටියා.

3, 4. (අ) විනිශ්චය ක්‍රියාත්මක කිරීමට තමා එන කාලය ගැන යේසුස් දුන් අනතුරු ඇඟවීමට කීකරු වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) මෙහිදී මතු වෙන ප්‍රශ්න මොනවාද?

3 විනිශ්චය ක්‍රියාත්මක කිරීමට යේසුස් හරියටම එන්නේ කවදාද කියා කිසිම කෙනෙකුට දැනගන්න ලැබෙන්නේ නැති නිසා ඒ උදාහරණය කදිමට ගැළපුණා. ඒ ගැන පැවසීමට පෙර “පියාණන් මිස ඒ දවස හා පැය කිසිවෙක් දන්නේ නැත. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත” කියා යේසුස් සඳහන් කර තිබුණා. (මතෙව් 24:36) තමන්ට සවන් දෙමින් සිටි අයට යේසුස් මෙහෙම උනන්දු කළා. “ඔබත් සූදානමින් සිටින බව පෙන්වන්න.” (මතෙව් 24:44) යෙහෝවා දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරන්න යේසුස් කොයි දවසේ පැමිණියත් ඒ අනතුරු ඇඟවීමට කීකරු වන අය සූදානමින් සහ නිසි හැසිරීමක් පවත්වාගනිමින් සිටිය යුතුයි.

4 නමුත් මෙහිදී වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. යේසුස් ඒ අනතුරු ඇඟවීම දුන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැති අයටද? එහෙමත් නැත්නම් සැබෑ ක්‍රිස්තියානීනුත් “සෝදිසියෙන් සිටින්න” අවශ්‍යද? එසේනම්, ‘සෝදිසියෙන් සිටීම’ එතරම් හදිසි දෙයක් වන්නේ ඇයි? අප ‘සෝදිසියෙන් සිටින’ බව පෙන්වන්නේ කොහොමද?

මෙම අනතුරු ඇඟවීම කාටද?

5. “සෝදිසියෙන් සිටින්න” යන අනතුරු ඇඟවීම සැබෑ ක්‍රිස්තියානීන්ට අදාළ වන බව අපි කියන්නේ කොහොමද?

5 යෙහෝවා දෙවිට නමස්කාර කරන්නේ නැති අයට විනිශ්චය ක්‍රියාත්මක කිරීම සඳහා යේසුස්ගේ පැමිණීම සොරෙකුගේ පැමිණීම මෙන් සිදු වන බව සැබෑවක්. ඊට හේතුව පැමිණීමට නියමිත විපත්ති සම්බන්ධයෙන් යේසුස් දුන් එම අනතුරු ඇඟවීම ඔවුන් ගණන් නොගෙන සිටින නිසයි. (2 පේතෘස් 3:3-7) එහෙත් සැබෑ ක්‍රිස්තියානීන් ගැන කියන්න පුළුවන් මොනවාද? පාවුල් අනෙකුත් ඇදහිලිවන්තයන්ට ලීවේ මෙයයි. “රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවාගේ දවස පැමිණෙන බව ඔබම හොඳාකාරයෙන් දන්නහුය.” (1 තෙසලෝනික 5:2) අනිවාර්යයෙන්ම “යෙහෝවාගේ දවස පැමිණෙන බව” අපි හොඳින් දන්නවා. එයින් අදහස් කරන්නේ සෝදිසියෙන් සිටින්න කියා යේසුස් පැවසූ දේ සැබෑ ක්‍රිස්තියානීන් වන අපිට අදාළ වෙන්නේ නැහැ කියලාද? “ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය” කියා යේසුස් පවසද්දී ඔහු කතා කළේ තම ගෝලයන්ට බව මතක තබාගන්න. (මතෙව් 24:44) නොකඩවා දේවරාජ්‍යය සොයන්න කියා යේසුස් තම ගෝලයන්ට මීට පෙර අවස්ථාවකදී උනන්දු කළ විට ඔහු මෙම අනතුරු ඇඟවීම දුන්නා. “සූදානමින් සිටින්න. මන්ද ඔබ නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන්නේය.” (ලූක් 12:31, 40) එමනිසා “සෝදිසියෙන් සිටින්න” කියා යේසුස් පවසද්දී ඔහුගේ මනසේ තිබුණේ තම අනුගාමිකයන් බව මින් පැහැදිලි වෙනවා.

6. අපි ‘සෝදිසියෙන් සිටිය’ යුත්තේ ඇයි?

6 එසේනම්, අපිට “සෝදිසියෙන් සිටින්න” සහ “සූදානමින් සිටින්න” අවශ්‍ය වෙන්නේ ඇයි? යේසුස් එය පැහැදිලි කළේ මේ ආකාරයටයි. “මිනිසුන් දෙදෙනෙකු කෙතෙහි සිටිනු ඇත. එක් තැනැත්තෙකුව ගෙන යනු ලැබේ, අනික් තැනැත්තාව අත්හරිනු ලැබේ. ස්ත්‍රීන් දෙදෙනෙකු ඇඹරුම් ගලේ අඹරමින් සිටිනු ඇත. එක් තැනැත්තියකව ගෙන යනු ලැබේ, අනික් තැනැත්තියව අත්හරිනු ලැබේ.” (මතෙව් 24:40, 41) දෙවිගෙන් ඈත් වූ මිනිස් සමාජය විනාශ වන කාලයේදී ‘ගෙන යනු ලබන’ අය හෙවත් ගලවනු ලබන අය වෙන්නේ තමන් සූදානමින් සිටින බව පෙන්වන අයයි. අනිත් අයව විනාශ වීම සඳහා ‘අත්හරිනු ලබනවා.’ එසේ විනාශ වෙන්නේ ඔවුන් ආත්මාර්ථකාමීව තමන්ටම ඕන විදිහට ජීවිතය ගත කරන නිසයි. කාලයක් සත්‍යය දැනගෙන සිටියත් සෝදිසියෙන් නොසිටින අයත් මීට ඇතුළත් වෙනවා.

7. අවසානය එන්නේ කවදාද කියා අපි දන්නේ නැතත් අපට කළ හැක්කේ කුමක්ද?

7 මේ සමාජ ක්‍රමයේ අවසානය එන්නේ කවදාද කියා අපි හරියටම දන්නේ නැති වුණත් දෙවිට සේවය කිරීමෙන් පෙන්වන්නේ අපි ඔහුට ප්‍රේම කරන බවයි. අපි එහෙම කියන්නේ ඇයි? සමහරවිට අවසානය එන්න හුඟාක් කල් ගත වෙනවා වගේ අපිට පෙනෙන්න පුළුවන්. මේ ආකාරයට හැඟුණු සමහර ක්‍රිස්තියානීන් කලක් යෙහෝවාට උද්‍යෝගයෙන් සේවය කළත් දැන් ඔවුන්ට තිබූ ඒ උද්‍යෝගය අඩු වී තිබෙනවා. එහෙත් අපි යෙහෝවාට කැප වුණේ කිසිම කොන්දේසියක් නැතුව දිගටම ඔහුට සේවය කිරීමට පොරොන්දු වෙමිනුයි. අන්තිම මොහොතේ දැඩි උද්‍යෝගයක් පෙන්වූ පමණින් යෙහෝවාගේ සිත දිනාගන්න බැහැ කියා ඔහුව හොඳින් දන්නා අය තේරුම් ගෙන තිබෙනවා. ඒ, අපේ සිත්වල තිබෙන දේ තේරුම්ගන්න ඔහුට පුළුවන් නිසයි.—1 සාමුවෙල් 16:7.

8. යෙහෝවා දෙවිට තිබෙන ප්‍රේමය සෝදිසියෙන් සිටීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නේ කොහොමද?

8 අපි ඇත්තටම යෙහෝවාට ප්‍රේම කරන නිසා ඔහුගේ කැමැත්ත කරන එක තමයි අපේ ලොකුම ප්‍රීතිය වෙන්නේ. (ගීතාවලිය 40:8; මතෙව් 26:39) ඒ වගේම සදාකාලයටම ඔහුට සේවය කරන එක අපේ එකම ආශාවයි. සමහරවිට යෙහෝවාගේ දවස පැමිණෙන තෙක් අපි සිතනවාටත් වඩා ටිකක් වැඩි කාලයක් බලා ඉන්න සිදු වෙන්න පුළුවන්. ඒ වුණත් යෙහෝවාට සදාකාලයටම සේවය කිරීම සඳහා අපට තිබෙන ඒ අනර්ඝ බලාපොරොත්තුවේ අගය නම් කිසිවිටකත් අඩු වෙන්නේ නැහැ. යෙහෝවාගේ දවස ඔහුගේ අරමුණ ඉටුවීමේ ප්‍රධාන තැනක් ගන්නවා. අපි සෝදිසියෙන් සිටීමට මූලික හේතුව නම් එය ඉටු වන ආකාරය දකින්න අපි තුළ මහත් ආශාවක් තිබීමයි. ඒ වගේම අපේ ජීවිතයේ හැම කාරණයකදීම ඔහුගේ වචනයේ තිබෙන උපදෙස් අදාළ කරගන්නත් ඔහුගේ රාජ්‍යයට මුල්තැන දෙන්නත් අපව පෙලඹෙන්නේ දෙවිව සතුටු කිරීමට අපට මහත් ආශාවක් තිබෙන නිසයි. (මතෙව් 6:33; 1 යොහන් 5:3) අපි ගන්න තීරණවලටත් අපගේ ජීවිතය ගත කරන ආකාරයටත් සෝදිසියෙන් සිටීම බලපෑ යුතු ආකාරය ගැන දැන් අපි සලකා බලමු.

ඔබ ජීවත් වන ආකාරයෙන් පැහැදිලි වෙන්නේ කුමක්ද?

9. දෙවිගෙන් ඈත් වූ මිනිසුන්ට අපගේ කාලයේ සිදු වන සිදුවීම්වල අර්ථය වටහාගැනීම හදිසි අවශ්‍යතාවක් වී තිබෙන්නේ ඇයි?

9 බරපතළ ගැටලු සහ සිත කම්පා කරවන සිදුවීම් දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා කියා බොහෝදෙනෙකුට පැහැදිලිව පෙනී යනවා. ඒ වගේම තමන් ගත කරමින් සිටින ජීවිතය ගැන ඔවුන් සතුටු වෙන්නෙත් නැතුව ඇති. කොහොමවුණත් ලෝක තත්වයන් ගැන ඔවුන්ට අහන්න දකින්න ලැබෙන දේවල්වල නියම හේතුව ඔවුන් වටහාගෙන තිබෙනවාද? ඒ වගේම අපි ජීවත් වෙමින් සිටින්නේ මේ “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ” බව දෙවිගෙන් ඈත් වී සිටින මේ මිනිසුන් තේරුම්ගෙන සිටිනවාද? (මතෙව් 24:3) සමාජය පුරා දක්නට ලැබෙන ආත්මාර්ථකාමිත්වය, සැහැසියාව සහ දෙවිව අසතුටු කරවන ආකල්පවලින් පෙනී යන්නේ මේ “අන්තිම දවස්” බවයි. එය ඔවුන් තේරුම්ගෙන තිබෙනවාද? (2 තිමෝති 3:1-5) මේ හැම දෙයකම අර්ථය වටහාගැනීමට හා ඔවුන් ජීවත් වන ආකාරය ගැන බැරෑරුම්ව සිතා බැලීම හදිසි දෙයක් වී තිබෙනවා.

10. අපි සිටින්නේ සෝදිසියෙන් කියලා අපිටම නිසැක වීමට නම් අපි කළ යුත්තේ කුමක්ද?

10 ඒත් අපි ගැන කියන්න පුළුවන් මොනවාද? අපේ රැකියාව, සෞඛ්‍යය, පවුල හා අපේ නමස්කාරය සම්බන්ධයෙන් සෑම දවසකම තීරණ ගන්න අපට සිද්ධ වෙනවා. ඒ ගැන බයිබලය මොනවාද කියන්නේ කියලා අපි දන්නවා. ඒ වගේම ඒවා ජීවිතයට අදාළ කරගන්නත් අපි උත්සාහ කරනවා. ඒත් මේ ගැන ටිකක් සිතා බලන්න. ‘ජීවිතයේ තිබෙන කරදර නිසා මම දෙවිට කරන නමස්කාරයෙන් ඈත් වෙලාද? මම කරන දේවල් තීරණය වෙන්නේ දෙවිගෙන් ඈත් වූ මිනිසුන්ගේ අදහස් හා මතිමතාන්තරවලට අනුවද?’ (ලූක් 21:34-36; කොලොස්සි 2:8) මේ කාරණා ගැන අපි හිතන දේ විතරක් හරි කියා හිතන්නේ නැතිව මුළු සිතින් යෙහෝවා දෙවිව විශ්වාස කරන බව දිගටම පෙන්වීම අවශ්‍යයි. (හිතෝපදේශ 3:5) එසේ කිරීමෙන් “සැබෑ ජීවිතය” එනම් දෙවි පොරොන්දු වී තිබෙන පාරාදීසයේ සදාකාල ජීවිතය “තදින් අල්ලාගැනීමට” අපිට හැකි වේවි!—1 තිමෝති 6:12, 19.

11-13. (අ) නෝවාගේ කාලයේ සිදු වූ දෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) ලොත්ගේ කාලයේ සිදු වූ දෙයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

11 සෝදිසියෙන් සිටීමට අපට උපකාරවත් වන අනතුරු ඇඟවීමේ ආදර්ශ ගණනාවක් බයිබලයේ අඩංගු වෙනවා. නෝවාගේ කාලයේ සිදු වූ දේ ගැන ඔබට මතකද? දෙවි ඒ විනාශය ගෙන ඒමට බොහෝ කාලයකට පෙර ඒ මිනිසුන්ට අනතුරු ඇඟෙව්වා. ඒත් නෝවා සහ ඔහුගේ පවුලේ අය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එය ගණනකටවත් ගත්තේ නැහැ. (2 පේතෘස් 2:5) ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “නෝවාගේ දවස්වල සිදු වූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය. මන්ද ජලගැල්මට පෙර ඒ දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා, ඔවුහු කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නොකර සිටියහ. එලෙසම මනුෂ්‍ය පුත්‍රයාගේ පැමිණ සිටීමද වන්නේය.” (මතෙව් 24:37-39) ඉන් අපට ඉගෙන ගත හැකි පාඩම මොකක්ද? දෙවි අපට උනන්දු කර තිබෙන්නේ දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙන්න කියයි. ඒත් එසේ නොකර අපි එදිනෙදා ජීවිතයේ දේවල්වලට, ඒ කියන්නේ ජීවිතයේ සාමාන්‍ය දේවල්වලට පවා මුල් තැන දෙනවා නම්, අපි අපේ ජීවිතය ගත කරන ආකාරය ගැන නැවත වතාවක් බැරෑරුම්ව සිතා බැලීම අවශ්‍ය දෙයක් වෙනවා.—රෝම 14:17.

12 අපි දැන් ලොත්ගේ කාලයේ සිදු වූ දෙයක් ගැන ටිකක් සිතමු. ලොත් ඔහුගේ පවුලේ අයත් එක්ක ජීවත් වුණේ සොදොම් නම් ධනවත් නගරයෙයි. ඒත් ඒ කාලයේදී ඒ නගරය සදාචාර අතින් අන්ත ලෙස පිරිහුණු නගරයක් වී තිබුණා. යෙහෝවා ඒ නගරය විනාශ කර දමන්න ඔහුගේ දේවදූතයන්ව එව්වා. ඒ දේවදූතයන් ලොත් සහ ඔහුගේ පවුලේ අයගෙන් ඕනෑකමින් ඉල්ලා සිටියේ පසු පස නොබලා සොදොම් නගරයෙන් පලා යන්න කියායි. ඔවුන් දේවදූතයන් කී ලෙස පලා ගියත්, ඒ යන අතරතුරේදී ලොත්ගේ භාර්යාව සිතමින් සිටියේ ඇය එතෙක් ජීවත් වූ නිවස ගැනයි. දේවදූතයන්ගේ කීමට අකීකරු වූ ඇය ඔවුන් අතහැර ආ දේ ගැන තැවෙමින් ආපසු හැරී බැලුවා. ඒ නිසා ඇගේ ජීවිතය ඇයට අහිමි වුණා. (උත්පත්ති 19:15-26) අපිටත් අනාගතයේදී මෙවැනි දෙයක් සිදු වෙන්න පුළුවන් බව පවසමින් යේසුස් මෙහෙම කිව්වා. “ලොත්ගේ බිරිඳව සිහි කරන්න.” ඒ අනතුරු ඇඟවීම සිතට ගෙන තිබෙන බව අපි ජීවත් වන ආකාරයෙන් අපි පෙන්වනවාද?—ලූක් 17:32.

13 අතීතයේදී දෙවිගේ අනතුරු ඇඟවීම්වලට කීකරු වූ අය බේරුණා. නෝවා සහ ඔහුගේ පවුලේ අය මෙන්ම ලොත් සහ ඔහුගේ දියණියන් අද්දැක්ක දෙයින් මෙය ඔප්පු වෙනවා. (1 පේතෘස් 2:9) ඔබ මේ සිදුවීම්වලින් කියාපාන දේ ගැන බැරෑරුම්ව සිතා බැලුවාද? ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන අයට ලැබෙන ගැලවීම ගැන එම සිදුවීම්වලින් පැහැදිලිව පෙනී යනවා. මෙය අපට කොතරම් දිරිගැන්වීමක්ද? “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක්” ගැන දෙවි දී තිබෙන පොරොන්දුව ඉටු වන බවට පූර්ණ විශ්වාසයක් තබා ගන්න අපිට එයින් හැකි වෙනවා.—2 පේතෘස් 3:13.

“විනිශ්චයේ පැය පැමිණ තිබේ”!

14, 15. (අ) විනිශ්චයේ ‘පැයට’ ඇතුළත් වෙන්නේ කුමක්ද? (ආ) ‘දෙවිට භය වී ඔහුව මහිමයට පත් කිරීමට’ අයත් වෙන්නේ කුමන දේවල්ද?

14 අප සෝදිසියෙන් සිටිනවා නම් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? එළිදරව් පොතේ ඒ ගැන සඳහන් වෙනවා. එහි දෙවිගේ අරමුණු ඉටු වන ආකාරය ගැන පියවරෙන් පියවර පැහැදිලි කර තිබෙනවා. අප සූදානමින් සිටින බව පෙන්වන්න නම් එහි කියා තිබෙන දේවල් ඒ විදිහටම කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ අනාවැකියේ “ස්වාමීන්ගේ දවස” තුළ සිදු වන සිදුවීම් ඉතා පැහැදිලිව විස්තර කරනවා. ඒ දවස ආරම්භ වුණේ ක්‍රිස්තුස් ස්වර්ගයේ රජ ලෙස පාලනය කරන්න පටන්ගත් 1914 වසරේදීයි. (එළිදරව් 1:10) “සදාකාල ශුභාරංචියක්” භාර දී ඇති දේවදූතයෙක් වෙතට එළිදරව් පොත අපේ අවධානය යොමු කරනවා. ඔහු මහත් හඬකින් ප්‍රකාශ කරන්නේ මෙයයි. “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න. මන්ද, ඔහුගේ විනිශ්චයේ පැය පැමිණ තිබේ.” (එළිදරව් 14:6, 7) ඒ විනිශ්චයේ “පැය” කීමෙන් අදහස් කරන්නේ ඉතාමත්ම කෙටි කාලයක්. ඒ කෙටි කාලයට ඒ අනාවැකියේ සඳහන් විනිශ්චයන් ප්‍රකාශ කිරීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් ඇතුළත් වෙනවා. අපි දැන් ජීවත් වෙන්නේ ඒ කෙටි කාලය තුළයි.

15 දැන්, ඒ කියන්නේ විනිශ්චයේ පැය අවසන් වෙන්නට කලින් “දෙවිට භය ඇතිව සිටින්න. ඔහුව මහිමයට පත් කරන්න” කියා අපට උනන්දු කර තිබෙනවා. දෙවිගේ සිත රිදවීමට තිබෙන අකමැත්ත නිසා අපි නපුරෙන් වැළකී සිටීම මෙයට ඇතුළත් වෙනවා. (හිතෝපදේශ 8:13) අපි දෙවිට ගරු කරනවා නම් අපි ඔහු පවසන දේවල් ගෞරවාන්විතව සිතට ගන්නවා. අපි කොතරම් වැඩ බහුලව සිටියත් ඔහුගේ වචනය වන බයිබලය නිතිපතා කියවීම අපි අතපසු කරන්නේ නැහැ. ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන්න කියා දෙවි දී තිබෙන උපදෙස අපි සුළු කරන්නෙත් නැහැ. (හෙබ්‍රෙව් 10:24, 25) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීම අපට ලැබී තිබෙන උතුම් වරප්‍රසාදයක් ලෙස අප සලකන නිසා ඒ කාර්යයෙහි අපි උද්‍යෝගයෙන් නියැලෙනවා. හැම අවස්ථාවකදීම අපේ මුළු සිතින් යෙහෝවා දෙවිව විශ්වාස කරනවා. (ගීතාවලිය 62:8) මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා යෙහෝවා දෙවි බව අපි පිළිගන්න නිසා ඒ පාලනයට කැමැත්තෙන්ම යටත් වීමෙන් අපි ඔහුට ගරු කරන බව පෙන්වනවා. ඒ සෑම ආකාරයකින්ම ඇත්තටම දෙවිට භය වී ඔහුව මහිමයට පත් කරන බව ඔබ පෙන්වනවාද?

16. එළිදරව් 14:8හි සඳහන් මහා බැබිලෝනියට විරුද්ධව කර තිබෙන විනිශ්චය දැනටමත් ඉටු වී තිබෙන බව අපි කියන්නේ කොහොමද?

16 විනිශ්චයේ පැය ඇතුළත සිදු වන තවත් සිදුවීම් කිහිපයක් ගැන එළිදරව් පොතේ 14වන පරිච්ඡේදයේ විස්තර කරනවා. මුලින්ම ලෝකයේ තිබෙන සියලුම බොරු ආගම් වන මහා බැබිලෝනියට සිදු වෙන්නට යන දේ ගැන එහි මෙහෙම සඳහන් වෙනවා. “ඉන්පසු දෙවන දේවදූතයෙක් ඇවිත්, ‘ඈ වැටුණාය! . . . මහ බැබිලෝනිය වැටුණාය!’ යි කීවේය.” (එළිදරව් 14:8) දෙවි සලකන්නේ දැනටමත් මහා බැබිලෝනිය වැටිලා කියලයි. අවුරුදු දහස් ගණනක් පුරා මේ බොරු ආගම් එහි ඉගැන්වීම් සහ සිරිත් විරිත්වලින් මිනිසුන්ව පාලනය කර තිබෙනවා. නමුත් යෙහෝවාගේ සේවකයන් 1919දී ඒ වහල්කමින් නිදහස් වුණා. (එළිදරව් 17:1, 15) එදා පටන් සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් ඔවුන්ගේ කාලය හා ශ්‍රමය වැය කරමින් වැඩ කරන්න ඔවුන්ට හැකි වුණා. මේ නිසා ලොව වටා දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සාර්ථකව සිදු වෙමින් තිබෙනවා.—මතෙව් 24:14.

17. මහා බැබිලෝනියෙන් ඉවත්ව යෑමට ඇතුළත් වෙන්නේ මොනවාද?

17 මහා බැබිලෝනියට එරෙහිව දෙවි ගේන්න යන විනිශ්චය එතනින් අවසන් වෙන්නේ නැහැ. ඇයට සිදුවීමට නියමිත විනාශයට තව වැඩි කාලයක් නැහැ! (එළිදරව් 18:21) සෑම තැනකම සිටින ජනයාගෙන් දෙවි මහත් ඕනෑකමෙන් ඉල්ලා සිටින්නේ “ඇගෙන් [මහා බැබිලෝනියෙන්] ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්න . . . ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න” කියායි. (එළිදරව් 18:4, 5) මහා බැබිලෝනියෙන් අප ඉවත්ව යන්නේ කොහොමද? බොරු ආගමට හවුල් වෙන්නේ නැහැ කියා කිවූ පමණින් අපි මහා බැබිලෝනියෙන් ඉවත් වී ඇති බව අපිට කියන්න බැහැ. එහි බලපෑම් විවිධ ජනප්‍රිය උත්සවවල සහ චාරිත්‍රවලද දක්නට ලැබෙනවා. ලිංගික කාරණා සම්බන්ධයෙන් මිනිසුන් දරන ලිහිල් ආකල්පවලටත් හේතුව එහි බලපෑමයි. ඒ වගේම භූතවාදය ඇතුළත් විනෝදාස්වාදය වෙතට මිනිසුන් වැඩි වැඩියෙන් යොමු වෙන්නෙත් එහි බලපෑම නිසයි. මෙවැනි තවත් බොහෝ ආකාරවලින් මහා බැබිලෝනිය මිනිසුන්ට බලපෑම් කරනවා. දිගටම සෝදිසියෙන් සිටීමට අවශ්‍ය නම් අපේ ක්‍රියාවන් හා අපේ සිතේ තිබෙන ආශාවන් යන දෙවිදියෙන්ම මහා බැබිලෝනියෙන් අපි වෙන් වී සිටින බව අප ඔප්පු කළ යුතුයි.

18. එළිදරව් 14:9, 10හි විස්තරය තේරුම්ගන්නා ක්‍රිස්තියානීන් වැළකී සිටින්නේ කුමකින්ද?

18 එළිදරව් 14:9, 10හි ‘විනිශ්චය පැයට’ ඇතුළත් වෙනත් පැත්තක් ගැන තවත් දේවදූතයෙක් මෙහෙම විස්තර කරනවා. “යමෙකු වන මෘගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නේද, තමාගේ නළලෙහි හෝ අතෙහි හෝ සලකුණක් ලබන්නේද, ඔහු, දෙවිගේ උදහස නමැති . . . වයින් බොනවා ඇත.” එසේ සිදු වෙන්නේ ඇයි? එයට හේතුව ‘මෘගයා සහ උගේ රූපයෙන්’ මිනිස් ආණ්ඩු ක්‍රම, නියෝජනය කරන නිසයි. ඒ ආණ්ඩු ක්‍රම, සැබෑ දෙවි වන යෙහෝවා පමණක් මුළු විශ්වයේ සිටින එකම පාලකයා බව පිළිගන්නේ නැහැ. එවැනි අයගේ ආකල්ප හා ක්‍රියාවලට වහලුන් වීම ‘සලකුණක්’ දමා ගැනීම හා සමාන බව සෝදිසියෙන් සිටින ක්‍රිස්තියානීන් සලකනවා. ඒ නිසා ඔවුන් එවැනි බලපෑමකට යටත් නොවීමට පරෙස්සම් වෙනවා. ඔවුන් එසේ කරන්නේ දැනටමත් යෙහෝවා දෙවි ඔහුගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා තිබෙන බවත් ඉතාමත්ම ඉක්මනින් එම රාජ්‍යය මගින් සියලුම මිනිස් ආණ්ඩු විනාශ කර, එය සදාකාලයටම පවතින්න යන බවත් ක්‍රිස්තියානීන් හොඳින්ම දන්නා දෙයක් නිසයි.—දානියෙල් 2:44.

අවසානය ළඟයි යන හැඟීමෙන් ජීවත් වෙන්න

19, 20. (අ) අන්තිම කාලයේ අවසාන මොහොතට අපි ළං වෙද්දී සාතන් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නේ කුමක් කිරීමටද? (ආ) අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

19 අන්තිම කාලයේ අවසාන මොහොතට අපි ළං වෙද්දී පීඩා හා වරදට පෙලඹවීම් එන්න එන්නම වැඩි වෙනවා. මේ සමාජ ක්‍රමයේ අප ජීවත් වන තාක් කල් හා අපට උරුම වූ පාපය නිසා බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙන්න අපට සිදු වෙනවා. ඒ දේවල් අතර දුර්වල සෞඛ්‍යය, මහලු විය, පවුලේ කෙනෙකුගේ හෝ හිතවතෙකුගේ මරණය, සිත් තැවුල් වැනි දේ ඇතුළත් වෙනවා. ඒ වගේම දේවවචනය ගැන දේශනා කරන විට මිනිසුන් ඊට කිසිම උනන්දුවක් දක්වන්නේ නැති විටත් අපි අධෛර්යයට පත් වෙන්න පුළුවන්. අපි අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි, සාතන්ට උවමනා කරන්නේ මෙවැනි ප්‍රශ්න නිසා අපි දේශනා කිරීම නතර කරනව දකින්නයි. එහෙමත් නැත්නම් දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමට වෑයම් කිරීම අත්හැරලා දාන එක දකින්නයි. (එෆීස 6:11-13) නමුත් අප අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි වඩා වැදගත් දේට, ඒ කියන්නේ දේවරාජ්‍යය සම්බන්ධ කාරණාවලට අපි මේ කාලයේදී මුල් තැන දිය යුතුයි යන කාරණය.

20 ඒ හැඟීම නැති කර දැමීමට අපට බොහෝ බලපෑම් ඇති විය හැකි බව යේසුස් දැනගෙන සිටියා. ඒ නිසයි ඔහු මෙහෙම කිව්වේ. “සෝදිසියෙන් සිටින්න. මන්ද ඔබේ ස්වාමීන් කොයි දවසේ එනවාදැයි ඔබ දන්නේ නැත.” (මතෙව් 24:42) අප දැන් සිටින්නේ අන්තිම කාලයේ කුමන අවස්ථාවේද කියන එක අපි හොඳටම දන්නවා. ඒක කවදාවත් අමතක කරන්න එපා. ඒත් සාතන් මාන බලමින් සිටින්නේ අපි දෙවිට කරන සේවය අඩු කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට අපව පෙලඹවීමටයි. ඔහුගේ එවැනි උපායන් ගැන නිතරම කල්පනාවෙන් ඉමු. දේවරාජ්‍යයේ ශුභාරංචිය කලින්ටත් වඩා උද්‍යෝගයෙන් හා ස්ථිර විශ්වාසයකින් යුතුව දේශනා කිරීමට අදිටන් කරගනිමු. ‘සෝදිසියෙන් සිටීමට’ යේසුස් දුන් අනතුරු ඇඟවීමට කීකරු වී, දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවලට මුල් තැන දෙමින් දිගටම දෙවිට සේවය කරමු. අප එසේ කරනවා නම් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට හැකි වනවා වගේම සදාකාල ආශීර්වාද ලබන අය අතර සිටීමටත් අපට හැකි වනවා නොඅනුමානයි.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• “සෝදිසියෙන් සිටින්න” කියා යේසුස් දුන් අනතුරු ඇඟවීම සැබෑ ක්‍රිස්තියානීන්ට අදාළ වන බව අපි කියන්නේ කොහොමද?

• ‘සෝදිසියෙන් සිටීමට’ අපට උපකාරවත් වෙන්නේ බයිබලයේ සඳහන් කුමන උදාහරණද?

• විනිශ්චයේ පැය කුමක්ද? ඒ පැය අවසන් වීමට කලින් අපට කිරීමට දිරිගන්වා තිබෙන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

විනිශ්චය ඉටු කිරීමට තමාගේ පැමිණීම යේසුස් සමාන කළේ සොරෙකුගේ පැමිණීමටයි

[24වන පිටුවේ පින්තූරය]

මහා බැබිලෝනියේ විනාශය අත ළඟයි

[25වන පිටුවේ පින්තූරය]

පෙරටත් වඩා උද්‍යෝගයකින් හා ස්ථිර විශ්වාසයකින් යුතුව දේශනා කිරීමට අදිටන් කරගනිමු