Skip to content

පටුනට යන්න

නත්තල් සමයේ මුල් තැන කුමකටද?

නත්තල් සමයේ මුල් තැන කුමකටද?

නත්තල් සමයේ මුල් තැන කුමකටද?

මිලියන ගණනක් ජනයා නත්තල් සහ අලුත් අවුරුදු සමය සලකන්නේ තම පවුලේ අය හා ඥාති හිතමිත්‍රයන් සමඟ එකට කාලය ගත කරමින් එකිනෙකා අතර තිබෙන සම්බන්ධතා අලුත් කරගැනීමට ලැබෙන කාලයක් හැටියටයි. තවත් බොහෝදෙනෙක් මේ කාලය සලකන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ උපත හා මිනිස් වර්ගයාට ගැලවීම උදා කර දෙමින් ඔහු ඉටු කළ කාර්යභාරය ගැන හොඳින් සිතා බැලීමට හොඳම කාලය හැටියටයි. කලකට ඉහතදී රුසියාවේ ජනයාට ලෝකයේ වෙනත් රටවල් වගේ නත්තල සමරන්න අවසර තිබුණේ නැහැ. රුසියානු ඕතඩොක්ස් පල්ලියේ සාමාජිකයන් සියවස් ගණනාවක් පුරා නිදහසේ නත්තල සැමරුවත් විසිවන සියවසෙන් වැඩි හරියක් ඔවුන්ට එසේ කරන්න නිදහස තිබුණේ නැහැ. නමුත් දැන් තත්වය වෙනස් අතට හැරී තිබෙනවා. මේ වෙනසට හේතුව කුමක්ද?

වර්ෂ 1917දී සිදු වූ බොල්ෂෙවික් විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ බලධාරීන් ආගමට විරුද්ධව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළා. නත්තල් සමය හා ඒ කාලයේදී සිදු කළ ආගමික ක්‍රියාකාරකම් රජය හෙළාදැක්කා. රජය විසින් නත්තල් හා අලුත් අවුරුදු උත්සවවලට විරුද්ධව යම් ප්‍රචාරයන් දියත් කිරීමට පටන්ගත්තා. උත්සව සමයේදී එරට දැකිය හැකි නත්තල් ගස සහ එරට වැසියන් හිම සීයා කියා හඳුන්වන නත්තල් සීයා ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබුවා.

රුසියානු වැසියන් උත්සව සමය සමරන ආකාරයේ විශාල වෙනසක් 1935දී සිදු වුණා. මේ අනුව රුසියානුවන් නැවතත් නත්තල හා අලුත් අවුරුද්ද සමරන්න පටන්ගත්තත් එහි ලොකු වෙනසක් දකින්න තිබෙනවා. නත්තල් සීයා හා නත්තල් ගස නත්තල් උත්සවයේ සංකේත හැටියට යොදාගැනුණද නත්තල් සීයා තෑගි ගෙන ආවේ නත්තල් දවසේදී නොව අලුත් අවුරුදු දවසේදීයි. තවද නත්තල් ගසක් වෙනුවට අලුත් අවුරුදු ගසක් හඳුන්වා දෙනු ලැබුවා. නත්තලට හිමි තැන අලුත් අවුරුද්දට හිමිවීමත් සමඟ සෝවියට් සමූහාණ්ඩුව තුළ උත්සව සමයේ විශාල වෙනස්කමක් දකින්න තිබුණා.

නත්තල් සමය කිසිම ආකාරයක ආගමික මුහුණුවරක් නොගත් උත්සව කාලයක් වුණා. අලුත් අවුරුදු ගස සැරසුවේ ආගමික උත්සවවලදී යොදාගන්න සැරසිලිවලින් නොවෙයි. ඒ වෙනුවට සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රගතිය පෙන්වන නොයෙක් දේවල්වලිනුයි. මේ ගැන එක් රුසියානු පුවත්පතක (Vokrug Sveta) මෙසේ සඳහන් වී තිබුණා. “සෝවියට් දේශයේ අලුත් අවුරුදු ගස පිළිබඳ විස්තර සොයා බැලීමෙන් එරට කොමියුනිස්ට් සමාජයක් බිහි වූ ආකාරය ගැන තොරතුරු දැනගත හැකියි. අලුත් අවුරුදු ගස සැරසීමට හා පැටවුන් සහ රවුම් පාන් ගෙඩි බහුලව යොදාගත් අතර දෑකැත්තේ, මිටියේ හා ට්‍රැක්ටර්වල හැඩයට සමාන සැරසිලිද යොදාගනු ලැබුවා. පසු කාලයේදී මේ දේවල් ඉවත් කර ඒ වෙනුවට පතල්කරුවන්ගේ හා අජටාකාශගාමීන්ගේ කුඩා රූප සහ තෙල් ආකර කැනීමට යොදාගන්න උපකරණවල, රොකට්වල හා සඳ මතුපිට ගමන් කිරීමට යොදාගන්න කුඩා රථවල ආකෘති සැරසිලි ලෙස පාවිච්චි කරන්න පටන්ගත්තා.”

නත්තලට සිදු වුණේ කුමක්ද? නත්තලට හිමිව තිබූ තැන නැවත ලැබුණේ නැහැ. සෝවියට් බලධාරීන් එය සාමාන්‍ය වැඩ කරන දවසක් බවට පත් කළා. ආගමික වතාවත් සිදු කරමින් නත්තල පවත්වන්න ආශා කළ අයට එය කරන්න සිදු වුණේ රහසිගතව ඉතා කල්පනාකාරීවයි. නත්තල පවත්වන අයව බලධාරීන්ට හසු වුණා නම් නොයෙකුත් ගැටලුවලට මුහුණපාන්න සිදු වුණා. මේ අනුව විසිවන සියවසේදී රුසියාවේ නත්තල් සමයේදී මුල් තැන හිමි වුණේ ආගමික නොවන දේවලටයි. නත්තල් සමයේදී ආගමට කිසිම තැනක් තිබුණේ නැහැ.

මෑතකදී සිදු වූ වෙනසක්

වර්ෂ 1991දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු එහි වැසියන්ට වැඩි නිදහසක් හිමි වී තිබෙනවා. රජය කලින් ආගම් සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වුණත් අලුතින් බිහි වූ ස්වාධීන රාජ්‍යයන් බොහොමයක ආගමික ක්‍රියාකාරකම් දැකිය නොහැකියි. පල්ලිය හා රජය අතර සම්බන්ධයක්ද දැකිය නොහැකියි. ආගමට ලැදි බොහෝදෙනෙක් සිතුවේ අලුත් වෙනසත් සමඟ තමන්ගේ ආගමික විශ්වාසයන්ට අනුව කටයුතු කරන්න පුළුවන් වෙයි කියායි. ආගමික උත්සවයක් ලෙස නත්තල සැමරීමෙන් ආගමට තිබෙන ලැදියාව පෙන්වන්න පුළුවන් වෙයි කියා ඔවුන් සිතුවා. කෙසේවෙතත් වැඩි කාලයක් යන්න කලින් ඔවුන්ගේ බලාපොරොත්තු කඩා වැටුණා. මෙයට හේතුව කුමක්ද?

නත්තල වෙළඳාමක් කරගෙන තිබෙන ආකාරය සෑම වසරකම දැකිය හැකියි. බටහිර රටවල මෙන් සෝවියට් දේශයේ බිහි වූ ස්වාධීන රාජ්‍යයන්වලද නත්තල් සමය නිෂ්පාදකයන් හා වෙළඳුන් බොහෝ මුදල් උපයන කාලයක් බවට පත් වී තිබෙනවා. නත්තල් සැරසිලි සාප්පු ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය දැකිය හැකියි. කාලයක් රුසියාවේ වැසියන්ට නුහුරු දෙයක් වූ බටහිර තාලයට ගැයෙන නත්තල් ගී හා බැති ගී දැන් අසන්න ලැබෙනවා. නත්තල් සැරසිලි දමාගත් විශාල බෑග් අතැතිව සිටින වෙළෙඳුන් දුම්රියට හා බස් රථවලට නැඟ ඒවා විකුණනවා දැකිය හැකියි.

උත්සව සමයේ සිදු කරනු ලබන ව්‍යාපාර ගැන විරුද්ධත්වයක් පළ නොකරන අය පවා ඒ කාලයේදී සිදු වන තවත් දෙයක් නිසා කලකිරෙනවා. ඔවුන් විරුද්ධ වන්නේ මත්පැන් පානයටයි. මේ නිසා උත්සව සමයේදී බොහෝ අනතුරු සිදු වෙනවා. මේ ගැන මොස්කව්හි පිහිටි රෝහලක හදිසි අනතුරු ඒකකයේ සේවය කරන වෛද්‍යවරයෙක් මෙසේ පැවසුවා. “අලුත් අවුරුදු දවස්වල බොහෝදෙනෙක් පොඩි පොඩි තැලීම් සීරීම් නිසා ඇති වන තුවාලවලට විතරක් නෙවෙයි පිහි ඇනුම් හා වෙඩි තැබීම්වලට ලක්වීම නිසාත් රෝහලට පැමිණෙනවා. වැඩිදෙනෙකුට තුවාල සිදු වන්නේ නිවෙස්වල සිදු වන ගැටුම් නිසයි. එමෙන්ම අධික බීමත්කම හා වාහන අනතුරු නිසාද හුඟදෙනෙක් තුවාල ලබනවා.” රුසියානු විද්‍යා ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් මෙසේ සඳහන් කළා. “මත්පැන් පානය හා සම්බන්ධ මරණ සංඛ්‍යාව වේගයෙන් වැඩි වෙනවා. විශේෂයෙන්ම 2000 වසරේදී මත්පැන් හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩි වී තිබෙනවා. එමෙන්ම සිය දිවි හානි කරගැනීම් හා මිනී මැරීම්ද වැඩි වී තිබෙනවා.”

උත්සව සමයේදී රුසියාවේ සිදු වන එවැනි අනතුරු වැඩිවීමට තවත් හේතුවක් බලපා තිබෙනවා. “රුසියානුවන් දෙවරක් නත්තල පවත්වයි” නමැති සිරස්තලය යටතේ එක් පුවත්පතක (Izvestiya) මෙසේ සඳහන් වුණා. “රුසියාවේ වැසියන් දහදෙනෙකුගෙන් එක් කෙනෙක් නත්තල දෙවරක් පවත්වනවා. එක් ආයතනයක් මගින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ඊට හවුල් වූ අයගෙන් සියයට 8දෙනෙක් කතෝලික දිනදර්ශනයට අනුව දෙසැම්බර් 25වන දාත් ඕතඩොක්ස් පල්ලියට අනුව ජනවාරි 7වන දාත් නත්තල සමරන බවයි. . . . සමහරුන් වැඩි තැනක් දෙන්නේ නත්තලේ ආගමික පැත්තට වඩා උත්සවවලටයි.” *

වර්තමානයේ නත්තල සමරන ආකාරයෙන් ක්‍රිස්තුස්ව ගෞරවයට පත් වෙනවාද?

දෙවිව හා ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කිරීම සඳහා නත්තල පැවැත්විය යුතුයි කියා සමහරුන් සිතුවද ඒ කාලයේදී ඇතමුන් හැසිරෙන්නේ දෙවිව අගෞරවයට පත් වන ආකාරයෙනුයි. දෙවිව ගෞරවයට පත් කිරීමට යමෙකු තුළ තිබෙන ආශාව ප්‍රශංසනීයයි. නමුත් මෙහිදී සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක් වන්නේ මිනිසුන් නත්තල පැවැත්වීම ගැන දෙවි සහ ක්‍රිස්තුස් ඇත්තටම සතුටු වෙනවාද යන්නයි. නත්තල ආරම්භ වූ ආකාරය දැන් අපි සලකා බලමු.

සෝවියට් දේශයේ නත්තල ගැන දරන ආකල්පය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ මත දැරිය හැකියි. කෙසේවෙතත් නත්තල සම්බන්ධයෙන් එක් විශ්වකෝෂයක (Great Soviet Encyclopedia) සඳහන් මතු දැක්වෙන ඓතිහාසික තොරතුරු ගැන නම් වාද කළ නොහැකියි. මෙම සත්‍ය කරුණු අවිවාදයෙන් පිළිගැනීමට සිදු වෙනවා. “ක්‍රිස්තුස්ට කලින් පැවති යුගවල කෘෂිකර්මයේ නිරත වූ නොයෙකුත් ජන පිරිස් විශ්වාස කළේ සරත් සමයේදී තමන්ගේ දෙවිවරුන් මිය ගිය බවයි. නමුත් දෙසැම්බර් 21-25 අතර කාලයේදී දිවා කාලය වැඩි වෙන්න පටන්ගත් නිසා ගැලවුම්කාර දෙවියෙක් ‘ඉපදී’ පරිසරයට නව ජීවයක් ලබා දුන් බවත් ඔවුන් විශ්වාස කළා. එම අවස්ථාව ඔවුන් වාර්ෂිකව උත්සවාකාරයෙන් සැමරුවා. නත්තල සැමරීමට මුල් වී තිබෙන්නේ මෙම අතීත උත්සවයයි.”

එම විශ්වකෝෂයේම නිවැරදිව මෙසේ පෙන්වා දී තිබෙනවා. “ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වල විසූ ක්‍රිස්තියානීන් නත්තල සැමරුවේ නැහැ. . . . නමුත් ක්‍රි.ව. හතරවන සියවසේ මැද භාගයේ සිට ක්‍රිස්තියානි ආගමික නායකයන් නත්තල කියන උත්සවය හඳුන්වා දුන්නා. එයට පදනම සැපයුවේ මිත්‍රා නම් හිරු දෙවියන් වෙනුවෙන් දෙසැම්බර් 25දී පැවැත්වූ උත්සවයයි. මෙම උත්සවය මුලින්ම පැවැත්වූයේ රෝමයේ විසූ ජනතාවයි. ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේදී ක්‍රිස්තියානි ධර්මය රුසියාවට හඳුන්වා දුන් විට නත්තලද හඳුන්වා දෙනු ලැබුවා. ප්‍රතිඵලයක් ලෙස නත්තල් උත්සවය, පුරාණ ස්ලාව් ජාතිකයන් තම මුතුන්මිත්තන් වෙනුවෙන් ශීත ඍතුවේ පැවැත්වූ උත්සවයට සම්බන්ධ කරගෙන සැමරුවා.”

කෙසේවෙතත් ‘බයිබලයේ යේසුස්ගේ උපත සිදු වූ දිනය ගැන සඳහන් වෙන්නේ මොනවාද?’ කියා ඔබ අසන්න පුළුවන්. යේසුස්ගේ උපත සිදු වූ දිනය ගැන නිශ්චිත සඳහනක් බයිබලයේ නැහැ. එමෙන්ම යේසුස්ද ඒ ගැන කතා කළ බව එහි වාර්තා වී නැති අතර එය සැමරීමටද කිසිම අනුබලයක් බයිබලයේ දී නැහැ. කෙසේවෙතත් යේසුස් ඉපදුණු කාලය දැනගැනීම සඳහා උපකාරවත් වන තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා. දැන් අපි ඒ ගැන ටිකක් සලකා බලමු.

මතෙව්ගේ ශුභාරංචියේ 26වන හා 27වන පරිච්ඡේදවල සඳහන් තොරතුරු සලකා බැලීමේදී පැහැදිලි වෙන්නේ යේසුස්ව මරණයට පත් කළේ යුදෙව් දිනදර්ශනයට අනුව ක්‍රි.ව. 33 නීසාන් 14වන දා පවත්වන ලද පාස්කු දවසේ අවසාන භාගයේදීයි. එම දිනය මාර්තු 31වන දාට සමානයි. යේසුස් බව්තීස්ම වී සිය දේවසේවය ආරම්භ කළේ වයස අවුරුදු 30දී බව ලූක්ගේ ශුභාරංචියෙන් අපට දැනගත හැකියි. (ලූක් 3:21-23) ඔහු අවුරුදු තුනහමාරක් දේවසේවය කරගෙන ගියා. මේ අනුව යේසුස් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 33 1/2 ක් පමණ වුණා. ඔහුට අවුරුදු 34 ලබන්න තිබුණේ ක්‍රි.ව. 33 ඔක්තෝබර් 1වනදා හෝ ඊට ආසන්න දිනයකයි. යේසුස් ඉපදුණු දවස්වල එඬේරුන් “රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැළ රකිමින් එළිමහනේ සිටි” බව ලූක්ගේ වාර්තාවේ සඳහන් වෙනවා. (ලූක් 2:8) යේසුස්ගේ උපත සිදු වූ බෙත්ලෙහෙම හා ඒ අවට ප්‍රදේශවලට හිම පවා පතිත විය හැකි ශීතල දෙසැම්බර් මාසයේදී එඬේරුන් ඔවුන්ගේ බැටළුවන්ව එළිමහනට රැගෙන යන්නේ නැහැ. එහෙත් යේසුස්ගේ උපත සිදු වූවා කියා නිගමනය කළ හැකි ඔක්තෝබර් 1වන දා හා ඊට ආසන්න දිනවල නම් එඬේරුන් ඔවුන්ගේ බැටළුවන් සමඟ එළිමහනේ සිටින්න ඇති කියා සිතිය හැකියි.

අලුත් අවුරුදු උත්සවය ගැන කියන්න පුළුවන් මොනවාද? අපි කලින් සලකා බැලූ ආකාරයට අලුත් අවුරුද්ද සමරන කාලයේදී බොහෝදෙනෙක් හැසිරෙන්නේ අසංවර ලෙසයි. අලුත් අවුරුදු උත්සවයට ආගම සම්බන්ධ කර නොගැනීමට වෑයම් කළත් එහි මූලාරම්භය සොයා බැලීමේදී ප්‍රශ්නාර්ථයන් ඇති වන තැන් තිබෙනවා.

නත්තල් කාලයේදී යේසුස්ට මුල් තැන දෙන්න කියා පවසන ඇතැම් ආදර්ශ පාඨවලින් කියන දෙය ඇත්තටම සිදු නොවන බව පැහැදිලියි. නත්තල් සමයේ ව්‍යාපාරවලට වැඩි අවධානයක් යොමුවීමත් ඒ කාලයේදී මිනිසුන් හැසිරෙන ආකාරයත් බොරු ආගමික විශ්වාසයන් නත්තලට සම්බන්ධ වීමත් ගැන ඔබ කලකිරීමට පත්ව සිටිනවා නම්, අධෛර්යය වන්න එපා. දෙවිට හිමි නිසි භක්තිය සහ යේසුස්ට හිමි නිසි ගෞරවය පිරිනැමීමටත් ඔබේ පවුලේ අය අතර තිබෙන සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමටත් හොඳ ක්‍රමයක් තිබෙනවා.

දෙවිව සහ යේසුස්ව ගෞරවයට පත් කිරීමට වඩාත් හොඳ විදිහක්

යේසුස් පැමිණියේ “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමට” කියා බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 20:28) ඔහු අපේ පව් උදෙසා මිය යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මෙවැනි දෙයක් කළ කෙනෙකු වශයෙන් යේසුස්ව ගෞරවයට පත් කළ යුතුයි කියා බොහෝදෙනෙකුට හැඟෙනවා. ඇතමුන් සිතන්නේ ඒ සඳහා නත්තල් කාලය සුදුසුම කාලය කියායි. නමුත් නත්තල හා අලුත් අවුරුද්ද ක්‍රිස්තුස්ට කිසි සම්බන්ධයක් නැති බව අපි සලකා බැලූ කරුණුවලින් පැහැදිලියි. එමෙන්ම එම උත්සව මුලින්ම පවත්වන ලද්දේ සැබෑ දෙවිට නමස්කාර නොකළ ජනයා විසින් බවත් අපි සලකා බැලුවා. නත්තල් කාලය සමහරුන්ට ප්‍රීතිමත් කාලයක් වුණත් ඒ කාලය ව්‍යාපාරිකයන් අධික ලෙස ලාභ ලබන කාලයක්ද වෙනවා. ඒ විතරක් නොවෙයි නත්තල් කාලයේදී ඇතමුන් දෙවිව සහ යේසුස්ව අගෞරවයට පත් වන ආකාරයෙන් ඉතා නරක ලෙස හැසිරෙනවා.

අවංකව දෙවිව සතුටු කිරීමට කැමති කෙනෙක් ක්‍රියා කළ යුත්තේ කෙසේද? එවැනි කෙනෙක් ශුද්ධ ලියවිල්ලේ සඳහන් ඉගැන්වීම්වලට විරුද්ධ මෙන්ම බොරු භක්තියක් මවාපාන චාරිත්‍ර වාරිත්‍රවලට වහල් වෙන්නේ නැහැ. ඒ වෙනුවට දෙවිව හා ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කළ හැකි ආකාර ගැන සොයා බලනවා. දෙවි සහ ක්‍රිස්තුස් පිළිගන්න ආකාරයෙන් ඔවුන්ව ගෞරවයට පත් කළ හැක්කේ කෙසේද?

යේසුස් මෙසේ පැවසුවා. “සදාකාල ජීවනය නම් මේය. ඔවුන් විසින් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3) දෙවිව සහ ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කළ හැකි ආකාරය ගැන නිවැරදිව දැනගත හැක්කේ කෙසේද කියා සොයා බැලීමට අවංක පුද්ගලයෙක් වෑයම් කරනවා. එවැනි කෙනෙක් තමන් දැනගත් දෙය යම් විශේෂ කාලයකදී නොව සෑමදාම ක්‍රියාවට නඟනවා. දෙවි එවැනි අවංක අය ගැන බොහෝ සේ සතුටු වෙනවා. එමෙන්ම එවැනි අයට සදාකාල ජීවනය ලබා දෙන බවටද දෙවි පොරොන්දු වී තිබෙනවා.

ඔබේ පවුලේ අයත් සමඟ එකතු වී බයිබලයේ සඳහන් වී තිබෙන ආකාරයට දෙවිව සහ ක්‍රිස්තුස්ව ගෞරවයට පත් කිරීමට ඔබ කැමතිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් නිවැරදි දැනුම ලබාගැනීමට ලොව පුරා සිටින බොහෝ පවුල්වලට උපකාර කර තිබෙනවා. ඔබටත් ඔබේ පවුලේ අයටත් එම දැනුම ලබාගැනීම සඳහා ඔබ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න කියා ආරාධනා කරන්න කැමතියි. නැත්නම් මේ සඟරාවේ 2වන පිටුවේ තිබෙන අදාළ ලිපිනයට ලියන්න ඔබට පුළුවන්.

[පාදසටහන]

^ 11 ඡේ. වර්ෂ 1917 ඇති වූ බොල්ෂෙවික් විප්ලවයට කලින් රුසියාවේ භාවිත කරනු ලැබුවේ පැරණි ජූලියන් දිනදර්ශනයයි. නමුත් ඒ වන විටත් ලෝකයේ රටවල් බොහොමයක් ග්‍රෙගරි නම් පාප්වරයාගේ කාලයේ සම්පාදනය කළ දිනදර්ශනය භාවිත කරන්න පටන්ගෙන තිබුණා. වර්ෂ 1917දී ජූලියන් දිනදර්ශනයේ දින ගණන ග්‍රෙගරිගේ දිනදර්ශනයේ දින ගණනට වඩා දින 13ක් පසුපසින් තිබුණා. ඉහත සඳහන් විප්ලවයෙන් පසුව සෝවියට් දේශයද ලෝකයේ සෙසු රටවල් භාවිත කළ ග්‍රෙගරිගේ දිනදර්ශනය භාවිත කරන්න පටන්ගත්තා. කෙසේවෙතත් ඕතඩොක්ස් පල්ලිය එහි උත්සව සමරනු ලැබුවේ ජූලියන් දිනදර්ශනයට අනුවයි. ඔවුන් මෙම දිනදර්ශනය “පැරණි” දිනදර්ශනය කියා හැඳින්වුවා. රුසියාවේ නත්තල පවත්වනු ලබන්නේ ජනවාරි 7වන දා කියා සමහරවිට ඔබ අසා ඇති. කෙසේවෙතත් ග්‍රෙගරිගේ දිනදර්ශනයේ ජනවාරි 7වන දා ජූලියන් දිනදර්ශනයේ දෙසැම්බර් 25වන දාට සමාන බව මතක තබාගන්න. මේ නිසා රුසියානු වැසියන් බොහෝදෙනෙක් මේ උත්සවයන් සමරන්නේ මෙයාකාරයටයි. බටහිර ක්‍රමයට අනුව දෙසැම්බර් 25 නත්තල, ජනවාරි 1 අලුත් අවුරුද්ද, පැරණි දිනදර්ශනයට අනුව ජනවාරි 7 ඕතඩොක්ස් නත්තල, ජනවාරි 14 අලුත් අවුරුද්ද.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අලුත් අවුරුදු උත්සවයේ සුල මුල

ජෝර්ජියානු ඕතඩොක්ස් දේවගැතියෙක් නිර්භීතව සිය අදහස් පළ කරයි

“අලුත් අවුරුදු උත්සවයේ ආරම්භයත් පුරාණ රෝමයේ මිථ්‍යා ආගම්වල පැවති උත්සව අතරත් පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ජනවාරි 1වන දා නිවාඩු දිනයක් ලෙස කැප කර තිබුණේ ජේනස් නමැති දෙවියාටයි. ජනවාරි මාසය පැමිණ තිබෙන්නේ ඔහුගේ නමිනුයි. ජේනස් නමැති දෙවියාට මුහුණු දෙකක් තිබුණා. මේ දෙවියාගේ රූපයේ ඉදිරිපසින් සහ පිටුපසින් පිහිටා තිබුණු මුහුණු දෙකෙන් අදහස් කළේ ඔහුට අතීතය මෙන්ම වර්තමානයද දැකිය හැකි බවයි. ජනවාරි 1වන දා සතුටු සිනහ පාමින් අන් අයට සුබ පතන හා අධික ලෙස කෑම බීමවලින් සංග්‍රහ කරන සෑම කෙනෙකුටම අවුරුද්ද පුරාම ප්‍රීතියෙන් කල් ගෙවිය හැකි බවට විශ්වාසයක් තිබුණා. අපේ රටවැසියන් බොහෝදෙනෙක් සමරන අලුත් අවුරුද්ද ඒ මිථ්‍යා මත හා සම්බන්ධයි. . . . ඇතැම් මිථ්‍යාදෘෂ්ටික නිවාඩු දිනවලදී මිනිසුන් පිළිමයකට පුද පූජා ඔප්පු කරනවා. ඇතැම් දෙවිවරුන් වෙනුවෙන් පවත්වනු ලබන උත්සවවලදී වේශ්‍යාකම් හා අනාචාරකම් බහුලව සිදු වුණා. උදාහරණයක් හැටියට ජේනස් නමැති දෙවියා වෙනුවෙන් පවත්වන ලද නිවාඩු උත්සවයේදී මිනිසුන් අධික ලෙස කෑවා. මත්පැන් පානය කළා. ඒ උත්සවයේදී බොහෝ නරක ක්‍රියාවන් සිදු වුණා. අපිත් අලුත් අවුරුදු උත්සවය පැවැත්වූවා නම් අප කර තිබෙන්නේ බොරු ආගම්වලට සම්බන්ධ දෙයක් බව අපි පිළිගත යුතුයි.”—ජෝර්ජියානු පුවත්පතකින් උපුටාගන්නා ලදි.

[6වන පිටුවේ පින්තූරය]

හිරු දෙවිට කළ නමස්කාරය ඇතැම් ක්‍රිස්තියානි ආගම්වල පවා දැකිය හැකියි

[හිමිකම් විස්තර]

Museum Wiesbaden

[7වන පිටුවේ පින්තූරය]

එඬේරුන් ශීතල දෙසැම්බර් මාසයේදී බැටළුවන් රැගෙන එළිමහනට යයි කියා සිතිය නොහැකියි