Skip to content

පටුනට යන්න

ලෝක විනාශය සියල්ලකම අවසානයද?

ලෝක විනාශය සියල්ලකම අවසානයද?

ලෝක විනාශය සියල්ලකම අවසානයද?

ලෝක විනාශය සිදු වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයේදී කියා බොහෝදෙනෙක් කියනවා. හර්–මගෙදොන්! ඒ වචනය ඔබ අසා තිබෙනවාද? සමහරවිට මේ වචනය ඔබට එතරම් හුරුපුරුදු නැතිව ඇති. නමුත් එය බටහිර රටවල්වල අයට නම් හුරුපුරුදු වචනයක්. ඒ වචනය කියූ පමණින් ඔවුන්ගේ මනසට එන්නේ අනාගතයේදී සෑම කෙනෙකුටම මුහුණ දීමට සිදු වන භයංකර සිදුවීමක් ගැනයි. එනම් ලෝක විනාශයක් ගැනයි. මේ සම්බන්ධයෙන් භයානක දර්ශන පෙන්වන චිත්‍රපට, වීඩියෝ පට, රූපවාහිනී වැඩසටහන් රාශියක් නිපදවලත් තියෙනවා. සමහරවිට ඔබත් ඒවා දැක ඇති. නමුත් ගොඩාක් අය මෙහි ඇත්ත දන්නේ නැහැ. මේ නිසා විවිධ අය මේ ගැන නොයෙක් මත පළ කරලා තියෙනවා. නමුත් මේ වචනයෙන් ඇත්තටම අදහස් කරන දේ ගැන බයිබලය උගන්වන සත්‍යය සමඟ ඒ මතයන් බොහොමයක් එකඟ වෙන්නේ නැහැ.

බයිබලයේ හර්–මගෙදොන් යන වචනය ‘ලෝකාන්තිමයකට’ හෙවත් ලෝක විනාශයකට සම්බන්ධ කර තිබෙනවා. එය මුළු ලෝකයටම බලපාන දෙයක් නිසා පෞද්ගලිකව ඔබටත් ඔබගේ පවුලටත් එය බලපාන බව නම් නිසැකයි. ඒ නිසා හර්–මගෙදොන් යන වචනයේ නියම අරුත වටහාගැනීම කොයිතරම් වැදගත්ද කියා ඔබට හිතෙන්නේ නැද්ද? (මතෙව් 24:3, පැරණි අනුවාදය) දෙවි පැවසූ දේවල් අඩංගු වෙන්නේ බයිබලයේ පමණක් නිසා මේ කාරණය පිළිබඳ සත්‍යය ඇත්තේ බයිබලයේ බවට කිසිම සැකයක් නැහැ. හර්–මගෙදොන් යනු කුමක්ද? එය ඔබටත් ඔබගේ පවුලේ අයටත් බලපාන්නේ කොහොමද? ඒ ගැන දැනගැනීමට කළ යුතු හොඳම දේ බයිබලය පරීක්ෂා කර බැලීමයි.

බයිබලයේ ඇති දේ හොඳින් අධ්‍යයනය කළොත් හර්–මගෙදොන් කියන්නේ මුළු පොළොවේම විනාශය නෙවෙයි කියලා ඔබ වටහාගනීවි. ඒ වෙනුවට හර්–මගෙදොන් යුද්ධයෙන් පසුව මුළු පොළොව පාරාදීසයක් වෙන්න යනවා කියන එකත් එහි ජීවත් වන අය ප්‍රීතිමත් මෙන්ම සාර්ථක ජීවිත ගත කරන්න යනවා කියන එකත් දෙවි පොරොන්දු වී තිබෙන බව ඔබ වටහාගනීවි. ඇත්තටම හර්–මගෙදොන් කියන්නේ මොකද්ද? ඒ ගැන අපි ඊළඟ ලිපියේ කතා කරමු. ඔබ එය කියවද්දී මේ වැදගත් බයිබල් ඉගැන්වීම ගැන ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා නිසැකයි.

[3වන පිටුවේ කොටුව⁄පින්තූරය]

හර්–මගෙදොන් යනු මොන වගේ විනාශයක් කියලාද ඔබ හිතන්නේ?

• න්‍යෂ්ටික අවිවලින් වන විනාශයක්

• ස්වාභාවික විපත් මගින් වන විනාශයක්

• අභ්‍යවකාශයේ යමක් පෘථිවියේ ගැටීම නිසා වන විනාශයක්

• දුෂ්ට මිනිසුන් පමණක් නැති කිරීමට දෙවි ගෙනෙන විනාශයක්