Skip to content

පටුනට යන්න

දේවසේවකයන් හැටියට අපේ හැකියාවන් ප්‍රගුණ කරගනිමු

දේවසේවකයන් හැටියට අපේ හැකියාවන් ප්‍රගුණ කරගනිමු

දේවසේවකයන් හැටියට අපේ හැකියාවන් ප්‍රගුණ කරගනිමු

“ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට මම සියල්ල වුණෙමි.”—1 කොරින්ති 9:22.

1, 2. (අ) පාවුල්ගේ දේවසේවයට හොඳ ප්‍රතිඵල ලැබුණේ කුමන හේතු නිසාද? (ආ) පාවුල් තමාට ලැබුණු පැවරුම සැලකූ ආකාරය ගැන විස්තර කරන්නේ කොහොමද?

ඔහු උසස් පැළැන්තියේ උගතුන් සමඟත් කූඩාරම් සාදන සාමාන්‍ය මිනිසුන් සමඟත් එකට පෑහී කටයුතු කළ කෙනෙක් වුණා. රෝම නගරයේ උසස් බලධාරීන්ට වගේම ෆ්‍රිජිය නම් පිටිසර ගමේ ජීවත් වූ ගම්වැසියන්ගෙත් හදවතට දැනෙන ලෙස කතා කිරීමට තරම් දක්ෂකමක් ඔහුට තිබුණා. ඒ වගේම නිදහස් මත දැරූ ග්‍රීක ජාතිකයන්ගෙත් සම්ප්‍රදායික මත දැරූ යුදෙව්වන්ගෙත් සිත් පොලඹවන ආකාරයෙන් ලිපි ලිවීමටත් ඔහුට තිබුණේ පුදුම හැකියාවක්. අන් අයගේ සිතුවිලිවලට ලොකු බලපෑමක් කළ ඔහු, කාටවත් බිඳ හෙළිය නොහැකි තර්ක ඉදිරිපත් කළා. හැමෝටම බලපාන විෂයක් තෝරගෙන ඒ ගැන කතා කිරීම තුළින් ඔහු නිතරම උත්සාහ කළේ ටිකදෙනෙකුට හරි ඇදහිලිවන්තයන් වීමට උපකාර කිරීමටයි.—ක්‍රියා 20:21.

2 එසේ අලුත් ක්‍රම යොදාගෙන තම අසන්නන්ගේ හදවතටම කතා කළ මොහු, දක්ෂ දේවසේවකයෙක් බව නම් කිසිම සැකයක් නැහැ. ඒ වෙන කවුරුත් නෙවෙයි, යේසුස්ගේ ගෝලයෙකු වූ පාවුල් ගැනයි අපි කතා කළේ. (1 තිමෝති 1:12) “[ක්‍රිස්තුස්ගේ] නාමය ජාතීන් වෙතටත් රජුන් වෙතටත් ඊශ්‍රායෙල් පුත්‍රයන් වෙතටත්” ගෙන යෑමට යේසුස්ගෙන් ඔහුට පැවරුමක් ලැබුණා. (ක්‍රියා 9:15) ඔහු ඒ පැවරුම සැලකුවේ කොහොමද? ඔහු පැවසූ දෙයින් එය මනාව පැහැදිලි වෙනවා. ඔහු කිව්වේ “ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට මම සියල්ල වුණෙමි. මා සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කරන්නේ මා අන් අය සමඟ එය බෙදාගන්නා පිණිසය” කියායි. (1 කොරින්ති 9:19-23) පාවුල්ගෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්ද? අපේ දේශනා සේවයේදී මෙන්ම ඉගැන්වීමේදී හොඳ ප්‍රතිඵල ලැබීම සඳහා අපට ඔහුගෙන් ගත හැකි පාඩම් මොනවාද?

වෙනස් වූ මිනිසෙක් අභියෝගයක් බාර ගනී

3. පාවුල් ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් ක්‍රිස්තියානීන්ට සැලකුවේ කොහොමද?

3 පාවුල්ට ලැබුණ මේ පැවරුම ලබන්න තරම් ඔහුට සුදුසුකම් තිබුණාද? ඒ කියන්නේ ඔහු හැමවිටම කරුණාවන්තව ඉවසිලිවන්තව කටයුතු කළ කෙනෙක්ද? නැහැ, එහෙම කියන්න බැහැ. ඊට හේතුව පාවුල්ව, සාවුල් ලෙස හැඳින්වූ කාලයේදී ඔහු කටයුතු කළේ ආගමික අන්තවාදියෙක් ලෙසයි. තරුණ කාලේදීම ස්තේෆන්ගේ ඝාතනය අනුමත කළ ඔහු, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට කොතරම් දරුණු ලෙස පීඩා කළාද කියනවා නම් ඔවුන්ව සොයාගෙන ගොස් අනුකම්පා විරහිතව හිරිහැර කළා. (ක්‍රියා 7:58; 8:1, 3; 1 තිමෝති 1:13) මෙසේ ඔහු කළ පීඩා යෙරුසලමට විතරක් සීමා වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු උතුරු දමස්කයේ සිටි ක්‍රිස්තියානීන්ව පවා සොයා ගෙන ගියා. ඔහු “ස්වාමීන්ගේ ගෝලයන්ට තර්ජනය කරමින්ද ඔවුන්ව මරමියි කියමින්ද” කටයුතු කළ පුද්ගලයෙක් වුණා.—ක්‍රියා 9:1, 2.

4. පාවුල්ට තම පැවරුම ඉටු කිරීම සඳහා කළ යුතු වූ සකස් වීම් මොනවාද?

4 පාවුල් ක්‍රිස්තියානීන්ට මෙතරම් වෛර කළේ ඇයි? සමහරවිට මේ අලුත් ආගම නිසා යුදෙව් ආගම පිරිහෙයි කියා ඔහු හිතන්න ඇති. “වෙන්වූ කෙනෙක්” යන තේරුම ඇති “පරිසිවරයෙක්” වූ පාවුල්ට තමාගේ ආගම ගැන ලොකු කැක්කුමක් තියෙන්න ඇති. (ක්‍රියා 23:6) සාමාන්‍යයෙන් පරිසිවරු පව්කාරයන් ලෙස සැලකූ අය සමඟ කෑමටවත් හිඳ ගත්තේ නැහැ! (ලූක් 7:36-39) නමුත් දෙවි තමාව තෝරාගෙන තිබෙන්නේ, තමා පිළිකුල් කළ ඒ යුදෙව් නොවන ජාතීන්ටම ක්‍රිස්තුස් ගැන දේශනා කිරීමට කියා දැනගත් විට ඔහුට කොහොම හැඟෙන්න ඇද්දැයි සිතා බලන්න! (ක්‍රියා 22:14, 15; 26:16-18) ගැලවීම අයිති යුදෙව්වරුන්ට විතරක් කියලා තමා මෙතෙක් සිතූ අයුරු වෙනස් කරගෙන, දෙවිගේ කැමැත්ත වන්නේ සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීම කියලා සිතන්න, ඔහුට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව නම් කිසිම සැකයක් නැහැ.—ගලාති 1:13-17.

5. දේවසේවයේදී අපට පාවුල්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

5 අපි ගැන මොනවද කියන්න පුළුවන්? අපි දේශනා කරන ප්‍රදේශවලත් විවිධ භාෂා කතා කරන විවිධ ජාතීන්ට අයිති අයව අපට හමුවෙනවා. සමහරවිට මෙවැනි අය ගැන අපි වැරදියට හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒවා වෙනස් කරගන්න පාවුල් හා සමානව අපිත් දැඩි වෑයමක් දරන්න අවශ්‍යයි. (එෆීස 4:22-24) අපි හැදුණු වැඩුණු පරිසරය නිසා හෝ ලබා තිබෙන අධ්‍යාපනය නිසා, සමහරවිට අන් අයව පහත් කර සැලකීමට, එහෙමත් නැත්නම් ඔවුන්ගේ තත්වයන්ට අනුව සකස් වීමට අපිට අකමැත්තක් තිබෙන්න පුළුවන්. එවැනි හැඟීම් අපිට තිබෙනවා කියලා සමහරවිට අපි නොදන්නවා වෙන්නත් පුළුවන්. නමුත් බැටළු ගුණැති අයව සොයා ඒ අයට උපකාර කරන්න නම් එවැනි හැඟීම් අපි ඉවත් කරගත යුතුයි. (රෝම 15:7) පාවුල් එය කළා. දේවසේවය පුළුල් කිරීමේ අභියෝගය ඔහු බාරගත්තා. ප්‍රේමයෙන් පෙලඹුණු ඔහු තම ඉගැන්වීමේ හැකියාවන් වර්ධනය කරගත්තේ අපිට අනුකරණය කිරීමට සුදුසු ආදර්ශයකුත් තබමිනුයි. ඔහු අන් අය ගැන සැලකිල්ලක් දැක්වූ, අලුත් ක්‍රම යොදාගෙන, මිනිසුන්ගේ තත්වයන්ට අනුව සකස් වී දේශනා සේවය හා ඉගැන්වීම කළ කෙනෙක් බව “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙකු” වූ ඔහුගේ දේවසේවය ගැන අධ්‍යයනය කිරීමෙන් අපිට දැනගන්න ලැබෙනවා. *රෝම 11:13.

දක්ෂ දේවසේවකයෙක්

6. පාවුල් තමාට සවන් දුන් අයගේ පසුබිම ගැන කල්පනාවෙන් සිටියේ කොහොමද? එහි ප්‍රතිඵල කුමක් වුණාද?

6 පාවුල් තමාට සවන් දුන් අයගේ විශ්වාසයන් හා ඔවුන්ගේ පසුබිම ගැන නිතරම කල්පනාවේ තබාගෙන සිටියා. දෙවෙනි අග්‍රිපා රජුට කතා කළ අවස්ථාවකදී රජ “යුදෙව්වරුන් අතර තිබෙන සියලු චාරිත්‍ර ගැනත් මතභේද ගැනත් හොඳින්” දන්නා කෙනෙක් බව පාවුල් කියා සිටියා. ඒ වගේම රජ විශ්වාස කළ දේවල් ගැන හොඳින් දැන සිටි පාවුල් ඒවා දක්ෂ ලෙස යොදාගනිමින් රජට තේරුම්ගත හැකි ආකාරයෙන් කතා කළා. ඔහුගේ තර්කයන් කොතරම් පැහැදිලිව ඉදිරිපත් කළාද කියනවා නම් “වැඩි වේලාවක් යන්න කලින් ඔබ මාව ක්‍රිස්තියානියෙකු කරයි” කියා අග්‍රිපා රජ ඔහුට පැවසුවා.—ක්‍රියා 26:2, 3, 27, 28.

7. ලිස්ත්‍රාවේ පිරිසකට දේශනා කරද්දී පාවුල් තත්වයට අනුව සකස් වුණේ කොහොමද?

7 ඒ වගේම පාවුල් මිනිසුන්ගේ තත්වය තේරුම්ගෙන ඒ අනුව සකස් වූ කෙනෙක් වුණා. එක් අවස්ථාවකදී ලිස්ත්‍රා නගරයේ සිටි ලිකෝනියානු බස කතා කළ පිරිසක් ඔහුවත් බානබස්වත් දෙවිවරුන් සේ සලකා වඳින්න උත්සාහ කළා. මේ මිනිසුන් එතරම් උගත්කමක් නැති මිථ්‍යා මත විශ්වාස කළ සෙනඟක්. මෙහිදී ඔහු ඔවුන්ගේ තත්වය තේරුම්ගෙන ඒ අනුව සකස් වූ ආකාරය ක්‍රියා 14:14-18 දක්වා විස්තර කරනවා. මැවිල්ලෙන් හා එයින් මිනිසුන්ට ලැබුණු යහපත් දේවල් ගැන ඔවුන්ට මතක් කරමින් තමන්ට වඩා සැබෑ දෙවි කොතරම් බලවත් කෙනෙක්ද කියා පාවුල් ඔවුන්ට පැහැදිලි කළා. ඔහු එහිදී ඉදිරිපත් කළ තර්කය ගොඩාක් සරල එකක් වූ නිසා එය ඔවුන්ට පහසුවෙන් තේරුම්ගත හැකි වුණා. පෙනෙන විදියට ඔහුටත් බානබස්ටත් “පූජා ඔප්පු කිරීමෙන් සමූහයාව වළක්වාගත හැකි” වූයේ ඒ නිසයි.

8. යම් අවස්ථාවලදී පාවුල්ට කේන්ති ගියත් ඔහු තත්වයට අනුව සකස් වූ බව කියන්න පුළුවන් කොහොමද?

8 නමුත් පාවුල් අතින් වැරදි වුණේ නැහැයි කියලා කියන්න බැහැ. සමහර වෙලාවලදී යම් කාරණා ගැන ඔහුට කේන්ති ගියා. ඔහුව ලජ්ජාවට පත් කරමින් ඔහුට අසාධාරණ ලෙස සැලකූ අවස්ථාවකදී අනනියස් නම් යුදෙව්වෙකුට ඔහු කේන්තියෙන් බැන්නා. නමුත් ඔහු නොදැනුවත්වම අපහාස කළේ උත්තම පූජකයාට බව පාවුල් දැනගත් විට ඔහු වහාම ඒ පූජකයාගෙන් සමාව ඉල්ලුවා. (ක්‍රියා 23:1-5) තවත් අවස්ථාවකදී ඇතන්ස් “නගරය දේවතා රූපවලින් පිරී තිබෙනවා දැක” පාවුල්ට ඇති වූ කෝපය නිසා ඔහු මහත් “කැලඹීමට පත්” වුණා. නමුත් ඒ නගරයේ වෙළඳ පොළ අසල ඔහු කළ දේශනයේදී තමා කෝපව සිටින බව පෙනෙන්න සලස්වනවා වෙනුවට එහි සිටි හැමෝටම හුරුපුරුදු කවියක් සහ “නාඳුනන දෙවි කෙනෙකුටය” කියා නම් කර තිබූ පූජාසනය යොදාගෙන ඔහු කතා කළා.—ක්‍රියා 17:16-28.

9. පාවුල් විවිධ අයත් එක්ක කතා කරද්දී ඔවුන්ට ගැළපෙන ලෙස කතා කළේ කොහොමද?

9 විවිධ අය එක්ක කටයුතු කරද්දී පාවුල් දක්ෂ ලෙස ඔවුන්ට ගැළපෙන ආකාරයට කතා කළා. එක් එක් පුද්ගලයාගේ සංස්කෘතිය, ඔවුන් හැදී වැඩුණු වටාපිටාව වැනි දේවල් ඒ අය හිතන විදිහට ලොකු බලපෑමක් ඇති කරන බව ඔහු තේරුම්ගත්තා. උදාහරණයක් හැටියට රෝමයේ සිටි ක්‍රිස්තියානීන් ජීවත් වුණේ ඒ කාලයේ පැවති බලවත්ම අධිරාජ්‍යයේ අගනුවරේ කියා ඔහු දැනගෙන සිටියා. මේ නිසා බලවත් අධිරාජ්‍යයක් මගින් බලයෙන් අඩු රාජ්‍යයක් පරාජය කිරීමට තිබූ හැකියාව ගැන රෝමවරුන්ට තිබුණේ හොඳ අවබෝධයක්. ඒ නිසා ඔවුන්ට ලියද්දී ආදම්ගේ පාපයේ විනාශකාරී බලය පරාජය කරන්න ක්‍රිස්තුස්ට තිබූ බලය ගැන ඔහු කතා කළා. මේ ආකාරයෙන් රෝමයේ හා ඒ අවට විසූ ක්‍රිස්තියානීන්ට කතා කරද්දී ඔහු ඔවුන්ට ගැළපෙන ආකාරයකින් ඔවුන්ගේ හදවතටම කතා කළා.—රෝම 1:4; 5:14, 15.

10, 11. තම අසන්නන්ට ගැළපෙන විදිහට පාවුල් නිදර්ශන යොදාගත්තේ කොහොමද? (පාදසටහනත් බලන්න.)

10 බයිබලයේ තිබෙන පහසුවෙන් තේරුම්ගන්න බැරි කාරණා පාවුල් තම අසන්නන්ට තේරුම් කර දුන්නේ කොහොමද? එවැනි කාරණා පැහැදිලි කර දීමේදී පහසුවෙන් තේරුම්ගත හැකි ඔවුන්ට හුරු පුරුදු නිදර්ශන ඔහු දක්ෂ ලෙස යොදාගත්තා. උදාහරණයක් හැටියට, රෝමානු අධිරාජ්‍යය පුරාම පැවති වහල් සේවය ගැන ඒ කාලයේ සිටි අයට අවබෝධයක් තිබුණු බව ඔහු දැන සිටියා. සමහරවිට ඔහුගෙන් ලිපි ලැබුණු අයගෙන් බොහෝදෙනෙක් වහල් සේවයේ යෙදී සිටි දාසයන් වෙන්න ඇති. ඒ නිසා පාවුල් ඒ දාසකම නිදර්ශනයක් හැටියට යොදාගනිමින් තර්ක කළේ කෙනෙක්ට උවමනා නම් පාපයට හෝ ධර්මිෂ්ඨකමට දාසයන් වීමට තෝරාගැනීමක් කරන්න පුළුවන් බවයි.—රෝම 6:16-20.

11 “සාමාන්‍යයෙන් රෝමවරුන් අතර පැවති ඒ වහල් සේවයේදී තම දාසයාව නිදහස් කිරීමට ස්වාමියෙකුට හැකිකම තිබුණා. දාසයාට අවශ්‍ය නම් ස්වාමියාට මුදල් ගෙවා ඒ දාසකමින් නිදහස් වෙන්නත් හැකියාව තිබුණා. ඒ වගේම දාසයෙක්ව යම් දෙවි කෙනෙකුගේ සේවය සඳහා කැප කිරීමක් හැටියට නිදහස් කරන්නත් ඉඩ කඩ තිබුණා” කියා එක්තරා පොතක සඳහන් වෙනවා. ඒ මොන ආකාරයකින් හෝ නිදහස් වූ දාසයෙකුට අවශ්‍ය නම් කලින් සේවය කළ ස්වාමියා යටතේම යම් වැටුපකට දිගටම සේවය කරන්නත් නිදහස තිබුණා. පාපයට හෝ ධර්මිෂ්ඨකමට කීකරු වීමට තෝරාගැනීම සඳහා කෙනෙක්ට තිබෙන නිදහස ගැන ලියද්දී ඒ පිළිවෙත පාවුල්ගේ මනසේ තිබුණා විය හැකියි. රෝමයේ විසූ ක්‍රිස්තියානීන් පාපයෙන් නිදහස් වී දැන් දෙවිට අයිතිව සිටියා. දෙවිට සේවය කිරීමට ඔවුන්ට නිදහස තිබුණා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය නම් කලින් ස්වාමියා වූ පාපයට යටත් වීමටත් නිදහස තිබුණා. ඒ සරල නමුත් හුරුපුරුදු නිදර්ශනය නිසා ‘මම සේවය කරන්නේ කාටද’ කියා තමන්ගෙන්ම අසාගැනීමට රෝමයේ සිටි ඒ ක්‍රිස්තියානීන්ව පෙලඹුවා නිසැකයි! *

පාවුල්ගෙන් ඉගෙනගනිමු

12, 13. (අ) විවිධ පසුබිම්වල සිටින ජනයාගේ හදවතට දැනෙන ආකාරයෙන් කතා කිරීම සඳහා කුමන වෑයමක් දැරීම අවශ්‍යද? (ආ) එවැනි විවිධාකාර අයට පලදායක ආකාරයකින් දේශනා කිරීමට ඔබ භාවිත කර තිබෙන ක්‍රම මොනවාද?

12 පාවුල් මෙන් අපත් සැලකිලිමත්ව, මිනිසුන්ගේ තත්වයන්ට අනුව සකස් වෙමින්, අලුත් ක්‍රම යොදාගෙන අපේ සේවය කළ යුතුයි. එහෙම කළොත් විතරයි විවිධ පසුබිම්වල සිටින අපගේ අසන්නන්ගේ හදවතටම කතා කිරීමට අපිට හැකි වෙන්නේ. මේ සඳහා කරන්නන් වාලේ දේශනා කිරීමක්, ඒ කියන්නේ කටපාඩම් කරගත් යම් දේශනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව යම් බයිබල් ප්‍රකාශන කිහිපයක් දීමට වඩා දෙයක් අවශ්‍යයි. අපේ අසන්නන්ගේ අවශ්‍යතා මොනවාද, ඔවුන් වැඩියෙන් උනන්දු වෙන්නේ මොන වගේ දේවල් ගැනද, ඔවුන් කැමති අකමැති මොන වගේ දේවල්වලටද, ඔවුන් යම් දේවල් ගැන බියෙන් ඉන්නවාද වැනි දේවල් තේරුම්ගැනීමට අපි උත්සාහ කරනවා. මේ සඳහා සෑහෙන වෑයමක් දරන්නත් සැලකිල්ලක් දක්වන්නත් අවශ්‍ය බව ඇත්තයි. නමුත් ලොව වටා සිටින දේවරාජ්‍යයේ ප්‍රචාරකයන් එය කරන්නේ මහත් කැමැත්තකින්. නිදසුනක් වශයෙන් හංගේරියාවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් ලැබුණු වාර්තාවක මෙහෙම සඳහන් වුණා. “මෙහි සිටින සහෝදරයන් වෙනත් ජාතීන්ට අයත් අයගේ සිරිත් විරිත් හා ජීවිත රටාවට ගරු කරනවා. ඔවුන් මේ රටේ සිරිත් විරිත්වලට අනුව හැඩගැසිය යුතුයි කියා සහෝදරයන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.” වෙනත් රටවල සිටින සාක්ෂිකරුවනුත් දරන්නේ එවැනිම වෑයමක්.

13 එක්තරා ආසියාතික රටක සිටින ජනයාගෙන් වැඩි පිරිසක් උනන්දු වෙන්නේ සෞඛ්‍යය, දරුවන්ව පුහුණු කිරීම සහ අධ්‍යාපනය වැනි කාරණා ගැනයි. මෙය හොඳින් තේරුම්ගන්නා ඒ රටේ සිටින ප්‍රචාරකයන් ඔවුන්ට දේශනා කරද්දී මුළු ලෝකයටම බලපාන ගැටලු ගැන හෝ සමාජයේ සංකීර්ණ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ඒ ජනයා උනන්දු වෙන දේවල් යොදාගනිමින් දේවරාජ්‍යයේ පණිවුඩය ඔවුන්ට කියා දෙනවා. ඒ වගේම එක්සත් ජනපදයේ විශාල නගරයක එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන මිනිසුන් උනන්දු වෙන්නේ දූෂණය, වාහන තදබදය සහ අපරාධ ගැනයි. මෙය තේරුම්ගත් ප්‍රචාරකයන් ඒ කාරණා යොදාගෙන සාර්ථක ලෙස බයිබල් සාකච්ඡාවන් ආරම්භ කළා. ගැටලුවක් ගැන සඳහන් කරමින් සාකච්ඡාව ආරම්භ කළත් එහි තිබෙන නරක පැත්ත ගැන දිගින් දිගට කතා කරනවා වෙනුවට දක්ෂ ප්‍රචාරකයන් කරන්නේ ඒ ගැටලුවලට විසඳුමක් ලැබෙන්න යන ආකාරය ගැන දිරිගන්වන ලෙසින් කතා කිරීමයි. ඒ වගේම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් දැන් ලැබෙන ප්‍රයෝජන ගැනත් දෙවි පොරොන්දු වී තිබෙන ප්‍රීතිමත් අනාගතය ගැනත් තම අසන්නන්ට ඔවුන් පැහැදිලි කරනවා.—යෙසායා 48:17, 18; 52:7.

14. මිනිසුන්ගේ තත්වයන්ට ගැළපෙන විදිහට අපිට සකස් විය හැකි ආකාරය විස්තර කරන්න.

14 මිනිසුන් හැමෝටම එකිනෙකාට වෙනස් සංස්කෘතියක්, අධ්‍යාපන මට්ටමක් සහ ආගමික පසුබිමක් තිබෙනවා. ඒ නිසා දේවසේවයේදී සාකච්ඡාවක් ආරම්භ කරද්දී ඔවුන්ට ගැළපෙන විදිහට කතා කළ යුතුයි. මැවුම්කරුවෙක් සිටින බව පිළිගන්න සමහරුන් බයිබලය විශ්වාස කරන්නේ නැහැ. තවත් සමහරුන් දෙවි කෙනෙක් සිටින බවවත් පිළිගන්නේ නැහැ. මේ අයට කතා කරද්දී අපි යොදාගන්නේ එකිනෙකට වෙනස් ක්‍රම. බයිබලයේ ඉගැන්වීම් පිළිගන්න කෙනෙක් එක්ක කතා කරන විදිහත් ආගමික පොත් පත්වලින් කෙනෙක්ව වෙනත් ආගමකට හරවා ගන්නවා කියා සිතන කෙනෙක් එක්ක කතා කරන විදිහත් එකිනෙකට වෙනස්. ඒ වගේම සමාජයේ විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින අයට කතා කරද්දීත් ඔවුන්ගේ තත්වයට අනුව කතා කිරීම අවශ්‍යයි. දක්ෂ ගුරුවරුන් නිදර්ශන යොදාගනිමින් මිනිසුන්ගේ තත්වයට අනුව ඔවුන්ට තේරෙන ආකාරයකින් දේවල් පැහැදිලි කර දෙනවා.—1 යොහන් 5:20.

අලුත් ප්‍රචාරකයන්ට උපකාර කිරීම

15, 16. අලුත් ප්‍රචාරකයන්ට පුහුණුවක් ලබාදීමට දැඩි අවශ්‍යතාවක් තිබෙන්නේ ඇයි?

15 පාවුල් උනන්දු වුණේ තමාගේ ඉගැන්වීමේ හැකියාවන් ප්‍රගුණ කරගැනීමට විතරක් නෙවෙයි. තිමෝති හා තීතස් වැනි තරුණයන්වත් සාර්ථක දේවසේවකයන් වීමට පුහුණු කිරීමට අවශ්‍යතාවක් තිබූ බවත් ඔහු වටහාගත්තා. (2 තිමෝති 2:2; 3:10, 14; තීතස් 1:4) ඒ හා සමානව අද දිනත් පුහුණුව ලබාගැනීම සඳහා අලුත් ප්‍රචාරකයන් රාශියක් බලාගෙන සිටිනවා. ඒ අයව පුහුණු කිරීමට සුදුසුකම් ඇති අයගේ අවශ්‍යතාවකුත් ඒ හා සමානව තිබෙනවා.

16 වර්ෂ 1914දී ලොව වටා රාජ්‍ය ප්‍රචාරකයන් සිටියේ 5,000කට ආසන්න ප්‍රමාණයක්. නමුත් දැන් අලුත් අය 5,000ක් පමණ සෑම සතියකම බව්තීස්ම වෙනවා! (යෙසායා 54:2, 3; ක්‍රියා 11:21) දේවසේවයේ සහභාගි වෙන්න කැමැත්ත පළ කරන මෙවැනි අයට පුහුණුවක් හා මඟ පෙන්වීමක් ලබා දිය යුතුයි. (ගලාති 6:6) මේ සඳහා අපගේ උතුම් ගුරුවරයා වන යේසුස් යොදාගත් ක්‍රම භාවිත කිරීම අත්‍යවශ්‍ය දෙයක්. *

17, 18. නිසැකකම ඇතිව දේවසේවය කරන්න අලුත් ප්‍රචාරකයන්ට උපකාර කළ හැක්කේ කොහොමද?

17 සමූහයක්ව දැක්ක පමණින් ඔවුන්ට දේශනා කරන්න කියා යේසුස් තම ගෝලයන්ට පැවසුවේ නැති බව මතක තබාගන්න. ඔහු දේශනා වැඩය කිරීමට වූ අවශ්‍යතාව ගැන මුලින් ඔවුන්ට කාවැද්දුවා. ඒවගේම එය සාර්ථකව කිරීම සඳහා යාච්ඤා කිරීමේ ඇති අවශ්‍යතාව ගැන පහදා දීමෙන් ඔවුන්ව දිරිගැන්නුවා. ඊට පස්සේ එකට වැඩ කිරීම සඳහා තවත් කෙනෙක්, සේවයේ යෑමට යම් ප්‍රදේශයක් සහ ඉදිරිපත් කිරීමට පණිවුඩයක් යන මූලික සැපයුම් තුන ඔහු ඔවුන්ට ලබා දුන්නා. (මතෙව් 9:35-38; 10:5-7; මාක් 6:7; ලූක් 9:2, 6) ඒ විදිහටම කරන්න අපිටත් පුළුවන්. සමහරවිට අපි උදව් කරන්නේ අපේම දරුවාට, අලුත් ප්‍රචාරකයෙක්ට, එහෙමත් නැත්නම් යම් කලකට දේශනා සේවයේ හවුල් නොවූ කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ කාට වුණත් පුහුණුවක් ලබා දීම සඳහා යේසුස් යොදාගත් ක්‍රම යොදාගැනීම කොතරම් සුදුසුද!

18 දේවරාජ්‍යයේ පණිවුඩය ගැන නිසැකකමින් යුතුව වෙන කෙනෙකුට කියා දෙන්න අලුත් ප්‍රචාරකයන්ට හුඟක් උපකාර අවශ්‍යයි. කෙටි, සරල, හදවතට දැනෙන පණිවුඩයක් සූදානම් කර එය හොඳින් පුහුණු වී ඉදිරිපත් කිරීමට ඔවුන්ට උපකාර කරන්න ඔබට පුළුවන්ද? දේවසේවයේ යද්දී මුලින්ම අන් අය සමඟ ඔබ කතා කරන ආකාරය දෙස බලා සිටීමට ඔවුන්ට ඉඩ හරින්න. ගිඩියොන් කළ ආකාරයට කරන්න ඔබටත් පුළුවන්. “මා දෙස බලා මා කරන ලෙස කරන්න” කියා ඔහු සමඟ සටනට ගිය මිනිසුන්ට ඔහු කිව්වා. (විනිශ්චයකාරයෝ 7:17) මෙසේ කර අලුත් ප්‍රචාරකයාට යම් නිසැකකමක් ඇති වුණාට පස්සේ, ඔහුටත් කතා කරන්න ඉඩ දෙන්න. පසුව ඔහු දැරූ වෑයම අගේ කරන්න. අවශ්‍ය නම් සුදුසු වෙලාවක් බලා ඔහුට දියුණු විය හැකි පැති ගැන කෙටියෙන් යෝජනා කරන්න.

19. දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට වෑයම් කරන ඔබගේ අධිෂ්ඨානය කුමක්ද?

19 ‘අපගේ දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කිරීම’ සඳහා අවස්ථාවට ගැළපෙන ආකාරයෙන් කතා කිරීමට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ වගේම අලුත් ප්‍රචාරකයන්ටත් එසේ කිරීමට අපි උපකාර කරමු. ගැලවීම ලබාගැනීම සඳහා අවශ්‍ය කරන දෙවි පිළිබඳ දැනුම හැකි පමණදෙනෙකුට ලබා දීමට වූ අපේ සේවයේ අරමුණ කිසිදා අමතක නොකරමු. ඒ අරමුණේ වැදගත්කම ගැන සිතද්දී, ‘කෙසේ හෝ ටිකදෙනෙකු වුවද ගලවාගන්නා පිණිස, සියලු ආකාරයේ පුද්ගලයන්ට සියල්ල වීමට’ අපි දරන සෑම වෑයමක්ම බොහෝ සෙයින් වටින බවට නම් කිසිම සැකයක් නැහැ.—2 තිමෝති 4:5; 1 කොරින්ති 9:22.

[පාදසටහන්වල]

^ 5 ඡේ. පාවුල් තම දේවසේවයේදී ඒ ගුණාංග විදහාපෙන්වූ ආකාරය දැනගැනීමට ක්‍රියා 13:9, 16-42; 17:2-4; 18:1-4; 19:11-20; 20:34; රෝම 10:11-15; 2 කොරින්ති 6:11-13 යන බයිබල් පද බලන්න.

^ 11 ඡේ. මීට සමානව, ස්වර්ගික ජීවිතයක් සඳහා දෙවි “පුත්‍රයන්” ලෙස තෝරගන්න අය සහ දෙවි අතර ඇති වන අලුත් සම්බන්ධය විස්තර කිරීමට පාවුල් රෝමයේ තිබූ සිරිතක් යොදාගත්තා. ඒ සිරිත තමයි කෙනෙක්ව දරුවෙක් හැටියට නීත්‍යනුකූලව පිළිගැනීමේ සිරිත.—රෝම 8:14-17.

^ 16 ඡේ. පුරෝගාමීන් අන් අයට උපකාර කරයි යන වැඩසටහන දැන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සෑම සභාවකම ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන තුළින් හොඳින් පුහුණු වූ අද්දැකීම් ලත් පූර්ණ කාලීන දේවසේවකයන්, එතරම් අද්දැකීම් නැති ප්‍රචාරකයන්ට උපකාර කරනවා.

ඔබට මතකද?

• අපගේ දේවසේවයේදී පාවුල්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

• සමහරවිට අප සිතන ආකාරයේ වෙනස්කම් කළ යුත්තේ කුමන පැති ගැනද?

• අපේ පණිවුඩය දිරිගන්වන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද?

• නිසැකකමින් යුතුව දේවසේවය කිරීම සඳහා අලුත් ප්‍රචාරකයන්ට අවශ්‍ය වෙන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පාවුල් දේශනා කිරීමේදී හා ඉගැන්වීමේදී සැලකිලිමත්ව, මිනිසුන්ගේ තත්වයන්ට අනුව සකස් වෙමින්, අලුත් ක්‍රම යොදාගත්තා

[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හවුල් සේවකයෙක්, ප්‍රදේශයක් සහ පණිවුඩයක් යන මූලික සැපයුම් තුන යේසුස් තම ගෝලයන්ට ලබා දුන්නා

[28වන පිටුවේ පින්තූර]

තමාට සවන් දුන් අයට ගැළපෙන විදිහට කතා කළ නිසා පාවුල්ට ඔවුන්ගේ හදවතටම කතා කරන්න හැකි වුණා

[30වන පිටුවේ පින්තූරය]

සාර්ථක දේවසේවකයන් තමන්ට සවන්දෙන අයගේ සංස්කෘතික පසුබිම සැලකිල්ලට ගන්නවා

[31වන පිටුවේ පින්තූරය]

දක්ෂ දේවසේවකයන් අලුත් ප්‍රචාරකයන්ට දේවසේවයේදී පුහුණුවක් ලබාදෙනවා