Skip to content

පටුනට යන්න

යටහත් පහත්කම වර්ධනය කරගන්න

යටහත් පහත්කම වර්ධනය කරගන්න

යටහත් පහත්කම වර්ධනය කරගන්න

“ඔබ යටහත් පහත් අයව ගලවන්නේය.”—2 සාමුවෙල් 22:28, NW.

1, 2. ලෝකයේ පාලකයන් බොහෝදෙනෙක් අතර දක්නට තිබෙන ලක්ෂණය කුමක්ද?

ඊජිප්තුවේ තිබෙන පිරමිඩවලින් සිහිගන්වන්නේ එහි සිටි පාලකයන්වයි. එමෙන්ම ඇසිරියාවේ සෙනකෙරිබ්, ග්‍රීසියේ මහ ඇලෙක්සැන්ඩර් හා රෝමයේ ජූලියස් සීසර් ඉතිහාසයේ කැපීපෙනෙන පාලකයන් වුණා. කෙසේවෙතත් මේ කිසිම පාලකයෙක් යටහත් පහත් පුද්ගලයන් වූ බවට වාර්තා වන්නේ නැහැ.—මතෙව් 20:25, 26.

2 ඉහත සඳහන් කළ පාලකයන්ගෙන් කිසිවෙක් ඔවුන් පාලනය කළ ප්‍රදේශවල සිටි පීඩිත වැසියන්ගේ දුක සැප සොයා බැලීමට ගියා කියා සිතිය හැකිද? ඔවුන් එසේ කළේ නැහැ. දුක් පීඩාවලින් මිරිකී සිටි වැසියන්ව සනසවමින් ඔවුන්ව නඟා සිටුවන්න ඔවුන් ක්‍රියා කළා කියාද සිතිය නොහැකියි. එහෙත් ඒ පාලකයන්ට වඩා වෙනස්ව මුළු මහත් විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවි පීඩිත ජනයා කෙරෙහි මහත් සැලකිල්ලක් දක්වනවා.

යටහත් පහත්කම පිළිබඳව උතුම්ම ආදර්ශය

3. ශ්‍රේෂ්ඨතම පාලකයා වන යෙහෝවා දෙවි පොළොවේ වැසියන්ට සලකන්නේ කොහොමද?

3 කිසිවෙකුට සොයා දැනගත නොහැකි තරම් යෙහෝවා ශ්‍රේෂ්ඨයි. එහෙත් ‘ඔහු කෙරෙහි සම්පූර්ණ සිත් ඇති සියල්ලන් උදෙසා ඔහු බලවත් බව පෙන්වන පිණිස ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවනවා.’ (2 ලේකම් 16:9) විවිධ දුක් කම්කටොලු නිසා තමන්ගේ යටහත් පහත් නමස්කාරකයන් පීඩා විඳිනවා දකින විට යෙහෝවා කරන්නේ කුමක්ද? ඔහු සිය බලය යොදාගනිමින් ‘යටහත් පහත් අයව පණගන්වන අතර තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරනවා.’ මෙසේ ඔහු තම බලය ඔවුන් වෙනුවෙන් යොදාගනිද්දී හරියට ඔහු ඔවුන් සමඟ ‘වාසය කරනවා’ හා සමානයි. (යෙසායා 57:15, නව අනුවාදය) මේ ආකාරයට ඔහුගේ බලයෙන් ප්‍රාණවත් වන ඔහුගේ නමස්කාරකයන්ට නැවතත් ඔහුට ප්‍රීතියෙන් සේවය කිරීමට හැකි වෙනවා. මෙයින් පෙනී යන්නේ යෙහෝවා යටහත් පහත් දෙවි කෙනෙක් බවයි.

4, 5. (අ) යෙහෝවා ක්‍රියා කරන ආකාරය ගැන ගීතිකාකරු පැවසුවේ කුමක්ද? (ආ) දෙවි ඔහුගේ අසම්පූර්ණ නමස්කාරකයන්ට උපකාර කිරීම සඳහා ‘පහතට නැමෙනවා’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

4 පව්කාර මිනිසුන්ට උපකාර කිරීම සඳහා මුළු විශ්වයේම පාලකයා වන යෙහෝවා දෙවි තරම් යටහත් පහත් වී ක්‍රියා කරන වෙන කිසිවෙක් නැහැ. ඔහු ගැන ගීතිකාකරු මෙසේ ලියා තිබෙනවා. ‘සියලු ජාතීන්ට ඉහළින් යෙහෝවා දෙවි වැජඹෙන්නේය. ඔහුගේ මහිමාලාංකාරය අහස් තලය ඉක්මවා යයි. අපේ දෙවිට සමාන අන් කෙනෙක් නැත. ඔහු උසස් තැන්හි වැඩ හිඳින්නේය. එහෙත් අහසත් පොළොවත් බලන පිණිස ඔහු පහතට නැමෙන්නේය. ඔහු දුප්පතා ධූලියෙන් නැඟිටුවන්නේය. දිලිඳා කසළ ගොඩින් ඔසවන්නේය.’—ගීතාවලිය 113:4-7, න.අ.

5 යෙහෝවා ‘පහතට නැමෙන’ බව ඉහත බයිබල් වගන්තිවල සඳහන් වෙනවා. අනිත් අයව පහත් කර තමන්ගේ තත්වය ගැන ඕනෑවට වඩා සිතන මේ ලෝකයේ උඩඟු පුද්ගලයන්ට වඩා යෙහෝවා දෙවි කොයිතරම් වෙනස්ද! ඔහු ශුද්ධ දෙවි කෙනෙක් වන නිසා ඔහු කොහොමටවත් “උඩඟු” කෙනෙක් නොවෙයි. (මාක් 7:22, 23) ගීතාවලිය 113:6හි සඳහන් වන ආකාරයට ‘පහතට නැමෙනවා’ කීමෙන් අදහස් කරන්නේ තමන්ට වඩා පහත් තත්වයක සිටින කෙනෙකුට වුණත් උපකාර කිරීම සඳහා තමන්ගේ තත්වය නොතකා ක්‍රියා කිරීමයි. තවත් බයිබල් පරිවර්තනවල සඳහන් වන්නේ දෙවි අහසත් පොළොවත් දෙස බැලීමට ‘තමන්වම යටත් කරගන්න’ දෙවි කෙනෙක් බවයි. දෙවි තමන්ගේ අසම්පූර්ණ නමස්කාරකයන්ට අවශ්‍ය උපකාරය සැපයීම සඳහා කොතරම් යටහත් පහත් ලෙස ක්‍රියා කරනවාද කියා එයින් මනා ලෙස පැහැදිලියි.—2 සාමුවෙල් 22:36.

යේසුස් යටහත් පහත්කම ඉගෙනගත් ආකාරය

6. යෙහෝවා යටහත්කම හා ප්‍රේමය පෙන්වමින් කළ උතුම්ම ක්‍රියාව කුමක්ද?

6 දෙවි යටහත්කම හා ප්‍රේමය පෙන්වමින් කළ උතුම්ම ක්‍රියාව වන්නේ මනුෂ්‍ය වර්ගයාව ගලවාගැනීම සඳහා ඔහුගේ ඒකජාතක පුත්‍රයාව මේ පොළොවට එවීමයි. (යොහන් 3:16) යේසුස් ඔහුගේ ස්වර්ගික පියා පිළිබඳ සත්‍යය අපට ඉගැන්වුවා. අවසානයේදී ඔහු “ලෝකයේ පාපය” නැති කර දැමීමට ඔහුගේ ජීවිතය පූජා කළා. (යොහන් 1:29; 18:37) මේ විදිහට දෙවි තමන්ගෙන් ඉල්ලා සිටි ඕනෑම දෙයක් කරන්න කැමති වීමෙන් යේසුස්ද යටහත්කම හා ප්‍රේමය විදහාපෙන්නුවා. දෙවි මැවූ අය අතරින් විශිෂ්ට ලෙස යටහත්කම හා ප්‍රේමය පෙන්වූයේ යේසුස්. නමුත් සෑම කෙනෙක්ම ඔහුගේ යටහත්කම අගය කළේ නැහැ. ඔහුගේ සතුරන් ඔහුව සැලකුවේ “මිනිසුන්ගෙන් ඉතා පහත් කෙනෙකු” ලෙසයි. (දානියෙල් 4:17, න.අ.) කෙසේවෙතත් පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට පැවසුවේ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් අන් අය සමඟ ක්‍රියා කිරීමේදී යටහත් පහත්කම පෙන්වන්න කියායි.—1 කොරින්ති 11:1; ෆිලිප්පි 2:3, 4.

7, 8. (අ) යේසුස් යටහත් පහත්කම ඉගෙනගත්තේ කොහොමද? (ආ) යේසුස්ට පැවසීමට හැකි වුණේ කුමක්ද?

7 යටහත්කම සම්බන්ධයෙන් යේසුස් තැබූ විශිෂ්ට ආදර්ශය ගැන පාවුල් මෙසේ සඳහන් කළා. “ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණාවූ මේ මානසික ආකල්පයම ඔබ තුළත් තබාගන්න. ඔහු දෙවිගේ ස්වරූපය දැරූ නමුත්, දෙවිට සමාන වීම තමන් අත් කරගත යුතු දෙයක්යයි සිතුවේ නැත. ඒ වෙනුවට ඔහු සියල්ල අත්හැර, දාසයෙකුගේ ස්වරූපය ගෙන මිනිසුන්ගේ සමානත්වයට පැමිණියේය. තවද ඔහු, තමා මිනිස් ස්වරූපයට පත් වූ පසු, මරණය දක්වා, එනම් වධකණුවක මරණය දක්වාම යටහත් වී කීකරු වූයේය.”—ෆිලිප්පි 2:5-8.

8 ‘යේසුස් යටහත් පහත්කම ඉගෙනගත්තේ කොහොමද’ කියා සමහරුන් කල්පනා කරන්න පුළුවන්. යටහත් පහත්කම ඉගෙනගැනීමට ඔහුට උපකාරවත් වූ එක් දෙයක් වන්නේ අප නොදන්න තරම් වූ දිගු කාලයක් පුරා යේසුස් ඔහුගේ ස්වර්ගික පියා සමඟ කළ සමීප ඇසුරයි. මේ කාලයේදී ඔහු දෙවි සමඟ මැවීමේ කාර්යයට හවුල් වෙමින් ‘කර්මාන්තයේ මුලාදෑනියා’ ලෙස ක්‍රියා කළා. (හිතෝපදේශ 8:30) එමෙන්ම ආදම් සහ ඒව අකීකරු වීමෙන් පසු තම පියා පව්කාර මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය දැකීමෙන්ද ඔහු යටහත්කම ඉගෙනගත්තා. මේ අනුව යේසුස්ද පොළොවේ සිටි කාලය පුරා ඔහුගේ පියා මෙන් යටහත්කම පෙන්නුවා. ඒ නිසයි ඔහුට මෙලෙස පැවසීමට හැකි වුණේ. “මා මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති කෙනෙකු බැවින් මාගේ වියගහ ඔබ පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබේ ජීවිතවලට ප්‍රාණවත්භාවයක් ලැබෙනවා ඇත.”—මතෙව් 11:29; යොහන් 14:9.

9. (අ) යේසුස් දරුවන්ට හුඟාක් ඇලුම් කළේ ඇයි? (ආ) යේසුස් දරුවෙකුව පෙන්වමින් ඉගැන්වූ පාඩම කුමක්ද?

9 යේසුස් ඇත්තටම යටහත් පහත් පුද්ගලයෙකු වූ නිසා කුඩා දරුවන් කිසිම බියක් සැකක් නැතිව ඔහු ළඟට ආවා. ඔහු දරුවන්ට හුඟාක් ඇලුම් කළ අතර ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලක්ද දැක්වුවා. (මාක් 10:13-16) යේසුස් දරුවන්ට ඒ තරම් ඇලුම් කළේ ඇයි? බොහෝ අවස්ථාවලදී ඔහුගේ සමහර ගෝලයන් තුළ දකින්න නොතිබූ හොඳ ගුණාංග මේ දරුවන් තුළ තිබුණා. දරුවන් වැඩිහිටියන්ව සලකන්නේ උතුම් අය කියායි. දරුවන් වැඩිහිටියන්ගෙන් අසන ප්‍රශ්නවලින් ඒ බව පැහැදිලියි. බොහෝ වැඩිහිටියන් එක්ක බලද්දී දරුවන්ට උගන්වන්න පහසුයි. ඒ වගේම ඔවුන් උඩඟු නැහැ. එක්තරා අවස්ථාවකදී යේසුස් දරුවෙකුව පෙන්වා සිය ගෝලයන්ට මෙසේ පැවසුවා. “ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත්, කිසිසේත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින්, කවුරු නමුත් මේ කුඩා දරුවා මෙන් යටහත් වනවා නම්, ඔහු ස්වර්ග රාජ්‍යයේ උතුම්ම තැනැත්තා වන්නේය.” (මතෙව් 18:3, 4) යේසුස් මෙසේද සඳහන් කළා. “තමාවම උසස් කරගන්න සියලුදෙනාවම පහත් කරනු ලබන්නෝය. තමාවම පහත් කරගන්නාව උසස් කරනු ලබන්නේය.”—ලූක් 14:11; 18:14; මතෙව් 23:12.

10. අපි සලකා බලන්න යන ඇතැම් ප්‍රශ්න මොනවාද?

10 යේසුස් පැවසූ වචනවල සත්‍යතාව සලකා බැලීමේදී මෙම වැදගත් ප්‍රශ්න කිහිපය මතු වෙනවා. යටහත් පහත් වීම අපට අමාරු වන්නේ ඇයි? විශේෂයෙන්ම අපි යම් පරීක්ෂාවලට මුහුණ දෙද්දී යටහත් පහත් වීම අපට අමාරු වන්නේ ඇයි? අවංකවම යටහත් පහත්කම වර්ධනය කරගැනීම සඳහා අපට උපකාරවත් වන්නේ කුමක්ද? අපි අවංකවම යටහත් පහත් වීම අපේ සදාකාලික ජීවනය කෙරෙහිද බලපාන නිසා මේ ගැන අපි හොඳින් සිතා බැලිය යුතුයි.—යාකොබ් 4:6, 10.

යටහත් පහත් වීම අමාරු වන්නේ ඇයි?

11. යටහත් පහත් වීමට අප මහත් වෑයමක් දැරිය යුත්තේ ඇයි?

11 යටහත් පහත් වීම අමාරු දෙයක් කියා ඔබට හැඟෙනවා නම්, එලෙස හැඟෙන්නේ ඔබට පමණක් නොවෙයි. වර්ෂ 1920 ගණන්වලදී මුරටැඹ සඟරාවේ යටහත් වීම සම්බන්ධයෙන් බයිබලයේ දී තිබෙන උපදේශය ගැන මෙසේ අදහස් පළ කර තිබුණා. “යටහත්කම කොතරම් වටිනා ගුණාංගයක්ද කියා අපේ ස්වාමීන් වන යේසුස් අවධාරණය කළා. එනිසා මෙය යේසුස්ගේ සියලුම අනුගාමිකයන් ඔවුන්ගේ ජීවිතයේ සෑම දවසකම වර්ධනය කරගත යුතු ගුණාංගයක්.” තවදුරටත් එහි මෙසේ සඳහන් කර තිබුණා. මේ ගුණාංගය ගැන “ශුද්ධ ලියවිල්ලේ කොතරම් උපදෙස් දී තිබුණත් යේසුස් පෙන්වා දුන් මාර්ගයේ ගමන් කරන අයට මිනිස් ස්වභාවය නිසා විශේෂයෙන්ම මේ ගුණාංගය වර්ධනය කරගැනීමට විශාල සටනක් කිරීමට සිදු වෙනවා.” මෙයින් පෙනී යන ආකාරයට සැබෑ ක්‍රිස්තියානීන්ට යටහත්කම වර්ධනය කරගැනීම සඳහා දැඩි වෑයමක් දැරීමට එක් හේතුවක් වන්නේ තමන් උතුම් කියා සිතීමට තිබෙන අපේ මිනිස් ස්වභාවයයි. මීට හේතුව තමන් ගැන ඕනෑවට වඩා සිතූ ආදම් සහ ඒව යන පව්කාර යුවළගෙන් අපි පැවතෙන නිසයි.—රෝම 5:12.

12, 13. (අ) අද අපි ජීවත් වන ලෝකයේ යටහත් පහත් වීම අපට අමාරු දෙයක් වන්නේ ඇයි? (ආ) යටහත් පහත්කම වර්ධනය කරගැනීමට අපට බාධා කරන්නේ කවුද?

12 යටහත් පහත් වීම අපට අමාරු වීමට බලපාන දෙවන හේතුව වන්නේ අනිත් අයට වඩා තමන් උතුම් කියා සිතීමට මිනිසුන්ව දිරිගන්වන ලෝකයක අපි ජීවත් වන නිසයි. “[පව්කාර] මාංසයේ ආශාවත්, ඇස්වල ආශාවත්, තමන්ගේ දේපළ ප්‍රදර්ශනය කිරීමත්” වැනි වැරදි ආශාවන් මිනිසුන් තුළ බහුලව දකින්න තිබෙනවා. (1 යොහන් 2:16) යේසුස්ගේ ගෝලයන් වන අය එවැනි ආශාවලට යටපත් නොවී තමන්ගේ ඇස සරලව තබාගෙන දෙවිගේ කැමැත්ත කළ යුතුයි.—මතෙව් 6:22-24, 31-33; 1 යොහන් 2:17.

13 යටහත් පහත් වීම අපට අමාරු වීමට බලපාන තුන්වන හේතුව වන්නේ මුලින්ම උඩඟුකම විදහාපෙන්වූ තැනැත්තා වන සාතන් මේ ලෝකයේ පාලකයා වීමයි. (2 කොරින්ති 4:4; 1 තිමෝති 3:6) සාතන් ඔහුගේ නපුරු ගතිලක්ෂණ අන් අය තුළත් ඇති කිරීමට වෑයම් කරනවා. උදාහරණයක් හැටියට, ඔහු යේසුස්ට “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” පෙන්වා ඔහුගේ නමස්කාරය ලබාගැනීමට වෑයම් කළා. සාතන් කළ මේ යෝජනාව යේසුස් එකහෙළාම ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:8, 10) තමන්ට ගෞරවයක් ලබාගැනීම සඳහා ක්‍රිස්තියානීන්ව පොලඹවන්න සාතන් ඒ හා සමානව වෑයම් කරනවා. එහෙත් යටහත් පහත් ක්‍රිස්තියානීන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ප්‍රශංසාව හා ගෞරවය දෙවිට ලබා දෙනවා.—මාක් 10:17, 28.

සැබෑ යටහත්කම වර්ධනය කරගනිමු

14. “බොරු යටහත් පහත්කම” පෙන්වන කෙනෙක් ක්‍රියා කරන්නේ කොහොමද?

14 මිනිසුන්ව සතුටු කිරීමට මවාපාන “බොරු යටහත් පහත්කම” සම්බන්ධයෙන් පාවුල් කොලොස්සිවරුන්ට ලියූ ලිපියේදී අනතුරු ඇඟෙව්වා. මෙසේ අනිත් අයට පෙනෙන්න යටහත් පහත් වන පුද්ගලයන් සැබෑ දේවභක්තියක් තිබෙන අය නොවෙයි. ඔවුන් ඇත්තෙන්ම උඩඟුකමින් ‘හිස උදුම්මාගත්’ අයයි. (කොලොස්සි 2:18, 23) මෙසේ බොරුවට යටහත් පහත්කම පෙන්වන අය ගැන යේසුස් කතා කළා. පරිසිවරුන් අනිත් අයට පෙනෙන්න කළ යාච්ඤාවන් හා නිරාහාරව සිටින බව මුහුණේ ඉරියව්වලින් පෙන්වීම යේසුස් හෙළාදැක්කා. අපි පෞද්ගලිකව කරන යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දීමට නම් අපි එම යාච්ඤා යටහත් පහත් ලෙස ඉදිරිපත් කළ යුතුයි.—මතෙව් 6:5, 6, 16.

15. (අ) දිගටම යටහත් පහත් වීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? (ආ) යටහත් පහත් වීම සම්බන්ධයෙන් හොඳ ආදර්ශ කිහිපයක් නම් කරන්න.

15 යටහත්කම සම්බන්ධයෙන් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් තබා තිබෙන ආදර්ශය ගැන සිතීම යටහත් පහත් වීමට අපට උපකාරවත් වෙනවා. මේ සඳහා බයිබලය සහ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා තිබෙන පොත් පත් නිතිපතා අධ්‍යයනය කළ යුතුයි. (මතෙව් 24:45) විශේෂයෙන් ක්‍රිස්තියානි අවේක්ෂකයන් ‘ඔවුන්ගේ හෘදය තම සහෝදරයන්ට විරුද්ධව උඩඟු නොවන’ පිණිස එවැනි අධ්‍යයනයක් කිරීම ඉතාමත් වැදගත්. (ද්විතීය කතාව 17:19, 20; 1 පේතෘස් 5:1-3) යටහත්කම පෙන්වීම නිසා ආශීර්වාද ලැබූ රූත්, හන්නා, එලිසබෙත් සහ තවත් එවැනි අයගේ ආදර්ශ ගැන සිතා බලන්න. (රූත් 1:16, 17; 1 සාමුවෙල් 1:11, 20; ලූක් 1:41-43) යෙහෝවාට යටහත් පහත්ව සේවය කළ දාවිත්, යොෂියා, යොහන් බව්තීස්ත හා පාවුල් වැනි කැපීපෙනෙන ආදර්ශ ගැනත් සිතා බලන්න. (2 ලේකම් 34:1, 2, 19, 26-28; ගීතාවලිය 131:1; යොහන් 1:26, 27; 3:26-30; ක්‍රියා 21:20-26; 1 කොරින්ති 15:9) යටහත් පහත්කම පිළිබඳ හොඳ ආදර්ශයක් තබන අය ක්‍රිස්තියානි සභාවේ අදත් සිටිනවා. මේ අයගේ ආදර්ශ ගැන හොඳින් සිතා බැලීමෙන් ‘යටහත් පහත් මනසකින් එකිනෙකා සමඟ කටයුතු කිරීමට’ ක්‍රිස්තියානීන්ට හැකි වෙනවා.—1 පේතෘස් 5:5.

16. දේවසේවයේ හවුල් වීම යටහත් පහත් වීමට අපට උපකාරවත් වන්නේ කෙසේද?

16 යටහත් පහත් වීමට අපට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ නිතිපතා දේවසේවයේ හවුල් වීමයි. අපි යටහත් පහත් නම් නිවෙස්වලදී හෝ වෙනත් ස්ථානවලදී අපට හමු වන අයට අපි පවසන පණිවිඩයට ඔවුන් හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. මෙය විශේෂයෙන්ම සත්‍යයක් වන්නේ අපි පවසන රාජ්‍ය පණිවිඩයට මුලදී අකමැති වෙන අයට හෝ සැර පරුෂ ලෙස ප්‍රතිචාරය දක්වන අයට කතා කරන විටයි. බොහෝ අවස්ථාවලදී මිනිසුන් අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන විට “මෘදුකමින් හා ගැඹුරු ගෞරවයෙන් යුක්තව” ඔවුන්ට පිළිතුරු දීමට අපට හැකි වන්නේ අප යටහත් පහත් නම් පමණයි. (1 පේතෘස් 3:15) දෙවිගේ යටහත් පහත් සේවකයන් රාජ්‍ය පණිවිඩය දේශනා කිරීම සඳහා අලුත් ප්‍රදේශවලට ගොස් එහි සිටින විවිධ සංස්කෘතීන් හා ජීවන මට්ටම්වල සිටින මිනිසුන්ට උපකාර කර තිබෙනවා. මේ අයට වඩාත් හොඳින් උපකාර කිරීම සඳහා අලුත් භාෂාවක් ඉගෙනගැනීම අමාරු දෙයක් වුණත් ඔවුන් අත් නෑර ඒ සඳහා වෑයම් කරන්නේ ඔවුන්ගේ යටහත්කම නිසයි. මෙය මොන තරම් අගය කිරීමට වටිනා දෙයක්ද!—මතෙව් 28:19, 20.

17. අප යටහත් පහත් විය යුත්තේ ක්‍රිස්තියානීන් හැටියට කුමන වගකීම් ඉටු කිරීමේදීද?

17 තමන්ගේ වුවමනා එපාකම් පසෙක දමා අනිත් අය වෙනුවෙන් තම වගකීම් ඉටු කිරීමට බොහෝ ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙන්නේ යටහත් පහත්කම නිසයි. උදාහරණයක් හැටියට, ක්‍රිස්තියානි පියෙකුට තමන්ගේ වැඩ කටයුතුවලින් කාලය ගෙන හොඳින් සූදානම් වී දරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට නම් ඔහුට යටහත් පහත්කම තිබිය යුතුයි. අඩු පාඩුකම් තිබෙන තමන්ගේ දෙමාපියන්ට කීකරු වීමට දරුවන්ටත් යටහත් පහත්කම අවශ්‍යයි. (එෆීස 6:1-4) ‘නිර්මල හැසිරීමෙන් හා ගැඹුරු ගෞරවය දැක්වීමෙන්’ ඇදහිල්ලේ නැති තම ස්වාමිපුරුෂයන්ව දිනාගැනීම සඳහා භාර්යාවන්ටත් යටහත් පහත් වීමට බොහෝ අවස්ථා උදා වෙනවා. (1 පේතෘස් 3:1, 2) අසනීපවලින් පෙළෙන හා මහලු වියේ පසු වන දෙමාපියන්ව ආදරයෙන් බලාගැනීමේදී තමන් කැමති දේවල් නොසලකාහරිමින් යටහත් පහත් වීම අවශ්‍යයි.—1 තිමෝති 5:4.

යටහත් පහත් අයට ගැටලු විසඳාගැනීම පහසුයි

18. යටහත් පහත් කෙනෙකුට ගැටලු විසඳාගැනීම පහසු වන්නේ ඇයි?

18 දෙවිගේ සියලුම සේවකයන් අතින් අඩු පාඩුකම් සිදු වෙනවා. (යාකොබ් 3:2) සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානීන් දෙදෙනෙක් අතර මතභේද හා වරදවා වටහාගැනීම් ඇති විය හැකියි. එක් කෙනෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට අනිත් කෙනාට හොඳ හේතු තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි ගැටලුවක් ඇති වූ අවස්ථාවලදී මෙම උපදේශය අදාළ කරගැනීමෙන් එය විසඳාගන්න පුළුවන්. “යමෙකුට විරුද්ධව පැමිණිලි කිරීමට හේතුවක් ඇත්නම්, එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න. යෙහෝවා මුළු හදවතින්ම ඔබට කමා කළාක් මෙන් ඔබත් එසේ කරන්න.” (කොලොස්සි 3:13) මෙම උපදේශය පිළිපැදීම පහසු නැති වුණත් අපි යටහත් පහත් නම් එය පිළිපැදීම එතරම් අමාරු වන්නේ නැහැ.

19. අපේ සිත රිදවූ කෙනෙක් සමඟ අපි කතා කරන විට අප මතක තබාගත යුත්තේ කුමක්ද?

19 යමෙකුට විරුද්ධව තිබෙන කාරණයක් ගණන් නොගෙන සිටිය නොහැකි තරම් බරපතළයි කියා සමහරවිට ක්‍රිස්තියානියෙකුට සිතෙන්න පුළුවන්. එවැනි තත්වයකදී අනිත් කෙනා තමන්ට වැරදි කළා කියා සිතනවා නම් සමාදාන වීමේ අරමුණින් ඔහු වෙතට යා හැක්කේ තමන් යටහත් පහත් කෙනෙක් නම් පමණයි. (මතෙව් 18:15) සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානීන් අතර ගැටලු දිගටම පැවතීමට එක් හේතුවක් වන්නේ වරද පිළි නොගැනීමට තරම් දෙපාර්ශ්වයම උඩඟු වීමයි. එහෙමත් නැත්නම් ගැටලුව විසඳාගැනීමට මුල් පියවර ගන්න කෙනා එසේ කරන්නේ අනිත් කෙනා වැරදියි කියා පෙන්වීමට විය හැකියි. මීට වෙනස්ව ඇත්තටම යටහත් පහත්කම තිබෙනවා නම් හුඟාක් ගැටලු විසඳාගත හැකියි.

20, 21. යටහත් පහත් වීමට අපට මහත් උපකාරයක් වන්නේ කුමක්ද?

20 යටහත් පහත්කම වර්ධනය කරගැනීමේදී කළ යුතු එක් ප්‍රධාන දෙයක් වන්නේ දෙවිගේ උපකාරය හා බලය ඉල්ලා යාච්ඤා කිරීමයි. ඒත් ‘දෙවි [ඔහුගේ බලය ඇතුළුව] මහත් කරුණාව දෙන්නේ යටහත් අයට’ බව මතක තබාගන්න. (යාකොබ් 4:6) ඔබට යම් සහෝදරයෙක් සමඟ ගැටලුවක් තිබෙනවා නම් ඔබ අතින් සිදු වී තිබිය හැකි වැරැද්ද කුඩා වුණත් ලොකු වුණත් යටහත් පහත්ව එය පිළිගැනීම සඳහා උපකාර කරන්න කියා යෙහෝවාට යාච්ඤා කරන්න. ඔබේ සිත රිදවා තිබෙන කෙනා “මට සමාවෙන්න” කියා අවංකවම පවසනවා නම් යටහත් පහත්ව ඔහුට සමාව දෙන්න. ඔබට මෙය අමාරු දෙයක් නම් ඔබේ සිතේ තිබෙන උඩඟුකම නැති කර දැමීම සඳහා යෙහෝවාගේ උපකාරය පතා යාච්ඤා කරන්න.

21 මේ අනගි ගුණාංගයෙන් අපට ලැබෙන බොහෝ ප්‍රයෝජන ගැන හොඳින් තේරුම්ගන්න විට එය වර්ධනය කරගැනීමටත් එය විදහාපෙන්වීමටත් පෙලඹීමක් අප තුළ ඇති විය යුතුයි. මේ සඳහා යෙහෝවා දෙවි සහ යේසුස් අපිට පෙන්වා තිබෙන කදිම ආදර්ශය අපට උපකාරවත් වනවාට සැකයක් නැහැ. දෙවි දී තිබෙන මෙම සහතිකය කිසිදා අමතක නොකරන්න. “යටත්කමේද යෙහෝවාට භයවීමේද විපාකය නම් වස්තුවද ගෞරවයද ජීවනයද වේ.”—හිතෝපදේශ 22:4.

සිතා බැලීම සඳහා කරුණු කිහිපයක්

• යටහත් පහත්කම සම්බන්ධයෙන් උතුම් ආදර්ශ සපයා තිබෙන්නේ කවුරුන්ද?

• යටහත් පහත්කම වර්ධනය කිරීමට අමාරු දෙයක් වන්නේ ඇයි?

• යටහත් පහත් වීමට අපට උපකාරවත් වන්නේ මොනවාද?

• යටහත් පහත්කම වර්ධනය කිරීම මෙතරම් අවශ්‍ය වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[26වන පිටුවේ පින්තූරය]

යේසුස් අවංකවම යටහත් පහත්කම විදහාපෙන්නුවා

[28වන පිටුවේ පින්තූරය]

මේ ලෝකය මිනිසුන්ව දිරිගන්වන්නේ අනුන්ට වඩා තමන් උතුම් කියා සිතීමටයි

[හිමිකම් විස්තර]

WHO photo by L. Almasi/K. Hemzǒ

[29වන පිටුවේ පින්තූරය]

සේවයේ හමු වන අයට කතා කිරීමේදී යටහත් පහත්කම අපට උපකාරවත් වෙනවා

[30වන පිටුවේ පින්තූර]

යටහත් පහත් කෙනෙකුට ප්‍රේමයෙන් ගැටලු විසඳාගැනීමට පහසුයි

[31වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානීන්ට යටහත් පහත්කම පෙන්විය හැකි බොහෝ පැති තිබෙනවා