Skip to content

පටුනට යන්න

හරි වැරැද්ද නිසි ලෙස තීරණය කිරීමට පුහුණු වෙන්න

හරි වැරැද්ද නිසි ලෙස තීරණය කිරීමට පුහුණු වෙන්න

හරි වැරැද්ද නිසි ලෙස තීරණය කිරීමට පුහුණු වෙන්න

“මගේ හිත මට කියන්නේ මේක වරදක් කියලා” හෝ “මට ඒක කරන්න බැහැ. මගේ හිත මට වද දෙනවා” කියා ඔබත් කවදාහරි කියලා තියෙනවාද? ඔබේ අභ්‍යන්තරයෙන්ම නැඟෙන ඒ “හඬ” මොකක්ද කියලා ඔබ දන්නවාද? ඒ තමයි හෘදය සාක්ෂිය. එය අපට නිසි මාර්ගය පෙන්වන හරි වැරැද්ද කුමක්ද කියා නිසි ලෙස කිරා මැන බලා තීරණයක් ගැනීමට අපට උපකාර කරන අප තුළ ඇති සහජ හැකියාවයි. අපි කරපු යම් දෙයක් ගැන සැහැල්ලුවට හිතමින් අපවම නිදොස් කරගන්නෙත් සමහර වෙලාවලදී අපටම අපි දොස් කියාගන්නෙත් අපි තුළ ඇති මේ හෘදය සාක්ෂිය නිසයි.

මිනිසුන් දෙවිගෙන් ඈත් වී ඔහු සමඟ කිට්ටු සම්බන්ධයක් නැතුව සිටියත් හරි වැරැද්ද නිසි ලෙස තීරණය කිරීමේ හැකියාව තාමත් ඔවුන් තුළ තියෙනවා. ඒ දෙවි ඔවුන්ව මැව්වේ ඔහුට සමාන ගතිලක්ෂණ ඇතිව නිසයි. ඒ නිසා ප්‍රඥාව සහ ධර්මිෂ්ඨකම යන දිව්‍ය ගුණාංග ඔවුන් තුළ දකින්න තියෙනවා. (උත්පත්ති 1:26, 27) මේ ගැන පාවුල් දෙවිගේ මඟ පෙන්වීම ඇතිව ලීවේ මෙහෙමයි. “නීතිය නොමැති ජාතීන් ස්වභාවයෙන්ම නීතියේ දේවල් කරන විට, නීතිය නොමැතිව සිටියත් ඔවුහු තමන්ටම නීතියක්ව සිටිති. ඔවුන්ගේම හෘදය සාක්ෂියද සාක්ෂි දරමින් ඔවුන්ගේ සිතුවිලි ඔවුන්ටම චෝදනා කරන විට හෝ ඔවුන්ව නිදොස් කරන විට නීතියේ සාරය ඔවුන්ගේ සිත්වල ලියා තිබෙන බව පෙන්වන්නේ ඔවුන්මය.” *රෝම 2:14, 15.

මිනිසුන් මොන ජාතියකට හෝ ආගමකට අයිති වුණත් ඔවුන් පැවතෙන්නේ මුල් මිනිසා වූ ආදම්ගෙන්. ඔහුගෙන් උරුම වූ හරි වැරැද්ද තීරණය කිරීමට ඇති මෙම හැකියාව මිනිසා තුළ ‘නීතියක්’ එහෙමත් නැත්නම් මඟ පෙන්වන්නෙක් හැටියට ක්‍රියා කරනවා. මේ තුළින්, අපේ ක්‍රියාවන් හා සිතුවිලි පරීක්ෂා කර අප ගැනම යම් තක්සේරුවක් කිරීමට අපට පුළුවන්. (රෝම 9:1) මෙය තේරුම්ගැනීමට මුල් යුවළ වූ ආදම් සහ ඒව ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. දෙවිට විරුද්ධව පව් කිරීමෙන් පසු දෙවිගෙන් සැඟවීමට ඔවුන් ගත් උත්සාහයෙන් තමන් වරදක් කළ බව ඔවුන් තේරුම්ගත් බව පැහැදිලි වෙනවා. (උත්පත්ති 3:7, 8) තවත් උදාහරණයක් වෙන්නේ දාවිත් රජ. ඊශ්‍රායෙලිතයන්ව ගණන් කිරීමෙන් තමා කළේ වරදක් බව තේරුම් ගත් පසු ඔහුට හැඟුණු ආකාරය බයිබලය විස්තරය කරන්නේ, “ඔහුගේ සිත ඔහුට දොස් තැබීය” කියායි.—2 සාමුවෙල් 24:1-10, නව අනුවාදය.

මුලින්ම අපි කළේ වැරැද්දක් කියලා අපිටම හොඳින් වැටහෙන්න අවශ්‍යයි. අපි කළේ වැරැද්දක් කියන එක අපට තේරුණොත් විතරයි දෙවි බලාපොරොත්තු වන ආකාරයෙන් පසුතැවිලි වෙන්න අපිට පුළුවන් වෙන්නේ. මෙය ඉතාමත්ම වැදගත් දෙයක්. “මා නිශ්ශබ්දව සිටි කල දවස මුළුල්ලේ මොරගැසීමෙන් මාගේ ඇට ක්ෂය විය. මාගේ පාපය ඔබට ප්‍රකාශ කළෙමි; මාගේ අයුතුකම නොසැඟවීමි; මාගේ වරද යෙහෝවාට කියා දෙන්නෙමියි කීමි; ඔබ මාගේ පාපයේ අයුතුකම මට කමා කළේය” කියා දාවිත් ලිව්වා. (ගීතාවලිය 32:3, 5) තමා කළේ වැරැද්දක් කියා හරියටම කියා දෙන හෘදය සාක්ෂියක් ඇති කෙනෙකුට පමණයි නැවතත් දෙවිට ළං වෙන්න පුළුවන් වෙන්නේ. එවැනි කෙනෙකුට තමාට දෙවිගෙන් සමාව අවශ්‍යයයි කියාත් දෙවි කියන විදිහට තමන් ක්‍රියා කළ යුතුයි කියාත් තේරුම්ගන්න හැකි වෙනවා.—ගීතාවලිය 51:1-4, 9, 13-15.

යම් තේරීමක් කිරීමට හෝ හරි වැරැද්ද අතර තීරණයක් ගැනීමට සිදු වන විටත් හෘදය සාක්ෂිය අපිට අවශ්‍ය අනතුරු ඇඟවීම් හෝ මඟ පෙන්වීම් සපයනවා. අපි වැරැද්දක් කළාට පස්සේ අපිට දොස් කියනවා වෙනුවට, වැරැද්දක් කරන්න කලින් අපට යම් මඟ පෙන්වීම් සැපයීමට හැකි ආකාරයෙන් අපේ හෘදය සාක්ෂිය පුහුණු වී තිබෙනවා නම් එමඟින් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙයි. යෝසෙප්ට තිබුණේ එවැනි හෘදය සාක්ෂියක්. පරදාර සේවනය හෙවත් වෙනත් කෙනෙකුගේ භාර්යාවක් සමඟ අනාචාරයේ හැසිරීම වැරදි දෙයක් බවත් සදාචාර අතින් පහත් දෙයක් බවත් දෙවිට විරුද්ධව කරන පාපයක් බවත් තේරුම්ගැනීමට යෝසෙප්ට හැකි වුණේ ඒ නිසා විය හැකියි. වේශ්‍යාකම තහනම් කරන නීතියක් දස පනත තුළින් ඊශ්‍රායෙලිතයන්ට ලැබුණේ ඊට බොහෝ කාලයකට පසුවයි. (උත්පත්ති 39:1-9; නික්මයාම 20:14) ඔබට තියෙන්නෙත් ඒ වගේ හෘදය සාක්ෂියක්ද?

නිවැරදි තීරණ ගන්න පුහුණු වෙන්න

මිනිසාට කිසි අඩුවක් නැති ආරම්භයක් දෙවිගෙන් ලැබුණත් “සියල්ලෝම පව් කර දෙවිගේ තේජසින් ඈත්ව සිටිති” යන්න සත්‍යයක්. (රෝම 3:23) ඒ නිසා හෘදය සාක්ෂිය අපිට උරුම වී තිබෙන දෙයක් වුණත් එයත් දෝෂ සහිත තත්වයකට පත් වෙලයි තියෙන්නේ. උරුම වූ පාපයත් නිතරම පව් කිරීමට තිබෙන නැඹුරුවාවත් නිසා අපේ හෘදය සාක්ෂිය මොට වී තිබෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා එය තවදුරටත් දෙවි මුලින් අරමුණු කළ ආකාරයට ක්‍රියා කරන්නේ නැහැ. (රෝම 7:18-23) ඊට අමතරව බාහිර දේවලුත් අපගේ හෘදය සාක්ෂියට බලපාන්න පුළුවන්. අපේ හැදියාව, ප්‍රදේශයේ තිබෙන සිරිත් විරිත් හා විශ්වාසයන් වගේම අපි ආශ්‍රය කරන අයත් අපේ හෘදය සාක්ෂියට යම් බලපෑමක් ඇති කරනවා. දෙවි ඉදිරියේ අපගේ හෘදය සාක්ෂිය නිර්දෝෂව තබාගැනීමට නම්, මේ ලෝකයේ පහත් සදාචාර ප්‍රමිති හෝ පිරිහෙන ප්‍රතිපත්තිවලට අනුව දේවල් දිහා බලන්න අපට බැහැ.

එවැනි හෘදය සාක්ෂියක් ඇති කෙනෙක් වීමට නම් ක්‍රිස්තියානියෙකුට අමතර උපකාර අවශ්‍යයයි. ඒ උපකාරය ඔහුට ලැබෙන්නේ දේවවචනය වන බයිබලයෙන් පමණයි. එය නොසැලෙන මෙන්ම ධර්මිෂ්ඨ ප්‍රමිති මොනවාද කියා දැනගැනීමටත් ඔහුට උපකාර කරනවා. (2 තිමෝති 3:16) “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීම” සඳහා අපට උපකාර කිරීමටත් වැරැද්දක් කිරීමෙන් අපව වැළැක්වීමටත් හෘදය සාක්ෂියට පුළුවන් වෙන්නේ දෙවිගේ ප්‍රමිති අපගේ සිතේ පැලපදියම් වෙලා තිබුණොත් පමණයි. (හෙබ්‍රෙව් 5:14) අපි දෙවිගේ ප්‍රමිති හොඳින් අවබෝධ කරගෙන ඒවා අපේ සිතේ හොඳින් කාවද්දවා ගත්තේ නැත්නම් අපි වැරදි දෙයක් කිරීමට පෙලඹෙන විට අපේ හෘදය සාක්ෂිය අපිට කිසිම අනතුරු ඇඟවීමක් කරන්නේ නැහැ. “මනුෂ්‍යයාට සුදුසුව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයේ මාර්ග වේ” කියා බයිබලය පවසන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 16:25; 17:20.

ඇතැම් කාරණා සම්බන්ධයෙන් දේවවචනය පැහැදිලි මඟ පෙන්වීම් ලබා දෙන අතර ඒවා පිළිපැදීමෙන් අපිට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. නමුත් බොහෝ කාරණා සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියා බයිබලය කෙළින්ම කියන්නේ නැහැ. ඒවා අතර අපි තෝරගන්න රැකියාව, අපි තෝරන ප්‍රතිකාර, විනෝදයට කරන දේවල්, අපේ ඇඳුම් පැළඳුම් ඇතුළු තවත් බොහෝ දේවල් තිබෙනවා. මෙවැනි අවස්ථාවක කළ යුතු සුදුසුම දෙය මොකක්ද කියන එක තීරණය කරන්න බැරිව අපි ලත වෙනවා වෙන්න පුළුවන්. මෙහිදී දාවිත්ගේ ආකල්පය අපටත් තිබිය යුතුයි. ඔහු මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා, ඔබගේ මාර්ග මට දැක්වුව මැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැලවීමේ දෙවිය.” (ගීතාවලිය 25:4, 5) අපි, දෙවි හිතන විදිහ සහ දෙවි කටයුතු කරන විදිහ ගැන හොඳින් දැනගෙන සිටිනවා නම් අපිට මුහුණ දෙන්න සිදු වන එවැනි තත්වයන් ගැන හොඳින් සිතා බලා නිවැරදි තීරණයක් ගන්න අපිට හැකි වෙයි. එමඟින් දෙවි ඉදිරියේ නිර්දෝෂ හෘදය සාක්ෂියක් පවත්වාගන්න අපටත් පුළුවන්.

අපේ සිතේ යම් ප්‍රශ්නයක් පැනනඟින අවස්ථාවක හෝ යම් තීරණයක් ගන්න සිදු වන විට අපි මුලින්ම කළ යුත්තේ ඊට අදාළ වන බයිබල් ප්‍රතිපත්ති මතක් කරගැනීමයි. ඉන් සමහරක් පහත සඳහන් වෙයි. මූලිකත්වයට ගරු කිරීම (කොලොස්සි 3:18, 20); හැම විටම අවංකව ක්‍රියා කිරීම (හෙබ්‍රෙව් 13:18); නපුර පිළිකුල් කිරීම (ගීතාවලිය 97:10); සාමකාමීව ක්‍රියා කිරීම (රෝම 14:19); බලධාරීන්ට කීකරු වීම (මතෙව් 22:21; රෝම 13:1-7); දෙවිට පමණක් භක්තිය පිදීම (මතෙව් 4:10); දෙවිට නමස්කාර නොකරන මිනිසුන් මෙන් නොවීම (යොහන් 17:14); නරක ආශ්‍රයෙන් වැළකී සිටීම (1 කොරින්ති 15:33); විනීතව ඇඳ පැළඳ සිටීම (1 තිමෝති 2:9, 10) සහ අන් අයව බාධාවට පත් නොකිරීම (ෆිලිප්පි 1:10). පැනනඟින ප්‍රශ්නයට හෝ ගත යුතු තීරණයට අදාළ ප්‍රතිපත්තිය හඳුනාගැනීමෙන් අපගේ හෘදය සාක්ෂිය පුහුණු වන අතර හරි තීරණයක් ගැනීමටද අපිට එමඟින් හැකි වෙයි.

ඔබේ හෘදය සාක්ෂියේ හඬට සවන් දෙන්න

අපේ හෘදය සාක්ෂියෙන් ප්‍රයෝජන ලබන්න නම් අපි එයට සවන් දිය යුතුයි. දේවවචනයට අනුව පුරුදු පුහුණු වූ හෘදය සාක්ෂිය අපිට යම් දේවල් මතක් කර දෙන විට අපි වහාම ඊට ප්‍රතිචාරය දැක්වූවොත් විතරයි අපිට ප්‍රයෝජන ලැබෙන්නේ. හොඳින් පුහුණු වූ හෘදය සාක්ෂියක් හරියට වාහනයක තිබෙන සංඥා පුවරුව වගෙයි. යම් කෙනෙක් රිය පදවන විට වාහනේ යම් දෝෂ ගැන ඔහුව දැනුවත් කිරීම සඳහා ඔහු ඉදිරියේ සංඥා පුවරුවක් සවි කර තිබෙනවා. වාහනේ එන්ජිමට අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය අඩුයි කියා ඒ පුවරුවේ සංඥාවක් පෙනෙන්නට තිබුණත් එය ගණනකට නොගෙන දිගින් දිගටම වාහනය පැදෙව්වොත් කුමක් සිදු වෙයිද? ඒ වාහනේ එන්ජිමට බරපතළ හානියක් සිදු වන බව නම් නිසැකයි. අපේ හෘදය සාක්ෂියත් ඒ වගෙයි. අපි කරන්න යන යම් දෙයක් වැරදියි කියා අපේ හෘදය සාක්ෂිය අපිට අනතුරු අඟවන්නේ ශුද්ධලියවිල්ලේ සඳහන් ප්‍රමිති හා සාරධර්ම අපට මතක් කිරීමෙන්. ඊට පස්සේ අපි කරන්න යන දෙය හෝ ගන්න යන තීරණය ඊට නොගැළපෙන බව එය අපිට අනතුරු අඟවනවා. හෘදය සාක්ෂිය දෙන එවැනි අනතුරු ඇඟවීම් පිළිගැනීම මඟින් වැරදි ක්‍රියා නිසා අත්විඳින්න සිදු වන නරක ප්‍රතිඵලවලින් වැළකී සිටීමට අපිට හැකි වන අතර හරි වැරැද්ද නිසි ලෙස තෝරා දෙන හෘදය සාක්ෂියක් ඇතිව සිටීමටත් අපට හැකි වෙයි.

අපගේ හෘදය සාක්ෂියෙන් ලැබෙන අනතුරු ඇඟවීම් අපි දිගින් දිගටම නොසලකාහැරියොත් එය හැඟීම් දැනීම් නැති තත්වයකට පත් වී ඉන් නිකුත් කරන හඬ කෙමෙන් කෙමෙන් බාල වෙන්න පුළුවන්. අවසානයේදී අපේ හෘදය සාක්ෂියත් පලුදු වී එය හංවඩු ගැසුණු තත්වයකට පත් වෙන්න පුළුවන්. (1 තිමෝති 4:2) එවිට අපේ අතින් වැරදි සිදු වන විට එය අපිට දොස් කියන්නෙවත්, අපේ අතින් ඒ වැරදි නැවත සිදු වෙන්න යන විට අපට අනතුරු අඟවන්නෙවත් නැහැ. එවැනි හංවඩු ගැහුණු හෘදය සාක්ෂියක් හරි වැරැද්ද පිළිබඳව බයිබලයේ ප්‍රමිති නොසලකාහරින නිසා එය පලුදු වූ හෘදය සාක්ෂියක් බවට පත් වෙනවා. ඒ නිසා එය සතු තැනැත්තා “කිසිම සදාචාරමය හැඟීමක් නැති” දෙවිගෙන් ඈත් වූ පුද්ගලයෙක් වෙනවා. (එෆීස 4:17-19; තීතස් 1:15) මෙය මොන තරම් ඛේදනීය දෙයක්ද!

“යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටින්න”

හෘදය සාක්ෂිය යහපත්ව ඒ කියන්නේ දෙවි ඉදිරියේ නිර්දෝෂව තබාගැනීමට නම් අත්නෑර වෑයම් කිරීම අවශ්‍යයයි. පාවුල් මෙහෙම පැවසුවා. “මා දෙවිට විරුද්ධවවත් මිනිසුන්ට විරුද්ධවවත් කිසි වරදක් කළා යන හැඟීමක්වත් මා තුළ ඇති නොවන පිණිස නොකඩවා වෑයම් කරමි.” (ක්‍රියා 24:16) තමා දෙවිට විරුද්ධව කිසි වරදක් නොකළ බවට සහතික වීම සඳහා පාවුල් නිතරම තමා කරන්න යන දෙය ගැන හොඳින් සොයා බැලුවා. තමා වැරදි තීරණයක් ගෙන තිබූ බව ඔහුට හැඟුණු විට ඔහු එය හරිගැස්සුවා. අන්තිමට අපි කරන දේවල්වල හරි වැරැද්ද තීරණය කරන්න යන්නේ දෙවි බව පාවුල් දැනගෙන සිටියා. (රෝම 14:10-12; 1 කොරින්ති 4:4) “ඔහු ඉදිරියෙහි සැඟවී තිබෙන කිසි මැවිල්ලක් නැත. අප විසින් ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ” කියා පාවුල් පැවසුවා.—හෙබ්‍රෙව් 4:13.

තමා මිනිසුන්ට විරුද්ධව කිසි වරදක් නොකළ බවත් පාවුල් කිව්වා. “දේවතා රූපවලට පිදූ ආහාර අනුභව කිරීම” සම්බන්ධයෙන් ඔහු කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට දුන් උපදෙස මීට හොඳ උදාහරණයක්. ඔහු එතනදී කාවද්දන්න උත්සාහ කළේ අපි කරන යම් දෙයක් දේවවචනයට පටහැනි වුණේ නැතත් ඒ දේ නිසා අපේ සහෝදරයෙක් බාධාවට පත් වෙනවා නම් එය කිරීම සුදුසු නැති බවයි. මෙයාකාරයට අපි අන් අයගේ හැඟීම් සැලකිල්ලට ගන්න බව පෙන්වනවා. අප එසේ කළේ නැත්නම් අපේ සහෝදරයාගේ ඇදහිල්ලට යම් හානියක් සිදු කළ හැකියි. ‘ක්‍රිස්තුස් ඒ සහෝදරයා උදෙසා මිය ගිය’ බව අපි මතක තබාගත යුතුයි. ඒ විතරක් නෙවෙයි දෙවි සමඟ තිබෙන අපගේ සම්බන්ධයටද ඒ හේතුව නිසා හානියක් සිදු විය හැකියි.—1 කොරින්ති 8:4, 11-13; 10:23, 24.

එසේනම් දිගටම ඔබේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න. දෙවි ඉදිරියේ නිර්දෝෂ හෘදය සාක්ෂියක් තබාගන්න. තීරණ ගැනීමේදී දෙවිගේ මඟ පෙන්වීම ලබාගන්න. (යාකොබ් 1:5) දේවවචනය අධ්‍යයනය කරන්න. එහි තිබෙන ප්‍රතිපත්තිවලට අනුව ඔබේ සිත සකස් කරගන්න. (හිතෝපදේශ 2:3-5) බරපතළ තීරණ ගන්න සිදු වන විට ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති ගැන ඔබට තිබෙන්නේ නිවැරදි අවබෝධයක්ද කියා තහවුරු කරගැනීම සඳහා අද්දැකීම් ලත් ක්‍රිස්තියානීන්ගේ අදහස් විමසන්න. (හිතෝපදේශ 12:15; රෝම 14:1; ගලාති 6:5) ඔබ ගන්න යන තීරණය ඔබේ හෘදය සාක්ෂියට බලපාන ආකාරය, අන් අයට බලපාන ආකාරය සහ විශේෂයෙන්ම යෙහෝවා දෙවි සමඟ ඔබට තිබෙන සම්බන්ධයට එය බලපාන ආකාරය ගැන හොඳින් සිතන්න.—1 තිමෝති 1:5, 18, 19.

හෘදය සාක්ෂිය අපගේ ප්‍රේමණීය ස්වර්ගීය පියාණන් වන යෙහෝවා දෙවිගෙන් අප ලද පුදුමාකාර දීමනාවක්. දෙවිගේ කැමැත්තට එකඟව අපි අපගේ හෘදය සාක්ෂිය පුහුණු කර එහි හඬට ඇහුම්කන් දෙනවා නම් අපිට පුළුවන් දෙවිට තවත් ළං වෙන්න. අප කරන හැම දෙයකදීම ‘යහපත් හෘදය සාක්ෂියක් ඇතිව සිටීමට’ අපි වෑයම් කළොත් අපව මවා තිබෙන්නේ දෙවි සතු ගතිලක්ෂණවලින් බව ඉන් ඔප්පු වෙයි.—1 පේතෘස් 3:16; කොලොස්සි 3:10.

[පාදසටහන]

^ 3 ඡේ. මෙහි හෘදය සාක්ෂිය කියා පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයේ අර්ථය වෙන්නේ “හරි වැරැද්ද තීරණය කිරීමට ඇති සහජ හැකියාව” යන්නයි. (The Analytical Greek Lexicon Revised, by Harold K. Moulton) එය “හොඳ දේ සහ නරක දේ අතර ඇති වෙනස හඳුනාගැනීමට ඇති හැකියාවයි.”—Greek-English Lexicon, by J. H. Thayer.

[13වන පිටුවේ පින්තූර]

ඔබට දොස් කියනවා පමණක් වෙනුවට ඔබට මඟ පෙන්වීමටත් ඔබේ හෘදය සාක්ෂිය පුහුණු වෙලාද?

[14වන පිටුවේ පින්තූරය]

බයිබල් ප්‍රතිපත්ති ඉගෙනගෙන ඒවා අදාළ කරගැනීමේ ප්‍රතිඵලය හොඳින් පුහුණු වූ හෘදය සාක්ෂියක්

[15වන පිටුවේ පින්තූර]

ඔබේ හෘදය සාක්ෂියෙන් ලැබෙන අනතුරු ඇඟවීම් ගණන් නොගෙන සිටින්න එපා