Skip to content

පටුනට යන්න

“යෙහෝවාගේ මාර්ග හරිය”

“යෙහෝවාගේ මාර්ග හරිය”

“යෙහෝවාගේ මාර්ග හරිය”

“යෙහෝවාගේ මාර්ග හරිය. ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය.”—හොෂෙයා 14:9.

1, 2. යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන්නේ මොන වගේ ආරම්භයක්ද? නමුත් ඔවුන් පසුව ක්‍රියා කළේ කෙසේද?

යෙහෝවා දෙවි මෝසෙස්ගේ කාලයේදී ඊශ්‍රායෙල් ජාතියට ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කිරීම සඳහා ලබා දුන්නේ හොඳ ආරම්භයක්. කෙසේවෙතත් ක්‍රි.පූ. අටවන සියවස වන විට ඔවුන්ගේ තත්වය කොතරම් නරක අතට හැරුණාද කියනවා නම් ඔවුන් දෙවිගේ ඇස් හමුවෙහි ඉතාමත් බරපතළ වැරදි කළා. මේ බව හොෂෙයා 10 සිට 14 දක්වා පරිච්ඡේදවල සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා.

2 ඊශ්‍රායෙල්වරුන් ක්‍රියා කළේ කුහක ලෙසයි. ‘දුෂ්ටකම වැපුරූ’ දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන් නෙළාගත්තේ අධර්මිෂ්ඨකමයි. (හොෂෙයා 10:1, 13) “ඊශ්‍රායෙල් ළදරුවෙක්ව සිටියදී මම ඔහුට ප්‍රේම කොට මාගේ පුත්‍රයා ඊජිප්තුවෙන් අඬගසාගතිමි” කියා යෙහෝවා පැවසුවා. (හොෂෙයා 11:1) දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගත්තත් ඔවුන් දෙවිට බොරු කළා. (හොෂෙයා 11:12) ඒ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ උපදෙස් දුන්නා. “ඔබේ දෙවි වෙතට හැරී එන්න; කරුණාවද විනිශ්චයද පවත්වන්න.”—හොෂෙයා 12:6.

3. දෙවිට විරුද්ධව කැරලිගැසූ සමාරියට සිදුවීමට නියමිතව තිබුණේ කුමක්ද? ඊශ්‍රායෙල්වරුන් දෙවිගෙන් කරුණාව ලබාගැනීම සඳහා කළ යුතු වුණේ කුමක්ද?

3 දෙවිට විරුද්ධව කැරලිගැසූ සමාරියේ රජ හා එහි වැසියන් මහත් විනාශයකට මුහුණ දෙන්න නියමිතව සිටියා. (හොෂෙයා 13:11, 16) එහෙත් හොෂෙයාගේ අනාවැකියේ අවසාන පරිච්ඡේදය ආරම්භයේදී මෙවැනි ආයාචනයක් කර තිබෙනවා. “අහෝ ඊශ්‍රායෙල්, ඔබේ දෙවි වූ යෙහෝවා වෙතට හැරී එන්න.” ඊශ්‍රායෙල්වරුන් පසුතැවිලි වී දෙවිගෙන් සමාව ගැනීමට කටයුතු කළා නම් දෙවි ඔවුන්ට කරුණාව පෙන්වනවා. ඒත් ඔවුන් “යෙහෝවාගේ මාර්ග හරි” බව පිළිගෙන එම මාර්ගවල ගමන් කිරීම අවශ්‍ය වුණා.—හොෂෙයා 14:1-6, 9.

4. මේ ලිපියේදී අපි සලකා බලන්නේ මොනවාද?

4 දෙවි සමඟ ගමන් කිරීමට අපට උපකාරවත් වන ප්‍රතිපත්ති බොහොමයක් හොෂෙයාගේ අනාවැකියේ මේ කොටසේ අඩංගු වෙනවා. මේ ලිපියේදී අපි මේ කරුණු පහ සලකා බලනවා. (1) යෙහෝවා බලාපොරොත්තු වන්නේ කුහකකමින් තොර නමස්කාරයක්. (2) යෙහෝවා ඔහුගේ සෙනඟට කරුණාව පෙන්වයි. (3) යෙහෝවා කෙරෙහි නිතරම බලා සිටින්න. (4) යෙහෝවාගේ මාර්ග සැමවිටම හරිය. (5) පව්කාරයන්ට යෙහෝවා වෙතට ආපසු පැමිණෙන්න පුළුවන්.

යෙහෝවා බලාපොරොත්තු වන්නේ කුහකකමින් තොර නමස්කාරයක්

5. දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ මොන වගේ නමස්කාරයක්ද?

5 යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ කුහකකමින් තොරව එනම් එක සිතින් ඔහුට නමස්කාර කිරීමයි. කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් පල නොදරන “නරක් වූ මිදි වැලක්” [NW] හා සමාන වුණා. ඊශ්‍රායෙලයේ වැසියන් බොරු නමස්කාරයේ හවුල් වීම සඳහා දේශය පුරා ‘පූජාසන වැඩියෙන් පිහිටෙව්වා.’ සැබෑ නමස්කාරයට විරුද්ධව ක්‍රියා කළ මොවුන් උස ගල් කුලුනු සාදාගෙන ඒවාට නමස්කාර කළා. මේ කුලුනු කඩා බිඳ දමා විනාශ කිරීමට යෙහෝවා තීරණය කළා.—හොෂෙයා 10:1, 2.

6. දෙවි සමඟ ගමන් කිරීමට නම් අපි ක්‍රියා නොකළ යුත්තේ කෙසේද?

6 යෙහෝවාගේ සේවකයන් අතර කුහකකමට කිසිම ඉඩක් නැහැ. ඒත් ඊශ්‍රායෙල්වරුන්ට සිදු වුණේ කුමක්ද? ‘ඔවුන්ගේ සිත බෙදී තිබුණා.’ ඔවුන් යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳී සිටි, ඔහුට කැප වූ සේවකයන් වී සිටියත් ඔවුන් කුහකයි කියා ඔහු පැවසුවා. අපිට මෙයින් ඉගෙනගත හැක්කේ කුමක්ද? අපි දෙවිට සේවය කිරීමට කැප වී සිටිනවා නම් අපි කුහක ලෙස එනම් බෙදුණු සිතක් ඇතිව ක්‍රියා නොකළ යුතු බවයි. හිතෝපදේශ 3:32හි මෙසේ අනතුරු අඟවනවා. “හිතුවක්කාරයා යෙහෝවාට පිළිකුලක්ය; එහෙත් ඔහුගේ රහස අවංක අය හා සමඟය.” දෙවි සමඟ ගමන් කිරීමට නම් අපි “පිරිසිදු සිතකින්ද යහපත් හෘදය සාක්ෂියකින්ද කුහකකමින් තොර වූ ඇදහිල්ලකින්ද නික්මෙන ප්‍රේමයක්” ඇතුව සිටිය යුතුයි.—1 තිමෝති 1:5.

යෙහෝවා ඔහුගේ සෙනඟට කරුණාව පෙන්වයි

7, 8. (අ) දෙවිගේ කරුණාව ලබන්න නම් අපි කළ යුත්තේ කුමක්ද? (ආ) අපි බරපතළ පව් කර තිබෙනවා නම් කුමක් කළ යුතුද?

7 අපි යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවල හරි ලෙස ගමන් කරමින් කුහකකමින් තොරව එක සිතින් ඔහුට නමස්කාර කරනවා නම් අපිට ඔහුගේ කරුණාව ලැබෙනවා නිසැකයි. දෙවිට අකීකරු වූ ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පවසනු ලැබුවා. “ධර්මිෂ්ඨකමින් ඔබටම වපුරාගන්න; කරුණාවේ හැටියට කපන්න; ඔබේ පුරන් බිම කොටන්න; මක්නිසාද යෙහෝවා ඇවිත් ඔබට ධර්මිෂ්ඨකම වස්වන තෙක් ඔහු සොයන්ට කාලය වේ.”—හොෂෙයා 10:12.

8 ඊශ්‍රායෙල්වරුන් පසුතැවිලි වී යෙහෝවාව සොයනවා නම් ඔහු ඔවුන්ට “ධර්මිෂ්ඨකම වස්වන” බව පැවසුවා. අපි බරපතළ පව් කර තිබෙනවා නම් යෙහෝවාව සොයමු. මින් අදහස් කරන්නේ සමාව ඉල්ලා ඔහුට යාච්ඤා කිරීම හා දෙවි සමඟ නැවතත් හොඳ සම්බන්ධතාවක් ඇති කරගැනීම සඳහා වැඩිමහල්ලන්ගේ උපකාරය පැතීමයි. (යාකොබ් 5:13-16) මෙහිදී අපි දෙවිගේ ආත්මයේ මඟ පෙන්වීමද පැතිය යුතුයි. මන්ද “තම මාංසය සඳහා වපුරන තැනැත්තා මාංසයෙන් දිරාපත් වීම නෙළාගන්නේය. නමුත් ආත්මය සඳහා වපුරන තැනැත්තා ආත්මයෙන් සදාකාල ජීවනය නෙළාගන්නේය.” (ගලාති 6:8) ‘ආත්මය සඳහා අපි වපුරනවා’ නම්, එනම් දෙවිගේ මඟ පෙන්වීමට අනුව ක්‍රියා කරනවා නම් අපිට දෙවිගේ කරුණාව දිගටම ලබන්න පුළුවන්.

9, 10. හොෂෙයා 11:1-4 දක්වා සඳහන් ආකාරයට යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් සමඟ ක්‍රියා කළේ කෙසේද?

9 යෙහෝවා ඔහුගේ සෙනඟ සමඟ සැමවිටම කටයුතු කරන්නේ ප්‍රේමණීය ලෙස බවට නිසැක වෙන්න අපිට පුළුවන්. මේ බව හොෂෙයා 11:1-4 දක්වා සඳහන් මෙම වදන්වලින් තහවුරු වෙනවා. “ඊශ්‍රායෙල් ළදරුවෙක්ව සිටියදී මම ඔහුට ප්‍රේම කොට මාගේ පුත්‍රයා ඊජිප්තුවෙන් අඬගසා ගතිමි; . . . ඔවුහු බාල්ට යාග කළෝය; කැපූ රූපවලට සුගන්ධ ද්‍රව්‍ය දැවුවෝය; එසේවුවත් එෆ්‍රායිම්ට [එනම් ඊශ්‍රායෙල්ට] ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් මා විසින් ඔවුන්ව සුව කළ බව ඔවුහු දැන නොගත්තෝය; මනුෂ්‍යයෙකුගේ රෑන්වලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ ඔසවාගන්නවුන් මෙන් ඔවුන්ට වීමි; ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.”

10 එම වගන්තිවල ඊශ්‍රායෙල්වරුන්ව කුඩා ළමයෙකුට සමාන කර තිබෙනවා. යෙහෝවා ප්‍රේමණීය ලෙස අතින් අල්ලාගෙන ඊශ්‍රායෙල්වරුන්ට ඇවිදින්න ඉගැන්වුවා. ඔහු ඔවුන්ව “ප්‍රේමය” නමැති ආධාරකයෙන් ළං කරගත්තා. යෙහෝවා ඔවුන්ට කොතරම් ප්‍රේම කළාද කියා එයින් පැහැදිලියි! ඔබේ කුඩා දරුවාට ඔහුගේ පළමු පියවර කිහිපය තබන්න ඔබේ අත් දිගු කරමින් ඔබ දරුවාට උදව් කරනවා කියා සිතන්න. සමහරවිට ඔබ දරුවාට නොවැටී ඇවිදින්න පුළුවන් වෙන විදිහට ඔහුට යම් ආධාරකයක් ලබා දිය හැකියි. යෙහෝවා ඔබට ප්‍රේමය පෙන්වන්නෙත් ඒ හා සමානවයි. ඔහු ඔබට “ප්‍රේමය” නමැති ආධාරකය මාර්ගයෙන් මඟ පෙන්වීමට ආශාවෙන් සිටිනවා.

11. දෙවි ‘වියගහ ඔසවන්නෙක් මෙන්’ ක්‍රියා කළේ කෙසේද?

11 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් සමඟ ක්‍රියා කළ ආකාරය මෙසේ විස්තර කර තිබෙනවා අප දුටුවා. “ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ ඔසවාගන්නවුන් මෙන් ඔවුන්ට වීමි; ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.” මෙහි විස්තර කරන ආකාරයට යෙහෝවා ක්‍රියා කළේ හරියට වියගහක බැඳ සිටින සතෙකුට පහසුවෙන් කෑම කන්න පුළුවන් වෙන විදිහට ඒ වියගහ ඉවත් කරන කෙනෙක් හා සමානවයි. ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ සතුරන්ගේ වියගහ යටට පැමිණියේ ඔවුන් යෙහෝවාගේ වියගහට යටත් වීමට අකමැති වූ අවස්ථාවලදී පමණයි. (ද්විතීය කතාව 28:45, 48; යෙරෙමියා 28:14) අපේ ප්‍රධානතම සතුරා වන සාතන්ගේ පාලනයට යටත් වී ඔහුගේ පීඩාකාරී වියගහ යටතට පත් නොවී, අපි දිගටම අපේ ප්‍රේමණීය දෙවි සමඟ ගමන් කරමු.

යෙහෝවා කෙරෙහි නිතරම බලා සිටින්න

12. හොෂෙයා 12:6හි සඳහන් වන ආකාරයට දෙවි සමඟ දිගටම ගමන් කිරීමට නම් අප කළ යුත්තේ මොනවාද?

12 දෙවි සමඟ දිගටම ගමන් කිරීමට නම් දෙවි කෙරෙහි නිතරම බලා සිටිය යුතුයි. ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පවසා තිබුණා. “ඔබ ඔබේ දෙවි වෙතට හැරී එන්න; කරුණාවද විනිශ්චයද පවත්වන්න; ඔබේ දෙවි කෙරෙහි නිතරම බලා සිටින්න.” (හොෂෙයා 12:6) පසුතැවිලි වී නැවත යෙහෝවා දෙවි වෙතට හැරී එන්න තමන් කැමති බව පෙන්වීමට ඊශ්‍රායෙල්වරුන්ට හැකියාව තිබුණා. ඔවුන්ගේ ඒ කැමැත්ත පෙන්වීම සඳහා ‘දෙවි කෙරෙහි නිතරම බලා සිටින්නත්’ ඔහුට විශ්වාසවන්තව සිටින්නත් යුක්තිසහගත ලෙස ක්‍රියා කරන්නත් අවශ්‍ය වුණා. අපි කොතරම් කාලයක් දෙවි සමඟ ගමන් කරමින් සිටියත් දෙවි කෙරෙහි නිතරම බලා සිටින්නටත් ඔහුට විශ්වාසවන්තව සිටීමටත් යුක්තිසහගත වීමටත් අපි අදිටන් කරගත යුතුයි.—ගීතාවලිය 27:14.

13, 14. යෙහෝවා කෙරෙහි බලා සිටීමට අපට හේතුවක් සපයමින් පාවුල් හොෂෙයා 13:14 අදාළ කර දක්වන්නේ කොහොමද?

13 ඊශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් හොෂෙයා පැවසූ අනාවැකියේ දෙවි කෙරෙහි බලා සිටීම සඳහා අපට විශේෂ හේතුවක් සපයා තිබෙනවා. යෙහෝවා මෙසේ පැවසුවා. “මම මිනී වළේ බලයෙන් ඔවුන් ගලවාගන්නෙමි; ඔවුන් මරණයෙන් මුදාගන්නෙමි; එම්බා මරණය, ඔබේ පීඩා කොතැනද? එම්බා මිනී වළ, ඔබේ විනාශය කොතැනද?” (හොෂෙයා 13:14) යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව ඒ කාලයේදී මරණයෙන් මුදවාගන්න බව එයින් අදහස් කළේ නැහැ. ඒත් මරණය සදහටම ඔහු නැති කර දැමීමට නියමිතයි.

14 සෙසු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට ලියද්දී පාවුල් හොෂෙයාගේ අනාවැකියෙන් මෙසේ උපුටා දැක්වුවා. “දිරනසුලු වූ මෙය නොදිරනසුලුභාවය පැළඳගන්නා විටද මැරෙනසුලු වූ මෙය අමරණීයභාවය පැළඳගන්නා විටද, ‘සදහටම මරණය ගිල දමන්නේය’ කියා ලියා තිබෙන කියමන ඉටු වන්නේය. ‘මරණය, ඔබේ ජය කොතැනද? මරණය, ඔබේ විෂ දළ කොතැනද?’ මරණය උපදවන විෂ දළ නම් පාපයය. නමුත් පාපයට බලය දෙන්නේ නීතිය විසිනි. නමුත් දෙවිට ස්තුති වේවා! මන්ද ඔහු, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපට ජය ලබා දෙන්නේය.” (1 කොරින්ති 15:54-57) යෙහෝවා යේසුස්ව නැවත නැඟිටුවීමෙන් දෙවි අපට දුන් සහතිකය නම් ඔහුගේ මතකයේ සිටින අයව ඔහු නැවත නැඟිටුවන බවයි. (යොහන් 5:28, 29) යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටීමට මෙය මොන තරම් කදිම හේතුවක්ද! නැවත නැඟිටීමේ බලාපොරොත්තුවට අමතරව දෙවි සමඟ ගමන් කිරීමට අප තුළ පෙලඹීමක් ඇති කරවන තවත් හේතුවක් තිබෙනවා.

යෙහෝවාගේ මාර්ග සැමවිටම හරිය

15, 16. සමාරිය ගැන කලින් පවසා තිබුණේ කුමක්ද? මෙය ඉටු වූයේ කෙසේද?

15 “යෙහෝවාගේ මාර්ග හරි” බව වටහාගෙන සිටීම, දෙවි සමඟ දිගටම ගමන් කිරීමට අපට උපකාරවත් වෙනවා. සමාරියේ වැසියන් දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කළේ නැහැ. ඔවුන් කළ පව් නිසාත් යෙහෝවා කෙරෙහි තිබූ ඇදහිල්ල දුර්වල කරගත් නිසාත් ඔවුන්ට දුක් විඳින්න සිදු වෙනවා. මේ ගැන කලින් මෙසේ පවසා තිබුණා.“සමාරිය ඇගේ වරද දරන්නීය; මක්නිසාද ඇය තමාගේ දෙවිට විරුද්ධව කැරලිගැසුවාය; ඔවුහු කඩුවෙන් වැටෙන්නෝය; ඔවුන්ගේ ළදරුවෝ කැබලි වන ලෙස පොළොවේ ගසනු ලබන්නෝය; ඔවුන්ගේ ගර්භිණියෝ ඉරනු ලබන්නෝය.” (හොෂෙයා 13:16) ඉතිහාසයේ සඳහන් වාර්තාවලින් පෙනී යන්නේ සමාරිය යටත් කරගත් ඇසිරියානුවන් එවැනි අතිකුරිරු ක්‍රියාවල හවුල් වූ අය බවයි.

16 ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ අගනුවර වූයේ සමාරියයි. මෙහිදී සමාරිය කියද්දී මුළු දස ගෝත්‍ර රාජ්‍යයම අයත් වෙනවා. (1 රාජාවලිය 21:1) ඇසිරියාවේ පස්වන ෂල්මනෙසෙර් රජ ක්‍රි.පූ. 742දී සමාරිය වැටලුවා. පසුව ක්‍රි.පූ. 740දී සමාරිය යටත් කරගත් පසු එහි සිටි ඉහළ පැළැන්තියේ බොහෝ අයව මෙසපොතේමියාවට හා මේදියට වහලුන් ලෙස ගෙන ගියා. සමාරිය අල්ලාගත්තේ පස්වන ෂල්මනෙසෙර්ද එසේත් නැත්නම් ඔහුගෙන් පසු රජු වූ සර්ගොන්ද කියා ස්ථිර නැහැ. (2 රාජාවලිය 17:1-6, 22, 23; 18:9-12) කෙසේවෙතත් ඊශ්‍රායෙල් වැසියන් 27,290දෙනෙකුව එම දේශයෙන් පිටුවහල් කර යුප්‍රටීස් ගඟේ ඉහළබඩ ප්‍රදේශවලටත් මේදියාවටත් ගෙන ගිය බව සර්ගොන්ගේ වාර්තාවල සඳහන් වෙනවා.

17. දෙවිගේ ප්‍රමිති අප සැලකිය යුත්තේ කොහොමද?

17 සමාරියේ වැසියන් යෙහෝවාගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් නොකිරීම නිසා ඉතා වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දීමට ඔවුන්ට සිදු වුණා. දෙවිට කැප වී සිටින ක්‍රිස්තියානීන් වන අපි දිගටම පව් කරමින් යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩ කළොත් දුක්ඛිත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට අපටද සිදු වෙනවා. අපි කවදාවත් එවැනි දුෂ්ට ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකර, පේතෘස්ගේ මෙම උපදේශය අදාළ කරගනිමු. “ඔබෙන් කිසිවෙක් මිනීමරුවෙකු හෝ සොරෙකු හෝ අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණා අනිසි ලෙස හසුරුවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳීවා. නමුත් ඔහු ක්‍රිස්තියානියෙකු ලෙස දුක් විඳින්නේ නම්, ඔහු ලජ්ජා නොවී, ඒ නාමයෙන් දිගටම දෙවිව මහිමයට පමුණුවාවා!”—1 පේතෘස් 4:15, 16.

18. අපිට ‘දිගටම දෙවිව මහිමයට පැමිණවිය’ හැක්කේ කෙසේද?

18 අපිට හරියයි පෙනෙන මාර්ගවල ගමන් නොකර දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කිරීමෙන් අපි ‘දිගටම දෙවිව මහිමයට පමුණුවමු.’ පාපය දොරකඩ ළඟ ලැග සිටියි කියා යෙහෝවා දුන් අනතුරු ඇඟවීම ගණනකට නොගෙන තමන්ගේ කැමැත්තට අනුව ක්‍රියා කළ නිසා කායින් මිනී මරුවෙක් වුණා. (උත්පත්ති 4:1-8) ඊශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමට බාලාම් මෝවබ් දේශයේ රජුගෙන් කුලී ගත්තත් එය සාර්ථක වුණේ නැහැ. (ගණන් කතාව 24:10) ලෙවීවරයෙකු වූ කෝරා සහ ඔහුගේ පැත්ත ගත් සෙසු කැරලිකරුවන් මෝසෙස්ගේ හා ආරොන්ගේ අධිකාරයට විරුද්ධ වූ නිසා දෙවි ඔවුන්ව විනාශ කර දැමුවා. (ගණන් කතාව 16:1-3, 31-33) මිනී මරුවෙකු වූ “කායින්ගේ මාර්ගයෙහි” ගමන් කිරීමටවත් “බාලාම් ගිය වැරදි ක්‍රියාමාර්ගයට” යුහුසුලුව යොමුවීමටවත් “කෝරා මෙන් කැරලිකාර ලෙස කතා” කිරීමටවත් අපගෙන් කිසිම කෙනෙකු කැමති නැති බව නිසැකයි. (යූද් 11) කෙසේවෙතත් අපි යම් පාපයක් කළොත් හොෂෙයාගේ අනාවැකියෙන් සැනසිල්ලක් ලබන්න පුළුවන්.

පව්කාරයන්ට යෙහෝවා වෙතට ආපසු පැමිණෙන්න පුළුවන්

19, 20. පසුතැවිලි වූ ඊශ්‍රායෙලිතයන්ට ඔප්පු කිරීමට හැකි වූයේ කුමන පූජාද?

19 බරපතළ පව් කර තිබෙන අයට පවා ආපසු යෙහෝවා වෙතට පැමිණෙන්න පුළුවන්. අපට හොෂෙයා 14:1, 2හි මෙසේ කියවීමට තිබෙනවා. “අහෝ ඊශ්‍රායෙල්, ඔබේ දෙවි වූ යෙහෝවා වෙතට හැරී එන්න; මක්නිසාද ඔබ ඔබේ අයුතුකම කරණකොටගෙන වැටුණෙහිය; වචන රැගෙන යෙහෝවා වෙතට හැරී එන්න; ඔහුට කතා කොට: අපේ සියලු අයුතුකම් පහ කළ මැනව; යහපත් දෙය පිළිගත මැනව; එවිට අපේ කටේ [තොල්වල] පූජාව ගොනුන් මෙන් ඔප්පු කරන්නෙමු.”

20 පසුතැවිලි වූ ඊශ්‍රායෙලිතයන්ට ඔවුන්ගේ ‘තොල්වල පූජාව ගොනුන්ව ඔප්පු කරන්නාක් මෙන් ඔප්පු කිරීමට’ හැකි වුණා. මෙම පූජාවලට අයත් වුණේ අවංකවම දෙවිට කරන ප්‍රශංසාවයි. පාවුල් මෙම අනාවැකියට යොමු දක්වමින් ක්‍රිස්තියානීන්ව මෙසේ දිරිගැන්වුවා. “දෙවිගේ නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව නිතරම දෙවිට ඔප්පු කරමු.” (හෙබ්‍රෙව් 13:15) මෙලෙස දෙවිට ප්‍රශංසාවේ පූජා ඔප්පු කරමින් ඔහු සමඟ ගමන් කිරීමට ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද!

21, 22. පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරුන් නැවතත් අද්දැක්කේ කුමක්ද?

21 තමන්ගේ කැරලිකාර ක්‍රියාමාර්ග අත්හැර දෙවි වෙතට ආපසු පැමිණි ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ‘තොල්වල පූජාව ගොනුන්ව ඔප්පු කරන්නාක් මෙන් ඔප්පු කළා.’ මෙසේ දෙවි පොරොන්දු වූ ආකාරයටම ඔවුන් නැවතත් දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගත්තා. මේ ගැන හොෂෙයා 14:4-7හි මෙසේ සඳහන් වී තිබෙනවා. “මම [යෙහෝවා] ඔවුන්ගේ පසුබට වීම සුව කරන්නෙමි; බොහෝ සේ ඔවුන්ට ප්‍රේම කරන්නෙමි; මක්නිසාද මාගේ කෝපය ඔහු කෙරෙන් පහව ගියේය; මම ඊශ්‍රායෙල්ට පිනි මෙන් වෙමි; ඔහු මානෙල් මෙන් මල් ගන්නේය; ඔහුගේ මුල් ලෙබනොන් මෙන් පැතිරෙන්නේය; ඔහුගේ අතු පැතිර යන්නේය; ඔහුගේ රුව ඔලීව ගස මෙන්ද ඔහුගේ සුවඳ ලෙබනොන් මෙන්ද වන්නේය; ඔහුගේ සෙවණේ වසන්නෝ හැරී එන්නෝය; ඔවුහු ගොයම මෙන් ප්‍රාණවත් වී මිදිවැල මෙන් මල් ගන්නෝය; එහි සුවඳ ලෙබනොන්හි මිදියුෂ මෙන් වන්නේය.”

22 පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරුන්ට දෙවි සමඟ කලින් තිබුණු සම්බන්ධය හා ඔහුගේ ප්‍රේමය නැවතත් ලබන්න හැකි වුණා. යෙහෝවා දෙවි නැවුම් පිනි හා සමානව ඔවුන්ට මහත් සේ ආශීර්වාද කළා. නැවතත් දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් ගොඩනඟා ගත් ඊශ්‍රායෙල්වරුන් “ඔලීව ගස මෙන්” ගෞරවනීය තත්වයකට පැමිණ දෙවිගේ මාර්ගවල ගමන් කළා. යෙහෝවා දෙවි සමඟ ගමන් කිරීමට අදිටන් කරගෙන සිටින අපගෙන් යෙහෝවා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

දිගටම යෙහෝවාගේ මාර්ගවල ගමන් කරමු

23, 24. හොෂෙයාගේ පොතේ අවසානයේ සඳහන් වන දිරිගැන්වෙන පණිවිඩය කුමක්ද? ඔබට එය බලපෑ යුත්තේ කෙසේද?

23 දිගටම දෙවි සමඟ ගමන් කිරීමට නම් අපි ‘ඉහළින් පැමිණෙන ප්‍රඥාවට’ අනුව ක්‍රියා කරමින් සැමවිටම දෙවිගේ මාර්ගවල ගමන් කළ යුතුයි. (යාකොබ් 3:17, 18) හොෂෙයාගේ අනාවැකියේ අවසාන වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. “ඥානවන්තයා කවුද? ඔහු මේ දේ තේරුම්ගන්නේය; බුද්ධිමත් අය කවුද? ඔහු ඒවා දැනගන්නේය; මක්නිසාද යෙහෝවාගේ මාර්ග හරිය; ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; එහෙත් වරදකාරයෝ එහිදී වැටෙන්නෝය.”—හොෂෙයා 14:9.

24 මේ ලෝකයේ ප්‍රඥාවෙන් හා ප්‍රමිතිවලින් මඟ පෙන්වීම් ලබා නොගෙන දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට අපි අදිටන් කරගනිමු. (ද්විතීය කතාව 32:4) හොෂෙයා අවුරුදු 59කට වැඩි කාලයක් පුරා එසේ කළා. දෙවි තමන්ට දුන් පණිවිඩයට ඥානවන්ත හා තේරුම් ඇති අය සවන් දෙයි කියා සිතූ ඔහු එම පණිවිඩය විශ්වාසවන්තව ප්‍රකාශ කළා. අප ගැන කියන්න පුළුවන් මොනවාද? යෙහෝවා අපිට ඔහු ගැන සාක්ෂි දැරීමට ඉඩහරින තාක් කල් ඔහුගේ පණිවිඩය ඥානවන්ත ලෙස පිළිගන්න හා ඔහුගේ මහත් කරුණාව ලබන්න කැමති අයව දිගටම සොයමු. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සමඟ මේ කාර්යයෙහි පූර්ණව හවුල් වීමට අප මහත් සේ සතුටු වන්නෙමු.—මතෙව් 24:45-47.

25. හොෂෙයාගේ අනාවැකිය ගැන අප කළ සාකච්ඡාව අපට උපකාරවත් වන්නේ කුමක් කිරීමටද?

25 දෙවි පොරොන්දු කර තිබෙන නව ලොවේ සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතිව ඔහු සමඟ දිගටම ගමන් කිරීමට හොෂෙයාගේ අනාවැකිය ගැන අප කළ සාකච්ඡාව අපට උපකාරවත් විය යුතුයි. (2 පේතෘස් 3:13; යූද් 20, 21) එය මොන තරම් උදාර අපේක්ෂාවක්ද! “යෙහෝවාගේ මාර්ග හරිය” කියා අප වචනවලින් පවසන දේ අප ක්‍රියාවලිනුත් පෙන්වනවා නම් එම අපේක්ෂාව අපට ඇත්තටම අද්දකින්න පුළුවන් වෙනවා නිසැකයි.

ඔබට මතකද?

• අපි දෙවිට පිරිසිදු සිතින් නමස්කාර කරනවා නම් ඔහු අප සමඟ කටයුතු කරන්නේ කෙසේද?

• අපි සැමවිටම යෙහෝවා කෙරෙහි බලා සිටිය යුත්තේ ඇයි?

• යෙහෝවාගේ මාර්ග හරියි කියා ඔබ විශ්වාස කරන්නේ ඇයි?

• අපිට දිගටම ධර්මිෂ්ඨ මාර්ගවල ගමන් කළ හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[28වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් උපකාරය ලබාගන්න

[29වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දී තිබෙන නැවත නැඟිටීමේ පොරොන්දුව කෙරෙහි බලා සිටීමට හොෂෙයාගේ අනාවැකිය හොඳ හේතුවක් සපයනවා

[31වන පිටුවේ පින්තූර]

සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතිව දෙවි සමඟ දිගටම ගමන් කරමු