Skip to content

පටුනට යන්න

ඔබ කීකරු වන්නේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද?

ඔබ කීකරු වන්නේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද?

ඔබ කීකරු වන්නේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද?

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.

1. (අ) මේ ලිපියේ තේමා පාඨය කුමක්ද? (ආ) ගෝලයන්ව අත්අඩංගුවට ගත්තේ ඇයි?

යේසුස් මිය ගොස් වැඩි කලක් ගත වී තිබුණේ නැහැ. ඔහුව මරා දැමීමට මුල් වී ක්‍රියා කළ යුදෙව් මහාධිකරණය දැන් සූදානමින් සිටින්නේ සිරගෙදර සිටින ඔහුගේ සමීපතම ගෝලයන්ට විරුද්ධව තිබෙන නඩුව විභාග කරන්නයි. ගෝලයන්ව අධිකරණයට ගෙන ඒමට නිලධාරීන්ව පිටත් කර ඇරියා. ඔවුන් සිරමැදිරියට ගිය විට එහි කිසිවෙක් සිටියේ නැහැ. ඒත් දොරවල් අගුලු දමා වසා තිබුණා. ගෝලයන් සිරගෙදර නොමැති බව දැනගත් විට අධිකරණයේ විනිසුරුවන් කෝපයට පත් වුණා. එම ගෝලයන් යේසුස් ගැන නිර්භීතව දේවමාලිගාවේ උගන්වමින් සිටින බව නිලධාරීන්ට වැඩි වේලාවක් යන්න කලින් දැනගන්න ලැබුණා. මේ නිලධාරීන් කෙළින්ම දේවමාලිගාවට ගොස් නැවතත් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහාධිකරණයට රැගෙන ආවා. කලින් වතාවේත් ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් යේසුස් ගැන මිනිසුන්ට ඉගැන්වූ නිසයි.—ක්‍රියා 5:17-27.

2. දේවදූතයෙක් ගෝලයන්ට උපදෙස් දුන්නේ කුමක් කරන්න කියාද?

2 ගෝලයන්ව සිරගෙදරින් නිදහස් කර තිබුණේ දේවදූතයෙක්. මෙසේ ඔවුන්ව නිදහස් කළේ පීඩාවලින් ආරක්ෂා කිරීමට නොව, යේසුස් ගැන ශුභාරංචිය යෙරුසලමේ වැසියන්ට දේශනා කිරීම සඳහායි. ඒ දේවදූතයා ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නා. “මේ ජීවිතය හා සම්බන්ධ දේ ගැන සියලු වදන් ජනයාට නොකඩවා කියන්න.” (ක්‍රියා 5:19, 20) නිලධාරීන් ඔවුන්ව අල්ලාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට දැකගැනීමට හැකි වුණේ ගෝලයන් ඒ අණට කීකරුව දේශනා කරන ආකාරයයි.

3, 4. (අ) දේශනා කිරීම නතර කරන්න කියා අණ කළ විට පේතෘස් සහ යොහන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) අනිත් ගෝලයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

3 ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව දේශනා කරමින් සිටි පේතෘස් සහ යොහන් යන ගෝලයන් දෙදෙනාව කලින් වතාවේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ප්‍රධාන විනිශ්චයකාරයා වූ ජෝසෆ් කායෆස් ඔවුන්ට මෙසේ තදින්ම අවවාද කර තිබුණා. “මේ [යේසුස්ගේ] නාමයෙන් උගන්වන්න එපායයි අපි පැහැදිලිවම ඔබට අණ කළෙමු. ඒත් බලන්න! ඔබ ඔබේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා තිබේ.” (ක්‍රියා 5:28) පේතෘස් හා යොහන් අධිකරණය ඉදිරියේ සිටීම ගැන කායෆස් පුදුම විය යුතු නැහැ. මන්ද, දේශනා කිරීම නතර කරන්න කියා මුල් අවස්ථාවේදී අණ කළ විට ඒ ගෝලයන් දෙදෙනා උත්තර දුන්නේ මෙසේයි. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨදැයි ඔබම විනිශ්චය කරගන්න. නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කිරීම නතර කරන්න නම් අපට නොහැක.” පුරාණයේ සිටි අනාගතවක්තෘ යෙරෙමියා වගේ පේතෘස් සහ යොහන්ටද දේශනා කරන්න කියා දුන් පැවරුම ඉටු නොකර සිටීම කිසිසේත් කළ නොහැකි දෙයක් වුණා.—ක්‍රියා 4:18-20; යෙරෙමියා 20:9.

4 පේතෘස් සහ යොහන්ට පමණක් නෙවෙයි යේසුස්ගේ ගෝලයෙකු ලෙස අලුතින් තෝරාගන්නා ලද මතියස් ඇතුළු සියලුම ගෝලයන්ටද අධිකරණයේ නියෝගය ගැන ඔවුන්ගේ ස්ථාවරය ප්‍රසිද්ධියේ පැවසීමට අවස්ථාවක් ලැබුණා. (ක්‍රියා 1:21-26) දේශනා කිරීම නතර කරන්න කියා පැවසූ විට ඔවුන්ද නිර්භීතව මෙසේ උත්තර දුන්නා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29.

කීකරු විය යුත්තේ දෙවිටද නැත්නම් මිනිසුන්ටද?

5, 6. ගෝලයන් අධිකරණයේ නියෝගයට කීකරු නොවුණේ ඇයි?

5 නීතිගරුක පුද්ගලයන් වූ ගෝලයන් අධිකරණ නියෝගයකට විරුද්ධව ක්‍රියා කළ අය නෙවෙයි. ‘මුළු පොළොව කෙරෙහි ඉතාම උසස් තැනැත්තා’ යෙහෝවා දෙවියි. (ගීතාවලිය 83:17) මේ නිසා කොතරම් බලයක් තිබෙන කෙනෙකුට වුණත් දෙවි දී තිබෙන නියෝගයකට අකීකරු වෙන්න කියා අණ කරන්න අයිතියක් නැහැ. ඔහු “මුළු පොළොවෙහි විනිශ්චයකාරයාණන්” පමණක් නොවෙයි ඔහු අපේ නීතිදායකයාණෝ මෙන්ම අපේ සදාකාල රජ්ජුරුවෝයි. දෙවිගේ නීතියක් අවලංගු කරමින් පනවන ඕනෑම අධිකරණ නියෝගයක් දෙවි ඉදිරියේ බල රහිතයි.—උත්පත්ති 18:25; යෙසායා 33:22.

6 මේ කාරණය ලෝකයේ ඇතැම් සුප්‍රසිද්ධ නීතිවේදීන් පවා පිළිගෙන තිබෙනවා. උදාහරණයක් හැටියට 18වන සියවසේ සිටි ඉංග්‍රීසි ජාතික විනිසුරුවෙකු වූ විලියම් බ්ලැක්ස්ටෝන් සඳහන් කළේ මිනිසුන් විසින් සම්පාදනය කරනු ලබන කිසිම නීතියක් බයිබලයෙහි “එළිදරව් කර තිබෙන නීතියට” පටහැනි නොවිය යුතු බවයි. මේ අනුව දේශනා කිරීම නතර කරන්න කියා යුදෙව් මහාධිකරණය ගෝලයන්ට නියෝග කිරීමෙන් පෙනී යන්නේ ඔවුන් දෙවිගේ නීතිය නොසලකාහැරිය බවයි. මේ නිසා ගෝලයන්ට ඒ නියෝගයට කිසිසේත් කීකරු වීමට නොහැකි වුණා.

7. ගෝලයන් කළ දේශනා සේවය ගැන නායක පූජකයන් කෝප වුණේ ඇයි?

7 අත්නෑර දේශනා කිරීමට යේසුස්ගේ ගෝලයන් ගෙන තිබූ අධිෂ්ඨානය ගැන නායක පූජකයන් කෝපයෙන් සිටියා. කායෆස් ඇතුළු පූජක පන්තියේ ඇතැම් අය සද්දුසිවරුන් වූ අතර ඔවුන් නැවත නැඟිටීමක් විශ්වාස කළේ නැහැ. ඒත් යේසුස්ව මළවුන්ගෙන් නැවත නැඟිටුවා තිබූ බව ගෝලයන් දිගින් දිගටම කියා සිටියා. (ක්‍රියා 4:1, 2; 5:17) සමහර පූජකයන් රෝම ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගැනීමට මහත් වෑයමක් දැරුවා. යේසුස් හා සම්බන්ධ නඩුව විභාග කිරීමේදී ඔහුව ඔවුන්ගේ රජු ලෙස පිළිගන්න කියා පිලාත් පැවසූ විට නායක පූජකයන් එකහෙළා කියා සිටියේ “සීසර් හැර අපට වෙන කිසි රජෙකු නැත” කියායි. (යොහන් 19:15) * දෙවි යේසුස්ව නැවත නැඟිටුවා තිබූ බව ගෝලයන් තහවුරු කළා පමණක් නොවෙයි, යේසුස් හැර ‘අපේ ගැලවීම සඳහා දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට මිනිසුන් අතරෙහි නැති බවත්’ ඔවුන් ඉගැන්වුවා. (ක්‍රියා 2:36; 4:12) ජනයා ඔවුන්ගේ නායකයා හැටියට නැවත නැඟිටුවනු ලැබූ යේසුස්ව පිළිගත්තා නම් රෝමවරුන් පැමිණ ‘තමන්ගේ ස්ථානයත් තමන්ගේ ජාතියත්’ පැහැරගනියි කියා යුදෙව් ආගමික නායකයන් බිය වුණා.—යොහන් 11:48.

8. ගමාලියෙල් යුදෙව් මහාධිකරණයට දුන් නැණවත් උපදෙස කුමක්ද?

8 යේසුස්ගේ ගෝලයන් ඉදිරියේ තිබුණේ ඉතා අසීරු කාලයක්. යුදෙව් මහාධිකරණයේ විනිසුරුවන් සිතාගෙන සිටියේ ඔවුන්ට මරණ දණ්ඩනය නියම කරන්නයි. (ක්‍රියා 5:33) කෙසේවෙතත් නොසිතූ ලෙස තත්වය වෙනස් වුණා. නීතිය පිළිබඳ හසල දැනුමක් තිබූ ගමාලියෙල් නැඟිට, ඉක්මන් වී කටයුතු කරන්න එපා කියා මහාධිකරණයේ සෙසු සාමාජිකයන්ට පැවසුවා. ඔහු නැණවත් ලෙස මෙසේ කරුණු ඉදිරිපත් කළා. “මේ වැඩපිළිවෙළ හෝ මේ කාර්යය මිනිසුන්ගෙන් නම් එය පරාජය කරනු ලබන්නේය. නමුත් එය දෙවිගෙන් නම්, ඔබට ඔවුන්ව පරාජය කිරීමට නොහැකි වන්නේය.” ඔහු මෙම වැදගත් කාරණයද ගෙනහැර දැක්වුවා. දිගටම ඔවුන්ට විරුද්ධ වෙනවා නම් ‘ඔබ ඇත්තෙන්ම දෙවිට විරුද්ධව සටන් කරන්නන් ලෙස පෙනෙනු ඇත.’—ක්‍රියා 5:34, 38, 39.

9. ගෝලයන් කළ දේශනා කිරීමේ කාර්යය ඇත්තෙන්ම දෙවිගෙන් ලැබුණු පැවරුමක් බව තහවුරු වන්නේ කුමකින්ද?

9 පුදුමයි, ඒ මහාධිකරණය ගමාලියෙල්ගේ උපදෙස පිළිගත්තා. මහාධිකරණය විසින් “ප්‍රේරිතයන්ව කැඳවා, ඔවුන්ට තළා, මෙතැන් පටන් යේසුස්ගේ නාමයෙන් කතා නොකරන ලෙස ඔවුන්ට අණ කර, යන්න හැරියෝය.” කෙසේවෙතත් ගෝලයන් බියට පත් නොවී, දේශනා කරන්න කියා දේවදූතයා දුන් අණට කීකරු වීමට අධිෂ්ඨාන කරගත්තා. ඔවුන් නිදහස් වූවාට පසු “දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.” (ක්‍රියා 5:40, 42) යෙහෝවා ඔවුන්ගේ වෑයමට මහත් සේ ආශීර්වාද කළා. මේ ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. “දෙවිගේ වචනය දිගටම වැඩි වර්ධනය වූයේය. යෙරුසලමේ ගෝලයන්ගේ ගණන බොහෝ සේ වැඩි විය.” ඒ විතරක් නෙමෙයි, “පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරු වූහ.” (ක්‍රියා 6:7) මෙය නායක පූජකයන්ට මොන තරම් දරුණු පහරක් වෙන්න ඇද්ද! ගෝලයන් කළ දේශනා කිරීමේ කාර්යය ඇත්තෙන්ම දෙවිගෙන් ලැබුණු පැවරුමක් බවට සාක්ෂි ඕනෑ තරම් තිබුණා.

දෙවිට විරුද්ධව සටන් කරන අයට දිනන්න බැහැ

10. තමන්ගේ තනතුර දිගටම රැකගත හැකියි කියා කායෆස් සිතුවේ ඇයි? ඒත් ඔහු මිනිසුන් කෙරෙහි තැබූ විශ්වාසය නිෂ්ඵල වුණේ ඇයි?

10 පළමු සියවසේදී යුදෙව් උත්තම පූජකයන්ව පත් කරනු ලැබුවේ රෝම ආණ්ඩුව විසිනුයි. ධනවතෙකු වූ ජෝසෆ් කායෆස්ව උත්තම පූජක තනතුරට පත් කළේ යුදයේ රෝම ආණ්ඩුකාරයාව සිටි වැලරියස් ග්‍රෙටුස් නමැත්තායි. කායෆස් ඔහුට කලින් සිටි උත්තම පූජකයන්ට වඩා වැඩි කාලයක් එම තනතුරේ රැඳී සිටියා. කායෆස් සිතුවේ ඔහුට එම තනතුරේ වැඩි කාලයක් රැඳී සිටීමට හැකි වුණේ දෙවිගේ උපකාරය නිසා නොව, ඔහුගේ උපා දක්ෂකම හා පිලාත් සමඟ තිබූ මිත්‍රත්වය නිසා බවයි. ගෝලයන්ව මහාධිකරණයට කැඳවා අවුරුදු තුනක් ගත වූ පසු රෝම ආණ්ඩුව විසින් ඔහුව නායක පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවා. මෙයින් පෙනී යන්නේ ඔහු මිනිසුන් කෙරෙහි තැබූ විශ්වාසය නිෂ්ඵල වූ බවයි.

11. පිලාත්ට සහ යුදෙව් සමාජ ක්‍රමයට සිදු වුණේ කුමක්ද? මෙයින් අපට එලඹිය හැකි නිගමනය කුමක්ද?

11 කායෆස්ව උත්තම පූජක තනතුරෙන් ඉවත් කිරීමට නියෝග කළේ පිලාත්ට ඉහළින් සිටි සිරියාවේ ආණ්ඩුකාරයා වූ ලූකියස් විටැලියුස්. කායෆස්ව එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාලන්න ඔහුගේ කිට්ටුම මිතුරයා වූ පිලාත්ට පවා නොහැකි වුණා. කායෆස්ව ඉවත් කර අවුරුද්දක් ගත වූ පසු පිලාත්වද ආණ්ඩුකාර තනතුරෙන් ඉවත් කර, ඔහුට විරුද්ධව තිබූ බරපතළ චෝදනා විභාග කිරීම සඳහා රෝමයට කැඳවනු ලැබුවා. රෝමයේ පාලකයන් කෙරෙහි විශ්වාසය තැබූ යුදෙව් නායකයන්ට සිදු වුණේ කුමක්ද? රෝමවරුන් පැමිණ ‘ඔවුන්ගේ ස්ථානයත් ඔවුන්ගේ ජාතියත්’ අත් කරගත්තා. මෙය සිදු වුණේ ක්‍රි.ව. 70දී රෝම හමුදාව දේවමාලිගාවත් යුදෙව් මහාධිකරණයත් ඇතුළුව යෙරුසලම නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ අවස්ථාවේදීයි. මේ සිදුවීම දෙස බලද්දී ගීතිකාකරු පැවසූ මේ වදන් කොතරම් සත්‍යයක්ද! “අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න.”—යොහන් 11:48; ගීතාවලිය 146:3.

12. දෙවිට කීකරු වීම ඥානවන්තම දෙය බව යේසුස් අද්දුටු දෙයින් පැහැදිලි වන්නේ කෙසේද?

12 මීට වෙනස්ව, නැවත නැඟිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්ව වඩා උතුම් දේවමාලිගාවක උත්තම පූජකයා ලෙස දෙවි පත් කළා. කිසිම මිනිසෙකුට ඒ පත්වීම අවලංගු කළ නොහැකියි. එමෙන්ම “වෙන කිසිවෙක් ඔහුගේ [යේසුස්ගේ] පූජක තනතුර ලබාගන්නේ නැත.” (හෙබ්‍රෙව් 2:9; 7:17, 24; 9:11) දෙවි යේසුස්ව ජීවතුන්ගේ මෙන්ම මළවුන්ගේ විනිශ්චයකරු ලෙසද පත් කර තිබෙනවා. (1 පේතෘස් 4:5) මේ අනුව ජෝසෆ් කායෆස්ව හා පොන්තියුස් පිලාත්ව පාරාදීස පොළොවේදී නැවත නැඟිටුවනවාද නැද්ද කියා යේසුස් තීරණය කරාවි.—මතෙව් 23:33; ක්‍රියා 24:15.

නවීන දින නිර්භීත සාක්ෂිකරුවෝ

13. නවීන කාලවලදී මිනිසුන්ගේ අනුග්‍රහයෙන් සිදු කළ කාර්යය කුමක්ද? දෙවිගේ අනුග්‍රහයෙන් සිදු කළ කාර්යය කුමක්ද? ඔබ මේ බව දන්නේ කෙසේද?

13 පළමු සියවසේදී මෙන් අපේ කාලයේදීත් “දෙවිට විරුද්ධව සටන් කරන්නන්” බොහෝ සිටිනවා. (ක්‍රියා 5:39) උදාහරණයක් හැටියට ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇඩොල්ෆ් හිට්ලර්ට ආචාර කිරීම ප්‍රතික්ෂේප කළ විට ඔවුන්ව සහමුලින්ම නැති කර දමන බව ඔහු තරයේ කියා සිටියා. (මතෙව් 23:10) මෙය කරන්න තරම් හැකියාවක් හිට්ලර්ගේ හමුදාවට තිබුණා. සාක්ෂිකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඔවුන්ව ගාල් කඳවුරුවල දැමීමට නාට්සි හමුදාවට හැකි වුණා. ඒ විතරක් නොවෙයි, ඔවුන් සමහර සාක්ෂිකරුවන්ව මරා දැමුවා. ඒත් දෙවිට පමණක් නමස්කාර කිරීමට සාක්ෂිකරුවන් ගෙන තිබූ අධිෂ්ඨානය බිඳ දමන්නවත් කණ්ඩායමක් හැටියට දෙවිගේ සේවකයන්ව සහමුලින්ම නැති කර දමන්නවත් ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ ක්‍රිස්තියානීන් සේවය කළේ දෙවිට මිස මිනිසුන්ට නොවෙයි. ඒ නිසා එය කිසිවෙකුට නතර කරන්න නොහැකි වුණා. මෙය සිදු වී අවුරුදු 60ක් ගත වී තිබුණත්, හිට්ලර්ගේ ගාල් කඳවුරුවල සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් ‘ඔවුන්ගේ මුළු හදවතින්ද මුළු ජීවිතයෙන්ද මුළු මනසින්ද’ තවමත් යෙහෝවාට සේවය කරනවා. ඒත් අද හිට්ලර්වත් නාට්සි හමුදාවවත් නැහැ. මිනිසුන් ඔවුන්ව මතක් කරන්නේ ඔවුන්ගේ කුරිරු ක්‍රියා ගැන කතා කරන විටදී පමණයි.—මතෙව් 22:37.

14. (අ) දෙවිගේ සේවකයන් ගැන බොරු ප්‍රචාර පතුරුවාහැරීමට විරුද්ධවාදීන් වෑයම් කර තිබෙන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ කුමක්ද? (ආ) විරුද්ධවාදීන් දරන වෑයම්වලින් දෙවිගේ සේවකයන්ට දිගු කාලීනව හානි සිදු වෙයිද? (හෙබ්‍රෙව් 13:5, 6)

14 නාට්සිවරුන්ගේ කාලයේ සිට මේ දක්වා ඇතැම් පිරිස් යෙහෝවා දෙවිටත් ඔහුගේ සෙනඟටත් විරුද්ධව විවිධ දේවල් කර තිබෙනවා. නමුත් ඒ කිසිම කෙනෙකුට ජය ලැබී නැහැ. යුරෝපයේ රටවල් ගණනාවක ඇතැම් කූට ආගමික හා දේශපාලනික පිරිස් විසින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව භයානක නිකායක් කියා හංවඩු ගසන්න උත්සාහ කර තිබෙනවා. පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ටද එල්ල කළේ එවැනිම චෝදනාවක්. (ක්‍රියා 28:22) යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිකායක් නොව ආගමක් ලෙස මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය විසින් පිළිගෙන තිබෙනවා. විරුද්ධවාදීන් මෙය දැන සිටියත් ඔවුන් දිගින් දිගටම සාක්ෂිකරුවන්ට නින්දා කරමින් සිටිනවා. සාක්ෂිකරුවන් ගැන පතුරුවාහරින මෙම බොරු ප්‍රචාරයන් නිසා සමහර සාක්ෂිකරුවන්ව ඔවුන්ගේ රැකියාවලින් ඉවත් කර තිබෙනවා. සාක්ෂිකරුවන්ගේ දරුවන්ට පාසැල්වලදී හිංසා පීඩා කර තිබෙනවා. කාලයක් පුරා සාක්ෂිකරුවන් විසින් ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම සඳහා ලබාගෙන තිබූ ස්ථාන බියට පත් අයිතිකරුවන් නැවත ලබාගෙන තිබෙනවා. සමහර රටවල බලධාරීන් ඇතැම් අයට පුරවැසිභාවය නොදීමට එකම හේතුව වී තිබෙන්නේ ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමයි. මේ හැම බාධකයක් මැදම ඔවුන් නොසැලී සිටිනවා.

15, 16. ප්‍රංශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ දේවසේවයට එල්ල වී තිබෙන විරුද්ධවාදිකම් හමුවේ ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? ඔවුන් අත්නෑර දේශනා කරමින් සිටින්නේ ඇයි?

15 සාමාන්‍යයෙන් ප්‍රංශ ජාතිකයන් සාධාරණව ක්‍රියා කරන අයයි. කෙසේවෙතත් විරුද්ධවාදීන් සුළු පිරිසක් එම රටේ සාක්ෂිකරුවන්ගේ සේවය අඩපණ කිරීම සඳහා යම් නීති පැනවීමට සහයෝගය දී තිබෙනවා. මීට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද? ඔවුන් වෙන කවරදාටත් වඩා දේශනා සේවය වැඩි කර තිබෙන අතර එමගින් දිරිගන්වනසුලු ප්‍රතිඵල ලබා තිබෙනවා. (යාකොබ් 4:7) මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී ඒ රටේ බයිබල් පාඩම් ගණන සියයට 33කින් වැඩි වී තිබෙනවා. ප්‍රංශයේ මොළොක් ගුණැති මිනිසුන් ශුභාරංචිය පිළිගන්නවා දැකීමෙන් සාතන් මහත් සේ කෝපයට පත් වෙනවාට සැකයක් නැහැ. (එළිදරව් 12:17) අනාගතවක්තෘ යෙසායාගේ පහත සඳහන් වදන් සත්‍යයක් වන බව ප්‍රංශයේ සිටින අපේ සෙසු ඇදහිලිවන්තයන්ට විශ්වාසයි. “ඔබට විරුද්ධව සෑදූ කිසි ආයුධයක් සපල නොවන්නේය; විනිශ්චයේදී ඔබට විරුද්ධව නැඟිටින සැම දිවවල් ඔබ විසින් වරදට පත් කරනු ලබන්නෝය.”—යෙසායා 54:17.

16 පීඩාවලට මුහුණ දීම අසීරු දෙයක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා. කෙසේවෙතත් සියලුම ක්‍රිස්තියානීන්ට දී තිබෙන දෙවිගේ නියෝගයට කීකරු වීමේදී තමන් ඇසූ දේවල් ගැන කතා නොකර සිටින්න ඔවුන්ට නොහැකියි. මොන බාධා ආවත් ඔවුන් සේවය නතර කරන්නේ නැහැ. සැමවිටම යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට ඔවුන් උත්සාහ කරනවා. ඒ වුණත්, දෙවිගේ නීති සහ මිනිසුන්ගේ නීති අතර යම් ගැටීමක් තිබෙන විට ඔවුන් අනිවාර්යයෙන්ම කීකරු වන්නේ දෙවිගේ නීතිවලටයි.

ඔවුන්ට බිය නොවන්න

17. (අ) අපේ සතුරන්ට අපි බිය නොවිය යුත්තේ ඇයි? (ආ) අපිට පීඩා කරන අය සම්බන්ධයෙන් තිබිය යුතු ආකල්පය කුමක්ද?

17 අපේ සතුරන් සටන් කරන්නේ දෙවිට විරුද්ධව නිසා ඔවුන් සිටින්නේ ඉතා අනතුරුදායක තත්වයකයි. මේ අනුව යේසුස් පැවසූ පරිදි අපිට හිංසා පීඩා කරන්නන්ට බිය වෙනවා වෙනුවට ඔවුන් වෙනුවෙන් අපි යාච්ඤා කරනවා. (මතෙව් 5:44) තාර්සස්හි සාවුල් වගේ යම් අය නොදැනුවත්කම නිසා දෙවිට විරුද්ධ වෙනවා නම් යෙහෝවා ඔවුන්ට සත්‍යය දැනගැනීමට උපකාර කරයි. (2 කොරින්ති 4:4) සාවුල් යේසුස්ගේ ගෝලයෙකු වූ පසු ඔහුගේ කාලයේ සිටි බලධාරීන්ගෙන් බොහෝ පීඩා වින්දා. එහෙත් ‘පාලකයන් හැටියට ආණ්ඩුවලට සහ බලධාරීන්ට යටත්ව සිටින්නත්, කීකරුව සිටින්නත්, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්නත්, කිසිවෙකු ගැන [ඔවුන්ට දරුණු ලෙස පීඩා කරන අය ගැන පවා] අගුණ නොකියන්නත්, රණ්ඩුවට බර නොවන්නත්, සාධාරණ වන්නත්, සියල්ලන් කෙරෙහි සියලු ආකාර මෘදුකම පෙන්වන්නත්’ කියා ඔහු සෙසු ක්‍රිස්තියානීන්ට නිතර මතක් කළා. (තීතස් 3:1, 2) ප්‍රංශයේ මෙන්ම වෙනත් රටවල ජීවත් වන යෙහෝවාගේ සාක්ෂිකරුවන් මේ උපදෙස හොඳින් සිතට ගෙන ක්‍රියා කරනවා.

18. (අ) යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව පීඩාවලින් ආරක්ෂා කරන්න ඇතැම් අවස්ථාවලදී යොදාගන්න ක්‍රම මොනවාද? (ආ) එමෙන්ම අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක්ද?

18 “ඔබ ගලවන්ට මම ඔබ සමඟ සිටිමි” කියා දෙවි අනාගතවක්තෘ යෙරෙමියාට පැවසුවා. (යෙරෙමියා 1:8) අද දින යෙහෝවා දෙවි අපිව පීඩාවලින් ආරක්ෂා කරන්න ඇතැම් අවස්ථාවලදී යොදාගන්න ක්‍රම මොනවාද? ඔහු ගමාලියෙල් වැනි සාධාරණ විනිශ්චයකරුවෙකුව අපි වෙනුවෙන් පෙනී සිටීමට සලස්වන්න ඉඩ තිබෙනවා. එසේත් නැත්නම් අපිට විරුද්ධව සිටින නිලධාරියෙකු වෙනුවට වඩාත් සාධාරණව ක්‍රියා කරන නිලධාරියෙකුව පත් වන ලෙස කාරණා හැසිරවිය හැකියි. ඒත් දෙවිගේ සේවකයන් අද්දකින පීඩා දිගටම පැවතීමට යෙහෝවා සමහර අවස්ථාවලදී ඉඩහැරිය හැකියි. (2 තිමෝති 3:12) ඔහු එසේ ඉඩහැරියොත් පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඔහු අපට ලබා දෙනවා නිසැකයි. (1 කොරින්ති 10.13) දෙවි කුමකට ඉඩහැරියත් එහි අවසන් ප්‍රතිඵලය ගැන අපට කිසිම සැකයක් නැහැ. දෙවිගේ සෙනඟට විරුද්ධ වන අය විරුද්ධ වන්නේ දෙවිටයි. දෙවිට විරුද්ධව සටන් කරන්නන්ට කිසිදා ජයක් නොලැබෙයි.

19. වසර 2006 සඳහා වාර්ෂික පදය කුමක්ද? මෙම පදය කාලෝචිත වන්නේ ඇයි?

19 පීඩා බලාපොරොත්තු වෙන්න කියා යේසුස් තම ගෝලයන්ට පැවසුවා. (යොහන් 16:33) මෙය සැලකිල්ලට ගැනීමේදී ක්‍රියා 5:29හි සඳහන් මෙම වදන් වෙන කවරදාටත් වඩා මේ කාලයට ගැළපෙනවා. “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.” මෙම වදන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් 2006 සඳහා වාර්ෂික පදය ලෙස තෝරාගෙන තිබීම කොතරම් කාලෝචිතද! කුමන තත්වයකට මුහුණ දීමට සිදු වුණත් උදා වන වසරේදී පමණක් නොවෙයි සදහටම යෙහෝවා දෙවිට කීකරු වීමට අප ගෙන තිබෙන අධිෂ්ඨානය සැමදා රැකගනිමු.

[පාදසටහන]

^ 7 ඡේ. ඒ අවස්ථාවේදී නායක පූජකයන් ප්‍රසිද්ධියේ සහය පළ කළේ රෝම අධිරාජ්‍යයා වූ ටයිබීරියස්ටයි. ඔහු කුහක කෙනෙක් මෙන්ම මිනී මරුවෙක්ද වුණා. එමෙන්ම ඔහු අනාචාරයේ හැසිරුණු කෙනෙකු ලෙසද ප්‍රසිද්ධව සිටියා.—දානියෙල් 11:15, 21.

ඔබට මතකද?

• යේසුස්ගේ ගෝලයන් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන් ආකාරය අපට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

• අපි මිනිසුන්ට නොව දෙවිට සැමවිටම කීකරු විය යුත්තේ ඇයි?

• අපිට විරුද්ධ වන අය ඇත්තටම විරුද්ධ වන්නේ කාටද?

• හිංසා පීඩා විඳදරාගන්න අයට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

වසර 2006 සඳහා වාර්ෂික පදය: “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය.”—ක්‍රියා 5:29

[19වන පිටුවේ පින්තූරය]

“අප කීකරු විය යුත්තේ මිනිසුන්ට නොව දෙවිටය”

[21වන පිටුවේ පින්තූරය]

කායෆස් විශ්වාසය තැබුවේ දෙවි කෙරෙහි නොව මිනිසුන් කෙරෙහියි