Skip to content

පටුනට යන්න

යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි

යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි

යේසුස්ගේ ජීවිත පූජාව දෙවිගේ ධර්මිෂ්ඨකම ඔප්පු කරයි

ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලි ගැසුවායින් පසුව යෙහෝවා දෙවි වංශයක් පිළිබඳ පොරොන්දුවක් දුන්නා. ඒ වංශයේ විලුඹ පොඩි කරනු ලබන බවත් දෙවි පැවසුවා. (උත්පත්ති 3:15) දෙවිගේ සතුරන් යේසුස් ක්‍රිස්තුස්ව වද කණුවක මරණයට පත් කළ විට මේ විලුඹ පොඩි කිරීම සංකේතාත්මක ආකාරයෙන් සිදු වුණා. (ගලාති 3:13, 16) දෙවි ප්‍රාතිහාර්යයක් මාර්ගයෙන් යේසුස්ව කන්‍යාවකගේ කුස තුළට මාරු කළ නිසා ඔහුට ආදම්ගේ පාපය උරුම වුණේ නැහැ. එමනිසා ආදම්ගෙන් පාපය සහ මරණය උරුම කරගත් මිනිසුන්ව ගලවාගැනීම සඳහා මිදීමේ මිලයක් හැටියට තම රුධිරය භාවිත කිරීමට යේසුස්ට හැකි වුණා.—රෝම 5:12, 19.

යෙහෝවා දෙවි අරමුණු කළ දෙයක් වැළැක්වීමට කිසිම කෙනෙකුට බැරි නිසා පව්කාර මිනිසුන්ව ගැලවීමට තරම් වටිනා මිලයක් ගෙවන බව දෙවි පැවසූ විට, එය ඒ වන විටත් ගෙව්වා හා සමාන වුණා. ඔහුගේ පොරොන්දුවල ඉටුවීම ගැන විශ්වාසයෙන් සිටි අය සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වන්න දෙවිට හැකි වුණේ ඒ නිසයි. ඒනොක්, නෝවා සහ ආබ්‍රහම් වැනි ආදම්ගෙන් පාපය උරුම කරගත් මනුෂ්‍යයන්ට වුණත් මේ නිසා දෙවිගේ මිතුරන් වීමටත් හැකි වුණා. මෙවැනි මිත්‍රත්වයන් නිසා දෙවිගේ ශුද්ධකමට කිසිදු හානියක් සිදු වුණේ නැහැ.—උත්පත්ති 5:24; 6:9; යාකොබ් 2:23.

යෙහෝවා දෙවි කෙරෙහි තම විශ්වාසය තැබූ සමහර අය පසුව බරපතළ පව් කළා. දාවිත් රජ එවන් කෙනෙක්. ‘බැත්ෂෙබා සමඟ පරදාර සේවනයේ යෙදීමෙන් පසුව ඇගේ ස්වාමිපුරුෂයා වූ උරියාව මරා දැමීමට නියෝග කළ දාවිත් රජට යෙහෝවා දෙවි ආශීර්වාද කළේ කොහොමද’ කියා සමහරවිට ඔබට හිතෙන්න පුළුවන්. මෙහිදී වැදගත්ම දෙය වුණේ දාවිත් මුළු සිතින් දැක්වූ අවංක පසුතැවිල්ල සහ ඇදහිල්ලයි. (2 සාමුවෙල් 11:1-17; 12:1-14) පසුතැවිලි වූ දාවිත්ට සමාව දීමේදී යෙහෝවා තමාගේ යුක්තිය හා ධර්මිෂ්ඨකමට එකඟව ක්‍රියා කළේ කොහොමද? ඔහු දාවිත්ට සමාව දුන්නේ ඉදිරියේදී ඔප්පු කිරීමට නියමිතව තිබූ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙනයි. (ගීතාවලිය 32:1, 2) යේසුස්ගේ ජීවිත පූජාවෙන් ඉටු වන වඩාත්ම වැදගත් දෙය බයිබලය මෙලෙස පැහැදිලි කරනවා. යේසුස් තම ජීවිතය පූජා කළේ “[දෙවිගේ] ධර්මිෂ්ඨකම පෙන්වන පිණිසය.” අතීතයේදී කළ පාපවලට මෙන්ම “මේ කාලයේදී” කරනු ලබන ‘පාපවලට ඔහු සමාව දෙයි.’—රෝම 3:25, 26.

ඔව්, මිනිස්වර්ගයාට උතුම් ආශීර්වාද ලැබෙන්නේ යේසුස්ගේ රුධිරයේ වටිනාකම නිසයි. පාපය උරුම කරගෙන සිටියත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා පසුතැවිලි වන මිනිසුන්ට දෙවි සමඟ මිත්‍රයත්වයක් භුක්ති විඳීමට හැකි වෙනවා. ඊට අමතරව මේ පොළොව පාරාදීසයක් වූ පසු මළවුන්ගේ නැවත නැඟිටීමක්ද සිදු වෙන්න යනවා. යේසුස් ඔහුගේ ජීවිතය පූජා කරන්නත් කලින් මිය ගිය දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් වගේම දෙවි ගැන නිවැරදි දැනුමක් නොලැබූ නිසා ඔහුට නමස්කාර නොකර මිය ගිය බොහෝ දෙනෙක්ද මීට ඇතුළත් වෙනවා. “ධර්මිෂ්ඨ සහ අධර්මිෂ්ඨ යන දෙපිරිසගේම නැවත නැඟිටීමක් තිබෙන්න යන” බව බයිබලය පවසයි. (ක්‍රියා 24:15) යේසුස්ගේ ජීවිත පූජාව හේතුවෙන් ඒ කාලයේදී සියලුම කීකරු අයට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට යෙහෝවා දෙවි අවස්ථාව ලබා දෙයි. (යොහන් 3:36) යේසුස්ම ඒ ගැන මෙහෙම පැහැදිලි කළා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මේ හැම ප්‍රයෝජනයක්ම මනුෂ්‍යයන්ට ලැබෙන්නේ දෙවිගේ සැපයුමක් වන යේසුස්ගේ ජීවිත පූජාව නිසයි.

යේසුස්ගේ ජීවිත පූජාව වැදගත් වෙන්නේ ඉන් අපිට ලැබෙන ප්‍රයෝජන නිසා පමණක්ම නෙවෙයි. වඩා වැදගත් දෙය වෙන්නේ එය යෙහෝවාගේ නාමයට බලපාන නිසයි. දෙවි ශුද්ධව සිටියත් පාපය උරුම කරගෙන සිටින මිනිසුන් සමඟ කටයුතු කරන්න තමාට හැකි බවත් ඔහු මුළුමනින්ම යුක්තිසහගත කෙනෙක් බවත් ඉන් ඔප්පු වෙනවා. යේසුස්ගේ ජීවිතය පූජාවක් හැටියට දීමට දෙවි තීරණය කළේ නැත්නම්, ආදම්ගෙන් පැවතෙන කිසිම කෙනෙකුට, එනම් ඒනොක්, නෝවා, ආබ්‍රහම් වැනි අයට පවා යෙහෝවාගේ මිත්‍රයන් වීමටවත් ඔහු කැමති විදිහට ජීවත් වීමටවත් හැකි වෙන්නේ නැහැ. මෙය වටහාගත් ගීතිකාකරු මෙහෙම ලිව්වා. “යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම් යෙහෝවා, සිටින්ට පුළුවන් කාටද?” (ගීතාවලිය 130:3) තමන්ගේ ප්‍රේමණීය පුත්‍රයාව පොළොවට එවීම ගැන යෙහෝවා දෙවිටත් තමන්ගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීම ගැන යේසුස්ටත් අප කොපමණ ස්තුතිවන්ත විය යුතුද!—මාක් 10:45.