Skip to content

පටුනට යන්න

සාර්ථක ජීවිතයකට මඟ සලසන අධ්‍යාපනයක් තිබෙනවාද?

සාර්ථක ජීවිතයකට මඟ සලසන අධ්‍යාපනයක් තිබෙනවාද?

සාර්ථක ජීවිතයකට මඟ සලසන අධ්‍යාපනයක් තිබෙනවාද?

ඔබ ප්‍රශ්න ගැටලුවලින් යට වී තිබෙනවා කියා කවදා හෝ ඔබට හැඟී තිබෙනවාද? ඔබ මුහුණ දෙන ගැටලුවලට සාර්ථක විසඳුමක් සොයාගන්න නොහැකි වුණොත් ඔබට මොන තරම් වේදනාවක් අද්දකින්න සිදු වෙයිද? සෑම ගැටලුවක්ම සාර්ථකව විසඳාගැනීමේ හැකියාව හා සෑමවිටම නිවැරදි තීරණ ගැනීමේ හැකියාව කිසිම කෙනෙකුට සහජයෙන්ම ලැබී නැහැ. මේ නිසයි අධ්‍යාපනය ලැබීමේ අවශ්‍යතාව පැනනැඟී තිබෙන්නේ. එහෙත් අධ්‍යාපනය ගැන කතා කරද්දී මෙම ප්‍රශ්න මතු වෙනවා. ජීවිතයේ ගැටලු ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබා දෙන අධ්‍යාපනයක් තිබෙනවාද? එසේ තිබෙනවා නම් එම අධ්‍යාපනය ලබන්න පුළුවන් කොහෙන්ද?

පාසැල් අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම ගැන බාල මහලු හැම කෙනෙක්ම කතා කරනවා. “හොඳ අධ්‍යාපනයක් ලබාගත්තේ නැත්නම් හොඳ රැකියාවක්ද ලබාගත නොහැකියි” කියා ඇතැම් විශේෂඥයන් පවසනවා. එහෙත් මිනිසුන්ට මුදල්වලින් හා සැප සම්පත්වලින් පමණක් තෘප්තියක් ලැබිය නොහැකියි. උදාහරණයක් හැටියට යම් කෙනෙක් හොඳ අධ්‍යාපනයක් ලබා තිබූ පමණකින් ඔහු හෝ ඇය හොඳ පියෙක් හෝ මවක් වෙයිද? හොඳ ස්වාමිපුරුෂයෙක් හෝ බිරිඳක් වෙයිද? හොඳ මිතුරෙක් වෙයිද? උගත්කම නිසා සමාජයේ පැසසුමට ලක් වී තිබෙන ඇතැම් පුද්ගලයන් තුළ නරක ගුණාංග දැකිය හැකියි. ඔවුන්ගේ පවුල් ජීවිත බිඳ වැටී තිබෙනවා. ඇතැම් උගත් අය පවා සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ආගමෙන් තමන්ට හොඳ මඟ පෙන්වීම් ලැබෙයි කියා ඇතමුන් සිතුවත් ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ දීමට අවශ්‍ය උපකාරය ආගමෙන් නොලැබෙන නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී තිබෙනවා. මේ බව මෙක්සිකෝවේ එමීලියා * පවසන දෙයින් පැහැදිලි වෙනවා. ඇය මෙසේ පවසනවා. “අපි දෙන්නාට එකට ජීවත් වෙන්න බැහැයි කියලා මටයි මගේ ස්වාමිපුරුෂයාටයි හැඟුණේ මීට අවුරුදු 15කට කලිනුයි. හැම වෙලේම අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා. මම කොච්චර කිව්වත් එයා බොන එක නතර කෙරුවේ නැහැ. අපේ පොඩි දරුවන්ව තනියම ගෙදර තියලා ස්වාමිපුරුෂයාව හොයන්න යන්න මට සිද්ධ වුණ අවස්ථා අනන්තයි. මම මානසිකව වැටිලයි හිටියේ. මගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මම කිහිප වතාවක්ම පල්ලි ගියා. පූජකවරයා දේශනාවේදී ඉඳ හිට බයිබලය පාවිච්චි කළත් මගේ ප්‍රශ්නවලට හරි යන උපදෙස් කෙළින්ම බයිබලයෙන් මට ලැබුණේ නැහැ. කරන්න ඕනෙ මොනවාද කියලා කිසි කෙනෙක් මට කිව්වේ නැහැ. ටික වේලාවක් පල්ලියේ ගත කරමින් එකම යාච්ඤා එක දිගට කළාට මට විසඳුමක් ලැබුණේ නැහැ.” තවත් සමහරු තමන්ට ආගම උගන්වන අයගේ ජීවිත දැකලා කලකිරී සිටිනවා. මේ නිසා සාර්ථක ජීවිතයකට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ආගමෙන් ලැබෙයි කියන විශ්වාසය හුඟදෙනෙකුට නැහැ.

මේ නිසා ඔබ මෙසේ අසන්න පුළුවන්. ‘සාර්ථක ජීවිතයකට මඟ සලසන අධ්‍යාපනයක් තියෙනවාද?’ මේ වැදගත් ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරක් සැබෑ ක්‍රිස්තියානි ආගමෙන් ලබාගන්න පුළුවන්ද? මේ ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු.

[පාදසටහන]

^ 4 ඡේ. නම වෙනස් කර තිබෙනවා.