Skip to content

පටුනට යන්න

බාධා දුෂ්කරතා මැද එළිදැක්වූ ඉතාලි බයිබලය

බාධා දුෂ්කරතා මැද එළිදැක්වූ ඉතාලි බයිබලය

බාධා දුෂ්කරතා මැද එළිදැක්වූ ඉතාලි බයිබලය

“අපේ රටේ [ඉතාලියේ] වැඩියෙන්ම බෙදාහරිනු ලබන පොත් අතර බයිබලයට මුල් තැනක් හිමි වුණත් අඩුවෙන්ම කියවන පොතත් එයයි. දේවවචනය වන බයිබලය කියවීම සඳහා කතෝලිකයන්ට එතරම් දිරිගැන්වීම් හා උපකාර ලැබී නැහැ. බයිබලය ගැන දැනගැනීමට කැමති අය සිටියත් එය හරියාකාරව පහදා දීමට කිසිවෙක් නැහැ.”

වර්ෂ 1995දී ඉතාලියේ රදගුරුන්ගේ සම්මේලනයකදී කරන ලද ඉහත ප්‍රකාශය නිසා ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. අතීතයේදී ඉතාලියේ ජනයාට බයිබලය කියවා තේරුම්ගත හැකි වූවාද? ඒ කාලයේදී වෙනත් රටවලට වඩා එරටේ බයිබලය බෙදාහැරීම අඩු වූයේ ඇයි? තවමත් ඉතාලියේ අඩුවෙන්ම කියවන පොත බයිබලය වන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට යම් පිළිතුරු දැනගැනීම සඳහා ඉතාලි භාෂාවෙන් බයිබලය පරිවර්තනය කිරීම පිළිබඳ ඉතිහාසය ගැන ටිකක් සලකා බලමු.

ලතින් භාෂාවෙන් බිහි වූ ප්‍රංශ, ඉතාලි, පෘතුගීසි, ස්පාඤ්ඤ සහ තවත් එවැනි භාෂා මිනිසුන් අතර ප්‍රචලිත වීමට සියවස් ගණනාවක් ගත වුණා. ලතින් භාෂාවේ ආභාසය තිබූ යුරෝපීය රටවල් ගණනාවක සාමාන්‍ය ජනයා භාවිත කළ භාෂාවට හොඳ පිළිගැනීමක් ක්‍රමානුකූලව ලැබුණා. සාහිත්‍යමය කෘති සම්පාදනය කිරීමේදී එම භාෂාව භාවිත කරනු ලැබුවා. මෙසේ පොදු ජනයාගේ භාෂාව වෙනස් වීම බයිබල් පරිවර්තනයටද බලපෑවා. කල් යත්ම කතෝලික සභාව භාවිත කළ ලතින් භාෂාව සහ යුරෝපීය රටවල පොදු ජනයාගේ භාෂාව අතර ඇති වූ පරතරය කොතරම්ද කියනවා නම් එතරම් අධ්‍යාපනයක් ලබා නැති අයට ලතින් භාෂාව තේරුම්ගත නොහැකි වුණා.

වසර 1000 වන විට ඉතාලි අර්ධද්වීපයේ විසූ බොහෝදෙනෙකුට ලතින් වල්ගේට් බයිබල් පරිවර්තනය කියවා තේරුම්ගැනීම දුෂ්කර වුණා. ඔවුන්ට එහි පිටපත් ලබාගැනීමද එතරම් ලෙහෙසි වුණේ නැහැ. සියවස් ගණනාවක් පුරා එවකට පැවති විශ්වවිද්‍යාල කිහිපය ඇතුළු අධ්‍යාපන ක්‍රමය පැවතියේ කතෝලික සභාවේ පාලනය යටතේයි. මෙම අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණයි. මෙසේ කාලයක් යන විට බයිබලය “බොහෝදෙනෙක් නොදන්න පොතක්” බවට පත් වුණා. එහෙත් බොහෝදෙනෙක් ඔවුන්ගේම භාෂාවෙන් බයිබලය කියවා තේරුම්ගැනීමට මහත් ආශාවක් දැක්වුවා.

බයිබලය පරිවර්තනය කිරීම නිසා රෝමානු කතෝලික සභාවේ ඉගැන්වීම්වලට හා විශ්වාසයන්වලට පටහැනි අදහස් ව්‍යාප්ත වෙයි කියා බියට පත් වූ පූජකයන් ඊට විරුද්ධ වුණා. ඉතිහාසඥයෙකු වන මසිමෝ ෆර්පෝ මෙසේ පැවසුවා. “පොදු ජනයාගේ භාෂාව භාවිත කළොත් ලතින් භාෂාව නිසා ඇති වී තිබූ බාධකය ඉවත් වී, පූජකයන්ට අවශ්‍ය පරිදි ආගම හැසිරවීමට තිබූ හැකියාව නැති වෙන්න ඉඩ තිබුණා.” බයිබලය පිළිබඳව සාමාන්‍ය ජනයාගේ දැනුම අඩුවීමට ඉහත කී හේතු බලපා තිබෙනවා. මෙම බලපෑම අදටත් ඉතාලියේ දැකිය හැකියි.

බයිබලයෙන් කොටසක් මුල් වරට පරිවර්තනය කිරීම

දහතුන්වන සියවස වන විට ලතින් භාෂාවෙන් බයිබලයේ සමහරක් පොත් ඉතාලි භාෂාවට මුල් වරට පරිවර්තනය කරන්න පටන්ගත්තා. මේවා අතින් පිටපත් කළ නිසා ඒවායේ මිල අධික වුණා. බයිබලය පරිවර්තනය කිරීමේ කාර්යය දියුණු වීම නිසා 14වන සියවස වන විට බයිබලයේ හැම පොතක්ම වගේ පරිවර්තනය කර තිබුණා. මෙම පරිවර්තනයන් කරනු ලැබුවේ විවිධ පුද්ගලයන් විසින් විවිධ කාල වකවානුවලදී විවිධ ස්ථානවල සිටයි. ඒවායින් බොහොමයක පරිවර්තකයන්ගේ නම් සඳහන් වූයේ නැහැ. මෙම පරිවර්තන ලබාගැනීමට හැකි වුණේ ධනවත් හා උගත් පුද්ගලයන්ට පමණයි. පොත් පත්වල හා බයිබල්වල මිල සැලකිය යුතු ලෙස අඩුවීමට මුද්‍රණ කර්මාන්තය හේතු වුණත්, ඉතිහාසඥ ජිල්යෝලා ෆ්‍රාන්යිතෝ පැවසූ පරිදි, බයිබලය ලබාගැනීමට හැකි වුණේ ටිකදෙනෙකුට පමණයි.

සියවස් ගණනාවක් පුරා ඉතාලියේ ජනගහනයෙන් වැඩි පිරිසකට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණේ නැහැ. වර්ෂ 1861දී ඉතාලිය එක්සේසත් කළ කාලයේදී පවා ජනගහනයෙන් සියයට 74.7කට කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණේ නැහැ. මේ නිසා නොමිලේ අධ්‍යාපනය ලබා දීමටත් සියලුදෙනාම අධ්‍යාපනය ලැබීම අනිවාර්යය කිරීමටත් එරටේ නව ආණ්ඩුව පියවර ගත්තා. එහෙත් නවවන පයස් පාප් 1870දී පාලනය කළ රජුට ලිපියක් යවමින් ඊට විරුද්ධත්වය පළ කළා. ආණ්ඩුවේ එම ක්‍රියාමාර්ගය ඔහු හැඳින්වූයේ “කතෝලික අධ්‍යාපනික ක්‍රමය විනාශ කර දැමීමේ අදහසින් දියත් කළ කූට ව්‍යාපාරයක්” ලෙසයි.

මුල්ම ඉතාලි බයිබලය

වර්ෂ 1471දී සම්පූර්ණ බයිබලයම පළමු වතාවට ඉතාලි භාෂාවෙන් මුද්‍රණය කළේ වැනිසිය නම් නුවරේදීයි. මෙය කළේ මුද්‍රණ ශිල්පය මුල් වරට යුරෝපයේ භාවිත කිරීමෙන් අවුරුදු 16ක් පමණ ගත වූවාට පසුවයි. කමල්දෝලි නිකායේ පූජකයෙකු වූ නිකොලෝ මලෙර්බි මාස අටකින් ඔහුගේ පරිවර්තනය සම්පූර්ණ කළා. ඔහුගේ පරිවර්තනයේදී ඔහු වැඩියෙන්ම යොදාගත්තේ එවකට තිබූ බයිබල් පරිවර්තනයි. යම් වෙනස්කම් කිරීමේදී ඔහු ලතින් වල්ගේට් බයිබලය පදනමක් ලෙස භාවිත කළා. එමෙන්ම පරිවර්තනය සඳහා ඔහු යොදාගත් සමහර වචන ඔහු ජීවත් වූ ප්‍රදේශයේ ජනයා පාවිච්චි කළ වචනයි. ඔහු ජීවත් වූයේ ඊසානදිග ඉතාලියේ පිහිටි ප්‍රදේශයක් වූ වැනිසියාවේයි. ඉතාලි භාෂාවෙන් මුල් වරට මුද්‍රණය කර පුළුල්ව බෙදාහරින ලද පරිවර්තනය වූයේ මෙයයි.

වැනිසියේදී බයිබලය පරිවර්තනය කළ තවත් පුද්ගලයෙක් වූයේ ඇන්තෝනියෝ බෘචොලියි. ඔහු පුරාණ ග්‍රීක හා රෝම කලාවට හා දර්ශනයට බොහෝ සේ ඇලුම් කළ පුද්ගලයෙක්. ඔහු කතෝලික සභාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නොතිබුණත් ඔහු වෙනස් අදහස් දැරූ කෙනෙක්. ඔහු 1532දී හෙබ්‍රෙව් සහ ග්‍රීක යන මුල් භාෂාවලින් ඉතාලි භාෂාවට බයිබලය පරිවර්තනය කළා. මුල් භාෂාවලින් බයිබලය ඉතාලි භාෂාවට පරිවර්තනය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ කාලයේදී හෙබ්‍රෙව් හා ග්‍රීක වැනි පුරාණ භාෂා පිළිබඳ එතරම් දැනුමක් නොතිබුණත් මුල් ශුද්ධ ලියවිලිවල අදහස් විශ්වාසවන්තව පරිවර්තනය කර තිබුණා. නමුත් මෙය ඉතාලි භාෂාව අතින් බලන කල උසස්ම මට්ටමක තිබුණා කියා කිව නොහැකියි. කොහොමවුණත් එම පරිවර්තනයේ ඇතැම් තැන්වල දෙවිගේ නාමය වන යෙහෝවා යන නම සඳහන් වී තිබුණා. සියවසකට ආසන්න කාලයක් පුරා ඔහුගේ මෙම බයිබල් පරිවර්තනය ඉතාලියේ කතෝලික නොවන අය හා කතෝලික ආගමට විරුද්ධව සිටි අය අතර ජනප්‍රිය වුණා.

අනෙකුත් ඉතාලි බයිබල් පරිවර්තන බිහි වුණේ බෘචොලි එළිදැක්වූ බයිබලයේ සංශෝධන පරිවර්තනයන් හැටියටයි. මෙම සමහර පරිවර්තනයන් කරනු ලැබූවේ කතෝලිකයන් විසිනුයි. මේ කිසිම පරිවර්තනයකට සැලකිය යුතු තරම් ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. වර්ෂ 1607දී රෙපරමාදු නිකායක් වන කැල්වින් නිකායේ පූජකයෙක් වූ ජොවානි ඩියෝඩාටි මුල් භාෂාවලින් ඉතාලි භාෂාවට බයිබලය පරිවර්තනය කළා. ඔහුගේ බාල කාලයේදී ඔහුගේ දෙමාපියන් ආගමික පීඩා නිසා ස්විට්සර්ලන්තයට පළා ගියා. ඔහු මෙම පරිවර්තනය කළේ ජිනීවා නුවරේ සිටයි. ඔහුගේ අනුවාදය සියවස් ගණනාවක් පුරා ඉතාලියේ කතෝලික නොවන අය පාවිච්චි කළා. මෙය නිකුත් වූ කාලයේදී එය විශිෂ්ට ගණයේ ඉතාලි පරිවර්තනයක් ලෙස සලකනු ලැබුවා. ඩියෝඩාටිගේ පරිවර්තනය ඉතාලි ජනයාට බයිබලයේ ඉගැන්වීම් තේරුම්ගැනීමට උපකාරවත් වුණා. එහෙත් පොත් පත්වල සඳහන් දේවල් කපාහැරීමට පූජකයන්ට තිබූ බලතල මෙම පරිවර්තනය ඇතුළු වෙනත් පරිවර්තන බෙදාහැරීමේ කාර්යයට හරස් වුණා.

ජනයා “නොදත් පොතක්”

එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “කතෝලික සභාව පොත් පත්වල පළ වන දේවල් ගැන සුපරික්ෂාවෙන් සිටියා. යම් පොතක හානිකර අදහස් තිබෙනවා කියා ඔවුන් තීරණය කළා නම් එය පුලුස්සා දැමූ නිසා තහනම් කරන ලද පොත් පත්වල ලැයිස්තුවක් තබාගැනීම ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. එහෙත් මුද්‍රණ කර්මාන්තයේ ආරම්භයත් සමඟම මේ සෑම දෙයක්ම වෙනස් වුණා.” (Enciclopedia Cattolica) කතෝලික සභාවෙන් කැඩී ගිය “ක්‍රිස්තියානි” ආගම් බිහිවීමෙන් පසුවත් ඇතැම් යුරෝපීය රටවල පූජකයන් තම සභාවල ඉගැන්වීම් හා විශ්වාසයන්වලට පටහැනියි කියා සිතූ පොත් මිනිසුන් අතට පත්වීම වැළැක්වීමට මහත් වෑයමක් දැරුවා. වර්ෂ 1546දී උතුරු ඉතාලියේ ත්‍රිඩෙන්තීනු නගරයේ පවත්වන ලද සම්මන්ත්‍රණයෙන් පසුව සැලකිය යුතු වෙනසක් සිදු වුණා. මෙහිදී පොදු ජනයාගේ භාෂාවලට බයිබලය පරිවර්තනය කළ යුතුද යන්න ගැන සලකා බලනු ලැබුවා. මෙයට පක්ෂ වූ හා විපක්ෂ වූ අය සිටියා. මෙම බයිබල් පරිවර්තනයට විරුද්ධ වූ අය කියා සිටියේ “සභාවේ විශ්වාසයන්ට විරුද්ධව තිබෙන මතවලට මූලික හේතුව” පොදු ජනයාගේ භාෂාවලින් තිබෙන බයිබලය බවයි. කතෝලික සභාව බයිබලය තහනම් කරන්නේ ඔවුන්ගේ “වැරදි හා වංචාවන්” සැඟවීමට කියා කතෝලික නොවන අය චෝදනා කළ හැකි බව බයිබල් පරිවර්තනයට පක්ෂ අය කියා සිටියා.

එම සම්මන්ත්‍රණයේදී මෙම මතභේදය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයකට එළඹීමට නොහැකි වුණා. කෙසේවෙතත් කතෝලික සභාවේ සම්මත පරිවර්තනය ලෙස වල්ගේට් බයිබලය පිළිගනු ලැබුවා. වල්ගේට් බයිබලය එකම සම්මත බයිබලය කියා ප්‍රකාශ කිරීමම, එය පමණක් පිළිගත යුතුයි යන අදහසට අනුබල දෙන බව රෝමයේ පාප්ගේ පාලනය යටතේ තිබෙන විශ්වවිද්‍යාලයක ගුරුවරයෙකු වූ කාලෝ බුඩ්සෙටි පවසනවා.

වර්ෂ 1559දී හතරවන පාවුලු පාප් තහනම් කරන ලද පොත් පත්වල ලැයිස්තුවක් මුල් වතාවට ප්‍රකාශයට පත් කළා. මෙම පොත් පත් කියවීම, විකිණීම, පරිවර්තනය කිරීම හෝ ළඟ තබාගැනීම කතෝලිකයන්ට තහනම් කරනු ලැබුවා. එම පොත් පත් දුෂ්ට අදහස් ඇති ඒවා ලෙසත් ඇදහිල්ලට හා යහපත් පැවැත්මට හානිකර ඒවා ලෙසත් සලකනු ලැබුවා. මෙම තහනම් පොත් ලැයිස්තුවට බෘචොලිගේ බයිබලය ඇතුළු පොදු ජනයාගේ භාෂාවෙන් පරිවර්තනය කළ බයිබල්ද ඇතුළත් වුණා. මෙම බයිබල් කියවා හසු වූ අයව සභාවෙන් නෙරපා දැම්මා. වර්ෂ 1596දී මෙම තහනම තවත් දැඩි කළ අතර පොදු ජනයාගේ භාෂාවෙන් බයිබල් පරිවර්තනය කිරීමට හෝ මුද්‍රණය කිරීමට අවසර දෙනු ලැබුවේ නැහැ. එවැනි බයිබල් විනාශ කර දැමීමට පියවර ගනු ලැබුවා.

දහසයවන සියවසේ අවසානයත් සමඟ පල්ලි ඉදිරිපිට බයිබල් පුලුස්සා දැමීම බහුල වශයෙන් සිදු කෙරුණා. සාමාන්‍ය ජනයා ශුද්ධ ලියවිලි සැලකුවේ පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධ පොතක් ලෙසයි. මේ අදහස තවමත් ඇතමුන් තුළ තිබෙනවා. ප්‍රසිද්ධ සහ පෞද්ගලික පුස්තකාලවල තිබූ බයිබල් සහ බයිබල් පද පැහැදිලි කිරීමට නිකුත් කළ පොත් පත් සියල්ලම පාහේ විනාශ කර දමනු ලැබුවා. ඊළඟ අවුරුදු 200 පුරා කිසිම කතෝලිකයෙක් බයිබලය ඉතාලි භාෂාවට පරිවර්තනය කළේ නැහැ. ඉතාලි අර්ධද්වීපයේ රහසිගතව බෙදාහැරියේ කතෝලික නොවන විද්වතුන් විසින් පරිවර්තනය කරනු ලැබූ බයිබල් පමණයි. මාරියෝ චින්යෝනි නම් එක් ඉතිහාසඥයෙක් මෙසේ සඳහන් කරනවා. “සාමාන්‍ය ජනයාට සියවස් කිහිපයක් යන තෙක් බයිබලය කියවීමට අවස්ථාවක් තිබුණේ නැහැ. මේ හේතුව නිසා බයිබලය ජනයා නොදත් පොතක් බවට පත් වුණා. තම ජීවිත කාලය පුරාම එක පිටුවක්වත් බයිබලයෙන් කියවා නැති මිලියන ගණන් ජනයා ඉතාලියේ සිටියා.”

තහනම ලිහිල් වෙයි

පසු කාලයකදී දහහතරවන බෙනඩික්ට් පාප් 1757 ජූනි 13වෙනි දා පොත් පත් සම්බන්ධයෙන් තිබූ තහනම සංශෝධනය කරමින් “වතිකානුව විසින් අනුමත කළ පසු අගරදගුරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ බයිබල් පරිවර්තන කියවීමට අවසර දෙනු ලැබුවා.” මෙහි ප්‍රතිඵලයක් හැටියට ෆ්ලෝරන්ස්හි අගරදගුරුව සිටි අන්තෝනියෝ මාටිනි වල්ගේට් බයිබලය පරිවර්තනය කිරීමට පියවර ගත්තා. මෙහි මුල් කොටස 1769දී ප්‍රකාශයට පත් කළ අතර 1781දී එහි පරිවර්තනය සම්පූර්ණ කළා. එක් කතෝලික මූලාශ්‍රයක සඳහන් වන පරිදි මෙම පරිවර්තනය සලකනු ලැබුවේ “වල්ගේට් බයිබලය පදනම් කරගෙන ඉතාලි භාෂාවට පරිවර්තනය කළ හොඳම පරිවර්තනයක් ලෙසයි.” ඒ කාලය වන තෙක් ලතින් භාෂාව තේරුම්ගැනීමට නොහැකි වූ කතෝලිකයන්ට පල්ලියේ අවසරය දී තිබූ බයිබලයක් පවා කියවීමට හැකි වුණේ නැහැ. ඊළඟ වසර 150 පුරා ඉතාලියේ කතෝලිකයන්ට කියවීමට අවසර තිබුණේ මාටිනිගේ පරිවර්තනය පමණයි.

වර්ෂ 1965දී පවත්වන ලද දෙවන වතිකානු සම්මන්ත්‍රණයේදී දිව්‍ය හෙළිදරව්ව නමැති ලියවිල්ල මගින් ප්‍රථම වතාවට “ශුද්ධ ලියවිල්ලේ මුල් ලියවිලිවලින් විවිධ භාෂාවන්ට බයිබලය නිවැරදිව පරිවර්තනය කිරීමට” දිරිගැන්වීමක් ලැබුණා. වර්ෂ 1958දී පමණ වතිකානු බයිබල් සංගමය විසින් “මුල් ලියවිලිවලින් ප්‍රථම කතෝලික බයිබලය පරිවර්තනය කරනු ලැබුවා.” මෙම අනුවාදයේ තැන් කිහිපයක “ජාවේ” කියා දෙවිගේ නම සඳහන් වුණා.

ඉතාලි භාෂාවෙන් කළ බයිබල් පරිවර්තනවලට දරුණු විරුද්ධවාදිකම් එල්ල වූ අතර ඒවායේ බලපෑම තවමත් දැකිය හැකියි. ජිල්යෝලා ෆ්‍රාන්යිතෝ සඳහන් කළ පරිදි ඇදහිලිවන්තයන්ට එම විරුද්ධවාදිකම් නිසා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කිරීම ගැන සැක ඇති වී තිබෙනවා. මීට අමතරව ආගමික චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව සම්ප්‍රදායන් ගොඩනැඟුණු අතර බොහෝ කතෝලිකයන් බයිබලයේ තිබෙන අදහස්වලට වඩා ඒවා වැදගත් සේ සලකනවා. මිනිසුන්ට දැන් කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණත් මේ සියලු දේවල් නිසා ශුද්ධ ලියවිල්ල ඔවුන්ට නුහුරු පොතක් වී තිබෙනවා.

කෙසේවෙතත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා සේවය නිසා බයිබලය ගැන ඉතාලියේ අලුතින් උනන්දුවක් ඇති වී තිබෙනවා. වර්ෂ 1963දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතාලි භාෂාවෙන් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ප්‍රකාශයට පත් කළා. ඔවුන් 1967දී සම්පූර්ණ බයිබලයම නිකුත් කළා. ඉතාලියේ පමණක් මෙම බයිබල් පරිවර්තනයේ පිටපත් 40,00,000ක් බෙදාහැර තිබෙනවා. නව ලොව පරිවර්තනයේ තිබෙන විශේෂත්වය වන්නේ මුල් ලියවිලිවල තිබුණ ආකාරයටම යෙහෝවා යන දෙවිගේ නාමය ඊට හිමි නිසි තැන සඳහන් කොට තිබීමයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ශුද්ධ ලියවිල්ලේ තිබෙන බලාපොරොත්තුව ගැන සවන් දෙන්න කැමති සියලුදෙනාටම ගෙයින් ගෙට ගොස් ඒ ගැන පවසනවා. (ක්‍රියා 20:20) ළඟදීම “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ . . . අලුත් පොළොවක්” පිහිටුවන බවට දෙවි දී තිබෙන පොරොන්දුව ගැනයි ඔවුන් අන් අය සමඟ කතා කරන්නේ. (2 පේතෘස් 3:13) මේ ගැන තවදුරටත් බයිබලයේ කියා තිබෙන දේවල් ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් හමු වූ විට ඔවුන්ගෙන් අසා දැනගන්න ඔබට පුළුවන්.

[13වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

වැනිසිය

රෝමය

[15වන පිටුවේ පින්තූරය]

බෘචොලිගේ පරිවර්තනයේ දෙවිගේ නම සඳහන් වී තිබුණා

[15වන පිටුවේ පින්තූරය]

බෘචොලිගේ පරිවර්තනය: Biblioteca Nazionale Centrale di Roma; ලැයිස්තුව: Su concessione del Ministero per i Beni e le Attività Culturali

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

බයිබලයේ මුල් පිටුව: Biblioteca Nazionale Centrale di Roma

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

තහනම් කරන ලද පොත් පත්වල ලැයිස්තුවට ඉතාලි භාෂාවෙන් කළ බයිබල් පරිවර්තනත් ඇතුළත් වුණා