අසාධාරණ ලෝකය ඇත්තෙන්ම වෙනස් කළ හැක්කේ කාටද?
අසාධාරණ ලෝකය ඇත්තෙන්ම වෙනස් කළ හැක්කේ කාටද?
“දුප්පතුන්ට මොන දෙයටත් වඩා වටින්නේ සාමය හා සුරක්ෂිතභාවයයි. එසේම තම ජීවිත තව ටිකක් දියුණු කරගැනීම සඳහා අවස්ථාවන් සහ ධනවත් රටවල් හා සමාගම් මඟින් ඔවුන්ව පාගා නොදමන සාධාරණ වූ දේශීය හා විදේශීය ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ට අවශ්‍යයි.”
දුප්පත් අයගේ සිතුම් පැතුම් සහ අපේක්ෂාවන් ගැන එසේ විස්තර කරන්නේ එක්තරා ජාත්‍යන්තර සහනාධාර ආයතනයක අධ්‍යක්ෂකවරියක්. ඇත්තෙන්ම ඇගේ එම වචනවලින් මේ ලෝකයේ ඛේදවාචකවලට මෙන්ම අසාධාරණකම්වලට ගොදුරු වූ අයට ඇති බලාපොරොත්තු මොනවාද යන්න හොඳින් පැහැදිලි වෙනවා. මේ ලොවේ සාමය හා සුරක්ෂිතභාවය ඔවුන්ගේ පැතුමයි. එවැනි කාලයක් ඇත්තටම ඇති වෙයිද? මුළු ලෝකයේම තිබෙන අසාධාරණකම් නැති කිරීමට බලය සහ හැකියාව ඇති කෙනෙක් ඉන්නවාද?
වෙනසක් ඇති කිරීමට ගත් වෑයම්
තත්වයේ වෙනසක් ඇති කිරීමට බොහෝදෙනෙක් අවංක උත්සාහයක් දරා තිබෙනවා. දහනවවන සියවසේ ජීවත් වූ ෆ්ලෝරන්ස් නයිටිංගේල් නම් ඉංග්‍රීසි ජාතික කාන්තාව ඉන් එක්කෙනෙක්. ඇය තම ජීවිතය කැප කළේ රෝගීන්ට පිරිසිදු හා කාරුණික සාත්තු සේවයක් ලබා දීම සඳහායි. ඒ කාලයේදී, ඒ කියන්නේ විෂබීජ නාශක හා ප්‍රතිජීවක සොයාගන්න කලින්, රෝහල් සේවය පැවතියේ අද තරම් දියුණු තත්වයක නෙවෙයි. එදා සිටි “හෙදියන් එතරම් උගත්කමක් නැති, අපිරිසිදු, බේබදුකමට සහ දුරාචාරයට බර වූ අය” බව එක් වාර්තාවක සඳහන් වුණා. හෙද සේවය වඩා හොඳ මට්ටමකට ගේන්න ෆ්ලෝරන්ස් නයිටිංගේල් දැරූ වෙහෙස සාර්ථක වුණාද? ඔව්, වෙනසක් ඇති කරන්න ඇයට හැකි වුණා. ඇයට සමානව කාරුණික සහ පරාර්ථකාමීව සේවය කර තිබෙන බොහෝදෙනෙක් ජීවිතයේ විවිධ පැතිවලින්, එනම් කියවීමේ හැකියාව, අධ්‍යාපනය, වෛද්‍ය සේවාවන්, නිවාස සැලසුම්, පෝෂණ සැලසුම් වැනි දේවල් තුළින් ලොකු වෙනසක් ඇති කර තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට බොහෝදෙනෙකුගේ ජීවිත මට්ටම දියුණු වී තිබෙනවා.
ඒත් කටුක යථාර්ථය, එනම් මිලියන ගණන් ජනයා තාමත් යුද්ධ, ලෙඩ රෝග, සාගත සහ වෙනත් විපත්තිවලින් පීඩා විඳිනවා කියන එක අපිට පිළිගන්නම වෙනවා. එක්තරා අයර්ලන්ත සහනාධාර ආයතනයකට අනුව “දුප්පත්කම නිසා දිනකට මිනිසුන් 30,000ක් මිය යනවා.” වහලුන් ලෙස මිනිසුන්ව යොදාගැනීම තවමත් සිදු වෙනවා. මේ තත්වය නැති කිරීමට බොහෝදෙනෙක් අතීතයේ දැරූ වෙහෙස නිෂ්ඵල වී තියෙනවා. එක්තරා පොතක සඳහන් වෙන්නේ අතීතයේ වහල් සේවය සඳහා අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් ගෙන යනු ලැබූ වහලුන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් අද දින වහල් සේවයේ යෙදෙන බවයි.—Disposable People—New Slavery in the Global Economy.
මෙවැනි තත්වයන් වෙනස් කිරීමට මිනිසුන් දරන වෑයම් අසාර්ථක වී තිබෙන්නේ ඇයි? එය එසේ වන්නේ ධනවත් බලවත් අයගේ ක්‍රියාකාරකම් නිසා පමණක්ද? එහෙමත් නැත්නම් ඊට වඩා දෙයක් ඊට ඇතුළත්ද?
වෙනසකට බාධා
සාධාරණ ලෝකයක් ඇති කිරීමට මිනිසුන් දරන ඕනෑම වෑයමකට ප්‍රධානතම බාධාව වෙන්නේ සාතන් නමැති යක්ෂයා බව දේවවචනය පවසයි. “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” එහි සඳහන් වෙයි. (1 යොහන් 5:19) ඇත්තෙන්ම සාතන් දැන් ‘මුළු පොළොවම නොමඟ යවමින්’ සිටියි. (එළිදරව් 12:9) ඔහුගේ දුෂ්ට බලපෑම් ඉවත් කරන තෙක් අසාධාරණයට හා නපුරු දේවලට ගොදුරු වූ අය සිටින්න යනවා. මේ දුක්ඛිත තත්වය ඇති වුණේ කොහොමද?
අපගේ මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒවට දෙවිගෙන් ලැබුණේ, කිසි අඩුවක් නැතිව ප්‍රීතියෙන් සහ සාමයෙන් මුළු මිනිස් සංහතියටම ජීවත් විය හැකි පාරාදීසයක්. ඔව් එදා ලෝකය ඇත්තෙන්ම “ඉතා යහපත්” තැනක් වුණා. (උත්පත්ති 1:31) එසේනම් තත්වය වෙනස් වුණේ කොහොමද? වෙනස ඇති කළේ සාතන්. මිනිසුන්ට ජීවත් වීම සඳහා නීති ඇති කිරීමට දෙවිට අයිතියක් නැති බව ඔහු කියා සිටියා. දෙවි මිනිසුන්ව පාලනය කළේ අසාධාරණ ලෙසට බව ඔහු එමඟින් ඇඟෙව්වා. ඔහු ආදම් සහ ඒවව පෙලඹ වූයේ දෙවිගේ මඟ පෙන්වීම නැතුව හොඳ නරක තමන්ටම තීරණය කිරීමට හැකි ස්වාධීන ජීවිතයක් තෝරාගැනීමටයි. (උත්පත්ති 3:1-6) මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සාධාරණ ලෝකයක් ඇති කිරීමට මිනිසා දරා තිබෙන වෑයම්වලට හේතු වී ඇති ඊළඟ බාධකය ඇති වුණා. ඒ තමයි උරුම වූ පාපය හා වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව.—රෝම 5:12.
දෙවි ඊට ඉඩ හැරියේ ඇයි?
‘ඔවුන් එහෙම කළා කියා අපට පාපය උරුම වෙන්නත් වැරදි කිරීමට තිබෙන නැඹුරුවාව අප තුළ ඇති වෙන්නත් දෙවි ඉඩ හැරියේ ඇයි? ඔහුට තිබෙන
අසීමිත බලය යොදාගෙන ඒ කැරලිකරුවන්ව විනාශ කරලා නැවතත් දේවල් අලුතින් පටන්ගන්න තිබුණා නේද?’ කියා සමහරු අහන්න පුළුවන්. ඒක හරිම සරල විසඳුමක් වගේ පෙනෙන්න තිබුණත්, කෙනෙක් තමාට තිබෙන බලය කොයි ආකාරයෙන් යොදාගන්නවාද කියන කාරණය නම් ඒ තරම් සරල නැහැ. ලෝකයේ සිටින දිලිඳු මෙන්ම පීඩිත අයගේ දුක්ගැනවිලිවලට ප්‍රධාන හේතුව, බලවතුන් ඔවුන්ගේ බලය ඔවුන්ටම ඕන විදිහට යොදාගැනීම නේද? කෲර පාලකයෙක් තමාට එකඟ නොවන ඕනෑම කෙනෙක්ව නැති කර දැමීමට තම බලය යොදාගන්න විට අවංක මිනිසුන්ගේ සිත්වල ඔහු ගැන සැක පහළ වෙන්නේ නැද්ද?ඒ නිසා තම බලය කුරිරු ආකාරයකින් යොදාගන්නේ නැහැයි කියා අවංක අයට ඔප්පු කිරීම සඳහා සාතන්ටත් කැරලිකාර ඒ මිනිස් යුවළටත් දිව්‍ය නීති සහ ප්රතිපත්තිවලින් නිදහස් ජීවිතයක් ගත කිරීම සඳහා දෙවි ඉඩහැරියා. නමුත් ඒ සීමිත කාලයකට පමණයි. තමාගේ පාලනය හොඳම පාලන ක්‍රමය බවත්, ඔහු අපට යම් තහංචි පනවන්නේ අපේම ප්‍රයෝජනයට බවත් එමඟින් අපටම ඔප්පු කරගැනීමට ඔහු ඉඩහැරියා. මිනිසා අද්දැක තිබෙන ඛේදනීය ප්‍රතිඵලවලින් දැනටමත් එය සත්‍යයක් බව පැහැදිලි වී තිබෙනවා. ඒ වගේම දුෂ්ටකම සම්පූර්ණයෙන් නැති කර දැමීම සඳහා ළඟදීම දෙවි තම මහත් බලය යොදාගන්නා විට එය අසාධාරණයි කියා කීමට කාටවත් බැහැ.—උත්පත්ති 18:23-32; ද්විතීය කථාව 32:4; ගීතාවලිය 37:9, 10, 38.
එසේනම් දෙවි පියවරක් ගන්න තෙක් “එක්ව කෙඳිරිගාමින්ද වේදනා විඳිමින්ද” අසාධාරණ ලොවක සිර වී සිටින්න අපට සිදු වී තිබෙනවා. (රෝම 8:22) තත්වයන් වෙනස් කරන්න අපි කොතරම් උත්සාහ කළත් සාතන්ව නැති කරන්න නම් අපිට බැහැ. ඒ වගේම අපි විඳින දුකට මූලික හේතුව වන අපට ආදම්ගෙන් උරුම වී තිබෙන පාපය හා වැරදි කිරීමට තිබෙන නැඹුරුවාවත් ඒ නිසා ඇති වන ප්‍රතිඵලත් සම්පූර්ණයෙන් ඉවත් කරන්නත් අපිට බැහැ.—ගීතාවලිය 49:7-9.
යේසුස් ක්‍රිස්තුස් සදාකාලික වෙනසක් ඇති කරයි!
ඒ කියන්නේ අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැයි කියලාද? ඇත්තෙන්ම අපිට හොඳ බලාපොරොත්තුවක් තිබෙනවා! මේ ලෝකයට සදාකාලික වෙනසක් ඇති කිරීමට ඔහුගේ ප්‍රධාන නියෝජිතයා හැටියට දෙවි පත් කර තිබෙන්නේ මිනිසෙකුට වඩා බලවත් කෙනෙකුවයි. ඔහු තමයි යේසුස් ක්‍රිස්තුස්.—ක්‍රියා 5:31.
ඔහු දැන් බලා සිටින්නේ දෙවිගේ “නියමිත කාලය” පැමිණෙන තුරුයි. (එළිදරව් 11:18) ඔහු ‘දෙවි පුරාණ කාලයේ විසූ තම ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුවින් පැවසූ ලෙස, සියල්ල නැවත පිහිටුවයි.’ (ක්‍රියා 3:21) යේසුස් “මොරගසන දිලින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. . . . ඔහු ඔවුන්ගේ ආත්මය පීඩාව හා බලාත්කාරකමෙන් මුදන්නේය.” (ගීතාවලිය 72:12-16) යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි “පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය.” (ගීතාවලිය 46:9) තමා විසින් පොළොව පිරිසිදු කළ පසු කිසිම ‘වැසියෙක්: මම රෝගාතුරවෙමියි නොකියන්නේය’ කියා යේසුස් පොරොන්දු වෙනවා. ඒ කාලයේදී අන්ධයන්, බිහිරන්, කොරුන් වැනි ආබාධිතයන් හා වෙනත් රෝගවලින් පෙළෙන සියලුදෙනාටම පරිපූර්ණ සෞඛ්‍ය තත්වයක් භුක්ති විඳීමටත් හැකි වෙයි. (යෙසායා 33:24; 35:5, 6; එළිදරව් 21:3, 4) අතීතයේදී අසාධාරණකම හා බලහත්කාරකම් නිසා පීඩා විඳ මිය ගිය අයවත් නැවත ජීවත් කරවන බව යේසුස් පොරොන්දු වෙනවා.—යොහන් 5:28, 29.
යේසුස් ක්‍රිස්තුස් ඇති කරන්න යන වෙනස සීමිත හෝ තාවකාලික වෙනසක් නෙවෙයි. ඔහු සැබවින්ම සාධාරණ ලොවක් ඇති කිරීම සඳහා ඇති සියලුම බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න යනවා. මිනිසා තුළ තිබෙන පාපයත් පව් කිරීමට තිබෙන නැඹුරුවාවත් ඉවත් කරනු ලබන අතර සාතන් වන යක්ෂයාවත් ඔහුගේ කැරලිකාර ආදර්ශය අනුකරණය කරන සියලුදෙනාවත් ඔහු විනාශ කරයි. (එළිදරව් 19:19, 20; 20:1-3, 10) දැන් අපි අත්විඳින දුක් වේදනාවන් පවතින්න දෙවි යම් කාලයකට ඉඩ දුන්නත් ඒවා “දෙවෙනි වර නොපැමිණෙන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (නාහුම් 1:9) දේවරාජ්‍යය පැමිණේවා කියාත් දේවකැමැත්ත “ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද” සිදු වේවා කියාත් යාච්ඤා කිරීමට අපට ඉගැන්වූ අවස්ථාවේදී යේසුස්ගේ මනසේ තිබුණේ එයයි.—මතෙව් 6:10.
‘ඒත් “දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති” කියා යේසුස් කිව්වා නේද’ කියා ඔබට මතක් වෙන්න පුළුවන්. ‘ඔහු ඉන් අදහස් කළේ අසාධාරණකම හා දුගීභාවය මිනිසුන් අතර හැමදාම පවතියි කියාද?’ (මතෙව් 26:11) දුප්පත් අය හැමදාම සිටීවි කියා යේසුස් පැවසූ බව ඇත්තයි. ඒත් ඔහුගේ ඒ වචන සඳහන් පදයේ අවට පාඨ සම්බන්ධයෙන් සහ දෙවිගේ පොරොන්දුවලින් පැහැදිලි වෙන්නේ මිනිසුන් දුප්පත්ව සිටින්නේ මේ සමාජ ක්‍රමය පවතින තාක් කල් පමණක් බවයි. මුළු ලෝකයේ තිබෙන දුප්පත්කම හා අයුක්තිය නැති කිරීමට කිසිම මිනිසෙකුට බැරි වුණත් තමා ඒ හැම දෙයක්ම වෙනස් කරන්න යන බවත් ඔහු දැනගෙන සිටියා. ඔහු ළඟදීම ලෙඩදුක්, වේදනාව, දිලිඳුකම සහ මරණය නැති මුළුමනින්ම අලුත් සමාජ ක්‍රමයක් වන “අලුත් අහසක් හා අලුත් පොළොවක්” ඇති කරන්න යනවා.—2 පේතෘස් 3:13; එළිදරව් 21:1.
‘යහපත කිරීමට අමතක නොකරන්න’
අනුන්ට උපකාර කිරීම සඳහා අපිට හැකි හැම දෙයක්ම කිරීමෙන් කිසි පලක් නැහැයි කියා මින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. අනිත් අය පීඩාවන්ට හා වේදනාකාරී තත්වයන්ට මුහුණ දෙන විට ඔවුන්ට උපකාර කරන මෙන් බයිබලය අපට දිරිගන්වනවා. “ඔබට පුළුවන්කම තිබෙන විට ලැබිය යුතු අයගෙන් යහපත නොවළක්වන්න.” (හිතෝපදේශ 3:27) ඒ වගේම පාවුල් අපිට උනන්දු කරන්නේ “යහපත කිරීමටද අනුන් සමඟ දේවල් බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න” කියායි.—හෙබ්‍රෙව් 13:16.
යේසුස් ක්‍රිස්තුස්ද අපිට දිරිගැන්නුවේ අන් අයට උපකාර කිරීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමටයි. කොල්ලකරුවන්ට අසු වී පහර ලැබූ මිනිසෙක්ව දුටු සමරිතානුවරයෙක් ගැන ඔහු උපමා කතාවක් කිව්වා. සමරිතානුවරයා “අනුකම්පාවෙන් පෙලඹී” ඒ මිනිසාගේ තුවාලවලට බෙහෙත් දැමීමටත් ඔහුට යම් සාත්තුවක් ලබා දීම සඳහාත් තමාට කළ හැකි හැම දෙයක්ම කළා. (ලූක් 10:29-37) කාරුණිකව කටයුතු කළ ඒ සමරිතානුවරයාට ලෝකය වෙනස් කරන්න බැරි වූ බව ඇත්තයි. නමුත් අඩුම තරමින් ඔහුට හැකි වුණා තවත් කෙනෙකුගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරන්න. අනුන් වෙනුවෙන් එවැනි දේවල් කරන්න අපිටත් පුළුවන් නේද?
නමුත් ඊටත් වඩා වැඩි දෙයක් කරන්න යේසුස් ක්‍රිස්තුස්ට පුළුවන්. ඔහුට පුළුවන් ලෝකයටම ලොකු වෙනසක් ඇති කරන්න. ඔහු ළඟදීම එය කරාවි! දැන් අසාධාරණ තත්වයන්ට ගොදුරු වී දුක්විඳින සෑම කෙනෙකුටම, ඒ කාලයේදී සැබෑ සාමය හා සුරක්ෂිතභාවයෙන් පිරි වඩා හොඳ ජීවිතයක් භුක්ති විඳින්න ලැබෙනවා නොඅනුමානයි.—ගීතාවලිය 4:8; 37:10, 11.
ඒ කාලය එන තෙක් අපිත් මේ අසාධාරණ ලෝකයේ හිර වී සිටින සියලුදෙනාටම “යහපත්කම් කරමු.” ඔවුන්ගේ දුක සැහැල්ලු කිරීමටත් ඔවුන්ව වඩ වඩා දෙවිට ළං කිරීමටත් අපිට කළ හැකි සියල්ලම අපි කරමු.—ගලාති 6:10.
[5වන පිටුවේ පින්තූර]
ෆ්ලෝරන්ස් නයිටිංගේල් හෙද සේවයේ සැබෑ වෙනසක් ඇති කළා
[හිමිකම් විස්තර]
අනුග්‍රහය, National Library of Medicine
[7වන පිටුවේ පින්තූර]
ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් අන් අයට යහපත කිරීම අවශ්‍යයි
[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
The Star, Johannesburg, S.A.