Skip to content

පටුනට යන්න

ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?

ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?

ජීවිත ගමන ඔබ යන්නේ දෙවි සමඟද?

“ඔබේ දෙවි සමඟ යටත්ව ගමන් කරන්න.”—මීකා 6:8, නව ලොව පරිවර්තනය.

1, 2. තම දරුවාට ඇවිදින්න උගන්වන පියෙක් හා සමාන හැඟීමක් අපි ගැනත් යෙහෝවාට තිබෙන බව අප කියන්නේ කොහොමද?

මෙතෙක් දණගසමින් සිටි ළදරුවෙක් තම පළමු පියවර තබන්න අමාරුවෙන් නැඟිටින අයුරු ඔබ දැක තිබෙනවාද? ඒක ඔබට සුළු සිද්ධියක් වුණත් තම දරුවා දෙසට දෑත දිගු කරමින් සතුටින් බලා සිටින ඒ දරුවාගේ අම්මාටයි තාත්තාටයි නම් ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ. අනාගතය ගැන දහසක් බලාපොරොත්තුවලින් ඔවුන්ගේ හිත පිරිලා. ඉදිරි අවුරුදු ගාන පුරාම ඒ පුංචි අත අල්ලාගෙන ඒ කුඩා දරුවා එක්ක ඇවිදින්න ඒ දෙමාපියෝ කොච්චර ආශාවෙන් ඉන්නවාද! මේ විදිහට ඒ දරුවාට අවශ්‍ය කරන මඟ පෙන්වීම් සහ සහයෝගය, දිය හැකි ඕනෑම විදිහකින් හැකි තාක් කල් දෙන්න මේ දෙමාපියෝ ආශාවෙන් ඉන්න බව නම් නිසැකයි.

2 පොළොවේ ජීවත් වන තම දරුවන් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. එෆ්‍රායිම් යනුවෙනුත් හඳුන්වනු ලැබූ ඊශ්‍රායෙලිතයන් ගැන යෙහෝවා පැවසුවේ මෙයයි. “එෆ්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩා ගතිමි; . . . මනුෂ්‍යයෙකුගේ රෑන්වලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි.” (හොෂෙයා 11:3, 4) ලොකු ඉවසීමකින් යුතුව තම දරුවාට ඇවිදින්න උගන්වන පියෙක්, වැටි වැටී ඇවිදින ඒ දරුවා වැටුණු අවස්ථාවලදී තම දෑතට මැදි කරගන්නේ හද පිරි සෙනෙහසින් යුතුවයි. මෙහිදී යෙහෝවා තමන්ව හඳුන්වා දෙන්නෙත් එවැනිම ප්‍රේමණීය පියෙකු හැටියටයි. මෙසේ අපිට උගන්වන්න ආශාවෙන් සිටින හොඳම පියා යෙහෝවායි. අපි ටිකෙන් ටික ඉගෙනගෙන සත්‍යයේ මාර්ගයේ ගමන් කරද්දී යෙහෝවා අපි එක්කම ඉන්නේ ඉමහත් ආශාවකින්. අපේ තේමා බයිබල් පදයට අනුව දෙවි සමඟ ගමන් කරන්න ඇත්තෙන්ම අපිට පුළුවන්! (මීකා 6:8) නමුත් දෙවි සමඟ ගමන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අප එසේ කළ යුත්තේ ඇයි? එය කළ හැක්කේ කොහොමද සහ එසේ කිරීමෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? ඒ ප්‍රශ්න එකිනෙක ගැන අපි දැන් සලකා බලමු.

දෙවි සමඟ ගමන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

3, 4. (අ) දෙවි සමඟ ගමන් කරනවා කියද්දී මනසේ ඇඳෙන චිත්‍රයේ ඇති විශේෂත්වය කුමක්ද? (ආ) දෙවි සමඟ ගමන් කරනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

3 සාමාන්‍ය මිනිසෙක් සමඟ එකට ගමන් කරනවා හා සමානව නොපෙනෙන යෙහෝවා දෙවි සමඟ ගමන් කරන්න අපිට බැරි බව අපි කවුරුත් දන්නවා. (නික්මයාම 33:20; යොහන් 4:24) එමනිසා මිනිසුන් දෙවි සමඟ ගමන් කරනවා කියා බයිබලය කියද්දී එමගින් කෙරෙන්නේ අපේ මනස් තුළ අලංකාර චිත්‍රයක් මැවීමයි. මෙසේ කුඩා දරුවෙක් තම පියා සමඟ ඇවිදිනවා කියා කියද්දී මනසේ ඇදෙන චිත්‍රය ඕනෑම ජාතියක, ඕනෑම සංස්කෘතියක සිටින කෙනෙකුට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්. ඒ වගේම එය ඕනෑම කාලයකටත් ගැළපෙනවා. මේ අලංකාර චිත්‍රයේ දරුවා සහ පියා අතර තිබෙන ලෙන්ගතුකම හා සෙනෙහස ඔබට දැනෙන්නේ නැද්ද? ඒ චිත්‍රයෙන් එන හැඟීම වටහාගැනීමෙන් දෙවි සමඟ ගමන් කරනවා කීමෙන් අදහස් කරන දෙය තේරුම්ගැනීමට අපට වඩාත් පහසු වෙනවා. කොහොමවුණත් අපි මේ ගැන තවත් විස්තරාත්මකව සලකා බලමු.

4 ඇදහිලිවන්ත මිනිසුන් වූ ඒනොක් සහ නෝවාව ඔබට මතකද? මේ අයව විස්තර කර තිබෙන්නේ දෙවි සමඟ ගමන් කළ අය හැටියටයි. ඒ ඇයි? (උත්පත්ති 5:24; 6:9) බයිබලයේ “ගමන් කරනවා” කියා සඳහන් කිරීමෙන් අදහස් කරන්නේ යම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමයි. ඒනොක් සහ නෝවා අනුගමනය කළේ යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟ ජීවිත රටාවක්. අවට සිටි අය මෙන් වෙනවා වෙනුවට ඔවුන් යෙහෝවා දුන් මඟ පෙන්වීම මත රඳා සිටිමින් එයට කීකරු වුණා. ඒ වගේම ඔවුන් ඔහුව විශ්වාස කළා. මින් අදහස් කළේ යෙහෝවා ඔවුන් වෙනුවෙන් තීරණ ගත්තා කියලාද? නැහැ. ඒ වෙනුවට මිනිසුන්ට තීරණ ගැනීමට යෙහෝවා නිදහස දීලා තිබෙනවා. ඒ නිදහස අපගේ “කල්පනා ශක්තිය” යොදාගෙන පාවිච්චි කරනවා දකින්නයි ඔහු කැමති වෙන්නේ. (රෝම 12:1) නමුත් මනුෂ්‍යයන්ට වඩා උසස් මනසක් යෙහෝවා දෙවිට තිබෙන බව අපි යටහත් පහත්ව පිළිගන්නවා. ඒ නිසා අපේ කල්පනා ශක්තිය යොදාගෙන තීරණ ගන්න විට නිතරම යෙහෝවාගේ මඟ පෙන්වීම ලබාගැනීමට අපි උත්සාහ කරනවා. (හිතෝපදේශ 3:5, 6; යෙසායා 55:8, 9) වෙනත් විදිහකින් කියනවා නම්, අපගේ ජීවිත ගමන අපි යන්නේ යෙහෝවාත් එක්කමයි.

5. කෙනෙකුගේ ආයු කාලයට රියනක් එක් කරගැනීම ගැන යේසුස් කතා කළේ ඇයි?

5 බොහෝ අවස්ථාවලදී බයිබලය අපගේ ජීවිතය සමාන කරන්නේ පුද්ගලයෙකු යන ගමනකටයි. සමහරවිට එය කෙළින්ම කියන අතර වෙනත් අවස්ථාවලදී ඇඟවීමක් පමණක් කරනවා. උදාහරණයක් වශයෙන් යේසුස් පැවසූ දෙය සලකා බලන්න. “කනස්සලු වීමෙන් තම ආයු කාලයට කිසිවක් [රියනක්, පාදසටහන] එක් කරගන්න ඔබ අතරෙන් කාට පුළුවන්ද?” (මතෙව් 6:27) මෙහිදී යේසුස් කතා කරමින් සිටියේ ජීවිතයේ ආයු කාලය ගැන නිසා, යම් කාලයක් උදාහරණයට ගන්නවා වෙනුවට පාදසටහනේ දක්වන ලෙස එක්තරා දුර ප්‍රමාණයක් පෙන්වන රියනක් ඔහු භාවිත කළේ ඇයි යන්න ගැන, ඔබට කුතුහලයක් ඇති වෙන්නේ නැද්ද? * යේසුස් මෙහිදී ජීවිතය යම් ගමනකට සමාන කරනවා. ඔහු මෙහිදී පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ කනස්සලු වීමෙන් ඒ ගමනේ එක පියවරක්වත් වැඩිපුර ගමන් කිරීමට අපට බැරි බවයි. ඉන් අදහස් කරන්නේ ඒ යන ගමන දිගු කරගැනීම සඳහා අපිට කිසිවක් කරන්න බැරි බවද? නැහැ කොහෙත්ම නැහැ! අපි දෙවි සමඟ ගමන් කළ යුත්තේ ඇයි යන අපගේ දෙවෙනි ප්‍රශ්නය සලකා බැලීමේදී එයට හේතුව දැනගැනීමට හැකි වෙයි.

දෙවි සමඟ ගමන් කළ යුත්තේ ඇයි?

6, 7. පව්කාර මිනිසුන්ට අත්‍යවශ්‍ය වෙන්නේ කුමක්ද? මෙය ලබාගැනීම සඳහා අපි යෙහෝවා කෙරෙහි රඳා සිටිය යුත්තේ ඇයි?

6 යෙහෝවා දෙවි සමඟ ගමන් කළ යුත්තේ ඇයි කියා පෙන්වන එක් හේතුවක් යෙරෙමියා 10:23හි පැහැදිලි කර තිබෙනවා. “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහු තුළෙහිම නැති බව දනිමි; තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත.” ඒ නිසා අපගේම ජීවිත ගමන තීරණය කිරීමට අපට අයිතියක්වත් හැකියාවක්වත් නැහැ. මඟ පෙන්වීමක් අවශ්‍යමයි. දෙවිගේ ඒ මඟ පෙන්වීම නැතිව තමන් කැමති කැමති ආකාරයට ජීවිතය ගත කරන අය කරන්නේ ආදම් සහ ඒව කළ වැරැද්දමයි. හොඳ සහ නරක කුමක්ද කියා තීරණය කිරීමට ඇති අයිතිය ඒ මුල් යුවළ තමන් අතට ගත්තා. (උත්පත්ති 3:1-6) එසේ කිරීම අපිට කොහෙත්ම “අයිති” නැති දෙයක්.

7 අපගේ ජීවිත ගමනේදී හැමදාම අපිට තීරණ ගන්න සිදු වෙනවා. සමහරවිට ඒවා පොඩි තීරණ. සමහරවිට ඒවා බැරෑරුම්, අමාරු තීරණ වෙන්න පුළුවන්. එසේ අප ගන්නා තීරණ අපේ අනාගතයට විතරක් නෙවෙයි අප ආදරය කරන අයගේ අනාගතයටත් බලපානවා. එවැනි තීරණ ගැනීම සඳහා වෙනත් කෙනෙකුගේ මඟ පෙන්වීමක් අවශ්‍යමයි කියා ඔබට හැඟෙන්නේ නැද්ද? එවැනි ප්‍රේමණීය මඟ පෙන්වීමක් සතුටින් අපට ලබා දීම සඳහා අපට වඩා බොහෝ කාලයක් ජීවත් වී තිබෙන ප්‍රඥාවන්ත කෙනෙක් ආශාවෙන් බලා සිටිනවා! නමුත් කනගාටුවට කරුණක් වෙන්නේ බොහෝදෙනෙක් ඒ මඟ පෙන්වීම ඉවතලා හිතුමතේට තීරණ ගනිමින් ජීවත් වීමයි. හිතෝපදේශ 28:26හි සඳහන් වචනවල සත්‍යතාව ඔවුන් නොසලකාහරිනවා. “තමාගේ සිත විශ්වාස කරන්නා අඥානයෙක් වේ. එහෙත් නුවණින් හැසිරෙන කවුරු නමුත් මුදනු ලබන්නේය.” අපගේ වංචාකාරී සිත විශ්වාස කිරීම නිසා ඇති විය හැකි විපත්තිවලින් අපි ගැලවෙනවා දකින්නයි යෙහෝවාට ඕන කරන්නේ. (යෙරෙමියා 17:9) අපගේ ප්‍රඥාවන්ත මඟ පෙන්වන්නා හා උපදේශකයා ලෙසට ඔහු කෙරෙහි විශ්වාසය තබමින්, අපි නුවණින් හැසිරෙනවා දකින්නයි ඔහුට උවමනා වෙන්නේ. එසේ කරද්දී අපගේ ජීවිත ගමන සුරක්ෂිත මෙන්ම සෑහීම ගෙන දෙන එකක් වේවි.

8. පව්කාරකම නිසා මිනිසුන්ට හිමි වූ ගමනාන්තය කුමක්ද? නමුත් යෙහෝවාට උවමනා කරන්නේ කුමක්ද?

8 යෙහෝවා දෙවි සමඟ ගමන් කළ යුතු වීමට තවත් හේතුවක් නම්, අප අපගේ ජීවිතයේ කොතරම් දුරක් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවාද යන්නට එය බලපාන නිසයි. සියලුම මිනිසුන් තමන්ගේ මහලු වියේදී මුහුණ පාන පීඩා ගැන සඳහන් කිරීමෙන් පසු ඔවුන්ගේ ජීවිතයේ ගමනාන්තය ගැන හෙළි වන කටුක සත්‍යය සම්බන්ධයෙන් බයිබලයේ දේශනාකාරයා 12:5හි පවසන්නේ මේ විදිහටයි. “මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය; වැලපෙන්නෝද වීථිවල ඇවිදිති.” මේ ‘සදාකාල ගෙය’ කුමක්ද? ඒ අපේ පව්කාරකම නිසා අපට අවසානයේදී හිමිවන මිනී වළයි. (රෝම 6:23) නමුත් තොටිල්ලේ සිට ඒ මිනී වළ දක්වා කරදරවලින් පිරුණු ජීවිතයක් ගත කිරීම යෙහෝවා අරමුණු කළේ නැහැ. (යෝබ් 14:1) ඒ වෙනුවට දෙවිගේ අරමුණ වෙන්නේ අපි සදාකල් ජීවත් වීමයි. දෙවි මුලින් නියම කළ ආකාරයට ඒ සදාකාල ජීවිත ගමන ගෙන යෑමට අපට හැකි වෙන්නේ අපි දෙවි සමඟ ගමන් කළොත් විතරයි. ඔබේ පැතුමත් ඒක නෙවෙයිද? එසේනම් ඔබේ ස්වර්ගික පියා සමඟ ගමන් කිරීම අත්‍යවශ්‍ය දෙයක් බව ඉතා පැහැදිලියි.

අපට දෙවි සමඟ ගමන් කළ හැක්කේ කොහොමද?

9. යෙහෝවා ඇතැම් අවස්ථාවලදී තම සෙනඟගෙන් සැඟවී සිටියේ ඇයි? නමුත් යෙසායා 30:20ට අනුව ඔහු සැපයුවේ කුමන සහතිකයක්ද?

9 දෙවි සමඟ ගමන් කළ හැක්කේ කොහොමද යන මේ තුන්වෙනි ප්‍රශ්නයට අපගේ කිට්ටු අවධානය දීම වටිනවා. එයට පිළිතුරක් යෙසායා 30:20, 21හි සඳහන් වෙනවා. ‘ඔබේ ගුරුවරයා තවත් සඟවනු නොලබන්නේය; ඔබේ ඇසින් ඔබේ ගුරුවරයා දකින්නෙහිය; ඔබ දකුණට හැරෙන විටද වමට හැරෙන විටද මාර්ගය මේය; එහි [ගමන් කරන්නයයි, NW] කියන වචනයක් ඔබේ කනට ඔබ පස්සෙන් ඇසෙන්නේය.’ ඒවා මොන තරම් දිරිගන්වනසුලු වචනද! යෙසා 30 විසිවන ඡේදයේ සඳහන් යෙහෝවා දෙවිගේ වචන මගින් දෙවිට විරුද්ධව ඊශ්‍රායෙලිතයන් කැරලිගැසූ අවස්ථාවේදී දෙවි ඔවුන්ගෙන් සැඟවී සිටි ආකාරය ඔවුන්ට සිහිගන්වන්නට ඇති. (යෙසායා 1:15; 59:2) නමුත් මේ අවස්ථාවේදී යෙහෝවා තමාව හඳුන්වා දෙන්නේ සැඟවී සිටින කෙනෙක් ලෙසට නෙවෙයි. ඒ වෙනුවට තම ඇදහිලිවන්ත සෙනඟට ඉදිරියෙන් සිටින කෙනෙක් ලෙසටයි. එය තමන්ගේ ශිෂ්‍යයන් ඉදිරියේ සිටිමින් කළ යුතු දේ ඔවුන්ට කියා දෙන ගුරුවරයෙක් ගැන අපේ සිතේ චිත්‍රයක් මවනවා.

10. ඔබේ උතුම් ගුරුවරයාගේ හඬ ඔබේ පිටුපසින් ඇසෙන වචන වගේ වෙන්නේ කොහොමද?

10 නමුත් යෙසා 30 21වන පදයෙන් අපගේ මනසේ ඇඳෙන්නේ වෙනත් ආකාරයේ චිත්‍රයක්. එහි යෙහෝවාව විස්තර කරන්නේ තම සෙනඟ පිටුපසින් සිට ඔවුන්ට යා යුතු මඟ කියා දෙන කෙනෙකු ලෙසටයි. මෙහි අදහස පැහැදිලි කරමින් බයිබල් විද්වතුන් පවසන්නේ එය හරියට යම් වෙලාවලදී එඬේරෙක් තම බැටළුවන්ගේ පිටුපසින් යමින් නියම මඟේ යෑමට උන්ව හසුරුවනවා හා සමානයි කියායි. මේ දර්ශනය ඔබේ සිතේ මවාගන්න පුළුවන්ද? සමහර බැටළුවන් රැළ යන පාරෙන් පිටට පනිනවා. එවිට උන් පිටුපසින් යන එඬේරා යම් ශබ්දයක් නඟා නැවත උන්ව නියම පාරට ගන්නවා. මේ විස්තරය අපට අදාළ වෙන්නේ කොහොමද? මඟ පෙන්වීම සඳහා දේවවචනය අධ්‍යයනය කරද්දී අපි කියවන්නේ මීට අවුරුදු දහස් ගණනකට කලින් වාර්තා කරනු ලැබූ වචනයි. ඒවා හරියට අපේ පිටුපසින් ඇසෙන වචන වගෙයි. නමුත් ඒවා අද දිනටත් අදාළයි. මේ බයිබල් මඟ පෙන්වීම් මගින් දිනපතා අපිට ගැනීමට සිදු වන තීරණ නිවැරදිව ගැනීමටත් අපගේ ඉදිරි ජීවිතය හොඳින් සැලසුම් කිරීමටත් අපට උදව් කරනවා. (ගීතාවලිය 119:105) යෙහෝවාව අපේ මඟ පෙන්වන්නා කරගන්න නම්, එහි සඳහන් උපදෙස් ඉතා ඕනෑකමින් කියවා ඒවා අපේ ජීවිතයට අදාළ කරගැනීම අවශ්‍යයයි. එසේ කිරීමෙන් අපට දෙවි සමඟ ගමන් කළ හැකියි.

11. යෙරෙමියා 6:16හි යෙහෝවා තම සෙනඟට කරන ආරාධනය කුමකට සමාන කරන්න පුළුවන්ද? ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

11 එසේ අප ළඟම සිට අපට මඟ පෙන්වීමට යෙහෝවාට අපි ඉඩ දෙනවාද? ඉඳ හිට අපි ගැනම අවංක සෝදිසියක් කරගැනීම වටිනවා. එසේ කිරීමට අපට උපකාරවත් වන බයිබල් පදයක් දැන් අපි සලකා බලමු. “යෙහෝවා මෙසේ කියන්නේය: මාර්ගවල සිට බලන්න, පරණ මාවත් සොයා යහපත් මාර්ගය කොයිදැයි අසා එහි [ගමන් කරන්න, NW]; එවිට ඔබේ ආත්මවලට නිවාඩු ලැබෙන්නේය.” (යෙරෙමියා 6:16) එක්තරා පාරක ගමන් කරන මිනිසෙක් යම් මං සන්දියකට පැමිණ යා යුතු නියම මඟ කුමක්දැයි වෙනත් කෙනෙකුගෙන් අසන ආකාරය මේ වචනවලින් ඔබට මතක් වෙන්නේ නැද්ද? කැරලිකාර ජීවිත ගත කළ ඊශ්‍රායෙල්වරුනුත් එලෙස මඟ පෙන්වීමක් සෙවිය යුතු වුණා. ඒ වෙන කොට අඥාන ලෙස ක්‍රියා කළ ඔවුන් යා යුතු වූ “යහපත් මාර්ගය” අත්හැර එයින් පිටට පැන තිබුණා. නමුත් ඔවුන් කළ යුතු වූයේ තම ඇදහිලිවන්ත මුතුන්මිත්තන් ගමන් කළ ඒ “පරණ මාවත්” සොයා එහි ගමන් කිරීමයි. ඒ පදයේම තවදුරටත් සඳහන් වෙන්නේ “එහෙත් ඔවුහු කතා කොට: අපි එහි [ගමන් නොකරන්නෙමුයයි, NW] කීවෝය” කියායි. මෙසේ කනගාටුදායක ලෙස යෙහෝවාගේ ප්‍රේමණීය මඟ පෙන්වීම ඔවුන් මුරණ්ඩු ලෙස අත්හැරියා. නමුත් මේ කාලයේ සිටින දෙවිගේ සෙනඟ එවැනි මඟ පෙන්වීම්වලට දක්වා ඇත්තේ ඊට වෙනස් ප්‍රතිචාරයක්.

12, 13. (අ) ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනයට හවුල්වීමට දෙවි තෝරගත් අය යෙරෙමියා 6:16හි සඳහන් උපදෙසට ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? (ආ) අපි ගමන් කරමින් සිටින ආකාරය ගැන අපවම සෝදිසි කර බැලිය හැක්කේ කෙසේද?

12 ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනයට හවුල් වීමට දෙවි තෝරගත් අය 1800 ගණන්වල අග භාගයේදී පටන් යෙරෙමියා 6:16හි සඳහන් උපදෙස් තමන්ටම අදාළ කරගෙන තිබෙනවා. එදා පටන් පන්තියක් වශයෙන් ඔවුන් පෙරමුණ ගෙන ‘පරණ මාවත්වලට’ මුළු හදින් හැරී ඒමට අන් අයට උපකාර කරනවා. සත්‍ය ඉගැන්වීම් අත්හරියාවූ වෙනත් ක්‍රිස්තියානි ආගම්වල සාමාජිකයන්ට වෙනස්ව යේසුස් ක්‍රිස්තුස් තැබූ ‘සුවදායී වචනවල ආදර්ශයට’ ඔවුන් විශ්වසනීය ලෙස ඇලී සිටිනවා. පළමුවන ශතවර්ෂයේ විසූ යේසුස්ගේ ඇදහිලිවන්ත අනුගාමිකයනුත් මේ ආදර්ශයට ඇලී සිටියා. (2 තිමෝති 1:13) ස්වර්ගික ජීවිතය බලාපොරොත්තුවෙන් සිටින මේ අනුගාමිකයන් එකිනෙකාටත් ‘වෙනත් බැටළුවන්ට’ අයත් සාමාජිකයන්ටත් අද දක්වා උපකාර කරන්නේ බොරු ක්‍රිස්තියානීන් අත්හැරියාවූ එම සුවදායී, සන්තෝෂවත් ජීවිතය තෝරාගැනීමටයි.—යොහන් 10:16.

13 නියම වේලාවට ඇදහිල්ල ශක්තිමත් කරන ආහාර සැපයීම තුළින් “පරණ මාවත්” සොයාගෙන දෙවි සමඟ ගමන් කිරීම සඳහා මිලියන සංඛ්‍යාත පිරිසකට උපකාර කිරීමට විශ්වාසවන්ත වූ ඒ දාස පන්තියට හැකි වී තිබෙනවා. (මතෙව් 24:45-47) මේ මිලියන සංඛ්‍යාත පිරිසට ඔබත් ඇතුළත්ද? එසේනම් එම මාවත් අත්හැර ඔබ කැමති මාවත්වල ගමන් කිරීමෙන් වැළකී සිටීමට ඔබට හැක්කේ කොහොමද? ඔබ ඔබේ ජීවිතය ගත කරන ආකාරය ගැන කලින් කලට සෝදිසි කර බැලීම ඥානවන්ත දෙයක් නෙවෙයිද? ඔබ බයිබලය සහ බයිබල් තොරතුරු අඩංගු ප්‍රකාශන නොකඩවා කියවනවා නම්, දාස පන්තිය සැලසුම් කරන රැස්වීම්, එක්රැස්වීම්, සමුළු ඇතුළු වෙනත් වැඩසටහන්වලට නොකඩවා සහභාගි වෙනවා නම් ඔබ දෙවි සමඟ ගමන් කරන්න පුහුණු වෙනවා කියා කිව හැකියි. එසේ ලැබෙන උපදෙස් යටහත් පහත්ව ඔබේ ජීවිතයට අදාළ කරගන්න විට ඔබ ඇත්තෙන්ම දෙවි සමඟ ගමන් කරනවා. එවිට ඇදහිලිවන්ත මුතුන්මිත්තන් ගමන් කළ ඒ ‘පරණ මාවත්වල’ ඔබත් ගමන් කරනවායයි කිව හැකියි.

“අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන්” ගමන් කරන්න

14. යෙහෝවා අපිට සැබෑ පුද්ගලයෙක් බව අප ගන්නා තීරණවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

14 යෙහෝවා දෙවි සමඟ ගමන් කරන්න නම් ඔහු අපිට සැබෑ පුද්ගලයෙක් විය යුතුයි. පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දුන් සහතිකය ඔබට මතකද? ඔවුන්ගෙන් සැඟවී නොසිටින බවට ඔහු සහතික වුණා. අද දිනත් තම සෙනඟගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා ලෙස ඔහු ඔවුන් ඉදිරිපිටම සිටිනවා. යෙහෝවා ඔබ ඉදිරියේ සිටගෙන ඔබට උපදෙස් දෙනවා දකින තරමටම ඔහු ඔබට සැබෑ පුද්ගලයෙක්ද? දෙවි සමඟ ගමන් කිරීමට නම් අපිට තිබිය යුත්තේ එවැනි ඇදහිල්ලක්. මෝසෙස් එවැනි ඇදහිල්ලක් තිබූ කෙනෙක්. ඒ නිසයි “අදෘශ්‍යමාන තැනැත්තාව දකින්නාක් මෙන් ඔහු දිගටම ස්ථිරව” සිටියේ. (හෙබ්‍රෙව් 11:27) යෙහෝවා දෙවි අපිටත් සැබෑ පුද්ගලයෙක් නම්, අප යම් තීරණ ගන්නා විට ඔහුට ඒ ගැන කොහොම හැඟෙයිද කියලා අපි හිතනවා. උදාහරණයකට දෙවිගේ හිත රිදවන දෙයක් කරන්න අපි සිතන්නෙවත් නැහැ. ඒ වගේම ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් හෝ පවුල් සාමාජිකයන්ගෙන් අපේ පව් සඟවන්න අපි උත්සාහ කරන්නෙත් නැහැ. සමහරවිට අපි කරන දේවල් වෙන කෙනෙක් දකින්නේ නැති වෙයි. ඒ වුණත් අපි දිගටම උත්සාහ කරන්නේ දෙවිට කිට්ටුව ඔහු සමඟ ගමන් කිරීමටයි. “මම [නිර්දෝෂකමින් NW] මාගේ ගෙයි හැසිරෙන්නෙමි” කියා කිවූ දාවිත් රජ මෙන් වීමට අපිත් අධිෂ්ඨාන කරගනිමු.—ගීතාවලිය 101:2.

15. යෙහෝවා අපට සැබෑ පුද්ගලයෙක් කියා හැඟීමට අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සමඟ කරන ඇසුර උපකාරවත් වෙන්නේ කොහොමද?

15 අපි වැරදි ආශාවන්ට නැඹුරු වූ පව්කාර මිනිසුන් බවත් සමහර අවස්ථාවලදී අපිට නොපෙනෙන කෙනෙක්ව විශ්වාස කිරීම අමාරු දෙයක් බවත් යෙහෝවා තේරුම්ගන්නවා. (ගීතාවලිය 103:14) එවැනි දුර්වලකම්වලින් ගොඩ ඒම සඳහා යෙහෝවා අපට අවශ්‍ය තරම් උපකාර සපයනවා. උදාහරණයකට ඔහු “තම නාමය උදෙසා” පොළොවේ සියලු ජාතීන්ගෙන් සෙනඟක් තෝරාගෙන තිබෙනවා. (ක්‍රියා 15:14) ඒ සෙනඟට අයත් අපි එකට බැඳී දෙවිට සේවය කරන විට එකිනෙකාගෙන් ශක්තිය ලබනවා. ක්‍රිස්තියානි සහෝදරයෙක් හෝ සහෝදරියක් යම් දුර්වලකමකින් ගොඩ ආ ආකාරය හෝ අමාරු පරීක්ෂණයක් ජය ගත් ආකාරය අසන විට අපේ නොපෙනෙන දෙවිව අපට තව තවත් සැබෑ පුද්ගලයෙක් වෙනවා.—1 පේතෘස් 5:9.

16. යේසුස් ගැන අධ්‍යයනය කිරීම තුළින් දෙවි සමඟ ගමන් කළ හැක්කේ කෙසේද?

16 ඒ හැම දේටම වඩා යෙහෝවා තම පුත්‍රයාගේ ආදර්ශය අපට දී තිබෙනවා. “මාර්ගයද සත්‍යයද ජීවනයද මමය. මා තුළින් මිස කිසිවෙක් පියාණන් වෙතට පැමිණෙන්නේ නැත” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:6) යෙහෝවාව අපට සැබෑ පුද්ගලයෙක් කරගැනීමට තිබෙන හොඳම ක්‍රමයක් වෙන්නේ, මිහිපිට යේසුස් ගත කළ ජීවිතය අධ්‍යයනය කිරීමයි. යේසුස් කිවූ හැම වචනයකින්ම සහ ඔහු කළ හැම දෙයකින්ම ඔහුගේ ස්වර්ගික පියා මොන වගේ කෙනෙක්ද කියා කදිමට පිළිබිඹු කළා. (යොහන් 14:9) අපිට තීරණයක් ගන්න සිදු වන විට, මෙවැනි තීරණයක් යේසුස්ට ගන්න සිදු වුණා නම් ඔහු කුමක් කරාවිද කියා අපි හොඳින් සිතා බැලිය යුතුයි. මෙලෙස අපි ගන්නා තීරණ ගැන හොඳින් සිතා දෙවිගේ මඟ පෙන්වීම ඉල්ලමින් ගත් බව පැහැදිලි වන විට ඉන් ඔප්පු වෙන්නේ අපි ක්‍රිස්තුස්ගේ අඩිපාරේ ගමන් කරන බවයි. (1 පේතෘස් 2:21) එහි ප්‍රතිඵලය වෙන්නේ අපි දෙවි සමඟ ගමන් කිරීමයි.

ලැබෙන ආශීර්වාද මොනවාද?

17. අපි යෙහෝවාගේ මාර්ගයේ ගමන් කළොත් අපට ලැබෙන්නේ කුමනාකාර ‘සහනයක්ද?’

17 යෙහෝවා දෙවි සමඟ ගමන් කිරීම නිසා අපට ලැබෙන්නේ තෘප්තිමත් ජීවිතයක්. ‘යහපත් මාර්ගයේ’ ගමන් කරන තම සෙනඟට යෙහෝවා පොරොන්දු වූ දෙය ඔබට මතක ඇති. ඔහු පැවසුවේ මෙයයි. “එහි ගමන් කරන්න, එවිට ඔබට සහනය ලැබෙයි.” (යෙරෙමියා 6:16, NW) ඒ ලැබෙන ‘සහනයෙන්’ අදහස් කරන්නේ ආස්වාදජනක සැපපහසු ජීවිතයක් ලැබෙනවා කියන එකද? නැහැ. කොහෙත්ම නැහැ. යෙහෝවා අපිට ලබාදෙන්නේ ඊටත් වඩා දෙයක්. ධනවත්ම මිනිසුන්ට වුණත් පහසුවෙන් සොයාගන්න බැරි දෙයක්. අපට ලැබෙන සහනය වෙන්නේ සිතේ සාමය, සන්තෝෂය, සෑහීම මෙන්ම දෙවිත් එක්ක අපට තිබෙන යහපත් සම්බන්ධය නිසා දැනෙන තෘප්තියයි. ඒ වගේම අපේ ජීවිත ගමන ගෙන යා හැකි හොඳම මාර්ගය අප තෝරාගෙන ඇති බවට වූ නිසැකභාවයත් එයට ඇතුළත්. ගැටලුවලින් පිරුණු මේ ලෝකයේ සිටින අපට අද්දකින්න ලැබෙන ඒ සිතේ සාමය ඇත්තෙන්ම විරල ආශීර්වාදයක් නෙවෙයිද!

18. යෙහෝවා දෙවි කැමැත්තෙන් සිටින්නේ ඔබට කුමනාකාර ආශීර්වාදයක් ලබාදීමටද? ඔබේ අධිෂ්ඨානය කුමක්ද?

18 ජීවත් වීමට ලැබීමම ඉමහත් ආශීර්වාදයක්! අපි ජීවත් වෙන්නේ කෙටි කාලයක් බව ඇත්තයි. ඒත් ඒ කෙටි ජීවිතය වුණත් කොච්චර වටිනවාද! නමුත් යෙහෝවාගේ අරමුණ වුණේ ඔබ කෙටි කාලයක් පිරිපුන් යොවුන් වියේ ගත කර ඉන්පසු ටිකෙන් ටික මහලු වී දුර්වල වී මිය යෑම නම් නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවාගේ කැමැත්ත වෙන්නේ ඔබට ලැබිය හැකි උතුම්ම ආශීර්වාදය ලැබීමයි. ඔහුට ඕනෑ කරන්නේ ඔබ ඔහුත් සමඟ සදාකාලයටම ගමන් කිරීමයි! මේ බව මීකා 4:5හි ඉතා පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවා. “සියලු වර්ගයෝ තම තමන්ගේ දෙවිගේ නමින් [ගමන් කරන්නෝය, NW]; අපිද අපේ දෙවි වූ යෙහෝවාගේ නමින් සදාකාලයටම [ගමන් කරන්නෙමු, NW].” ඒ ආශීර්වාදය ලබාගන්න ඔබත් කැමතිද? යෙහෝවා ඔබට දෙන්න ආශාවෙන් සිටින ඒ “සැබෑ ජීවිතය” ලබාගෙන සදාකල් ජීවත් වෙන්න ඔබ කැමතිද? (1 තිමෝති 6:19) එහෙමනම් අදත්, හෙටත්, ඔව් සදහටමත් යෙහෝවා දෙවි සමඟ ගමන් කිරීම ඔබේ අධිෂ්ඨානය වේවා!

[පාදසටහන]

^ 5 ඡේ. සමහර බයිබල් පරිවර්තනවල මෙම පදයේ “රියන” යන යෙදුම වෙනුවට ‘මොහොතක්’ හෝ ‘විනාඩියක්’ වැනි කාලයට සම්බන්ධ වචන පාවිච්චි කරනවා. කෙසේනමුත් මුල් ලියවිල්ලේ භාවිත කර තිබෙන වචනය අනිවාර්යයෙන්ම අඟල් 18ක දිගින් යුත් රියනක් අදහස් කරයි.

ඔබ පිළිතුරු සපයන්නේ කොහොමද?

• දෙවි සමඟ ගමන් කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• දෙවි සමඟ ගමන් කිරීමට අවශ්‍ය බව ඔබට හැඟෙන්නේ ඇයි?

• දෙවි සමඟ ගමන් කිරීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?

• දෙවි සමඟ ගමන් කරන අයට ලැබෙන ආශීර්වාද විස්තර කරන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ පින්තූර]

“මාර්ගය මේය” කියා අපට පිටුපසින් කියන යෙහෝවාගේ හඬ බයිබලය තුළින් අපට ඇසෙනවා

[23වන පිටුවේ පින්තූරය]

රැස්වීම්වලදී අපට යෙහෝවාගෙන් නියම වේලාවට මඟ පෙන්වීම් ලැබෙනවා