Skip to content

පටුනට යන්න

තීරණයක් ගැනීමට කාලය දැනුයි

තීරණයක් ගැනීමට කාලය දැනුයි

තීරණයක් ගැනීමට කාලය දැනුයි

“තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහුද?”—1 රාජාවලිය 18:21, නව අනුවාදය.

1. අපි ජීවත් වන මේ කාලය වෙන කාලවලට වඩා වෙනස් වන්නේ කෙසේද?

යෙහෝවා එකම සැබෑ දෙවි බව ඔබ විශ්වාස කරනවාද? බයිබල් අනාවැකිවල කියා තිබෙන ලෙස අද අපි ජීවත් වෙන්නේ සාතන්ගේ පාලනය යටතේ තිබෙන දුෂ්ට සමාජ ක්‍රමයේ “අන්තිම දවස්වල” බවත් ඔබ විශ්වාස කරනවාද? (2 තිමෝති 3:1) ඔබ එසේ විශ්වාස කරනවා නම් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව තීරණයක් ගත යුතු කාලය දැන් බව ඔබ පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ. ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා මේ කාලයේ බොහෝදෙනෙකුගේ ජීවිත තිබෙන්නේ අනතුරුදායක තත්වයකයි.

2. ආහබ් රජුගේ පාලන කාලයේදී ඊශ්‍රායෙල් දස ගෝත්‍ර රාජ්‍යයේ සිදු වුණේ කුමක්ද?

2 තමන් සේවය කරන්නේ කාටද කියා තීරණය කිරීමට ක්‍රි.පූ. දහවෙනි සියවසේ විසූ ඊශ්‍රායෙල් ජාතියට සිදු වුණා. එය ඉතා බැරෑරුම් තීරණයක් වුණා. ආහබ් රජ බොරු නමස්කාරයේ හවුල් වූ ඔහුගේ භාර්යාව වන යෙසබෙල්ගේ බලපෑම නිසා ඊශ්‍රායෙල් දස ගෝත්‍ර රාජ්‍යය පුරා බාල් නමස්කාරය ව්‍යාප්ත කළා. බාල් කියන්නේ වර්ෂාව සහ සරු අස්වැන්නක් ලබා දෙනවා කියා ඇතමුන් විශ්වාස කළ සශ්‍රීකත්වයේ දෙවියාටයි. බාල් දෙවියාව ඇදහූ බොහෝදෙනෙක් ඒ දෙවියාගේ පිළිමය ඉදිරියේ දණ නමස්කාර කරන්න හෝ ඒ පිළිමයට සිපාචාර කරන්න ඇති. බාල් දෙවියාට නමස්කාර කළ අය ඔවුන්ගේ බෝග වගාවන්ට සහ එළු බැටළුවන්ට ආශීර්වාද කිරීමට ඔහුව පොලඹවාගැනීමේ අරමුණින් දේවාලවල සිටි ගණිකාවන් සමඟ අනාචාරයේ හැසිරුණා. ඒ විතරක් නොවෙයි, ලේ වැගිරෙන තෙක් තමන්ගේ ශරීර කපාගැනීමේ සිරිතක්ද ඔවුන් අතර තිබුණා.—1 රාජාවලිය 18:28.

3. බාල් නමස්කාරය දෙවිගේ සෙනඟට බලපෑවේ කෙසේද?

3 රූප වැඳීම, අනාචාරකම් හා සැහැසිකකම් ඇතුළත් වූ ඒ නමස්කාරයේ හවුල් වීම ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායෙල්වරුන් 7,000දෙනෙක් පමණ සිටියා. (1 රාජාවලිය 19:18) ඔවුන් යෙහෝවා දෙවි සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුමට විශ්වාසවන්තව සිටි නිසා ඔවුන්ට නොයෙකුත් හිංසා පීඩාවලට මුහුණ දීමට සිදු වුණා. උදාහරණයක් හැටියට යෙසබෙල් බිසව යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙකුව මරා දැමුවා. (1 රාජාවලිය 18:4, 13) මෙවන් දරුණු තත්වයක් පැවති නිසා ඊශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝදෙනෙක් යෙහෝවා දෙවිව වගේම බාල් දෙවියාවත් සතුටු කරන්න වෑයම් කළා. ඊශ්‍රායෙල් ජාතිකයෙක් යෙහෝවාව අත්හැර බොරු දෙවියෙකුට නමස්කාර කිරීම, යෙහෝවාට විරුද්ධව කැරලිගැසීමක් ලෙස සැලකුවා. ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට ප්‍රේමය පෙන්වමින් ඔහුගේ ආඥාවලට කීකරු වුණා නම් ඔහු ඔවුන්ට ආශීර්වාද කරන බවට පොරොන්දු වුණා. එහෙත් ඔවුන් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළා නම් ඔවුන්ව නැති කර දමන බවට යෙහෝවා ඔවුන්ට අනතුරු අඟවා තිබුණා.—ද්විතීය කතාව 5:6-10; 28:15, 63.

4. බොරු ක්‍රිස්තියානීන් අතර සිදු වන දෙය ගැන යේසුස් සහ ඔහුගේ ගෝලයන් කල් ඇතිව පැවසුවේ කුමක්ද? එය ඉටු වී තිබෙන්නේ කෙසේද?

4 ඒ හා සමාන තත්වයක් අද තිබෙන බොරු ක්‍රිස්තියානි ආගම්වලත් දකින්න තිබෙනවා. තමන් ක්‍රිස්තියානීන් බව කියා සිටියත් ඔවුන් පවත්වන ඇතැම් උත්සව, ඔවුන්ගේ හැසිරීම හා ඔවුන් විශ්වාස කරන දේවල් බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට විරුද්ධයි. එදා සිටි යෙසබෙල් බිසව වගේ, අද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හිංසා පීඩා කිරීමට මූලිකත්වය ගන්නේ ක්‍රිස්තියානි ආගම්වල සිටින පූජක පක්ෂයයි. මේ පූජකයන් යුද්ධවලට සහයෝගය දී තිබෙන බව ඉතිහාසය පරීක්ෂා කර බැලීමේදී පෙනී යනවා. මේ අනුව පල්ලිවල සාමාජිකයන් දහස් ගණනක් යුද්ධවලදී මරණයට පත්වීම ගැන පූජක පක්ෂය වග කිව යුතුයි. එසේ ආගම් දේශපාලනය සමඟ එක් වී කටයුතු කිරීම බයිබලයේ සමාන කර තිබෙන්නේ වේශ්‍යාකමටයි. (එළිදරව් 18:2, 3) මීට අමතරව ඇත්තටම එහි සාමාජිකයන් කරන වේශ්‍යාකම් පමණක් නෙවෙයි එහි පූජකයන් කරන වේශ්‍යාකම් පවා එතරම් ගණන් ගන්නේ නැහැ. මෙලෙස සැබෑ නමස්කාරයට විරුද්ධව ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බොරු ක්‍රිස්තියානි ආගම් ඇති වන බව යේසුස් සහ ඔහුගේ ගෝලයන් කල් ඇතිව පැවසුවා. (මතෙව් 13:36-43; ක්‍රියා 20:29, 30; 2 පේතෘස් 2:1, 2) බොරු ක්‍රිස්තියානි ආගම්වල සිටින බිලියනයකට වඩා වැඩි සෙනඟකට අවසානයේදී සිදු වන්නේ කුමක්ද? මේ අය ඇතුළුව බොරු ආගම්වලින් නොමඟ යවා තිබෙන සෙනඟ සම්බන්ධයෙන් යෙහෝවාගේ සැබෑ නමස්කාරකයන්ට තිබෙන වගකීම කුමක්ද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගැනීම සඳහා ‘ඊශ්‍රායෙල් දේශයෙන් බාල් නමස්කාරය නැති කර දැමීමට’ හේතු වූ සිද්ධීන් සලකා බලමු.—2 රාජාවලිය 10:28.

මුරණ්ඩු සෙනඟකට දෙවි පෙන්වූ ප්‍රේමය

5. යෙහෝවා දෙවි මුරණ්ඩු ඊශ්‍රායෙල් සෙනඟට ප්‍රේමය පෙන්වූයේ කෙසේද?

5 යෙහෝවා දෙවි ඔහුට විශ්වාසවන්තව සේවය නොකරන අයට දඬුවම් කිරීමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවෙයි. ප්‍රේමණීය පියෙක් මෙන් ක්‍රියා කරන ඔහු කැමති වන්නේ දුෂ්ට අයත් පසුතැවිලි වී නැවත ඔහු වෙතට එනවා දකින්නයි. (එසකියෙල් 18:32; 2 පේතෘස් 3:9) මේ බව යෙහෝවා ආහබ්ගේ සහ යෙසබෙල්ගේ කාලයේදී බාල් නමස්කාරයේ හවුල් වන අයට සිදු වන දෙය ගැන අනතුරු ඇඟවීමට අනාගතවක්තෘවරුන් බොහෝදෙනෙකුව ඔහුගේ සෙනඟ වෙතට යැවීමෙන් පෙනී යනවා. එලියා ඒ අනාගතවක්තෘවරුන්ගෙන් කෙනෙක්. පුරෝකථනය කළ පරිදි දරුණු නියඟයක් ඇති වූ කාලයේදී, ඊශ්‍රායෙල්වරුන්ව හා බාල්ගේ අනාගතවක්තෘවරුන්ව කර්මෙල් කන්දට රැස් කරන්න කියා එලියා ආහබ් රජුට පැවසුවා.—1 රාජාවලිය 18:1, 19.

6, 7. (අ) ඊශ්‍රායෙල්වරුන් සැබෑ දෙවිව අත්හැරීමට බලපෑ මූලික හේතුව එලියා පෙන්වා දුන්නේ කෙසේද? (ආ) බාල්ගේ අනාගතවක්තෘවරුන් කළේ කුමක්ද? (ඇ) එලියා කළේ කුමක්ද?

6 ඒ සෑමදෙනාම එකතු වුණේ “පෙරළා දමා තිබුණු” යෙහෝවාගේ පූජාසනයක් අසලයි. මෙය කඩා දමන්න ඇත්තේ යෙසබෙල්ව සතුටු කිරීම සඳහා විය හැකියි. (1 රාජාවලිය 18:30) ඒ කාලයේදී ඔවුන්ට අත්‍යවශ්‍යව තිබූ වැස්ස ලබා දෙන්න පුළුවන් යෙහෝවා දෙවිටද නැත්නම් බාල් දෙවියාටද කියා එතැනට රැස්ව සිටි ඊශ්‍රායෙල්වරුන් දෙගිඩියාවෙන් සිටීම කනගාටුදායකයි. බාල්ව නියෝජනය කිරීමට ඔහුගේ අනාගතවක්තෘවරුන් 450දෙනෙක් සිටියත් යෙහෝවාව නියෝජනය කිරීමට සිටියේ අනාගතවක්තෘ එලියා පමණයි. ඔවුන් මැදිව සිටි ප්‍රශ්නයට මූලික හේතුව ගැන සඳහන් කරමින් එලියා ඊශ්‍රායෙල් සෙනඟගෙන් මෙසේ ඇසුවා. “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහුද?” [න.අ.] ඔහු මෙම ප්‍රශ්නය තවත් සරල ආකාරයකින් ඇසුවේ මෙලෙසයි. “යෙහෝවා දෙවි නම් ඔහු අනුව යන්න; බාල් දෙවි නම් ඔහු අනුව යන්න.” තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් සිටි ඊශ්‍රායෙල්වරුන්ව යෙහෝවාට පමණක් තනි භක්තිය දීම සඳහා උනන්දු කිරීමේ අරමුණින් එලියා සැබෑ දෙවි කවුද කියා ඔප්පු කිරීමට පරීක්ෂණයක් යෝජනා කළා. ගොනුන් දෙදෙනෙකුව මරා, එකෙක් යෙහෝවා දෙවි සඳහාත් අනෙකා බාල් දෙවියා සඳහාත් පූජා කිරීමට සූදානම් කරනු ලැබුවා. එම පූජාව ගින්නෙන් දවා දැමීමෙන් සැබෑ දෙවි කවුද කියා ඔප්පු වේවි. බාල්ගේ අනාගතවක්තෘවරුන් ඔවුන්ගේ පූජාව සූදානම් කර, “අහෝ, බාල්, අපට උත්තර දුන මැනව” කියා පැය ගණනාවක් පුරා මහ හඬින් මොරගැසුවා. එලියා ඔවුන්ට සමච්චල් කරද්දී ඔවුන් ලේ වැගිරෙන තෙක් ඔවුන්ගේ ශරීර කපාගනිමින් පුළුවන් තරම් හයියෙන් බාල් දෙවියාට මොරගැසුවා. ඒ වුණත් කිසිම උත්තරයක් ඔවුන්ට ලැබුණේ නැහැ.—1 රාජාවලිය 18:21, 26-29.

7 දැන් එලියාගේ වාරය පැමිණියා. ඔහු මුලින්ම කළේ යෙහෝවාගේ පූජාසනය අලුත්වැඩියා කිරීමයි. ඉන්පසු කෑලිවලට කපාගත් ගොනාව ඒ පූජාසනය මත තැබුවා. අනතුරුව ලොකු හැළි හතරකට වතුර පුරවා පූජාසනය මතට වත් කරන්න කියා ඔහු පැවසුවා. පූජාසනය වටේට කපා තිබූ අගල පිරී යන තෙක් තුන් වරක් වතුර වත් කළා. ඉන්පසු එලියා මෙසේ යාච්ඤා කළා. “ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඊශ්‍රායෙල්ගේද දෙවි වූ යෙහෝවා, ඔබ ඊශ්‍රායෙල්හි දෙවි බවද මා ඔබගේ මෙහෙකරුවා බවද ඔබගේ වචනයෙන් මේ සියලු දේ මා විසින් කළ බවද අදම දැනගනු ලැබේවා; යෙහෝවා, ස්වාමී වූ ඔබ දෙවි බවද ඔබ මේ සෙනඟගේ සිත නැවත හරවාගත් බවද මොවුන් දැනගන්නා පිණිස මාගේ බස් ඇසුව මැනව; මාගේ බස් ඇසුව මැනව.”—1 රාජාවලිය 18:30-37.

8. යෙහෝවා දෙවි එලියාගේ යාච්ඤාවට උත්තර දුන්නේ කෙසේද? ඉන්පසු එලියා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

8 එලියාගේ යාච්ඤාවට උත්තර දෙමින් සැබෑ දෙවි වන යෙහෝවා ස්වර්ගයෙන් ගිනි එවා පූජාවත් පූජාසනයත් දවා දැමුවා. ඒ ගින්නෙන් පූජාසනය වටේ තිබූ අගලේ වතුරත් සිඳ දැමුවා. මෙය බලා සිටි ඊශ්‍රායෙල්වරුන් තුළ ඇති වූ හැඟීම ගැන සිතා බලන්න. “මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: යෙහෝවා දෙවිමය, යෙහෝවා දෙවිමයයි කීවෝය.” ඉන්පසු එලියා ගත් තවත් තීරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ අණ කළා. “බාල්ගේ අනාගතවක්තෲන් එක් කෙනෙකුටවත් යන්ට නොදී ඔවුන් අල්ලාගන්න.” මෙසේ කර්මෙල් කන්ද පාමුලදී බාල්ගේ අනාගතවක්තෘවරුන් 450දෙනාව මරා දැමුවා.—1 රාජාවලිය 18:30-40.

9. ඊශ්‍රායෙල්වරුන් තවදුරටත් පරීක්ෂණයට ලක් වූයේ කෙසේද?

9 කිසිදා අමතක නොවන ඒ දවසේදී යෙහෝවා දෙවි අවුරුදු තුනහමාරක් පුරා වැස්ස නොතිබූ ඒ දේශයට වැසි වසින්න සැලැස්සුවා. (යාකොබ් 5:17, 18) එදා එතැන සිටි ඊශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ නිවෙස්වලට හැරී යද්දී යෙහෝවා දෙවි පමණක් සැබෑ දෙවි බව ඔහු ඔප්පු කළ ආකාරය ගැන කතා කර කර යන්න ඇති. මෙතරම් දෙයක් සිදු වී තිබුණත් බාල්ට නමස්කාර කළ අය ඔවුන්ගේ බොරු නමස්කාරය අත්හැර දැමුවේ නැහැ. ඒ වගේම යෙහෝවාගේ සේවකයන්ට හිංසා පීඩා කිරීම යෙසබෙල්ද නතර කළේ නැහැ. (1 රාජාවලිය 19:1, 2; 21:11-16) මේ නිසා යෙහෝවාගේ සේවකයන්ගේ පක්ෂපාතකම නැවත පරීක්ෂණයට ලක් වුණා. බාල්ට නමස්කාර කළ අයට එරෙහිව යෙහෝවා ඔහුගේ විනිශ්චය ක්‍රියාත්මක කරන විට ඊශ්‍රායෙල්වරුන් ඔහුට තනි භක්තිය පිරිනමමින් සිටිනු ඇද්ද?

දැන්ම තීරණයක් ගන්න

10. (අ) මේ කාලයේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කරමින් සිටින්නේ කුමක්ද? (ආ) එළිදරව් 18:4හි සඳහන් ආඥාවට කීකරු වන බව පෙන්වන්නේ කොහොමද?

10 මේ කාලයේ සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන් කරමින් සිටින්නේ එලියා කළා හා සමාන කාර්යයක්. ඔවුන් බොරු ක්‍රිස්තියානි ආගම් හා වෙනත් ආගම්වල සිටින සියලුම ජනයා මත පැමිණීමට නියමිත අනතුර ගැන වාචිකව හා පොත් පත් සඟරා මාර්ගයෙන් දැනුම් දෙනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට බොහෝදෙනෙක් තීරණය කර තිබෙනවා බොරු ආගම්වලින් ඉවත් වෙන්න. ඔවුන් සිය ජීවිත යෙහෝවා දෙවිට කැප කර යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් ලෙස බව්තීස්ම වෙනවා. ඉක්මන් තීරණයක් ගෙන බොරු ආගම්වලින් ඉවත් වන්න කියා දෙවි කර තිබෙන මෙම ඉල්ලීමට ඔවුන් සවන් දී තිබෙනවා. “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව යන්න. ඇගේ පාපවලට ඇයත් සමඟ හවුල් වන්නවත්, ඇයට ලැබෙන පීඩාවලින් කොටසක් ලබන්නවත් ඔබ කැමති නැත්නම් ඇගෙන් ඉවත්ව යන්න.”—එළිදරව් 18:4.

11. යෙහෝවා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට නම් කළ යුත්තේ කුමක්ද?

11 යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන බයිබලයේ තිබෙන පණිවිඩයට තවත් බොහෝදෙනෙක් උනන්දුවක් දැක්වුවත් ඔවුන් ගත යුතු පියවර සම්බන්ධයෙන් තවමත් සිටින්නේ දෙගිඩියාවෙන්. මේ අයගෙන් සමහරදෙනෙක් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට හා දිස්ත්‍රික් සමුළු වැනි ක්‍රිස්තියානි රැස්වීම්වලට ඉඳ හිට පැමිණෙනවා. එලියා පැවසූ වදන් හොඳින් සිතට ගන්න කියා මේ සියලුදෙනාගෙන්ම අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එලියා පැවසුවේ මෙසේයි. “තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් ඔබ කොපමණ කල් සිටින්නහුද?” (1 රාජාවලිය 18:21, න.අ.) ඔවුන් ප්‍රමාද නොකර දැන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව තීරණයක් ගත යුතු අතර, යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සේවකයෙක් වීමේ ඉලක්කය ඇතිව ක්‍රියාශීලීව නමස්කාරයේ හවුල් විය යුතුයි. මෙසේ නොකළොත් සදාකාල ජීවනයේ බලාපොරොත්තුව ඔවුන්ට අහිමි විය හැකියි.—2 තෙසලෝනික 1:6-9.

12. බව්තීස්ම වී සිටින සමහර සාක්ෂිකරුවන් පත් වී සිටින්නේ කුමන අනතුරුදායක තත්වයකටද? ඔවුන් කළ යුත්තේ කුමක්ද?

12 කනගාටුවට කරුණක් නම් බව්තීස්ම ලත් සමහර සාක්ෂිකරුවන් පවා දේවසේවයේ හා රැස්වීම්වලට පැමිණෙන්නේ ඉඳ හිටයි. නැත්නම් කොහොමටවත් පැමිණෙන්නේ නැහැ. (හෙබ්‍රෙව් 10:23-25; 13:15, 16) හිංසා පීඩාවලට තිබෙන බිය, ආර්ථික ගැටලු, ධනවත් වීමට තිබෙන දැඩි වුවමනාව හෝ තම ආශාවන් පිනවාගැනීම සඳහා නොයෙක් දෑ පසුපස හඹා යෑම වැනි හේතු නිසා සමහරුන් තුළ කලින් තිබූ උද්‍යෝගය දැන් දකින්න නැහැ. මේ දේවල් තමන්ගේ අනුගාමිකයන්ගෙන් සමහරදෙනෙකුට බාධාවක් වන බවත් උගුලක් වන බවත් ඔවුන් ඒවාට මුල් තැන දීම නිසා නමස්කාරය හා සම්බන්ධ කාරණා යටපත් වන බවත් යේසුස් කලින්ම පැවසුවා. (මතෙව් 10:28-33; 13:20-22; ලූක් 12:22-31; 21:34-36) එවැනි අය තවදුරටත් ‘දෙගිඩියාවෙන්’ නොසිට, දෙවිට වූ තමන්ගේ කැපවීමට එකඟව ජීවත් වීම සඳහා ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තීරණයක් ගත යුතුයි. එමෙන්ම නමස්කාරය හා බැඳි ක්‍රියාවල ‘උද්‍යෝගයෙන්’ හවුල් විය යුතු අතර ‘පසුතැවිල්ලද’ පෙන්විය යුතුයි.—එළිදරව් 3:15-19.

බොරු ආගම් මත පැමිණෙන හදිසි විනාශය

13. යේහුව ඊශ්‍රායෙලයේ රජු ලෙස පත් කළ කාලයේදී පැවති තත්වය විස්තර කරන්න.

13 මිනිසුන් දැන් ඉක්මනින්ම තීරණයක් ගත යුතු වීමට හේතුව, කර්මෙල් කන්දේදී යෙහෝවා සැබෑ දෙවි බව ඔප්පු කර අවුරුදු 18ක් ගත වූවාට පසුව සිදු වූ දෙය සලකා බැලීමෙන් තේරුම්ගත හැකියි. බාල්ට නමස්කාර කළ අයට විරුද්ධව යෙහෝවාගේ විනිශ්චය හදිසියේ පැමිණියා. මෙය සිදු වූයේ එලියාගෙන් පසු දෙවිගේ අනාගතවක්තෘවරයා ලෙස සේවය කළ එලිෂාගේ කාලයේදීයි. මේ කාලයේදී ඊශ්‍රායෙලය පාලනය කරමින් සිටියේ ආහබ්ගේ පුත්‍රයා වූ යෝරාම්. ඒ වන විටත් යෙසබෙල් මව් බිසව ලෙස සිටියා. එලිෂා ඊශ්‍රායෙලයේ හමුදාවේ නායකයා වූ යේහුව රජ ලෙස අභිෂේක කිරීමට ඔහුගේ සේවකයාව රහසින් පිටත් කර හැරියා. ඒ අවස්ථාවේදී යේහු සිටියේ යොර්දාන් ගඟට නැඟෙනහිර දෙසින් පිහිටි රාමොත් ගිලියද්හි ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට එරෙහිව යුද්ධයකට සැරසෙමිනුයි. යෝරාම් සිටියේ මෙගිද්දෝ අසල පිහිටි යෙස්‍රෙයෙල් මිටියාවතේයි. ඔහු එහි පැමිණ සිටියේ යුද්ධයේදී වූ තුවාල සුව කරගැනීම සඳහායි.—2 රාජාවලිය 8:29–9:4.

14, 15. යේහුට පවරන ලද කාර්යය කුමක්ද? ඔහු එය ඉටු කළේ කෙසේද?

14 යෙහෝවා යේහුට මෙසේ අණ කළා. “මාගේ මෙහෙකරු වූ අනාගතවක්තෲන්ගේද යෙහෝවාගේ සියලු මෙහෙකරුවන්ගේද ලේ ගැන යෙසබෙල්ගෙන් මා විසින් පළිගන්නා පිණිස ඔබ ඔබේ ස්වාමී වූ ආහබ්ගේ වංශයට පහර [දෙන්න]. ආහබ්ගේ මුළු වංශය නැති වන්නේය. . . . බල්ලෝ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහිදී යෙසබෙල් කන්නෝය; ඇය තැන්පත් කරන්ට කිසිවෙක් නොවන්නේය.”—2 රාජාවලිය 9:7-10.

15 යේහු කියන්නේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව තීරණයක් ගෙන ක්‍රියා කළ පුද්ගලයෙක්. ඔහු ප්‍රමාද නොවී ඔහුගේ අශ්ව රථයට නැඟ යෙස්‍රෙයෙල් බලා එය වේගයෙන් පැදෙව්වා. අශ්ව රථය පදවන ආකාරයෙන් එහි සිටින්නේ යේහු බව හඳුනාගත් මුරකරුවෙක් ඒ ගැන යෝරාම් රජුට දැනුම් දුන්නා. ඉන්පසු යෝරාම් ඔහුගේ අශ්ව රථයට නැඟ ඔහුගේ හමුදාවේ ප්‍රධානියා වූ යේහුව හමුවීමට පෙරමඟට ගියා. ඔවුන් එකිනෙකා හමු වූ අවස්ථාවේදී යෝරාම්, “යේහු සමාදානයෙන්දැයි” ඔහුගෙන් ඇසුවා. ඊට යේහු මෙසේ උත්තර දුන්නා. “ඔබේ මව් වූ යෙසබෙල්ගේ මිථ්‍යාචාරද මායාද මෙපමණ තිබියදී මොන සමාදානයක්ද?” යෝරාම් එතැනින් පලා යෑමට කලින් යේහු යෝරාම්ගේ පපුව පසාරූ කරගෙන යන්න ඊතලයකින් විද ඔහුව මරා දැමුවා.—2 රාජාවලිය 9:20-24.

16. (අ) යෙසබෙල්ගේ මාලිගාවේ සිටි නිලධාරීන්ට හදිස්සියේම මුහුණ දීමට තිබූ තත්වය කුමක්ද? (ආ) යෙසබෙල් සම්බන්ධයෙන් යෙහෝවා පවසා තිබූ අනාවැකිය ඉටු වුණේ කෙසේද?

16 යේහු තවත් බල බලා ඉන්නේ නැතිව ඔහුගේ අශ්ව රථය නගරය බලා වේගයෙන් පැදෙව්වා. ඇගේ රූපය බොහෝ සෙයින් ඔප්නංවා ගත් යෙසබෙල් කවුළුවෙන් බලා තර්ජනාත්මක විලාසයකින් යේහුට කතා කළත් ඔහු ඇයව ගණන් නොගෙන, ඔහුට සහයෝගය දෙන්නේ කවුදැයි දැනගැනීමට මෙසේ ඇසුවා. “කවුද? මාගේ පැත්තට සිටින්නේ කවුද?” මේ අවස්ථාවේදී යෙසබෙල්ගේ සේවකයන්ට තීරණයක් ගැනීමට සිදු වුණා. එතැන සිටි නිලධාරීන් දෙතුන්දෙනෙක් කවුළුවෙන් බැලුවා. ඔවුන් ගන්නේ කාගේ පැත්තද යන කාරණය පරීක්ෂණයට ලක් වුණා. “ඇය පහළට හෙළන්න” කියා යේහු අණ කළා. ඒ නිලධාරීන් යෙසබෙල්ව පහළට හෙළුවා. ඉන්පසු ඇගේ සිරුර උඩින් යේහුගේ අශ්ව රථය ගමන් කළා. ඊශ්‍රායෙල් දේශය පුරා බාල් නමස්කාරය පිහිටුවීමට උල්පන්දම් දුන් තැනැත්තියට හිමි විය යුතු දඬුවම හිමි වුණා. නිලධාරීන් ඇයව භූමදාන කරන්න ගියත් කලින් කියා තිබූ ලෙසම ඇගේ මාංසය බල්ලන් කා දමා තිබුණා.—2 රාජාවලිය 9:30-37.

17. දෙවි යෙසබෙල්ට විරුද්ධව කළ විනිශ්චය ඉදිරියේදී සිදුවීමට නියමිතව තිබෙන කුමක් කෙරෙහි අප තුළ ස්ථිර විශ්වාසයක් ඇති කළ යුතුද?

17 මේ හා සමාන විනාශයක් “මහ බැබිලෝනිය” නමින් හඳුන්වනු ලබන වේශ්‍යාවටද සිදුවීමට නියමිතයි. මේ වේශ්‍යාවගෙන් නියෝජනය වන්නේ සාතන්ගේ ලෝකයට අයත් සියලුම බොරු ආගම්. මේවා මුලින්ම ආරම්භ වුණේ පුරාණ බැබිලෝනිය නගරයෙනුයි. බොරු ආගම් විනාශ වීමෙන් පසු, යෙහෝවා සාතන්ගේ ලෝකයේ තිබෙන දේශපාලනය හා වාණිජ්‍යය වැනි දේවලට සම්බන්ධ වී සිටින සියලුම මිනිසුන්ව විනිශ්චයට ලක් කරනවා. ධර්මිෂ්ඨ පාරාදීස පොළොවක් බිහි කිරීම සඳහා සාතන්ගේ ලෝකයේ මේ සෑම දෙයක්ම විනාශ කර දමනවා.—එළිදරව් 17:3-6; 19:19-21; 21:1-4.

18. යෙසබෙල්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙලයේ සිටි බාල් නමස්කාරකයන්ට සිදු වුණේ කුමක්ද?

18 යෙසබෙල්ගේ මරණයෙන් පසු යේහු ප්‍රමාද නොකර ගොස් ආහබ්ගේ වංශයේ ඉතුරු වී සිටින අයවත් ඔහුට මූලිකව සහය දුන් අයවත් නැති කර දමන්න ක්‍රියා කළා. (2 රාජාවලිය 10:11) ඒ වුණත් බාල්ට නමස්කාර කළ ඊශ්‍රායෙල්වරුන් බොහෝදෙනෙක් ඒ වන විටත් දේශයේ සිටියා. මේ බව තේරුම්ගත් යේහු ‘යෙහෝවා වෙනුවෙන් තිබෙන ඔහුගේ උද්‍යෝගය’ පෙන්වීමට අධිෂ්ඨානපූර්වකව තවත් තීරණයක් ගත්තා. (2 රාජාවලිය 10:16) ආහබ් විසින් සමාරියේ සාදා තිබූ දේවාලයක බාල් වෙනුවෙන් මහත් උත්සවයක් යේහු සංවිධානය කරමින් ඔහුත් බාල් නමස්කාරකයෙක් ලෙස පෙනී සිටියා. ඊශ්‍රායෙලයේ සිටි බාල් නමස්කාරකයන් සියලුදෙනාම ඒ උත්සවයට පැමිණියා. දේවාලය ඇතුළේ කොටු වී සිටි මේ සියලුදෙනාවම යේහුගේ මිනිසුන් මරා දැමුවා. මේ සිද්ධිය පිළිබඳ වාර්තාව බයිබලයේ අවසන් කරන්නේ මෙසේයි. “යේහු ඊශ්‍රායෙල් කෙරෙන් බාල් නැති කළේය.”—2 රාජාවලිය 10:18-28.

19. යෙහෝවාගේ පක්ෂපාත නමස්කාරකයන්ගෙන් සමන්විත “මහත් සමූහය” ඉදිරියේ තිබෙන මවිතකර අපේක්ෂාව කුමක්ද?

19 බාල් නමස්කාරය ඊශ්‍රායෙල් දේශයෙන් සම්පූර්ණයෙන්ම නැති කර දමනු ලැබුවා. මේ හා සමානව අද ලෝකයේ තිබෙන බොරු ආගම් සියල්ලම නොසිතූ මොහොතක හදිසියේම විනාශ වෙනවා නිසැකයි. එම විනිශ්චය දවසේදී ඔබ සිටින්නේ කාගේ පැත්තේද? දැන්ම ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව තීරණයක් ගන්න. මෙසේ කළොත් “මහත් පීඩාවෙන්” බේරී ජීවත් වන ‘මහත් සමූහයේ’ කෙනෙකු වීමේ වරප්‍රසාදය ඔබටත් හිමි වෙයි. ඒ කාලයේදී ඔබ මහත් ප්‍රීතියකින් අතීතය දෙස බලා, “සිය වේශ්‍යාකමින් පොළොව දූෂ්‍ය කළ මහත් ගණිකාවට” දෙවි දුන් විනිශ්චය ගැන ඔබ ඔහුට ප්‍රශංසා කරයි. ස්වර්ගයෙන් නික්මෙන මෙම වදන්වලට ඔබත් සෙසු සැබෑ නමස්කාරකයන් සමඟ එකඟ වේවි. “ජනයෙනි, යාට ප්‍රශංසා කරන්න. මන්ද, සර්වපරාක්‍රම තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා රජකම් කිරීමට පටන්ගෙන ඇත.”—එළිදරව් 7:9, 10, 14; 19:1, 2, 6.

හොඳින් සිතා බැලීම සඳහා ප්‍රශ්න

• පුරාණ ඊශ්‍රායෙල්වරුන් බාල් නමස්කාරයට ඇද වැටුණේ කොහොමද?

• සැබෑ නමස්කාරයට විරුද්ධව ක්‍රියා කිරීම ගැන බයිබලයේ පුරෝකථනය කර තිබුණේ කුමක්ද? මෙය ඉටු වූයේ කෙසේද?

• යේහු බාල් නමස්කාරය නැති කර දැමුවේ කෙසේද?

• දෙවිගේ විනිශ්චයෙන් බේරීමට අප කුමක් කළ යුතුද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සෝකෝ

අපෙක්

හෙල්කත්

යොක්නෙයාම්

මෙගිද්දෝ

තයනාක්

දොතාන්

සමාරිය

ඒන්-දෝර්

ෂුනෙම්

ඔප්‍රා (ඔප්රා)

යෙශ්‍රෙයෙල්

ඉබ්ලෙයාම් (ගැත්-රිම්මොන්)

තිර්ශා

බෙත්-ෂෙමෙෂ්

බෙත්-ෂෙයාන් (බෙත්-ෂාන්)

යාබෙෂ්-ගිලියද්?

ආබෙල්-මෙහෝලා

අර්බේල්හි වංශය

රාමොත්-ගිලියද්

කඳු මුඳුන්

කර්මෙල් කන්ද

තාබෝර් කන්ද

මෝරේ

ගිල්බෝවා කන්ද

[මුහුදු]

මධ්‍යධරණී මුහුද

ගලීල මුහුද

[ගංගා]

යොර්දාන් ගඟ

[උල්පත]

හරොද්හි උල්පත

[හිමිකම් විස්තර]

Based on maps copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel

[26වන පිටුවේ පින්තූර]

නිතිපතා ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වීම හා රැස්වීම්වලට පැමිණීම සැබෑ නමස්කාරයේ අතිවැදගත් ක්‍රියාකාරකම් වේ

[28, 29වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ මහත් දවසින් බේරී ජීවත් වීමට කැමති සියලුදෙනාම යේහු වගේ අධිෂ්ඨානපූර්වකව තීරණයක් ගත යුතුයි