Skip to content

පටුනට යන්න

දෙවිගේ සිත සතුටු කරන සම්මාදම්

දෙවිගේ සිත සතුටු කරන සම්මාදම්

දෙවිගේ සිත සතුටු කරන සම්මාදම්

මෙය එතරම් සිත්ගන්නා කතන්දරයක් නම් නෙවෙයි. අතලියා රැජින කූට උපක්‍රමයක් දියත් කර රජ වංශයේ අයව මරා දමා යූදාහි පාලන බලය තම අතට බලෙන් පැහැර ගෙන තිබුණා. සිංහාසනයට උරුමකම් කියන රජ වංශයේ සියලුදෙනාවම ඝාතනය කළායයි සිතමින් අතලියා දේශයේ රජකම් කරන්න පටන්ගත්තා. ඒ කාලයේදී යෙහෝෂෙබා නමින් තවත් කාන්තාවක් සිටියා. ඇය යෙහෝවා දෙවිටත් ඔහුගේ නීති රීතිවලටත් අතිශයින් ප්‍රිය කළ කුමාරිකාවක් වුණා. ඇය ඉතාමත්ම නිර්භීත දෙයක් කළා. ඒ තමයි රාජ කුමාරයෙක් වූ ළදරු යෝවාෂ්ව අතලියාගෙන් ආරක්ෂා කර සඟවා තැබීම. මේ ආකාරයට යෙහෝෂෙබා සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ උත්තම පූජක යෙහෝයාදා රජකමට උරුමකම් කියන මේ දරුවාව වසර හයක් පුරා දේවමාලිගාවේ කාමරයක සඟවා තබමින් හදා වඩා ගත්තා.—2 රාජාවලිය 11:1-3

යෝවාෂ්ට අවුරුදු හතක් වෙද්දී, බලහත්කාරයෙන් රජකම පැහැර ගත් මේ කූට රැජිනව රජකමෙන් පලවා හරින්නට වූ සැලසුම දියත් කිරීමට උත්තම පූජක යෙහෝයාදා සූදානමින් හිටියා. මෙතෙක් සඟවාගෙන සිටි සිංහාසනයේ නියම උරුමක්කාරයා වූ ඒ දරුවාව ඔහු පිටට ගෙනැවිත් කිරුළ පැළඳුවා. ඊට පස්සේ නපුරු අතලියා රැජිනව දේවමාලිගා භූමියෙන් පිටට ගෙන ගොස් රාජකීය ආරක්ෂක භටයින් විසින් ඝාතනය කරනු ලැබුවා. මෙය යූදා දේශයේ මිනිසුන්ට ලොකු සහනයක් වගේම සතුටකුත් වුණා. යෙහෝයාදා සහ යෙහෝෂෙබා කළ මේ ක්‍රියාව නිසා ඔවුන්ට හැකි වුණා යූදා දේශයේ සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සඳහා අතිශයින් දායක වෙන්න. නමුත් වඩා වැදගත්ම දෙය වුණේ ඔවුන් කළ දෙය නිසා ගැලවුම්කරු පැමිණෙන්න නියමිතව තිබූ දාවිත්ගේ රාජකීය පෙළපත ආරක්ෂා වීමයි.—2 රාජාවලිය 11:4-21.

අලුත කිරුළ පළඳ වූ මේ රජ විසිනුත් දෙවිගේ සිත සතුටු කරන යමක් කිරීමට නියමිතව තිබුණා. මුළු යූදා දේශයේම එකම පාලකයා වීමට අතලියාට තිබුණු දැඩි ආශාව නිසා දේවමාලිගාව නොසලකාහරිනු ලැබුවා විතරක් නෙවෙයි එයින් කොල්ලකෑමද සිදු වුණා. මේ නිසා දේවමාලිගාව සෑහෙන්න අබලන් තත්වයකයි තිබුණේ. තිබුණු තත්වය තේරුම්ගත් යෝවාෂ් රජ දේවමාලිගාව අලුත්වැඩියා කර නැවත පිළිසකර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළා. යෙහෝවාගේ මෙම ගෘහයේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය මුදල් එකතු කිරීමට වහා අණක් නිකුත් කරමින් ඔහු පැවසුවේ මෙයයි. “යෙහෝවාගේ ගෘහයට ගෙනෙන්නාවූ වලංගු මුදල් වන කැප කළාවූ දේවලින් ලැබෙන සියලු මුදල්ද එක් එක්කෙනා විසින් ගෙවිය යුතු නියම මුදල්ද එක් එක්කෙනා තමන් කැමැත්තෙන් යෙහෝවාගේ ගෘහයට ගෙනෙන සියලු මුදල්ද පූජකයෝ තම තමන් අඳුනන්නවුන්ගෙන් ගනිත්වා; ඔවුහු ගෘහයේ කොයියම් තැනක නුමුත් දකින බිඳුම් හරිගස්සත්වයි කීය.”—2 රාජාවලිය 12:4, 5.

සෙනඟ කැමැත්තෙන් මුදල් සම්මාදම් කලත් දේවමාලිගාව අලුත්වැඩියා කිරීමට වූ තම වගකීම පූජකයෝ මුළු හදින් ඉටු කළේ නැහැ. ඒ නිසා මේ වගකීම තමා අතට භාරගත් රජ සියලුම සම්මාදම් එක්තරා විශේෂ පෙට්ටියකට දැමිය යුතු බවට නියෝග කළා. දේවල් බලාගැනීම සඳහා යෙහෝයාදාව පත් කරනු ලැබුවා. වාර්තාව පවසන්නේ මෙයයි. “පූජක වූ යෙහෝයාදා පෙට්ටියක් ගෙන පියන හිල් කර යෙහෝවාගේ ගෘහයට එන පාරේ දකුණු පැත්තේ පූජාසනය ළඟ තැබීය. දොර රැකවල් කරන පූජකයෝ යෙහෝවාගේ ගෘහයට ගෙනා මුළු මුදල් එහි දැමුවෝය. තවද පෙට්ටියේ බොහෝ මුදල් තිබෙන බව දුටු විට රජුගේ ලේකම්ද නායක පූජකයාද ඇවිත් යෙහෝවාගේ ගෘහයෙහි සම්බ වූ මුදල් ගණන් කර මලුවල ලා කිරන ලද ඒ මුදල් යෙහෝවාගේ ගෘහයේ වැඩ කෙරෙව්වාවූ ප්‍රධානීන් අතට දුන්නෝය. ඔවුහු යෙහෝවාගේ ගෘහයේ වැඩ කළ වඩුවන්ටත් එය ගොඩනඟන්නන්ටත් පෙදරේරුවන්ටත් ගල් කපන්නන්ටත් යෙහෝවාගේ ගෘහයේ බිඳුම් හරිගැස්සීමට ලී සහ කැපූ ගල් ගන්නා පිණිසත් ගෘහය අලුත්වැඩියා කිරීමට ඕනෑ සියල්ල උදෙසාත් ඒ මුදල දුන්නෝය.”—2 රාජාවලිය 12:9-12.

සෙනඟ තමන්ගේ මුළු හදින්ම ප්‍රතිචාරය දැක්වූ නිසා නමස්කාරය සඳහා වූ දෙවිගේ ගෘහයේ පිළිසකර කටයුතු සාර්ථකව නිම කිරීමටත් ඒ තුළින් තම නමස්කාරය ගෞරවනීය ලෙස කිරීමටත් සෙනඟට හැකි වුණා. මෙලෙස සම්මාදම් සියල්ලක්ම සුදුසු ආකාරයෙන් යොදාගැනීමට යෝවාෂ් රජ වග බලාගත්තා.

අද දිනත් සම්මාදම් කරනු ලබන සියලුම මුදල් යෙහෝවා දෙවිගේ නමස්කාරයේ වැඩිදියුණුව සඳහා සුදුසු ආකාරයෙන් යොදා ගනු ලබන බවට යෙහෝවාගේ භූමික සංවිධානය වග බලාගන්නවා. ඒ වගේම පුරාණයේ සිටි ඒ ඊශ්‍රායෙලිතයන් මෙන් සැබෑ ක්‍රිස්තියානීනුත් මුළු හදින් තම සම්මාදම් ඉදිරිපත් කරනවා. දේවරාජ්‍යයේ වැඩ කටයුතුවල වැඩි දියුණුව සඳහා පසුගිය සේවා වසර තුළ ඔබත් සම්මාදම් කරන්න ඇති. ඔබේ සම්මාදම් භාවිත කළ විධි කිහිපයක් ගැන සලකා බලමු.

මුද්‍රණ කටයුතු

ලෝක ව්‍යාප්තව, පහත සඳහන් ප්‍රකාශන අධ්‍යයනය සඳහාත් බෙදාහැරීම සඳහාත් මුද්‍රණය කරනු ලැබුවා.

• පොත්: 4,74,90,247

• පොත් පිංච: 68,34,740

• විවරණිකා: 16,78,54,462

• දිනදර්ශන: 54,05,955

• සඟරා: 1,17,92,66,348

• පත්‍රිකා: 44,09,95,740

• වීඩියෝ පට: 31,68,611

මුද්‍රණ කටයුතු රටවල් 19ක සිදු කෙරෙනවා. අප්‍රිකාව, උතුරු, මධ්‍යම සහ දකුණු අමෙරිකාව, ආසියාව යුරෝපය සහ පැසිෆික් දූපත් මීට අයත් වෙනවා.

“මගේ නම කැට්ලින් මේ. මට අවුරුදු අටයි. මං ළඟ ඩොලර් 28ක් (රුපියල් 2,800ක් පමණ) තියෙනවා. මුද්‍රණ යන්ත්‍ර මිල දී ගැනීම සඳහා මෙම මුදල ඔබට දෙන්න මම කැමතියි. මීට ඔබේ පුංචි සහෝදරිය, කැට්ලින්.”

“ඔබ මිල දී ගත් අලුත් මුද්‍රණ යන්ත්‍ර ගැන අපි පවුලක් වශයෙන් සාකච්ඡා කළා. අපේ දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 11ක් සහ 9ක් වෙනවා. ඔවුන් තීරණය කළා තමන් ඉතුරු කළ මුදලින් සම්මාදමක් දීමට. ඔවුන් දුන් ඒ සම්මාදම සමඟ අපේ සම්මාදමත් ඔබට සතුටින් එවන්නෙමු.”

ගොඩනැඟීමේ ව්‍යාපෘති

මතු සඳහන් වෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සඳහා භාවිත කිරීමට ඉදි කරනු ලැබූ ගොඩනැඟිලි සමහරක්.

• සීමිත සම්පත් සහිත සාක්ෂිකරුවන් සිටින රටවල්වල රාජ්‍ය ශාලා: 2,180

• එක්රැස්වීම් ශාලා: 15

• ශාඛා කාර්යාල: 10

• පූර්ණ කාලීන සේවයේ යෙදී සිටින ජාත්‍යන්තර ස්වෙච්ඡා සේවකයන්: 2,342

“මේ සති අන්තයේදී අපේ අලුත් රාජ්‍ය ශාලාවේ පැවති පළමු රැස්වීමට අපි සහභාගි වුණා. අපගේ පියාණන් වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීම සඳහා සුදුසු තැනක් තිබීම ගැන අපි ගොඩාක් සන්තෝෂ වුණා. වැඩි වැඩියෙන් රාජ්‍ය ශාලා ගොඩනැඟීම තුළින් අපගේ අවශ්‍යතා සැපයීම ගැන අපි යෙහෝවා දෙවිටත් ඔබටත් ස්තුති කරන්න කැමතියි. ඇත්තෙන්ම අපගේ රාජ්‍ය ශාලාව අපේ ප්‍රදේශයට ගෙන දෙන්නේ මහත් අලංකාරයක්. ඒ ගැන අපි ගොඩාක් ආඩම්බර වෙනවා.”—චිලී රටින්.

“යෙහෝවාගේ සංවිධානය ලබා දෙන උපකාරය සහෝදර සහෝදරියන් අතිශයින් අගය කරනවා. ගොඩනැඟීමේ කටයුතුවල නියැලීමට පැමිණි සහෝදරයන් සමඟ එකට වැඩ කළ කාලය ගැන අපි තාමත් කතා කරනවා.”—මෝල්ඩෝවා රටින්.

“මගේ බිරිඳයි මමයි අපේ 35වෙනි විවාහ සංවත්සරය ළඟදී සැමරුවා. මේ අවස්ථාව සඳහා එකිනෙකාට දීමට මොන වගේ තෑගි ගන්න ඕනද කියා තීරණය කරන ගමන් අපි හිතුවා යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් යමක් දිය යුතුයි කියලා. ඔවුන්ගේ උපකාරය නිසයි අපගේ විවාහ ජීවිතය මෙතරම් සාර්ථක වුණේ. තමන්ටම කියා රාජ්‍ය ශාලාවක් සාදා ගන්න බැරි ප්‍රදේශයක සිටින සහෝදරයන්ට රාජ්‍ය ශාලාවක් සෑදීම සඳහා මේ මුදලත් භාවිත කරනවාට කැමැත්තෙමු.”

“මට මෑතකදී උරුමයෙන් අයිති විය යුතු මුදලක් ලැබුණා. මට ‘ඕන කරන දේවල්’ තියෙන්නේ ටිකයි. ඒවායිනුත් මට ‘අවශ්‍ය කරන දේවල්’ තියෙන්නේ ඊටත් වඩා අඩුවෙන්. ඒ නිසා මේ සමඟ ඇති මුදල රටවල් බොහොමයක තිබෙන ලොකු අවශ්‍යතාවක් වන රාජ්‍ය ශාලා ගොඩනැඟීම සඳහා යොදා ගන්නවාට මම කැමතියි.”

ආපදා සහනාධාර

මේ අන්තිම දවස්වල කිසිම අනතුරු ඇඟවීමකින් තොරව ආපදා සිදු වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් මේ වගේ ආපදාවන්ට හසු වූ ප්‍රදේශවල සිටින තම සහෝදරයන්ට උපකාර කිරීමට හැකි වීම සඳහා අමතර වශයෙන් සම්මාදම් කරනවා. ආපදා සහනාධාර සඳහා ලැබෙන මුදල් පරිපාලනය වෙන්නේත් ලෝක ව්‍යාප්ත වැඩයේම කොටසක් හැටියට බව මතක තබාගත යුතුයි. මතු සඳහන් වෙන්නේ ආපදාවලට හසු වූ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපකාර කළ ප්‍රදේශයි.

• අප්‍රිකාව

• ආසියාව

• කැරිබියන් ප්‍රදේශය

• පැසිෆික් දූපත්

“සුළි සුළං නිසා ඇති වූ හානිය සඳහා කළ සහනාධාර වැඩවලට ඔබ එවූ බඩු භාණ්ඩවලට මගේ ස්වාමි පුරුෂයායි මමයි ඔබට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. අපේ නිවසට අලුතින් වහලක් දමාගැනීමට ඒ නිසා අපිට හැකි වුණා. එතරම් ඉක්මනින් අපට උපකාර කිරීම ගැන අපි ඇත්තෙන්ම ස්තුතිවන්ත වෙනවා.”

“මගේ නම කොන. මට අවුරුදු 11යි. සුනාමී විපතේදී සිදු වූ හානිය ගැන දැනගත්තාම මමත් කැමති වුණා ඒ ප්‍රදේශවල සිටින අයට උපකාර කරන්න. මගේ සහෝදර සහෝදරියන්ට මේ මුදල උපකාරවත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.”

විශේෂ පූර්ණ කාලීන සේවකයන්

ක්‍රිස්තියානීන් විශාල සංඛ්‍යාවක් දේශනා කිරීමේ වැඩයෙහි සහ බෙතෙල් නිවාසවල පූර්ණ කාලීනව සේවය කරනවා. සමහර පූර්ණ කාලීන ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතා පිරිමැසෙන්නේ ස්වේච්ඡා සම්මාදම්වලිනුයි. පහත සඳහන් වෙන්නේ එවැනි සේවයක් කරන අයගේ සංඛ්‍යාවයි.

• වෙනත් රටවල්වල සේවය කරන අය: 2, 635

• සංචාරක අවේක්ෂවකයන්: 5,325

• බෙතෙල් සේවකයන්: 20,092

“මට දැනට බෙතෙල් එකේ සේවය කරන්න බැරි නිසා [අවුරුදු පහක පිරිමි ළමයෙක්], මම මේ සම්මාදම එවන්නේ හුඟක් සතුටින්. මම ලොකු වුණාම බෙතෙල් එකේ මහන්සි වෙලා වැඩ කරන්න එනවා.”

බයිබල් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම

“සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ට අණ කළා. (මතෙව් 28:19) ඔහුගේ වචනවලට කීකරු වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් 235ක බයිබලයේ පණිවුඩය දේශනා කිරීමෙහිත් ඉගැන්වීමෙහිත් කඩිසරව යෙදෙමින් සිටිනවා. ඔවුන් බයිබල් පොත් පත් භාෂා 413කින් මුද්‍රණය කර බෙදාහරිනවා.

දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් බොහෝ මිනිසුන්ට දැනගැනීමට උපකාර කිරීම සඳහා ඇත්තෙන්ම ක්‍රිස්තියානියෙක් විසින් කළ හැකි හොඳම සම්මාදම වෙන්නේ ඔහුගේ කාලය දීමයි. තම අසල්වැසියන්ට උපකාර කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ කාලය හා ශක්තිය බොහෝ සෙයින් පරිත්‍යාග කර තිබෙනවා. ඒ වගේම ඔවුන් මුදල් අතිනුත් ත්‍යාගශීලී වී තිබෙනවා. විවිධ ආකාරවලින් ඔවුන් කරන මේ පරිත්‍යාගයන් පොළොව පුරාම සිටින ජනයාට යෙහෝවාගේ නාමය හා අරමුණු ගැන දැනුම් දීම සඳහා ප්‍රයෝජනවත් වී තිබෙනවා. යෙහෝවා දෙවි ගැන අන් අයට දැනගැනීමට සැලැස්වීම සඳහා දරන මේ සියලුම වෑයම්වලට ඔහුගේ ආශීර්වාද දිගින් දිගටම ලැබේවා! (හිතෝපදේශ 19:17) මෙලෙස උපකාර කිරීමට අප දක්වන කැමැත්ත යෙහෝවාගේ සිත සතුටු කරනවා නිසැකයි.—හෙබ්‍රෙව් 13:15, 16

[28-30වන පිටුවේ කොටුව]

දීමට සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්

“ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති පෙට්ටිවලට සම්මාදම් දැමීම සඳහා බොහෝදෙනෙක් යම් මුදලක් වෙන් කරනවා.

සෑම මසකම සභාවන් මෙම මුදල ඒ රටේ ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට යවයි. ස්වේච්ඡාවෙන් මුදල් සම්මාදම් කරන්න කැමති නම් කෙළින්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබ ජීවත් වෙන්නේ වෙනත් රටක නම් ඒ රටේ පිහිටි ශාඛා කාර්යාලයට එවන්න පුළුවන්. චෙක්පත් “වොච් ටවර්” යන නමට ලිවිය යුතුයි. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැකියි. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුයි.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රම තිබෙනවා. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වෙයි.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැකියි.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච් ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දෙන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැකියි.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළ සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට එහි වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, නේවාසික ඉඩමක් ලෙස පරිත්‍යාග කරන්න පුළුවන්. යම් නිශ්චල දේපොළක් පැවරීමට කලින් ඔබ එසේ කිරීමට අදහස් කරන බව ඔබේ රටේ ශාඛා කාර්යාලයට දැනුම් දිය යුතුයි.

පරිත්‍යාග කරන ලද වාර්ෂිකය: පරිත්‍යාග කරන ලද වාර්ෂිකය කියන්නේ යමෙක් තමා සතු මුදල් හෝ සුරැකුම්, වොච් ටවර් සමිතිය වෙත පැවරීමට කරන සැලැස්මක්. ඒ සඳහා දායකයාට හෝ දායකයා විසින් පත් කරන ලද අයට ජීවිතාන්තය දක්වාම වසරක් වසරක් පාසා යම් නිශ්චිත මුදලක් ගෙවනු ලබයි.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හෝ මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කිරීමට පුළුවන්.

කුමන ආකාරයකින් හෝ පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබ වෙසෙන රටෙහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඒ බව දන්වන්න පුළුවන්. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුයි.

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Faithful video: Stalin: U.S. Army photo