Skip to content

පටුනට යන්න

උඩඟු නොවීමට වගබලා ගන්න

උඩඟු නොවීමට වගබලා ගන්න

උඩඟු නොවීමට වගබලා ගන්න

‘දෙවි උඩඟු අයට විරුද්ධව සිටියි.’—යාකොබ් 4:6.

1. සමහර අවස්ථාවලදී ආඩම්බර වීම වරදක් නොවන බව උදාහරණයක් මගින් පැහැදිලි කරන්න.

ඔබ කවදා හෝ දවසක යම් හේතුවක් නිසා ආඩම්බර වී තිබෙනවාද? අපගෙන් බොහෝදෙනෙකුට මේ හැඟීම ඇති වී තිබෙනවා. සමහර අවස්ථාවලදී යම් ප්‍රමාණයක ආඩම්බරයක් ඇතිවීම වරදක් නොවෙයි. උදාහරණයක් හැටියට තමන්ගේ දියණිය හෝ පුතා ඉහළින් සමත් වන විට හෝ ඔවුන්ගේ යහපත් හැසිරීම ගැන අසන්න ලැබෙන විට දෙමාපියන්ට එයින් මහත් සතුටක් මෙන්ම ආඩම්බරයක්ද දැනෙනවා. පාවුල් හා ඔහුගේ හවුල් සේවකයන් එකතු වී පිහිටුවීමට උපකාර කළ අලුත් සභාවක් ගැනත් එහි සිටි සහෝදරයන් හිංසා පීඩා මැද ඇදහිලිවන්තව දෙවිට සේවය කරනවා දකින්න ලැබීම ගැනත් ඔවුන් ආඩම්බර වුණා.—1 තෙසලෝනික 1:1, 6; 2:19, 20; 2 තෙසලෝනික 1:1, 4.

2. උඩඟු පුද්ගලයෙක් කියන්නේ මොන වගේ කෙනෙකුටද? අපි උඩඟු නොවීමට වගබලා ගත යුත්තේ ඇයි?

2 ඉහත සඳහන් උදාහරණවලින් පෙනී යන්නේ යම් දෙයක් හොඳින් කිරීමෙන් හෝ අත් කරගැනීමෙන් යම් සතුටක්, ආඩම්බරයක් ඇතිවීම වැරදි දෙයක් නොවන බවයි. කෙසේවෙතත් තමන්ගේ හැකියාව, පෙනුම, ධනය හා තත්වය නිසා තමන් අන් අයට වඩා උසස් කියා කෙනෙක් සිතනවා නම් ඔහු උඩඟු පුද්ගලයෙක්. තමන් ගැන ඕනෑවට වඩා සිතීමේ නැඹුරුවාවක් ආදම්ගෙන් අපට උරුම වී තිබුණත් අප තුළ එවැනි හැඟීමක් ඇතිවීමට අප ඉඩ නොදිය යුතුයි. (උත්පත්ති 8:21) අපේ ජාතිය, වත් පොහොසත්කම්, අධ්‍යාපනය හා සහජ හැකියාවන් වැනි දේවල් නිසා අපි අන් අයට වඩා උසස්ය යන රැවටිලිකාර සිතුවිල්ල අපට ඇති වෙන්න පුළුවන්. මෙලෙස උඩඟු වන අයව යෙහෝවා හෙළාදකිනවා. මේ නිසා අපි මේ ගැන පරෙස්සම් විය යුතුයි.—යෙරෙමියා 9:23; ක්‍රියා 10:34, 35; 1 කොරින්ති 4:7; ගලාති 5:26; 6:3, 4.

3. උඩඟු කෙනෙක් තුළ තිබෙන තවත් ගතිලක්ෂණයක් සඳහන් කරන්න. යේසුස් මේ ගැන පැවසුවේ කුමක්ද?

3 උඩඟු පුද්ගලයෙක් තමන් උසස් කියා සිතනවා විතරක් නොවෙයි අන් අයව පහත් ලෙස සලකන්නත්, හෙළාදකින්නත් පෙලඹෙනවා. (ලූක් 18:9; යොහන් 7:47-49) ‘සිතින් නික්මෙන උඩඟුකම’ මිනිසෙකුව ‘දූෂ්‍ය කරවන’ නරක ගතිලක්ෂණවලින් එකක් කියා යේසුස් පැවසුවා. (මාක් 7:20-23) ඒ නිසා ක්‍රිස්තියානියෙකු උඩඟු සිතක් තමන් තුළ වර්ධනය නොවීමට වගබලා ගැනීම කොතරම් වැදගත්ද කියා පැහැදිලියි.

4. උඩඟු පුද්ගලයන් සම්බන්ධයෙන් බයිබලයේ වාර්තාවන් අපට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

4 උඩඟු නොවී සිටීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද? එක් දෙයක් වන්නේ උඩඟු අය ගැන බයිබලයේ සඳහන් වාර්තා සලකා බැලීමයි. මේ වාර්තා සලකා බැලීමෙන් ඔබ තුළත් උඩඟුකමේ හැඟීම් තිබෙනවාද කියා දැනගැනීමට ඔබට පුළුවන්. ඔබ තුළ දැනටමත් උඩඟු හැඟීම් තිබෙනවා නම් ඒවා පහ කරගැනීමටත් යම් දවසක එවැනි හැඟීම් වර්ධනය වුණොත් ඒවාට එරෙහිව සිටීමටත් එම වාර්තාවල සඳහන් තොරතුරු ඔබට උපකාරවත් වේවි. මෙසේ ඔබේ සිත තුළ උඩඟු හැඟීම් වර්ධනය වීමට ඉඩ නොදුන්නොත් යෙහෝවා උඩඟු වූවන්ට එරෙහිව පියවර ගන්න විට ඔහු ඔබව ආරක්ෂා කරාවි. ඔහු උඩඟු වූවන්ට මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “උඩඟු ලෙස ප්‍රීති වන්නන් ඔබ මැදින් පහ කර දමන්නෙමි; ඔබ මාගේ ශුද්ධ පර්වතයෙහි තවත් උඩඟු නොවන්නෙහිය.”—ශෙපනියා 3:11.

දෙවි උඩඟු අයව හෙළාදකියි

5, 6. පාරාවෝ උඩඟු පුද්ගලයෙකු කියා පැවසිය හැක්කේ ඇයි? ඔහුගේ උඩඟුකමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද?

5 යෙහෝවා උඩඟු අයව සලකන ආකාරය ගැන පාරාවෝ වැනි බලවත් පාලකයන් සමඟ ඔහු කටයුතු කළ විදිහෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. තමන් දෙවි කෙනෙක් කියා සිතූ පාරාවෝ ඔහුගේ වහලුන් වූ ඊශ්‍රායෙල්වරුන්ව පහත් ලෙස සැලකුවා. යෙහෝවාට “මංගල්‍යයක් පවත්වන පිණිස” ඊශ්‍රායෙල්වරුන්ව පාළුකරයට යන්ට හරින ලෙස පාරාවෝගෙන් ඉල්ලා සිටි විට ඔහු උඩඟු ලෙස පැවසුවේ මෙසේයි. “ඊශ්‍රායෙල් යන්ට හරින ලෙස මා විසින් යෙහෝවාගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද?” පාරාවෝගේ මෙම වචනවලින් පෙනී යන්නේ ඔහු උඩඟු පුද්ගලයෙකු වූ බවයි.—නික්මයාම 5:1, 2.

6 වසංගත හයකට පසුව ඊජිප්තුවේ පාලකයා වූ පාරාවෝගෙන් මෙසේ අසන්න කියා යෙහෝවා මෝසෙස්ට පැවසුවා. ඔබ “තවමත් මාගේ සෙනඟ යන්ට නොහරින ලෙස ඔවුන්ට විරුද්ධව උසස් [උඩඟු] වන්නෙහිද?” (නික්මයාම 9:17) ඉන්පසු මෝසෙස් දේශය විනාශ කරන හත්වන වසංගතය වන ගල් වර්ෂාව ගැන ඔහුට දැනුම් දුන්නා. දහවෙනි වසංගතයෙන් පසු ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් පිට වී යෑමට අවසර දුන්නත්, වැඩි වේලාවක් යන්න කලින් ඔහු තීරණය වෙනස් කර සෙනඟව ලුහුබඳින්න පටන්ගත්තා. පාරාවෝගේ උඩඟුකම නිසා අත් වූ ප්‍රතිඵලය කුමක්ද? අවසානයේදී පාරාවෝ සහ ඔහුගේ හමුදාව රතු මුහුදේදී කොටු වුණා. ඔවුන් ජලයෙන් යට වෙද්දී ඔවුන්ට මොනවා සිතෙන්න ඇද්ද! ඔහුට සිටි හොඳම හමුදා භටයන් මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල් කෙරෙන් පලා යමු. යෙහෝවා ඔවුන් උදෙසා ඊජිප්තු ජාතිකයන්ට විරුද්ධව සටන් කරන්නේය.”—නික්මයාම 14:25.

7. බැබිලෝනියේ පාලකයන් උඩඟු අය කියා පැවසිය හැක්කේ ඇයි?

7 තවත් උඩඟු පාලකයන් කිහිපදෙනෙකුව යෙහෝවා අගෞරවයට පත් කළා. එක් පාලකයෙක් වන්නේ ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්. (යෙසායා 36:1-4, 20; 37:36-38) අවසානයේදී ඇසිරියාව බැබිලෝනිවරුන් විසින් පරාජය කරනු ලැබුවා. නමුත් පසු කාලයකදී බැබිලෝනියේ උඩඟු රජවරුන් දෙදෙනෙකුවද පහත් කරනු ලැබුවා. බැබිලෝනියේ බේල්ෂශර් රජ ඔහුගේ රාජකීය අමුත්තන් සමඟ පවත්වමින් සිටි භෝජන සංග්‍රහයකදී සිදු වූ දෙය සලකා බලන්න. ඔහු ඒ උත්සවයේදී වයින් පානය කළේ යෙහෝවාගේ මාලිගාවෙන් ගෙනා කුසලානවලිනුයි. ඒ විතරක් නෙවෙයි ඔහු බැබිලෝනියේ දෙවිවරුන්ට ප්‍රශංසාත් කළා. හදිසියේම දිස් වූ අතකින් බිත්තියේ පණිවිඩයක් ලියනු ලැබුවා. කිසිවෙකුට තේරුම්ගත නොහැකි මෙම පණිවිඩයේ අර්ථය පහදා දෙන්න කියා බේල්ෂශර් දානියෙල්ගෙන් ඉල්ලා සිටියා. දානියෙල් ඔහුට මෙසේ පැවසුවා. “මහෝත්තම දෙවි රාජ්‍යය . . . ඔබගේ පිය වූ නෙබුකද්නෙශර්ට දුන්නේය. එහෙත් ඔහු . . . උඩඟුකමින් ක්‍රියා කළ විට රාජාසනයෙන් පහ කරනු ලැබීය. ඔවුහු ඔහුගේ තේජස උදුරාගත්තෝය. ඔහුගේ පුත්‍ර වූ බේල්ෂශර් නම් ඔබ මේ සියල්ල දන්න නමුත් ඔබගේ සිත යටත් කර [නොගත්තේය].” (දානියෙල් 5:3, 18, 20, 22) එදිනම රාත්‍රියේදී මේද-පර්සියානු හමුදා පැමිණ බැබිලෝනිය යටත් කරගත් අතර බේල්ෂශර්ව මරා දැමුවා.—දානියෙල් 5:30, 31.

8. අවසානයේදී උඩඟු අයට සිදු වුණේ කුමක්ද? මෙය උදාහරණ මගින් පැහැදිලි කරන්න.

8 යෙහෝවා දෙවිගේ සෙනඟව පහත් කොට සැලකූ පිලිස්තීය යෝධයෙකු වූ ගොලියත්ද, පර්සියානු අධිරාජ්‍යයේ ප්‍රධාන ඇමති වූ හාමාන්ද, යුදයේ පාලකයා වූ හෙරොද් අග්‍රිපා රජද යන උඩඟු අයට සිදු වූ දෙයත් සලකා බලන්න. ඔවුන්ගේ උඩඟුකම නිසා දෙවි ඔවුන්ට නින්දිත මරණයකට පත්වීමට ඉඩහැරියා. (1 සාමුවෙල් 17:42-51; එස්තර් 3:5, 6; 7:10; ක්‍රියා 12:1-3, 21-23) “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට ප්‍රථමයෙන් අහංකාර සිතද [වෙයි]” කියා දේවවචනයේ සඳහන් වදන්වල සත්‍යතාව යෙහෝවා ඔවුන්ට සිදුවීමට ඉඩහැරිය දෙයින් දැකගත හැකියි. (හිතෝපදේශ 16:18) මෙයින් පෙනී යන්නේ “දෙවි උඩඟු අයට විරුද්ධව” සිටින බවයි.—යාකොබ් 4:6.

9. තීර්හි රජවරුන් දෙවිගේ සෙනඟට ද්‍රෝහි වූයේ කොහොමද?

9 ඊජිප්තුවේ, ඇසිරියාවේ හා බැබිලෝනියේ සිටි උඩඟු පාලකයන්ට වඩා වෙනස්ව තීර්හි රජ කලක් දෙවිගේ සෙනඟට උපකාර කළා. දාවිත් රජ හා සලමොන් රජගේ කාලවලදී ඔහු රජ මාලිගාව හා දේවමාලිගාව ගොඩනැඟීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා දක්ෂ කැටයම්කරුවන්ව සැපයුවා. (2 සාමුවෙල් 5:11; 2 ලේකම් 2:11-16) ඒත් කනගාටුවට කරුණක් නම් පසු කාලයකදී තීර්හි රජවරුන් දෙවිගේ සෙනඟට විරුද්ධව නොයෙකුත් දේවල් කළ බව බයිබලයේ සඳහන් වෙනවා. ඔවුන් එලෙස ද්‍රෝහිවීමට හේතු වූයේ කුමක්ද?—ගීතාවලිය 83:3-7; යෝවෙල් 3:4-6; ආමොස් 1:9, 10.

‘ඔබේ සිත උඩඟු විය’

10, 11. (අ) තීර්හි රජවරුන්ට සමාන කළ හැක්කේ කාවද? (ආ) තීර්හි රජවරුන් ඊශ්‍රායෙල්වරුන්ට ද්‍රෝහි වුණේ ඇයි?

10 අනාගතවක්තෘවරයෙකු වූ එසකියෙල් යෙහෝවාගේ ආනුභාවයෙන් තීර්හි රාජ වංශයේ වැරදි හෙළි කළා. එසකියෙල් ‘තීර්හි රජ’ ගැන පැවසූ දේවල් තීර්හි රාජ වංශයට මෙන්ම ‘සත්‍යය තුළ ස්ථිරව නොසිටි’ සාතන්ටත් අදාළ වෙනවා. දෙවිට මුලින්ම ද්‍රෝහි වූ තැනැත්තා වන්නේ සාතන්. (එසකියෙල් 28:12; යොහන් 8:44) සාතන් කාලයක් යෙහෝවාගේ ස්වර්ගික සංවිධානයේ දෙවිට විශ්වාසවන්තව සේවය කළ දේවදූතයෙක්ව සිටියා. තීර්හි රජවරුන් මෙන්ම සාතන්ද ද්‍රෝහිවීමට බලපෑ මූලික හේතුව යෙහෝවා එසකියෙල් මාර්ගයෙන් හෙළි කළා.

11 “ඔබ දෙවිගේ උයන වූ ඒදන්හි සිටියෙහිය; ඔබගේ ඇඳුම් . . . අනර්ඝ ගල්වලින්ද රනින්ද විය; . . . ඔබ වනාහි වසාගන්න ආලේප ලත් කෙරුබ්ය; . . . ඔබ මැවූ දා පටන් අධර්මිෂ්ඨකම ඔබ තුළ දකින තෙක් ඔබේ මාර්ගවල ඔබ සම්පූර්ණව සිටියෙහිය; ඔබගේ බොහෝ වෙළඳාම් නිසා ඔවුහු බලහත්කාරකමෙන් ඔබ පිරෙව්වෝය; ඔබ පව් කළෙහිය; . . . අහෝ මුවා කරන කෙරුබ්, මම ගිනි ගල් මැදින් ඔබ නැති කළෙමි; ඔබේ රුව නිසා ඔබේ සිත උසස් [උඩඟු] විය; ඔබේ දීප්තිය නිසා ඔබේ නුවණ දූෂ්‍ය කළෙහිය; මම ඔබ බිම හෙළා දැමීමි.” (එසකියෙල් 28:13-17) තීර්හි රජවරුන් දෙවිගේ සෙනඟට බලහත්කාරකම් කළේ ඔවුන්ගේ උඩඟුකම නිසයි. වෙළඳ මධ්‍යස්ථානයක් වූ තීර් බොහෝ ධනවත් නගරයක් වූ අතර අලංකාර භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධව සිටියා. (යෙසායා 23:8, 9) තමන්ගේ තත්වය ගැන හිස උදුම්මාගත් තීර්හි රජවරුන් දෙවිගේ සෙනඟට හිංසා පීඩා කරන්න පටන්ගත්තා.

12. සාතන් ද්‍රෝහිවීමට හේතු වුණේ කුමක්ද? ඔහු දිගටම කරන්නේ කුමක්ද?

12 තීර්හි රජවරුන් මෙන් සාතන් බවට පත් වූ දේවදූතයාද උඩඟු වුණා. ඔහුට දෙවි දුන් ඕනෑම කාර්යයක් ඉටු කිරීම සඳහා දෙවිගෙන් ප්‍රඥාව ලැබී තිබුණා. ඒත් ඒ දේවදූතයා ඔහුට ලැබුණු ප්‍රඥාව ගැන දෙවිට ස්තුතිවන්ත වෙනවා වෙනුවට “අහංකාරයෙන් ඉදිමී” දෙවිගේ පාලනයට විරුද්ධ වෙන්න පටන්ගත්තා. (1 තිමෝති 3:6) ඔහු තමන් ගැන කොයිතරම් හිතුවාද කියනවා නම් ආදම් සහ ඒවගේ නමස්කාරය ඔහුට ලබාගැනීමට දැවෙන ආශාවක් ඔහු තුළ ඇති වුණා. ඔහු පව් කළේ මේ වැරදි ආශාවට ඉඩ දුන් නිසයි. (යාකොබ් 1:14, 15) දෙවි තහනම් කර තිබූ ගසෙන් කෑමට ඒවව පොලඹවාගැනීමට සාතන්ට හැකි වුණා. පසුව සාතන් එම තහනම් ගසේ ගෙඩි ඒව මාර්ගයෙන් ආදම්ටද දුන්නා. (උත්පත්ති 3:1-6) මෙසේ මුල් මිනිස් යුවළ තමන්ව පාලනය කිරීමට දෙවිට තිබූ අයිතිය ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් සාතන්ගේ නමස්කාරකයන් බවට පත් වුණා. ඔහුගේ උඩඟුකම එතැනින් නතර වුණේ නැහැ. ඔහු ස්වර්ගයේ හා පොළොවේ සිටින දෙවිගේ සේවකයන්ව යෙහෝවාගේ පාලනයට විරුද්ධ වීමට පොලඹවාගන්න වෑයම් කරනවා. මේ සඳහා යේසුස්ව පවා පොලඹවාගන්න ඔහු වෑයම් කළා.—මතෙව් 4:8-10; එළිදරව් 12:3, 4, 9.

13. උඩඟුකමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද?

13 අපි සලකා බැලූ කාරණාවලින් පැහැදිලි වූ ආකාරයට උඩඟුකම මුලින්ම ඇති වුණේ සාතන්ටයි. අද ලෝකයේ පවතින දුක් පීඩාවලට හා පාපයට මූලික හේතුව උඩඟුකමයි. අද සමාජය පිරිහීමට හේතුව වන්නේද උඩඟුකමයි. මිනිසුන් තුළ උඩඟුකම ඇති කරමින් සිටින්නේ “මේ සමාජ ක්‍රමයේ දෙවි” වන සාතන්. (2 කොරින්ති 4:4) තමන්ට තිබෙන්නේ ටික කාලයක් බව දන්න නිසා සාතන් සැබෑ ක්‍රිස්තියානීන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඔහුගේ ඉලක්කය වන්නේ ඔවුන්ව දෙවිගෙන් ඈත් කර ඔවුන්ව තමන්ටම ප්‍රේම කරන හා පුරසාරම් දොඩන උඩඟු පුද්ගලයන් බවට පත් කරන්නයි. මේ ගතිලක්ෂණ “අන්තිම දවස්වල” ජීවත් වන මිනිසුන් තුළ බහුලව දකින්න තිබෙන බවට බයිබලයේ කලින්ම සඳහන් කර තිබෙනවා.—2 තිමෝති 3:1, 2; එළිදරව් 12:12, 17.

14. යෙහෝවා මිනිසුන් සමඟ ක්‍රියා කරන ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද?

14 සාතන් විසින් මිනිසුන් තුළ ඇති කරන උඩඟුකමේ නරක ප්‍රතිඵල යේසුස් නිර්භීතව හෙළි කළා. තමන් ධර්මිෂ්ඨයි කියා සිතූ ඔහුගේ සතුරන් ඉදිරියේ හා අඩුම තරමින් තවත් අවස්ථා තුනකදී යේසුස් ඒ ගැන කතා කළා. යෙහෝවා මිනිසුන් සමඟ ක්‍රියා කරන ආකාරය ගැන යේසුස් මෙසේ පැවසුවා. “තමන්වම උසස් කරගන්න සැමදෙනාව අවමානයට පත් කරනු ලබන්නේය. නමුත් තමන්වම පහත් කරගන්නාව උසස් කරනු ලබන්නේය.”—ලූක් 14:11; 18:14; මතෙව් 23:12.

උඩඟුකම ඔබේ සිතට ඇතුල් වීමට ඉඩ නොදෙන්න

15, 16. හාගර් උඩඟු වුණේ ඇයි?

15 උඩඟුකම ගැන අපි සලකා බැලූ ආදර්ශවල සඳහන් වුණේ පාලකයන් වැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් ගැනයි. මින් අදහස් කරන්නේ සාමාන්‍ය මිනිස්සු උඩඟු නොවන බවද? නැහැ, කොහෙත්ම නැහැ. ආබ්‍රහම්ගේ නිවසේ සිදු වූ සිද්ධියක් ගැන දැන් සලකා බලමු. ආබ්‍රහම්ට සහ සාරාට දරුවෙක් සිටියේ නැහැ. සාරා දරුවන් ලබන වයස පසු කර සිටි නිසා ඇයට දරුවෙක් බිහි වෙයි කියා බලාපොරොත්තු තබාගත නොහැකි වුණා. ඒ කාලයේ පැවති පොදු චාරිත්‍රයකට අනුව ආබ්‍රහම්ගේ තත්වයේ සිටි මිනිසෙකුට දෙවන භාර්යාවක් විවාහ කරගෙන දරුවන් බිහි කිරීමට හැකි වුණා. මෙවැනි විවාහයන්ට දෙවි ඉඩහැරියේ සැබෑ නමස්කාරකයන් අතර විවාහය සඳහා වන ඔහුගේ මුල්ම ප්‍රමිතිය නැවත ක්‍රියාත්මක කිරීමට එය කාලය නොවූ නිසයි.—මතෙව් 19:3-9.

16 තම පවුලේ උරුමක්කාරයා වීම සඳහා තමන්ගේ ඊජිප්තු ජාතික දාසිය මාර්ගයෙන් දරුවෙකුව බිහි කර දෙන්න කියා සාරා ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියා. ආබ්‍රහම්ට දාව ඔහුගේ දෙවන භාර්යාව වූ හාගර් දරුවෙකු පිළිසිඳගත්තා. දරුවෙකු බිහි කිරීමට ඇයට ලැබුණු මේ ගෞරවනීය තත්වය ඇය අගය කළ යුතුව තිබුණා. නමුත් ඇය ඒ ගැන උඩඟු වුණා. මේ සිද්ධිය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඈ තමා ගර්භිණී වූ බව දැනගත් කල ඇගේ ඇස් ඉදිරියෙහි ඇගේ ස්වාමි දූ හෙළාදක්නා ලද්දීය.” හාගර් මෙලෙස ක්‍රියා කළ නිසා ආබ්‍රහම්ගේ නිවසේ මොන තරම් ආරවුල් ඇති වුණාද කියනවා නම් සාරා හාගර්ව නිවසින් පිටමං කළා. නමුත් ඇති වූ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා දෙවි විසින් එවන ලද දේවදූතයෙක් හාගර්ට මෙසේ උපදෙස් දුන්නා. “ඔබේ ස්වාමි දුව වෙතට හැරී ගොස් ඇය අත යටතේ සිටින්න.” (උත්පත්ති 16:4, 9) හාගර් මෙම උපදේශය පිළිගෙන, පසුව ඇය සාරා සමඟ ගැටලු ඇති කර නොගෙන හොඳින් කටයුතු කළා. මේ නිසා මහත් සෙනඟක් බවට පත් වූ ජාතියක මුතුන් මිත්තණියක් වීමට ඇයට හැකි වුණා.

17, 18. අපි සෑම කෙනෙක්ම උඩඟුකම තමන්ගේ සිතට ඇතුල් වීමට ඉඩ නොදිය යුත්තේ ඇයි?

17 හාගර්ගේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ කෙනෙකුගේ තත්වය හොඳ අතට හැරෙන විට ඔහු හෝ ඇය උඩඟු විය හැකි බවයි. අපට මෙයින් ඉගෙනගත හැකි පාඩමක් නම් දෙවිට සේවය කරන ක්‍රිස්තියානියෙකු පවා ධනය හා යම් බලතල ලැබීම නිසා උඩඟු විය හැකි බවයි. ඔහුගේ සමර්ථකම්, ඔහුගේ දැනුම හා හැකියාවන් ගැන අන් අය ප්‍රශංසා කරන විට ඔහුට එවැනි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා ක්‍රිස්තියානියෙක් උඩඟුකම තමන්ගේ සිතට ඇතුල් වීමට ඉඩ නොදිය යුතුයි.

18 උඩඟු නොවී සිටීමට තිබෙන ප්‍රධානතම හේතුව නම් දෙවි එය හෙළාදකින නිසයි. මේ ගැන දේවවචනයේ මෙසේ පවසා තිබෙනවා. “උඩඟු බැල්ම සහ අහංකාර සිත නමැති දුෂ්ටයන්ගේ පහන පාපය වේ.” (හිතෝපදේශ 21:4) ‘දැන් පවතින සමාජ ක්‍රමයෙහි ධනවතුන්ව සිටින’ ක්‍රිස්තියානීන්ට ‘උඩඟු නොවන්න’ කියා බයිබලයේ උපදෙස් දී තිබීම සැලකිල්ලට ගැනීම වටිනවා. (1 තිමෝති 6:17; ද්විතීය කතාව 8:11-17) ධනවතුන් නොවන ක්‍රිස්තියානීන් “තෘෂ්ණාධික ඇසක්” තබා නොගත යුතුයි. ධනවත් හෝ වේවා දුප්පත් හෝ වේවා මේ ඕනෑම කෙනෙක් උඩඟු විය හැකි බව මතක තබාගන්න.—මාක් 7:21-23; යාකොබ් 4:5.

19. හොඳ රජ කෙනෙක්ව සිටි උස්සියා නරක කෙනෙක් වුණේ කොහොමද?

19 උඩඟුකම මෙන්ම වෙනත් නරක ගතිලක්ෂණ ඇති වූවොත් එය යෙහෝවා සමඟ තිබෙන අපේ සම්බන්ධතාවට බලපාන්න පුළුවන්. මීට උදාහරණයක් හැටියට උස්සියා රජගේ පාලන සමයේ මුල් අවධියේදී සිදු වූ දෙයක් ගැන සලකා බලමු. “[උස්සියා] . . . යෙහෝවාගේ ඇස් හමුවෙහි යුතු දේ කළේය. . . . ඔහු දෙවි සොයන්ට නියම කරගත්තේය. ඔහු යෙහෝවා සෙවූ කාලයේ දෙවි ඔහු දියුණු වන්ට සැලැස්සුවේය.” (2 ලේකම් 26:4, 5) ඒත් කනගාටුවට කරුණක් නම් හොඳ රජ කෙනෙක් වූ උස්සියා නරක කෙනෙක් බවට පත්වීමයි. ඊට හේතු වූයේ “දූෂ්‍ය ලෙස හැසිරෙන හැටියට ඔහුගේ සිත උසස් [උඩඟු]” වීමයි. තමන් ගැන කොතරම් උසස් ලෙස සිතුවාද කියනවා නම් ඔහු සුගන්ධ ද්‍රව්‍ය පූජා කිරීමට දේවමාලිගාවට ඇතුල් වුණා. මේ උඩඟු ක්‍රියාව කිරීමෙන් වළකින ලෙස පූජකයන් ඔහුට පැවසූ විට ‘ඔහු උදහස් වුණා.’ මෙහි ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා ඔහුට කුෂ්ඨ රෝගයෙන් පහර දුන් අතර අවසානයේදී ඔහු මිය ගියේ දෙවිගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයෙක් ලෙසයි.—2 ලේකම් 26:16-21.

20. (අ) හෙසකියා රජු ඇති කරගෙන තිබූ හොඳ නමට කැළලක් ඇතිවීමට ඉඩ තිබුණේ කුමක් නිසාද? (ආ) අපි ඊළඟ ලිපියේ සලකා බලන්නේ කුමක් ගැනද?

20 හෙසකියා රජු ක්‍රියා කළේ මීට හාත්පසින්ම වෙනස් ආකාරයෙනුයි. එක් අවස්ථාවකදී රජගේ “සිත උඩඟු” වූ නිසා ඔහු ඇති කරගෙන තිබූ හොඳ නමට කැළලක් ඇතිවීමට ඉඩ තිබුණා. නමුත් “හෙසකියා . . . තමන් සිතේ උඩඟුකම ගැන යටත් වූ නිසා” නැවතත් යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට ඔහුට හැකි වුණා. (2 ලේකම් 32:25, 26) හෙසකියාගේ උඩඟුකම ඔහුට නැති කර දැමීමට හැකි වූයේ ඔහු යටහත් පහත් වූ නිසයි. යටහත් පහත්කම කියන්නේ උඩඟුකමේ විරුද්ධ දෙයයි. ඒ නිසා අපි ඊළඟ ලිපියේදී සලකා බලන්නේ ක්‍රිස්තියානීන් හැටියට යටහත් පහත්කම වර්ධනය කරගෙන එය දිගටම පවත්වාගෙන යෑම ගැනයි.

21. යටහත් පහත් ක්‍රිස්තියානීන්ට අනාගතයේදී කුමක් බලාපොරොත්තු විය හැකිද?

21 උඩඟුකම නිසා ඇති වන නරක ඵල විපාක ගැන අපි කිසිදා අමතක නොකරමු. “දෙවි උඩඟු අයට විරුද්ධව” සිටින නිසා අප තුළ උඩඟු සිතක් ඇතිවීමට ඉඩ නොදීම සඳහා හැකි සෑම වෑයමක්ම දරමු. ඉදිරියේදී පැමිණීමට නියමිත දෙවිගේ මහත් දවසේදී උඩඟු වූවන්ව මේ පොළොවෙන් ඉවත් කර දැමීමට නියමිතයි. ඒ කාලයේදී “මනුෂ්‍යයාගේ උඩඟුකමද යටත් කරනු ලබන්නේය; යෙහෝවා පමණක්ම ඒ දවසේ උසස් වන්නේය.” ඒ කාලය පැමිණෙන තෙක් බලා සිටින අපි යටහත් පහත් ක්‍රිස්තියානීන් වීමට හැකි සෑම වෑයමක්ම දරමු.—යෙසායා 2:17.

සිතා බැලීම සඳහා කරුණු කිහිපයක්

• ඔබ උඩඟු පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ මොන වගේ කෙනෙකුවද?

• උඩඟුකම මුලින්ම ඇති වූයේ කෙසේද?

• කෙනෙක් උඩඟු වීමට බලපාන හේතු මොනවාද?

• අප උඩඟු නොවිය යුත්තේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

පාරාවෝගේ උඩඟුකම නිසා ඔහුව නින්දාවට පත් කරනු ලැබුවා

[24වන පිටුවේ පින්තූරය]

හාගර්ට ලැබුණු ගෞරවනීය තත්වය නිසා ඇය උඩඟු වුණා

[25වන පිටුවේ පින්තූරය]

හෙසකියා රජ යටහත් පහත් වූ නිසා ඔහුට දෙවිගේ අනුමැතිය ලැබුණා