Skip to content

පටුනට යන්න

හොෂෙයාගේ අනාවැකි දෙවි සමඟ ගමන් කිරීමට අත්වැලක්

හොෂෙයාගේ අනාවැකි දෙවි සමඟ ගමන් කිරීමට අත්වැලක්

හොෂෙයාගේ අනාවැකි දෙවි සමඟ ගමන් කිරීමට අත්වැලක්

“යෙහෝවා පස්සේ ඔවුහු යන්නෝය.”—හොෂෙයා 11:10.

1. හොෂෙයාගේ විවාහය සමාන වන්නේ කුමකටද?

සිත්ගන්නා චරිතවලින් යුත් කතාවක් කියවන්න ඔබ කැමතිද? බයිබලයේ හොෂෙයා පොතේ එවැනි කතාවක් සඳහන් වන අතර එම කතාවේ චරිතවලින් යම් දේවල් නියෝජනය කරනවා. * මේ කතාවට පාදක වන්නේ දෙවිගේ අනාගතවක්තෘවරයෙකු වූ හොෂෙයාගේ පවුලේ පැවති තත්වයයි. හොෂෙයාගේ විවාහය, යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් ජනයා සමඟ මෝසෙස්ගේ නීතිය මාර්ගයෙන් ඇති කරගත් ගිවිසුමට සමාන කළ හැකියි.

2. හොෂෙයා ගැන අපට දැනගැනීමට තිබෙන්නේ මොනවාද?

2 මේ කතාවේ පසුබිම දැනගැනීම සඳහා හොෂෙයා පළමුවන පරිච්ඡේදයේ සඳහන් දෑ සලකා බලමු. හොෂෙයා ජීවත් වුණේ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයට අයත් වූ ප්‍රදේශයෙයි. (මෙම ගෝත්‍ර අතරින් ප්‍රධානතම ගෝත්‍රය එෆ්‍රායිම් වූ නිසා එය එෆ්‍රායිම් කියාද හඳුන්වනවා.) හොෂෙයා අනාවැකි කීවේ දස ගෝත්‍ර රාජ්‍යයට අයත් වූ ඊශ්‍රායෙලය පාලනය කළ අවසන් රජවරුන් හත්දෙනාගේ කාලයේදීයි. එමෙන්ම ඒ කාල වකවානුවේදී ඉතිරි ගෝත්‍ර දෙකෙන් සමන්විත වූ යූදා රාජ්‍යය පාලනය කළේ උසියා, යෝතාම්, ආහාස් සහ හෙසකියා යන රජවරුන්. (හොෂෙයා 1:1) හොෂෙයා අඩුම තරමින් අවුරුදු 59ක්වත් අනාවැකි කී බව ඉන් පෙනී යනවා. ඔහුගේ නම දරන පොත සම්පූර්ණ කළේ ක්‍රි.පූ. 745න් පසුව වුණත් එහි තොරතුරු අදටත් අදාළයි. අපි මෙසේ පවසන්නේ “යෙහෝවා පස්සේ ඔවුහු යන්නෝය” කියා හොෂෙයා පැවසූ වදන්වලට අනුව අද මිලියන ගණනක් යෙහෝවා පෙන්වා දෙන මාර්ගවල ගමන් කරන නිසයි.—හොෂෙයා 11:10.

කතාවේ සමස්ත අදහස

3, 4. හොෂෙයා 1 සිට 5 දක්වා පරිච්ඡේදවල සඳහන් විස්තරය කෙටියෙන් පැහැදිලි කරන්න.

3 අපි මුලින්ම හොෂෙයා 1 සිට 5 දක්වා පරිච්ඡේද කිහිපයේ සඳහන් තොරතුරුවල සමස්ත අදහස කෙටියෙන් සලකා බලමු. මෙමගින් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව ඔහු පෙන්වා දෙන මාර්ගයේ ගමන් කිරීමට අපි ගෙන තිබෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවාට සැකයක් නැහැ. හොෂෙයා ඔහුගේ භාර්යාව වන ගෝමෙර් සමඟ කටයුතු කළ ආකාරය යෙහෝවා ඊශ්‍රායෙල් රාජ්‍යයේ වැසියන් සමඟ කටයුතු කළ ආකාරයට සමාන වෙනවා. ඔවුන් දෙවිට ද්‍රෝහි වුණත් ඔවුන් පසුතැවිලි වෙනවා නම් දෙවි ඔවුන්ට දයාව පෙන්වීමට සූදානමින් සිටියා. ගෝමෙර් හොෂෙයාට දාව එක දරුවෙක්ද, තවත් අවජාතක දරුවන් දෙදෙනක්ද බිහි කළා. හොෂෙයා ඔහුගේ භාර්යාව වැරදි කළත් ආපසු බාරගත්තා හා සමානව යෙහෝවාද පසුතැවිලි වූ ඊශ්‍රායෙල් වැසියන්ට දයාව පෙන්වුවා.—හොෂෙයා 1:1–3:5.

4 ඊශ්‍රායෙල් වැසියන් සත්‍යවාදී වුණේ නැහැ. දෙවි පිළිබඳව ඔවුන්ට තිබූ දැනුමට එකඟව ක්‍රියා කළේ නැහැ. එමෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටියේද නැහැ. එනිසා ඔවුන්ට විරුද්ධව නඩුවක් විභාග කරන්න යෙහෝවාට තිබුණා. පිළිම නමස්කාරයට ඇදී ගිය ඊශ්‍රායෙල්වරුන් හා හිතුවක්කාර යූදා රාජ්‍යයේ වැසියන් ඔවුන් කළ වැරදිවලට දෙවිට ගණන් දීමට සිදු වුණා. කෙසේවෙතත් දෙවිගේ සෙනඟ “පීඩාවේදී” ඕනෑකමින් යෙහෝවාව සෙව්වා.—හොෂෙයා 4:1–5:15.

කතාව දිගහැරෙයි

5, 6. (අ) වේශ්‍යාකම ඊශ්‍රායෙල් දේශය පුරා කොතරම් දුරකට ව්‍යාප්ත වී තිබුණාද? (ආ) පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන්ට දුන් අනතුරු ඇඟවීම අපිත් සැලකිල්ලට ගත යුත්තේ ඇයි?

5 දෙවි හොෂෙයාට මෙසේ අණ කළා. “ඔබ ගොස් වේශ්‍යාවක් වූ භාර්යාවක්ද වේශ්‍යාවන් වූ දරුවන්ද ඔබට ගන්න; මක්නිසාද දේශය යෙහෝවා වෙතින් ඉවත ගොස් බොහෝ වේශ්‍යාකම් කෙරේ.” (හොෂෙයා 1:2) වේශ්‍යාකම ඊශ්‍රායෙල් දේශය පුරා කොතරම් ව්‍යාප්ත වී තිබුණාද? මේ ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. “වේශ්‍යාකමේ සිත ඔවුන් [එනම් ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන්ව] මුළා කෙරෙව්වේය; ඔවුහු තමන්ගේ දෙවි වෙතින් හැරී වේශ්‍යාකමට ගියෝය; . . . ඔබේ දූවරු වේශ්‍යාකම් කරති; ඔබේ මනමාළියෝ කාමමිථ්‍යාචාරය කරති; . . . ඔවුහු වේශ්‍යාවන් සමඟ යති; වේශ්‍යාවන් සමඟ යාග කරති.”—හොෂෙයා 4:12-14.

6 ඊශ්‍රායෙල් දේශය වේශ්‍යාකම්වලින් පිරී තිබූ අතර එහි වැසියන් සැබෑ දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා. නමස්කාරය අතින් බලද්දී එයත් හරියට වේශ්‍යාකමක් වගෙයි. මේ නිසා ඔවුන්ට ‘දඬුවම් කිරීමට’ යෙහෝවාට සිදු වුණා. (හොෂෙයා 1:4; 4:9) මෙය අපටත් අනතුරු ඇඟවීමක් වෙනවා. ලිංගික දුරාචාරයේ නියැලෙන අයට මෙන්ම බොරු නමස්කාරයේ හවුල් වන අයටද යෙහෝවාට ගණන් දෙන්න සිදු වෙනවා. එහෙත් දෙවි සමඟ ගමන් කරන අය නිර්මල නමස්කාරය සම්බන්ධයෙන් ඔහු දී තිබෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වන අතර “වේශ්‍යාකම් කරන්නෙකුට . . . ක්‍රිස්තුස්ගේ සහ දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන බව” ඔවුන් දන්නවා.—එෆීස 5:5; යාකොබ් 1:27.

7. හොෂෙයා ගෝමෙර් සමඟ විවාහ වීම සමාන වූයේ කුමකටද?

7 හොෂෙයා ගෝමෙර්ව විවාහ කරගත් අවස්ථාවේදී ඇය කන්‍යාවක්ව සිටියා. ඇය “ඔහු නිසා ගර්භිණීව පුත්‍රයෙකු වැදූ” කාලයේදී ඔහුට විශ්වාසවන්තව සිටියා. (හොෂෙයා 1:3) අපි සලකා බලන කතාවේ සඳහන් මේ සිද්ධියට සමාන දෙයක් ක්‍රි.පූ. 1513දී සිදු වුණා. ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවේ වහල්භාවයෙන් නිදහස් වූ ඒ වසරේදී දෙවි ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තා. මෙය විවාහ ගිවිසුමකට සමාන කරන්න පුළුවන්. එම ගිවිසුමට එකඟ වූ ඊශ්‍රායෙල් ජාතිය ඇගේ “ස්වාමිපුරුෂයා” හා සමාන වූ යෙහෝවාට විශ්වාසවන්තව සිටීමට පොරොන්දු වුණා. (යෙසායා 54:5) මේ අනුව හොෂෙයා කන්‍යාවක්ව සිටි ගෝමෙර් සමඟ විවාහ වීම, දෙවි ඊශ්‍රායෙල් ජාතිය සමඟ ගිවිසුමක් මගින් ඇති කරගත් සම්බන්ධතාවට සමාන කළ හැකියි. එහෙත් පසු කාලයේදී දේවල් වෙනස් වුණා. ඒ කොහොමද?

8. ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය බිහි වුණේ කොහොමද? එහි පැවති නමස්කාරය ගැන කිව හැක්කේ කුමක්ද?

8 හොෂෙයාගේ භාර්යාව “නැවත ගර්භිණීව දුවක වැදුවාය.” මේ දරුවාත් ඊට පස්සේ ඉපදුණු දරුවාත් බිහි වුණේ ඇය වේශ්‍යාකම් කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. (හොෂෙයා 1:6, 8) ගෝමෙර්ගෙන් නියෝජනය වන්නේ ඊශ්‍රායෙල් ජාතිය නිසා ඔබ තුළ මේ ප්‍රශ්නය ඇති විය හැකියි. ‘ඊශ්‍රායෙල් ජාතිය වේශ්‍යාවක් වුණේ කොහොමද?’ ක්‍රිස්තු පූර්ව 997දී ගෝත්‍ර දහයකින් සමන්විත ඊශ්‍රායෙලය යූදා සහ බෙන්යමින් ගෝත්‍ර දෙකෙන් වෙන් වී ගියා. උතුරේ පිහිටි ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ වසු නමස්කාරය මුලින්ම ආරම්භ වුණේ ඒ කාලයේදීයි. මෙම නමස්කාරය පිහිටෙව්වේ යූදා දේශයේ පිහිටි යෙරුසලමේ දේවමාලිගාවට ගොස් යෙහෝවාට නමස්කාර කිරීම වැළැක්වීමටයි. බාල් නමැති බොරු දෙවියාට නමස්කාර කිරීම ඊශ්‍රායෙල් දේශය පුරා දක්නට තිබුණා. ඔවුන්ගේ ආගමික උත්සවවලදී අනාචාරකම් බහුලව සිදු කෙරුණා.

9. හොෂෙයා 1:6හි පුරෝකථනය කළ විදිහට ඊශ්‍රායෙලයට සිදු වුණේ කුමක්ද?

9 ගෝමෙර් දෙවන දරුවාව බිහි කළ පසු, මෙම අවජාතක දැරියට “ලෝරුහාමා යන නම තබන්න” කියා දෙවි හොෂෙයාට පැවසුවා. මෙම නමේ අර්ථය “ඇයට කරුණා නොකරන්නෙමි” යන්නයි. මින් පැහැදිලි වන්නේ ‘ඊශ්‍රායෙල් වංශයට දෙවි තවදුරටත් කරුණා නොකරන’ බවයි. (හොෂෙයා 1:6) ක්‍රිස්තු පූර්ව 740දී දස ගෝත්‍ර රාජ්‍යයේ ඊශ්‍රායෙල් වැසියන්ව වහල්භාවයට ගෙන යෑමට ඇසිරියානුවන්ට ඉඩහැරීමෙන් පෙනී යන්නේ යෙහෝවා ඔවුන්ට කරුණා නොකළ බවයි. එහෙත් දෙවි ගෝත්‍ර දෙකේ යූදා රාජ්‍යයට කරුණාව පෙන්වා ඔවුන්ව ගලවාගත්තා. ඔහු ඔවුන්ට ගැලවීම ලබා දුන්නේ දුන්නෙන්, කඩුවෙන්, සටනින්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් නොවෙයි. (හොෂෙයා 1:7) ක්‍රිස්තු පූර්ව 732දී ඇසිරියානුවන් යෙරුසලමේ අගනුවර වූ යූදා රාජ්‍යය අල්ලාගැනීමට පැමිණි අවස්ථාවේදී එක් දේවදූතයෙක් එක රැයකදී ඇසිරියානු භටයන් 1,85,000කට පහර දී යූදාවරුන්ව ගලවාගත්තා.—2 රාජාවලිය 19:35.

ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කාරණයක් විභාග කෙරේ

10. වේශ්‍යාවක් වූ ගෝමෙර් හා සමානව ඊශ්‍රායෙලයේ දස ගෝත්‍රය කළේ කුමක්ද?

10 හොෂෙයාගේ භාර්යාව වූ ගෝමෙර් ඔහුව අත්හැර වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වුණා. මෙසේ ඇය “වේශ්‍යාවක්” වුණා. ඇය කළා හා සමාන දෙයක් ඊශ්‍රායෙල් රාජ්‍යයේද සිදු වුණා. එම දස ගෝත්‍ර රාජ්‍යය පිළිම නමස්කාරය බහුලව පැවති දේශවල සිටි පාලකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්න පටන්ගත්තා. ඔවුන් ලැබූ සමෘද්ධිය වෙනුවෙන් යෙහෝවාට ගෞරවය දෙනවා වෙනුවට ඔවුන් කළේ එම ජාතීන් ඇදහූ දෙවිවරුන්ට ගෞරවය දීමයි. මෙලෙස ඊශ්‍රායෙල් දස ගෝත්‍රය බොරු නමස්කාරයේ හවුල් වීම නිසා යෙහෝවා සමඟ තිබූ විවාහය හා සමාන ගිවිසුම බිඳ වැටුණා. මෙසේ ඔවුන් යෙහෝවාට ද්‍රෝහි වී බොරු නමස්කාරයේ හවුල් වීම නිසා ඔවුන්ට විරුද්ධව කාරණයක් විභාග කිරීමට යෙහෝවාට තිබුණා.—හොෂෙයා 1:2; 2:2, 12, 13.

11. ඊශ්‍රායෙල් හා යූදා ගෝත්‍ර වැසියන්ව වහල්භාවයට ගෙන යෑමට යෙහෝවා වෙනත් ජාතීන්ට ඉඩහැරියත් නීතික ගිවිසුම අවලංගු වුණාද?

11 ඊශ්‍රායෙල් ජාතිය ඔවුන්ගේ ස්වාමිපුරුෂයා හා සමාන වූ යෙහෝවා දෙවිව අත්හැරීම නිසා ඔවුන්ට ලැබුණු දඬුවම කුමක්ද? ක්‍රිස්තු පූර්ව 740දී ඇසිරියානුවන් විසින් ඊශ්‍රායෙල් ජාතියව වහල්භාවයට ගෙන යෑම යෙහෝවා ඉඩහැරියා. එමෙන්ම පසු කාලයේදී බැබිලෝනියේ තිබූ “වනයට” ඔවුන්ව ගෙන යෑමටත් දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරියා. (හොෂෙයා 2:14) ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යය නැතිවීමට යෙහෝවා ඉඩහැරියත් මුලින්ම ගෝත්‍ර දොළහෙන්ම සමන්විත වූ මුළු ජාතිය සමඟම කළ ගිවිසුම අවලංගු කළේ නැහැ. ක්‍රිස්තු පූර්ව 607දී යෙරුසලම විනාශ කර යූදාවරුන්ව වහල්භාවයට ගෙන යෑමට බැබිලෝනිවරුන්ට දෙවි ඉඩහැරියත් මෝසෙස් මාර්ගයෙන් ගෝත්‍ර 12 සමඟම ඇති කළ නීතික ගිවිසුම අවලංගු කළේ නැහැ. මෙම ගිවිසුම අවලංගු වුණේ යුදෙව් නායකයන් යේසුස් ක්‍රිස්තුස්ව එපා කර ක්‍රි.ව. 33දී ඔහුව මරණයට පත් කිරීමෙන් පසුවයි.—කොලොස්සි 2:14.

යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට අවවාද කරයි

12, 13. හොෂෙයා 2:6-8හි සඳහන් විස්තරය කෙටියෙන් පවසන්න. එම වගන්තිවල සඳහන් වදන් ඊශ්‍රායෙල්වරුන්ට අදාළ වුණේ කොහොමද?

12 ‘වේශ්‍යාකම් පහ කරන’ ලෙස යෙහෝවා ඊශ්‍රායෙල් රාජ්‍යයට අවවාද කළත් ඇයට ආදරය කළ ඇත්තන් පසුපස ඇය ගියා. (හොෂෙයා 2:2, 5) මේ නිසා යෙහෝවා ඊශ්‍රායෙල්ට මෙසේ පැවසුවා. “බලව, ඔබේ මාර්ගය කටුවලින් අහුරන්නෙමි; මාර්ගය සොයාගන්ට බැරි ලෙස ඇයට විරුද්ධව බිත්තියක් බඳින්නෙමි; ඇය තමාගේ ආදර ඇත්තන් අනුව යන නමුත් ඔවුන්ට ළං නොවන්නීය; ඇය ඔවුන් සොයන්නීය; ඔවුහු ඇයට සම්බ නොවන්නෝය; එකල ඇය කතා කොට: මාගේ පළමු පුරුෂයා ළඟට හැරී යන්නෙමි; මක්නිසාද දැනට වඩා ඒ කාලය මට යහපත්ව තිබුණේයයි කියන්නීය; මා විසින් ධාන්‍ය මිදියුෂ හා තෙල් ඇයට දුන් බවත් ඔවුන් බාල්ට සෑදූ රන් රිදී වැඩි කළ බවත් ඇය නොදත්තීය.”—හොෂෙයා 2:6-8.

13 ඊශ්‍රායෙල් රාජ්‍යය ඇයට ‘ආදරය ඇත්තන්’ ලෙස සැලකූ ජාතීන්ගෙන් උපකාරය ඉල්ලුවත් ඒ කිසි කෙනෙකුට ඇයට උපකාර කරන්න නොහැකි වුණා. ඇයට උපකාර කිරීමට කිසිවෙකුට නොහැකි වන ලෙස ඇගේ මාර්ග අහුරා තිබුණා. අවුරුදු තුනක් වටලාගෙන සිටීමෙන් පසු ඇසිරියානු හමුදාව විසින් ක්‍රි.පූ. 740දී ඇගේ අගනුවර වන සමාරිය යටත් කරගත්තා. ඉන්පසු කවදාවත් දස ගෝත්‍ර රාජ්‍යය නැවත පිහිටුවනු ලැබුවේ නැහැ. තමන්ගේ මුතුන්මිත්තන් යෙහෝවාට සේවය කළ කාලයේදී යහපත් දේවල් භුක්ති වින්ද බව තේරුම්ගත්තේ වහල්භාවයේ සිටි ඊශ්‍රායෙල්වරුන්ගෙන් ටිකදෙනෙක් පමණයි. ඒ අය බාල් නමස්කාරය ප්‍රතික්ෂේප කර යෙහෝවා සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම නැවතත් අලුත් කරගන්න වෑයම් කළා.

කතාව වෙනත් පැත්තකට යොමු වෙයි

14. හොෂෙයා ගෝමෙර්ව නැවතත් භාර්යාව හැටියට පිළිගත්තේ ඇයි?

14 හොෂෙයාගේ විවාහ ජීවිතය සහ ඊශ්‍රායෙල්වරු යෙහෝවා සමඟ ඇති කරගෙන තිබුණු සම්බන්ධතාව අතර ඇති සමානකම් වඩාත් හොඳින් තේරුම්ගැනීම සඳහා මේ වචන සලකා බලමු. “යෙහෝවා මට කතා කොට: . . . ඔබ නැවත ගොස් කාමමිථ්‍යාචාරිනියක් වූ තමාගේ මිත්‍රයාට ප්‍රිය වූ ස්ත්‍රියකට ආදරය වෙන්න.” (හොෂෙයා 3:1) මෙයට කීකරු වූ හොෂෙයා වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වෙමින් සිටි ගෝමෙර්ව නැවත මිල දී ගත්තා. ඉන්පසු හොෂෙයා ඔහුගේ භාර්යාවට මෙසේ තදින් අවවාද කළා. “ඔබ බොහෝ දවස් මා ගැන බලා සිටින්න; වේශ්‍යාකම් නොකරන්න; අන් පුරුෂයෙකුට භාර්යාවක් නොවන්න.” (හොෂෙයා 3:2, 3) ගෝමෙර් ඇයට ලැබුණු උපදෙස් පිළිගත් නිසා හොෂෙයා ඇයව භාර්යාව හැටියට නැවතත් පිළිගත්තා. යෙහෝවා ඊශ්‍රායෙල් හා යූදා ගෝත්‍ර සමඟ කටයුතු කළ ආකාරයට මෙය සමාන වන්නේ කොහොමද?

15, 16. (අ) වහල්භාවයේ සිටි සෙනඟ දෙවිගේ දයාව ලැබීමට කුමක් කළ යුතු වුණාද? (ආ) හොෂෙයා 2:18හි සඳහන් වදන් ඉටු වී තිබෙන්නේ කොහොමද?

15 ඊශ්‍රායෙල් හා යූදා ගෝත්‍රවල වැසියන් බැබිලෝනියේ වහල්භාවයේ සිටියදී ඔවුන්ට “සැනසෙන ලෙස” එනම් ඔවුන් තුළ පසුතැවිල්ලක් ඇති වන ලෙස කතා කිරීමට දෙවි අනාගතවක්තෘවරුන්ව යැව්වා. දෙවිගේ දයාව ලබාගැනීමට නම් ඔවුන් පසුතැවිලි වී ගෝමෙර් ඇගේ ස්වාමිපුරුෂයා වෙතට ගියා හා සමානව ඔවුන්ද ස්වාමිපුරුෂයෙකු හා සමාන යෙහෝවා දෙවි වෙතට යා යුතු වුණා. එසේ වූවා නම් යෙහෝවා ඔහුගේ භාර්යාව බඳු උපදෙස් පිළිගත් ජාතියව බැබිලෝනියේ ‘වනයෙන්’ නිදහස් කරගෙන ආපසු යුදයට හා යෙරුසලමට ගෙන එන බවට පොරොන්දු වුණා. (හොෂෙයා 2:14, 15) ඔහු මෙම පොරොන්දුව ක්‍රි.පූ. 537දී ඉටු කළා.

16 දෙවි මෙම පොරොන්දුවත් ඉටු කළා. “ඒ දවස ඔවුන් උදෙසා වන මෘගයන්ද ආකාශ පක්ෂීන්ද බඩගා යන ජාතීන්ද සමඟ ගිවිසුමක් කරන්නෙමි; දේශයෙන් දුන්නද කඩුවද සටනද බිඳ ඔවුන් සුවසේ සැතපෙන්ට සලස්වන්නෙමි.” (හොෂෙයා 2:18) ආපසු තම මව්බිමට පැමිණි යුදෙව්වන්ගෙන් ඉතිරි කොටසක් සතුන්ට පවා නොබියව සුරක්ෂිතව එහි ජීවත් වුණා. වර්ෂ 1919දීත් මෙම අනාවැකියේ ඉටුවීමක් දකින්න තිබුණා. දෙවිගේ ඊශ්‍රායෙල් නොහොත් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් ඉතිරි කොටසක් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහ බැබිලෝනියෙන්’ නිදහස් වුණේ ඒ වසරේදීයි. මේ කාලයේදී ඔවුන් පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතිව සිටින ඔවුන්ගේ ආශ්‍රිතයන් සමඟ එක්ව දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් භුක්ති විඳිනවා. මේ සම්බන්ධතාව නිසා ඔවුන්ට සුරක්ෂිතබවක් හා ප්‍රීතියක් දැනෙනවා. මේ සැබෑ ක්‍රිස්තියානීන් අතර තිරිසන් ගතිලක්ෂණ දකින්න නැහැ.—එළිදරව් 14:8; යෙසායා 11:6-9; ගලාති 6:16.

අපට උගත හැකි පාඩම්

17-19. (අ) අපට අනුකරණය කිරීමට දිරිගන්වන්නේ දෙවිගේ කුමන ගුණාංගයද? (ආ) දෙවි පෙන්වන දයානුකම්පාව අපට බලපෑ යුත්තේ කොහොමද?

17 යෙහෝවා දෙවි දයානුකම්පිත දෙවි කෙනෙක් නිසා අපිත් එසේ විය යුතුයි. හොෂෙයා පොතේ මුල් පරිච්ඡේදවලින් අපිට ඉගෙනගත හැකි එක් පාඩමක් වන්නේ එයයි. (හොෂෙයා 1:6, 7; 2:23) දේවානුභාවයෙන් ලියන ලද එක් හිතෝපදේශයක මෙසේ සඳහන් වෙනවා. “තමාගේ අපරාධ සඟවන්නා දියුණු නොවන්නේය; එහෙත් ඒවා කියා දී අත්හරින්නා කරුණාව ලබන්නේය.” (හිතෝපදේශ 28:13) දෙවි පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරුන්ට කරුණාව පෙන්වීමෙන් පෙනී යන්නේ ඔහු එම වදන්වලට එකඟව ඔවුන් සමඟ කටයුතු කළ බවයි. එමෙන්ම ගීතිකාකරු පැවසූ මෙම වදන්ද පසුතැවිලි වන වැරදිකරුවන්ට සැනසීමක් වෙනවාට සැකයක් නැහැ. “දෙවිට දිය යුතු පූජාව නම් බිඳුණු සිතක්ය; දෙවි, ඔබ බිඳුණු තැළුණු සිතක් හෙළා නොදක්නේය.”—ගීතාවලිය 51:17.

18 අපි නමස්කාර කරන දෙවි දයානුකම්පාවෙන් පූර්ණ දෙවි කෙනෙක් බව හොෂෙයාගේ අනාවැකියේ අවධාරණය කරනවා. යම් කෙනෙක් දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගවලින් ඉවත්ව ගියත් ඔහු පසුතැවිලි වී වැරදි මාර්ගවලින් හැරෙනවා නම් යෙහෝවා ඔහුව පිළිගන්නවා. යෙහෝවා විවාහය හා සමාන ගිවිසුමක් ඇති කරගෙන තිබුණු ඊශ්‍රායෙල්වරුන් පසුතැවිලි වූ විට ඔහු ඔවුන්ට කරුණාව පෙන්නුවා. ඔවුන් යෙහෝවාට අකීකරු වී ‘ඔහුට දුක් දුන්නත්’ ඔහු ‘ඔවුන් මාංසමය බව සිහි කර’ ඔවුන්ට ‘අනුකම්පා’ කළා. (ගීතාවලිය 78:38-41) එවැනි දයානුකම්පිත ගුණාංගවලින් පිරි අපේ දෙවි වන යෙහෝවා සමඟ ගමන් කිරීමට අප තුළ පෙලඹීමක් ඇති විය යුතු නැද්ද!

19 මිනී මැරීම, සොරකම් කිරීම හා අනාචාරය ඊශ්‍රායෙලය පුරා පැතිරී තිබුණත් ඔවුන් තුළ පසුතැවිල්ලක් ඇති වන ලෙස යෙහෝවා ඔවුන්ට කතා කළා. (හොෂෙයා 2:14, 4:2) යෙහෝවා පෙන්වා තිබෙන දයානුකම්පාව ගැන අපි සිතා බලද්දී එය අපේ සිතට තදින් කාවැදිය යුතුයි. එමෙන්ම ඔහු සමඟ තිබෙන අපේ සම්බන්ධතාවද එමගින් තවත් ශක්තිමත් විය යුතුයි. මේ නිසා අපි මෙම ප්‍රශ්න හොඳින් සිතා බැලීම වැදගත් වෙනවා. ‘මම අනිත් අය සමඟ ක්‍රියා කරද්දී යෙහෝවා පෙන්වන දයානුකම්පාව පෙන්වන්න මටත් පුළුවන් කොහොමද? මට යම් වරදක් කළ සෙසු ඇදහිලිවන්තයෙක් සමාව ඉල්ලනවා නම් දෙවි වගේ සමාව දෙන්න මම කැමතිද?’—ගීතාවලිය 86:5.

20. දෙවි අපි ඉදිරියෙහි තබා තිබෙන බලාපොරොත්තුව ගැන අපිට ස්ථිර විය හැකි බවට උදාහරණයක් දෙන්න.

20 දෙවි ස්ථිර බලාපොරොත්තුවක් සපයනවා. මීට උදාහරණයක් ලෙස ඔහුගේ මෙම පොරොන්දුව ගැන සලකා බලමු. “පැතීමේ දොරක් පිණිස ආඛොර් මිටියාවත ඇයට දෙන්නෙමි.” (හොෂෙයා 2:15) යෙහෝවාගේ භාර්යාව බඳු ඊශ්‍රායෙල් සෙනඟට ‘ආඛොර් මිටියාවතේ’ පිහිටා තිබුණු තමන්ගේ මව්බිමට ආපසු පැමිණීමේ ස්ථිර බලාපොරොත්තුවක් තිබුණා. එම පොරොන්දුව ක්‍රි.පූ. 537දී ඉටු වුණා. ඉන් තහවුරු වන්නේ යෙහෝවා දෙවි අපිට දී තිබෙන පොරොන්දුත් ස්ථිර වශයෙන්ම ඉටු වන බවයි.

21. දෙවි සමඟ ගමන් කිරීමේදී ඔහු ගැන තිබෙන දැනුමට එකඟව ජීවත් වීම අවශ්‍ය වන්නේ ඇයි?

21 අපි දෙවි සමඟ දිගටම ගමන් කිරීමට නම් ඔහු ගැන දැනුම දිගටම ලබාගනිමින් ඒ අනුව ජීවත් විය යුතුයි. ඊශ්‍රායෙල්වරුන් දෙවි ගැන ඔවුන්ට තිබුණු දැනුමට එකඟව ජීවත් වුණේ නැහැ. (හොෂෙයා 4:1, 6) ඒත් සමහරුන් දෙවිගේ ඉගැන්වීම් පිළිගෙන, ඒ අනුව ජීවත් වූ නිසා මහත් ආශීර්වාද ලැබුවා. හොෂෙයා ඒ අයගෙන් කෙනෙක්. ඒ වගේම බාල් දෙවියාට දණ නොනැමූ එලියාගේ කාලයේ සිටි 7,000දෙනාද එවැනි අයයි. (1 රාජාවලිය 19:18; රෝම 11:1-4) දෙවිගේ ඉගැන්වීම් ගැන අප තුළ අවංක අගය කිරීමක් තිබෙනවා නම්, දෙවි සමඟ ගමන් කිරීමට එය උපකාරවත් වෙනවා.—ගීතාවලිය 119:66; යෙසායා 30:20, 21.

22. සැබෑ නමස්කාරයට පිටුපා ක්‍රියා කිරීම අප සැලකිය යුත්තේ කොහොමද?

22 තම සෙනඟ අතර පෙරමුණ ගෙන ක්‍රියා කරන අය සැබෑ නමස්කාරයට පක්ෂව සිටීම යෙහෝවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. කෙසේවෙතත් හොෂෙයාගේ කාලයේ සිදු වූයේ ඊට වඩා වෙනස් දෙයක්. මේ ගැන හොෂෙයා 5:1හි අපිට මෙසේ කියවීමට තිබෙනවා. “පූජකයිනි, මේක අසන්න; ඊශ්‍රායෙල් වංශය, ඇහුම්කන් දෙන්න; රාජ වංශය, කන් යොමු කරන්න; කුමක් හෙයින්ද ඔබ පිටට විනිශ්චය පැමිණෙන්ට තිබෙන්නේය; මක්නිසාද ඔබ මිශ්පාහි මලපතක්ද තාබොර් පිට ඇතුරූ දැලක්ද මෙන් වුණහුය.” සැබෑ නමස්කාරයට පිටුපාමින් ක්‍රියා කළ ආගමික නායකයන් ඊශ්‍රායෙල්වරුන්ව බොරු නමස්කාරයට පොලඹවාගැනීමට තැත් කළා. ඔවුන් ක්‍රියා කළේ ඊශ්‍රායෙල්වරුන්ව හසු කරගන්න මලපතක් හා දැලක් වගෙයි. තාබොර් කන්ද සහ මිෂ්පා කියා හැඳින්වූ ප්‍රදේශය එවැනි බොරු නමස්කාරයේ යෙදෙන මධ්‍යස්ථාන වුණා.

23. හොෂෙයා පොතේ 1 සිට 5 දක්වා පරිච්ඡේද සලකා බැලීම ඔබට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

23 මේ දක්වා අපි සලකා බැලූ හොෂෙයාගේ අනාවැකිවලින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි දයානුකම්පාවෙන් පිරි දෙවි කෙනෙක් බවයි. ඔහුගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙමින් සැබෑ නමස්කාරයට පක්ෂව සිටින අයට ඔහු ස්ථිර බලාපොරොත්තුවක් සපයන අතර ඔවුන්ට ආශීර්වාද කරන බව එම අනාවැකියෙන් තවදුරටත් පැහැදිලි වෙනවා. පසුතැවිලි වූ ඊශ්‍රායෙල්වරුන් වගේ අපිත් යෙහෝවා දෙවිව සොයමින් ඔහුගේ කැමැත්ත කිරීමට වෑයම් කරමු. (හොෂෙයා 5:15) අපි මෙසේ කරනවා නම් අපට යහපත නෙළාගන්න පුළුවන්. ඒ වගේම දෙවි සමඟ ගමන් කරන සෙසු ඇදහිලිවන්තයන් මෙන් අපටත් කිසිවකින් නොලැබෙන ප්‍රීතියක් හා සාමයක් භුක්ති විඳින්නත් පුළුවන්.—ගීතාවලිය 100:2; ෆිලිප්පි 4:6, 7.

[පාදසටහන]

^ 1 ඡේ. බයිබලයේ සඳහන් ඇතැම් සැබෑ සිද්ධීන්වලින් යම් දේවල් නියෝජනය කරන බව ගලාති 4:21-26හි සඳහන් වාර්තාවෙන් පැහැදිලි වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන Insight on the Scriptures නමැති පොතේ 2වන වෙළුමේ 693 සහ 694 පිටු බලන්න.

ඔබේ පිළිතුරු කුමක්ද?

• හොෂෙයා ගොමෙර්ව විවාහ කරගැනීමෙන් නියෝජනය කළේ කුමක්ද?

• ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යෙහෝවාට විභාග කරන්න තිබූ කාරණය කුමක්ද?

හොෂෙයා 1 සිට 5 දක්වා පරිච්ඡේදවලින් ඔබේ සිතට කාවැදුණු පාඩම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

හොෂෙයාගේ භාර්යාවගෙන් නියෝජනය කරන්නේ කාවද කියා ඔබ දන්නවාද?

[19වන පිටුවේ පින්තූරය]

ඇසිරියානුවන් ක්‍රි.පූ. 740දී සමාරිවරුන්ව යටත් කරගත්තා

[20වන පිටුවේ පින්තූරය]

ප්‍රීතියෙන් ඉපිල ගිය සෙනඟ ආපසු සිය මව්බිමට පැමිණියා