Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන අරුම පුදුම මැවිලි

යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන අරුම පුදුම මැවිලි

යෙහෝවාගේ ශ්‍රේෂ්ඨත්වය කියාපාන අරුම පුදුම මැවිලි

යෙහෝවා දෙවි අපිට සිතාගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්. නිහඬව ඔහුව පැසසුමට ලක් කරන ඔහුගේ නිර්මාණවලින් අහස සහ පොළොව පිරී තිබෙනවා. ඒවා දකින විට අප තුළ ඔහු කෙරෙහි මහත් ගෞරවයක් ඇති වෙනවා.—ගීතාවලිය 19:1-4.

මුළු විශ්වයම පාලනය කිරීමට අයිතිය තිබෙන එකම තැනැත්තා හා මැවුම්කරු වන්නේ ඔහුයි. එනිසා ඔහු අපිට කතා කළොත් අපි ඔහුට සවන් දිය යුතුමයි. ඔහු අපිත් සමඟ කතා කළොත් අපිට කොහොම හැඟෙයිද? අපි පුදුමයෙන් පුදුමයට පත් වෙනවාට කිසි සැකයක් නැහැ. ඔහු ඔබට දේවදූතයෙක් මාර්ගයෙන් කතා කළොත් ඔබ මොකද කරන්නේ? ඔබ ඔහුට සවන් දෙනවාට කිසි සැකයක් නැහැ. යෙහෝවා දෙවි මීට අවුරුදු 3,500කට පමණ පෙර ජීවත් වූ ධර්මිෂ්ඨ මිනිසෙක් වූ යෝබ්ට කතා කළ අවස්ථාවේදී ඔහු හොඳින් සවන් දුන්නා. දෙවි අහස සහ පොළොව ගැන යෝබ්ට පැවසූ දේවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

පොළොවේ අත්තිවාරම දැම්මේ කවුද? මුහුද පාලනය කරන්නේ කවුද?

දෙවි සුළි සුළඟක් හමද්දී යෝබ්ගෙන් අහස සහ පොළොව ගැන ඇසුවා. (යෝබ් 38:1-11) පොළොව කොතරම් විශාල විය යුතුද කියා තීරණය කර එය නිර්මාණය කළේ ඉදි කිරීමේ ශිල්පය ගැන හසළ දැනුමක් ඇති මිනිසෙක් නොවෙයි. එය නිර්මාණය කළේ යෙහෝවා දෙවියි. පොළොව විශාල ගොඩනැඟිල්ලකට සමාන කරමින් දෙවි යෝබ්ගෙන් මෙසේ අසනවා. “එහි කොනේ ගල තැබුවේ කවුද?” මෙය කළේ යෙහෝවා දෙවි මිස වෙන කිසිවෙක් නොවෙයි. ඔහු පෘථිවිය නිර්මාණය කරද්දී, ඒ දෙස බලා සිටි දේවදූතයන් හුඟාක් ප්‍රීති වුණා.

දෙවිගේ පැවැත්ම සමඟ බලන කල මුහුද බිලිඳෙකුට සමාන කළ හැකියි. ‘මුහුද ගැබින් නික්මුණු’ බව යෝබ් 38:8හි සඳහන් වෙනවා. හරියට දොරවලින් හා පොලුවලින් හරස් කර තිබෙන්නාක් මෙන් දෙවි මුහුදේ සීමා නියම කර තිබෙනවා. සූර්යයාගේ හා චන්ද්‍රයාගේ බලපෑම මගින් මුහුදේ රළ පාලනය කරනු ලබනවා.

එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “මුහුදේ රැළි ඇතිවීමට බොහෝවිට හේතු වන්නේ සුළඟයි. කුඩා රැළි විතරක් නොවෙයි, ඇතැම් අවස්ථාවලදී මීටර් 30ක් තරම් උස අතිවිශාල රැළි පවා ඇති කිරීමේ හැකියාව සුළඟට තිබෙනවා. . . . සුළඟ නැවතුණු පසුවත් ඒ රැළි මුලින්ම ආරම්භ වූ තැන සිට විශාල දුරක් දක්වා ගමන් කරනවා. ඉදිරියට ඇදී යන විට ඒ රැළිවල රළුබව අඩු වෙනවා. අවසානයේදී ඒ රැළි වෙරළට ළඟා වී, එහි හැපී බිඳී යෑමෙන් පසු පෙණ දමමින් ආපසු මුහුදට ඇදී යයි.” (The World Book Encyclopedia) දෙවි මුහුදට කරන මේ අණට මුහුද කීකරු වෙයි. “ඔබ මෙතැන් දක්වා එන්නෙහිය. එහෙත් මින් එහා නොයන්නෙහිය. ඔබේ උඩඟු රැළ මෙහි නවතින්නේය.”

උදය පැමිණෙන්න සලස්වන්නේ කවුද?

පොළොව සහ මුහුද ගැන ඇසීමෙන් පසු දෙවි ඊළඟට යෝබ්ගෙන් අසන්නේ ආලෝකය සහ ඔහු නිර්මාණය කළ තවත් දේවල් කිහිපයක් ගැනයි. (යෝබ් 38:12-18) දිවා හා රාත්‍රි කාලය පාලනය කිරීමට කිසිම කෙනෙකුට නොහැකියි. උදෑසන පායන හිරුගෙන් නික්මෙන රැස් දහරා පොළොවේ සතර දික්භාගය පුරා පැතිරී ගොස් දුෂ්ටයන්ව හෙළා දමයි. පව්කාරයන් හුඟාක් නපුරු දේවල් කරන්නේ ‘අඳුරු’ කාලයේදීයි. (යෝබ් 24:15, 16) එහෙත් අලුයම හිරු රැස් නැඟ එද්දී නපුරු ක්‍රියා කරන්නන් හිමින් සීරුවේ පලා යයි.

උදෑසන හිරුගෙන් නික්මෙන ආලෝකය දෙවිගේ අතේ තිබෙන මුද්‍රාවකට සමාන කර තිබෙනවා. මැටි පිඩකින් සෑදු යමක් මත මුද්‍රාවක් තබන්නාක් මෙන් අරුණෝදය මිහිතලය සිසාරා පැතිරී යද්දී අලංකාර දසුනක් දැකිය හැකියි. එය දිස් වන්නේ වර්ණවත් ඇඳුමකින් සැරසී සිටින රූමත් ළඳක් වගෙයි. එහෙත් මිහිතලයේ මේ අලංකාරය ඇතිවීමට යෝබ් කිසිසේත් සම්බන්ධ වන්නේ නැහැ. එමෙන්ම සාගර පතුලේ තිබෙන සම්පත් එකින් එක ගණන් බැලීමට ඔහු කිසිදා එහි ඇවිද නැහැ. වර්තමානයේ වුවද සාගරය සහ එහි වෙසෙන ජීවීන් ගැන පර්යේෂකයන්ට තිබෙන්නේ සීමිත දැනුමක් පමණයි.

හිම ගබඩා සෑදුවෙත් අයිස් කැට වැසි ඇති කරන්නෙත් කවුද?

අඳුරට හා ආලෝකයට යා යුතු තැන පෙන්වන්නේ කිසිම මිනිසෙක් නොවෙයි. එමෙන්ම දෙවි “යුද්ධ දවසට” තබාගෙන සිටින හිම සහ අයිස් ගබඩාවලට ඇතුල් වීමට කිසිම මිනිසෙකුට හැකි වී නැහැ. (යෝබ් 38:19-23) යෙහෝවා දෙවි ගිඩියොන්හිදී ඔහුගේ සතුරන්ව විනාශ කිරීමට අයිස් කැට වැස්සක් ඇති කළා. ඒ අවස්ථාවේදී “ගල් [අයිස් කැට] වැස්සෙන් නැසුණු අය ඊශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූවෝය.” (යෝෂුවා 10:11) ගොග් කියා හඳුන්වනු ලබන සාතන්ගේ මඟ පෙන්වීම යටතේ දුෂ්ට මිනිසුන් අනාගතයේදී දෙවිගේ සෙනඟට විරුද්ධව නැඟී සිටින විට ඔවුන්ව විනාශ කර දැමීම සඳහා අතිවිශාල අයිස් කුට්ටි පොළොවට වට්ටවන්න දෙවිට හැකියි. මේ අයිස් කුට්ටිවල ප්‍රමාණය අප කිසිවෙක් දන්නේ නැහැ.—එසකියෙල් 38:18, 22.

වර්ෂ 2002 ජූලි මාසයේදී චීනයේ මධ්‍යම ඕනෑන් පළාතට ඇද හැළුණු බිත්තර තරම් ප්‍රමාණයේ ලොකු අයිස් කැට වැස්සක් නිසා මිනිසුන් 25දෙනෙක් මිය ගිය අතර තවත් 200දෙනෙකුට තුවාල වුණා. වර්ෂ 1545දී ඇති වූ අයිස් කැට වර්ෂාවක් ගැන ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙකු වූ බෙනියූටෝ චලීනි මෙසේ ලියා තිබෙනවා. “එදා දවසේ අපි හිටියේ ප්‍රංශයේ ලියොන් නගරයේ සිට හුඟාක් ඈත ප්‍රදේශයකයි. . . . මහා ගිගුරුම් හඬක් නංවමින් විදුලි කොටන්න පටන්ගත්තා. . . . විදුලි කෙටීමෙන් පස්සේ අහසෙන් නිකුත් වුණ ශබ්දය මොන තරම් භයානකද කියනවා නම් මං හිතුවේ ලෝකාන්තිමය ඇවිත් කියලයි. එක වැහි පොදක්වත් නැතිව අයිස් කැට වැටෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේදී අශ්වයෙකු පිට ගමන් කරමින් සිටි මම ටිකකට නතර වුණා. . . . ටික වේලාවක් යද්දී අහසින් වැටෙන්න පටන්ගත්තේ ලොකු දෙහි ගෙඩි තරම් අයිස් කැට. . . . ඒ වේලාවේ ඇති වුණ දරුණු කුණාටුව ටික වේලාවකට පස්සේ නතර වුණා. . . . මේ බලන්න, මේ බලන්න කියමින් අපේ ඇඟේ තිබුණු සීරීම් හා තුවාල අපි එක් එක් කෙනාට පෙන්නුවා. තවත් අයට අපිට වඩා ලොකු හානියක් සිදු වෙලා කියලා අපිට දැකගන්න ලැබුණේ සැතපුමක් විතර ගියාට පසුවයි. සිදු වෙලා තිබුණු විනාශය විස්තර කරන්න බැරි තරම් දරුණුයි. ඒ ප්‍රදේශයේ හැම ගසකම වගේ එක කොළයක්වත් පේන්න තිබුණේ නැහැ. හැම තැනම කොළ අතු විසි වෙලා තිබුණා. සතුන් තැන් තැන්වල මැරී වැටී සිටියා. සතුන්ව බලාගනිමින් සිටිය මිනිසුන්ද මැරී සිටියා. අපි දැක්කා හැම තැනම වගේ අත් දෙකෙන් බදලා අල්ලන්න බැරි තරම් විශාල අයිස් කුට්ටි වැටිලා තියෙනවා.”—Autobiography (Book II, 50), Harvard Classics, Volume 31, pages 352-3

යෙහෝවා දෙවි ඔහුගේ සතුරන්ට විරුද්ධව හිම හා අයිස් ගබඩාව විවෘත කරද්දී ඔවුන්ට කුමක් සිදු වෙයිද? ඔවුන්ට නම් කොහොමටවත් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ.

වැස්ස, පින්න හා අයිස් ඇතිවීමට සලස්වන්නේ කවුද?

ඊළඟට යෙහෝවා දෙවි යෝබ්ගෙන් අසන්නේ වැස්ස, පින්න හා අයිස් ගැනයි. (යෝබ් 38:24-30) වැසි වසින්ට සලස්වන්නේ යෙහෝවා දෙවියි. ඔහුගේ මේ ආශීර්වාද ‘කිසි මනුෂ්‍යයෙකු නැති වනයත්’ භුක්ති විඳිනවා. වැස්ස, පින්න හා අයිස් ඇතිවීමට සලස්වන්න කිසිම මිනිසෙකුට නොහැකියි.

එක් සඟරාවක (Nature Bulletin) මෙසේ සඳහන් වෙනවා. ‘ජලය මිදෙන විට එහි ඝනත්වය අඩු වෙන නිසා අයිස් ජලය මත පාවෙයි. මෙය අයිස්වල දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. . . . ශීත කාලයේදී ගංගා හා විල් මතුපිට පාවෙන අයිස් තට්ටු නිසා ජලජ පැළෑටිවලට හා ජලයේ ජීවත් වෙන මාළුන් හා අනිත් සතුන්ට අයිස් තට්ටුව යට තිබෙන ජලයේ නොමැරී ජීවත් විය හැකියි. ජලය මිදෙන විට එහි ඝනත්වය වැඩි වුණා නම් අයිස් ජලයට වඩා බරින් වැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට අයිස් ගංගා හා විල් යනාදියේ පතුලට කිඳා බසී. මතුපිට ජලය තව තවත් අයිස් වන විට මුළු විලම විශාල අයිස් කුට්ටියක් බවට පත් වෙයි. . . . එසේ වූවා නම් ලෝකයේ හුඟාක් ශීත රටවල තිබෙන ගංගා, ඇළ දොළ පමණක් නොවෙයි මුළු සාගරයම අයිස් කඳක් බවට පත් වේවි.’

එලෙස ජලය අයිස් නොවීම ගැන අපි මැවුම්කරුට කොපමණ ස්තුතිවන්ත විය යුතුද! එපමණක්ද නොවෙයි පොළොවේ වෘක්ෂලතාදිය සාරවත්ව වැඩෙන්න අවශ්‍ය කරන වැස්ස හා පින්න ඇති කිරීම ගැන අපි ඇත්තෙන්ම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත විය යුතුයි.

අහසේ නියමයන් ඇති කළේ කවුද?

දෙවි යෝබ්ගෙන් ඊළඟට අසන්නේ අහස ගැනයි. (යෝබ් 38:31-33) හත්දින්නේ තරු රාශිය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ප්ලේඩීස් කියායි. වෘෂභ කියාද මෙය හඳුන්වනු ලබයි. විශාල තරු හතකින් හා තවත් කුඩා තරු විශාල ගණනකින් සමන්විත හත්දින්නේ තරු රාශිය පිහිටා තිබෙන්නේ සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 380ක් පමණ ඈතින්. ‘හත්දින්නේ තරු රාශිය තදින් බැඳ’ පොකුරක් හැටියට තබන්න කිසිම මිනිසෙකුට නොහැකියි. එමෙන්ම ඔරයන් තරු රාශිය කියා හඳුන්වනු ලබන “මුවසිරසේ බැඳුම් මුදන්ට” සමත් කිසිවෙක්ද නැහැ. මස්සරොත් සහ මහ වලසා යන තරු රාශිද පාලනය කිරීමට කිසිම මිනිසෙකුට නොහැකියි. “අහසේ නියමයන්” හෙවත් මුළු විශ්වයම පාලනය කරන නීති වෙනස් කරන්න කිසිවෙකුට නොහැකියි.

කාලගුණයට, සයුරේ රළවලට හා වායුගෝලයට මෙන්ම පොළොවේ සිටින සෑම ජීවියෙකුගේම පැවැත්මට බලපෑමක් ඇති කරන ආකාශ වස්තු පාලනය කරන නීති පිහිටුවනු ලැබුවේ දෙවි විසිනුයි. හිරු ගැන ටිකක් සිතා බලන්න. හිරු ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “හිරුගෙන් නිකුත් වන ආලෝක කිරණ මගින් පෘථිවියට උණුසුම හා එළිය මෙන්ම ශාකවල වර්ධනයට අවශ්‍ය දෑ සපයනවා. ඇළ දොළ ගංගා හා විල්වල ජලය මෙන්ම සාගරවල ජලයද වාෂ්ප කරනවා. සුළං ඇති කිරීමට දායක වෙනවා. ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්මට අවශ්‍ය තවත් බොහෝ දේවල් හිරුගෙන් නිකුත් වන ආලෝකය මගින් ඉටු කරනවා.” (The Encyclopedia Americana, 1996 සංස්කරණය) එම විශ්වකෝෂයේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “සූර්යාලෝකයේ තිබෙන ශක්තිය මොන තරම්ද කියා සිතා බලන්න. සුළං සහ ජලය මගින් නිපදවනු ලබන ශක්තියට හේතුවත් දර හා ගල් අඟුරු මෙන්ම ඛනිජ තෙල් වැනි ස්වාභාවික ඉන්ධනවල අඩංගු ශක්තියට හේතුවත් සූර්ය ශක්තියයි. සූර්යයාගේ සිට කිලෝ මීටර් දශලක්ෂ 50ක් ඈතින් පිහිටි ඉතා කුඩා ග්‍රහයෙක් වන පෘථිවියේ ගබඩා වී තිබෙන සියලුම ශක්තියේ ප්‍රභවය සූර්යයායි.”

වලාකුළුවලට ප්‍රඥාව ලැබුණේ කාගෙන්ද?

ඊළඟට යෙහෝවා දෙවි යෝබ්ගෙන් අසන්නේ වලාකුළු ගැනයි. (යෝබ් 38:34-38) අඩුම තරමින් එක වලාකුළක්වත් දිස් වෙන්න සලස්වා එයින් වැස්ස ඇති කරන්න කිසිම මිනිසෙකුට නොහැකියි. ඒත් මිනිසුන්ගේ ජීවිතය රඳා පැවත තිබෙන්නේ යෙහෝවා දෙවි වැසි වැසීමට සලස්වන ආකාරයෙන් ඇති කර තිබෙන ජල චක්‍රය නිසයි.

ජල චක්‍රය කියන්නේ කුමක්ද? මේ ගැන එක් පොතක මෙසේ සඳහන් වී තිබෙනවා. “ගබඩා කිරීම, වාෂ්ප කිරීම, වැස්ස ඇතිවීම හා වැසි ජලය ගංගා ඇළ දොළවල් හරහා ගලා බැසීම යනාදි මූලික අවස්ථා හතරකින් ජල චක්‍රය සමන්විතයි. ජලය භූමිය මතුපිට, සාගරවල, ඇළ දොළ ගංගාවල, අයිස් කඳුවල හා ග්ලැසියර්වල තාවකාලිකව ගබඩා වී තිබෙනවා. එම ජලය වාෂ්ප වී වලාකුළු සෑදෙයි. ඉන්පසු ඒවා වැස්ස හෝ හිම ලෙස ආපසු පොළොවට ඇද හැළෙනවා. අවසානයේදී නැවතත් ඒ ජලය මුහුදට ගලාගෙන යනවා, නැත්නම් වාෂ්ප වී යනවා. පොළොවේ තිබෙන සියලුම ජලය අසංඛාත වාර ගණනක් ජල චක්‍රය හරහා මේ ආකාරයෙන් ගමන් කරනවා.”—Microsoft Encarta Reference Library 2005.

වැසි වලාකුළු අහසේ තිබෙන විශාල ජල භාජනවලට සමාන කළ හැකියි. යෙහෝවා දෙවි ඒවායේ ජලය පොළොවට ඇද හැළෙන්න සලස්වනවා. ඇතැම් අවස්ථාවලදී පොළොව හොඳටම මඩ වෙයි. වැස්ස ඇති කරන්න හෝ වැස්ස නවත්වන්න පුළුවන් දෙවිට පමණයි.—යාකොබ් 5:17, 18.

වැසි වසින සෑම විටම පාහේ විදුලි කොටයි. එහෙත් තමන් කැමති වැඩක් ඉටු කරගැනීම සඳහා විදුලි කෙටීමෙන් නිකුත් වන ශක්තිය යොදාගන්න මිනිසාට නොහැකියි. “අපි මෙහිය” කියා විදුලිය දෙවිට පවසන බව යෝබ් 38:35හි සඳහන් වෙනවා. එයින් පැහැදිලි වන්නේ දෙවිට කැමති තැනකට විදුලිය යවන්න පුළුවන් බවයි. විදුලිය ගැන එක් විශ්වකෝෂයක (Compton’s Encyclopedia) මෙසේ සඳහන් වෙනවා. ‘එක් විදුලි කෙටීමක් වායුගෝලය හරහා ගමන් කරද්දී එයින් මොන තරම් විශාල උෂ්ණත්වයක් පිට වෙනවාද කියනවා නම් වායුගෝලයේ තිබෙන නයිට්‍රජන් සහ ඔක්සිජන් එකට එකතු කර නයිට්රේට් සහ වෙනත් සංයෝග සාදන්න ඒ උෂ්ණත්වයට හැකියි. එම සංයෝග වැස්ස සමඟ පොළොවට පතිත වෙයි. මේ නිසා ගස් වැල්වල වර්ධනයට අවශ්‍ය නයිට්රේට් අඩුවක් නැතිව ලබා දෙන්න වායුගෝලයට හැකි වෙනවා.’ විදුලි කෙටීම් ගැන සම්පූර්ණ දැනුමක් ලබාගැනීමට තවමත් මිනිසාට හැකි වී නැහැ. සමහර දේවල් තවමත් මිනිසාට අභිරහසක්. එහෙත් දෙවි නම් විදුලි කෙටීම් ගැන සෑම දෙයක්ම දන්නවා.

අරුම පුදුම මැවිලි දෙවිව මහිමයට පත් කරයි

අරුම පුදුම මැවිලි සෑම එකක්ම ඒවා නිර්මාණය කළ තැනැත්තා අතිශ්‍රේෂ්ඨ තැනැත්තෙක් බව කියාපායි. (එළිදරව් 4:11) යෙහෝවා දෙවි පොළොව ගැනත් ආකාශ වස්තු ගැනත් යෝබ්ට පැවසූ දේවල් ඔහුගේ සිතට මොන තරම් තදින් කාවදින්න ඇද්ද!

යෙහෝවා දෙවි තමන් මැවූ දේවල් ගැන යෝබ්ගෙන් ඇසූ සෑම ප්‍රශ්නයක් ගැනම හා ඔහුට කළ සෑම විස්තරයක් ගැනම අපි සලකා බැලුවේ නැහැ. අපි සලකා බැලූ මැවිල්ලේ අරුම පුදුම දේවල් ටික ගැන පවා සිතන විට අප තුළත් මෙවැනි හැඟීමක් ඇති වෙනවා නිසැකයි. “බලව, අපට දැනගත නොහැකි තරම් දෙවි උතුම්ය.”—යෝබ් 36:26, පැරණි අනුවාදය.

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

හිම කැට: snowcrystals.net

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ප්ලේඩීස් තරු රාශිය: NASA, ESA and AURA/Caltech; මාළුවා: U.S. Fish & Wildlife Service, Washington, D.C./William W. Hartley