Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ චීන ජාතිකයන්ට උපකාර කිරීමට දරන වෑයමක්

මෙක්සිකෝවේ චීන ජාතිකයන්ට උපකාර කිරීමට දරන වෑයමක්

මෙක්සිකෝවේ චීන ජාතිකයන්ට උපකාර කිරීමට දරන වෑයමක්

‘ජාතීන්ගේ සෑම භාෂා කතා කරන්නන් අතරෙන් දසදෙනෙක් යුදෙව්වෙකුගේ වස්ත්‍රය අල්ලාගෙන: අපි ඔබ සමඟ යන්නෙමු; මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින්නේය කියා කියන්නෝය.’ (සෙකරියා 8:23) මේ අනාවැකිය අද ලොව පුරාම ඉටු වෙමින් පවතිනවා. ‘සෑම භාෂාවක්ම’ කතා කරන විශාල පිරිසක් සැබෑ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීම සඳහා දෙවිගේ ඊශ්‍රායෙල් කියාද හඳුන්වනු ලබන අභිෂේක ලත් ක්‍රිස්තියානීන් සමඟ ඉතා සහයෝගයෙන් ක්‍රියා කරමින් සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඒ අනාවැකියේ ඉටුවීම ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ලොව පුරා සිදු කරනු ලබන දේශනා කිරීමේ කාර්යයේ පුළුල් ලෙස හවුල් වීම සඳහා සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් වෙනත් භාෂා ඉගෙනගනිමින් සිටිනවා.

මෙක්සිකෝවේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද ඒ අතර දැකිය හැකියි. එක් ගණන් බැලීමකට අනුව චීන ජාතිකයන් 30,000ක් පමණ මෙක්සිකෝවේ ජීවත් වෙනවා. වර්ෂ 2003දී මෙක්සිකෝවේ පවත්වන ලද ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට චීන ජාතිකයන් 15දෙනෙක් පැමිණ සිටියා. එහි සිටින චීන ජාතිකයන් සැබෑ දෙවි ගැන දැනගන්න ඉතා උනන්දුවෙන් සිටින බව සාක්ෂිකරුවන් වටහාගත්තා. චීන භාෂාව කතා කරන ජනයාට දෙවිගේ වචනය ගැන ඉගැන්වීම සඳහා මෙක්සිකෝවේ සිටින සහෝදර සහෝදරියන්ට අවශ්‍ය උපකාර ලබා දීමට කටයුතු සැලසුම් කරනු ලැබුවා. චීන භාෂාවෙන් සරලව ශුභාරංචිය බෙදා දෙන ආකාරය ගැන පුහුණුවක් ලබා දෙන මාස තුනක පාඨමාලාවක් සංවිධානය කරනු ලැබූ අතර, විසිපස්දෙනෙක් මේ පාඨමාලාව හැදෑරුවා. මේ පාඨමාලාවේ අවසන් දවසේදී මෙක්සිකෝවේ සිටින චීන භාෂාව කතා කරන නිලධාරියෙක් පැමිණියා. මෙයින් පෙනී ගියේ එම නගරයේ වෙසෙන චීන භාෂාව කතා කරන ජනයා ඒ පාඨමාලාව ගැන උනන්දුවක් දැක්වූ බවයි. මේ පාඨමාලාව හැදැරූ අයගෙන් තුන්දෙනෙකුට චීන භාෂාව ගැන ඔවුන් ඉගෙනගත් දෙය තවත් දියුණු කරගැනීම සඳහා වෙනත් රටකට යෑමට මෙක්සිකෝවේ පිහිටුවා තිබෙන චීන ආයතනයක් විසින් ශිෂ්‍යත්ව පිරිනැමුවා.

චීන භාෂාව ගැන ඉගැන්වූ එම පාඨමාලාවට ප්‍රායෝගික පුහුණුවක්ද ඇතුළත් වුණා. එම භාෂාවෙන් සරල වගන්ති කිහිපයක් ඉගෙනගැනීමෙන් පසු සිසුන් විගස මෙක්සිකෝ නගරයේ ව්‍යාපාරික ප්‍රදේශයක දේශනා කරන්න පටන්ගත්තා. බයිබල් පාඩම් 12ක් පටන්ගන්න මෙම උද්‍යෝගිමත් දේශනාකරුවන්ට හැකි වුණා. චීන භාෂාවෙන් පළ වී තිබෙන දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? කියන විවරණිකාව බයිබල් පාඩම් පටන්ගැනීම සඳහා ඔවුන්ට මහත් උපකාරයක් වුණා.

චීන භාෂාව ඉගෙනගැනීමේ පාඨමාලාව හදාරන්න පටන්ගෙන වැඩි දවසක් යන්න කලින් ඒ සාක්ෂිකරුවන් බයිබල් පාඩම් පවත්වන්න පටන්ගත්තේ කොහොමද? මුලදී ඔවුන්ට හැකි වුණේ “චින් ඩූ [කරුණාකර කියවන්න]කියා පවසා ඡේදයක් පෙන්වා, ශිෂ්‍යයා එය කියවීමෙන් පසුව ප්‍රශ්නය පෙන්වන්නයි. ශිෂ්‍යයා චීන භාෂාවෙන් ඡේදය කියවා උත්තර දුන් පසු “ෂී ෂී [ස්තුතියි]හා “හෙං හවූ [බොහොම හොඳයි]කියා පාඩම පවත්වන සාක්ෂිකරුවා පවසනවා.

මේ විදිහට බයිබල් පාඩමක් චීන ජාතික ක්‍රිස්තියානි ස්ත්‍රියක් සමඟ පවත්වනු ලැබුවා. මේ ස්ත්‍රිය සමඟ වතාවන් තුනක් පාඩම පැවැත්වීමෙන් පසු, පාඩමෙන් ඉගෙනගත් තොරතුරු ඇත්තටම ඇය තේරුම්ගෙන තියෙනවාද කියා පාඩම කළ සාක්ෂිකාරියට දැනගන්න අවශ්‍ය වුණා. මේ බව හරියටම දැනගැනීම සඳහා ඇය ඊළඟ වතාවේදී පාඩමට ගියේ චීන ජාතික සහෝදරයෙකු සමඟයි. යම් ප්‍රශ්න තියෙනවාද කියා ඒ සහෝදරයා ඒ ස්ත්‍රියගෙන් ඇසූ විට ඇය මෙසේ පැවසුවා. “බව්තීස්ම වෙන්න නම්, මට පීනන්න පුළුවන් වෙන්න ඕනෙද?”

වැඩි කලක් යන්න කලින් චීන භාෂාවෙන් පවත්වනු ලබන පොත් පාඩමක් ආරම්භ කළා. මෙක්සිකානු ජාතික සාක්ෂිකරුවන් 23දෙනෙක් සහ චීන ජාතිකයන් 9දෙනෙක් විතර එයට පැමිණියා. ඒ අය අතර චීන ජාතික වෛද්‍යවරයෙක්ද සිටියා. ඔහුගෙන් ප්‍රතිකාර ගන්න පැමිණි සාක්ෂිකාරියක් ස්පාඤ්ඤ භාෂාවෙන් පළ කරන මුරටැඹ සහ පිබිදෙව්! සඟරා ඔහුට දී තිබුණා. ඔහුට ස්පාඤ්ඤ භාෂාව තේරෙන්නේ නැති නිසා ඔහු වෙනත් කෙනෙක් ලවා ඒ සඟරාවල වාක්‍ය කිහිපයක් පරිවර්තනය කරගෙන තිබුණා. මේ සඟරාවල සඳහන් වෙන්නේ බයිබලය ගැන කාරණා බව තේරුම්ගත් ඒ වෛද්‍යවරයා චීන භාෂාවෙන් සඟරා ලබාගන්න පුළුවන්ද කියා ඔහුට මුලින්ම සඟරා දුන් සාක්ෂිකාරියගෙන් ඇසුවා. ඇය ඔහුට චීන භාෂාවෙන් සඟරා ලබා දී, මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඔහු ගැන දැනුම් දුන්නා. පසුව ඔහු සමඟ සාකච්ඡා කිරීමට චීන භාෂාව කතා කරන සාක්ෂිකරුවෙකුව යවනු ලැබුවා. මේ වෛද්‍යවරයා ඔහුගේ මව ළඟ තිබුණු බයිබලය මහත් ආශාවකින් කියවා තිබුණා. ඔහු මෙක්සිකෝවට යන්න තීරණය කළ අවස්ථාවේදී, බයිබලය කියවීම නතර කරන්න එපා කියා ඔහුගේ මව ඔහුට පැවසුවා. මේ නිසා ඔහු බයිබලයේ සඳහන් දෙවි ගැන දැනගැනීමට තමන්ට උපකාර කළ හැකි කෙනෙකුව සොයා දෙන මෙන් ඉල්ලා යාච්ඤා කර තිබුණා. “දෙවි මගේ යාච්ඤාව ඇහුවා” කියා ඔහු පැවසුවා.

චීන ජාතික පවුලක්ද පොත් පාඩමට පැමිණෙනවා. මේ පවුල පදිංචි වී සිටින නිවසේ අයිතිකාරිය මෙක්සිකානු ජාතික කාන්තාවක්. ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ බයිබලය පාඩම් කරනවා. මේ චීන ජාතික පවුලේ අයට ස්පාඤ්ඤ භාෂාව ඒ තරම් හොඳින් තේරුම්ගන්න බැරි වුණත් ඔවුනුත් බයිබල් පාඩම පවත්වන වේලාවට පැමිණෙනවා. ටික දවසක් ගියාට පස්සේ ඒ පවුලේ අය පාඩම පවත්වන සාක්ෂිකාරියගෙන් ඇහුවා, චීන භාෂාවෙන් සඟරා පොත් පත් ලබාගන්න පුළුවන්ද කියා. වැඩි කලක් යන්න කලින් ඒ පවුලේ අය සමඟත් චීන භාෂාවෙන් බයිබල් පාඩමක් පටන්ගත්තා. ඉන් ටික කලකට පසු, අනිකුත් චීන ජාතිකයන්ට දේශනා කරන්නත් යෙහෝවා දෙවිට තමන්ගේ ජීවිත කැප කරන්නත් තමන් මහත් ආශාවෙන් සිටිනවා කියා ඒ පවුලේ අය පැවසුවා.

චීන භාෂාව ඉගෙනගන්න අමාරු භාෂාවක් බව ඇත්ත. ඒ වුණත් ඉහත සඳහන් කළ අද්දැකීම්වලින් පෙනී යන්නේ මෙක්සිකෝවේ සිටින චීන ජාතිකයන් ඇතුළු විවිධ භාෂාවලට අයත් බොහෝදෙනෙක් යෙහෝවාගේ උපකාරය ඇතිව ඔහු ගැන ඉගෙනගන්න බවයි. මෙය ලොව පුරාම අපට දැකිය හැකියි.

[17වන පිටුවේ පින්තූරය]

මෙක්සිකෝවේ චීන භාෂාව ඉගෙනගන්න පිරිසක්

[18වන පිටුවේ පින්තූරය]

චීන භාෂාවෙන් බයිබල් පාඩමක් පවත්වන මෙක්සිකානු ජාතික සහෝදරියක්

[18වන පිටුවේ පින්තූරය]

මෙක්සිකෝ නගරයේ චීන භාෂාව කතා කරන අයට දේශනා කරන අන්දම