Skip to content

පටුනට යන්න

‘සෑම භාෂාවක්ම කතා කරන’ ජනයාට ශුභාරංචිය ලැබෙයි

‘සෑම භාෂාවක්ම කතා කරන’ ජනයාට ශුභාරංචිය ලැබෙයි

‘සෑම භාෂාවක්ම කතා කරන’ ජනයාට ශුභාරංචිය ලැබෙයි

“ජාතීන්ගේ සෑම භාෂා කතා කරන්නන් අතරෙන් දසදෙනෙක් . . . අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයයි ඇසීමුයයි කියන්නෝය.”—සෙකරියා 8:23.

1. විවිධ භාෂා කතා කරන ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචිය අසන්න සැලැස්වීම සඳහා යෙහෝවා යොදාගත්තේ හොඳම වෙලාවත් දවසත් බව අප කියන්නේ ඇයි?

ඒ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසයි. මේ පුදුම සිද්ධිය සිදු වෙන්න මීට වඩා හොඳ වෙලාවක්වත් මීට වඩා හොඳ දවසක්වත් තිබුණේ නැති තරම්. පුළුල් වශයෙන් පැතිර තිබූ රෝම අධිරාජ්‍යයේ අඩුම තරමින් ප්‍රාන්ත 15කවත් ජීවත් වූ යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය පාස්කු මංගල්‍යය පැවැත්වීම සඳහා සති කිහිපයකට කලින්ම යෙරුසලමට පැමිණ සිටියා. රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනයා එදින ලැබුවේ පුදුමාකාර අද්දැකීමක්. දෙවිගේ බලය ලැබූ සාමාන්‍ය මිනිසුන් විවිධ භාෂාවලින් කතා කරනවා ඔවුන් දැක්කා. එහිදී සෙනඟට අසන්න ලැබුණේ පුරාණ බාබෙල් කොත අසල සිද්ධියේදී මෙන් එකිනෙකාට නොතේරෙන භාෂාවන් නෙවෙයි. නමුත් ඒ වෙන කොට රෝම අධිරාජ්‍යයේ කතා කරනු ලැබූ, ඔවුනොවුන්ගේම මව් භාෂාවලින් ඔවුන්ට ශුභාරංචිය අහන්න ලැබුණා. (ක්‍රියා 2:1-12) එදා තමයි ක්‍රිස්තියානි සභාව ආරම්භ වුණේ. ඒ වගේම විවිධ භාෂාවලින් කරනු ලබන ජාත්‍යන්තර අධ්‍යාපන වැඩසටහනක ආරම්භය සනිටුහන් වුණෙත් එලෙසයි.

2. යේසුස්ගේ ගෝලයන් ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී විවිධ භාෂා කතා කළ ජනයාව “විස්මයට පත්” කළේ කොහොමද?

2 ඒ කාලයේදී හැමෝම කතා කළ ග්‍රීක් භාෂාව යේසුස්ගේ ගෝලයනුත් කතා කරන්න ඇති. ඒ වගේම දේවමාලිගාවේදී භාවිත කරනු ලැබූ හෙබ්‍රෙව් භාෂාවත් ඔවුන් කතා කළා. කොහොමවුණත් ඒ පෙන්තකොස්ත දවසේදී රැස් වී සිටි විවිධ භාෂා කතා කරන සෙනඟව “විස්මයට පත්” කරමින් ඒ සෙනඟගේම මව් භාෂාවලින් ගෝලයන් කතා කළා. මෙහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? එසේ තමන්ගේම මව්බසින් අසූ ඒ වැදගත් සත්‍යයන් ඒ සෙනඟගේ සිත්වලට තදින් කාවැදුණා. මේ අනුව එදින ආරම්භයේ සිටි ඒ කුඩා ක්‍රිස්තියානි කණ්ඩායම දවස අවසන් වන විට 3,000කට වඩා වැඩි පිරිසක් බවට පත් වී සිටියා!—ක්‍රියා 2:37-42.

3, 4. ගෝලයන් යෙරුසලම, යුදය සහ ගලීලයට අයත් ප්‍රදේශවලින් පිටවී යද්දී දේශනා කිරීමේ වැඩය පැතිර ගියේ කොහොමද?

3 ඒ වැදගත් සිද්ධිය සිදු වී වැඩි කලක් ගියේ නැහැ, යෙරුසලමේ සිටි ක්‍රිස්තියානීන්ට පීඩා රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. මේ හේතුව නිසා “විසිරී ගිය අය වචනයේ ශුභාරංචිය ප්‍රකාශ කරමින් දේශය පුරා ගියෝය” කියා ඒ විස්තරයේ සඳහන් වෙනවා. (ක්‍රියා 8:1-4) නිදසුනක් වශයෙන් ක්‍රියා 8වන පරිච්ඡේදය තුළ සඳහන් වන ෆිලිප් පෙනෙන විදියට ග්‍රීක් භාෂාව කතා කළ දේශනාකාරයෙක්. ඔහු සමරිතානු ජාතිකයන්ට දේශනා කළා. ඒ වගේම ක්‍රිස්තුස් ගැන පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූ ඉතියෝපියානු ජාතික නිලධාරියෙකුටත් ඔහු දේශනා කළා.—ක්‍රියා 6:1-5; 8:5-13, 26-40; 21:8, 9.

4 මෙසේ පදිංචි වීමට තැන් සොයාගෙන යෙරුසලම, යුදය සහ ගලීලයට අයත් දේශ සීමාවෙන් පිටවීමට ක්‍රිස්තියානීන්ට සිදු වුණා. මේ නිසා ඔවුන්ට තම ජාතිය නිසා ඇති වූ ප්‍රශ්නවලට මෙන්ම භාෂාව නිසත් ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදු වුණා. ඔවුන්ගෙන් සමහරදෙනෙක් යුදෙව්වන්ට පමණක් සාක්ෂි දරන්න ඇති. නමුත් ලූක් වාර්තා කරන ආකාරයට, “සයිප්‍රසයෙන් සහ සිරේනියෙන් වූ සමහර මිනිස්සු අන්තියෝකියට පැමිණ, ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින් ග්‍රීක බස කතා කළ [යුදෙව් නොවන] ජනයාට කතා කරන්න පටන්ගත්තෝය.”—ක්‍රියා 11:19-21.

සැමට එක සේ සලකන දෙවිගෙන් පණිවුඩයක්

5. යෙහෝවා දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව ශුභාරංචිය තුළින් පැහැදිලි වෙන්නේ කෙසේද?

5 එසේ ශුභාරංචිය වෙනත් ජාතීන් අතර පැතිර යෑම දෙවිගේ කැමැත්ත වුණා. එක් අවස්ථාවකදී වෙනත් ජාතීන්ට අයත් ජනයා ගැන පේතෘස් දැරූ ආකල්පය වෙනස් කරගැනීම සඳහා යෙහෝවා ඔහුට උපකාර කළා. එය බොහෝ සෙයින් අගය කළ පේතෘස් පැවසුවේ “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට ස්ථිරවම වැටහේ. මන්ද සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇති, ධර්මිෂ්ඨකම් කරන තැනැත්තාව ඔහු පිළිගන්නේය” කියායි. (ක්‍රියා 10:34, 35; ගීතාවලිය 145:9) කලින් ක්‍රිස්තියානීන්ට පීඩා කළ කෙනෙක් වූ පාවුල් ඒ කාරණය තවදුරටත් ස්ථිර කරමින් පැවසුවේ දෙවිගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීම” කියායි. (1 තිමෝති 2:4) ඒ අනුව ඕනෑම වර්ගයක, ජාතියක හා භාෂාවක වගේම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියල්ලන්ටම දේවරාජ්‍යය පිළිබඳ ඒ අනගි බලාපොරොත්තුව දී තිබෙනවා. ඒ අපගේ මැවුම්කරු සැමට එක සේ සලකන දෙවි කෙනෙක් නිසයි.

6, 7. ශුභාරංචිය විවිධ භාෂාවලින් ලොව පුරා පැතිර යන ආකාරය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමන අනාවැකිද?

6 මෙසේ ශුභාරංචිය ලොව පුරා පැතිර යෑම ගැන ශතවර්ෂ ගණනාවකට කලින්ම පවසා තිබුණා. ඒ ගැන දානියෙල් ලිව්වේ මෙහෙමයි. “සියලු වර්ගයන්ද ජාතීන්ද භාෂාද [යේසුස්ට] මෙහෙකරන පිණිස ආණ්ඩුවත් ගෞරවයත් රාජ්‍යයකුත් ඔහුට දෙන ලද්දෝය.” (දානියෙල් 7:14) යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳව කියවා දැනගැනීමට ඔබට උපකාර කරන මේ සඟරාව ලොව පුරා භාෂා 151කින් බෙදාහැරීමම ඒ බයිබල් අනාවැකියේ ඉටුවීමක් නෙවෙයිද!

7 සදාකාල ජීවිතය පිළිබඳ පණිවුඩය සියලුම භාෂා කතා කරන ජනයාට අසන්න ලැබෙන කාලයක් පිළිබඳව අනාවැකි බයිබලයේ සඳහන් වී තිබෙනවා. සැබෑ නමස්කාරය වෙතට බොහෝදෙනෙක් ඇදී එන ආකාරය ගැන සෙකරියා විස්තර කළේ මෙහෙමයි. “ඒ දවස්වලදී ජාතීන්ගේ සැම භාෂා කතා කරන්නන් අතරෙන් දසදෙනෙක් යුදෙව්වෙකුගේ [ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ පාලනයේ හවුල් වෙන්න යන “දෙවිගේ ඊශ්‍රායෙල්ට” අයත් ක්‍රිස්තියානීන්ගේ] වස්ත්‍රය අල්ලාගෙන: ‘අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේයැයි ඇසීමුයයි’ කියන්නෝය.” (සෙකරියා 8:23; ගලාති 6:16) ඒ වගේම තමා දුටු දර්ශනයක් ගැන යොහන් විස්තර කළේ මෙහෙමයි. “බලන්න! කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් මම දුටිමි. සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ ඔවුන්, . . . සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටිනවා දුටිමි.” (එළිදරව් 7:9) අද දින එවැනි අනාවැකිවල ඉටුවීම අපි කොතරම් හොඳින් අද්දකිනවාද!

සියලු ආකාර ජනයා හමුවීම

8. අප සාක්ෂි දැරීමේදී සකස් වීම් කළ යුත්තේ අද තියෙන කුමන තත්වය නිසාද?

8 අද කාලයේ බොහෝදෙනෙක් තම පදිංචිය වෙනස් කර වෙනත් රටවලට යෑම සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම යුධ කලාපවල ජීවත් වන මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන බොහෝදෙනෙක් සමූහ වශයෙන් සංවර්ධිත රටවල් කරා ඇදී එමින් සිටිනවා. ඒ තම ජීවිත වඩාත් සැපපහසු මෙන්ම සුරක්ෂිත එකක් කරගැනීමටයි. බොහෝ රටවල්වලට සරණාගතයන් ලෙස හෝ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන මෙවැනි අය සමූහයක් වශයෙන් යම් ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවල විදේශීය භාෂා කිහිපයක් කතා කෙරෙනවා. උදාහරණයක් ලෙස ෆින්ලන්තයේ භාෂා 120කට වැඩියෙන් කතා කෙරෙනවා. ඕස්ට්‍රේලියාවේ භාෂා 200කට වැඩියෙන් කතා කෙරෙන අතර එක්සත් ජනපදයේ එක නගරයක් වන සැන් ඩියේගෝවල විතරක් භාෂා 100කට වැඩියෙන් කතා කෙරෙනවා.

9. විවිධ භාෂා කතා කරන ජනයා අපගේ බලප්‍රදේශයේ සිටීම ගැන අපට හැඟිය යුත්තේ කොහොමද?

9 අපගේ ප්‍රදේශයේ එවැනි විවිධ භාෂා කතා කරන අය සිටීම සේවයට බාධාවක් ලෙසට ක්‍රිස්තියානි දේවසේවකයන් වන අපි සලකනවාද? නැහැ, කොහෙත්ම නැහැ! ඒ වෙනුවට අපි මේ තත්වය දකින්නේ දේශනා කිරීමට අපට තිබෙන බලප්‍රදේශය තවත් විශාල වීමක් ලෙසටයි. එසේ “අස්වැන්න නෙළීම සඳහා කෙත්” පැසී තිබීම සතුටට කරුණක් නෙවෙයිද! (යොහන් 4:35) මිනිසුන් කුමන ජාතියකට අයිති වුණත් කුමන භාෂාවක් කතා කළත්, දෙවි ගැන දැනගැනීමට ඔවුන්ට ආශාවක් තිබුණොත් ඒ සඳහා ඔවුන්ට උපකාර කරන්න අපි වෙහෙස මහන්සි වෙනවා. (මතෙව් 5:3) ‘සියලු භාෂාවන්ට’ අයත් ජනයා අතරින් විශාල පිරිසක් සෑම වසරකම යේසුස්ගේ ගෝලයන් වෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. (එළිදරව් 14:6) නිදසුනකට 2004 අගෝස්තු මාසය වන විට ජර්මනියේ දේශනා වැඩය භාෂා 40කින් පමණ කර තිබෙනවා. ග්‍රීසියේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් භාෂා 20කින් පමණ ශුභාරංචිය දේශනා කළා. ඒ කාලයේදීම ඕස්ට්‍රේලියාවේ භාෂා 30කට ආසන්න සංඛ්‍යාවකින් ශුභාරංචිය දේශනා කරනු ලැබුවත් ඊට වසර දහයකට කලින් එහි දේශනා කරනු ලැබුවේ භාෂා 18කින් පමණයි. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර භාෂාව ලෙස පිළිගැනුණත් ලොව පුරා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සියයට 80ක් පමණ කතා කරන්නේ වෙනත් භාෂාවන්.

10. “සියලු ජාතීන්” ගෝලයන් කිරීමේදී ප්‍රචාරකයන් වන අපිට ඉටු කිරීමට තිබෙන කොටස කුමක්ද?

10 සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් දුන් අණ අද දින ලොව පුරාම ඉටු වෙනවා! (මතෙව් 28:19) එයට මුළු හදින්ම කීකරු වෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලොව පුරා රටවල් 235ක දැඩි උද්‍යෝගයකින් යුතුව සේවය කරමින් සිටින අතර, භාෂා 400කට වඩා වැඩි ප්‍රමාණයකින් සඟරා පොත් පත් බෙදාහරිමින්ද සිටිනවා. යෙහෝවාගේ සංවිධානය ජනයාට අවශ්‍ය මෙවැනි පොත් පත් සපයන බව ඇත්තයි. නමුත් බයිබලයේ පණිවුඩය ‘සියලු ආකාරයේ පුද්ගලයන්ට’ හොඳින් තේරෙන භාෂාවකින් පහදා දීම සඳහා මුල් පියවර ගත යුත්තේ ප්‍රචාරකයන් වන අපි හැමෝමයි. එය අපේ වගකීමයි. (යොහන් 1:7) යෙහෝවාගේ සංවිධානය සමඟ එකමුතුව ඔබ එක් එක්කෙනා කරන ඒ සේවය නිසා විවිධ භාෂා කතා කරන මිලියන ගණනක් ජනයාට ශුභාරංචිය ලැබී තිබෙනවා. (රෝම 10:14, 15) පෞද්ගලිකව අපි හැමෝටම ඉතා වැදගත් කොටසක් ඉටු කිරීමට තිබෙනවා.

අභියෝගය භාරගැනීම

11, 12. (අ) මුහුණ දීමට තිබෙන අභියෝග මොනවාද? දෙවි තම උපකාරය ලබා දෙන්නේ කොයි විදිහටද? (ආ) ජනයාට ඔවුන්ගේම මව් භාෂාවෙන් ඉගැන්වීම බොහෝවිට ප්‍රයෝජනවත් දෙයක් වෙන්නේ ඇයි?

11 මේ කාලයේ සිටින ප්‍රචාරකයන් තමන්ගේ භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙනගන්න ආශාවෙන් සිටිනවා වෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා ආශ්චර්යවත් දීමනා දෙවිගෙන් ලැබෙයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. (1 කොරින්ති 13:8) වෙනත් භාෂාවක් ඉගෙනගැනීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි වෙනත් භාෂාවක් කතා කරන ජනයාට ආවේණික වූ පසුබිමක් සහ සංස්කෘතියක් තිබෙනවා. ඒ වගේම වෙනත් රටක පදිංචියට යන සමහර අය මුලදී බොහෝවිට ලැජ්ජාශීලී නිහඬ පුද්ගලයන්. ඔවුන් හිතන විදිහ තේරුම්ගැනීමත් එතරම් පහසු නැහැ. ඒ නිසා දැනටමත් ඒ භාෂාව කතා කරන්න ඉගෙනගෙන සිටින ප්‍රචාරකයන්ට වුණත්, තමන් හිතන විදිහේ සහ ඒ භාෂාවෙන් ශුභාරංචිය ඉදිරිපත් කරන විදිහේ වෙනසක් ඇති කරගැනීම අවශ්‍යයි. එසේ කිරීම තුළින් පමණයි ඔවුන්ට හැකි වෙන්නේ ඒ ජනයාගේ හිතට දැනෙන ආකාරයෙන් පැහැදිලි ලෙස බයිබලයේ පණිවුඩය කියා දීමට.

12 එවැනි අභියෝග මැද පවා වෙනත් භාෂාවක් කතා කරන ජනයාට උදව් කිරීම සඳහා තම සෙනඟ දරන උත්සාහයට යෙහෝවා උපකාර කරනවා. (ලූක් 11:13) ඔහු ඒ උපකාරය සපයන්නේ වෙනත් භාෂාවක් කතා කිරීමට හැකියාව ප්‍රාතිහාර්යකින් ලබා දීමෙන් නෙවෙයි. ඒ වෙනුවට එවැනි භාෂා කතා කරන වෙනත් අය සමඟ ශුභාරංචිය ගැන කතා කිරීමට අපට තිබෙන ආශාව තවත් වැඩි කිරීමෙනුයි. (ගීතාවලිය 143:10) කෙනෙක්ට එතරම් හුරු පුරුදු නැති භාෂාවකින් වුණත් බයිබලයේ ඇති පණිවුඩය දේශනා කිරීමෙන් හෝ ඉගැන්වීමෙන් ඔහුගේ මනසට යම් තොරතුරු දෙන්න පුළුවන් බව ඇත්තයි. නමුත් අපට සවන් දෙන්නන්ගේ හදවතට කතා කරන්න නම් ඔවුන්ගේම මව් බසින් කතා කිරීමයි හොඳම දේ. එසේ කිරීම නිසැකවම ඔහු තුළ ගැඹුරු බලපෑමක් ඇති කරාවි.—ලූක් 24:32.

13, 14. (අ) වෙනත් භාෂාවකින් දේශනා කිරීමට සමහරුන්ව පෙලඹෙන්නේ කුමන හේතු නිසාද? (ආ) සමහරුන් පරිත්‍යාගශීලී ස්වභාවය පෙන්වා තිබෙන ආකාර විස්තර කරන්න.

13 වෙනත් භාෂාවක් කතා කරන ජනයා බයිබලයේ සත්‍යයන්ට දක්වන හොඳ ප්‍රතිචාරය දැකීමෙන් බොහෝ ප්‍රචාරකයන් එවැනි අයට ශුභාරංචිය කියා දීමට ඉදිරිපත් වී සිටිනවා. එවැනි අභියෝගයක් බාරගැනීමට තිබෙන ආශාව නිසාත් එවැනි සේවයකින් ලැබෙන ප්‍රීතිමත් අද්දැකීම් නිසාත් තවත් සමහරුන් ඒ ගැන උනන්දු වෙනවා. දකුණු යුරෝපයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයකින් ලැබුණු වාර්තාවක සඳහන් වුණේ “නැගෙනහිර යුරෝපයෙන් මෙහෙට පැමිණෙන බොහෝදෙනෙක් සත්‍යය සඳහා සාපිපාසාවෙන් සිටිනවා” කියායි. සවන්දීමට කැමැත්තක් දක්වන එවැනි පුද්ගලයන්ට උපකාර කිරීම මොන තරම් තෘප්තියක් ගෙන දෙන අද්දැකීමක්ද!—යෙසායා 55:1, 2.

14 කොහොමනමුත් මේ සේවයෙන් හොඳ ප්‍රතිඵල ලබන්න නම් අපිට දැඩි අධිෂ්ඨානයක් මෙන්ම යම් දේවල් පරිත්‍යාග කරන්න වුණත් කැමැත්තක් තිබිය යුතුයි. (ගීතාවලිය 110:3) උදාහරණයක් ලෙස චීනයෙන් තම රටට ස්ථිර පදිංචියට පැමිණි ජන පිරිස්වලට බයිබලය තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා ජපන් ජාතික පවුල් බොහොමයක් විශාල නගරවල පිහිටි තම සැපපහසු නිවෙස් අත්හැර ඒ ප්‍රදේශවලට ගොස් තිබෙනවා. පිලිපීන භාෂාව කතා කරන ජනයා සමඟ බයිබල් පාඩම් පැවැත්වීම සඳහා අමෙරිකාවේ බටහිර වෙරළ දිග තීරයේ වෙසෙන ප්‍රචාරකයන් නිතිපතා පැයක් හෝ දෙකක් පමණ තම වාහනවලින් ගමන් කරනවා. නෝර්වේවල වෙසෙන යුවළක් ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි පවුලක් සමඟ බයිබලය පාඩම් කරන්නේ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? * යන විවරණිකාවේ ඉංග්‍රීසි සහ නෝර්වේජියානු පිටපත් යොදාගනිමිනුයි. පර්සියානු භාෂාව ඒ පාඩම් කරන පවුලේ මව්බස වන ඩාරි බසට බොහෝදුරට සමාන නිසා එම විවරණිකාවේම පර්සියානු පිටපතක් යොදාගෙන ඒ පවුලේ අය ඡේද කියවනවා. නමුත් ඔවුන් කතා බහ කරගන්නේ ඉංග්‍රීසි හා නෝර්වේජියානු භාෂාවලිනුයි! වෙනත් රටවල්වලින් පැමිණෙන අය ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වද්දී, එවැනි ලොකු පරිත්‍යාගයන් සහ සකස් වීම් කරන අයට ලැබෙන ප්‍රීතිය කියා නිම කරන්න බැහැ. ඇත්තෙන්ම එය ආශීර්වාදයක්! *

15. විවිධ භාෂාවලින් කරනු ලබන දේශනා වැඩෙහි අප සියලුදෙනාටම හවුල් විය හැක්කේ කෙසේද?

15 විවිධ භාෂාවලින් කරනු ලබන මේ සේවයට හවුල් වෙන්න ඔබටත් පුළුවන්ද? ඔව්, ඇත්තෙන්ම පුළුවන්. ඔබේ බලප්‍රදේශයේ කතා කරන්නේ වෙනත් කුමන භාෂාද කියා සොයා දැනගැනීමෙන් පළමු පියවර තබන්න. ඉන්පසු ඒ භාෂාවලින් පළ වී තිබෙන පත්‍රිකා සහ විවරණිකා ඔබ සමඟ රැගෙන යන්න. විවිධ භාෂාවලින් සිත්ගන්නා, සරල පණිවුඩයක් අඩංගු සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති පොත් පිංචය 2004දී මුදාහරිනු ලැබුවා. මේ වෙනකොටත් දේවරාජ්‍යයේ බලාපොරොත්තුව පැතිර වීමෙහි විශාල කාර්යයක් මේ පොත් පිංචය මගින් ඉටු වී තිබෙනවා.—අවසාන පිටුවේ ඇති “සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි” නමැති ලිපිය බලන්න.

‘විදේශියාට ප්‍රේම කිරීම’

16. වෙනත් භාෂාවන් කතා කරන ජනයාට උපකාර කිරීම සඳහා වගකීම් දරන සහෝදරයන් පරිත්‍යාගශීලී ස්වභාවයක් පෙන්වන්නේ කොහොමද?

16 වෙනත් භාෂාවක් ඉගෙනගත්තත් නැතත්, අපේ ප්‍රදේශවල ජීවත් වන විදේශීය ජනයාට දෙවි පිළිබඳ දැනුමක් ලබාගැනීමට උපකාර කරන්න අප හැමෝටම පුළුවන්. “විදේශියාට ප්‍රේම කරන්න” කියා යෙහෝවා දෙවි තම සෙනඟට උපදෙස් දුන්නා. (ද්විතීය කතාව 10:18, 19) මේ උදාහරණය සලකා බලන්න. උතුරු අමෙරිකාවේ එක්තරා විශාල නගරයක පිහිටි රාජ්‍ය ශාලාවක සභා පහක් රැස්වීම් පවත්වනවා. මෙසේ එකම රාජ්‍ය ශාලාවක් සභාවන් කිහිපයකටම භාවිත කරන්න සිදු වන විට, බොහෝ අවස්ථාවලදී කරන්නේ ඒ රැස්වීම් පවත්වන වේලාවන් අවුරුද්දක් පාසා මාරු කරගැනීමයි. මේ සැලැස්ම ක්‍රියාත්මක වූ එක් අවස්ථාවකදී චීන භාෂාව කතා කරන සභාවට තම රැස්වීම් පවත්වන්න නියමිත වුණේ ඉරිදා හවස් වරුවේදීයි. නමුත් මේ සභාවට අයත් චීන භාෂාව කතා කරන බොහෝදෙනෙක් හවස් වරුවේ ආපන ශාලාවල තම රැකියාවල නියුතු වන නිසා ඔවුන්ට ඒ වෙලාවට රැස්වීම්වලට සහභාගි වීම අමාරු වුණා. මෙහිදී අනිත් සභාවල සිටි වැඩිමහල්ලන් කාරුණික ලෙස ඉදිරිපත් වී චීන භාෂා රැස්වීම එදිනම ඊට කලින් වේලාවක පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කළා.

17. වෙනත් භාෂාවක් කතා කරන කණ්ඩායමක සිටින අයට උපකාර කිරීමට යෑමට සමහරුන් තීරණය කරන විට අපට හැඟිය යුත්තේ කෙසේද?

17 වෙනත් භාෂා කතා කරන කණ්ඩායම්වලට උපකාර කිරීමට කැමැත්තක් දක්වන, සුදුසුකම් තිබෙන සහ හැකියාවන් ඇති සහෝදර සහෝදරියන්ට ප්‍රේමණීය අවේක්ෂකයන් ප්‍රශංසා කරනවා. මෙවැනි අද්දැකීම් ලත් දක්ෂ ගුරුවරුන් තම සභාවෙන් පිටවී වෙනත් ප්‍රදේශයක සේවයට යෑම ඒ සභාවට පාඩුවක් වුණත් ඒ සභාවේ අවේක්ෂකයන් එයට ඉඩහරින්නේ අන් ජනයා ගැන ඔවුන්ට ඇති ප්‍රේමණීය හැඟීම නිසයි. එවැනි අය ක්‍රියා කරන්නේ ලිස්ත්‍රාවේ සහ ඉකෝනියේ සිටි වැඩිමහල්ලන්ට සමානවයි. තිමෝති ඔවුන්ගේ සභාවට ගොඩාක් වටින කෙනෙක් වුණත් පාවුල් සමඟ වෙනත් සභාවලට සංචාරයේ යෙදීමෙන් වළක්වා තමන්ගේම සභාවේ ඔහුව තබාගැනීමට ඔවුන් උත්සාහ කළේ නැහැ. (ක්‍රියා 16:1-4) ඒ විතරක් නෙවෙයි, විදේශීන් අතර සේවය කිරීමට යන සහෝදර සහෝදරියන් තමන්ට වඩා වෙනස් වූ විදේශීන්ගේ සිතුම් පැතුම්, සිරිත් විරිත් හෝ පුරුදු නිසා අධෛර්යයට පත් වෙනවා වෙනුවට ඒවා අගය කරන්න පුරුදු වෙනවා. ඒ වගේම ශුභාරංචිය වෙනුවෙන් ඒ පුද්ගලයන් සමඟ හොඳ සම්බන්ධයක් ඇති කරගැනීමට ඔවුන් උත්සාහ කරනවා.—1 කොරින්ති 9:22, 23.

18. හැමෝටම විවෘත වී තිබෙන්නේ ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන’ කිනම් ‘විශාල දොරක්ද?’

18 බයිබලයේ අනාවැකිවල සඳහන් පරිදි මේ වන විටත් ශුභාරංචිය ‘ජාතීන්ගේ සෑම භාෂාවකින්ම’ දේශනා කරමින් තිබෙනවා. විදේශ භාෂා කතා කරන බොහෝදෙනෙක් සත්‍යය කරා ඇදී ඒමේ වැඩි ඉඩ කඩක් තවමත් තිබෙනවා. ‘ක්‍රියාකාරකම්වලට මඟ පාදන’ මේ ‘විශාල දොර’ තුළින් දක්ෂ ප්‍රචාරකයන් දහස් ගණනක් ඇතුල් වී සිටිනවා. (1 කොරින්ති 16:9) ඒ වුණත් විදේශ භාෂා කතා කරන අයගේ උනන්දුව වැඩි කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුයි. මේ ගැන ඊළඟ ලිපිය තුළින් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 14 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

^ 14 ඡේ. තවත් උදාහරණ සඳහා 2004 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ 24-8 දක්වා පිටුවල “සුළු පරිත්‍යාගවලින් අපිට ලැබුණා ආශීර්වාද රැසක්” යන ලිපිය බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සියලු ආකාර ජනයාට එක හා සමානව සැලකීම සම්බන්ධයෙන් යෙහෝවාව අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?

• වෙනත් භාෂාවක් කතා කරන ජනයා අපගේ බලප්‍රදේශයේ සිටීම අප සැලකිය යුත්තේ කෙසේද?

• මිනිසුන්ට ඔවුන්ගේම මව්බසින් දේශනා කිරීම ප්‍රයෝජන ගෙන දෙන්නේ ඇයි?

• අප අතර සිටින විදේශීන් ගැන සැලකිල්ලක් දැක්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ සිතියම/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝමය

ක්‍රීට්

ආසියාව

ෆ්‍රිජිය

පම්ෆිලිය

පොන්තසය

කපදෝසිය

මෙසපොතේමියාව

මේදියාව

පාර්තියා

ඒලාම්

අරාබිය

ලිබියාව

ඊජිප්තුව

යුදය

යෙරුසලම

[මුහුදු]

මධ්‍යධරණී මුහුද

කලු මුහුද

රතු මුහුද

පර්සියානු බොක්ක

[පින්තූරය]

ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේදී රෝම අධිරාජ්‍යයේ ප්‍රාන්ත 15ක විසූ ජනයාට තම මව් බසින් ශුභාරංචියට සවන්දීමට අවස්ථාවක් ලැබුණා

[24වන පිටුවේ පින්තූරය]

විදේශීන් බොහෝදෙනෙක් බයිබලයේ තිබෙන සත්‍යතා කැමැත්තෙන් පිළිගන්නවා

[25වන පිටුවේ පින්තූරය]

භාෂා පහකින් සඳහන් කර තිබෙන රාජ්‍ය ශාලා නාම පුවරුවක්