Skip to content

පටුනට යන්න

දෙවි සමඟ ගමන් කරන අය යහපත නෙළාගනී

දෙවි සමඟ ගමන් කරන අය යහපත නෙළාගනී

දෙවි සමඟ ගමන් කරන අය යහපත නෙළාගනී

‘ඔවුහු හුළඟ වපුරා සුළි සුළඟ කපාගන්නෝය.’—හොෂෙයා 8:7.

1. අපිට යෙහෝවා සමඟ ගමන් කරන්න පුළුවන් කොහොමද?

භයානක ප්‍රදේශයක් හරහා ගමන් කරද්දී ඒ ප්‍රදේශය ගැන හොඳින් දන්න කෙනෙක් මඟ පෙන්වන්න සිටිනවා නම් අපිට ආරක්ෂාකාරීව ගමන් කළ හැකියි. මෙවැනි ගමනක් තනියම යනවාට වඩා එවැනි කෙනෙක් සමඟ යෑම ඥානවන්තයි. සමහර පැතිවලින් බලද්දී අපි සිටින්නේ මේ හා සමාන තත්වයකයි. අද අපි ජීවත් වන්නේ දුෂ්ටකම් පිරුණු ලෝකයකයි. මෙය හරියට භයානක ප්‍රදේශයක් හරහා යන ගමනක් වගෙයි. මෙහිදී අපට මඟ පෙන්වන්න යෙහෝවා කැමැත්තෙන් සිටිනවා. අපේ හිතුමතේට ගමන් කරනවා වෙනුවට යෙහෝවාගේ මඟ පෙන්වීම්වලට අනුව ගමන් කිරීම ඥානවන්ත වන්නේ නැද්ද! අපිට දෙවි සමඟ ගමන් කරන්න පුළුවන් කොහොමද? අපිට මෙය කළ හැක්කේ දෙවි ඔහුගේ වචනය මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වීමෙනුයි.

2. මෙම ලිපියේදී අපි සලකා බලන්නේ කුමක්ද?

2 කලින් සාකච්ඡා කළ ලිපියේ අපි සලකා බැලූ කතාව පදනම් වූයේ හොෂෙයා 1 සිට 5 දක්වා පරිච්ඡේදවල සඳහන් තොරතුරු මතයි. අපි සලකා බැලූ පරිදි දෙවි සමඟ ගමන් කිරීමට අපට උපකාරවත් වන පාඩම් එම කතාවේ අඩංගු වෙනවා. මේ ලිපියේදී අපි සලකා බලන්නේ හොෂෙයා 6 සිට 9 දක්වා පරිච්ඡේදවල විශේෂාංගයි. මුලින්ම මේ පරිච්ඡේද හතරේ සමස්ත අදහස කුමක්ද කියා සලකා බලමු.

සමස්ත අදහස කෙටියෙන්

3. හොෂෙයා 6 සිට 9 දක්වා සඳහන් දෙය කෙටියෙන් විස්තර කරන්න.

3 යෙහෝවා අනාවැකි පැවසීමට හොෂෙයාව මූලිකවම යැව්වේ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයටයි. එෆ්‍රායිම් ගෝත්‍රය එම රාජ්‍යයේ ප්‍රබල ගෝත්‍රය වූ නිසා දස ගෝත්‍ර රාජ්‍යය එෆ්‍රායිම් කියාද හඳුන්වනවා. මේ රාජ්‍යයේ වැසියන් දෙවිව ප්‍රතික්ෂේප කළා. හොෂෙයා 6 සිට 9 දක්වා පරිච්ඡේදවල පෙන්වා දෙන්නේ ඒ වැසියන් යෙහෝවා දෙවිගේ ගිවිසුම කඩ කරමින් දුෂ්ට, නපුරු ක්‍රියාවල නිරත වීම ගැනයි. (හොෂෙයා 6:7) ඔවුන් උපකාරය පතා යෙහෝවා දෙවි වෙතට හැරෙනවා වෙනුවට ඔවුන් හැරුණේ වෙනත් ජාතීන් වෙතටයි. ඔවුන් විශ්වාසය තැබුවේ ඒ ජාතීන් කෙරෙහියි. ඔවුන් අයහපත වැපුරූ නිසා ඔවුන්ට නෙළාගැනීමට සිදු වුණේ අයහපතයි. දෙවිගේ විනිශ්චයෙන් ගැලවීමට ඔවුන්ට නොහැකි වුණා. කෙසේවෙතත් හොෂෙයාගේ අනාවැකියේ සිතට සැනසීමක් ගෙන දෙන පණිවිඩයක්ද ඇතුළත් වුණා. ජනයා අවංකවම පසුතැවිලි වී සිටින බව ක්‍රියාවලින් පෙන්වනවා නම් ඔවුන්ට නැවත යෙහෝවා දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීමටත් ඔහුගේ දයාව ලබන්ටත් හැකි බව එම අනාවැකියේ සඳහන් වුණා.

4. හොෂෙයාගේ අනාවැකියෙන් අපි සලකා බලන පාඩම් හතර මොනවාද?

4 හොෂෙයාගේ අනාවැකියේ මේ පරිච්ඡේද හතර සලකා බැලීමෙන් දෙවි සමඟ ගමන් කිරීමට අපට උපකාරවත් වන තවත් මඟ පෙන්වීම් ලබාගන්න පුළුවන්. මෙහිදී අපි පාඩම් හතරක් සලකා බලනවා. (1) අවංක පසුතැවිල්ල පෙන්වන්නේ වචනවලින් නොව ක්‍රියාවලින්. (2) පූජාවලින් පමණක් දෙවිව සතුටු කළ නොහැකියි. (3) යෙහෝවාගේ නමස්කාරකයන් ඔහුව අත්හරින විට ඔහු දුක් වෙනවා. (4) යහපත නෙළාගැනීමට නම් අපි යහපත වැපිරිය යුතුයි.

අවංක පසුතැවිල්ල පෙන්වීම

5. හොෂෙයා 6වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා පදවල මූලික අදහස කුමක්ද?

5 හොෂෙයාගේ අනාවැකියෙන් පසුතැවිල්ල හා දෙවිගේ දයාව ගැන අපට බොහෝ දේ ඉගෙනගත හැකියි. හොෂෙයා 6වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා පදවල මෙසේ කියවීමට තිබෙනවා. “එන්න, යෙහෝවා වෙතට හැරෙමු; මක්නිසාද ඔහු අප ඉරුවේය; අප සුව කරන්නේය; අපට පහර දුන්නේය; අපේ තුවාල බඳින්නේය; දෙදවසකට පසු ඔහු අප නැවත ප්‍රාණවත් කරන්නේය; තුන්වෙනිදා අප නැඟිටුවන්නේය; අපි ඔහු ඉදිරියේ ජීවත් වන්නෙමු; අපි ඇඳිනගනිමු; යෙහෝවාව ඇඳිනගන්ට වීර්යය කරමු; ඔහුගේ උදාවීම පහන් වීම මෙන් ඒකාන්තමය; ඔහු වැස්ස මෙන්ද පොළොව තෙමන අන්තිම වැස්ස මෙන්ද අප වෙතට එන්නේය.”

6-8. ඊශ්‍රායෙලිතයන් පසුතැවිලි වුණේ අවංකව නොවෙයි කියා පැවසීමට තිබෙන හේතු මොනවාද?

6 ඉහත සඳහන් වදන් පැවසුවේ කවුද? සමහරුන් පවසන පරිදි මෙම වදන් පැවසුවේ දෙවිව අත්හැර ගිය ඊශ්‍රායෙල්වරුන් විසිනුයි. එමෙන්ම ඔවුන් පවසන ආකාරයට දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල් ජනයා බොරු පසුතැවිල්ලක් මවාපාමින් දෙවිගේ කරුණාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න තැත් කළා. කෙසේවෙතත් තවත් සමහරුන් පවසන්නේ යෙහෝවා වෙතට ආපසු එන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට අයැදිමින් අනාගතවක්තෘ හොෂෙයා එම වදන් පැවසූ බවයි. එම වදන් කවුරුන් පැවසුවත් සලකා බැලිය යුතු වැදගත්ම ප්‍රශ්නය මෙයයි. සමස්තයක් හැටියට ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන් අවංකවම පසුතැවිලි වෙමින් යෙහෝවා වෙතට ආපසු පැමිණියාද යන්නයි. යෙහෝවා හොෂෙයා මාර්ගයෙන් ඔවුන්ට මෙසේ පැවසුවා. “අහෝ එෆ්‍රායිම්, මා ඔබට කුමක් කරන්නෙම්ද? අහෝ යූදා, ඔබට කුමක් කරන්නෙම්ද? ඔබේ යහපත්කම [විශ්වාසවන්තකම] උදය වලාකුළක් මෙන්ද වේලාසන පහව යන පිනි මෙන්ද වේ.” (හොෂෙයා 6:4) ඊශ්‍රායෙල් සෙනඟට දෙවි කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් නොතිබුණු බව එම වචනවලින් පැහැදිලි වෙනවා. ඔවුන්ට යෙහෝවා කෙරෙහි තිබුණු ප්‍රේමය හා විශ්වාසවන්තකම හරියට හිරු උදා වෙනවාත් සමඟ විගස පහ වී යන පිනි වගෙයි. සෙනඟ පසුතැවිලි වෙන බව මවා පෑ නිසා ඔවුන්ට දයාව පෙන්වීමට යෙහෝවාට කිසිම පදනමක් තිබුණේ නැහැ. ඇත්තටම ඊශ්‍රායෙල්වරුන්ට තිබුණු ගැටලුව කුමක්ද?

7 ඊශ්‍රායෙල්වරුන් පසුතැවිලි වුණේ අවංකව නොවෙයි. මේ නිසා යෙහෝවා ඔහුගේ සෙනඟ කෙරෙහි අප්‍රසාදය පළ කළ ආකාරය හොෂෙයා 7:14හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “ඔවුහු තමන්ගේ සිතින් මට අඬ නොගැසුවෝය; එහෙත් තමන්ගේ යහන්වල මොරගසති.” හොෂෙ 7 දහසයවෙනි පදයේ තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු හැරී එති; එහෙත් උසස්ථානයෙහි තැනැත්තා වෙත නොවේ.” යෙහෝවා සමඟ නැවතත් හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කර ඔහුගේ උසස් නමස්කාරය වෙතට ආපසු පැමිණීමට ඔවුන් කැමති වුණේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ට දෙවි සමඟ ගමන් කිරීමට කිසිම වුවමනාවක් නොතිබූ බවයි.

8 ඊශ්‍රායෙලිතයන් පසුතැවිලි වූයේ අවංකව නොවෙයි කියා පැවසීමට තවත් හේතුවක් තිබෙනවා. ඊශ්‍රායෙලිතයන් බොහෝ වැරදිවල නියැලුණා. මේ වැරදිවලට වංචාව, මිනී මැරීම, සොරකම් කිරීම, පිළිම වන්දනාව සහ වෙනත් ජාතීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම වැනි දේවල් ඇතුළත් වුණා. හොෂෙයා 7:4හි ජනයාව ‘උදුනකට’ සමාන කර තිබෙනවා. ඔවුන්ව මෙසේ සමාන කර තිබෙන්නේ ඔවුන් තුළ වැරදි ආශාවන් දැවෙමින් තිබුණු නිසයි. දෙවි කෙරෙහි වූ ඔවුන්ගේ ඇදහිල්ල මෙතරම් දුර්වල තත්වයක තියෙද්දී ඔවුන් ඇත්තෙන්ම දයාව ලබන්න වටිනවා කියා කියන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. ‘ඔවුන්ගේ අයුතුකම් සිහි කර ඔවුන්ගේ පාපවලට විපාක දෙන’ බව හොෂෙයා යෙහෝවාට විරුද්ධව ක්‍රියා කළ සෙනඟට පැවසුවා. (හොෂෙයා 9:9) ඔවුන්ට දෙවිගෙන් කිසිම දයාවක් බලාපොරොත්තු වෙන්න බැහැ.

9. හොෂෙයා පැවසූ වචන සලකා බලද්දී පසුතැවිලි වීම හා දෙවිගේ දයාව ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 හොෂෙයා ඊශ්‍රායෙල්වරුන්ට පැවසූ වචන සලකා බලද්දී පසුතැවිලි වීම හා දෙවිගේ දයාව ගැන අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙවිව අත්හැරිය ඊශ්‍රායෙල්වරුන්ගෙන් අපට ඉගෙනගත හැකි පාඩම වන්නේ යෙහෝවාගේ දයාව ලබන්න නම් අපි අවංකව පසුතැවිලි විය යුතු බවයි. එවැනි පසුතැවිල්ලක් පෙන්විය හැක්කේ කොහොමද? කඳුළුවලින් හෝ වචනවලින් යෙහෝවාව රවටන්න බැහැ. අවංක පසුතැවිල්ල ක්‍රියාවලින් පෙන්විය යුතුයි. දෙවිගේ දයාව ලබන්න නම් වැරදි කරන්නා ඔහුගේ පාපතර ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් අත්හැර යෙහෝවාගේ නමස්කාරය හා බැඳි උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් විය යුතුයි.

පූජාවලින් පමණක් යෙහෝවාව සතුටු කළ නොහැකියි

10, 11. පූජාවලින් පමණක් යෙහෝවාව ප්‍රසන්න කළ නොහැකි බව ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ කෙසේද?

10 යෙහෝවා සමඟ ගමන් කිරීමට අපට උපකාරවත් වන දෙවන පාඩම අපි දැන් සලකා බලමු. මෙම පාඩම වන්නේ පූජාවලින් පමණක් දෙවිව සතුටු කළ නොහැකි බවයි. හොෂෙයා 6:6හි මෙසේ පවසා තිබෙනවා. “මම [යෙහෝවා] යාගයට නොව කරුණාවටත් [විශ්වාසවන්තකමටත්] දවන යාගවලට වඩා දෙවි ඇඳිනගැන්මටත් ආශා ඇත්තෙමි.” යෙහෝවා සතුටු වන්නේ ඔහුගේ සේවකයන් ඔහුට විශ්වාසවන්තව සිටිමින් ඔහු පිළිබඳ දැනුමට එකඟව ක්‍රියා කරනවා දකින්නයි. නමුත් ඔබ මෙහෙම කල්පනා කරනවා විය හැකියි. ‘මෙම පදයේ යෙහෝවා “යාගවලට” ප්‍රසන්න නොවන බව පවසා තිබෙන්නේ ඇයි? මෝසෙස්ගේ නීතිය යටතේ එවැනි යාග ඔප්පු කළ යුතුව තිබුණා නොවේද?’

11 මෝසෙස්ගේ නීතියට අනුව යාග ඔප්පු කිරීම අවශ්‍ය වුණත් හොෂෙයාගේ කාලයේ ජීවත් වූ සමහරුන් ඒවා ඔප්පු කළේ යුතුකමක් හැටියටයි. එමෙන්ම අනිත් අය ඉදිරියේ තමන්ගේ භක්තිය පෙන්වන්නයි. ඔවුන් පූජා ඔප්පු කළත් නොයෙක් වැරදි දේවල් දිගටම කළා. ඔවුන්ගේ මේ වැරදිවලින් පෙනී ගියේ ඔවුන් දෙවිට විශ්වාසවන්ත නොවූ බවයි. දෙවි පිළිබඳ දැනුමට අනුව ඔවුන් ජීවත් නොවීමෙන් පැහැදිලි වුණේ එම දැනුම ඔවුන් එපා කළ බවයි. ඔවුන් පූජා ඔප්පු කළේ යහපත් චේතනාවෙන් නොවෙයි. එමෙන්ම ඔවුන් ජීවත් වුණේ දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව නොවෙයි. එසේනම් ඔවුන්ගේ පූජාවලින් පලක් තිබුණාද? යෙහෝවා දෙවි ඔවුන්ගේ පූජා හෙළාදැක්කා.

12. මේ කාලයේ ජීවත් වන අයට හොෂෙයා 6:6හි දෙන අනතුරු ඇඟවීම කුමක්ද?

12 අද පල්ලි යන බොහෝදෙනෙකුට හොෂෙයාගේ වදන් අනතුරක් ඇඟවීමක් වෙනවා. ඔවුන් පූජා ඔප්පු කරන්නේ ආගමික වතාවක් හැටියට පමණයි. මෙම ආගමික වතාවන් ඔවුන්ගේ ජීවිත කෙරෙහි එතරම් බලපෑමක් ඇති කර නැහැ. දෙවි පිළිබඳ නිවැරදි දැනුම ලබාගෙන, එම දැනුම අදාළ කරගනිමින් ඔවුන්ගේ පව්කාර ක්‍රියාවන් ඔවුන් අත්හැර දමන්නේ නැත්නම් එවැනි අය ඇත්තටම දෙවිව සතුටු කරනවා කියා පවසන්න පුළුවන්ද? නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නිරත වීමෙන් පමණක් දෙවිව සතුටු කරන්න පුළුවන් කියා කිසි කෙනෙක් නොසිතිය යුතුයි. දෙවිගේ වචනයේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් නොවී, නිකම්ම නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නිරත වීමෙන් දෙවිගේ අනුමැතිය ලබන්න උත්සාහ කරන අය ගැන යෙහෝවා සතුටු වන්නේ නැහැ.—2 තිමෝති 3:5.

13. අපි ඔප්පු කරන්නේ මොන වගේ පූජාද? නමුත් අපි මතක තබාගත යුත්තේ කුමක්ද?

13 පූජාවලින් පමණක් දෙවිව සතුටු කළ නොහැකි බව සැබෑ ක්‍රිස්තියානීන් හැටියට අප මතක තබාගත යුතුයි. ඇත්තයි, අද අපි යෙහෝවා දෙවිට සතුන්ව පූජා කරන්නේ නැහැ. ඒ වුණත් අපි “දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු [කරනවා].” (හෙබ්‍රෙව් 13:15) හොෂෙයාගේ කාලයේ ජීවත් වූ පව්කාර ඊශ්‍රායෙල්වරුන් සිතුවේ පූජා ඔප්පු කිරීමෙන් ඔවුන්ගේ වැරදිවලට සමාව ලබාගන්න පුළුවන් වෙයි කියායි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන අපි එසේ නොසිතිය යුතුයි. රහසින් ලිංගික දුරාචාරයේ හවුල් වූ එක් යෞවනියක් ක්‍රියා කළ ආකාරය ගැන සලකා බලන්න. පසුව ඇය මෙසේ පිළිගත්තා. “මගේ පාපයට සමාව ලබාගන්න පුළුවන් වෙයි කියල හිතලා මම වැඩියෙන් දේශනා සේවයේ හවුල් වුණා.” එදා අකීකරු ඊශ්‍රායෙල්වරුන් කළෙත් මේ දෙයමයි. අපි යෙහෝවා දෙවිට ඔප්පු කරන ප්‍රශංසාවේ පූජා ඔහු පිළිගන්නේ අපි හරි චේතනාවෙන් යුතුව ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙනවා නම් පමණයි.

යෙහෝවාගේ නමස්කාරකයන් ඔහුව අත්හරින විට ඔහු දුක් වෙනවා

14. දෙවිට ඔහුගේ නමස්කාරකයන් ගැන හැඟෙන ආකාරය පිළිබඳව හොෂෙයාගේ අනාවැකියෙන් හෙළි වන්නේ කුමක්ද?

14 හොෂෙයා 6 සිට 9 දක්වා පරිච්ඡේදවලින් අපි ඉගෙනගන්න තුන්වන පාඩම වන්නේ යෙහෝවාගේ නමස්කාරකයන් ඔහුව අත්හරින විට ඔහු දුක් වෙනවා කියන කාරණයයි. දෙවි මෘදු ලෙස වගේම දැඩි ලෙසත් කටයුතු කරනවා. තමන්ගේ වැරදි ගැන පසුතැවිලි වන අය ගැන ඔහුට දැනෙන්නේ මෘදු හැඟීමක්. ඔවුන් ගැන ඔහුට ප්‍රීතියක් දැනෙන අතර ඔහු ඔවුන්ට අනුකම්පාද කරනවා. ඒත් ඔහුගේ සෙනඟ ඔවුන්ගේ වැරදි ගැන පසුතැවිලි නොවන විට ඔහු ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නවා. දෙවි අපේ යහපත ගැන හුඟාක් සැලකිලිමත් වන නිසා අපි ඔහු සමඟ විශ්වාසවන්තව ගමන් කරන විට ඔහු ඒ ගැන ප්‍රීති වෙනවා. “යෙහෝවා ස්වකීය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන්නේය” කියා ගීතාවලිය 149:4හි සඳහන් වෙනවා. ඒත් ඔහුගේ සේවකයන් ඔහුට විශ්වාසවන්තව කටයුතු නොකරන විට ඔහුට හැඟෙන්නේ කොහොමද?

15. හොෂෙයා 6:7හි සඳහන් වන ආකාරයට සමහර ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළේ කොහොමද?

15 යෙහෝවාට විශ්වාසවන්තව කටයුතු නොකළ ඊශ්‍රායෙල්වරුන් ගැන ඔහු මෙසේ පවසනවා. “ඔවුහු ආදම් මෙන් ගිවිසුම කඩ කළෝය; මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය.” (හොෂෙයා 6:7) ‘ද්‍රෝහිකම් කළා’ කියන වචනය සඳහා යොදා තිබෙන හෙබ්‍රෙව් වචනයේ අවිශ්වාසවන්ත වීම හා රැවටීම යන අදහස තිබෙනවා. මලාකිගේ කාලයේ සිටි ඊශ්‍රායෙල්වරුන් තමන්ගේ විවාහ කලත්‍රයාට විශ්වාසවන්තව නොසිටීම ගැන මලාකි 2:10-16 දක්වා සඳහන් විස්තරයේදී එම හෙබ්‍රෙව් වචනයම යොදාගෙන තිබෙනවා. හොෂෙයා 6:7හි සඳහන් එම වචනය විවාහය සම්බන්ධයෙන්ද භාවිත කර තිබෙන බව එක් පොතක සඳහන් වෙනවා. විවාහයේදී එක් තැනැත්තෙක් අනිත් තැනැත්තාට අවිශ්වාසවන්ත වීමෙන් අහිංසක තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සිත තදින් පෑරෙනවා. ඒ හා සමානව ඊශ්‍රායෙල්වරුන් දෙවිට පිටුපාමින් අවිශ්වාසවන්තව ක්‍රියා කළ නිසා දෙවිගේ සිත හුඟාක් පෑරුණු බව අපට කිව හැකියි.

16, 17. (අ) දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ ඇති කරගත් ගිවිසුම ඔවුන් සැලකුවේ කොහොමද? (ආ) අපි කරන දේවල් ගැන අපි මතක තබාගත යුත්තේ කුමක්ද?

16 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් සමඟ විවාහය හා සමාන ගිවිසුමක් ඇති කරගත් නිසා ඔහු ඔවුන්ව සැලකුවේ භාර්යාවක් වගෙයි. ඔවුන් ඒ ගිවිසුමේ නීති කඩ කළා. මෙය හරියට භාර්යාවක් වේශ්‍යාකම් කර ස්වාමිපුරුෂයාට අවිශ්වාසවන්ත වුණා වගෙයි. දෙවි විශ්වාසවන්ත ස්වාමිපුරුෂයෙක් හා සමානව ක්‍රියා කළත් භාර්යාවක් බඳු ඔහුගේ සෙනඟ ඔහුව අත්හැරියා.

17 අපි ගැන කුමක් කිව හැකිද? දෙවි අපි ගැන සැලකිලිමත් වන නිසා අපි ඔහු සමඟ ගමන් කරනවාද නැද්ද කියා ඔහු නිතර සොයා බලනවා. “දෙවි ප්‍රේමයය” බව අපි මතක තබාගනිමු. මේ නිසා අපි කරන දේවල් ඔහුට බලපානවා. (1 යොහන් 4:16) අපි වැරදි මාර්ගයක ගමන් කරනවා නම් අපි යෙහෝවාව දුකට පත් කරනවා. මෙය මතක තබාගැනීම, වැරදි ආශාවන්ට යට නොවී සිටීමට මහත් උපකාරයක් වෙනවා.

අපට යහපත නෙළාගත හැකි ආකාරය

18, 19. හොෂෙයා 8:7හි සඳහන් ප්‍රතිපත්තිය කුමක්ද? ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තිය සැබෑ වුණේ කොහොමද?

18 හොෂෙයාගේ අනාවැකියෙන් අපට ඉගෙනගත හැකි හතරවෙනි පාඩම නම් අපට යහපත නෙළාගත හැක්කේ කෙසේද යන්නයි. ඊශ්‍රායෙල්වරුන් මෝඩ ලෙස දෙවිව අත්හැර ක්‍රියා කිරීම නිසා විඳින්න සිදු වූ දෙය ගැන හොෂෙයා මෙසේ සඳහන් කරනවා. ‘ඔවුහු හුළඟ වපුරා සුළි සුළඟ කපාගන්නෝය.’ (හොෂෙයා 8:7) අපි මතක තබාගත යුතු ප්‍රතිපත්තියක් මේ වචනවල සඳහන් වෙනවා. එනම් අපි දැන් කරන දෙය අනාගතයේදී අපි අද්දකින දෙයට කෙළින්ම බලපාන බවයි. දෙවිව අත්හැරිය ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තිය සැබෑවක් වුණේ කොහොමද?

19 ඊශ්‍රායෙල්වරුන් පාපතර ක්‍රියාවල නියැලීමෙන් ඔවුන් කළේ අයහපත වැපිරීමයි. අයහපත් ප්‍රතිවිපාක නෙළාගන්නේ නැතිව ඔවුන්ට දිගටම වැරදි මාර්ගවල ගමන් කරන්න පුළුවන් වුණාද? ඔවුන් අනිවාර්යයෙන්ම දෙවිගේ විනිශ්චයට ලක් විය යුතු වුණා. හොෂෙයා 8:13හි මෙසේ සඳහන් වෙනවා. “ඔහු [යෙහෝවා] ඔවුන්ගේ අයුතුකම් සිහි කරන්නේය. ඔවුන්ගේ පාපවලට විපාක දෙන්නේය.” ඒ වගේම හොෂෙයා 9:17හි මෙසේ පවසා තිබෙනවා. “ඔවුන් මාගේ දෙවිට කන් නුදුන් නිසා ඔහු ඔවුන් පහ කර දමන්නේය; ඔවුහු අන්‍යජාතීන් අතරෙහි මුළා වූ අය වන්නෝය.” තමන්ගේ වැරදිවලට යෙහෝවාට ගණන් දෙන්න ඊශ්‍රායෙල්වරුන්ට සිදු වුණා. ඔවුන් වැපිරුවේ අයහපත් දේ නිසා ඔවුන්ට නෙළාගන්න සිදු වුණෙත් අයහපතයි. ක්‍රිස්තු පූර්ව 740දී ඇසිරියානුවන් විසින් ඊශ්‍රායෙල් දස ගෝත්‍ර රාජ්‍යය විනාශ කර දමා එහි වැසියන්ව වහල්භාවයට ගෙන යෑමට ඉඩහැරීමෙන් යෙහෝවා ඔවුන්ට විරුද්ධව විනිශ්චය ක්‍රියාත්මක කළා.

20. ඊශ්‍රායෙල්වරුන් අද්දුටු දෙයින් අපට ඉගෙනගත හැකි පාඩම කුමක්ද?

20 අපි නෙළාගන්නේ අපි වපුරන දේ යන මූලික ප්‍රතිපත්තිය ඊශ්‍රායෙල්වරුන් අද්දුටු දෙයින් අපිට ඉගෙනගත හැකියි. දෙවිගේ වචනයේ අපට මෙසේ අනතුරු අඟවා තිබෙනවා. “මුළා නොවන්න. දෙවිට සරදම් කරන්න නම් කාටවත් බැරිය. මන්ද, යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය.” (ගලාති 6:7) අපි අයහපත වැපුරුවොත් අපට නෙළාගැනීමට සිදු වන්නේද අයහපතයි. උදාහරණයක් ලෙස යම් කෙනෙක් දුරාචාරයේ යෙදෙනවා නම් ඔහුට දුක්ඛිත ප්‍රතිඵල නෙළාගැනීමට සිදු වෙනවා. පසුතැවිලි නොවී දිගටම වැරදි කරන අයට දුක අත් වනවා නිසැකයි.

21. යහපත නෙළාගන්න අපට හැක්කේ කෙසේද?

21 එසේනම් යහපත නෙළාගැනීමට අපට හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්නයට පිළිතුර සරල උදාහරණයකින් සලකා බලමු. ගොවියෙකුට වී අස්වැන්නක් ලබාගන්න වුවමනා නම් ඔහු තිරිඟු වපුරයිද? ඇත්තෙන්ම නැහැ. ඔහු වැපිරිය යුත්තේ ඔහුට නෙළාගැනීමට වුවමනා දෙයයි. ඒ හා සමානව යහපත නෙළාගැනීමට අපිට වුවමනා නම් අප වැපිරිය යුත්තේ යහපතයි. දෙවිගේ නව ලොවේ සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව දැන් තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් දිගටම යහපත නෙළාගන්න ඔබ කැමතිද? එසේ නම් දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙමින් ඔහු සමඟ ගමන් කිරීමෙන් යහපත වපුරන්න.

22. අපි හොෂෙයා 6 සිට 9 දක්වා පරිච්ඡේදවල ඉගෙනගත් පාඩම් මොනවාද?

22 හොෂෙයා 6 සිට 9 දක්වා පරිච්ඡේදවලින් අප පාඩම් හතරක් ඉගෙනගත්තා. (1) අවංක පසුතැවිල්ල පෙන්වන්නේ වචනවලින් නොව ක්‍රියාවලින්. (2) පූජාවලින් පමණක් දෙවිව සතුටු කළ නොහැකියි. (3) යෙහෝවාගේ නමස්කාරකයන් ඔහුව අත්හරින විට ඔහු දුක් වෙනවා. (4) අපි යහපත නෙළාගැනීමට නම් යහපත වැපිරිය යුතුයි. මේ පාඩම් හතර අපට උපකාරවත් වෙනවා දෙවි සමඟ ගමන් කරන්න. හොෂෙයා පොතේ අවසාන පරිච්ඡේද පහ අපට දෙවි සමඟ ගමන් කිරීමට උපකාරවත් වන්නේ කොහොමද කියා ඊළඟ ලිපියේදී සලකා බලමු.

ඔබට මතකද?

• අවංක පසුතැවිල්ල දැකිය හැක්කේ කොහොමද?

• පූජාවලින් පමණක් අපේ ස්වර්ගික පියාව සතුටු කළ නොහැක්කේ මන්ද?

• දෙවිගේ නමස්කාරකයන් ඔහුව අත්හරිද්දී ඔහුට හැඟෙන්නේ කොහොමද?

• අප යහපත නෙළාගන්න නම් වැපිරිය යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන් දෙවි කෙරෙහි තිබූ ඇදහිල්ල උදයේ පිනි මෙන් පහ වී ගියා

[23වන පිටුවේ පින්තූරය]

ඊශ්‍රායෙල්වරුන් තුළ වැරදි ආශාවන් උදුනක් මෙන් දැවෙමින් තිබුණා

[24වන පිටුවේ පින්තූරය]

තම සෙනඟ ඔප්පු කළ පූජා යෙහෝවා දෙවි ප්‍රතික්ෂේප කළේ ඇයි?

[25වන පිටුවේ පින්තූරය]

යහපත නෙළාගැනීමට නම් යහපත වැපිරිය යුතුයි