Skip to content

පටුනට යන්න

නත්තල් සමයේදී ඔබ අපේක්ෂා කරන්නේ මොනවාද?

නත්තල් සමයේදී ඔබ අපේක්ෂා කරන්නේ මොනවාද?

නත්තල් සමයේදී ඔබ අපේක්ෂා කරන්නේ මොනවාද?

“ජනවාරි 1වන දා සියලුම දේවස්ථානවල විශේෂ දේවමෙහෙයන් පවත්වන්න කියා මහා පීටර් අධිරාජ්‍යයා සිය රටවැසියන්ට නියෝග කළා. එපමණක්ද නොවෙයි, නිවෙස්වල ඇතුළේ දොර උළුවහු මැල නොවෙන තද කොළ පැහැති කොළ අතුවලින් සරසන්න කියාද ඔහු ඔවුන්ට පැවසුවා. එමෙන්ම අලුත් අවුරුද්දේදී ‘හඬ නඟා එකිනෙකාට ශුභ පතමින් සතුට පළ කරන්න’ කියාද ඔහු මොස්කව් නුවර සිටින සියලුම වැසියන්ට නියෝග කළා.”​—Peter the Great—​His Life and World.

උත්සව සමයේදී ඔබ ආශාවෙන් බලා සිටින්නේ කුමන දේවල් කරන්නද? ක්‍රිස්තුස් ඉපදුණා කියා විශ්වාස කරන නත්තල සමරන්න ලොව පුරා බොහෝදෙනෙක් බලා සිටිනවා. මෙම නත්තල් සමයට අලුත් අවුරුද්දද ඇතුළත් වෙනවා. දවස් ගණනාවක් පුරා පවතින මේ උත්සව සමයේදී දෙමාපියන්ට රැකියාවෙන්ද දරුවන්ට පාසැලෙන්ද නිවාඩු ලැබෙනවා. මේ නිසා පවුලේ අයට එකට එකතු වී කාලය ගත කිරීමට මේ කාලය හොඳ අවස්ථාවක්. තවත් සමහර අය මේ නත්තල් සමය එන තෙක් ආශාවෙන් බලා සිටින්නේ ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කරන්නයි. මේ නත්තල් සමයේදී අතිවැදගත් තැනක් හිමි විය යුත්තේ ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කරන්න කියා ඇතැම්විට ඔබත් සිතනවා විය හැකියි.

මේ කාලයේදී සමහරුන් ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කරන අතර තවත් අය පවුලේ අයත් සමඟ එකතු වී සතුටින් කාලය ගත කරනවා. මේ දෙකම කරන අයද සිටිනවා. උත්සව සමයේදී තමන් කරන දෙය කුමක් වුණත් ස්වාමිපුරුෂයන්, භාර්යාවන් හා දරුවන් බොහෝදෙනෙක් මේ කාලය පැමිණෙන තෙක් බලා සිටින්නේ මහත් සතුටින්. මේ අවුරුද්දේදී කුමක් සිදු වෙයිද? මේ කාලය පවුලේ අය එකට එකතු වී සතුටින් ගත කරන කාලයක් වේවිද? මිනිසුන් දෙවිට විශේෂ භක්තියක් පිරිනමන කාලයක් වේවිද? පවුලේ අය හා ඥාතීන් එකට එකතු වුණොත් ඔබ බලාපොරොත්තු වන විදිහට සියලුදෙනාම ප්‍රීතියෙන් කාලය ගත කරයිද? නැත්නම් ඊට වඩා වෙනස් දෙයක් වෙයිද?

නත්තල් හා අලුත් අවුරුදු කාලයේදී සිදු කරනු ලබන ආගමික කටයුතුවල හවුල් වීමට උනන්දුවෙන් බලා සිටින බොහෝදෙනෙක් මේ උත්සවවලදී ක්‍රිස්තුස් කෙරෙහි නියම භක්තියක් දක්වන්නේ නැහැ. වැඩිදෙනෙක් මේ උත්සව සමය සලකන්නේ තෑගි බෝග ලබමින් හා සාදයන් පවත්වමින් ප්‍රීති වන කාලයක් හැටියටයි. එමෙන්ම පවුලේ අයට එකට එකතු වීමට ලැබෙන විශේෂ කාලයක් හැටියටයි. නත්තල් කාලයේ සාදයන් පවත්වන අය බොහෝවිට හැසිරෙන්නේ ක්‍රිස්තුස්ට අගෞරවයක් ඇති වන ආකාරයටයි. මේ සාදයන් පවත්වනු ලබන බොහෝ අවස්ථාවලදී ඇතැම් අය මුල් තැන දෙන්නේ අධික ලෙස කෑමට හා මත්පැන්වලටයි. සමහරුන් රණ්ඩු කරගන්නවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට නිවෙස්වල අපරාධ පවා සිදු වෙනවා. මෙවැනි දේවල් ඔබ උත්සව සමයේදී දැක තිබෙන්න පුළුවන්.

මේ ලිපියේ මුලින්ම සඳහන් කළ රුසියාවේ මහා පීටර් අධිරාජ්‍යයාගේ පාලන සමයේ සිට මේ දක්වා පවත්වන ලද නත්තල් හා අලුත් අවුරුදු උත්සවවල ලොකු වෙනස්කම් සිදු වී නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. උත්සව සමයේදී සිදු වන දේවල් ගැන කලකිරී සිටින අය සිතන්නේ මේ කාලයේදී මීට වඩා ආගමික කටයුතුවල නියැලිය යුතු බවයි. එමෙන්ම පවුලේ අය අතර යහපත් ඇසුරකට වැඩි තැනක් දිය යුතු බවයි. ඇතමුන් වෙනසක් ඇති කිරීමේ අරමුණින් මේ කාලයේදී යම් ක්‍රියාකාරකම් සංවිධානය කරමින් යේසුස්ට මුල් තැන දෙන්න කියා පවසන ආදර්ශ පාඨ ප්‍රදර්ශනය කරනවා. මිනිසුන් ක්‍රියා කරන ආකාරයෙහි සැබෑ වෙනසක් ඇති කළ හැකිද? යම් වෙනසක් ඇති කිරීමෙන් ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කළ හැකිද? මේ උත්සව සමය ගැන වෙනස් විදිහකට සිතන්න යම් හේතු තිබෙනවාද?

මේ ප්‍රශ්නවලට සෑහීමට පත් විය හැකි පිළිතුරු දැනගැනීම සඳහා එක් රටක වැසියන් මේ උත්සව සමය සලකන ආකාරය ගැන සොයා බලමු. මේ කාලය උදාවීම ගැන තම අගය පළ කිරීමට විශේෂ හේතුවක් ඒ රට වැසියන්ට තිබෙනවා.