Skip to content

පටුනට යන්න

යෙහෝවා අපගේ එඬේරාය

යෙහෝවා අපගේ එඬේරාය

යෙහෝවා අපගේ එඬේරාය

“යෙහෝවා මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය.”—ගීතාවලිය 23:1.

1-3. දාවිත් යෙහෝවාව එඬේරෙකුට සමාන කිරීම පුදුමයක් නොවන්නේ ඇයි?

යෙහෝවා තමන්ගේ සෙනඟ කෙරෙහි දක්වන සැලකිල්ල මොන වගේ එකක්ද කියා කවුරුහරි ඔබෙන් ඇසුවොත් ඔබ එය විස්තර කරන්නේ කොහොමද? තම විශ්වාසවන්ත සේවකයන්ට ඔහු දක්වන මෘදු සැලකිල්ල ඔබට සමාන කළ හැක්කේ කුමකටද? වසර 3,000කට පමණ පෙර ජීවත් වූ ගීතිකාකාර දාවිත් රජ යෙහෝවා දෙවි ගැන මැනවින් විස්තර කරන්නේ ඔහුගේම ජීවිත අද්දැකීමක් යොදාගෙන සිත්ගන්නා චිත්‍රයක් අපේ සිතේ මවමිනුයි.

2 දාවිත් ඔහුගේ තරුණ කාලය එඬේරෙක් ලෙස ගත කළ නිසා බැටළුවන් ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. එසේම තමා ඒ බැටළුවන් ළඟ සිටියේ නැත්නම් පහසුවෙන් උන් මඟ ඇරෙන්න පුළුවන් බවත් සොරුන්ට සහ වන මෘගයන්ට පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන් බවත් ඔහු හොඳින් දැනගෙන සිටියා. (1 සාමුවෙල් 17:34-36) සැලකිලිමත් එඬේරෙක් නොසිටියා නම් බැටළුවන්ට තනියම තණ බිම් සොයාගෙන යන්න හැකියාවක් නැහැ. එඬේරෙක් හැටියට තමාගේ බැටළුවන්ට මඟ පෙන්වමින්, උන්ව ආරක්ෂා කරමින් සහ උන්ව පෝෂණය කරමින්, තමාගේ ජීවිතයේ මුල් අවදිය ගත කළ ආකාරය ගැන දාවිත්ට සුන්දර මතකයන් තිබුණු බවට නම් සැකයක් නැහැ.

3 දෙවිගේ බලයෙන් පොලඹවනු ලැබූ දාවිත්, යෙහෝවා තම සෙනඟට දක්වන සැලකිල්ල ගැන විස්තර කළා. එසේ කරද්දී එඬේරෙක් දක්වන සැලකිල්ල ගැන දාවිත්ට මතක් වීම පුදුමයක් නම් නෙවෙයි. තමා රචනා කළ 23වන ගීතිකාව “යෙහෝවා මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය” කියා පවසමින් දාවිත් ආරම්භ කළේ ඒ නිසයි. මෙයාකාරයට යෙහෝවාව එඬේරෙකුට සමාන කිරීම කොතරම් ගැලපෙනවාද කියා අපි මුලින්ම සොයා බලමු. ඊළඟට තම බැටළුවන්ව රැකගන්නා එඬේරෙක් මෙන් යෙහෝවා තමන්ට නමස්කාර කරන්නන්ව රැකගන්නා විවිධ ආකාර ගැනද අපි 23වන ගීතිකාව තුළින් සොයා බලමු.—1 පේතෘස් 2:25.

කොතරම් කදිම ගැලපීමක්ද!

4, 5. බයිබලය බැටළුවන්ගේ ස්වභාවය විස්තර කරන්නේ කොහොමද?

4 දේවවචනය තුළ යෙහෝවාව විවිධාකාරයෙන් හඳුන්වා තිබෙනවා. ඒ අතරින් “එඬේරා” කියා හැඳින්වීම තරම් ඔහුගේ මෘදුකම පෙන්වන වෙනත් ආකාරයක් නම් නැහැ. (ගීතාවලිය 80:1) යෙහෝවාව එඬේරෙක් කියා හැඳින්වීම කොතරම් කදිමට ගැලපෙනවාද කියා තේරුම්ගැනීම සඳහා කාරණා දෙකක් අපට උපකාර කරනවා. පළමුවැන්න, බැටළුවන්ගේ ස්වභාවයයි. දෙවැන්න, හොඳ එඬේරෙක් සතු ගුණාංග සහ වගකීම්.

5 බයිබලය බැටළුවන්ගේ විවිධාකාර ගතිලක්ෂණ ගැන විස්තර කරනවා. බැටළුවෙක් එඬේරාගේ ආදරය සැලකිල්ල ලබන්න කැමැත්තක් දක්වනවා. (2 සාමුවෙල් 12:3) ඒ වගේම ඌ සන්සුන් (යෙසායා 53:7) මෙන්ම අසරණ සතෙක්. (මීකා 5:8) බැටළුවන්ව අවුරුදු ගානක් පුරා ඇති දැඩි කළ එක් ලේඛකයෙක් පවසන්නේ “තමන්වම බලාගන්න බැටළුවන්ට හැකියාවක් තිබෙන බව සමහරු සිතුවත් එය එසේ නෙවෙයි. ගොවිපොළවල ඇති කරන වෙනත් ඕනෑම සතෙකුට වඩා බැටළුවන්ව හුඟක් පරෙස්සමින් හා සැලකිල්ලෙන් බලාගැනීමට අවශ්‍ය වෙනවා” කියායි. මේ අසරණ සත්වයන්ට තම ජීවිතය පවත්වාගැනීමට සැලකිලිමත් එඬේරෙක්ගේ රැකවරණය අත්‍යවශ්‍ය දෙයක්.—එසකියෙල් 34:5.

6. පුරාණයේ සිටි එඬේරෙකුගේ දවස ගැන එක්තරා පොතක විස්තර කරන්නේ කොහොමද?

6 පුරාණයේ සිටි එඬේරෙක් තමාගේ දවස ගත කළ ආකාරය ගැන බයිබලයේ තිබෙන සමහර වචන විස්තර කරන එක් පොතක මේ විදිහට සඳහන් වෙනවා. “එඬේරෙක් හිමිදිරි පාන්දරම තම බැටළුවන්ව ගාලෙන් එළියට ගෙන, උන් ඉදිරියෙන් ගමන් කරමින් තණ බිමක් කරා උන්ව රැගෙන යනවා. එහිදී දවස පුරාම උන් ගැන ඇහැගහගෙන සිටින ඒ එඬේරා, එකෙක්වත් රැළෙන් පිටවී අතරමං නොවීමට වගබලාගත්තා. යම් ලෙසකින් එකෙක් හරි නැති වුණොත් කොහොමහරි ඌව සොයා නැවත රැළට එක් කිරීමට ඔහු දැඩි වෑයමක් දැරුවා. . . . ඇඳිරි වැටීගෙන එද්දී නැවත රැළ ගාලට ගෙනෙන ඔහු, ගාලේ දොරටුව ළඟ සිටගෙන තමාගේ සැරයටිය දිගු කළා. ඒ යටින් එකා පසුපස එකා ඇතුල් වෙද්දී උන්ව ගණන් කරමින් ගාල් කළා. . . . නමුත් ඔහුගේ වගකීම එතැනින් අවසන් වුණේ නැහැ. වන සතුන්ගෙනුත් සොරුන්ගෙනුත් බැටළුවන්ව ආරක්ෂා කිරීම සඳහා බොහෝවිට රැය පුරාම සෝදිසියෙන් සිටීමටත් ඔහුට සිදු වුණා.” *

7. ඇතැම් අවස්ථාවලදී එඬේරෙක් මෘදුව හා ඉවසිලිවන්තව ක්‍රියා කිරීම වැඩියෙන් අවශ්‍ය වුණේ ඇයි?

7 ඇතැම් අවස්ථාවලදී එඬේරෙක්ට බැටළුවන්ට මෘදුව සැලකීම හා ඉවසිලිවන්තව රැකබලා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු වුණා. බැටළු දෙනක් ගැබ්බර කාලයේදී මෙන්ම පැටවෙක් බිහි වූ අලුත ඒ පැටවාටත් විශේෂ අවධානයක් දීම අත්‍යවශ්‍ය දෙයක්. (උත්පත්ති 33:13) එක් බයිබල් විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “බොහෝ අවස්ථාවලදී බැටළු දෙන තම පැටවුන්ව බිහි කරන්නේ ගාලෙන් පිට, ඈතක පිහිටි කඳුකරයකයි. එම ප්‍රසව අවස්ථාවේදී ඒ බැටළු දෙනව හොඳින් බලාගන්න එඬේරාට සිදු වුණා. එසේම ඔහු අලුත උපන් බැටළු පැටවාව තම ළයට තුරුල් කරමින් ගාලට රැගෙන එන්නේ හද පිරි සෙනෙහසකින් යුතුවයි. ටික දවසක් යන තුරු ඌට ඇවිදින්න අපහසු බව දන්නා එඬේරා ඌව එහෙ මෙහෙ ගෙන යන්නේ පිටත සළුවෙන් ඔතා අත් දෙකෙන් තුරුල් කරගෙනයි.” (යෙසායා 40:10, 11) ඔව්, හොඳ එඬේරෙක් ශක්තිමත් කෙනෙක් මෙන්ම මෘදු කෙනෙක් විය යුතු වුණා.

8. යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට දාවිත්ට තිබූ හේතු මොනවාද?

8 “යෙහෝවා මාගේ එඬේරාය” කියා අපගේ ස්වර්ගීය පියාව විස්තර කිරීම කොතරම් කදිමට ගැලපෙනවාද! ශක්තිමත් මෙන්ම මෘදු එඬේරෙක් වගේ දෙවි අපිට සලකන ආකාරය 23වන ගීතිකාව පරීක්ෂා කරද්දී අපට දැකගන්න ලැබෙනවා. තම බැටළුවන්ට ‘හිඟයක් නොවන’ ලෙසින් අවශ්‍ය සෑම දෙයක්ම දෙවි සපයන බවට වූ තම විශ්වාසය දාවිත් එහි ගීතා 23 පළමුවෙනි පදයේ ප්‍රකාශ කරනවා. එසේ විශ්වාස කිරීමට හේතු තුනක් දාවිත් ඊළඟ පදවල සඳහන් කරනවා. යෙහෝවා දෙවි තම බැටළුවන්ට දෙන මඟ පෙන්වීම, ආරක්ෂාව සහ පෝෂණය ඒ හේතු තුනයි. අපි දැන් මේවා එකිනෙක සලකා බලමු.

‘ඔහු මා ගෙන යන්නේය’

9. දාවිත් විස්තර කරන නිශ්චල දර්ශනය කුමක්ද? එවැනි තැනක ලගින්නට බැටළුවන්ට හැකි වෙන්නේ කොහොමද?

9 පළමුවෙනි හේතුව වෙන්නේ එඬේරෙක් තම බැටළුවන්ව ගෙන යන ආකාරයට යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වන අයුරුයි. දාවිත් ලිව්වේ “ඔහු නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වන්නේය; “නිශ්චල වූ දිය අසලින් මා ගෙන යන්නේය; ඔහු මාගේ සිත ප්‍රාණවත් කරන්නේය; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙන යන්නේය” කියායි. (ගීතාවලිය 23:2, 3) මේ වදන්වලින් දාවිත් අපේ මනස්වල මවන්නේ කොතරම් අලංකාර චිත්‍රයක්ද! උන්ට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඇති තැනක වැතිර සිටින බැටළු රැළක දර්ශනයක් සිතින් මවාගන්න. උන් භුක්ති විඳින තෘප්තිය, සුවය සහ සුරක්ෂිතභාවය කොයි තරම්ද! “ගොදුරු බිම්” යන්න පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයේ අර්ථය වෙන්නේ නිශ්චල වූ ප්‍රසන්න තැනක් යන්නයි. බොහෝවිට එඬේරෙක් නැතිව මෙවැනි “ප්‍රසන්න ස්ථානයක්” උන්ගේම හැකියාවෙන් සොයාගන්න නම් බැටළුවන්ට හැකි වෙන්නේ නැහැ. එවැනි “ප්‍රසන්න ස්ථානයකට” උන්ව මඟ පෙන්විය හැක්කේ උන්ගේ එඬේරාට පමණයි.

10. අපව විශ්වාස කරන බව දෙවි පෙන්වන්නේ කොහොමද?

10 යෙහෝවා මේ කාලයේදී තම සෙනඟට මඟ පෙන්වන එක් ආකාරයක් වෙන්නේ ඔහුගේම ආදර්ශය තුළිනුයි. “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියා බයිබලය පවසන්නේ ඒ නිසයි. (එෆීස 5:1) එහි අවට පදවල දයානුකම්පාව, සමාව දීම සහ ප්‍රේමය ගැන සඳහන් වෙනවා. (එෆීස 4:32; 5:2) එවැනි හද උණුසුම් කරන ගුණාංග විදහා පෙන්වීමේ උතුම්ම ආදර්ශය වෙන්නේ යෙහෝවා දෙවියි. ඔහුව අනුකරණය කරන්න කියා අපෙන් ඉල්ලීම අසාධාරණ දෙයක් කියා ඔබ සිතනවාද? නැහැ. ඇත්තෙන්ම එසේ ඉල්ලීමෙන් ඔහු අප කෙරෙහි කොතරම් විශ්වාසයක් තබනවාද කියා අපට පැහැදිලි වෙනවා. ඔහු අපි ගැන එතරම් විශ්වාසයක් තබන්නේ ඇයි? දෙවි අපිව මවා තිබෙන්නේ ඔහුගේ ගුණාංග පිළිබිඹු කිරීමට සහ ඔහුව සතුටු කිරීමට හැකි වන ආකාරයෙනුයි. (උත්පත්ති 1:26) එමනිසා අපි දෙවිගේ පරිපූර්ණ ප්‍රමිතිවලින් පහතට වැටී සිටියත්, දෙවිගේ ගුණාංග පිළිබිඹු කිරීමටත් ඔහු අනුකරණය කිරීමටත් අපිට හැකියාවක් තිබෙනවා කියා අපේ ප්‍රේමණීය දෙවි දන්නවා. ඒ නිසා ඔහු අපව විශ්වාස කරනවා. අපි ඔහුගේ ආදර්ශය අනුකරණය කළොත් එඬේරා තම බැටළුවන්ව සන්සුන් ‘ප්‍රසන්න ස්ථානයකට’ මඟ පෙන්වනවා හා සමානව, මේ දරුණු ලෝකයේ ජීවත් වන අපිටත් සන්සුන්ව හා ‘සුරක්ෂිතව ජීවත් වීමට’ දෙවි උපකාර කරයි. මෙසේ දෙවිගේ අනුමැතිය තිබෙන බව දැනගැනීමෙන් ලැබෙන සහනය ඇතිව අපට ජීවත් විය හැකියි.—ගීතාවලිය 4:8; 29:11.

11. තම බැටළුවන්ට මඟ පෙන්වද්දී යෙහෝවා සැලකිල්ලට ගන්නේ කුමක්ද? යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන දේ ගැන ඉන් කියාපාන්නේ කුමක්ද?

11 යෙහෝවා මෘදුකමින් සහ ඉවසිලිවන්තකමින් අපට මඟ පෙන්වයි. තම බැටළුවන්ගේ සීමා අඳුනන එඬේරෙක් උන්ට මඟ පෙන්වන්නේ උන්ට “යන්ට පුළුවන් ප්‍රමාණයට” යමිනුයි. (උත්පත්ති 33:14) එයාකාරයටම යෙහෝවා දෙවි තම බැටළුවන්ට මඟ පෙන්වන්නෙත් ඔවුන්ට ‘යන්ට පුළුවන් ප්‍රමාණයටයි.’ අපේ හැකියාවන් හා තත්වයන් සැලකිල්ලට ගන්නා ඔහු, අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය විතරයි. ඒ දෙන ප්‍රමාණය මොකක් වුණත් මුළු හදවතින්ම දීමයි ඔහුට වටින්නේ. (කොලොස්සි 3:23) නමුත් මහලු විය නිසා ඉස්සර කරපු තරම් දැන් කරන්න බැහැයි කියා ඔබට සිතුණොත්? එහෙමත් නැත්නම් යම් බරපතළ රෝගයකින් පීඩා විඳින නිසා කැමති තරම් සේවයක් කරන්න ඔබට බැරි නම්? අධෛර්යය වෙන්න එපා. හැමෝටම එක වගේ දේවල් කරන්න බැහැ. ඔබ කරන ටික වුණත් ඔබේ මුළු හදවතින්ම කරනවා නම් ඒ දේ තමයි දෙවිට ගොඩාක් වටින්නේ. එය දැනගෙන සිටීම කොයි තරම් සහනයක්ද! මුළු හදවතින්ම සේවය කරනවා කියන්නේ මුළු ශක්තියම යොදාගෙන ඔබට කළ හැකි උපරිමයෙන් දෙවිට සේවය කිරීමයි.—මාක් 12:29, 30.

12. යෙහෝවා තම බැටළුවන්ට මඟ පෙන්වන්නේ “යන්ට පුළුවන් ප්‍රමාණයට” අනුව බව ඔප්පු වෙන්නේ මෝසෙස්ගේ නීතියේ තිබෙන කුමන උදාහරණයෙන්ද?

12 යෙහෝවා තම බැටළුවන්ට මඟ පෙන්වන්නේ ඔවුන්ට ‘යන්න පුළුවන් ප්‍රමාණයට’ පමණයි. මෙය මෝසෙස්ගේ නීතිය යටතේ ඔප්පු කරනු ලැබූ සමහර පාප පූජා ගැන සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා. ඔවුන් පූජාවන් ඔප්පු කරද්දී ස්තුතිවන්තභාවයේ හැඟීමකින් යුතුව හොඳම දේවල් ඔප්පු කිරීමයි යෙහෝවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ. එසේ පූජා ඔප්පු කරද්දී එක් එක්කෙනාගේ හැකියාවට අනුව විවිධ දේවල් පූජා කිරීමට ඉඩ කඩ තිබුණා. නීතියේ සඳහන් වුණේ, “බැටළු වස්සෙකු ගෙනෙන්ට ඔහුට වත්කමක් නැත්නම් . . . පරවියන් දෙදෙනෙකු හෝ කොබෙයි පැටවුන් දෙදෙනෙකු” ගෙනෙන්නට ඔහුට අවසර තිබුණු බවයි. යමෙකුට කොබෙයියන් දෙදෙනෙක් ගේන්න තරම්වත් වත්කමක් තිබුණේ නැත්නම් පූජාව සඳහා “සිහින් පිටි” ගෙනෙන්න ඔහුට අවසර තිබුණා. (ලෙවී කතාව 5:7, 11) මෙයින් පැහැදිලි වෙන්නේ කෙනෙක්ට දෙන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් දේවල් දෙවි ඉල්ලුවේ නැති බවයි. යෙහෝවා දෙවි වෙනස් වෙලා නැහැ. ඉදිරියට වෙනස් වෙන්නෙත් නැහැ. (මලාකි 3:6) ඒ නිසා කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන් කරන්න කියා ඔහු අපට බල කරන්නේ නැති බව නම් ස්ථිරයි. අපිට හැකි උපරිමය දෙන විට ඔහු ඉන් සතුටක් ලබයි. මෙසේ අපිට මඟ පෙන්වන්නේ අපව හොඳින් තේරුම්ගන්නා එඬේරෙක් කියා දැනගැනීම මොන තරම් සහනයක්ද!

“කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය”

13. ගීතාවලිය 23:4හි තමා යෙහෝවාට ඉතා සමීප බව දාවිත් අඟවන්නේ කොහොමද? ඒක පුදුමයක් නොවන්නේ ඇයි?

13 දාවිත් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන දෙවෙනි හේතුව වෙන්නේ යෙහෝවා තම බැටළුවන්ට සපයන ආරක්ෂාවයි. “මරණ සේවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත් කිසි නපුරකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය; ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ” කියා ඔහු ලිව්වා. (ගීතාවලිය 23:4) මෙහිදී දාවිත් යෙහෝවාට “ඔබ” කියා අමතන බව සැලකිල්ලට ගන්න. ඔහු යෙහෝවාට කොතරම් සමීපව ඉන්නවාද කියා ඉන් ඇඟවෙනවා. ඒක පුදුමයක් නෙවෙයි. මෙහිදී දාවිත් කතා කරන්නේ ඔහුට පැමිණි විපත්ති විඳදරාගැනීමට දෙවි ඔහුට උපකාර කළ ආකාරය ගැනයි. තමන්ගේ ජීවිතයේ අඳුරු මිටියාවත් හා සමාන අනතුරුදායක තත්වයන් බොහොමයකට දාවිත් මුහුණ දීලා තිබුණා. නමුත් ඒ නිසා ඇති වූ භයට ඔහුව පාලනය කිරීමට ඔහු ඉඩහැරියේ නැහැ. ඊට හේතුව දෙවි තම ‘දණ්ඩ’ හා ‘සැරයටිය’ අතැතිව ඔහු ළඟම සිටිය බව ඔහුට දැනුණ නිසයි. මෙසේ දෙවිගේ ආරක්ෂාව තමාට තිබෙන බව දැන සිටි නිසා දාවිත්ට ලොකු සහනයක් දැනුණා. එය ඔහුව තව තවත් යෙහෝවා දෙවිට සමීප කළ බවට කිසිම සැකයක් නැහැ. *

14. යෙහෝවා සපයන ආරක්ෂාව ගැන බයිබලය අපට දෙන්නේ මොන වගේ සහතිකයක්ද? නමුත් ඉන් අදහස් නොකරන්නේ කුමක්ද?

14 අද කාලයේ යෙහෝවා තම බැටළුවන්ව ආරක්ෂා කරන්නේ කොහොමද? තම බැටළුවන්ව මේ පොළොවෙන් සහමුලින්ම තුරන් කර දැමීමට කිසිම මිනිසෙකුට හෝ භූතයෙකුට හෝ දෙවි ඉඩ දෙන්නේ නැති බව බයිබලය අපට සහතික කරනවා. (යෙසායා 54:17; 2 පේතෘස් 2:9) නමුත් සියලු ආකාර විපත්තිවලින් අපගේ එඬේරා අපව ආරක්ෂා කරන බව මින් අදහස් කරන්නේ නැහැ. ඕනෑම කෙනෙක් මුහුණ දෙන ප්‍රශ්න ගැටලු අත්විඳින්න අපටත් සිදු වෙනවා. ඒ වගේම සියලුම සැබෑ ක්‍රිස්තියානීන්ට මුහුණ දීමට සිදු වන විරුද්ධවාදිකම්වලටද අප මුහුණ දෙනවා. (2 තිමෝති 3:12; යාකොබ් 1:2) සමහර අවස්ථාවලදී අපිත් “මරණ සෙවණේ මිටියාවත මැදින්” යනවා වගේ අපිට දැනෙන්න පුළුවන්. උදාහරණයකට දැඩි පීඩා හෝ යම් බරපතළ අසනීපයක් නිසා අපි මරණාසන්නව සිටින්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි ගොඩක් ආදරේ කරන කෙනෙක් මිය ගොස් හෝ මරණය අද්දර ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මෙය මතක තබාගන්න. ජීවිතයේ අඳුරුම අවස්ථා මෙන් අපට දැනිය හැකි එවන් අවස්ථාවලදී පවා අපගේ එඬේරා අපි ළඟම ඉන්නවා. අනිවාර්යයෙන්ම ඔහු අපිව ආරක්ෂා කරනවා. අපිට එහෙම කියන්න පුළුවන් කොහොමද?

15, 16. (අ) අපගේ ජීවිතයේ ඇති වන ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා අපට උපකාර කරන්නේ කොහොමද? (ආ) පීඩා කාලයේදී යෙහෝවා අපට උපකාර කරන ආකාරය පෙන්වන අද්දැකීමක් විස්තර කරන්න.

15 තමා ආශ්චර්යවත් ආකාරයකින් මැදිහත් වී අපව ආරක්ෂා කරන බව යෙහෝවා කියන්නේ නැහැ. * නමුත් අපගේ ජීවිතයේ ඇති වන ඕනෑම ගැටලුවකට සාර්ථකව මුහුණ දීමට යෙහෝවා උපකාර කරයි කියා අපිට නිසැක වෙන්න පුළුවන්. ඔහු එය කරන එක් විදිහක් තමයි “විවිධාකාර පරීක්ෂාවලට” මුහුණ දීම සඳහා අපට අවශ්‍ය ප්‍රඥාව දීම. (යාකොබ් 1:2-5) එඬේරෙක් ඔහුගේ දණ්ඩ නැත්නම් සැරයටිය පාවිච්චි කරන්නේ වන සතුන්ව භය කරන්න විතරක් නෙවෙයි. නමුත් තම බැටළුවන් පාරෙන් ටිකක් ඉවතට පැන්නොත් නැවත හරි මාර්ගයට ගන්න පොඩි තල්ලුවක් දීමටත් ඔහු එය යොදාගන්නවා. ඒ වගේම යෙහෝවා අපිටත් “පොඩි තල්ලුවක්” දීම සඳහා සමහරවිට යොදාගන්නේ අපේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්වයි. ඒ “පොඩි තල්ලුව” බයිබල් උපදෙසක් අදාළ කරගැනීම සඳහා අපට දෙන කුඩා දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. නමුත් එය අපගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරාවි. ඒ වගේම යෙහෝවා අපට උපකාර කරන තවත් විදිහක් නම් යම් දේවල් විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය සපයා දීමෙනුයි. (ෆිලිප්පි 4:13) සාතන් අපට ඇති කරන ඕනෑම පීඩාවක් විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ දෙවිගේ බලයයි. (1 කොරින්ති 10:13) දෙවිගේ බලයෙන් ලැබෙන උපකාරය නිසා දේවල් විඳදරාගැනීමට “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට තිබෙනවා. (2 කොරින්ති 4:7) මේ ආකාරවලින් අපට උපකාර කිරීමට යෙහෝවා දෙවි සෑමවිටම සූදානම් බව දැනගැනීමම කොයි තරම් සහනයක්ද?

16 ඇත්තයි, අපගේ මේ ජීවිත ගමනේදී මොන යම් ආකාරයේ අඳුරු මිටියාවතක් අපිට හමු වුණත් එහිදී අපි තනි වෙන්නේ නම් නැහැ. අපේ එඬේරා අපිත් එක්කම ඉන්නවා කියා අපට නිසැක වෙන්න පුළුවන්. සමහරවිට ඔහු අපට උපකාර කරන ආකාරය මුලදී අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තමාට මොළයේ පිළිකාවක් තිබෙන බව දැනගන්න ලැබූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක්ගේ අද්දැකීම සලකා බලන්න. “මුලදී මම හිතුවේ යෙහෝවා දෙවි මාත් එක්ක තරහ වෙලා ඇති කියලයි. එහෙමත් නැත්නම් ඔහු මට ආදරේ නැතුව ඇති කියලයි. ඒත් මං අධිෂ්ඨාන කරගත්තා මම නම් කවදාවත් යෙහෝවාගෙන් ඈත් වෙන්නේ නැහැ කියලා. කලින් මට තිබූ සැකයන් ගැන කියලා මම යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවා මට ගොඩාක් උපකාර කළා. ඒ එක විදිහක් තමයි මගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මාර්ගයෙන් මට සහනය ලබා දීම. බරපතළ අසනීප විඳදරාගත්තු ආකාරය ගැන හුඟදෙනෙක් එයාලාගේ අද්දැකීම් මාත් එක්ක බෙදාගත්තා. ඒගොල්ලන්ගේ සමබර අදහස් නිසා මම තේරුම්ගත්තා මේ තත්වය අත්විඳින්නේ මම විතරක් නෙවෙයි කියලා. ඒගොල්ලෝ මට ගොඩාක් උපකාර කළා. කරපු සමහර දේවල් නම් හිතාගන්නවත් බැරි තරම් කාරුණික උපකාර. ඒ හැම එකකින්ම මම එක දෙයක් තේරුම්ගත්තා. ඒ, යෙහෝවා මාත් එක්ක තරහා වෙලා නැහැ කියන එක. මගේ මේ අසනීපයත් එක්ක ජීවත් වෙන එක ලෙහෙසි පහසු දෙයක් නොවන බව නම් ඇත්තයි. ඉදිරිය මීටත් වඩා දරුණු වෙයි කියන එකත් මම දන්නවා. සමහරවිට මගේ ජීවිතය වුණත් නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් යෙහෝවා දෙවි මාත් එක්ක ඉන්නවා කියන එකත් මේ පීඩාව විඳදරාගන්න ඔහු දිගටම මට උපකාර කරයි කියන එකත් මට හොඳටම විශ්වාසයි.”

‘ඔබ මාගේ ඇස් හමුයෙහි මේසයක් පිළියෙල කරන්නේය’

17. ගීතාවලිය 23:5හි දාවිත් යෙහෝවාව විස්තර කරන්නේ කොහොමද? එය යෙහෝවාව එඬේරෙකුට සමාන කිරීමට පටහැනි නොවන්නේ ඇයි?

17 යෙහෝවා කෙරෙහි තම විශ්වාසය තැබීමට හේතු වන තුන්වන කාරණය දාවිත් දැන් සඳහන් කරයි. ඒ යෙහෝවා තම බැටළුවන්ට කිසිම හිඟයක් නැතිව ලබා දෙන පෝෂණයයි. දාවිත් මෙහෙම ලියනවා. “ඔබ මාගේ සතුරන් ඉදිරිපිට මාගේ ඇස් හමුයෙහි මේසයක් පිළියෙල කරන්නේය; මාගේ හිස තෙලින් ආලේප කරන්නේය; මාගේ කුසලාන උතුරා යයි.” (ගීතාවලිය 23:5) මේ පදයේ දාවිත් තම එඬේරාව විස්තර කරන්නේ ආහාර පාන ආදිය බහුල වශයෙන් සපයන ත්‍යාගශීලී කෙනෙක් ලෙසටයි. යෙහෝවාව සැලකිලිමත් එඬේරෙකුට සහ ත්‍යාගශීලී තැනැත්තෙකුට සමාන කිරීම එකිනෙකට පටහැනි නැහැ. ඊට හේතුව හොඳ එඬේරෙක් තම බැටළු රැළ කිසිම ‘හිඟයක් නැතිව’ පෝෂණය කිරීමට නම් සරුසාර තණබිම් සහ ප්‍රමාණවත් වතුර තියෙන්නේ කොහේද කියා ඔහු හොඳින් දැනගෙන සිටිය යුතුවීමයි.—ගීතාවලිය 23:1, 2.

18. යෙහෝවා දෙවි ත්‍යාගශීලී කෙනෙක් බව ඔප්පු වෙන්නේ කුමකින්ද?

18 අපගේ එඬේරාත් ත්‍යාගශීලී කෙනෙක්ද? ඔව්, ඔහු ඉතාමත්ම ත්‍යාගශීලී ලෙස සත්කාර කරන කෙනෙක්! ඔහු අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා අපට සපයන දේවල ගුණය, ප්‍රමාණය සහ විවිධත්වය ගැන සිතා බලන්න. අපි එයින් සතුටක් ලබන්නේ නැද්ද? විශ්වාසවන්ත නුවණ ඇති දාස පන්තිය මාර්ගයෙන් ප්‍රකාශන, රැස්වීම්, එක්රැස්වීම් සහ සමුළු ඔහු අපට සපයා තිබෙන්නේ අපගේ ප්‍රයෝජනය සඳහයි. (මතෙව් 24:45-47) ඒ හැම එකකින්ම අපගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වෙනවා වගේම දෙවි සමඟ හොඳ සම්බන්ධයක්ද ඇති වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔහු ලබා දෙන්නේ කිසිම අඩුවක් නැතිවයි. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විසින් බයිබල් මෙන්ම එය පාඩම් කිරීම සඳහා ආධාරක පොත් පත් මිලියන ගණනක් නිෂ්පාදනය කර තිබෙන අතර ඒ ප්‍රකාශන භාෂා 413කටත් වඩා වැඩියෙන් දැන් ලබාගත හැකියි. “කිරි” හා සමාන මූලික බයිබල් ඉගැන්වීම්වල සිට, “ගන ආහාර” හා සමාන දෙවි පිළිබඳ ගැඹුරු සත්‍යයන් දක්වා විවිධ ආකාරවලින් අපට මේ දැනුම යෙහෝවා සපයා දෙනවා. (හෙබ්‍රෙව් 5:11-14) අපි යම් ගැටලුවකට මුහුණ දෙද්දී හෝ අපට යම් තීරණ ගන්න සිදු වෙද්දී, එවැනි සැපයුම් උපයෝගි කරගෙන අපට අවශ්‍ය තොරතුරු පහසුවෙන් සොයාගන්න පුළුවන්. දෙවිගෙන් ලැබෙන එවැනි පෝෂණයක් නැති වුණොත් අපට කුමක් වෙයිද? අපගේ එඬේරා අතිශය ත්‍යාගශීලී කෙනෙක් කියා ඔබට හැඟෙන්නේ නැද්ද?—යෙසායා 25:6; 65:13.

“යෙහෝවාගේ ගෘහයෙහි වසන්නෙමි”

19, 20. (අ) ගීතාවලිය 23:6 තුළින් දාවිත් ප්‍රකාශ කරන්නේ ඔහුට ඇති කුමන නිසැකකම ගැනද? අපිටත් එවන් නිසැකකමක් ඇතිව සිටීමට හැක්කේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ අපි සාකච්ඡා කරන්න යන්නේ කුමක් ගැනද?

19 තමාගේ එඬේරා සහ සැපයුම්කරු ගැන ගැඹුරින් කල්පනා කළ දාවිත් අවසානයේදී මෙහෙම පැවසුවා. “සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව යන්නේය; සදාකල්ම යෙහෝවාගේ ගෘහයෙහි වසන්නෙමි.” (ගීතාවලිය 23:6) දාවිත් එහෙම පැවසුවේ ඔහුගේ හදවත කෘතඥතාවෙන් හා නිසැකකමින් පිරී ඉතිරී ගිය නිසයි. මෙතෙක් ඔහුට දෙවි සැලකූ ආකාරය ගැන සිතද්දී ඔහුට කෘතඥතාවක් දැනුණු අතර ඒ නිසා අනාගතය ගැන නිසැකකමක් ඇතිව සිටින්නත් ඔහුට හැකි වුණා. තම ස්වර්ගීය එඬේරාට සමීපව සිටීමෙන් දෙවිගේ ගෘහයෙහි වාසය කරනවා හා සමාන හැඟීමක් දාවිත්ට තිබුණා. එසේ සමීපව සිටින තාක් කල් යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල ඔහුට ලැබෙන බවත් ඔහු සුරක්ෂිතව සිටින බවත් කලින් එඬේරෙක්ව සිටි මේ රජ හොඳින්ම දැන සිටියා.

20 විසි තුන්වන ගීතිකාවේ අඩංගු ඒ අලංකාර වචනවලට අපි කොයිතරම් ස්තුතිවන්ත විය යුතුද! යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වන විදිය, ආරක්ෂාව සපයන සහ පෝෂණය කරන ආකාරය විස්තර කරන්න දාවිත්ට මීට වඩා හොඳ ක්‍රමයක් තියෙයි කියා සිතන්නවත් බැහැ. දාවිත්ගේ හද පිරි ප්‍රේමයෙන් ප්‍රකාශ වූ ඒ වචන අද දක්වා ආරක්ෂා කර තබා තිබෙන්නේ එඬේරෙක් හා සමානව සිටින අපේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට හැකි බවට නිසැකකමක් අපට ලබා දීමටයි. ඔව්, අපි යෙහෝවා දෙවිට සමීපව සිටින තාක් කල් ප්‍රේමණීය එඬේරෙක් වගේ ඔහු අපට “සදාකල්ම” සලකන බවට නම් කිසිම සැකයක් නැහැ! ඒත් ඔහුගේ බැටළුවන් වන අපිටත් වගකීමක් තිබෙනවා. ඒ තමයි අපගේ උතුම් එඬේරාත් එක්කම ගමන් කිරීමේ වගකීම. මීට ඇතුළත් වෙන්නේ කුමක්ද කියා අපි මීළඟ ලිපියෙන් සොයා බලමු.

[පාදසටහන්වල]

^ 13 ඡේ. තමාව උවදුරුවලින් ගලවාගත් නිසා යෙහෝවාට ප්‍රශංසා කරන ගීතිකා රාශියක් දාවිත් රචනා කළා.—18, 34, 56, 57, 59 සහ 63වන ගීතිකා බලන්න.

^ 15 ඡේ. වර්ෂ 2003 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “දෙවි කෙසේ මැදිහත් වේවිද?” යන ලිපිය බලන්න.

ඔබට මතකද?

• දාවිත් යෙහෝවාව එඬේරෙකුට සමාන කිරීම උචිත දෙයක් වෙන්නේ ඇයි?

• යෙහෝවා අපිව තේරුම්ගෙන අපිට මඟ පෙන්වන්නේ කොහොමද?

• පීඩා විඳදරාගැනීමට යෙහෝවා අපිට උපකාර කරන්නේ කොහොමද?

• යෙහෝවා දෙවි ත්‍යාගශීලී ලෙස සත්කාර කරන්නෙක් බව ඔප්පු වෙන්නේ කුමකින්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්හි සිටි එඬේරෙක් වගේ යෙහෝවා තම බැටළුවන්ට මඟ පෙන්වනවා