Skip to content

පටුනට යන්න

දෙවන ලේකම් පොතෙන් විශේෂාංග

දෙවන ලේකම් පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

දෙවන ලේකම් පොතෙන් විශේෂාංග

සලමොන් රජුගේ පාලනය ගැන විස්තර කරමින් දෙවන ලේකම් පොතෙහි වාර්තාව ආරම්භ වෙනවා. එය අවසන් වෙන්නේ පර්සියානු රජ වන කෝරෙෂ් හෙවත් සයිරස් පැවසූ වචනවලිනුයි. තම දේශයෙන් පිටමං කරනු ලැබූ බැබිලෝනියාවේ සිටි යුදෙව්වරුන්ට ඔහු පැවසුවේ “යූදාහි යෙරුසලමේ ඔහුට ගෘහයක් ගොඩනඟන්ට මට [යෙහෝවා දෙවි] අණ කළේය; ඔහුගේ මුළු සෙනඟගෙන් යම් කෙනෙක් ඔබ අතරේ සිටීද ඔහුගේ දෙවි වූ යෙහෝවා ඔහු සමඟ සිටීවා; ඔහු [යෙරුසලමට] යේවා” කියායි. (2 ලේකම් 36:23) පූජක එස්රා මේ පොත ලියා අවසන් කළේ ක්‍රි.පූ. 460දීයි. මේ පොතේ ක්‍රි.පූ. 1037 සිට ක්‍රි.පූ. 537 දක්වා වූ අවුරුදු 500ක පමණ කාලයක් තුළ සිදුවීම් වාර්තා වෙනවා.

යෙරුසලමට නැවත පැමිණ යෙහෝවාගේ නමස්කාරය යළි පිහිටුවීම සඳහා යුදෙව්වන්ට හැකි වෙන්නේ සයිරස් නිකුත් කරන නියෝගය නිසයි. වසර ගණනාවක් පුරා බැබිලෝනියේ සිරභාරයේ සිටීම නිසා ජාතියක් හැටියට ඔවුන්ගේ ඉතිහාසය ගැන නැවත පැමිණෙන යුදෙව්වන්ට හරි අවබෝධයක් තිබුණේ නැහැ. මේ නිසා දෙවන ලේකම් පොත මගින් දාවිත්ගේ රාජකීය පෙළපතේ රජවරුන්ගේ කාලයේදී සිදු වූ සිදුවීම් ගැන පැහැදිලි සාරාංශයක් මේ යුදෙව්වන්ට ලැබෙනවා. ඔවුන්ට මෙන්ම මේ වාර්තාව අපටත් වැදගත් වෙනවා. සැබෑ දෙවිට කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද ගැනත් අකීකරු වෙද්දී ලැබෙන නරක ප්‍රතිඵල ගැනත් මේ පොත අවධාරණය කරනවා.

රජෙක් යෙහෝවා දෙවිට ගෘහයක් තනයි

(2 ලේකම් 1:1–9:31)

යෙහෝවා දෙවි සලමොන්ගේ සිතේ කැමැත්ත වූ ප්‍රඥාව සහ දැනුමට අමතරව වස්තුව හා ගෞරවයත් ඔහුට ලබාදෙනවා. රජු යෙරුසලමේ යෙහෝවාට ඉතා අලංකාර ගෘහයක් සාදන අතර මේ හේතුවෙන් සෙනඟ බොහෝ සෙයින් ‘සතුටු සිතින් යුතුව ප්‍රීතිමත්’ වුණා. (2 ලේකම් 7:10) “මෙසේ සලමොන් රජ වස්තුවෙනුත් ඥානයෙනුත් පොළොවේ සියලු රජුන්ට වඩා උතුම් විය.”—2 ලේකම් 9:22.

සලමොන් ඊශ්‍රායෙලයේ රජ ලෙස අවුරුදු 40ක් රජකම් කිරීමෙන් පසු “තමන් පියවරුන් සමඟ සැතපී තමන් . . . පුත්‍ර වූ රෙහොබොවම් ඔහු වෙනුවට රජකම් කළේය.” (2 ලේකම් 9:31) සලමොන් සැබෑ නමස්කාරයෙන් ඉවත් වූ බව එස්රා වාර්තා කරන්නේ නැහැ. රජු කළ වැරදි හැටියට එහි සඳහන් වෙන්නේ ඊජිප්තුවෙන් අශ්වයන් බොහොමයක් ගෙන්වා ගැනීමත්, පාරාවෝගේ දියණිය සමඟ විවාහ වීමත් පමණයි. මෙහි ලේඛකයා සලමොන් කළ යහපත් ක්‍රියාවලට වැඩි අවධානයක් දෙන බව පැහැදිලියි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:14—මෙහි සඳහන් වන කැටයම්කරුගේ පෙළපත ගැන ඇති විස්තරය 1 රාජාවලිය 7:14හි සඳහන් ඔහුගේම පෙළපත ගැන විස්තරයට වෙනස් වෙන්නේ ඇයි? පළමුවෙනි රාජාවලිය පොතේ සඳහන් වෙන්නේ කැටයම්කරුගේ මව “නප්තලී ගෝත්‍රයෙහි වැන්දඹු ස්ත්‍රියක්” බවයි. එයට හේතුව ඇය නප්තලී ගෝත්‍රයේ පුද්ගලයෙක් සමඟ විවාහ වී සිටි නිසයි. නමුත් ඇය දාන් ගෝත්‍රයට අයිති තැනැත්තියක්. ඇගේ සැමියාගේ මරණයෙන් පසුව තීර්හි මනුෂ්‍යයෙක් සමඟ ඇය යළිත් විවාහ වුණා. කැටයම්කරු ඒ විවාහයේ දරුවෙක්.

2:18; 8:10—කම්කරුවන්ගේ වැඩ අධීක්ෂණය කළ මුලාදෑනීන්ගේ සංඛ්‍යාව 3,600ක් සහ 250ක් ලෙස මේ පදවල සඳහන් වෙනවා. නමුත් ඒ සංඛ්‍යාවම 1 රාජාවලිය 5:16; 9:23හි 3,300ක් සහ 550ක් ලෙස වෙනස් ආකාරයට සඳහන් වෙන්නේ ඇයි? පෙනෙනාකාරයට ඒ වෙනසට හේතුව ඒ මුලාදෑනීන්ව බෙදා ඇති ආකාරයයි. සමහරවිට දෙවන ලේකම් පොතේ මුලාදෑනීන්ව බෙදා ඇත්තේ ඊශ්‍රායෙල් නොවන 3,600දෙනෙක් සහ ඊශ්‍රායෙලිතයන් 250දෙනෙක් වශයෙනුයි. නමුත් පළමුවෙනි රාජාවලිය පොතේ මුලාදෑනීන්ව බෙදා ඇත්තේ වැඩ බලන අය 3,300ක් ලෙසත් වැඩ බලන අයගේ ප්‍රධානීන් 550දෙනෙක් ලෙසටයි. ඒ කොහොමවුණත් ඒ මුලාදෑනීන්ගේ මුළු සංඛ්‍යාව 3,850ක් වුණා.

4:2-4—“වාත්තු කළ මුහුද” හෙවත් පූජකයන්ට සේදීම සඳහා අවශ්‍ය වතුර තිබූ විශාල භාජනය සෑදීමේදී එය දරා සිටීමට ගව රූප යොදාගත්තේ ඇයි? බයිබලය තුළ ගවයන්ගෙන් නියෝජනය වෙන්නේ ශක්තියයි. (එසකියෙල් 1:10; එළිදරව් 4:6, 7) ඒ නිසා තඹ ගවයන් 12දෙනෙක් මේ සඳහා තෝරාගැනීම උචිත දෙයක්. එයට හේතුව ටොන් 30ක් බර ඒ “මුහුද” දරා සිටීමට විශාල ශක්තියක් අවශ්‍ය නිසයි. මෙහිදී ගව රූප යොදාගැනීමෙන් දස පනතේ දෙවෙනි පනත උල්ලංගනය වීමක් සිදු වුණේ නැහැ. ඒ පනතේ තහනම් කරන්නේ නමස්කාරය සඳහා රූප යොදාගැනීමයි.—නික්මයාම 20:4, 5.

4:5වාත්තු කළ මුහුදේ’ සම්පූර්ණ ධාරිතාව කොපමණද? එහි බාත් තුන්දාහක පමණ ජල ප්‍රමාණයක් දමන්න හැකි වුණා. ඒ කියන්නේ ලීටර් 66,000ක්. නමුත් සාමාන්‍යයෙන් එයට පිරෙව්වේ ඒ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණයි. පළමුවන රාජාවලිය 7:26හි සඳහන් වෙන්නේ මෙයයි. “එහි බාත් දෙදාහක් [ලීටර් 44,000ක්] ඇල්ලුවේය.”

5:4, 5, 10—සලමොන් සෑදූ දේවමාලිගාවට ගෙන යනු ලැබුවේ මණ්ඩපයේ හෙවත් සම්මුඛ වීමේ කූඩාරමේ තිබුණු කුමන දේවල්ද? සලමොන් සෑදූ දේවමාලිගාවට මණ්ඩපයේ තිබූ දේවල්වලින් ගෙන යනු ලැබූ එකම දෙය වුණේ ගිවිසුම් පෙට්ටියයි. දේවමාලිගාව ගොඩනැඟීමෙන් පසුව ගිබියොන් නගරයේ තිබූ මණ්ඩපය යෙරුසලමට ගෙන යනු ලැබ එහි තැබුවා විය හැකියි.—2 ලේකම් 1:3, 4.

අපට ගත හැකි පාඩම්:

1:11, 12. සලමොන්ට වඩාත්ම වැදගත් දෙය වුණේ ප්‍රඥාව සහ දැනුම ලබාගැනීම බව ඔහුගේ ඉල්ලීමෙන් යෙහෝවා දෙවිට පැහැදිලි වුණා. අපිට වඩාත්ම වැදගත් දෙය කුමක්ද කියන එක අපේ යාච්ඤාවලින් යෙහෝවා දෙවි දැනගන්නවා. අපි යාච්ඤා කරන්නේ මොන වගේ දේවල් ගැනද කියා සිතා බැලීම නැණවත් දෙයක්.

6:4. යෙහෝවා දෙවිගේ ප්‍රේමණීය කරුණාව හා යහපත්කම අපි මුළු හදින්ම අගය කරනවා නම් ඔහුට ආශීර්වාද කිරීමට අපි පෙලඹෙන්න ඕනේ. ප්‍රේමයෙන් හා ස්තුතිවන්තභාවයෙන් යුතුව ඔහුට ප්‍රශංසා කිරීමෙන් ඔහුට ආශීර්වාද කිරීමට අපිට පුළුවන්.

6:18-21. දෙවිට වාසය කිරීමට කුමනාකාරයේ ගොඩනැඟිල්ලක්වත් ප්‍රමාණවත් නැහැ. දේවමාලිගාව තිබුණේ යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ කේන්ද්‍රස්ථානය හැටියටයි. අද දින තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවන්, ඒ ඒ ප්‍රදේශවල සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථාන වෙයි.

6:19, 22, 32. යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමට රජුට වගේම දේශයේ සිටි සාමාන්‍ය ජනයාටද ප්‍රස්තාව තිබුණා. අවංක සිතක් තිබූ විදේශියෙකුට වුණත් ඔහුට යාච්ඤා කිරීමට ප්‍රස්තාව තිබුණා. *ගීතාවලිය 65:2.

දාවිත්ගේ පෙළපතින් පැමිණි රජවරු

(2 ලේකම් 10:1–36:23)

මෙතෙක් එක්සත්ව පැවතී ඊශ්‍රායෙල් රාජ්‍යය දැන් දෙකට බෙදෙනවා. එනම් උතුරේ ගෝත්‍ර දහය එක රාජ්‍යයක් හැටියටත්, යූදා සහ බෙන්ජමින් ගෝත්‍ර දෙක අනික් රාජ්‍යය හැටියටත් බෙදෙනවා. ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර 12 රාජ්‍යවල් දෙකකට බෙදුණත්, යෙහෝවා දාවිත්ගේ පෙළපතට රජකම ලබාදෙන බව පොරොන්දු වූ නිසා පූජකයෝ සහ ලෙවීවරුන් සාලමොන්ගේ පුත්‍ර රෙහොබොවම්ට පක්ෂව සිටින්න තීරණය කරනවා. දේවමාලිගාව සාදා වසර තිහක් ගත වී ටික කාලයකට පසුව එහි තිබූ වටිනා දේවල් සොරකම් කරනු ලබනවා.

රෙහොබොවම්ගෙන් පසුව රජවරු 19දෙනෙක් පාලනය කරනවා. ඔවුන්ගෙන් 5දෙනෙක් යෙහෝවා දෙවිට ඇදහිලිවන්තව සිටියා. තුන්දෙනෙක් මුලින් ඇදහිලිවන්තව සිටියත් පසුව යෙහෝවා දෙවිට විරුද්ධව ක්‍රියා කරනවා. එක්කෙනෙක් මුලින් දෙවිට විරුද්ධව ක්‍රියා කළත් පසුව වෙනස් වී යෙහෝවා වෙතට හැරි එනවා. ඉතුරු සියලුදෙනාම යෙහෝවා දෙවි ඉදිරියේ නපුරුව තිබූ දේවල් කළා. * මේ කොටසේ වැඩියෙන්ම විස්තර කරන්නේ යෙහෝවා කෙරෙහි තම විශ්වාසය තැබූ රජවරුන් පස්දෙනාගේ ක්‍රියා ගැනයි. මෙතෙක් නැවතී තිබූ දේවමාලිගාවේ නමස්කාරය හෙසකියා විසින් යළි ආරම්භ කළ ආකාරය සහ යොෂියා පාස්කු මංගල්‍යය උත්කර්ෂවත් ආකාරයකින් පැවැත්වීම සඳහා සැලසුම් කළ ආකාරය ගැන දැනගැනීමෙන් යෙරුසලමේ යෙහෝවාගේ නමස්කාරය නැවත පිහිටුවීමට උනන්දු වූ එස්රාගේ කාලයේ සිටි යුදෙව්වන් ලොකු දිරිගැන්වීමක් ලබන්න ඇති.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

13:5—“ලුණු ගිවිසුම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යම් දෙයක් කල්පවත්වා ගැනීමට එයට තිබෙන හැකියාව නිසා සදාකාලික බව හා වෙනස් නොවන බව සංකේතවත් කිරීමට ලුණු යොදාගත්තා. එමනිසා “ලුණු ගිවිසුමකින්” යම් පොරොන්දුවකට බැඳී සිටීමක් අදහස් කරයි.

14:2-5; 15:17—ආසා රජු “උස් තැන්” සියල්ලක්ම ඉවත් කළාද? පෙනෙනාකාරයට ඔහු එසේ කළේ නැහැ. සමහරවිට ආසා රජු මිනිසුන් යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා භාවිත කළ උස් තැන් ඉතුරු කරමින්, බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම සඳහා භාවිත කළ උස් තැන් පමණක් ඉවත් කරන්න ඇති. එහෙමත් නැත්නම් ආසා රජුගේ පාලන සමයේ අවසාන කාලයේදී මිනිස්සු නැවතත් උස් තැන් ගොඩනැඟුවා විය හැකියි. කෙසේවෙතත් ඔහුගේ පුත්‍ර යෙහෝෂාපාට් මේ උස් තැන් ඉවත් කළා. නමුත් යෙහෝෂාපාට්ගේ පාලන සමයේදී වුණත් උස් තැන් සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබුවේ නැහැ.—2 ලේකම් 17:5, 6; 20:31-33.

15:9; 34:6—ඊශ්‍රායෙල් රාජ්‍යය බෙදුණු අවස්ථාවේදී සිමියොන්ගේ ගෝත්‍රය ගත්තේ කොයි පැත්තද? සිමියොන්ට උරුම වූ ප්‍රදේශ යූදා දේශය තුළ තිබුණු නිසා භූගෝලීය වශයෙන් සිමියොන් ගෝත්‍රය අයිති වුණේ යූදා හා බෙන්ජමින් රාජ්‍යයටයි. (යෝෂුවා 19:1) කෙසේවෙතත් ආගමික වශයෙන් හා දේශපාලනමය වශයෙන් ඒ ගෝත්‍රය සම්බන්ධ වුණේ උතුරු රාජ්‍යයත් සමඟයි. (1 රාජාවලිය 11:30-33; 12:20-24) එමනිසා සිමියොන්ව ගණන් කළේ දස ගෝත්‍ර රාජ්‍යයත් සමඟයි.

16:13,14—ආසාගේ මිනිය ආදාහනය කළාද? නැහැ. ‘ඔහු උදෙසා දල්වනු ලැබූ මහත් ගින්නෙන්’ අදහස් කළේ නානාප්‍රකාර සුවඳ ද්‍රව්‍ය දැල්වීම මිස ආසාගේ මිනිය ආදාහනය කිරීම නෙවෙයි.

35:3—යොෂියා ශුද්ධ වූ ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට ගෙනාවේ කොහේ සිටද? දුෂ්ට රජවරුන්ගෙන් කෙනෙක් මීට කලින් ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවෙන් ඉවත් කළ බවවත් යොෂියා රජු සිදු කළ දේවමාලිගාවේ ප්‍රතිසංස්කරණ වැඩ නිසා ඔහු විසින් ආරක්ෂාව සඳහා එය වෙනත් තැනක තබනු ලැබූ බවවත් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඉතිහාස වාර්තාවේ සලමොන්ගේ කාලයෙන් පසුව ගිවිසුම් පෙට්ටිය ගැන සඳහන් වෙන්නේ යොෂියා විසින් එය දේවමාලිගාවට ගෙනා අවස්ථාව ගැන පමණයි.

අපට ගත හැකි පාඩම්:

13:13-18; 14:11, 12; 32:9-23. යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමේ ඇති වැදගත්කම ගැන අපිට මේ කොටසින් කදිම පාඩමක් ඉගෙනගන්න පුළුවන්.

16: 1-5, 7; 18:1-3, 28-32; 21:4-6; 22:10-12; 28:16-22. විදේශීන් හෝ නොඇදහිලිවන්තයන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමෙන් ඊශ්‍රායෙලිතයන්ට නරක ප්‍රතිඵල හිමි වෙනවා. සැබෑ දෙවිට නමස්කාර නොකරන අය සමඟ අනවශ්‍ය සම්බන්ධකම් පැවැත්වීමෙන් වැළකීම නුවණට හුරු දෙයක්.—යොහන් 17:14, 16; යාකොබ් 4:4.

16:7-12; 26:16-21; 32:25, 26. තමාගේ ජීවිතයේ අන්තිම අවුරුද්දේදී ආසා අහංකාර වී නුසුදුසු ලෙස හැසිරුණා. අහංකාර ලෙස කටයුතු කිරීම උස්සාගේ වැටීමට හේතු වුණා. බැබිලෝනිය රජුගේ නියෝජිතයන්ට තම භාණ්ඩාගාරය පෙන්වීමෙන් හෙසකියා කටයුතු කළේ අඥාන සහ සමහරවිට උඩඟු ලෙස යයි කිව හැකියි. (යෙසායා 39:1-7) බයිබලය අනතුරු අඟවන්නේ “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට ප්‍රථමයෙන් අහංකාර සිතද” වෙන්නේය කියායි.—හිතෝපදේශ 16:18.

16:9. යෙහෝවාට සම්පූර්ණ සිතින් සේවය කරන සියලුදෙනාටම යෙහෝවා උපකාර කරන අතර ඔවුන් වෙනුවෙන් තම බලය යෙදවීමට ආශාවෙන් සිටියි.

18:12, 13, 23, 24, 27. මීකායා මෙන් අපිත් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් කතා කිරීමේදී ධෛර්යයෙන් හා නිර්භීතකමින් එසේ කළ යුතුයි.

19:1-3. අපි සමහර අවස්ථාවලදී යෙහෝවා දෙවිව අසතුටු කළත් යෙහෝවා බලන්නේ අප තුළ තිබෙන යහපතයි.

20:1-28. අපි නිහතමානී ලෙස යෙහෝවාගේ මඟ පෙන්වීම සොයනවා නම් අපට එය ලැබෙන බවට ස්ථිර විය හැකියි.—හිතෝපදේශ 15:29.

20:17. “යෙහෝවා දෙන ගැලවීම” දකින්න නම් අප දේවරාජ්‍යයට උද්‍යෝගයෙන් සහය දීමට “සැරසී” සිටිය යුතුයි. ඉක්මන් වී දේවල් අපේ අතට ගන්නවා වෙනුවට අපි “නිශ්චලව සිට” යෙහෝවා දෙවි කෙරෙහි අපගේ නොසැලෙන විශ්වාසය තැබිය යුතුයි.

24:17-19; 25:14. යෝවාෂ් සහ ඔහුගේ පුත්‍ර අමශියා රූප වන්දනාවේ උගුලට හසු වුණා. ඊට සමාන ආකාරයකින් අද දිනත් කෙනෙක් විශේෂයෙන් තණ්හාව හෝ ජාත්‍යාලය වැනි රූප නමස්කාරයේ විවිධ අංගවලට හසු විය හැකියි.—කොලොස්සි 3:5; එළිදරව් 13:4.

32:6, 7. “දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” අපි, ධෛර්යවත්ව හා ශක්තිමත්ව සිටිමින් අපේ ඇදහිල්ලේ සටන ගෙන යා යුතුයි.—එෆීස 6:11-18.

33:2-9, 12, 13, 15, 16. කෙනෙක් සැබෑ පසුතැවිල්ල පෙන්වන්නේ, තමා ගත කළ වැරදි ජීවිතය අත්හැරීමෙන් සහ හරි දෙය කිරීමට අත්නෑර වෑයමක් දැරීමෙනුයි. අවංක පසුතැවිල්ලක් දැක්වුවහොත්, මනස්සේ රජු තරම් දුෂ්ට ක්‍රියා කළ කෙනෙකුට පවා යෙහෝවා දෙවිගේ කරුණාව ලැබෙන බව ස්ථිරයි.

34:1-3. කුඩා කාලයේදී අප නරක වාතාවරණයක ඇති දැඩි වෙනවා වෙන්න පුළුවන. ඒත් දෙවිව දැන හඳුනාගෙන ඔහුට සේවය කරන්න අපිට පුළුවන්. යොෂියාගේ කුඩා කාලයේදී ඔහුගේ සීයා වූ මනස්සේ දැක්වූ පසුතැවිල්ල යොෂියාට හොඳ බලපෑමක් ඇති කරන්න ඇති. යොෂියාට හොඳ බලපෑම් ලැබුණේ අල්ප වශයෙන් වුණත් අවසානයේදී ඉන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. අපටත් ඒ දේම සිදු විය හැකියි.

36:15-17. යෙහෝවා දෙවි අනුකම්පාවෙන් පූර්ණ ඉවසිලිවන්ත දෙවි කෙනෙක්. ඒ වුණත් ඔහුගේ අනුකම්පාවට හා ඉවසීමට සීමාවක් තිබෙනවා. යෙහෝවා මේ දුෂ්ට සමාජ ක්‍රමය විනාශ කරද්දී බේරෙන්න නම් දේවරාජ්‍යය පිළිබඳව දේශනා කරනු ලබන පණිවුඩයට මිනිසුන් හොඳ ප්‍රතිචාරයක් දැක්විය යුතුයි.

36:17, 22, 23. යෙහෝවාගේ වචනය සෑම විටම ඉටු වෙනවා.—1 රාජාවලිය 9:7, 8; යෙරෙමියා 25:9-11.

පොතක් නිසා ක්‍රියාවට පෙලඹෙයි

“යොෂියා ඊශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට ඊශ්‍රායෙල්හි සිටි සියල්ලන් ලවා ඔවුන්ගේ දෙවි වූ යෙහෝවාට මෙහෙ කරන්ට සැලැස්වීය” කියා 2 ලේකම් 34:33හි සඳහන් වෙනවා. එය කිරීමට යොෂියා පෙලඹුණේ කුමක් නිසාද? ෂාපාන් නම් වූ ලේකම්වරයා අලුතෙන් සොයාගත් යෙහෝවාගේ නීති අඩංගු පොත ගෙනැවිත් යොෂියා රජුට දුන් විට, එය තමාට ඇහෙන්න කියවන ලෙසට රජු අණ කළා. තමා ඇසූ දේ යොෂියාගේ සිතට කොතරම් බලපෑවාද කිවහොත් ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු ඉතා උද්‍යෝගයෙන් සැබෑ නමස්කාරයේ වැඩි දියුණුව වෙනුවෙන් ක්‍රියා කළා.

දේවවචනය කියවීම හා ඒ ගැන ගැඹුරින් සිතා බැලීම අපටත් ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. දාවිත්ගේ පෙළපතට අයත් රජවරුන්ගේ මේ වාර්තාව සලකා බැලීමෙන් යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ අයගේ ආදර්ශය අනුකරණය කිරීමටත් එසේ නොකළ අයගේ හැසිරීම ප්‍රතික්ෂේප කිරීමටත් අපි දිරිගැන්වෙන්නේ නැද්ද? සැබෑ දෙවිට අපගේ තනි භක්තිය පිදීමටත් ඔහුට විශ්වාසවන්තව සිටීමටත් දෙවෙනි ලේකම් පොත අපව පොලඹවනවා. ඇත්තෙන්ම එහි තිබෙන පණිවුඩය ජීවමාන සහ ඉතා බලවත් එකක්.—හෙබ්‍රෙව් 4:12.

[පාදසටහන්වල]

^ 9 ඡේ. දේවමාලිගාවේ කැප කිරීමට සම්බන්ධ ප්‍රශ්න හා ඒ අවස්ථාවේදී සලමොන් කළ යාච්ඤාවෙන් ගත හැකි වෙනත් පාඩම් ගැන දැනගැනීම සඳහා 2005 ජූලි 1 මුරටැඹ කලාපයේ 28-31 දක්වා පිටු බලන්න.

^ 1 ඡේ. යූදාහි පාලනය කළ රජවරුන්ගේ නම් අනුපිළිවෙලින් දැනගැනීම සඳහා 2005 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 12වන පිටුව බලන්න.

[18වන පිටුවේ පින්තූරය]

වාත්තු කළ මුහුද සෑදීමේදී එය දරා සිටීමට ගව රූප යොදාගැනීම උචිත වුණේ ඇයි කියා ඔබ දන්නවාද?

[21වන පිටුවේ පින්තූර]

යොෂියාගේ කුඩා කාලයේදී යෙහෝවා දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට එතරම් දිරිගැන්වීමක් නොලැබුවත් ඔහු යෙහෝවාට විශ්වාසවන්ත කෙනෙක් වුණා