Skip to content

පටුනට යන්න

ප්‍රේමයටත් ඇදහිල්ලටත් කීකරුකමටත් සාක්ෂියක්

ප්‍රේමයටත් ඇදහිල්ලටත් කීකරුකමටත් සාක්ෂියක්

ප්‍රේමයටත් ඇදහිල්ලටත් කීකරුකමටත් සාක්ෂියක්

ඒ 2005 මැයි 16වෙනිදා. එදා හරිම සුන්දර දවසක්. නිව් යෝක් වොල්කිල්වල පිහිටි වොච්ටවර් ගොවිපොළට හිමිදිරි පාන්දර හිරුරැස් පතිත වෙද්දී නැවුම් සිසිලසක් දසත පැතිර ගියා. රාත්‍රියේදී මද වැස්සක් වැටී තිබුණ නිසා පිළිවෙළකට සකස් කර තිබූ තණ පිට්ටනිය සහ මල් පාත්ති නැවුම් බවින් දිස් වුණා. එහි පොකුණක නිසසල දියේ පැටවුන් අටදෙනෙක් සමඟ තාරාවියක් පිහිනනවා දක්නට ලැබුණා. මේ ලස්සන වටාපිටාව පැමිණි අමුත්තන්ගේ නෙත් සිත් වසඟ කළා. ඔවුන් එකිනෙකා සමඟ කතා කළේ රහසින් වගේ. හරියට ඒ පරිසරයේ නිසල බවට බාධාවක් කරන්න භයෙන් වගේ!

මේ අමුත්තෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්. ඔවුන් රටවල් 48කින් පැමිණ සිටියා. නමුත් ඔවුන් ආවේ මේ සුන්දර වටාපිටාව නරඹන්න නම් නෙවෙයි. ඔවුන්ට උනන්දුවක් තිබුණේ රතු ගඩොල්වලින් සාදා තිබූ ලොකු ගොඩනැගිල්ලේ සිදු වෙන්නේ කුමක්ද කියා දැකගන්නයි. මේ ගොඩනැගිල්ල තමයි අමෙරිකාවේ වොල්කිල්වල පිහිටි බෙතෙල් සංකීර්ණයේ අලුත්ම ගොඩනැගිල්ල. ඒ තුළ සිදු වූ දේවල් ගැන නම් මේ අමුත්තන් ගොඩාක් පුදුම වුණා.

ඒ අමුත්තන්ට පුළුවන් වුණා ඒ ගොඩනැගිල්ල ඇතුළේ තිබූ බැල්කනියක ඉඳන් එහි සිදු වෙන දේවල් දැකගැනීමට. විශාල මුද්‍රණ යන්ත්‍ර පහක් එහි තිබුණා. මේ මුද්‍රණ යන්ත්‍ර පහ තබා තිබුණේ පාපන්දු පිට්ටනි නවයකට වඩා විශාල හොඳින් මැද තිබූ කොන්ක්‍රීට් බිමකයි. බයිබල්, පොත් සහ සඟරා මුද්‍රණය කරන්නේ මෙතනයි. විශාල කඩදාසි රෝල ගණනාවක් වේගයෙන් කැරකෙනවා. ඉන් එකක බර කිලෝග්‍රෑම් 1,700ක්! මෙහි කිලෝමීටර් 23ක් දිග කඩදාසි තිබෙනවා! මේ කඩදාසි රෝලක් දිග හැරී මුද්‍රණ යන්ත්‍රයට ඇතුල් වී පිටවීමට යන්නේ විනාඩි 25ක් විතරයි! ඒ විනාඩි 25 ඇතුළත මුද්‍රණය කිරීම, තීන්ත වේලීම මෙන්ම සඟරාවක් ලෙස කොළ නැමීමට පහසු වීම සඳහා ඒ කඩදාසිය සිසිල් කිරීම මුද්‍රණ යන්ත්‍රයෙන් සිදු වෙනවා. එතනින් පිටවන සඟරා ඒ යන්ත්‍රයටම සවි කර තිබෙන විශාල පටි දිගේ තවත් ස්ථානයකට ගෙනයනු ලබනවා. එතනින් සඟරා පෙට්ටිවලට දමා සභාවලට පිටත් කිරීම සිදු කෙරෙනවා. වෙනත් මුද්‍රණ යන්ත්‍රවලින් පොත් මුද්‍රණය කරනවා. එක විශාල කඩදාසියක පොතක පිටු කිහිපයක්ම එකවර මුද්‍රණය කරනවා. ඒ වගේ කඩදාසි කොළ විශාල ප්‍රමාණයක් අඩුක් කරලා ලොකු ගබඩා කාමරයක තබනවා. එතනින් ඒ පිටු ටික පොත් බඳින තැනට යවනවා. මේ හැම දෙයක්ම අකුරටම කෙරෙන්නේ පරිගණකවල ආධාරයෙන් ක්‍රියා කරන යන්ත්‍රවලිනුයි.

මුද්‍රණාලයෙන් පිට වූ අමුත්තන් පොත් බඳින ස්ථානයට ගියා. මෙහිදීත් හැම දෙයක්ම කෙරෙන්නේ යන්ත්‍රවලිනුයි. මෝටර් ගණනාවක්, එක යන්ත්‍රයකින් තව එකකට පොත් ගෙන යෑම සඳහා විශාල පටි, ගියර, රෝද, වැනි මේ හැම දෙයක්ම බයිබල් පොත් පත් නිපදවීම සඳහා පුදුමාකාර වේගයකින් ක්‍රියාත්මක වෙනවා! මෙහිදී මුද්‍රණාලයෙන් ගෙනෙනු ලැබූ පොත්වල පිටු එකතු කරලා බඳිනු ලබනවා. වටේ ලස්සනට කපලා පිට කවර අලවනවා. ඊළඟට ඒ පොත් ටික පෙට්ටිවලට දමා සීල් කර ලේබල් ගහලා එහා මෙහා ගෙනයා හැකි පුවරුවක අඩුක් කරනවා. ඒ සියල්ලම කරන්නෙත් යන්ත්‍රයක්. මෙවැනි යන්ත්‍රයකින් ගන පිට කවර සහිත පොත් හා ඩිලුක්ස් බයිබල් 50,000ක් දිනකට නිපදවන අතර කඩදාසි පිට කවර සහිත පොත් 1,00,000ක් දිනකට නිපදවනවා.

උසස්ම ගණයේ ඔරලෝසුවක් වගේ තිතට වැඩ කරන මේ අලුත්ම අධි වේගී යන්ත්‍ර, නවීන තාක්ෂණය නිසා බිහි වූ පුදුමයන්! ඇත්තෙන්ම එක අතකින් ඒවා දෙවිගේ සෙනඟගේ ප්‍රේමය, ඇදහිල්ල සහ කීකරුකමට හොඳ සාක්ෂියක් වෙනවා. ඒ කොහොමද කියා අපි පසුව බලන්න යනවා. අපි දැන් බලන්න යන්නේ මුද්‍රණ කටයුතු නිව් යෝක්වල ඉඳලා බෘක්ලින්වලට ගෙන යෑමට හේතුව මොකක්ද කියලා.

එයට ප්‍රධාන හේතුවක් වුණේ මුද්‍රණ කටයුතු සහ දේශීය හා විදේශීය සභාවන්ට පොත් පත් හා සඟරා බෙදාහැරීමේ කටයුතු එක තැනක කිරීමෙන් වැඩ වඩාත් පහසු කරගැනීමටයි. වසර ගණනාවක් පුරා පොත් මුද්‍රණය කර බෙදාහැරියේ බෘක්ලින් සිටයි. සඟරා මුද්‍රණය කර බෙදාහැරියේ වොල්කිල් සිටයි. පොත් හා සඟරා එක තැනක මුද්‍රණය කර සභාවලට බෙදා හැරියොත් ඒ අංශවල වැඩ කරන ස්වේච්ඡා සේවකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට හැකි වන අතර එමගින් දෙවිගේ වැඩය සඳහා ලැබූ සම්මාදම් වඩා පරෙස්සමින් පරිහරණය කිරීමට හැකි වෙනවා. ඒ විතරක් නෙවෙයි බෘක්ලින්වල තිබූ මුද්‍රණ යන්ත්‍ර පරණ වෙමින් තිබූ නිසා නවීන මුද්‍රණ යන්ත්‍ර දෙකක් ජර්මනියෙන් ගෙන්න ගැනීමට නියමිතව තිබුණා. මේ මුද්‍රණ යන්ත්‍ර දෙකේ විශාලත්වය නිසා ඒවා තැබීමට බෘක්ලින්වල ප්‍රමාණවත් ඉඩක් තිබුණේ නැහැ.

වැඩවලට යෙහෝවා දෙවිගෙන් උපකාර

මුද්‍රණ කටයුතුවල අරමුණ වෙන්නේ දේවරාජ්‍යයේ ශුභාරංචිය ලොව සෑම තැනම දැන්වීමයි. ඒ වැඩයට යෙහෝවාගේ ආශීර්වාදය තිබෙන බවට මුල පටන්ම පැහැදිලි වී තිබෙනවා. වර්ෂ 1879 සිට 1922 දක්වා කාලය තුළ පොත් මුද්‍රණය කළේ පිට ස්ථානවලට දීලයි. වර්ෂ 1922දී නො.18, කොන්කෝඩ් වීදිය, බෘක්ලින්හි පිහිටි තට්ටු හයක ගොඩනැඟිල්ලක් කුලියට ගෙන පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය උපකරණ මිල දී ගනු ලැබුවා. ඒ කාලයේදී සහෝදරයන්ට මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන් වෙයිද යන්න ගැන සමහරුන්ට සැකයන් තිබුණා.

මෙතෙක් අපගේ පොත් වැඩිහරියක් මුද්‍රණය කළ ආයතනයක සභාපති ඔවුන්ගෙන් එක්කෙනෙක්. කොන්කෝඩ් වීදියේ තිබූ අපේ ගොඩනැඟිල්ල බැලීමට ආපු වෙලාවක ඔහු මෙහෙම පැවසුවා. “ඔයාලාට තියෙන්නේ නම් උසස්ම ගණයේ මුද්‍රණාලයක්. ඒත් ඒක පාවිච්චි කරන ආකාරය ගැන කිසිවක් දන්න කෙනෙක් ඔයාලාට නැහැ නේ! මාස හයකින් විතර මේ යන්ත්‍ර ටික ඔක්කොම නාස්ති වෙලා තියේවි. එතකොට ඔයාලාට තේරෙයි ඔයාලාගේ මුද්‍රණ වැඩ ටික කරන්න හොඳම අය කවුද කියලා. ඒ වැඩේට දක්ෂ අපි!”

“එයාගේ කතාව නම් සීයට සීයක් හරි. නමුත් එයා දෙවිව අමතක කළා. අපේ වැඩවලට දෙවි හැමවිටම උපකාර කරලා තිබුණා. . . . වැඩි කල් ගියේ නැහැ අපි පොත් නිපදවන්න පටන්ගත්තා” කියා ඒ කාලයේදී මුද්‍රණාලයේ වැඩකටයුතු භාරව සිටි සහෝදර රොබට් ජේ. මාටින් පැවසුවා. ඊළඟ වසර 80 පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පොත් පත් බිලියන සංඛ්‍යාවක් තමන්ගේම මුද්‍රණාලවල මුද්‍රණය කළා.

ඊට පස්සේ 2002 ඔක්තෝබර් 5වන දා පැවති වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි වාර්ෂික රැස්වීමේදී, අමෙරිකාවේ ශාඛා කාර්යාලයේ කරනු ලැබූ මුද්‍රණ කටයුතු වොල්කිල්වලට ගෙන යෑමට පාලක මණ්ඩලය අනුමත කළ බවට නිවේදනයක් නිකුත් කළා. නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ඇණවුම් කර තිබූ අතර 2004 පෙබරවාරි මාසයේදී ඒවා ලැබීමට නියමිතව තිබුණා. සැලැස්මක් නිර්මාණය කර ඒ අනුව මුද්‍රණාලය විශාල කිරීමටත් සහෝදරයන්ට තිබුණේ මාස පහළවක් විතරයි. ඉන්පසුව ඊළඟ මාස නවය ඇතුළත පොත් බැඳීම හා දේශීය මෙන්ම විදේශීය සභාවන්ට පොත් පත් බෙදාහැරීම සඳහා සූදානම් කිරීමේ කටයුතු කරන අලුත් යන්ත්‍ර සවි කිරීමේ වැඩත් නිම කිරීමට නියමිතව තිබුණා. කෙටි කාලයක් ඇතුළත මෙතරම් විශාල වැඩ කන්දරාවක් නිම කිරීමට හැකි වෙයිද කියා සමහරුන්ටසැක හිතෙන්නත් ඇති. ඒ කෙසේවෙතත් සහෝදරයන් දැනගෙන හිටියා යෙහෝවා දෙවිගේ උපකාරය එක්ක ඒ වැඩය අනිවාර්යයෙන්ම නිම කරන්න පුළුවන් කියලා.

“සන්තෝෂයෙන් හා සහයෝගයෙන් එකට බැඳී”

යෙහෝවාගේ සෙනඟ අනිවාර්යයෙන්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙයි කියන නිසැකකම එක්ක සහෝදරයන් මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. (ගීතාවලිය 110:3) මෙය විශාල වැඩක් වූ නිසා ඒ සඳහා බෙතෙල් ගොඩනැඟිලි ඉදි කිරීමේ අංශවල සිටි ස්වේච්ඡා සේවක පිරිසට වඩා වැඩි පිරිසක් අවශ්‍ය වුණා. මේ නිසා අමෙරිකාවෙන් හා කැනඩාවෙන් ඉදි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් දක්ෂතා ඇති සහෝදර සහෝදරියන් 1,000කට අධික පිරිසක් මේ ස්වේච්ඡා වැඩසටහන යටතේ සතියක සිට මාස තුනක කාලයකට වැඩ කිරීමට ඉදිරිපත් වුණා. සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සේවකයන්ට හා වෙනත් ස්වේච්ඡා සේවකයන්ටත් මේ ව්‍යාපෘතියේ හවුල්වීමට ආරාධනයක් ලැබුණා. ප්‍රාදේශීය ඉදි කිරීමේ කමිටුවලින්ද බොහෝ උපකාර ලැබුණා.

වොල්කිල් ව්‍යාපෘතියට ස්වේච්ඡාවෙන් සහභාගි වූ බොහෝදෙනෙකුට ගමනාගමනය සඳහා සෑහෙන වියදමකුත් රැකියාවලින් ඔවුන් නිවාඩු ගත් නිසා පාඩුවකුත් දරන්න සිදු වුණා. ඒත් ඔවුන් කැමැත්තෙන් හා සතුටින් තම මුදල් හා කාලය පරිත්‍යාග කළා. මේ අමතර ස්වේච්ඡා සේවකයන් සියලුදෙනාටම නවාතැන් දීමටත් කෑම බීම සැපයීමටත් අවශ්‍ය වූ නිසා බෙතෙල් පවුලේ අයටත් අවස්ථාවක් ලැබුණා ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් යම් ආකාරයකින් සහය වෙන්න. බෘක්ලින්, පැටසන් සහ වොල්කිල්වල සිටින 535දෙනෙකුට වඩා වැඩි බෙතෙල් සාමාජිකයන් පිරිසක් සෙනසුරාදා දවස්වල වැඩ කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. ඔවුන් මෙය කළේ තම සාමාන්‍ය වැඩට අමතරවයි. මේ ඓතිහාසික වැඩය සඳහා දෙවිගේ සෙනඟ දුන් දැවැන්ත සහයෝගයෙන් ඔප්පු වුණේ යෙහෝවා දෙවිගේ අනුබලය ඊට තිබූ බවයි.

වෙනත් අය මුදල්ද පරිත්‍යාග කළා. එක් උදාහරණයක් තමයි වයස අවුරුදු නවයක් වූ ඇබී. ඇය මෙහෙම ලිව්වා. “ඔයාලා ලස්සන පොත් ගොඩාක් නිපදවනවා. ඒ සඳහා ඔයාලා දරන මහන්සිය මම ගොඩාක් අගය කරනවා. මමත් ළඟදී මුද්‍රණාලය බලන්න එනවා. මගේ තාත්ති මට පොරොන්දු වුණා ලබන අවුරුද්දේ මාව එක්කරගෙන එනවා කියලා. මම බැජ් කාඩ් එකක මගේ නම ලියලා පළඳිනවා. එතකොට ඔයාලාට මාව අඳුරගන්න පුළුවන් වෙයි. මේ ඩොලර් 20 (රුපියල් 2,000ක් පමණ) අලුත් මුද්‍රණ යන්ත්‍රය සඳහා වියදම් කරන්න. ඒ මගේ අම්මලා මගේ වියදමට දෙන මුදලයි. නමුත් මං කැමතියි ඒක මගේ සහෝදරයන්ට දෙන්න.”

සහෝදරියක් මෙහෙම ලිව්වා. “මගේ මේ අත් දෙකෙන් මමම ගොතපු තොප්පි ටිකක් මම තෑග්ගක් වශයෙන් එවනවා. වොල්කිල් ව්‍යාපෘතියේ වැඩ කරන සහෝදරයන්ට මේ තොප්පි ටික දෙන්න මම කැමතියි. මම කියවපු පොතක සඳහන් වුණා මේ අවුරුද්දේ ශීත කාලය ගොඩාක් දරුණු වෙයි කියලා. ඒක හරිද වැරදිද කියලා නම් මම දන්නේ නැහැ. ඒත් මම දන්නවා වොල්කිල්වල කෙරෙන වැඩ වැඩි ප්‍රමාණයක්ම කෙරෙන්නේ එළිමහනේ කියලා. මට ඕනේ මගේ සහෝදර සහෝදරියන්ගේ හිසට යම් ආවරණයක් හා උණුසුමක් ලබාදීමට. ඒ නිසයි මම මේ තොප්පි ටික එවන්නේ. එහේ වැඩ කරන්න ඕන කරන දක්ෂකම් මුකුත් මට නැහැ. නමුත් මට ගොතන්න පුළුවන්. ඒ නිසා මම තීරණය කළා මගේ මේ හැකියාව පාවිච්චි කරලා යම් ආකාරයකින් ඒ වැඩේට දායක වෙන්න.” මේ ලියුම සමඟ ඒ සහෝදරිය ගොතපු තොප්පි 106ක් තිබුණා!

කොහොමහරි අන්තිමේදී අපේ සහෝදරයන්ට හැකි වුණා මුද්‍රණාලය නියමිත වෙලාවට ගොඩනගා අවසන් කරන්න. මුද්‍රණාලයේ වැඩ බලන සහෝදර ජොන් ලාසන් පැවසුවේ මෙයයි. “හැමෝම සන්තෝෂයෙන් හා සහයෝගයෙන් එකට බැඳී වැඩ කළා. යෙහෝවා දෙවි මේ වැඩේට ආශීර්වාද කරමින් සිටි බවට කිසිම සැකයක් නැහැ! වැඩ කටයුතු බොහොම ඉක්මණින් කෙරුණා. මට මතකයි 2003 මැයි මාසයේ දවසක සහෝදරයෝ ඒ ගොඩනැඟිල්ලට අත්තිවාරම දමද්දී මඩ වෙලා තිබුණ එතන හිටගෙන මම ඒ දිහා බලාගෙන හිටියා. වසරක්වත් යන්න ඉස්සරවෙලා මම දැන් එතනම හිටගෙන මුද්‍රණ යන්ත්‍රය වැඩ කරන ආකාරය දිහා බලාගෙන ඉන්නවා!”

කැප කිරීම

අලුත් මුද්‍රණාලය සහ ඊට යාබදව පිහිටි නවාතැන් ගොඩනැඟිලි තුනක් කැප කිරීම 2005 මැයි 16වන සඳුදා වොල්කිල්වල සිදු වුණා. පැටසන් සහ බෘක්ලින්වල බෙතෙල් සංකීර්ණ මෙන්ම කැනඩාවේ බෙතෙල් සංකීර්ණයද මේ වැඩසටහනට වීඩියෝ මාර්ගයෙන් සම්බන්ධ කර තිබුණා. ඒ වැඩසටහනට 6,049දෙනෙක් ප්‍රීතියෙන් රැස්වුණා. වැඩසටහනේ සභාපති වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන තියඩෝ ජැරැස්. ඔහු මුද්‍රණ කටයුතුවල ඉතිහාසය ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කළා. ශාඛා කමිටුවේ සාමාජිකයන් වන ජොන් ලාසන් සහ ජොන් කීකොට්, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ ඉදිරිපත් කිරීම් උපයෝගි කරගෙන ඉදි කිරීමේ ව්‍යාපෘතිය හා අමෙරිකාවේ මුද්‍රණ කටයුතුවල ඉතිහාසය ගැන විස්තර සැපයුවා. ඉන්පසුව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ජොන් බා නව මුද්‍රණාලය හා නවාතැන් ගොඩනැඟිලි තුන යෙහෝවා දෙවිට කැප කරමින් අවසාන කතාව ඉදිරිපත් කළා.

ඊළඟ සතිය තුළ පැටසන් සහ බෘක්ලින්වල වෙසෙන බෙතෙල් සාමාජිකයන්ට අවස්ථාව ලැබුණා මේ නව මුද්‍රණාල ගොඩනැඟිලි නැරඹීමට. ඒ කාලය ඇතුළත 5,920දෙනෙක් ගොඩනැඟිලි නැරඹීමට පැමිණියා.

අපි මුද්‍රණාලය සලකන්නේ කොහොමද?

මේ මුද්‍රණාලය වැදගත් වෙන්නේ එහි නවතම යන්ත්‍ර තිබෙන නිසා නෙවෙයි. මේ මුද්‍රණාලයේ අපි මුද්‍රණය කරන පොත් පත් මගින් මිනිසුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් ඇති කිරීමේ හැකියාව තිබෙන බව කැප කිරීමේ කතාවේදී සහෝදර බා සභාවට මතක් කළා.

මේ එක මුද්‍රණ යන්ත්‍රයකින් පැයකට පත්‍රිකා ලක්ෂ දහයක් මුද්‍රණය කිරීමේ හැකියාව තිබෙනවා! ඒත් ඒ එක පත්‍රිකාවකට පුළුවන් කෙනෙකුගේ ජීවිතයට සදාකාල බලපෑමක් ඇති කරන්න. මේ උදාහරණය සලකා බලන්න. වර්ෂ 1921දී දකුණු අප්‍රිකාවේ පුද්ගලයන් කිහිපදෙනෙක් රේල් පාරක අලුත්වැඩියා කටයුතුවල නියැලෙමින් සිටියා. ක්‍රිස්ටීයාන් නමින් හැඳින්වූ ඔවුන්ගෙන් එක් කෙනෙක් රේල් පීල්ලක් යට පුංචි කොළ කෑල්ලක් දැක්කා. ඒ අපේ පත්‍රිකාවක්. ක්‍රිස්ටීයාන් සෑහෙන උනන්දුවකින් එය කියෙව්වා. ඔහු වහාම ගොස් තම බෑනාව හොයාගෙන “මට සත්‍යය සම්බ වුණා!” කියලා ගොඩාක් ප්‍රීතියෙන් ඔහුට කිව්වා. ටික කලකින් ඔවුන් දෙදෙනා තවත් තොරතුරු දැනගැනීම සඳහා ශාඛා කාර්යාලයට ලිව්වා. දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලය ඔවුන්ට බයිබලය පිළිබඳ තොරතුරු සහිත පොත් පත් ලැබෙන්න සැලැස්සුවා. ඒ දෙදෙනා බයිබලය පාඩම් කරලා බව්තීස්ම වුණා. ඔවුන් අන් අයටත් බයිබලයේ තිබෙන සත්‍යතා ගැන කියා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝදෙනෙක් සත්‍යයට පැමිණියා. එක්දහස් නවසිය ගණන්වල මුල් භාගය වෙද්දී ඔවුන්ගේ පරම්පරාවෙන් සියයකටත් අධික පිරිසත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කරමින් සිටියා. මේ හැම දෙයක්ම වුණේ එක පුංචි පත්‍රිකාවක් රේල් පීල්ලක් යට තිබී කෙනෙකුට සම්බ වූ නිසයි!

අපි මුද්‍රණය කරන පොත් පත් නිසා මිනිස්සු සත්‍යයට එනවා. එහි රැඳී සිටිනවා. උද්‍යෝගයෙන් සේවය කිරීමට ඔවුන් තුළ හොඳ පෙලඹීමක් අති කරනවා. ඒ වගේම එකා මෙන් ක්‍රියා කිරීමට ඔවුන් තුළ ලොකු ආශාවක් ඇති කරනවා. වැදගත්ම දෙය වෙන්නේ, අපි සියලුදෙනාම බෙදා දෙන මේ පොත් පත් අපේ දෙවි වන යෙහෝවාව මහිමයට පත් කිරීමයි කියා සහෝදර බා තවදුරටත් පැවසුවා.

යෙහෝවා මුද්‍රණාලය සලකන්නේ කොහොමද?

යෙහෝවා දෙවි මුද්‍රණාලය සලකන ආකාරය ගැනත් ටිකක් සිතා බැලීමට සහෝදර බා සභාව දිරිමත් කළා. යෙහෝවා දෙවිට මේ මුද්‍රණාලය අත්‍යවශ්‍ය නැහැ. ඔහුට පුළුවන් ශුභාරංචිය දේශනා කිරීමේ හැකියාව ගල්වලට වුණත් ලබාදෙන්න! (ලූක් 19:40) මුළු විශ්වයම මවපු ඔහුට මේ යන්ත්‍රවල සංකීර්ණත්වය, විශාලත්වය, වේගය හෝ හැකියාවන් සුළු දෙයක්! (ගීතාවලිය 147:10, 11) යෙහෝවා දෙවිට ඕන නම් මීට වඩා දියුණු ක්‍රම යොදාගෙන, ඒ කියන්නේ මිනිස්සු තාම සොයාගෙන නැති, හිතලාවත් නැති ක්‍රම යොදාගෙන පොත් පත් මුද්‍රණය කරන්න පුළුවන්. එහෙමනම් යෙහෝවා ඇත්තෙන්ම අගය කරන්නේ කුමක්ද? ඔහු මේ මුද්‍රණාලය තුළින් තම සෙනඟගේ වටිනා ගුණාංග දකිනවා. ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ ඇදහිල්ල සහ ඔවුන්ගේ කීකරුකම තමයි ඔහුට ගොඩාක් වටින්නේ.

ප්‍රේමය මීට සම්බන්ධ වූ ආකාරය පෙන්වීමට සහෝදර බා මේ උදාහරණය පාවිච්චි කළා. දුවක් අම්මාටයි තාත්තාටයි කේක් එකක් හැදුවොත් ඒගොල්ලන් ගොඩාක් සතුටු වෙයි. ඒ දෙමාපියන් සතුටු වෙන්නේ රසවත් කේක් එකක් කන්න ලැබුණ නිසා නෙවෙයි, ඒ ත්‍යාගශීලී ක්‍රියාවෙන් ඒ දරුවා පෙන්වන ප්‍රේමය නිසයි. ඒ වගේ තමයි යෙහෝවා දෙවිත්. ඔහු මේ අලුත් මුද්‍රණාලය දෙස බලද්දී මේ ගොඩනැඟිලිවලටත් නවීනතම යන්ත්‍රවලටත් වඩා වටිනා දෙයක් ඔහුට පේනවා. ඔහු මේ මුද්‍රණාලය සලකන්නේ තම නාමය උදෙසා ඔහුගේ සෙනඟට තිබෙන ප්‍රේමයේ සංකේතයක් හැටියටයි.—හෙබ්‍රෙව් 6:10.

ඒ විතරක් නෙවෙයි. මේ මුද්‍රණාලය යෙහෝවා කෙරෙහි අපට තිබෙන ඇදහිල්ලටත් සම්බන්ධයි. නෝවා ගොඩනැඟූ නැව දෙවි දැක්කේ නෝවාගේ ඇදහිල්ලේ ප්‍රකාශයක් හැටියටයි. ඒ වගේම ඔහු මේ මුද්‍රණාලය දකින්නේ අපගේ ඇදහිල්ලේ ප්‍රකාශයක් හැටියටයි. යෙහෝවා කලින් කී දේ ඉටු වෙයි කියන විශ්වාසය නෝවාට තිබුණා. අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වල බවත් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මුළු පොළොවටම අහන්න ලැබෙන හොඳම පණිවුඩය බවත් එය මිනිසුන්ට අහන්න අවශ්‍යම පණිවුඩයක් වන බවත් අපි විශ්වාස කරනවා. බයිබලයේ පණිවුඩය මගින් ජීවිත ගලවන්න පුළුවන් බව අපි දන්නවා.—රෝම 10:13, 14.

අපේ කීකරුකමත් මේ මුද්‍රණාලය තුළින් යෙහෝවා දෙවි අනිවාර්යයෙන්ම දකිනවා ඇති. මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අවසානය එන්න කලින් දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය පොළොව පුරා දේශනා කරනු ලැබීම දෙවිගේ කැමැත්ත බව අපි දන්නවා. (මතෙව් 24:14) මෙම මුද්‍රණාලය සහ මේ වගේම ලෝකයේ වෙනත් ප්‍රදේශවල තිබෙන මුද්‍රණාල මගින් දෙවිගේ ඒ ආඥාව ඉටු කිරීම සිදු වෙනවා.

මේ සඳහා මුදල් අතින් උපකාර කිරීම සඳහාත්, ගොඩනැඟීමේ කටයුතුවලට උපකාර කිරීම සඳහාත්, මේ පහසුකම්වල වැඩ කිරීම සඳහාත් ඉදිරිපත් වීමේදී සහෝදරයන් දක්වා තිබෙන ප්‍රේමය, ඇදහිල්ල සහ කීකරුකම කැපීපෙනෙන එකක්. ඒ වගේම සවන්දීමට කැමති සියලුදෙනාටම ඉතා උනන්දුවෙන් බයිබල් සත්‍යතා ගැන දිගටම කියා දෙන ලොව වටා සිටින යෙහෝවාගේ සේවකයන් තුළ දක්නට ලැබෙන්නෙත් එවැනිම සහයෝගයේ ස්වභාවයක්.

[11වන පිටුවේ කොටුව⁄පින්තූර]

අමෙරිකාවේ මුද්‍රණ කටයුතු පුළුල් වූ ආකාරය

1920: නො. 35 මර්ටල් මාවත, බෘක්ලින්හිදී රොටරි මුද්‍රණ යන්ත්‍රයකින් සඟරා මුද්‍රණය ආරම්භ කළා.

1922: නො. 18 කොන්කෝඩ් වීදියේ තට්ටු හයකින් යුත් ගොඩනැගිල්ලකට ඒ මුද්‍රණාලය ගෙන ගියා. මෙහිදී පොත් මුද්‍රණය ආරම්භ කළා.

1927: නො. 117, ඇඩම්ස් වීදියේ අලුත් ගොඩනැගිල්ලකට මුද්‍රණාලය ගෙන ගියා.

1949: තට්ටු 9ක ගොඩනැගිල්ලක් සෑදීමෙන් මුද්‍රණාලයේ තිබූ ඉඩ දෙගුණයක් වුණා.

1956: නො. 77, සෑන්ඩ්ස් වීදියේ අලුත් ගොඩනැගිල්ලක් සෑදුවායින් පසුව, ඇඩම්ස් වීදියේ මුද්‍රණාලය සඳහා තිබූ ඉඩ ප්‍රමාණය නැවතත් දෙගුණයක් වුණා.

1967: තට්ටු දහයකින් යුත් ගොඩනැගිල්ලක් සෑදීම නිසා මුල්ම මුද්‍රණාලය මෙන් දහ ගුණයක් විශාල මුද්‍රණාලයක් සඳහා දැන් පහසුකම් ලැබුණා.

1973: මූලික වශයෙන් සඟරා නිෂ්පාදනය කිරීම සඳහා වොල්කිල්වල අතිරේක මුද්‍රණාලයක් ඉදි කළා.

2004: මුද්‍රණය කිරීම, පොත් බැඳීම සහ ඇසිරීම ආදි කටයුතු සියල්ලක්ම වොල්කිල්වලට ගෙන ආවා.