Skip to content

පටුනට යන්න

‘ඔවුන් නැව්වලින් සමුදුර තරණය කළා’

‘ඔවුන් නැව්වලින් සමුදුර තරණය කළා’

‘ඔවුන් නැව්වලින් සමුදුර තරණය කළා’

අමෙරිකාවේ මැසචුසෙට් ජනපදයේ ග්ලොස්ටර් නමැති ප්‍රදේශයේ පිහිටි වරායට මුහුණලා ලෝකඩවලින් සෑදූ ස්මාරකයක් තිබෙනවා. ස්මාරකයක් ලෙස තනා තිබෙන්නේ කුණාටුවක් මැද සිය යාත්‍රාවේ සුක්කානම හසුරුවන මිනිසෙකුවයි. මෙම ස්මාරකය සාදා තිබෙන්නේ මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් මිය ගිය ග්ලොස්ටර්හි විසූ ධීවරයන් දහස් ගණනක්ව අනුස්මරණය කිරීම සඳහායි. ඒ ස්මාරකයේ පාමුල හා ඒ අසල පුවරුවක ගීතාවලිය 107:23, 24 වගන්තිවල සඳහන් මෙම වචන කොටා තිබෙනවා. “සමහරු නැව්වලින් සමුදුර තරණය කරති. මෙලෙස සිය ජීවිකාව සඳහා වෙළඳාම් කරති. ඔවුහු සමිඳුන්ගේ ක්‍රියාද මුහුද මත එතුමන් කළ අරුම පුදුම දේද දකිති.”—නව අනුවාදය

අත්ලාන්තික් සාගරයේ මසුන් අල්ලන ප්‍රදේශය ඉතා අවදානම්කාරීයි. තිස්දාහක පමණ ජනගහනයක් සිටින ග්ලොස්ටර් නමැති ප්‍රදේශයේ පසුගිය අවුරුදුවලදී 5,368දෙනෙක් ඒ සාගරයේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී මරණයට පත් වූ බව වාර්තා වෙනවා. එම ස්මාරකයේ මෙසේ සඳහන් වෙනවා. “ඊසාන දිගින් හමන දරුණු සුළි සුළංවලට හා දැවැන්ත රළ පහරවලට සමහරුන් ගොදුරු වුණා. තවත් සමහරුන් මිය ගියේ රුවල් යාත්‍රා, මසුන් සිටින ඈත දියඹට ගිය පසු ඔවුන් එහි සිට කුඩා බෝට්ටුවල නැඟී තනි තනිව මසුන් අල්ලන විටයි. සමහර යාත්‍රාද කුණාටුවලට හසු වී ගිලී ගියා. තවත් සමහර ඒවා විනාශ වුණේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කළ විශාල නැව් ගමන් කළ මාර්ගවල යෑම නිසා ඒවාට ගැටීමෙනුයි.”

පසුගිය සියවස් ගණනාව පුරා ඒ ධීවරයන් ඉතා වෙහෙස මහන්සි වී මසුන් අල්ලන විට දරුණු අනතුරුවලට මුහුණ දුන් බවට ඒ ස්මාරකය සාක්ෂියක්. ධීවරයන් වූ තමන්ගේ ස්වාමිපුරුෂයන්, පියවරුන්, සහෝදරයන් හා පුතුන් මුහුදේදී නැතිවීම නිසා අසරණව කඳුළු සලන අය ගැන සිතා බලන්න. ඔවුන් ගැන අපට දැනෙන්නේ මොන තරම් දුකක්ද! කෙසේවෙතත් යෙහෝවා දෙවි ඒ වැන්දඹුවන්ව හා අසරණයන්ව පමණක් නොවෙයි, මුහුදේදී මිය ගිය අයව පවා අමතක කරන්නේ නැහැ. අනාගතයේදී සත්‍යයක් වන මේ දෙය ගැන යේසුස්ගේ ගෝලයෙකු වූ යොහන් මෙසේ පැවසුවා. “මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය.” (එළිදරව් 20:13) ‘නැව්වලින් සමුදුර තරණය කිරීමේදී’ මිය ගිය අයව නැවත නැඟිටුවනු ලබන කාලයේදී ඔවුන් ඇත්තටම ‘සමිඳුන්ගේ අරුම පුදුම ක්‍රියා’ දකිනවාට සැකයක් නැහැ.