Skip to content

පටුනට යන්න

හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්

හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්

හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්

ලෝක විනාශය ගැන කතා කරද්දී බයිබලය “හර්–මගෙදොන්” කියන වචනය භාවිත කරනවා කියා කලින් ලිපියේ සඳහන් කළා ඔබට මතක ඇති. “හර්–මගෙදොන්” යන වචනය හෙබ්‍රෙව් වචනයක් වන අතර එහි අර්ථය “මෙගිද්දෝ කන්ද” යන්නයි. මෙය අපට බයිබලය තුළ එළිදරව් 16:16හි දැකගන්න පුළුවන්. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔවුහු, හෙබ්‍රෙව් බසින් හර්–මගෙදොන් ලෙස හඳුන්වන ස්ථානයට ඔවුන්ව රැස් කළෝය.” හර්–මගෙදොන් කියන තැනට රැස් කරන්නේ කාවද? කුමක් සඳහාද? බයිබලයේ එළිදරව් 16:14හි එයට පිළිතුර සපයන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්ව සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට රැස්” කරනු ලබනවා කියායි. නමුත් මෙහි සඳහන් කරන රජුන් යුද්ධ කරන්න යන්නේ කොහේද? කා සමඟද? යුද්ධයට හේතුව මොකද්ද? ගොඩාක් අය හිතන විදිහට මේ යුද්ධයේදී මිනිසුන්ව සමූලඝාතනය කළ හැකි අවි මේ රජුන් යොදාගනීවිද? ඉන් බේරෙන අය සිටීවිද? එවැනි ප්‍රශ්න රාශියක් ඔබේ මනසට නැඟෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයෙන් සොයාගන්න පුළුවන්.

බයිබලය තුළ “මෙගිද්දෝ කන්දක්” ගැන සඳහන් වන නිසා හර්–මගෙදොන් යුද්ධය සිදු වෙන්නේ මැද පෙරදිග පිහිටි එක්තරා විශේෂ කන්දක විය හැකිද? එහෙම වෙන්න බැහැ. ඊට හේතුව ඒ නමින් හැඳින්වෙන කන්දක් දැන් මේ පොළොව මත නැති නිසයි. කලින් මෙගිද්දෝ කන්ද නමින් හැඳින්වූ ස්ථානය දැන් එක්තරා තැනිතලාවක පිහිටි මීටර් 20ක් පමණ උස පස් කන්දක් විතරයි. මෙවැනි තැනක “පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාද රැස්ව” සිටීමට තරම් ප්‍රමාණවත් ඉඩක් නැහැ. (එළිදරව් 19:19) කොහොමනමුත් මැද පෙරදිග ඉතිහාසය තුළ මෙගිද්දෝ යන ස්ථානයේ දරුණු හා තීරණාත්මක සටන් රාශියක් සිදු වුණා. ඒ නිසා අනිවාර්යයෙන්ම ජයග්‍රහකයෙක් තීරණය වන සටනක් සංකේතවත් කිරීමට හර්–මගෙදොන් යන වචනය භාවිත වෙනවා.—“මෙගිද්දෝ—උචිත සංකේතයක්” යන 5වන පිටුවේ කොටුව බලන්න.

හර්–මගෙදොන් කියන්නේ ජාතීන් අතර ඇති වන යුද්ධයක් නෙවෙයි. එළිදරව් 16:14හි සඳහන් වෙන්නේ “දෙවිගේ මහත් දවසේ යුද්ධයට” රැස් කරන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්ව” කියායි. ඒ ගැන යෙරෙමියාගේ අනාවැකියේ කියන්නේ “යෙහෝවා විසින් මරවන ලද්දෝ . . . පොළොවේ එක කෙළවරක පටන් අනික් කෙළවර දක්වාම වන්නෝය” කියායි. (යෙරෙමියා 25:33) ඔව්, හර්–මගෙදොන් යනු මිනිසුන් එකිනෙකා සටන් කරන යුද්ධයක් නෙවෙයි. ඒ වගේම එය මැද පෙරදිග එක්තරා ස්ථානයක සිදු වන්නකුත් නෙවෙයි. ඒ වෙනුවට එය මුළු පොළොවේ සෑම තැනකටම බලපාන යෙහෝවා දෙවිගේ යුද්ධයක්.

එළිදරව් 16:16හි හර්–මගෙදොන් හඳුන්වන්නේ යම් ‘ස්ථානයක්’ ලෙසට බව සැලකිල්ලට ගන්න. බයිබලයේ “ස්ථානය” කියා සඳහන් කරද්දී එයින් එක්තරා තත්වයකටත් යොමු දක්වන්න පුළුවන්. මෙහිදී එයින් කියවෙන්නේ මුළු ලෝකයම යෙහෝවාට විරුද්ධව නැඟී සිටින අවස්ථාවේදී ඇති වන තත්වය ගැනයි. (එළිදරව් 12:6, 14) හර්–මගෙදොන් යුද්ධයේදී පොළොවේ සිටින සියලුම ජාතීන් එකට එකතු වී “රජවරුන්ගේ රජු, ස්වාමිවරුන්ගේ ස්වාමියා” වන යේසුස් ක්‍රිස්තුස් යටතේ සිටින ‘ස්වර්ගයේ සිටි සේනාවන්ට’ විරුද්ධව නැඟී සිටීවි.—එළිදරව් 19:14, 16.

හර්–මගෙදොන් කියන්නේ මිලියන ගණනක් එකවර මරාදැමිය හැකි අවි ආයුධවලින් කරන විනාශයක්ද? නැත්නම් අභ්‍යවකාශයේ යම් දෙයක් පෘථිවිය හා ගැටීමෙන් සිදු වන විනාශයක්ද? එහෙමනම් ප්‍රේමණීය දෙවි කෙනෙක් මිනිසාටත් මිනිසාගේ නිවහනටත් එවැනි අවසානයක් ගෙනෙන්න ඉඩහරීවී කියා හිතන්න පුළුවන්ද? බැහැ, එහෙම හිතන්න බැහැ. මොකද දෙවි ඉතා පැහැදිලිවම කියා තිබෙන්නේ පොළොව “පාළු තැනක් වීමට නොව විසීමට තැනුවේය” කියායි. (යෙසායා 45:18; ගීතාවලිය 96:10) ඒ නිසා හර්–මගෙදොන් යුද්ධයේදී යෙහෝවා අපගේ පොළොව ගින්නෙන් දැවී යෑමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු ‘පොළොව විනාශ කරන අයව විනාශ කර’ දමයි.—එළිදරව් 11:18.

හර්–මගෙදොන් යුද්ධය—කවදාද?

මෙය ශතවර්ෂ ගණනාවක් පුරා බොහොමයක් මිනිසුන්ගේ සිත්වල තිබී ඇති ප්‍රශ්නයක්. මේ තීරණාත්මක යුද්ධය සිදු වන කාලය ගැන දැනගැනීමට අපට බයිබලයේ තිබෙන වෙනත් පොත් සමඟ එළිදරව් පොත සන්සන්දනය කිරීම උපකාරවත් වෙනවා. යේසුස් සොරෙකු මෙන් පැමිණීම හර්–මගෙදොන් යුද්ධයට සම්බන්ධ බව එළිදරව් 16:15හි සඳහන් වෙනවා. මේ සමාජ ක්‍රමය අවසානයේදී යේසුස් විනිශ්චය ඉටු කිරීමට එන ආකාරය විස්තර කිරීමටද ඒ නිදර්ශනය යොදාගෙන තිබෙනවා.—මතෙව් 24:43, 44; 1 තෙසලෝනික 5:2.

බයිබල් අනාවැකිවල ඉටුවීම දෙස බලද්දී, 1914 සිට අපි ජීවත් වී තිබෙන්නේ මේ සමාජ ක්‍රමයේ අන්තිම දවස්වල බව පැහැදිලියි. * අන්තිම දවස්වල අවසාන අදියරේදී මහත් පීඩාවක් ආරම්භ වන බව යේසුස් පැවසුවා. එය කොතරම් කාලයක් පවතීද කියා බයිබලය කියන්නේ නැහැ. නමුත් ඒ කාලයේදී සිදු වන විපත්ති මින් පෙර කිසිදා සිදු නොවූ විරූ අයුරින් සිදු වන බවත් ඒ මහත් පීඩාව අවසන් වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් බවත් එහි පැහැදිලි කරනවා.—මතෙව් 24:21, 29.

හර්–මගෙදොන් කියන්නේ “සර්වපරාක්‍රම තැනැත්තා වන දෙවිගේ මහත් දවසේ යුද්ධයට” නිසා එය ප්‍රමාද කරන්න කිසිම මිනිසෙකුට බැහැ. මේ යුද්ධය ආරම්භ කිරීමට “නියම කාලය” දෙවි තීරණය කර තිබෙන නිසා එය “ප්‍රමාද නොවී එන්නේය.”—හබක්කුක් 2:3.

ධර්මිෂ්ඨ දෙවි ගෙනෙන සාධාරණ යුද්ධයක්

දෙවි මුළු ලෝකයටම බලපාන යුද්ධයක් ඇති කරන්නේ ඇයි? ඊට හේතුව හර්–මගෙදොන් යුද්ධය දෙවිගේ ප්‍රධාන ගුණාංගයක් වන යුක්තියට සම්බන්ධ නිසයි. බයිබලයේ කියන්නේ “යෙහෝවා යුක්තියට ප්‍රිය වන්නේය” කියායි. (ගීතාවලිය 37:28) මිනිස් ඉතිහාසය පුරාම සිදු වූ අයුක්තිය ඔහු දැක තිබෙනවා. යුක්තියට ප්‍රිය කරන දෙවි ඒ ගැන කෝපවීම පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ නිසා සාධාරණ යුද්ධයක් මගින් මේ මුළු දුෂ්ට සමාජ ක්‍රමයම විනාශ කිරීමට දෙවි තම පුත්‍රයාව පත් කර තිබෙනවා.

ලෝකයේ කොතැනක සිටියත් විනාශ කිරීමට සුදුසු අයව පමණක් සාධාරණ යුද්ධයක් තුළින් විනාශ කිරීමටත් අවංක හදවත් ඇති අයව ආරක්ෂා කිරීමටත් හැකියාව තිබෙන්නේ යෙහෝවාට පමණයි. (මතෙව් 24:40, 41; එළිදරව් 7:9, 10, 13, 14) මුළු පොළොවේ මැවුම්කරු වෙන්නේ යෙහෝවා දෙවි පමණක් නිසා එය පාලනය කිරීමට අයිතිය ඇත්තෙත් ඔහුට පමණයි.—එළිදරව් 4:11.

යෙහෝවා තම සතුරන්ව විනාශ කරන්නේ කොහොමද? ඒ ගැන අපි දන්නේ නැති බව ඇත්තයි. නමුත් සියලුම නපුරු ජනයාව විනාශ කිරීමට බලයක් යෙහෝවාට තිබෙන බව නම් අපි දන්නවා. (යෝබ් 38:22, 23; ශෙපනියා 1:15-18) ඒ යුද්ධයට හවුල් වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් සහ ස්වර්ගික හමුදාව පමණක් බව එළිදරව් 19වන පරිච්ඡේදයේ සඳහන් දර්ශනයෙන් ඇඟවෙනවා. ඒ නිසා යෙහෝවාට නමස්කාර කරන පොළොවේ සිටින සෙනඟ ඒ යුද්ධයට සහභාගි වෙන්නේ නැහැ.—2 ලේකම් 20:15-17.

ප්‍රඥාවන්ත දෙවි කෙනෙක් ප්‍රමාණවත් ලෙස අනතුරු අඟවයි

ඉන් බේරෙන අය සිටීවිද? ඔව්. ඇත්තම කියනවා නම් හර්–මගෙදොන් යුද්ධයේදී කිසිම කෙනෙක් විනාශ වෙන්න ඕනේ නැහැ. ඒ ගැන පේතෘස් පවසන්නේ “යෙහෝවා . . . සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වනවාට කැමති නැති” බවයි. (2 පේතෘස් 3:9) ඒ වගේම දෙවිගේ “කැමැත්ත නම්, සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්” කියා පාවුල් පැවසුවා.—1 තිමෝති 2:4.

ඒ නිසා භාෂා සිය ගණනකින් ලෝකය පුරාම “රාජ්‍යයේ මේ ශුභාරංචිය” පැතිරවීමට යෙහෝවා වග බලාගන්නවා. ඒ මගින් සෑම තැනකම සිටින මිනිසුන්ට ඒ විනාශයෙන් බේරීමට අවස්ථාවක් ඔහු සපයා දෙනවා. (මතෙව් 24:14; ගීතාවලිය 37:34; ෆිලිප්පි 2:12) ඒ ශුභාරංචියට ඇහුම්කන් දී එය පිළිගන්නා අයට පුළුවන් හර්–මගෙදොන් යුද්ධයෙන් තම ජීවිත ගලවාගෙන පාරාදීස පොළොවක සදාකල් ජීවත් වෙන්න. (එසකියෙල් 18:23, 32; ශෙපනියා 2:3; රෝම 10:13) ප්‍රේමණීය දෙවි කෙනෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි දෙයක් නෙවෙයිද?—1 යොහන් 4:8.

ප්‍රේමණීය දෙවි කෙනෙකුට යුද්ධ කළ හැකිද?

ප්‍රේමයේ උතුම්ම ආදර්ශය වන දෙවි මිනිසුන්ව විනාශ කර දමන්නේ ඇයි කියා සමහරු කල්පනා කරනවා. මෙය වටහාගැනීමට අපි සරල නිදසුනක් සලකා බලමු. භයානක ඩෙංගු මදුරුවන්ගෙන් පිරුණු නිවසක් ගැන හිතන්න. ඒ නිවසේ ජීවත් වන අයගේ සෞඛ්‍යය හා යහපත ගැන හිතන ඒ නිවසේ අයිතිකරු ඒ මදුරුවන්ව විනාශ කිරීමට ගන්නා තීරණයට ඔබ එකඟ වෙන්නේ නැද්ද?

ඒ වගේ, යෙහෝවා හර්–මගෙදොන් යුද්ධය කරන්නේ මිනිසුන් කෙරෙහි ඔහුට ඇති ප්‍රේමය නිසයි. දෙවි බලාපොරොත්තු වෙන්නේ මේ පොළොව පාරාදීසයක් කර එහිදී මිනිසා පාපයෙන් තොරව, සාමයෙන් යුතුව ‘කිසිවෙකුගෙන් භයක් නොලැබ’ ජීවත් වෙනවා දකින්නයි. (මීකා 4:3, 4; එළිදරව් 21:4) නමුත් සාමය සහ සුරක්ෂිතභාවයට බාධා කරන අය ගැන කියන්න පුළුවන් මොනවාද? භයානක මදුරුවන් හා සමාන, වෙනස් වෙන්න කැමැත්තක් නොදක්වන එවැනි අයව දෙවි විනාශ කරන්නේ ධර්මිෂ්ඨ අය සඳහා තිබෙන ප්‍රේමය නිසයි.—2 තෙසලෝනික 1:8, 9; එළිදරව් 21:8.

අද දින තිබෙන සහසිකම්වලට හා ලේ වැගිරවීම්වලට හේතුව අසාර්ථක මිනිස් පාලන ක්‍රම සහ තම ජාතිය වෙනුවෙන් මිනිසුන්ට තිබෙන ආත්මාර්ථකාමී හැඟීම් බව පැහැදිලියි. (දේශනාකාරයා 8:9) මෙසේ තම පාලන ක්‍රම පමණක් බලවත් කියා සිතන ඔවුන් දැනටමත් පිහිටුවා ඇති දෙවිගේ රාජ්‍යය ගැන සෙවීම නොසලකාහරිනවා. ඔවුන් තම පාලන ක්‍රම අත්හැර යෙහෝවා දෙවිගේ සහ යේසුස්ගේ පාලනයට යටත් වීමට කැමති බව මොන විදියටවත් පෙන්වන්නේ නැහැ. (ගීතාවලිය 2:1-9) ක්‍රිස්තුස් යටතේ වන යෙහෝවාගේ රාජ්‍යයේ ධර්මිෂ්ඨ පාලනය ආරම්භ කිරීම සඳහා එවැනි ආණ්ඩු ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. (දානියෙල් 2:44) මේ පොළොවත්, මනුෂ්‍යවර්ගයාවත් පාලනය කිරීමට අයිතිය ඇත්තේ කාටද කියන ප්‍රශ්නය නැවත මතු නොවීම සඳහාත් එය සදහටම විසඳීම සඳහාත් හර්–මගෙදොන් යුද්ධය කළ යුතුමයි.

හර්–මගෙදොන් යුද්ධයේදී යෙහෝවා මැදිහත් වෙන්නේ මිනිසාගේම යහපත වෙනුවෙනුයි. අද ලෝකය දවසින් දවස නරක අතට හැරෙන බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මිනිසාගේ අවශ්‍යතා මුළුමනින්ම සපුරාලීමට හැක්කේ දෙවිගේ පරිපූර්ණ පාලනයට විතරයි. ඒ වගේම සැබෑ සාමය හා සෞභාග්‍යය ලොව පුරා පැතිර යන්නෙත් ඔහුගේ රාජ්‍යයේදී පමණයි. නමුත් දෙවි කිසි දෙයක් නොකර මේ විදියටම දේවල් සිදු වෙන්න ඉඩ හැරියොත් ලෝකෙට මොනවා වෙයිද? ශතවර්ෂ ගණනාවක් පුරා මිනිස් ආණ්ඩු ක්‍රම යටතේ පැවති වෛරය, සැහැසියාව හා යුද්ධය දිගටම පවතින එකක් නැහැ කියා අපිට සහතික වෙන්න පුළුවන්ද? කොහොමටවත් බැහැ. ඒ නිසා මිනිසාට බලාපොරොත්තු විය හැකි හොඳම දේ හර්–මගෙදොන් යුද්ධය බව මනාව පැහැදිලියි.—ලූක් 18:7, 8; 2 පේතෘස් 3:13.

සියලු යුද්ධවලට නිමාවක් ගෙනෙන යුද්ධය

මෙතෙක් පැවති කිසිම යුද්ධයකට කරන්න බැරි වූ දෙයක් හර්–මගෙදොන් යුද්ධය මගින් කරන්න යනවා. ඒ සියලු යුද්ධවලට නිමාවක් ගෙන ඒමයි. යුද්ධ නොමැති කාලයක් ගැන ආශාවෙන් බලා නොසිටින්නේ කවුද? ඒත් යුද්ධ අවසන් කිරීමට මෙතෙක් මිනිසා දරා ඇති වෑයම් අසාර්ථක වී තිබෙනවා. මේ තුළින් යෙරෙමියා පැවසූ වචනවල සත්‍යතාව මනාව ඔප්පු වෙන්නේ නැද්ද? ඔහු කිව්වේ “යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහු තුළෙහිම නැති බව දනිමි; තමාගේ පාද යොමු කිරීම ගමන් යන මනුෂ්‍යයාට අයිති නැත” කියායි. (යෙරෙමියා 10:23) නමුත් ඉදිරියේදී යෙහෝවා කිරීමට යන දෙය ගැන බයිබලය පවසන්නේ මෙහෙමයි. “ඔහු පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන්නේය; ඔහු දුන්න බිඳ හෙල්ලය කපා දමා රථ ගින්නෙන් දවන්නේය.”—ගීතාවලිය 46:8, 9.

ජාතීන් තමන් සතු භයානක අවි එකිනෙකාට විරුද්ධව යොදාගෙන පරිසරය විනාශ කරද්දී, මේ පොළොවේ මැවුම්කරු හර්–මගෙදොන් යුද්ධය මගින් ඒ අයව විනාශ කරන්න යනවා. (එළිදරව් 11:18) යුග ගණනාවක් පුරා දෙවිට ගරුබිය ඇති මිනිසුන් බලාපොරොත්තු වූ දේ ඉටු වෙන්නේ මේ යුද්ධය මගිනුයි. මිනිසුන්ව පාලනය කිරීමට බලය ඇත්තේ මේ පොළොවේ මැවුම්කරු වන යෙහෝවා දෙවිට පමණක් කියා එයින් ඔප්පු වේවි.

එහෙමනම්, ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන මිනිසුන්ට හර්–මගෙදොන් යුද්ධයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ වෙනුවට මේ විනාශය ඔවුන්ට ඇති කරන්නේ අනාගතය ගැන අලුත් බලාපොරොත්තුවක්. මේ යුද්ධය මගින් පොළොවේ තිබෙන දූෂණය සහ දුෂ්ටකම් සදහටම නැති කර දමනවා වගේම දෙවිගේ ආණ්ඩුව ඇති කරන්න යන නව ධර්මිෂ්ඨ සමාජ ක්‍රමයකටද ඉඩ සලසා දෙනවා. (යෙසායා 11:4, 5) ඒ නිසා හර්–මගෙදොන් කියන්නේ ලෝක විනාශයක් නෙවෙයි. ඒ වෙනුවට ධර්මිෂ්ඨයන් උදෙසා සූදානම් කර ඇති පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීම සඳහා ප්‍රීතිමත් යුගයක ආරම්භයක්!—ගීතාවලිය 37:29.

[පාදසටහන]

^ 9 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මෙගිද්දෝ—උචිත සංකේතයක්

පුරාණ මෙගිද්දෝ පිහිටා තිබුණේ ඉතා වැදගත් තැනකයි. එය උතුරු ඊශ්‍රායෙලයේ පිහිටි යෙශ්‍රෙයෙල් මිටියාවතේ බටහිර පැත්තට මුහුණලා තිබුණා. ජාත්‍යන්තර වෙළඳ මාර්ග හා හමුදා මාර්ග ඒ හරහා වැටී තිබුණ නිසා ඒවාට යම් බලපෑමක් කරන්නට ඒ නගරයට බලය තිබුණා. මේ නිසා මෙගිද්දෝවල තීරණාත්මක සටන් සිදු වුණා. මහාචාර්ය ග්‍රේයම් ඩේවිස් ඒ පිළිබඳව මේ විදියට ලිව්වා. “මෙගිද්දෝ නගරය . . . වෙළඳුන්ට හා වෙනත් අයට පහසුවෙන් ඇතුල් විය හැකි නගරයක් වුණා. ඒ වුණත් අවශ්‍ය ඕනෑම වෙලාවක මේ හරහා වැටී තිබුණු මාර්ග වසා දැමීම වැනි ක්‍රියාවකින් ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතුවලට හෝ යුද්ධවලට යම් බලපෑමක් ඇති කරන්නත් ඊට හැකිකම තිබුණා. මෙවැනි වැදගත් හේතූන් නිසා මෙගිද්දෝ නගරය අල්ලාගැනීමට බොහෝ අය සටන් වැදීම සහ එය අල්ලාගත් විට ආරක්ෂා කරගැනීමට දැඩි වෙහෙසක් දැරීම . . . පුදුමයට කරුණක් නෙවෙයි.”—Cities of the Biblical World—Megiddo.

මෙගිද්දෝහි ඉතිහාසය ආරම්භ වුණේ මීට අවුරුදු 3,500කට කලිනුයි. මෙගිද්දෝහිදී III වන තුට්මෝස් නම් ඊජිප්තු පාලකයා විසින් කානානීය පාලකයන්ව පරාජය කිරීමත් සමඟ එය ආරම්භ වුණා. එසේ ආරම්භ වූ මෙගිද්දෝහි වැදගත්කම ශතවර්ෂ ගණනාවක් පුරා, එනම් 1918දී බ්‍රිතාන්‍ය ජාතික සේනාධිපතියෙක් වූ එඩ්මන්ඩ් ඇලන්බීගේ හමුදාව විසින් තුර්කීය හමුදාව පරාජය කරන තෙක්ම පැවතුණා. ඒවගේම කානාන්හි යාබින් රජුගේ හමුදාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට දෙවි විනිශ්චයකාර බාරාක් සහ ඔහුගේ හමුදාවට හැකියාව ලබා දුන්නෙත් මෙගිද්දෝහිදීයි. (විනිශ්චයකාරයෝ 4:12-24; 5:19, 20) විනිශ්චයකාර ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කළෙත් එම ස්ථානයේදීමයි. (විනිශ්චයකාරයෝ 7:1-22) අහසියා සහ යොෂියා යන රජවරුන්ව ඝාතනය කරනු ලැබුවෙත් මෙගිද්දෝහිදීයි.—2 රාජාවලිය 9:27; 23:29, 30.

මෙගිද්දෝහි තීරණාත්මක යුද්ධ ගණනාවක් සිදු වූ නිසා හර්–මගෙදොන් යුද්ධය එනම් දෙවිට විරුද්ධ වන සියලුදෙනාවම පරාජය කරමින් දෙවි ජයග්‍රහණය කරන යුද්ධයට එය සම්බන්ධ කිරීම ඉතා උචිතයි.

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[7වන පිටුවේ පින්තූර]

හර්–මගෙදොන් යුද්ධය ගැන අනතුරු ඇඟවීමක් හා ඉන් බේරී ජීවත් වීමට අවස්ථාවක් ලොව පුරා සිටින ජනයාට ලැබෙනවා

[7වන පිටුවේ පින්තූරය]

හර්–මගෙදොන් ප්‍රීතිමත් යුගයක ආරම්භයක්