Skip to content

පටුනට යන්න

යක්ෂයා කියා කෙනෙක් සිටින බව ඔබ විශ්වාස කරනවාද?

යක්ෂයා කියා කෙනෙක් සිටින බව ඔබ විශ්වාස කරනවාද?

යක්ෂයා කියා කෙනෙක් සිටින බව ඔබ විශ්වාස කරනවාද?

බයිබලයේ පෙන්වා දෙන ආකාරයට යක්ෂයා කියන්නේ පුද්ගලයෙක්. ඒත් මොහුව අපිට පෙනෙන්නේ නැහැ. හරියට දෙවිව මිනිසුන්ට පෙනෙන්නේ නැහැ වගේ. (යොහන් 4:24) කෙසේවෙතත් මැවුම්කරු වගේ නොවෙයි යක්ෂයාට ආරම්භයක් තිබෙනවා.

යෙහෝවා දෙවි මිනිසුන්ව මවන්න බොහෝ කාලයකට කලින් දේවදූතයන්ව මැව්වා. (යෝබ් 38:4, 6; හෙබ්‍රෙව් 1:13, 14) දෙවි ඔවුන් සියලුදෙනාවම මැව්වේ පරිපූර්ණවයි. ඔවුන්ගෙන් කිසිම කෙනෙක් තුළ කිසිම අඩුවක් හෝ නපුරු ගතිලක්ෂණයක් තිබුණේ නැහැ. එසේනම් යක්ෂයා කියා කෙනෙක් බිහි වුණේ කොහොමද? බයිබලය ලියා තිබෙන මුල් භාෂාවට අනුව “යක්ෂයා” කියන වචනයේ තේරුම වන්නේ “අපහාස කරන්නා” යන්නයි. අනිත් අය ගැන ද්වේෂසහගත ලෙස බොරු කියන කෙනෙකුව හැඳින්වීමට එම වචනය යොදාගනු ලබනවා. “සාතන්” කියා පරිවර්තනය කර තිබෙන මුල්ම වචනයේ තේරුම වන්නේ “විරුද්ධකාරයා” යන්නයි. කාලයක් අවංකව ජීවත් වූ කෙනෙක් පසු කාලයකදී සොරකම් කිරීම නිසා සොරෙක් බවට පත් වෙනවා වගේ දේවදූතයන්ගෙන් කෙනෙක්ද ඔහු තුළ ඇති වූ වැරදි ආශාවක් ඉටු කරගැනීමට යෑමෙන් යක්ෂයෙක් බවට පත් වුණා. ඒ දේවදූතයා යක්ෂයෙක් බවට පත් වුණේ ඔහු විසින්ම ඔහුව නොමඟ යවාගත් නිසයි. යමෙක් එවැනි තත්වයකට පත් වන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “එකිනෙකා තම තමාගේ ආශාවෙන් අදිනු ලැබ නොමඟට පොලඹවනු ලබන කල පරීක්ෂා කරනු ලබන්නේය. එවිට ආශාව පිළිසිඳගත් කල, පාපය බිහි කරයි. ඉන්පසු පාපය සම්පූර්ණ වූ කල, මරණය උපදවයි.”—යාකොබ් 1:14, 15.

යක්ෂයා බවට පත් වූ දේවදූතයාටද සිදු වුණෙත් ඒ හා සමාන දෙයක්. යෙහෝවා දෙවි මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවව මැවූ අවස්ථාවේදී ඒ දේවදූතයා හොඳින් බලාගෙන සිටියා. ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පොළොව පූර්ණ කරන්න කියා යෙහෝවා දෙවි ආදම් සහ ඒවට ආඥා කර තිබූ බව ඔහු දැන සිටියා. ඒ වගේම ඔවුන් මැවුම්කරුට නමස්කාර කරනු ඇති බවත් ඔහු දැන සිටියා. (උත්පත්ති 1:28) මිනිසුන්ගේ ගෞරවය හා නමස්කාරය තමන්ට ලබාගැනීමට අවස්ථාවක් තිබෙන බව ඒ දේවදූතයාට පෙනී ගියා. මැවුම්කරුට පමණක් හිමි විය යුතු මිනිසුන්ගේ නමස්කාරය ඔහුට ලබාගැනීමට ඒ දේවදූතයා තුළ දැවෙන ආශාවක් ඇති වුණා. එම වැරදි ආශාව නැති කරගන්නවා වෙනුවට ඔහු කළේ එය තමන්ගේ සිතේ වැඩෙන්න ඉඩහැරීමයි. ඒ වැරදි ආශාවෙන් පෙලඹුණු ඒ දේවදූතයා මැවුම්කරු ගැන බොරු කියමින් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න පටන්ගත්තා. ඔහු කළ දෙය දැන් අපි ටිකක් සලකා බලමු.

දෙවිට විරුද්ධව කැරලි ගැසූ ඒ දේවදූතයා මුල් ස්ත්‍රිය වූ ඒවට කතා කරන්න සර්පයෙකුව යොදාගත්තා. “උයනෙහි කොයි ගසකින්වත් නොකන්නයයි දෙවි කී බව සැබෑද?” කියා ඇගෙන් ඇසුවා. දෙවි තමන්ට දී තිබෙන ආඥාව ගැනත් එයට අකීකරු වුණොත් ලැබෙන දඬුවම ගැනත් ඒව පැවසූ පසු යක්ෂයා සර්පයා මාර්ගයෙන් ඇයට මෙසේ පැවසුවා. “ඔබ ඒකාන්තයෙන් නොනසින්නහුය; මක්නිසාද ඔබ එයින් [එනම් උයන මැද තිබෙන ගහේ ගෙඩි] කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” (උත්පත්ති 3:1-5) මෙහිදී දෙවි ආදම් සහ ඒවට ඇත්ත කියා නැති බවට යක්ෂයා චෝදනා කළා. ඒ ගහෙන් කෑවොත් ඒව දෙවිට සමාන වන බවත් යහපත හා නපුර තෝරාගැනීමේ ස්වාධීන අයිතිය ඇයට ලැබෙන බවත් යක්ෂයා පැවසුවා. ලෝකයේ ප්‍රථම බොරුව එයයි. දෙවිට විරුද්ධව පැවසූ මේ බොරුව නිසයි ඒ දේවදූතයා අපහාස කරන්නෙක් බවට පත් වුණේ. ඒ වගේම ඔහු දෙවිගේ විරුද්ධකාරයෙක් බවටද පත් වුණා. දෙවිගේ මේ සතුරාව බයිබලයේ හඳුන්වා දී තිබෙන්නේ “යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන . . . මුල් සර්පයා” ලෙසයි.—එළිදරව් 12:9.

“සෝදිසියෙන් සිටින්න”

යක්ෂයා හොඳින් සැලසුම් කර ඒවට පැවසූ බොරුව ඇය විශ්වාස කළා. මේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ස්ත්‍රිය වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද ඒ ගහ නුවණ ලැබීම පිණිස ආශා විය යුතු එකක් බවද දැක එහි ගෙඩි ගෙන කෑවාය. ඈ තමා සමඟ වූ ඇගේ පුරුෂයාටත් දුන්නාය. ඔහුද කෑවේය.” (උත්පත්ති 3:6) මෙසේ යක්ෂයා පැවසූ බොරුව විශ්වාස කළ ඒව දෙවිට අකීකරු වුණා. දෙවිගේ නීතිය කඩ කරන්න ආදම්වත් කැමති කරවාගන්න ඇයට හැකි වුණා. මෙලෙස මුල් මිනිස් යුවළව දෙවිට අකීකරු වීමට පොලඹවාගැනීමට සමත් වූ සාතන් එදා සිට මේ දක්වා නොපෙනෙන ලෙස මිනිසුන් කෙරෙහි මහත් බලපෑමක් කරමින් සිටිනවා. ඔහුගේ අරමුණ වන්නේ සැබෑ දෙවිට නමස්කාර කිරීමෙන් මිනිසුන්ව වළක්වා ඔවුන්ගේ නමස්කාරය ඔහුට ලබාගැනීමයි. (මතෙව් 4:8, 9) මේ නිසයි බයිබලයේ අපට මෙසේ අනතුරු අඟවා තිබෙන්නේ. “සිහිකල්පනාව ඇතිව සිටින්න. සෝදිසියෙන් සිටින්න. ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන්, කවරෙකුව හෝ ගිල දමන්න සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.”—1 පේතෘස් 5:8.

මොන තරම් පැහැදිලි ලෙස බයිබලයේ යක්ෂයා ගැන සත්‍යය හෙළි කර තිබෙනවාද! නරක චේතනා ඇතුව සිටින භයානක පුද්ගලයෙක් බවට පත් වූ දේවදූතයෙක් යක්ෂයා වූ බව බයිබලයේ පෙන්වා දෙනවා. යක්ෂයා ගැන සෝදිසියෙන් සිටීම සඳහා අපි කළ යුතු මුල්ම දෙය වන්නේ ඔහු ඇත්තටම පවතින පුද්ගලයෙක් බව තේරුම්ගැනීමයි. ඒත් සිහිකල්පනාව ඇතිව සෝදිසියෙන් සිටීම සඳහා ඊට වඩා වැඩි දෙයක් අවශ්‍යයි. ඒ සඳහා සාතන්ගේ “උපායවල්” හා මිනිසුන්ව නොමඟ යැවීමට ඔහු යොදාගන්න ක්‍රමත් හොඳින් දැන සිටිය යුතුයි. (2 කොරින්ති 2:11) මේ නිසා අපි දැන් මේ වැදගත් ප්‍රශ්න දෙක සලකා බලමු. ඔහුගේ උපායවල් මොනවාද? ඒවාට හසු නොවීමට අපට හැක්කේ කොහොමද?

සාතන් මිනිසාගේ සහජ අවශ්‍යතාවකින් අයුතු ප්‍රයෝජන ගනියි

මිනිසාව මැවූ දා සිට මේ දක්වා යක්ෂයා මිනිසුන්ව හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා. මිනිසුන්ගේ වුවමනාවන් හා ආශාවන් මෙන්ම ගතිලක්ෂණ ගැනත් ඔහු හොඳින් දන්නවා. මිනිසාව මවා තිබෙන්නේ නමස්කාර කිරීමේ අවශ්‍යතාව ඇතුව බව යක්ෂයා දන්නවා. මේ නිසා ඔහු දක්ෂ ලෙස මේ අවශ්‍යතාවෙන් අයුතු ප්‍රයෝජන ගෙන තිබෙනවා. ඒ කොහොමද? ආගම පිළිබඳව බොරු විශ්වාසයන් හා ඉගැන්වීම් මිනිසුන් අතර පතුරුවාහැරීමෙන් ඔහු එසේ කර තිබෙනවා. (යොහන් 8:44) දෙවි ගැන බොහෝ ආගම් උගන්වන දේවල් එකිනෙකට විරුද්ධයි. තේරුම්ගන්න අමාරුයි. දෙවි ගැන මෙවැනි ඉගැන්වීම් පැතිරෙනවා දකින්න කැමති වන්නේ කවුද කියා ඔබට සිතන්න පුළුවන්ද? ඒ යක්ෂයා මිස වෙන කිසිවෙක් නොවෙයි. එකිනෙකට විරුද්ධ ඉගැන්වීම් සත්‍යය විය නොහැකියි. මිනිසුන්ව නොමඟ යැවීමේ අරමුණින් බොහෝ ආගමික ඉගැන්වීම් ඇති කර තිබෙන්නේ යක්ෂයා නොවේද? බයිබලයේ ඔහු ගැන සඳහන් කරන්නේ මිනිසුන්ගේ සිත් අන්ධ කරන “මේ සමාජ ක්‍රමයේ දෙවි” ලෙසයි.—2 කොරින්ති 4:4.

ආගමික කාරණාවලදී මුළා නොවී සිටීමට හැකි වන්නේ දෙවි පිළිබඳ සත්‍යය දැන සිටීමෙනුයි. බයිබලයේ සඳහන් සත්‍යය ඉඟ පටියකට සමාන කර තිබෙනවා. පුරාණ කාලයේ සිටි සොල්දාදුවන් ඉඟටිය ප්‍රදේශය ආරක්ෂා කරගැනීම සඳහා ඉඟ පටියක් බැඳගත්තා. (එෆීස 6:14) මේ හා සමානව ඔබ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගෙන, ඊට එකඟව ජීවත් වෙනවා නම් ආගමික කාරණා පිළිබඳ බොරුවලින් ආරක්ෂා වීමට ඔබට හැකියි.

නමස්කාර කිරීම සඳහා මිනිසා තුළ පවතින සහජ අවශ්‍යතාව නිසා ඒ සම්බන්ධයෙන් තමන් නොදන්න දේවල් සොයා බැලීමට මිනිසුන් පෙලඹෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට මිනිසුන් සාතන්ගේ උපායන්වලට හසු වී සිටිනවා. අමුතුයි කියා පෙනෙන දේවල් සොයා බැලීමට කුතුහලයක් මිනිසුන් තුළ තිබෙනවා. මෙයින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන සාතන් භූතවාදය යොදාගනිමින් බොහෝදෙනෙකුව ඔහුගේ පාලනයට නතු කරගෙන සිටිනවා. භූතවාදය කියන්නේ මිනිසුන් කෙළින්ම හෝ වෙනත් අය මාර්ගයෙන් භූතයන් හා සම්බන්ධ වී කරන දේවලටයි. දඩයක්කාරයෙක් සතෙකුව අල්ලාගැනීමට ඒ සතා ප්‍රිය කරන ගොදුරක් යොදාගන්නවා වගේ සාතන්ද මිනිසුන්ව තමන්ගේ පාලනයට හසු කරගැනීම සඳහා මෝහනය කිරීම, මායා බන්ධන, ශාස්ත්‍ර කීම, නක්ෂත්‍රය හා ඇස් බැන්දුම් වැනි භූතවාදි ක්‍රියා යොදාගන්නවා.—ලෙවී කතාව 19:31; ගීතාවලිය 119:110.

භූතවාදය හා සම්බන්ධ ක්‍රියා යොදාගනිමින් සාතන් අටවන උගුල්වලට හසු නොවී සිටීමට ඔබට හැක්කේ කොහොමද? මේ සඳහා උපකාරවත් වන දෙයක් ගැන ද්විතීය කතාව 18:10-12හි මෙසේ සඳහන් වෙනවා. “තමන් පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවන කෙනෙකුවත් ශාස්ත්‍ර කියන්නෙකුවත් වෙලාව බලන්නෙකුවත් ඇස්බැන්දුම්කාරයෙකුවත් විජ්ජාකාරයෙකුවත් මතුරන්නෙකුවත් යකැදුරෙකුවත් මායාකාරයෙකුවත් මළවුන්ගෙන් විචාරන්නෙකුවත් ඔබ අතරෙහි නොවිය යුතුය; මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් යෙහෝවාට පිළිකුලක්ය; මේ පිළිකුල් නිසා ඔබේ දෙවි වූ යෙහෝවා ඔබ ඉදිරියෙන් ඔවුන් එළවන්නේය.”

බයිබලයේ අපට ඉතා පැහැදිලිව උපදෙස් දෙන්නේ භූතවාදය හා සම්බන්ධ කිසිම ක්‍රියාවකට කොහෙත්ම සම්බන්ධ නොවන්න කියායි. ඔබ යම් විදිහකින් භූතවාදය හා සම්බන්ධ ක්‍රියාවල හවුල් වෙමින් සිටිනවාද? ඒවායින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඔබට වුවමනා නම් මුල් සියවසේ එෆීස නගරයේ විසූ සැබෑ ක්‍රිස්තියානීන් කළ දෙය ඔබත් කරන්න. “යෙහෝවාගේ වචනය” පිළිගත් පසු, “මායා බන්ධනවල නියැලී සිටි අයගෙන් බොහෝදෙනෙක් ඔවුන්ගේ පොත් ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි ඒවා පුලුස්සා දැමුවෝය” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ පොත් හුඟාක් මිල අධිකයි. ඒවායේ වටිනාකම රිදී කාසි පනස්දහසක් වුණා. (ක්‍රියා 19:19, 20) ඒ වුණත් ඒවා සියල්ල විනාශ කර දමන්න එෆීසයේ සිටි සැබෑ ක්‍රිස්තියානීන් පසුබට වුණේ නැහැ.

සාතන් මිනිසාගේ දුර්වලකම්වලින් ප්‍රයෝජන ගනියි

දේවදූතයෙක් යක්ෂයෙක් බවට පත් වුණේ තමන්වම උසස් කරගැනීමට ඔහු තුළ ඇති වූ ආශාවට ඒ දේවදූතයා ඉඩහැරිය නිසයි. දෙවි හා සමාන විය හැකි බව ඒවට පැවසූ යක්ෂයා ඇය තුළත් උඩඟුකම ඇති කළා. අද දිනත් ඔහු මිනිසා තුළ තිබෙන උඩඟුකමින් ප්‍රයෝජන ගනිමින් බොහෝදෙනෙකුව ඔහුගේ පාලනයට හසු කරගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට තමන්ගේ රට ජාතිය අනිත් අයගේ රට ජාතියට වඩා උතුම් බව සමහරුන් සිතනවා. බයිබලයේ උගන්වන දෙයට මෙය මොන තරම් පටහැනිද! (ක්‍රියා 10:34, 35) බයිබලයේ පැහැදිලිව මෙසේ පවසා තිබෙනවා. “[දෙවි] එක මිනිසෙකුගෙන් මුළු මිනිස් වර්ගයාවම සෑදුවේය.”—ක්‍රියා 17:26.

මිනිසුන් තුළ උඩඟුකමක් ඇති කිරීමට සාතන් මහත් වෑයමක් දරනවා. මෙයට එරෙහිව සිටීමට කළ හැකි හොඳම දෙය වන්නේ යටහත් පහත්කම වර්ධනය කරගැනීමයි. ‘අපි ගැන පමණට වඩා ඉහළින් නොසිතන්න’ කියා බයිබලයේ අපට උපදෙස් දී තිබෙනවා. (රෝම 12:3) “දෙවි උඩඟු අයට විරුද්ධව සිට, යටහත් අයට මහත් කරුණාව දෙන්නේය” කියාද එහි සඳහන් වෙනවා. (යාකොබ් 4:6) සාතන්ගේ උපක්‍රමවලට හසු නොවී සිටීම සඳහා අපට කළ හැකි එක් දෙයක් වන්නේ යටහත් පහත්කම ඇතුළුව දෙවිගේ අනුමැතිය ලැබෙන තවත් යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට වෑයම් කිරීමයි.

කෙසේ හෝ තමන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමට පෙලඹීමක් ඇතිවීම මිනිසුන් තුළ තිබෙන දුර්වලකමක්. මෙයින් ප්‍රයෝජන ගැනීමට සාතන් නිතරම මාන බලනවා. යෙහෝවා දෙවි අරමුණු කළේ මිනිසුන් ප්‍රීතියෙන් ජීවිතය භුක්ති විඳිනවා දකින්නයි. දෙවිගේ කැමැත්තට එකඟව අපේ ආශාවන් ඉටු කරගන්න විට එහි ප්‍රතිඵලය සැබෑ ප්‍රීතියයි. ඒත් සාතන් තැත් කරන්නේ වැරදි ආකාරවලින් ආශාවන් ඉටු කරගැනීමට මිනිසුන්ව පෙලඹවීමටයි. (1 කොරින්ති 6:9, 10) මේ නිසා අප නිර්මල හා යහපත් ගුණයෙන් පිරි දේවල් කෙරෙහි මනස යොමු කිරීම ප්‍රයෝජනදායකයි. (ෆිලිප්පි 4:8) මෙසේ කිරීමට ඔබ වෑයම් කරනවා නම් ඔබේ සිතුවිලි පාලනය කරගැනීමට ඔබට හැකි වෙනවා.

යක්ෂයාට විරුද්ධ වන්න

යක්ෂයාට විරුද්ධ වන්න ඔබට පුළුවන්ද? ඔව්, ඔබට සාර්ථකව එසේ කළ හැකි බවට සහතිකයක් සපයමින් බයිබලයේ මෙසේ පවසනවා. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.” (යාකොබ් 4:7) ඔබ යක්ෂයාට විරුද්ධව සිටියත් ඔබව හසු කරගන්න දරන වෑයම් ඔහු ඉක්මනින් අත්හැර දමා, ඔබට දෙවි ගැන ඉගෙනගන්න ඉඩ දෙමින් පීඩා නතර කරන්නේ නැහැ. ඔහු “සුදුසු වේලාවක්” පැමිණි විට නැවතත් ඔබව ගොදුරු කරගැනීමට වෑයම් කරනවා. (ලූක් 4:13) ඒ වුණත් ඔබ යක්ෂයාට බිය විය යුතු නැහැ. ඔබ දිගටම ඔහුට විරුද්ධව සිටිනවා නම් සැබෑ දෙවිගෙන් ඔබව ඈත් කරන්න ඔහුට හැකි වන්නේ නැහැ.

සාර්ථක ලෙස යක්ෂයාට විරුද්ධව සිටින්න නම් ඔහු කවුද කියාත් ඔහු මිනිසුන්ව නොමඟ යවන්නේ කොහොමද කියාත් ඔහුගේ උපායන්වලට හසු නොවී සිටීම සඳහා කළ හැකි දේවල් ගැනත් අප දැන සිටිය යුතුයි. මේ දේවල් ගැන නිවැරදි ලෙස දැනගත හැක්කේ බයිබලයෙන් පමණයි. එනිසා බයිබලයේ සඳහන් ඉගැන්වීම් දැනගැනීම සඳහා ඔබ කරන අධ්‍යයනයත් ඔබ ඉගෙනගන්න දේවල් අනුව ජීවත් වීමට දරන වෑයමත් අත් නොහැරීමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කරන්න. ඔබට පහසු වේලාවකදී ඔබව හමුවීමට ඇවිත්, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගැනීම සඳහා ඔබට උපකාර කිරීමට ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා. බයිබලය ගැන ඉගෙනගන්න ඔබ කැමති බව ඔවුන්ට කියන්න. නැත්නම් මේ සඟරාවේ සඳහන් ලිපිනයට ලියන්න.

ඔබ බයිබලය ගැන ඉගෙනගන්නවාට සාතන් කැමති නැහැ. එනිසා ඔහු විරුද්ධවාදිකම් හා පීඩා ඔබට ඇති කරන්න පුළුවන්. ඔබ බයිබලය ගැන ඉගෙනගන්න නිසා ඔබේ පවුලේ අය හෝ හිතමිතුරන් තරහ වෙන්න පුළුවන්. ඔවුන් ඔබ සමඟ අමනාපයෙන් කටයුතු කරන්නේ බයිබලයේ සඳහන් වටිනා සත්‍යය ගැන ඔවුන් දන්නේ නැති නිසයි. තවත් සමහරුන් ඔබට සමච්චල් කරන්න පුළුවන්. මෙවැනි දේවල් නිසා ඔබ බයිබලය ගැන ඉගෙනගන්න එක නතර කළොත් දෙවි ඒ ගැන සතුටු වෙයිද? සාතන්ට වුවමනා කරන්නේ ඔබව අධෛර්යයට පත් කර දෙවි ගැන ඉගෙනගැනීම ඔබ නතර කරනවා දකින්නයි. ඔබ කැමති සාතන්ට දිනුම දෙන්නද නැත්නම් ඔහුව පරාජය කරන්නද? (මතෙව් 10:34-39) ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ ණයගැති වන්නේ යෙහෝවා දෙවිට මිසක් සාතන්ට නොවෙයි. එනිසා යක්ෂයාට විරුද්ධව සිට ‘යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන්න’ අදිටන් කරගන්න.—හිතෝපදේශ 27:11.

[6වන පිටුවේ පින්තූරය]

සැබෑ ක්‍රිස්තියානි ආගම වැලඳගත් අය භූතවාදය හා සම්බන්ධ පොත් පත් විනාශ කර දැමුවා

[7වන පිටුවේ පින්තූරය]

කවදාවත් නවත්වන්නේ නැහැ කියා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව බයිබලය ගැන ඉගෙනගන්න